සරච්චන්ද්‍ර උන්නැහේගේ දෙවනි මරණය
සරච්චන්ද්‍ර උන්නැහෙ කියන්නේ මොනතරම් වටින වස්තුවක්ද කියලා මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මතක් කරල දෙන්න ඕන කමක් තියෙනවායැ. උන්නැහෙලා, මාදුලුවාවේ නායක හාමුදුරු ගොල්ලෝ ඇත්ත කථා කළා කියලා ධර්මිෂ්ඨ ආණ්ඩු සලකපු විදිය බුලර්ස් පාරේ බෞද්ධ සමිති සම්මේලන හෝල් එක ලඟ තියෙන කාණු වලට අදත් මතක ඇති මගේ හිතේ. ඒ පාපකර්ම වලට හවුල් වෙච්ච ඇමතියෝ එතකොට ඔය මොකක්ද සේවක සංගමේ මොකක්ද ඔව් ඔව් ජාතික සේවක සංගමේ කෙරුම්කාරයෝ වැඩිදෙනෙක් ධර්මිෂ්ඨ ලොක්කොත් එක්කම වැලිගම් ගිහින් උනාට, තව කෙරුම්කාරයෝ දැනටත් ලොක්කෝ වෙලා ජනාධිපතිතුමාගේ අත් දෙක ශක්තිමත් කරන්නේ ඔය යස අපූරුවට. අනිච්චං දුක්ඛං සංසාරේ කිව්වාලු. කලකදි වහලු කලකදි රහ වෙනවාලූ කියලා තියෙන්නේ කට කහනවට යැ. ඕන් ඒකෙන් මේකෙන් මගීට කියන්න ආපු කතාවත් අමතක වුනානේ. සරච්චන්ද්‍ර උන්නැහෙගේ උපන් දිනේ වගේම උන්නැහෙගේ අපිට නැති වෙච්ච දවසත් පහු වුනානේ පසුගිය අගෝස්තු 16 වෙනිදා. අනේ ඉතින් අවුරුදු දාහතක් ගෙවිලා ගියාද කියලත් හිතෙනවා. 96 දී නැති වෙච්ච උන්නැහේ ගැන මගීට මහා අරුම පුදුම ලියවිල්ලක් හම්බවුනානේ කියවන්න. දිනපතා පත්තරේක. මොකක්ද පත්තරේ? හරි රිවිර කියන පත්තරේට රත්නපුරේ පැත්තේ කවිකාර මහත්තැන් කෙනෙක්. කොඩිතුවක්කු වගේ නමක් තියෙන උන්නැහේ කෙනෙක්. සරච්චන්ද්‍ර උන්නැහේ ආපහු ඝාතනේ කොරනවද කියලා මගීට නිකමට කල්පනා වුනා එතුමාගේ ලියුම් කඩදහි දෙකක් කියෙව්වම. අඟහරුවාදා දවස් තුනක ඔය තිබුනෙ සරච්චන්ද්‍ර උන්නැහෙගේ ගැනයි පේරාදෙනිය ගැනයි. ඒ මදිවට උන්නැහේ තමන්ගේ නමගම වෙනස් කරපු එක ගැන පවා ඔය කවිකාර මහත්තැන් ලියල කියලා තිබුණ. අනේ ඉතිං මගීල වගේ පුරුතග්ජනයින්ට ඔය කවිකාර මහත්තැන්ල පත්තර පිටු පුරවලා ලියන කියන මළගිය ඇත්තෝ නවකතාවේ නැතෙයි කියන බෞද්ධ අනිත්තියතා දැක්මද මොකක්ද කියන එක වගේ දේවල් ගැන මහා දැනුමක් කොයින්ද? ඒවා ගැන කියෝල බලලා උන්නැහේල කියන කොරන කාරණාවල ඇත්තක් නැත්තක් තියනවාද කියලා මගීලටවත් තේරුම් බේරුම් කරලා දෙන්න පුලුවන්. සරච්චන්ද්‍ර උන්නැහේගෙම ගෝල බාල ආචාරිය, මහාචාරිය උත්තමයෝ හතර පස් දෙනෙක් මත් ඉන්නව නේද තාම. ඉතිං, ඒ කට්ටිය තමන්ගේ ගුරුතුමා අවුරුදු දහ හතකට පස්සේ ආපහු මේ විදියට ඝාතනය කරන්න ඉඩ දීලා නිස්සද්දව ඉන්නේ මොකෝ කියලා මගීලට තේරෙන්නේ නෑ. සරච්චන්ද්‍ර වගේ උත්තමයෝ ඉපදිලා අවුරුදු 100ක් වෙනකොට මේවා අහන්න වෙන එකනේ පුදුමේ අම්මපා.
මගී
ඇත්ත පුවත් පතේ මගියාගේ කොලම
සැප්තැම්බර් 01, 2013