ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය කිරීමත් බුලත් හැපීමත් දෙකම ‘සංස්කෘතික‘ වීම
ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය කිරීමත් බුලත් හැපීමත් දෙකම ‘සංස්කෘතික‘ වීම
අලාන් ෆින්කල්ක්‍රෝත් තම කෘතිය පාඨකයාට හඳුන්වා දෙන්නේ පහත සඳහන් පරිදි ය.
“ ෂොන්-ලුක් ගොඩා (Jean-Luc Godard) ගේ විව්ර ස වි (vivre sa vi, ‘ඇගේම ජීවිතය ජීවත් වීමට‘) නමැති චිත්‍රපටියේ දාර්ශනිකයාගේ චරිතය රඟන බ්‍රයිස් පරේන් ඔහු වඩා උසස් ජීවිතය ලෙසින් ද හඳුන්වන මනසේ ජීවිතය එදිනෙදා ජීවිතය සමඟ සසඳයි.
බටහිර ශිෂ්ඨාචාරයේ මූලික ගොඩනැඟුම් ගලක් වන මෙම ධූරාවලීය විශිෂ්ඨභාවය හැමවිටමත් සභංගුර බිමෙක පිහිටා තිබී ඇත. අදටත් මෙය අතිමහත් විවාදයක් අවුස්සාලයි. කෙසේ වුවත් මෑතකදී පක්ෂ සහ ප්‍රතිපක්ෂ දෙපිරිසේම තර්ක නව දිශාවකට හැරී ඇත. දැන් ඔවුන් ගේ හැම එක් පාර්ශ්වයක් ම තම ආස්ථානය වෙනුවෙන් සටන් වදින්නේ සංස්කෘතියේ නම කැඳවමිනි. නමුත් සංස්කෘතිය යන්නෙන් ඔවුහු අතිශයින් වෙනස් දේ අදහස් කරති. එක් පාර්ශ්වයක් මනසේ ජීවිතයේ විශිෂ්ඨත්වය සහතික කිරීමට මෙම සංකල්පය යොදාගන්නා අතර අනෙක දවසක කාලය ගෙවන අතරතුර කරන සරළ අභිනයන් ගේ සිට ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය කිරීම දක්වා සියලු දේ සංස්කෘතික යැයි කියමින් මනසේ ජීවිතයේ විශිෂ්ඨත්වය ප්‍රතික්ෂේප කිරීමට එය යොදාගනියි. එකකට අනෙකට වඩා අභිරුචියක් පළකරන්නේ මන්ද? සිතීමට ගෙතීමට වඩා , නැතහොත් බුලත් හැපීමට, හෝ ඝනකමට බටර් ගෑ කර කළ පාන් කැබැල්ලක් උණු කෝපි කෝප්පයක පෙඟවීමේ පාරම්පරික උදෑසන වතාවත රඟ දැක්වීමට වඩා වරප්‍රසාදිත තත්වයක් ලබා දෙන්නේ මන්ද?
අපේ සංස්කෘතික ජීවිතයේ ව්‍යාධියක් පිළිබඳ හැඟීමක් තිබේ. මෙම වචනය ඇසෙත්ම කවරෙකුවත් තුවක්කුවක් එළියට ඇදීම අද සිදුවිය නොහැක්කකි, යන්න සැබෑවකි – නමුත් කවරදාකටත් වඩා වැඩි ප්‍රමාණයක් ජනයා “මනසේ ජීවිතය“ ට අභියෝග කරන්නට තමන්ගේ සංස්කෘතිය කරා යොමුවෙමින් සිටිති. මෙම ජනයාගේ මතුවීම සහ විජයග්‍රහණය පිළිබඳ කතාව මෙම පොත කියයි.”
ෆින්කල්ක්‍රෝත් කියන්නේ බටහිර ශිෂ්ඨාචාරයට එය ප්‍රමුඛ කොට සළකන දේ පිළිබඳ ඇගයීමක් තිබී ඇති බවය. නමුත් මනසේ ජීවිතය එදිනෙදා ජීවිතයට වඩා උසස්ය යන අදහස පරාජය වීමේ අනතුර හැම විටමත් තිබී ඇත. මේ දක්වා එම අනතුර සැබෑවක් බවට පත් වීමට සමත් වී නොතිබුණැයි ෆින්කල්ක්‍රෝත් ගේ ප්‍රකාශයෙන් ගම්‍ය වුවද ඔහුගේ අවසන් නිගමනය මනසේ ජීවිතය ට අභියෝග කරන ජන පිරිසක් මෑත කාලයේ වැඩි වැඩියෙන් මතුවී විජයග්‍රහණය කොට ඇති බවයි. උත්ප්‍රාසජනකව මෙය සිදුවී ඇත්තේ සංස්කෘතිය නාමයෙනි. එය සිදුවන්නේ ‘සංස්කෘතිය‘ යන්න වෙනුවට ‘සංස්කෘතික‘ යන්න ආදේශ කිරීමෙනි. සංස්කෘතියට හිමි තැනට ‘තමන්ගේ සංස්කෘතිය‘ ගැනීමෙනි.
ඉතින් සංස්කෘතිය යනු කුමක් ද?
මෙම ගැටුමේ එක් පාර්ශ්වයකට අනුව සංස්කෘතිය යනු මනසේ ජීවිතයේ විශිෂ්ඨත්වය ප්‍රකට කෙරෙන, එහෙයින් මනසේ ජීවිතය, සිතීම සමග සබැඳි ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය හා බැඳි පරිමණ්ඩලයි. මීට ප්‍රතිපක්ෂව ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණයත් එදිනෙදා ජීවිතයේ ජනයා යෙදෙන සරල ප්‍රායෝගික ක්‍රියා මෙන්ම පුරුද්දෙන් යෙදෙන වතාවත් ද එක හා සමානව සංස්කෘතික යැයි අනෙක් පාර්ශ්වය කියා සිටින විට එය මනසේ ජීවිතය විශිෂ්ඨ යැයි යන අදහස ප්‍රතික්ෂේප කරයි. එනයින් සංස්කෘතිය පිළිබඳ වෙනත් කියැවීමක් ඉදිරිපත් කරයි. ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණයේ සිට එදිනෙදා ජීවිතයේ ජනයා කරන දේ දක්වා වන සියලු දේ සංස්කෘතික යැයි කියන විට ඒ හැම දේකටම ලැබෙන්නේ එක හා සමාන වටිනාකමකි. කිසිවක් වඩා උසස් හෝ වටිනාකමින් අඩු හෝ නොවේ. සියලු දේම සංස්කෘතික නම් එකකට වඩා වෙනකකට අභිරුචිය දැක්විය යුත්තේ මන්ද? ඉන් කියැවෙන්නේ හරියට විශදභාවය පිළිබඳ හැඟීමක් ජනයාට අහිමි වූ බවක් ද?අද සංස්කෘතික ජීවිතයේ ඇතැයි ෆින්කල්ක්‍රෝත් දක්වන ව්‍යාධිය පිළිබඳ හැඟීම එන්නේ සංස්කෘතික දේ නාමයෙන් සංස්කෘතිය පරාජය කිරීම ට ජනයා යොමුවීම හේතුවෙනි.
මනසේ ජීවිතය පරාජය වීමට ජනයා තමන්ගේ සංස්කෘතිය කරා යොමු වෙමින් සිටින්නේ යැයි කීමෙන් ගම්‍ය කරන කරුණ වන්නේ මනසේ ජීවිතය ත් ‘තමන්ගේ සංස්කෘතිය‘ ත් අතර වෙනස යි. මනසේ ජීවිතය හා බැඳුණු සංස්කෘතිය ත්, තමන්ගේ සංස්කෘතිය දෙකම එක නොවේ යැයි මෙයින් කියැවෙයි.
සියලු දේම සංස්කෘතික යැයි යන අදහස ඉදිරිපත් කරන්නේ, සංස්කෘතිය යනු එදිනෙදා ජීවිතයේ කටයුතු හා සසඳන කල වඩා උසස් මනසේ ජීවිතය සමඟ බැඳුණු දෙයක් යැයි කීමෙන් එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතු පහත් යැයි කියැවෙන බව සිතා විය යුතුය. නමුත් එය එසේ විය යුතුද? මනසේ ජීවිතයේ වඩා උසස් යැයි කීමේ අදහස සමාජීයව වඩා ප්‍රමුඛතාව දිය යුතු අංගය දෛනික ජීවිතය නොව මනසේ ජීවිතය යන්න මිස ජනයා දෛනික ජීවිතයේ යෙදෙන කටයුතු පහත් යැයි යන්න නොවේ; ජන ජීවිතයට හුදෙක් දෛනික දිවිය ගෙවනවාට වඩා උසස් අරමුණක් තිබිය යුතුය යන්නයි. අපදෛනික ජීවිතය පවත්වාගෙන යන්නේ ඒ වෙනුවෙන්ම නොවේය යන්නයි.
‘සංස්කෘතිය යන වචනය ඇසෙන විට මගේ අත තුවක්කුවට යන්නේය‘ යන ප්‍රකාශය හිට්ලර්ගේ නාට්සි පක්ෂයේ නායකයන් වූ ජෝෂප් ගොබෙල්ස් හෝ හර්මන් ගොරිං කියූවක් යැයි ප්‍රසිද්ධ නමුත් එසේ නොව හන්ස් ජොහ්ස්ට් ගේ ෂ්ලාගෙටර් (Schlageter) නමැති ජර්මානු නාට්‍ය යේ එන දෙබසකැයි පිළිගැනෙයි. වැදගත් වන්නේ එයින් කියැවෙන්නේ සංස්කෘතිය දේශපාලනයට ඉමහත් බලපෑමක් කරන්නේය යන්නයි. සංස්කෘතිය දේශපාලනයට බලපාන්නේ කෙසේද? ජර්මනියේ නාට්සි පාලන සමයේ ‘සංස්කෘතිය‘ යැයි සඳහන් කළ විට නාට්සිවාදීන්ගේ අත තුවක්කුවට ගියේ නම් අද “මනසේ ජීවිතය“ නොහොත් ‘සංස්කෘතිය‘ යැයි කියන විට ඊට අභියෝග කරන්නට ජනයා තමන්ගේ සංස්කෘතිය කරා යොමු වීම ද ඒ හා සමාන දේශපාලන වැදගත් කමක් ඇති ක්‍රියාවකැයි ෆින්කල්ක්‍රෝත් යෝජනා කරන බව පෙනෙයි.
*The Defeat of the Mind ඉංග්‍රීසි පරිවර්තනය 1995 දී පළ වීය. එය ප්‍රංශ බසින් මුල් වරට පළ වන්නේ 1987 දීය.
කුමුදු