පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස්

නලින් ස්වාරිස්

නලින් ස්වාරිස්

කොළඹ උපත ලද ආචාර්ය නලින් ස්වාරිස් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සහ ඉන්දියාවේ අධ්‍යාපනය ලබා කතෝලික පූජකත්වයට ඇතුලත්ව කලක් සේවය කර ඉන් ඉවත් වී විදේශ ගත විය. නෙදර්ලන්තයේ දී සමාජ කටයුතු පිළිබඳ සහ තුලනාත්මක ආගම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධි දෙකක් ලබා ගත් ඔහු ඉන් එකක් කුම් ලවුඩේ (cum laude) නම් ගෞරව සම්මානය සහිතව ලැබීය. ඔහු උට්‍රෙච්ට් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ මානව විමුක්තිය සඳහා බුදුන්ගේ මග (The Buddha’s Way to Human Liberation) නම් නිබන්ධයට ද දර්ශනශූරී උපාධිය පිරිනමන ලද්දේ කුම් ලවුඩේ ගෞරව සම්මානය සහිතවය. ඔහු එම විශ්ව විද්‍යාලයේ ආගමික හා දර්ශන අංශයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කලේය. ග්‍රීක, ලතින්, ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ මනා නිපුණයෙකු වූ ඔහු බටහිර මෙන්ම පෙරදිග දර්ශනයන් පිළිබඳ විශාරදත්වයක් පල කලේය.

කලක් මාක්ස්වාදියෙකු වූ ඔහු විජය කුමාරතුංග සමග ශ්‍රි ලංකා මහජන පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වයට එක්විය. මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම එක්සත් ජාතීන්ට ද උපදේශකයෙකු වීය. සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන් ද සමාජ, දේශපාලන හා සංස්කෘතික කරුණු අරභයා ඔහු විචාරශීලී මැදිහත්වීමක් කල අතර පශ්චාත් ව්‍යුහවාදී අදහස් සිංහලෙන් හඳුන්වාදීමේදී පුරෝගාමී විය.පසුගිය කාලයේ විශ්ව විද්‍යාල තුළ මෙන්ම ඉන් පිටතද බොහෝ කණ්ඩායම් ඔහු සහ ඔහුගේ දැනුම හඹා පැමිණි අතර “එක්ස්” කණ්ඩායම ඔහු ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයා යැයි වරක් තම සඟරාවක දැක්වීය.

එක්ස් කණ්ඩායම 1997 ඔක්තෝබර් මාතොට කලාපයේ නලින් ස්වාරිස් හඳුන්වා දුන් ආකාරය

එක්ස් කණ්ඩායම 1997 ඔක්තෝබර් මාතොට කලාපයේ නලින් ස්වාරිස් හඳුන්වා දුන් ආකාරය

අප පහත යළි පළ කරන්නේ 2003 මැයි 28 වෙනි දින දිනමිණ පුවත්පතේ පලවූ නලින් ස්වාරිස් සමග ශෂී ප්‍රභාත් රණසිංහ කල සම්මුඛ සාකච්ඡාවකි.

පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස්

ශෂී ප්‍රභාත් රණසිංහ (මම) :

වර්තමාන සමාජ සාහිත්‍ය සම්භාෂණය තුළ උණ හෙම්බිරිස්සාව මෙන් කතිකා කෙරෙන “පශ්චාත් නූතනවාදය” කසායක අනුපාන ගානට අද පත් වී තිබෙනවා. ඒත් ලංකාවේ ඇතැම් බුද්ධිමතුන් කියන්නේ ලංකාවේ උපන් පශ්චාත් නූතනවාදී යෝධ පැටියා තිඹිරිගෙයිම මිය ගිය බවයි. ශ්‍රී ලංකාවට පශ්චාත් නූතනවාදය හඳුන්වා දීමට පුරෝගාමී වූ ඔබ මේ පිළිබඳ දරන අදහස පැහැදිලි කලොත්?

නලින්:

අප පශ්චාත් නූතනවාදය හැදෑරිය යුත්තේ එය අවිචාරවත් ලෙස අනුකරණය කිරීම සඳහා හෝ එය හුදු විලාසිතාවක් බවට පත් කර ගැනීම සඳහා හෝ නොවෙයි. පශ්චාත් නූතනවාදය හා සම්බන්ධ ඇතැම් අංග ලක්ෂණ හා විශ්වාස අපගේ සංස්කෘතියට හා චින්තන රටාවන්ට කොයිතරම් දුරට ගැළැපේ ද යන්න මුළින්ම අප සිතා බැලිය යුතුයි. ඇතැම් ඒවා අපේ සංස්කෘතිය හා චින්තන රටා තුලනාත්මක පදනමක පිහිටා අවලෝකනය කිරීමට අනුබලයක් වීමටත් පුළුවන්. කවුරු කොහොම කිව්වත් මේ විචාරවාදය විචාර පූර්වකව විමසීම අපගේ යුතුකමක්. එක්දහස් නමසිය අසූ ගණන්වලත් අනූගණන් වලත් පශ්චාත් නූතනවාද ලොව පුරා බුද්ධිමතුන් අතර ඉතා සීඝ්‍රයෙන් පැතිරී ගියා. නමුත් අද එහි ප්‍රභාව කෙමෙන් අඩු වෙමින් පවතිනවා‍. වෙනත් විචාරවාද වගේම පශ්චාත් නූතනවාදයත් තව දශක දෙකකින් පමණ මැකී යාමටත් ඉඩ තියෙනවා. ඒත් අප අවට ඇති ලෝකයත්, සත්තාවත් අවබෝධ කරගැනීමට දරන ලද පරිශ්‍රමයක් ලෙස එය විමර්ෂණයට ලක් කිරී‍මෙන් අපගේ විචාර බුද්ධිය පුළුල් කර ගත හැකියි.

Modern යන වචනය Modo යන ලතින් වචනයෙන් එන්නකි. එහි තේරුම Just Now “මේ දැන්” නැතිනම් “තත්කාලීන” යන්නයි. ඒ අනුව තත්කාලීන යන අර්ථයට “නවීන” හා “ප්‍රගතිශීලී” යන අර්ථයන් ලැබුනේ බටහිර ව්‍යවහාරය තුළින්.

“නවීන” හා “ප්‍රගතිශීලී” යන යන අදහස් ඇති වන්නේ 18 වන ශතවර්ෂයේදී ඇතිවන ප්‍රබුද්ධත්වයේ යුගයත් (Enlightenment) සමඟය. ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ යුරෝපය, කතෝලික ප්‍රොතෙස්තන්ත්‍ර ආදී වශයෙන් ආගමිකව බෙදී බයිබලයේ “නියම අර්ථයත්” දෙවියන්ගේ “නියම අයිතිකරුවන්” උදෙසා දරුණු ලෙස සටන් වැදුනා. මේ ලේ වැගිරීම් මැද එකල සිටි බුද්ධිමතුන්ට ක්‍රිස්තියානි නිධානය හා උරුමයන් මෙන් එහි වටිනා සාරධර්ම රැක ගත හැක්කේ කෙසේද යන ගැටලුව මතු වුනා. මෙහිදී අන්ධානුකරණයෙන් ආගමික වත්පිළිවෙත් වලට පදනම් වූ විශ්වීය සදාචාරික මගක් ගැනීම ඊට ඔවුන්ගේ පිළිතුර වුනා. මේ විශ්වීය සදාචාරය ඓතිහාසිකව විකාශණය වූයේ බටහිර ශිෂ්ටත්වය පෙරටුකොට ගෙනයි. බටහිර ශිෂ්ටත්වය නොකඩවා ඉතිහාසය තුළ යුගයෙන් යුගය පරිණාමය වෙමින් පැමිණ බටහිර හා බටහිර නොවන සමාජ අතර එක්තරා බෙදීමක් ඇති කලා. මෙහිදී බටහිර “නවීනය”, “ප්‍රගතිශීලීය” යන්නත්, බටහිර නොවන සමාජ “සම්ප්‍රදායික” හා “ගතිකත්වයෙන්” තොර ඒවා ලෙසටත් වර්ග කෙරුණා.

එහෙයින් සෙ‍සු ලෝකය ශිෂ්ට කර ඔවුනට නව ජිවනයක් සළසා දීමේ ව්‍යාපෘතිය බටහිර භාර ගත්තා පමණක් නොව යුරෝපයේ යටත් විජිත ව්‍යාපාරය සාධාරණීකරණයට ද අවස්ථාවක් එමඟින් සැලසුනා.

මේ ලෙසින් “නවීන” හා “ප්‍රගතිශීලී” ගමනක් යාමට විසිවෙනි ශතවර්ෂයට පය තැබුවේ එය ශිෂ්ටත්වයේ හිනිපෙත්තටම යන රන් යුගයක ආරම්භයක් යන බලාපොරොත්තුව ද විශ්වාසය ද කැටුවයි. නමුත් “රන් යුගයට” පය තැබූ සැනින් පළවැනි ලෝක මහා සංග්‍රාමය ඇති වී මිලියන ගණන් ජනයා මරා දැමුනා. ඉන් දශක දෙකක් ඉකුත් වීමට මත්තෙන් දෙවන මහා ලෝක සංග්‍රාමය එළැඹිණි. එහිදී ද මිලියන ගණනක් ජනයා මරා දැමූ අතර මිලියන 8 ක ජනතාවක් (යුදෙව්වන් හා වෙනත් ජාතීන්) නට්සින් විසින් “දැනුවත් සැලසුමකට”අනුව සමූල ඝාතනය කළේ ශිෂ්ට යුරෝපයේ හදවත බඳු වූ ජර්මනියේදී. හැඟීම් විරහිතව විචාරශීලී ආකෘතියකින් මෙසේ ක්‍රියා කිරීමෙන් විචාරශීලී බටහිර පුරුෂයාගේ ශිෂ්ටත්වය ඇතිකිරීමේ ව්‍යාපෘතිය සහමුලින්ම කඩා වැටුණා. ශිෂ්ටත්වය මැනීමේ මිම්ම ලෙස “බටහිර ශිෂ්ටත්වය” එනම් තමාව පූර්වාදර්ශයට ගත යුතු යයි පුරසාරම් දෙඩූ අභිමානය දෙදරා වැටුණි. ප්‍රගතිශීලී නවින ගමන වෙනුවට මානව වර්ගය ඉතා ම්ලේච්ඡ ප්‍රාථමික අවගමනයකට පසු බැස්සවූ නූතනත්වයේ ව්‍යාපෘතිය මුළුමනින්ම අර්බුදයට පත් වුනා. මේ බටහිර ශිෂ්ටත්වය තුළ තිබූ අර්බුදය පශ්චාත් නූතනවාදී තත්ත්වයයි. කෙටියෙන් කියතොිත් නිදහස් විචාරශීලී බටහිර (සුදු) පුරුෂයාගේ ශිෂ්ටත්වය කරා යන (නවීන ප්‍රගතිශීලී) ඓතිහාසික ව්‍යාපෘතිය කඩා වැටීම “පශ්චාත් නූතනවාදී” තත්ත්වයයි.

එදා හිටපු බුද්ධිමතුන් අන්ධ විශ්වාසවල පිහිටාගෙන සාරධර්ම ස්ථාපිත කරන්න උත්සාහ කළා. නමුත් විචාර බුද්ධියෙන් මෙය සාර්ථකව ඉටු කලේ බුදුන්වහන්සේ විතරයි. මේ නිසා අපගේ අරමුණ විය යුත්තේ පශ්චාත් නූතනවාදය විචාරාත්මක විශ්ලේෂණයකට ලක් කිරීම විනා එය අන්ධ භක්තියකින් යුතුව පිළි ගැනීම නොවෙයි. පශ්චාත් නූතනවාදය යන වචනයට වඩා මෙය පශ්චාත් නූතන තත්ත්වය යනුවෙන් අර්ථකථනය කිරීමට මා කැමතියි‍.

මම:

පශ්චාත් නූතනවාදයෙහි එක් වැදගත් මූලස්ථම්භයක් බවට පත් වී තිබෙන විසංයෝජනය නූතන චින්තන ලෝකයේ මහා පරිවර්තනයක් ඇති කිරීමට සමත් වී තිබෙනවා‍. මෙම සිද්ධාන්තය පාදක කර ගනිමින් නවකතාවට නව වේෂයක් දීමට ඇතැම් ලේඛකයන් උත්සාහ කරනවා. මේ ගැන ඔබට මොකද හිතෙන්නේ?

නලීන්:

විසංයෝජනය සියලු මිනිස් සමාජ තුළ ඉතිහාසය පුරා දක්නට ලැබුණු දෙයක්. සෑම සමාජ පෙරළියක් සමඟම ‍එතෙක් පැවැති අධි නිශ්චයන්, ඒකාකෘතිකයන්, කෘත්‍ය සාධනයන් සියල්ල විසංයෝජනයට ලක් වෙනවා. මේ අනුව මෙම නිශ්චිත සමාජ ඓතිහාසික තත්ත්වය මඟින් එම විසංයෝජනයේ සීමාවන් තීරණය කිරීමට පටන් ගන්නවා. ලංකාවේ නූතන බුද්ධිමය සංස්කෘතිය තුළ විසංයෝජනය උපයුක්ත කිරීමට පුරෝගාමී වූ ලේඛිකාව හැටියට මා දකින්නේ කැතරින් ද සිල්වා පමණයි. ඇගේ ලේඛන තුළ විසංයෝජනය මැනවින් පිළිබිඹු වෙනවා. බුදුන්වහන්සේගේ සූත්‍ර දෙසුම් තුළත් මෙය අන්තර්ගත වී තිබෙනවා. නමුත් පශ්චාත් නූතන තත්ත්වයන්ගෙන් බැහැර අවස්ථාවක්හිද විසංයෝජනය ක්‍රියාවළිය දැක ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ විසංයෝජනයට කිව්වේ “විසංකාරය” කියලයි. සංස්කරණය කළ ලෝකයක් තුළ විසංයෝජනය පිළිබඳ වඩාත් පුළුල් ලෙස පර්යේෂණය කළ යුතු බව ඩෙරීඩා කියනවා.

මම:

පශ්චාත් නූතනවාදයේ භාෂාත්මක අංශය මැනවින් විග්‍රහ කොට ඇති ජැක් ඩෙරීඩා, මිනිසා භාෂාත්මක නිර්මිතයන් බව පවසනවා. මෙය පශ්චාත් නූතනවාදය සම්බන්ධයෙන් වැදගත් මූල ධර්මයක් හැටියටයි මට පෙනෙන්නේ?

නලීන්:

පශ්චාත් නූතනවාදීන් මූලික ප්‍රඥප්ති ගණනාවක් නිර්මාණය කර තිබෙනවා. මිනිසා භාෂාත්මක නිර්මිතයන් බවත්, ලෝකය වටහා ගැනීමට ඉවහල් වන මහා ආඛ්‍යාන නොමැති බවත් මිනිසාගේ පුද්ගලත්වය සාමාජික සංස්කෘතීන් සංකථනයන්හි ප්‍රතිඵලයක් බවත් පරමත්වය මිථ්‍යාවක් බවත්, සාපේක්ෂකත්වය සර්වචාර්ය ධර්මතාවයක් බවත් විදග්ධ සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය අතර භේදයකට වඩා වැදගත් වන්නේ සංස්කෘතික නිෂ්පාදනය යන සංකල්පය බවත් ඔවුන් පවසනවා.

ඩෙරීඩට අනුව භාෂාව යනු වෙනස්කම්වල මාදිළියක්. භාෂාව මිනිසුන් හෙළිදරව් වන ප්‍රධාන සාධකයක් බව ඔහු පවසනවා. නමුත් අපි උපදිනකොට භාෂාවක් නැති ජීවියෙක් හැටියටයි එළියට එන්නේ. කාල් මාක්ස් සහ සිග්මන් ෆ්‍රොයිඩ් භාෂාව සාමාජික සම්මුතියක් බවද කිව්වා. අපේ දෛනික ගනුදෙනුවලට සන්නිවේදනය කිරීම සඳහා උපයෝගී කර ගන්නා භාෂාවට පාරභෞතික අර්ථයක් දෙන්න බැහැ.

උප විඥානයේ තියන දේවල් ආසායෙන් වැහිලා තියෙන්නේ කෙනෙකුගේ බලය මත බව ඩෙරීඩා කියනවා. ඩෙරීඩා කරන්නේ මේ සැඟවුන දේ සොයාගෙන යාමයි. ඩෙරීඩට ලෝකයේ දේවල් හෙළිදරව් කරන්න පුළුවන්. ඒත් සමාජය වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඩෙරීඩා අපට ප්‍රතිකාරකයක් දෙන්නේ නැහැ. නමුත් බුදුන්වහන්සේ මේ සියල්ල ප්‍රායෝගික මට්මමෙන් කර පෙන්නුවා.

මම:

පශ්චාත් නූතනවාදී සිද්ධාන්තවේදියෙකු වන මිචෙල් ෆූකෝ “කායිකත්වයට” මුල්තැන දෙමින් පශ්චාත් නූතනවාදය විග්‍රහ කරනවා. මේ පිළිබඳ ඔබේ අදහස පැහැදිළි කළොත්?

නලින්:

ෆූකෝ කියන්නේ අපි මනසින් බැරෑරුම් ‍ෙද්වල් මොනවා කතා කළත් සියල්ල අවසානයේ සිරුර මත රඳා පවතින බවයි. කුණුකය කිව්වට අපි හැම දේම කරන්නේ සිරුරෙන්. පශ්චාත් නූතන තත්ත්වයට අනුව මනසත් සිරුරත් අතර අවියෝජනීය සම්බන්ධයක් පවතිනවා. කය මූලික වුනාට මෙය ලිංගිකත්වය අවධාරණය කරන දහමක් නොවෙයි.

පශ්චාත් නූතනවාදීන් විදියට සලකන ලේඛකයන් වුන අරුන්දතී රෝයි, බෂෙවිස් සිංගර්, නැබෙකොව්, කසන් සාන්ස්, මිලාන් කුන්දේරා, සල්මන් රෂ්ඩි, ගුන්තර් ග්‍රාස් ආදීන්ගේ කෘති කියවන විට හිතෙන්නේ පශ්චාත් නූතනවාදය ලිංගික චර්යාවන් අනාවරණයට අතගහපු සාහිත්‍ය දහමක් කියලයි. මිචෙල් ෆුකෝ මෙය විග්‍රහ කළේ කායිකත්වයට මුල් තැන දෙමින් මනුෂ්‍ය ජීවිතය විනිවිද ගිය සාහිත්‍ය සත්තාවක් ලෙසයි.

මම:

සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මත හා සංකල්ප නව පදනමක් මක පිහිටා විෂ්ලේෂණය කළ ජැක් ලැකාන් පශ්චාත් නූතනවාදයට මනෝවිද්‍යාත්මක මානයක් දීමට උත්සාහ කල චින්තකයෙක්. මෙහි තිබෙන මනෝවිද්‍යාත්මක පදනම ගැන ඔබට මොකද හිතෙන්නේ?

නලින්:

පශ්චාත් නූතනවාදය අර්ථවත් කරන්නේ එය ඉතිහාසයේ ප්‍රවණතාවක් විදියටයි. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝ විද්‍යා සංකල්ප මෙන්ම කාල් මාක්ස්ගේ දේශපාලන චින්තනයත් මෙයට තදින්ම බලපෑවා. මෙහි මනෝවිද්‍යාත්මක තලය ගැන කතා කිරීමට ප්‍රථම පශ්චාත් නූතන තත්ත්වයේ පසුබිම පිළිබඳ කතා කළ යුතුයි. එහෙත් පශ්චාත් නූතන තත්ත්වය ගැන නූතනවාදය (Modernism) ගැන නොදැන කතා කරන්නට බැහැ. නූතනවාදය බිහිවුනේ පළමු ලෝක සංග්‍රාමයෙන් පස්සෙයි. නමුත් පශ්චාත් නුතනවාදය බිහිවන්නේ දෙවන ලෝක සංග්‍රාමයත් සමගමයි. යුද්ධයෙන් පස්සේ ඇති වුන මනුෂ්‍ය ජීවිතය, පරිසර, දේශපාලනය නූතනවාදයට වගේම පශ්චාත් නූතනවාදයටත් බලපාන දෙයක්. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මනුෂ්‍ය ජීවිතයේ බිහිසුනු අත්දැකීම් අතිශය නූතන ලෙස නිරූපණය කළ යුතු බව පශ්චාත් නූතනවාදීන් කියන්න පටන් ගත්තා‍.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ සමාජයේ ඇති වූ දැවැන්ත පිපිරීම් නිසා විවාහ ජීවිතය පරිසර කුදු මහත් මනුෂ්‍ය ජීවිතය තුළ ඇති වූ වෙනස් වීම් බව මාණයකින් බැලිය යුතු බව තමයි පශ්චාත් නූතනවාදයෙන් කියැවෙන්නේ.

ලැකාන් කියන්නේ මනෝවිද්‍යාත්මක තලයෙන් ෆ්‍රොයිඩ්ට නව ජීවිතයක් දුන්න පුද්ගලයෙක්. අපි ලියන කියන වචනවල කිසියම් ව්‍යාකරණ මාලාවක් පවතිනවා. මේ නිසා ඒවාට කොටු වෙමින් තමයි අපි හැම දෙයක්ම කරන්නේ. නමුත් ෆ්‍රොයිඩ් කියන්නේ මිනිසාගේ උප විඥානයට මේ කිසිඳු ව්‍යාකරණ නීතියක් බලනොපාන බවයි. පශ්චාත් නූතනවාදය හරහා ලැකාන් කියන්නේ අපි කරන හැම දෙයක්ම සංඥාර්ථ දනවන බවයි. මෙය ඉතා සාර්ථක ප්‍රකාශයක්. මම හිතන්නේ ලැකාන්ගේ මනෝ විශ්ලේෂණය අපේ වෛද්‍යවරුන් පවා තාම දන්නේ නෑ.

මම:

X කණ්ඩායම ‘ලන්ඩන්’ සඟරාව මෙන්ම ඔවුන්ගේ විවිධ ලිපි ලේඛන මඟින් ඩෙරීඩලා ෆූකෝලා ගැන අකිශයෝක්ති සහගතව කතා කරනවා. X කණ්ඩායමේ මතවාද ගැන ඔබට මොකද හිතෙන්නේ?

නලින්:

අන්තර්ජාලය බලලා ඩෙරීඩලා, ෆූකෝලා ගැන කතා කරන X කණ්ඩායම එහෙන් මෙහෙන් අහුලා ගත් (Junk) දැනුමින් යුතු බුද්ධිමතුන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා. අද අපේ රටේ බුද්ධිමය සංවාද අඩුයි. X කණ්ඩායම මේ අඩුව පුරවන්න හදන්නේ මිනිසුන්ට මැක්ඩොනල්ඩ් කන්න දීලා. ඩෙරීඩලා ෆූකෝලාගේ දර්ශනය මටවත් තේරුම් ගන්න අමාරුයි. කවුරු හරි කියනවා නම් මම ඩෙරීඩා දන්නවා කියලා ඒ පුද්ගලයාව වහාම මනෝ විශ්ලේෂණයකට ලක් කළ යුතුයි.

ඩෙරීඩලා විධිමත් අධ්‍යාපනයක් ලබා ගෙනයි පශ්චාත් නූතන තත්ත්වය ගැන කතා කරන්නේ. ඔවුන් මාක්ස්වාදය පවා හොඳින් හදාරපු බුද්ධිමතුන්. භාෂා ඥානය අතිනුත් ඔවුන් හුඟක් පොහොසත්. ඉංග්‍රීසි භාෂාවත් හරියට දන්නේ නැති පිරිසක් ඩෙරීඩලා ෆූකෝලා ගැන කතා කරනවා. ප්‍රමිතියක්, සදාචාරයක් නැති සමාජයකයි අද අපි ජීවත්වෙන්නේ‍. අපි නූතන වෙන්න කළින් ප්‍රාග් නූතන වෙලා ඉවරයි. කලාවට ප්‍රමිතියක් නැහැ. සංස්කෘතියට ප්‍රමිතියක් නැහැ. නොදන්න බහුභූත කතා කරලා බොරු සිවිල් ප්‍රතිරූපයක හදා ගන්න X කණ්ඩායම දඟලනවා. කාගේ හරි පොතක් දෙකක් කියවලා අපි තමයි ඔක්කෝම දන්නේ කියලා ඒ අය කියනවා. ව්‍යාජ මතවාද ඉදිරිපත් කරන පිරිසකට සමාජ වටිනාකමක් ලැබෙන්නේ නැහැ.

මම:

අපේ රටේ හැමදෙනාම හිස්ටීරියාවකින් පෙළෙනවා කියලයි X කණ්ඩායම කියන්නේ?

නලින්:

X කණ්ඩායම පවතින්න හදන්නේ අනෙක් අයව ලෙඩ කරලා. මේක ෆ්‍රොයිඩ්වත් කරපු නැති දෙයක්. මං කියන්නේ නැහැ ෆ්‍රොයිඩ්ව මම සම්පූර්ණයෙන්ම දන්නවා කියලා. අනික එහෙම කියනවා නම් මම මෝඩයෙක්. හැබැයි X කණ්ඩායමේ ‘ජන්ක්’ බුද්ධිමතුන් වගේ නොවෙයි‍. අවුරුදු 18 දී මම ෆ්‍රොයිඩ් කියෙව්වේ. නමුත් X කණ්ඩායම කියනවා නම්, අපි ෆ්‍රොයිඩ්ව දන්නවා කියලා ඒක තමයි මේ සියවසේ ලොකුම විහිළුව‍. මේ මානසික විකෘතිතාවයට කියන්නේ “මෙගොලෝමේනියාව” කියලා. හිස්ටීරියාවෙන් පෙ‍ලෙන අය ඉන්නේ X කණ්ඩායම ඇතුලේමයි. පශ්චාත් නූතන තත්ත්වය විග්‍රහ කරන්න බුද්ධිමතුන් ලංකාවේ නැහැ.

මම:

X තමන් ‘ලන්ඩන්’ සඟරාව මඟින් ලංකාවේ මිනිසුන් ශිෂ්ට කරන්න හදන බව X කණ්ඩායම කියනවා?

නලින්:

“ලන්ඩන්” කියන වචනයේ සංඥාර්ථය ශිෂ්ටත්වය කියන එකයි. ඒත් සිංහලෙන් සඟරාවක් ගහලා එකට ලන්ඩන් කියලා අපි කියනවා නම් ඒක විහිළුවක්. ලන්ඩන්වල වැලි කැටයක්වත් පාගලා නැති පිරිසක් බටහිර ශිෂ්ටයි කියලා පරසක්වළ ගහනවා.

අවුරුදු ගණනාවක් යුරෝපයේ විවිධ රටවල්වල හිටපු මං ඒ රටවල තියන මානසික විකෘතිතාවයන් මොනවද කියලා හොඳට දන්නවා. X කණ්ඩායම ශිෂ්ටයි කියලා දෙයක් ඔළුවේ හදාගෙන අනෙක් අය අශිෂ්ටයන් හැටියට සලකනවා. මේ ප්‍රමිතිය කව්ද දන්නේ නැහැ දුන්නේ.

“ලන්ඩන්” කියන්නේ මිනිස්සුන්ට ද්වේශ සහගත ලෙස මඩ ගහන්න හදපු කසිකබල් සඟරාවක්. මිනිස්සු කී දෙනෙක් මේක කියවනවද කියලා මං දන්නේ නැහැ. මේ ගොල්ලෝ බොරු ජිම්නාස්ටික් පෙන්නලා නිකන් අතපය උළුක්කු කර ගන්න හදනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )