“ අපේ ජාතිය, අපේ සාහිත්‍යය, අපේ භාෂාව ඒවා අපේය, ඒවා අපමය, එපමණක් ප්‍රමාණවත් “

බදාදා සටහන
අලාන් ෆින්කල්ක්‍රෝත්

අලාන් ෆින්කල්ක්‍රෝත්

අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind * (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – දෙවැනි කොටස

ෆින්කල්ක්‍රෝත් තවදුරටත් මෙසේ කියයි:

ජීවගුණය පිළිබඳ අදහස් මුල් බැස ගනියි

ජූලියන් බෙන්ඩා 1926 දී The Treason of the Intellectuals (බුද්ධිමතුන්ගේ ද්‍රෝහීත්වය ) නමැති පොත පළ කළේය. එහි විෂය වූයේ “ලොවට අධ්‍යාපනය දෙන්නන් සතු සදාචාර මතියන් හි මහා විපර්යාසයක් ” යන්නයි. යුරෝපීය බුද්ධිමතුන් සාමුහික ආත්මයේ අද්භූත ගැඹුර පිළිබඳ ගනිමින් සිටි උද්යෝගිමත් උනන්දුව පිළිබඳ බෙන්ඩා කනස්සල්ලට පත්වීය. මනසේ කටයුතු කිරීමට තෝරාගනු ලැබූ අය විශ්වීයවාදය ප්‍රතික්ෂේපකරමින් සහ සුවිශේෂතාවන් උත්කර්ෂයට පමුණුවමින්, එක් ජනකායක් වෙනත් එකකින් වෙනස් කළ ගුණාංග කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ගේ ඉපැරණි කැඳවීම (calling) ට ප්‍රහර්ෂයෙන් යුතුව එරෙහි වූ ආකාරය ඔහු විවේචනය කළේය. ශාස්ත්‍රඥයන්ගේ ප්‍රජාවේ තම සමකාලිකයන් සදාකාලික වටිනාකම් ඉහලින් ඔසොවා තැබීම පිළිබඳ තම උනන්දුව අත්හැරදමා තිබූ බව බෙන්ඩා මවිතයෙන් සටහන් කළේය. ඒ වෙනුවට ඔවුන් අනිථිභීතිකාව පිළිබඳ භාවයන් අවුස්සාලමින්, ජාතීන්ට තමන්ටම පමණක් ප්‍රේම කරන්නට සහ ඇළුම් කරන්නට, “අන් සියළු ජාතීන්ට එරෙහිව භාෂාව, කලාව, සාහිත්‍යය, දර්ශනය, ශිෂ්ටාචාරය, ‘සංස්කෘතිය‘ අතින් උත්තරීතර “ ලෙසින් තමන්ම ඉදිරිපත් කරන්නට යැයි කියා සිටිමින් තම දක්ෂතා සහ ගරුනාමය ප්‍රත්‍යන්ත අරමුණු වල සේවය සඳහා පිරිනැමූහ.

සංස්කෘතිය පොදුවේ ගැනීමේ සිට සුවිශේෂව මගේ සංස්කෘතිය දක්වා වන මෙම තත්වාන්තරකරණය නූතන යුගයේ සැබෑ ලකුණ, මානව වර්ගයාගේ සදාචාර ඉතිහාසයට එහි නිශ්චයාත්මක සහ වෙනකකට එහි හිලව් නොකළැකි දායකත්වය වීය. සංස්කෘතිය කලෙක එතුළ මිනිසාගේ අධ්‍යාත්මික සහ නිර්මාණශීලී ජීවිතය වර්ධනය වූ කලාපය වී තිබුණි. දැන් එය මගේ සංස්කෘතිය, මා අයිති ජනයාගේ මානසිකත්වය, මගේ උත්තුංගතම සිතුවිලි සහ මගේ දෛනික පැවැත්මේ සරලතම ඉඟි කා වැදුණු ජීවගුණයක් බවට පත්ව තිබුණි. බෙන්ඩාම පැහැදිළි කළ පරිදි සංස්කෘතිය යන්නේ මෙම දෙවැනි අරුත ජර්මානු රොමෑන්තිකවාදයෙහි මූලයන් තිබුණු එකකි.

ෆින්කල්ක්‍රෝත් ඉහත් සාකච්ඡා කරන පරිදි ජූලියන් බෙන්ඩා බුද්ධිමතුන් එනම් මනසේ කටයුතු කිරීමට තෝරාගනු ලැබූ අයගේ කටයුත්ත ලොවට අධ්‍යාපනය දීම ලෙසින් හඳුනා ගනියි. ඔවුන්ගේ අරමුණ විය යුත්තේ ලෝකය මිස ප්‍රත්‍යන්ත දෑ නොවේ. මානව බුද්ධියට අරමුණ විය යුත්තේ ලෝකය යි. මෙහි ලෝකය යනු විශ්වීය පරිමණ්ඩලය මෙන්ම ප්‍රත්‍යන්ත දෑ ඉක්මවන පොදු ලෝකය යන්නද විය හැකිය. විශ්වීය පරිමණ්ඩලය කෙරෙහි යොමු වන්නට නම් පොදු ලෝකය කෙරෙහි එළඹුම මුල් තැනට ආ යුතුය. විශ්වීයවාදය යටකොට සුවිශේෂතාව ප්‍රහර්ශයට නඟන තැන උනන්දුව ඇත්තේ මානවයන් සමූහයක් වශයෙන් එක් කරන නොව ඔවුන් එකිනෙකාගෙන් වෙන් කරන ගුණාංග පිළිබඳය. සදාකාලික වටිනාකම් යනු කාලයෙන් හා අවකාශයෙන් සීමා නොවී සදහටම මිනිසුන් අතර පවත්නා වටිනාකම් වෙයි. ඒවා පැවතිය හැක්කේ විශ්වීය මට්ටමෙන් පමණි. එක් ජන කොටසකට හෝ කිහිපයකට සදාකාලික විය නොහැකි හෙයිනි. සදාකාලය යනු එක් ජන කොටසක් හෝ කිහිපයක ජීවන කාලය ඉක්මවා පවතින්නක් වන හෙයිනි.

අන් ජාතීන්ට එරෙහිව තමන් උත්තරීතරයැයි කියා පෑමෙහි පමණක් පලක් නොමැත්තේ එය විශ්විය තලයෙහි ඇගයීමට ලක් නොවන තාක් කල් එය හුදෙක් කියා පෑමක් පමණක් වන හෙයිනි. තමන් උත්තරීතරයැයි කියා පෑමෙහි නිශේධනාත්මක අරුතින් වුව විශ්විය තලයේ පැවැත්ම පිළිගැනීමක් ගම්‍ය වෙයි.

ෆින්කල්ක්‍රෝත් තර්ක කරන පරිදි සම්ප්‍රදායිකව සංස්කෘතිය යන්නේ හරය තිබී ඇත්තේ එය ‘මිනිසාගේ අධ්‍යාත්මික සහ නිර්මාණශීලී ජීවිතය වර්ධනය වූ කලාපය‘ යන අදහසෙහි ය. එසේ නොමැතිව මිනිසා සිටින තත්වය ප්‍රකාශයට පත්වන ස්වරූපය ලෙසින් ගැනීමෙහි නොවේ.

බෙන්ඩා සටහන් කරන්නේ යුරෝපීය සමාජයේ සිදුවෙමින් පැවැති චින්තන විපර්යාසයක් සමාජීය වශයෙන් ප්‍රකාශයට පත්වූ සංසිද්ධියක් පිළිබඳය.

The Defeat of the Mind (මනසේ පරාජය)

The Defeat of the Mind (මනසේ පරාජය)

ෆින්කල්ක්‍රෝත් යළි මෙසේ කියයි:
Volksgesit (ෆොල්ක්ස්ගයිස්ට්) නැතහොත් ජනයාගේ ජීවගුණය පිළිබඳ සංකල්පය පළමුවරට ප්‍රාදූර්භූතවූයේ හර්ඩර් (Herder) ගේ අදහස්වලය. මොන්ටෙස්කියු ගේ අදහසක් රැඩිකල්කරණයට ලක් කරමින් හර්ඩර් කියා සිටියේ ඉතාමත් උච්ඡ සිට ඉතාමත් නිහතමාන දක්වා සියලු ජාතීන් සතුව එකක් අනෙකට අතුරුමාරු කළ නොහැකි සත්තාවේ අද්විතීය ආකාරයක් තිබුණු බවයි. හර්ඩර් ට අනුව ජාතික සීමාවන් ඉක්මවා යන සියළු නීතිමය, සෞන්දර්යාත්මක හෝ සදාචාරමය වටිනාකම් වලට තම ස්වෛරීභාවය අහිමි වී තිබුණි.ෆින්කල්ක්‍රෝත් ඉහත දක්වන පරිදි හර්ඩර් මෙලෙස ප්‍රකාශ කරන්නේ ජාතිකවාදයේ ආගමනයයි. ඒ අනුව ජාතීන් අතර උසස් කම අතින් වෙනස් කම් තිබිය හැකි වුවද ඒවා හැම එකක්ම අද්වීතිය ය. ජාතික සීමාවන් ඉක්මවා යන කිසිදු වටිනාකමක් නොමැති නම් ජාතීන් අතර උසස්කම් පිළිබඳ විනිශ්චයක් කිරීමද නොහැකි ය.

ෆින්කල්ක්‍රෝත් තව දුර මෙසේ කියයි:
මානව නිර්මාණ සන්දර්භයෙන් පිටත ඇගයීමට ලක් කළ හැකිය, ඒවා නිෂ්පාදනය කර තිබූ ස්ථානයෙන් පිටතට ගෙන, යහපත, සත්‍යමය බව හෝ සුන්දරබව යනු කුමක්ද යන අකාලික නිර්ණායක වලට අනුව විනිශ්චය කළ හැකිය යන, තමන් ව්‍යාජයක් ලෙසින් දුටු, අදහස කෙළවරක් කරන්නට හර්ඩර් ට අවශ්‍ය වීය. පරමාදර්ශීය ප්‍රතිමාණ කාණ්ඩයකින් කරුණු මනිනවා වෙනුවට ඔහු පෙන්වා දුන්නේ ප්‍රතිමාණම හැමවිටමත් පැවතී නොමැති බවයි. ඒවාමත් සුවිශේෂ සන්දර්භයකට, කාලයේ කිසියම් ලක්ෂ්‍යයක ඇරඹුණු ඉතිහාසයකට අයිති වීය. වෙනත් අයුරකින් කියතොත් මෙම ප්‍රතිමාණ කරුණු වලටම වැඩි යමක් නොවීය. හර්ඩර් සදාකාලික යහපත, සත්‍යමය බව, සහ සුන්දරදෙය ඒවා ශ්‍රී විභූතියෙහි උණුසුම ලබමින් සිටි දෙව්ලොවෙන් එළියට වීසි කරමින්, ඒවා ප්‍රෘථිවියට සහ ඒවායේ වඩා නිහතමානී සම්භවයන් කරා ආපසු යවමින්, ඒවායේ ජන්ම ස්ථානයට ආපසු යැවීය.

ෆින්කල්ක්‍රෝත් යහපත, සත්‍යමය බව, සහ සුන්දරදෙය යන සංකල්ප සම්බන්ධයෙන් දෙව්ලොව පිළිබඳ කරන සඳහන එම සංකල්ප අනුභූති උත්තර ස්වභාවයක් ගන්නා ඒවා බව කියැවෙයි. මානව නිර්මාණ ඒවා අයිති සන්දර්භයෙන් පිටතට ගෙන ඇගයිය නොහැකි නම් ඒවා ඇගයීමේ පදනම වන්නේ කුමක් ද යන ගැටළුව මතුවෙයි.

යළිත් ෆින්කල්ක්‍රෝත් කියවමු:
පරමයක් නොමැති යයි හර්ඩර් ප්‍රකාශ කලේය, ඇත්තේ කලාපීය වටිනාකම් සහ අනිශ්චිත මූලධර්ම පමණි. සියලු කාලවලට සහ අවකාශයන්ට අයත් වනවා වෙනුවට එක් එක් ඓතිහාසික සමයයන් සහ ජාතිය සුවිශේෂ ආකාරයේ මානවීයත්වයක් හා සාදෘශ්‍ය ය. සොක්‍රටීස් : යේසුස් ක්‍රිස්තුස් ට පෙර පස්වැනි සියවසේ ඇතීනියානුවෙක්. බයිබලය: කාල සමයයන් කිහිපයක් තිස්සේ හීබ්‍රෑ ආත්මයේ කාව්‍යමය ප්‍රකාශනය යි. දිව්‍යමය වූ සියළු දේ මානවීය වීය; වචනය පවා ඉතිහාසයට අයිති වීය.

ෆින්කල්ක්‍රෝත් ඉදිරිපත් කරන හර්ඩර් ගේ අදහස් මතුකරන ගැටළුව වැදගත්ය. පරමය යනු කුමක් ද? මානව සත්තාව තුළ පරමය පිළිබඳ අදහස පළකරන සම්බන්ධය කුමක් ද? හර්ඩර් ගේ ඉහත අදහස් සැබෑ නම් කාලය සහ අවකාශය ඉක්මවා යන වැදගත්කමක් සොක්‍රටීස්ට, යේසුස් ක්‍රිස්තුස් ට, බයිබලයට ලැබෙන්නේ කෙසේද?

ෆින්කල්ක්‍රෝත් තවදුරටත් මෙසේ කියයි:

කාලයේ ගෙවීයාමට වැදගත් තැනක් නොදුන් පැරැන්නන් හා විසසඳන කළ, වෙනස්වීම වැදගත් යැයි හර්ඩර් විශ්වාස කළ අතර ඔහු ඉතිහාසයේ භූමිකාව විශ්ලේෂණය කිරීමෙහි ලා තම සමකාලිකයන් සමඟ එක් වීය. විශ්වීය ප්‍රතිමාණ වලින් සන්නද්ධව ඉතිහාසයේ පරිමණ්ඩලය ජය ගැනීමට අපේක්ෂා කළ නූතනයන් මෙන් නොව එම එකම අවි යොදාගැනීම හර්ඩර් ප්‍රතික්ෂේප කළේය. උදාහරණයක් දෙතොත් ඔහු විචාර බුද්ධිය සහ සිරිත අතර වෙනස පිළිගත්තේ නැත. හර්ඩර් ට විචාර බුද්ධිය ප්‍රගතිශීලීමය ලෙස සිරිත සහ අගතිය පරදා ජයගනු ඇත යන වොල්ටෙයාර් ගේ අදහස ප්‍රචණ්ඩත්වය සහ අපරාධ පිළිබඳ සදාකාලික චක්‍රයක් පිළිබඳ සම්භාව්‍ය පිළිබිඹුව හා සමානවම මෙන් අරුතක් නොදැනවීය. ඉතිහාසය විචාර බුද්ධියෙන් වියෝ කොට මානව වර්ගයාගේ ම්ලේච්ඡත්වය සහ අනුවන ක්‍රියා – සදාචාරවාදීන් කළාක් මෙන් – ඒකාකාරී කෝපයෙන් යුතුව හෙළා දැකීම යමෙකුට කළ නොහැකි යැයි හර්ඩර් කීය. යමෙකුට එම දහඅට වැනි සියවසේ ප්‍රංශ දාර්ශනිකයන් අනුව යමින්, – ඔවුන් කළාක් මෙන් – ශිෂ්ටාචාරයේ ආයාසකර, සන්තතික, රේඛීය චලනය මනිමින්, අනාගතය විචාර බුද්ධියට අනුගත කරන්නට උත්සාහ කිරීම ද කළ නොහැකිය. බුද්ධික හෝ සහේතුක පවා වූයේ ඉතිහාසය නොව, ඓතිහාසික වූයේ විචාර බුද්ධිය යි: කාලයාගේ ඇවෑමෙන් උපත ලද මානවීයත්වයයේ බොහෝ ස්වරූපයන්ගෙන් හැම එකකටම ඒවායේ ස්වාධීන පැවැත්ම , ඒවායේ අන්තර්වර්තී අවශ්‍යතාව, ඒවායේ තනි තනි විචාර බුද්ධිය සතුවීය.

ෆින්කල්ක්‍රෝත් ඉහත දක්වන පරිදි, පැරැන්නන් මෙන් නොව නූතනයන් කාලය ඉතිහාසීය කාලය ලෙසින් දකියි. එනමුදු නූතනයන් පැරැන්නන්ගෙන් විශ්වීය ප්‍රතිමාණ උරුම කර ගනියි. වොල්ටෙයාර් ගේ අදහස් අයිති ප්‍රබුද්ධත්වය (the Enlightenment) ටය. විචාර බුද්ධිය විශ්වීය ප්‍රතිමාණයක් ලෙස ගැනීමේ ප්‍රබුද්ධත්ව අදහසින් කියැවෙන්නේ කුමක් ද? ඒ අනුව සිරිත් සහ අගතිය දුරුකෙරෙන තරමට විචාර බුද්ධිය වැඩි වැඩියෙන් ලොව වැඩෙයි. නමුත් විචාර බුද්ධිය වැඩීම යනු හුදෙක් සිරිත් සහ අගතිය දුරුකිරීම පිළිබඳ කරුණක්ද? හර්ඩර් ගේ අදහස විචාර බුද්ධිය විශ්වීය ප්‍රතිමානයක් නොව ඓතිහාසික එක් එක් ජාතීනට තනි තනිව අයත්වන බවය.

යළි ෆින්කල්ක්‍රෝත් වෙතට:

[ හර්ඩර් අනුදත් ]මෙම දර්ශනයට වොල්ටෙයාර් නිර්දේශ කළ එකට සෘජුව ප්‍රතිපක්ෂ ක්‍රමවේදයක් අවශ්‍ය වීය. අපරිමිතව නම්‍යශීලී මානවයන් එක හා සමාන හෝ ඒක රූපී ආකාරයේ යැයි පිළිගැනෙන ආකාරයකට හැඩගස්වනවා වෙනුවට, “ කිසියම් ඊජිප්තියානු සද්ගුණයක් එහි අවකාශයෙන් සහ කාලයෙන් එනම් මානව පරිකල්පනයේ ළදරු භාවයෙන් මුලිනුපුටනු, සහ වෙනත් යුගයක් ඇසුරෙන් එහි වටිනාකම පෙන්වීමට උත්සාහ කිරීම“ වෙනුවට සමාන දේ සමාන දේ සමඟ සැසඳීමට යමෙකුට සිදු වීය: ඊජිප්තියානු සද්ගුණයක් ඊජිප්තියානු දේවස්ථානයක් සමඟින්, සොක්‍රටීස් ස්පිනෝසා හෝ කාන්ට් සමඟ නොව ඔහුගේ සියරැටියන් සහ ඔහුගේ කාලයේ මිනිසුන් සමඟ.

ෆින්කල්ක්‍රෝත් දක්වන පරිදි ප්‍රබුද්ධත්වය මානවයන් එක් ආකාරයකට හැඩ ගැස්වීම පිළිබඳ විශ්වාසය තැබීය. එය හරියට මානව හැකියාවන් විශ්වීය ව සැසඳීම වැනිය. විවිධ කාල හා අවකාශ පරාසයන්හි මානව නිර්මාණ සැසැඳීමෙන් අගය කිරීමෙන් විශ්වීය ප්‍රතිමාණ බිහි වැය හැකිවාක් මෙනි.

යළි ෆින්කල්ක්‍රෝත්:

හර්ඩර් ට අනුව වොල්ටෙයාර්ගේ [මත ]අන්ධභාවය පිළිබිඹු කළේ ඔහුගේ ජාතියේ අහංකාරයයි. ඔහුගේ චින්තනය ව්‍යාජ වී නම්, වැරදි ලෙස, ඔහු ඓතිහාසික අවස්ථාවන් බහුවිධතාවක් එකට එක් කළේ නම් ඔහු එසේ කළේ තම රටේ (ප්‍රංශයේ) සහ ඔහු ජීවත් වූ යුගයේ (ප්‍රබුද්ධත්වයේ ) උසස් බව පිළිබඳ විශ්වාස කළ හෙයිනි. තමන් විචාර බුද්ධිය යැයි හැඳින්වූ දෙයෙහි ආලෝකයෙහි තබා ඉතිහාසය විනිශ්චය කිරීමෙන් සුවිශේෂී සහ කාලයෙන් බැඳුණු සිතීමේ ආකාරයකට සදාකාලික මාන පැවරීමෙන් ඔහු අහංකාරවීමේ පාපය කළේය. වොල්ටෙයාර් – ප්‍රංශ හේතුඵලවාදයේ අරමුණු අනුව යමින් – ප්‍රංශයේ දේශසීමා ඒවායේ ජාතික සීමා ඉක්මවා යමින් ව්‍යාප්ත කිරීමට සහ සෙසු ලෝකය යටත් කරගැනීමට වූ තම ආශාව තුළ ප්‍රදර්ශනය කළේ විජයග්‍රහණය කිරීමේ එකම ජීවගුණය යි. වොල්ටෙයාර් යුරෝපීය ජාතීන් විශේෂයෙන් ජර්මනිය මත ප්‍රංශ බුද්ධිමය යදම් සවිකරමින් අතීත ඓතිහාසික සිද්ධීන් තම රටේ නිල දෘශ්ටීන්ට අනුව අර්ථකථනය කළේය. මූලිකවම වොල්ටෙයාර් ප්‍රබුද්ධත්වය (the Enlightenment) අවකාශයට එවිටමත් යොදා තිබූ බලහත්කාරයෙන් සමාග්‍රහණය කරගැනීම පිළිබඳ එකම කටයුත්ත ඓතිහාසික කාලය විශ්ලේෂණය මතත් ආරුඪ කළේය. හර්ඩර් ට අවශ්‍ය වූයේ එක පහරින් මෙම වරද නිවැරදි කොට අධිරාජ්‍යවාදය හා සටන් වැදීමයි, සියලු දෙනාම සමාන ය යන මූලධර්මයෙන් ඉතිහාසය නිදහස් කොට වෙනස්වීමෙහි ලා අභිමානවත් හැඟීමක් හැම ජාතියකටම යළි ලබාදීමයි. ඓතිහාසික කරුණු වල අතිරෝහණක මූලධර්ම ස්ථාපිත කරන්නට ඔහු උද්‍යෝගිමත්ව උත්සාහකලේ නම් ඔහු එසේ කළේ ඔවුන්ගේ උත්කෘෂ්ට තත්වයෙන් ලබාගත් බියවද්දන සුලු බලයන් සදහටම ඔවුන්ගෙන් සොරා ගැනීමටයි. අනාගත වක්තෘන් කථා කළේ තමන්ගේ රට තුළ සිටි අය වෙනුවෙන් නිසා තමන්ම හැර අන් කිසිවක් කෙරෙහි සැළකිල්ලක් දැක්වීම ජනයා නැවැත්වූහ. ජනතාවකගේ තනි භාවයට හානි පැමිණවීමට හෝ ඔවුන් තමන් තුළ රැගෙන යන ජීවගුණය, ප්‍රාඥභාවය වෙනතකට යොමු කිරීමට කිසිවකට, කාලයෙන් අවකාශයෙන් ස්වාධීන වූ කිසිදු සදාකාලික පරමාදර්ශයකට , ඉඩ නොදිය යුතුය. “මිනිසුන් අපේ ජාතිය, අපේ සාහිත්‍යය, අපේ භාෂාව ගැන හොඳ හෝ නරක කියපුවාවේ: ඒවා අපේය, ඒවා අපමය, එපමණක් ප්‍රමාණවත් වීමට ඉඩ දෙන්න.“ (හර්ඩර්)

ආරම්භයේ සිට, වඩා නිවැරදිව කියතොත් ප්ලේටෝගේ සිට වොල්ටෙයාර් දක්වා මානව විවිධත්වය විනිශ්චය කරන ලද්දේ සවි වූ වටිනාකම් පිළිබඳ අධිකරණයෙහිය. එවිට දේවල් අනෙත් පැත්තට හැරවූ හර්ඩර් පැමිණියේය. ඔහු විවිධත්වයේ අධිකරණයෙහි විශ්වීය වටිනාකම් දන්ඩණයට යටත් කළේය.

ෆින්කල්ක්‍රෝත් දක්වන පරිදි හර්ඩර් විශ්වාස කළේ වොල්ටෙයාර් ප්‍රංශයේත් ප්‍රබුද්ධත්වයේත් උසස් බව පිළිබඳ විශ්වාසයෙන් පොළඹවන ලදුව විශ්ව ප්‍රතිමාන පිළිබඳ අදහස් ඉදිරිපත් කළ බවයි. ඒ අනුව ප්‍රංශ ප්‍රබුද්ධත්වය ප්‍රංශ අධිරාජ්‍යවාදයේ ප්‍රකාශනයකි. ප්‍රංශ රාජ්‍යය අවකාශය විජයග්‍රහණය කළේ නම් ප්‍රංශ දාර්ශනිකයෝ කාලය විජයග්‍රහණය කළහ. ප්‍රංශය අනෙකුත් යුරෝපීය ජාතීන් විශේෂයෙන්ම ජර්මනිය මත කම ආධිපත්‍යය පිහිටුවමින් තිබුණි. ජර්මානු ජාතික හර්ඩර් තම සංකල්ප ගැන්වීම් කරන්නේ මෙම පසුබිමෙහිය. නමුත් හර්ඩර්ගේ සංකල්පීකරණයන් ප්‍රංශ ජර්මානු ගැටුම ඉක්මවා යන න්‍යායික වැදගත් කමකින් යුතු වීය. එය විවිධත්වය සහ විශ්වීය වටිනාකම් පිළිබද එතෙක් පැවැති මානව අවබෝධය ආපසු හැරවීම අරමුණු කළේය.

යළි ෆින්කල්ක්‍රෝත්:

නමුත් හර්ඩර් තනියෙකු වීය. 1774 දී දෙවැනි ෆ්‍රෙඩ්රික් රජුව සිටි අතර ප්‍රබුද්ධත්වය සැළකිය යුතු ගරුත්වයක් අත් වින්දේය. ෆොල්ක්ස්ගයිස්ට් පිළිබඳ අදහස පැතිර යන්නේ ප්‍රශියාව ජෙනා හිදී පසු බැසීමෙන් පසු සහ ඉන් අනතුරුව නැපෝලියන් රට යටත් කර ගත් පසුය. රාජ්‍යයන් විශාල සංඛ්‍යාවකට කඩනු ලැබ ජර්මනිය තම ඒකීයත්වය පිළිබද හැඟීම යළි අත්පත් කරගත්තේ ෆොල්ක්ස්ගයිස්ට් මඟිනි. එය විජයග්‍රහණය කරන ප්‍රංශයකට ජර්මානුවන්ගේ ප්‍රතිචාරය වීය. ඔවුන්ගේ යුදමය පරාජයට සහ යුද්ධයෙන් පැරදීමට ඔවුන්ට ගෙවන්නට සිදුවූ දඩය වූ ආත්ම ගෞරවය කෙළෙසන යටත් කර ගැනීමට මෙම සාමුහික අනන්‍යතාවෙන් දැණුනු උත්කර්ශය වන්දියක් වීය. තම සංස්කෘතිය අසිරිමත්ව අනාවරණය කරගැනීම තුළින් ජාතිය එය විඳිමින් සිටි නින්දාවෙන් සැනසීමක් ලැබීය. තම බලරහිත වීම අමතක කරන්නට ඔවුහු ජර්මානු වූ හැම දෙයක්ම ලාලසාවෙන් යුතුව වැළඳ ගත්හ. ජර්මානු සුවිශේෂභාවයේ නාමයෙන් ඔවුහු ප්‍රංශයේ අධිපතිභාවය යුක්ති යුක්ත කිරීමට යොදාගත් ප්‍රංශයන්ගේ විශ්ව වටිනාකම් ප්‍රතික්ෂේප කළහ. නීති විශාරදයෝ සහ කවීහු මෙම ජර්මානු පෙළැන්තිය තහවුරු කිරීම තම මෙහෙය කරගත්හ. නීතිඥයෝ මේවා සාමුහික නිර්මාණයක් ලෙස, ජාතියේ ජීවගුණයේ අරමුණු නොකළ සහ නිහඬ ඵල ලෙස දකිමින් සම්ප්‍රදායික විසඳුම් – සිරිත්, ආප්ත, සහ කියමන් – ජර්මානු නීතියේ පදනම ලෙස ගත්හ. කවියෝ විදේශීය අදහස් ඇතුළු කිරීමට එරෙහිව මෙම ජාතික ජීවගුණය රැක බලා ගත්හ. ලතින් මූලයන් තිබූ ජර්මන් වචන වලා තැනට, අතිශයින් ජර්මනික වූ වෙනත් ඒවා ගැනීමෙන් භාෂාව පිරිසිදු කිරීමට යොමුවූහ. ජනප්‍රිය ගීතවල මිහිදන්ව තිබුණු සම්පත් අනාවරණය කරගැනීමට, සහ ඒවා ගැයීමෙන් අහිංසකභාවයේ, නැවුම් භාවයේ සහ පරිපූර්ණත්වය පිළිබඳ තත්වයේ ආකෘතිය බවට – විදේශීය හමුවෙන් තවම විනාශ නොවූ – ජනයාගේ තනි ස්වභාවය ඒකස්වනයෙන් තවමත් ප්‍රකාශිත, ජනශ්‍රැතිය පත්කරන්නට ද ඔවුහු යොමුවූහ.

ප්‍රබුද්ධත්ව දාර්ශනිකයෝ තමන්ව “විචාර බුද්ධියේ සාමකාමී ව්‍යවස්ථා සම්පාදකයන්“ ලෙස නිර්වචනය කළහ. සත්‍යයේ සහ යුක්තියේ පතීන් වූ ඔවුහු ඒකාධිපත්‍යය, සහ අනෙකුත් දූෂ්‍ය කිරීම් සහ පරමාදර්ශීය නීතියක සාධාරණත්වය අතර විශදභාවයක් ඇති කළහ. ජර්මානු රොමෑන්තිකවාදීහු හරියටම එහි ප්‍රතිපක්ෂය කළහ: ෆොල්ක්ස්ගයිස්ට්වල වරප්‍රසාදිත භාරකරුවන්, නීති උගතුන් සහ ලේඛකයෝ විශ්වීය නීතිය හෝ පරමාදර්ශීය නීතිය පිළිබඳ අදහසට අභියෝග කළහ. ඔවුහු සංස්කෘතියේ නාමයෙන් අගතිය සහ අඥානභාවය පසුපසට තල්ලු කිරීමට තවදුරටත් යොමු නොවූ නමුත් ඔවුන් එහි ආරක්ෂකයන් වූ, ජනයාගේ අද්විතීය ආත්මය එහි සියලු ගාම්භීර අසහායභාවයෙන් ගෙනහැර දැක්වීමට යොමු වූහ.

ෆින්කල්ක්‍රෝත් වොල්ටෙයාර් සහ හර්ඩර් නමැති චින්තකයන් දෙදෙනා ගේ අදහස් ගැටුම විග්‍රහ කරමින් ගොඩ නඟන්නේ ප්‍රබුද්ධත්වයට එරෙහිව ජාතිකත්වය මතුව ඒම පිළිබඳ ආඛ්‍යානයකි. එකළ ප්‍රංශය හා ජර්මනිය අතර පැවති දේශපාලන ගැටුම වොල්ටෙයාර් සහ හර්ඩර් ගේ අදහස් සම්පාදනයට පදනම් වී ඇති බව ෆින්කල්ක්‍රෝත් පෙන්වා දෙයි. ප්‍රබුද්ධත්වය යුරෝපයට නූතනත්වය ඉදිරිපත් කළාය. ප්‍රංශය ප්‍රබුද්ධත්වයේ ජන්ම භූමියයි. ජාතිකවාදය ජර්මනියේ උපත ලබන්නේ ප්‍රබුද්ධත්වය හා බැඳි ප්‍රංශ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියට ප්‍රතිචාරයක් වශයෙනි. ජාතිකවාදය පිළිබඳ කතිකාව ගොඩ නැංවීමට හර්ඩර් ගේ දායකත්වය පෙන්වා දෙන්නේ කතිකාවන් සම්පාදනයෙහි ලා පුද්ගල භූමිකාවයි. ජාතිකවාදය පැණ නැඟීම ඓතිහා‍සික අනීවාර්යයක් නොවේ. විශ්වීය ප්‍රතිමාණ පිළිබඳ සම්භාව්‍ය චින්තනයෙන් නූතනත්වය උකහා ගත් අදහස ජාතිකවාදී කතිකාව ගොඩ නැංවීමේ ක්‍රියාවලිය තුළ ප්‍රතික්ෂේප කෙරෙයි. ජාතිකවාදයෙන් උපත ලබන සුවිශේෂයේ සහ ප්‍රත්‍යන්තයේ වැදගත්කම පිළිබඳ අදහස පසු කලෙක පශ්චාත් නූතනවාදයේ ප්‍රධාන සංකල්පයක් බවට පත්විම උත්ප්‍රාසජනක නොවේද? මෙය වත්මන් සිංහල ජාතිකවාදීන්ගේ ද ප්‍රධාන සංකල්පීය අවියක් වීම පුදුමයක් නොවේ. නමුත් මෙය හරහා ජාතිකවාදීන් සහ පශ්චාත් නූතනවාදීන් එක්වන ලක්ෂ්‍යයක් ඔබට පෙණෙන්නේද?

– කුමුදු

*The Defeat of the Mind ඉංග්‍රීසි පරිවර්තනය 1995 දී පළ වීය. එය ප්‍රංශ බසින් මුල් වරට පළ වන්නේ 1987 දීය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s