නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව – “පශ්චාත්-නූතන තත්ත්වවාදය”- කුමුදු කුසුම් කුමාර

අප පහත පළ කිරීම අරඹන්නේ සුනන්ද දේශප්‍රිය සහ කේ. ඩබ්ලිවු. ජනරංජන සංස්කරණය කළ බලය සඟරාවේ 2002 අගෝස්තු කලාපයෙන් ඇරඹී කොටස් කිහිපයකින් පළ කෙරුණු, කුමුදු කුසුම් කුමාර විසින් රචිත “නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව“ නමැති දීර්ඝ ලිපියේ “පශ්චාත්-නූතන තත්ත්වවාදය”ට අදාළ කොටස් කිහිපයකි. මෙම ලිපියෙහි ලා ලිබරල්වාදය, මාක්ස්වාදය, ගුණදාස අමරසේකරයන්ගේ ජාතික චින්තනය සහ “පශ්චාත්-නූතන තත්ත්වවාදය” නූතනත්වයට පදනම් වන සංකල්පීකරණයන් මුල් කොට ගෙන ගොඩ නැඟී ඇත්තේ කෙසේදැයි විග්‍රහ කරන්නට උත්සාහයක් ගන්නා ලදී. 2001 ජනවාරි මස ලංඩන් සඟරාවේ පළමු කලාපය නිකුත් කිරීම වෙනුවෙන් එක්ස් කණ්ඩායම පැවැත්වූ රැස්වීමේදී ආරාධිත දේශනය වශයෙන් කුමුදු කුසුම් කුමාර ඉදිරිපත් කළේ මෙම අදහස්ය. ඉතින්, මෙම ලිපි කොටස් කියවා එම සම්බන්ධය ගැන ඔබේ ස්වාධීන මතය සම්පාදනය කර ගැනීමට අපි ඔබට ඉඩ හරිමු.

නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව – “පශ්චාත්-නූතන තත්ත්වවාදය”
පළමු කොටස
නූතනත්වය යටතේ ලාංකීය සමාජය මුහුණ පා ඇති අත්දැකීම් වටහාගන්නට අප මෙතෙක් දරා ඇති සියලු උත්සාහයන්, අප සාමූහිකයක් ලෙසින් වර්තමානයේ අත්දකිමින් සිටින අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් ඔබ්බට අපගේ සාමූහික පරිකල්පනාව අවදි කරවන්නට දුක්මුසු ලෙස අපොහොසත් වී ඇතැයි යන අදහස, අපට නිතර අසන්නට ලැබෙයි. අපගේ වර්තමානය වටහාගත හැකිවන පරිදි අපගේ පරිකල්පනාව පුබුදුවන්නට නම්, අපගේ අර්ථ විවරණයන්‍ට කේන්ද්‍ර කොටගත යුත්තේ, නූතනත්වය යටතේ අපගේ සංකල්පීය රාමුව ගොඩ නැගුණු ආකාරය වටහා ගැනීම බව මගේ ද වැටහීමයි. මෙම ලිපියේ අරමුණ එබඳු උත්සාහයකට දායක වන පරිද්දෙන්, ලාංකීය සමාජ-දේශපාලන කතිකාව නූතනත්වයේ සංකල්පීය පද්ධතිය තුළ සිරවී ඇති ආකාරය මතුකොට ගැනීමට දැරෙන ප්‍රයත්නයකට මුල පිරීමයි.

නූතනත්වය සහ ප්‍රගතිය/පරිහානිය
මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන මූලික ප්‍රවාදය, නූතනත්වය යටතේ ලාංකීය සමාජ-දේශපාලන කතිකාවේ කෙරෙන සියලු න්‍යාය ගැන්වීම් මෙන්ම අදාළ භාවිතාවන්ද සාමාන්‍යයෙන් ගත් කල ඒවායේ දැකිය හැකි පොදු ලක්ෂණයක් නම්, ඒවා ලෝකය අවබෝධ කරගන්නේ, නූතන සහ පූර්ව-නූතන හෝ සම්ප්‍රදායානුකූල යන අන්‍යොන්‍ය වශයෙන් බැහැර කෙරෙන ප්‍රතිපක්ෂයන්ට අදාළව වීමයි. මේ සියලු කතිකා, ලංකාවේ පවත්නා වර්තමාන තත්ත්වයන්, සාමාන්‍යයෙන් ගත් කල එක්කෝ නූතනත්වයේ ප්‍රතිඵල ලෙස දකිති. නැතහොත් නවීකරණය වී නැතිකමට, නවීකරණය අසාර්ථක වීමට හෝ එය ක්‍රියාත්මක වෙමින් ඇති ආකාරයේ අඩුවකට පවරති. ඉතින්, මෙම කතිකාවන් සියල්ලේ පොදු ආරම්භක ලක්ෂ්‍යය නූතනත්වය නම්, නූතනත්වයට පක්ෂව හෝ එරෙහිව ඒවා ගන්නා ස්ථාවරයන්ගේ කොන්දේසිවලට යටත්ව ඒවා නූතනත්වය පිළිබඳව ගොඩ නඟා ගන්නා සුවිශේෂී පර්යාලෝකයන් ආශ්‍රයෙන් එළඹෙන විග්‍රහයන් අනුව ඒවා එකිනෙකින් වෙනස් වෙයි. තවද නවීකරණයේ වේගය පිළිබඳව ඇති තම තක්සේරුව අනුවත්, නූතනත්වය යටතේ සමාජ සමානාත්මතාව පවත්වාගෙන යා යුත්තේ කෙසේද? යන්න පිළිබඳව තමන් දරන ස්ථාවරය අනුවත්, මෙම ඇතැම් කතිකාවන් එකිනෙකින් වෙනස් වෙයි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ පවත්නා වර්තමාණ තත්ත්වයන් මෙම එක් එක් කතිකාවක න්‍යාය ගැන්වීම් සහ හෝ භාවිතාව තුළ වටහා ගැනෙන්නේ කෙසේද යන්න තුළින් ඔවුන් නූතනත්වය සම්බන්ධයෙන් දරන විවිධ ස්ථාවර අනාවරණය කිරීම ද සිදුවෙයි.

“පශ්චාත්-නූතන තත්ත්වවාදය”

තම න්‍යාය ගැන්වීම්වලට මාක්ස්වාදය, ව්‍යූහවාදය සහ පශ්චාත්-ව්‍යූහවාදය වැනි න්‍යාය ධාරාවන් යොදා ගන්නා “පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්” නවීකරණය පිළිබඳව දරන ස්ථාවරය අතින් ලිබරල්වාදයෙන් හා මාක්ස්වාදයෙන් වෙනස් වන්නේ, ලංකාව තුළ නවීකාරක ව්‍යාපෘතිය මන්දගාමී වී ඇතැයි හෝ එහි අඩුපාඩු ඇතැයි යන්න වෙනුවට, අධ්‍යාපනය, ප්‍රජාතන්ත්‍රවාදය, පවුල හා ලිංගිකත්වය වැනි ප්‍රධාන කලාපයන්හි නවීකාරක ව්‍යාපෘතිය දුක්ඛිත ආකාරයෙන් අසාර්ථක වී ඇති අතර වෙනත් කලාපයන්ට අදාළව එය ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක වෙමින් ඇතැයි, යන ස්ථාවරය ගැනීමෙනි. මේ මතයට අනුව, ලාංකික ජීවිතයේ ඇතැම් කලාපයන්හි නවීකරණය අසාර්ථකවීම, ලංකාව තුළ පැරණි, සාම්ප්‍රදායික ජීවන ආකාරයන් යටින් ඇති නවීකරණයේ බාහිර ආම්පන්න මතුපිටින් දක්නට ලැබුණද, ලංකාව තුළ නවීකරණය ඓන්ද්‍රීය ලෙස වර්ධනය නොවීමේ ප්‍රතිඵලයකි.

නමුත් අනෙක් අතට, ජනමාධ්‍ය, තොරතුරු තාක්ෂණය සහ භෞතික දියුණුව වැනි කලාපයන්හි විශේෂයෙන්ම නිදහස් ආර්ථිකය යටතේ පසුගිය දශක දෙකකට අධික කාලයක් තුළ නවීකරණය පුළුල්ව පැවතීම සහ වේගවත් වීම දකින්නට ඇත. “පශ්චාත්-නූතන-තත්ත්වවාදයට” අනුව මේ තත්ත්වය ලංකාවේ භෞතික අතින් නවීකරණය වූ සහ මානසික වශයෙන් පසුගාමී හින්නෝන්මාද සමාජයක් උදා කොට ඇත. මේ නිසා ලංකාවේ මිනිසුන්ට නූතන ශරීර සහ, නවීන ලෙස භෞතික තත්ත්වයන් තුළ පූර්ව නූතන චින්තනය පවත්නා “වැඩවසම්” ඔළු ද තිබේ. ලංකාව තුළ ධනවාදය සහ නූතන සංස්ථාවන්ගේ ඓන්ද්‍රීය වර්ධනයක් ඇති නොවීමේ හේතුවෙන්, සමස්ථයම විපර්යාස ‍කෙරෙන සම්පූර්ණ නවීකාරක ව්‍යාපෘතියක ලා නායකත්වය ගන්නට දෘෂ්ටිමය වශයෙන් නවීන ධනේශ්වර ශක්තියක් නැත. එහෙයින් පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්ට අනුව ලංකාව අද පසුකරමින් සිටින සන්ධිස්ථානයේදී මහජනයා දේශපාලනයෙහි ලා ක්‍රියාකාරීව සහභාගි නොවීම පැහැදිලි කෙරෙන්නේ ඉහත ඔවුන් විග්‍රහ කරන සමස්ත තත්ත්වයන් විසිනි.

තවද, ඔවුනට අනුව, තීරණාත්මක ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉෂ්ට කරන අති දියුණු විද්‍යුත් මාධ්‍ය සහ “ඩිජිටල්” තාක්ෂණය, සියලු ව්‍යූහයන් කඩා බිඳ දමමින් වෙළෙඳපොළ තර්කනය යටතේ මානව සබඳතා විප්ලවීයකරණය කරමින්, මානවයන් සම්ප්‍රදායික අධිකාරවාදී සමාජ චරිතවල පාලනයෙන් සහ ඔවුන් සමාජයේ චිරස්ථායී කරමින් සිටින ව්‍යූහයන්ගෙන් නිදහස් කරමින් සිටිති. දැන් ශිෂ්‍යයන් තවදුරටත් ගුරුවරයන්ගේ අධිකාරවාදය යටතේ පීඩනයට ලක්විය යුතු නැත. ඉන් නිදහස්ව, අන්තර්ජාලයේ පිහිටෙන් වෙබ් අඩවිවලින් පොත්-පත් කියවමින්, අන්තර්ජාලයේ සාකච්ඡාවලට සහභාගී වෙමින් ස්වයං-අධ්‍යාපනය ලැබීමට සිසුනට හැකිය. වෛද්‍ය ක්ෂේත්‍රයේදී, රෝගීන්ට, වෛද්‍යවරුන්ගේ අධිකාරය යටතේ පීඩා නොවිඳ අන්තර්ජාලයෙන් වෛද්‍ය උපදෙස් ලබන්නටත්, ප්‍රතිකාර මෙන්ම බෙහෙත් හේත් ගන්නටත් හැකිය.

දැන් විද්‍යුත්-විප්ලවය නමින් හැඳින්වෙන තාක්ෂණික වර්ධනය පිළිබඳව ඉහත ප්‍රකාශිත අවබෝධය, ප්‍රබුද්ධත්ව සබුද්ධිකභාවය (Enlightenment Reason) බටහිර සමාජය හා මනස මත ඇති කළා යැයි කියනු ලබන බලපෑම පිළිබඳව නූතන අවබෝධය හා සමාන යැයි කිව හැකිය. එම අදහසට අනුව ප්‍රබුද්ධත්වයේ විචාර බුද්ධිය දෙවියන්ගේ හා රාජාධිපත්‍යයේ අධිකාරයෙන් මානවයන් නිදහස් කළ හෙයින් මානවයාට තම පූර්ණ ශක්‍යතාව සාක්ෂාත් කරගන්නට විචාර බුද්ධිය ඉඩ සලසා දෙනු ඇත.

“පශ්චාත්-නූතන-තත්ත්වවාදයේ” තර්කය, අද ලංකාවේ අප අත්දකිමින් සිටින්නාක් බඳු වෙනස්කම් ප්‍රාග්ධනය ගෝලීයකරණය වන මෙම අවධියේ ධනවාදයේ “තුන්වැනි කාර්තුව” යටතේ අනිවාර්ය බවය. ගෝලීයකරණය, සියලු පූර්ව-ධනේශ්වර සබඳතා හා ව්‍යූහයන් විපර්යාස කරන හෙයින් විනාශ කරන හෙයින් හැමදෙයම, බුද්ධිමය, මිනිස් මනස හෝ අදහස්ම සහ මානව සබඳතාම පවා වෙළෙඳ භාණ්ඩ බවට හරවන හෙයින්, එය ප්‍රගතිශීලි සංසිද්ධියකි. නවීකරණය විජයග්‍රාහී ලෙසින් ඉදිරියටම ඇදෙයි. ධනවාදයේ නැගීමත් සමඟ මාක්ස් දුටු දෙයෙහි, ගම්‍යතාව පශ්චාත් නූතන තත්ත්වය යටතේ කිහිප ගුණයකින් වැඩි වී ඇත. “සියලු ඝනීභූත දේ ද්‍රව වී වාශ්ප වී යයි”. මෙපරිද්දෙන් අප ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ පරිපථයන්ට හසු වී ඇති අතර, මානව ජීවිතය වෙළෙඳ පොළ තර්කනයට යට කෙරී ඇත. මෙය සම්ප්‍රදායේ සිට නූතනත්වය දක්වා සමාජ විපර්යාසය ඉදිරියට ගෙන යන හෙයින් එහි ඇත්තේ ධනාත්මක ස්වභාවයකි.

පශ්චාත්-නූතන-තත්ත්වවාදයේ මෙම තර්කනයට අනුව, නවීකරණය මානවයන් පූර්ව-නූතන ව්‍යූහයන්ගේ අධිකාරයෙන් නිදහස් කරමින් වඩා යහපත් මානව ලෝකයක් ගොඩ නගන හෙයින්, අප කුමන තත්ත්වයන් යටතේ වුව නවීකරණය කළ යුතුය. මෙම තර්කනය යටතේ, නවීකරණය අත්‍යන්තයෙන්ම ප්‍රගතිශීලීය, එහෙයින් නවීකරණයට ප්‍රතිරෝධය දක්වන්නෝ ගෝත්‍රික, සම්ප්‍රදායික, පසුගාමී හෝ පූර්ව නූතනයෝ වෙති. එහෙයින්, නව නූතන ආරම්භයකට මුල පුරනු වස් පසුගාමී වන හෙයින් සම්ප්‍රදාය විනාශකල යුතුය. සංස්කෘතිය යනු පරාජයට පත්කල යුතුව ඇති සම්ප්‍රදායයි.

පූර්ව-නූතන අගතීන්ගෙන් මිනිස් මනස නිදහස් කරන්නට විචාර බුද්ධියට හෝ තර්කනයට ඇති හැකියාව පිළිබඳව “පශ්චාත්-නූතන-තත්ත්වවාදීහු” විශ්වාස කරති. ලංකාවේ නූතන සමාජයක් ඓන්ද්‍රීයව වර්ධනය නොවන්නට හේතුව අප සමාජයේ විචාර බුද්ධිය නොමැති වීමත්, සංස්කෘතිය දිගින් දිගටම පැවැතීමත්ය. සංස්කෘතිය යනු මතවාදයයි, පූර්ව-විචාර බුද්ධි අවස්ථාවයි. සංස්කෘතියත්, මාතවාදයත් විචාර බුද්ධිය මගින් ජයගත් සමෘද්ධිමත්, බටහිර සමාජ හා සසඳන කල ලාංකික සමාජය තවමත් පූර්ව-විචාර බුද්ධි යුගයේ පල් වෙමින් පවතී.

එහෙයින්, නවීකරණයේ සාර්ථකත්වය රඳා පවත්නේ එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව මතය. මේ සඳහා කළ යුතුව ඇත්තේ ප්‍රධාන කොටම “පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්” විසින් නියෝජනය කෙරෙන නවීකරණය වූ සුළු පිරිස් සහ ඔවුන්ගේ චින්තනය සදහා සමපාත වන පිරිස් එකතු වී සමාජය මත තම දෘෂ්ටිවාදිමය “හෙජමොනිය” (hegemony) නැතහොත් මතවාදී ආධිපත්‍යය පිහිටුවා නවීකාරක ව්‍යාපෘතියේ නායකත්වය තමන් අතට ගැනීම වෙයි. ඔවුන් යෝජනා කරන විසඳුම නම්, රටේ ඇති සියලුම පූර්ව-නූතන-තත්ත්වයන් මතවාදීමය වශයෙන් සහ ආයතනික වශයෙන් විනාශ කොට ඒ තැන ගන්නට සහමුළින්ම නවීකරණය කළ ඒවා ස්ථාපිත කිරීමයි. පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්ගේ මෙම න්‍යාය ගැන්වීම් වලට පාදක වන්නේ මානව ක්‍රියාකාරිකයෙකු නැතහොත් විෂයාසක්තයෙකු (subject) නැත, ව්‍යූහ මානවයන් යටපත් කොටගෙන ඇති අතර ලොව ක්‍රියාකාරීත්වය තීරණය කරන්නේය යන ව්‍යූහවාදී ස්ථාවරයයි. සමාජ සංසිද්ධීන් යනු ‍ඓතිහාසික හා සංස්කෘතික නිර්මිකයන්ය. එහෙයින් දේශපාලනික උපාය මාර්ගය වන්නේ පවත්නා පසුගාමී කතිකා සහ සංකල්ප විසංයෝජනය කොට කතිකාව නවීකරණය කිරීමත්, “පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්” විසින් නායකත්වය දෙනු ලබන රැඩිකල් නවීකරණයේ ව්‍යාපෘතියට මතවාදී ආධිපත්‍යය පිහිටුවාලීමත්ය. මතවාදී ආධිපත්‍යය සඳහා වන තම කතිකාමය අරගලය තමන් විසින්ම හෝ තම මිත්‍ර කණ්ඩායමක් විසින් හෝ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා කෙරෙන උත්සාහයක් සමග බද්ධ කිරීම තුළින් තමන් අපේක්ෂා කරන “සමාජ විපර්යාසය” සාක්ෂාත් කරගැනීමට මග සැලැසේ යැයි ඔවුහු විශ්වාස කරති.

(මතු සම්බන්ධයි)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s