නූතන සංකල්ප භාවිතයෙන් තොරව බෞද්ධ “කුමක් හෝ” සංකල්පනය කර ගැනීම
අප ඉහත “කුමක් හෝ” (whatever) යනුවෙන් නම් නොකර සිටි දෙය හඳුනා ගැන්මට ආවශ්‍යක වන්දනා ගමන උපකාරී වේ. එය නම් “සාසනය” යන්නයි. සිංහල භාෂාවේ ඉංග්‍රීසි “nation” යන්නට සමාන වචනයක් නැත. එහි තැන සිංහලයේ ගැනෙන්නේ “සාසනය” යන්න විසිනි. බෞද්ධ සම්ප්‍රදාය තුළ සාසනය යනු ජන වාර්ගික හා අන්‍ය සීමා අභික්‍රමණය කරන විශ්වව්‍යාපී බෞද්ධ සමාජයය. ඒ සමඟ සාසනය යන්න බුදුන් විසින් ශුද්ධ භූමියක් බවට පත් කරන ලද දේශයේ භූගෝළීය සීමා තුළ පිහිටුවා ඇති බෞද්ධාගමික ආයතනය ද වේ. මෙසේ සාසනය යන්න අරුත් දෙකකින් යෙදේ. එහෙයින් ශ්‍රී ලංකාවේ සාසනය හෝ හුදෙක් සාසනය යන නම අපගේ විමර්ශනය සඳහා එම සුවිශේෂ අරුතින් යොදා ගත හැකිය. සුවිශේෂ අර්ථයෙන් ගත් කල සාසනය යන්න “බෞද්ධ ඉතිහාසය” හා බද්ධ වී ඇති අතර විශ්වව්‍යාපී අර්ථයෙන් ගත් කල එය බෞද්ධ ධර්ම සම්ප්‍රදාය හා බද්ධ වී සිටී. මේ අර්ථ දෙක අතර විඝටනය බුදුසමයට ආවේණික වූවකි. සමකාලීන බෞද්ධාගමික ජාතිකවාදයේදී පුනරුත්තාපනය කර සිටින දුටුගැමුණු වීරරාජයා දමිළ මිත්‍යා දෘෂ්ටිකයන් හා සටන් වදින්නේ රාජත්වයේ ශ්‍රී විභූතිය උදෙසා නොව සාසනයේ ශ්‍රී විභූතිය උදෙසාය. එනම් ලංකාවට සුවිශේෂ වූ කාරණයක් සඳහාය. සිංහලයන්ට “ජාතිය” යන්න සඳහා යෙදිය හැකි වචනයක් නොතිබුණි. ඔවුන් යොදා ගත් “සාසනය” යන්නද nation යන්න මෙන් විවිධාර්ථ දනවන්නක් විය.
අප පහත පළකරන්නේ දීගල්ලේ මහින්ද හිමි සංස්කරණය කළ බුදුසමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය නමැති පොතෙහි පළ කොට ඇති මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන්ගේ “බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ (පිටු 23-64) නමැති දීර්ඝ ලිපියේ දෙවැනි කොටසයි. මෙම පොත ප්‍රකාශනය කොට ඇත්තේ නෝර්වේ හි ඔස්ලෝ නුවර නෝර්වේ බෞද්ධ සංගමය සහ එංගලන්තයේ බාත් ස්පා විශ්ව විද්‍යාලයේ ආගම් අධ්‍යයන දෙපාර්තමේන්තුව විසිනි. මෙම පොත 2002 වර්ශයේ ජූනි මස එංගලන්තයේ බාත් නගරයේ බාත් ස්පා විශ්ව විද්‍යාලයේ දී පැවැත්වුණු “බුදුසමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය“ නම් සම්මන්ත්‍රණයේ දේශන එකතුවෙන් සකස් කෙරුණකි. මෙම ලිපිය පළ කිරීමේ සියළු හිමිකම් දීගල්ලේ මහින්ද හිමි සතුය.
– දෙවැනි කොටස
නූතන සංකල්ප භාවිතයෙන් තොරව බෞද්ධ “කුමක් හෝ” සංකල්පනය කර ගැනීම
විටින් විට සම්පාදනය වූ මහාවංශයේ කොටස් තුළ ප්‍රායෝගික ව මුළු රට එක් සේසත් කල ලෙස හඳුනාගෙන ඇත්තේ දුට්ඨ ගාමිණී (ක්‍රි.පූ. 161-137) පළමුවන විජයබාහු (ක්‍රි.ව. 1070-1110) පළමුවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) සහ, අවසාන වශයෙන්, සයවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1411-1461) යන රජවරුන්ය. එහෙයින් ඉතිහාසයේ වැඩිපුර කලක් රාජ්‍ය මධ්‍යස්ථානය අස්ථාවරව පැවතුණි. එහෙත් එම බෞද්ධ “කුමක හෝ” නීත්‍යානුසාරීව මුළු දිවයිනටම අණසක පැවැත්වීමේ අයිතිය පිළිබඳ අදහස දිගින් දිගටම පැවැත ආවේය. විවිධ වශයෙන් කැබලි වී පැවැති “රාජ්‍යය” සමතික්‍රමණය කළා වූ මතවාදීමය ඒකාබද්ධතාව ගොඩනැගී තිබුණේ කෙසේද යන්න දැන් විස්තර කරනු කැමැත්තෙමි. බෞද්ධ ජන සංකල්පණය තුළ එම මතවාදීමය ඒකාබද්ධතාව නිර්මාණය කොට ප්‍රකාශ වූයේ කෙසේද?
1. හයවන සියවසේ රචිත මහාවංශයේ පළමු කොටසට අනුව බුදුරදහු මේ දිවයිනට තෙවරක් අහසින් වැඩියාහු මෙහි සිටි යක්ෂයන් ගිරිදීපයට පළවා හැර උතුරේ වාසය කළ නාගයන් අතර වූ දබරයක් සංසිඳවා ඔවුන් සිය දහමට හරවා ගත්හ. පසුව ශුද්ධ භූමි බවට පත් වූ කැළණිය, මහියංගනය හා සුමනකූටය යන තැන් බුදුන් වැඩි තැන් වේ. මේ ගැන විවාදයක් ඇත්තේ කලාතුරකිනි. මේ ගමන්වල අරුත පැහැදිළිය. දිවයින දුෂ්ට වූ යක්ෂයන්ගෙන් මුදාගෙන යහපත් වූ නාගයන් සම්‍යක් දෘෂ්ටියට හරවා තිබේ. බුදු පහසින් පරිශුද්ධ වූ ස්ථාන අතර සිරිපතුල පිහිටුවන ලද සුමනකූටය අතිශයෙන්ම වැදගත් වූ වන්දනා ස්ථානය බවට පත් වූවකි. බුදුරදුන්ගේ ගමන් මගින් අනාගතයේ බුදුසමය සුප්‍රතිෂ්ඨිත වන මේ ලංකා භූමිය අභිෂේක කලාක් වැන්න. සිංහලයන්ගේ ආදි පුරුෂයා වන විජයගේ ආගමනය සඳහා දිවයින සූදානම් කර තැබුණි.
2. විජය (ජයග්‍රහනය) කුමරු වනාහි තම පියා මරා සොහොයුරිය විවාහ කරගත් උතුරු ඉන්දියාවේ සිංහපුර රාජධානියේ රජ කළ රජුගේ දෙටු පුත් ය. දාමරික පිළිවෙත් නිසා ඔහු හා හත්සීයක් පිරිවර නැවක දමා පිටුවහල් කරනු ලදුව බුදුරදුන් පිරිනිවන් පානා දිනයේ දිවයිනට පැමිණෙති. ආධ්‍යාත්මික ලෝකයේ ජයග්‍රාහකයා (ජින) බුදුන් වන්නා සේ ගෙහසික ලෝකයේ ජයග්‍රාහකයා විජය වේ. පළමු වන බෞද්ධ රාජ්‍යයේ ආරම්භකයාට “විජය” නාමය දිවයිනේ පළමු ඉතිහාස ග්‍රන්ථය වන දීපවංශයේ ද පසුව මහාවංශයේ ද දීමට එක් හේතුවක් එයයි. ශ්‍රී ලංකාවෙත් පිටත ලියවුනු සෑම කෘතියකම පාහේ ඔහු හැඳින් වී ඇත්තේ “සිංහල” යන නමිනි. විජය ආරක්ෂා කරන ලෙස බුදුහු ශක්‍රයාට භාර කළහ. ශක්‍රයා එය විෂ්ණු (උපුල්වන්) වෙත භාර කරන ලදින් ඔහු දිවයිනේ ආරක්ෂක දෙවියෙක් ද බෝධිසත්වයෙක්ද බවට පත් වුණි. විජය පළමුව කුවේණී නම් යකිණිය විවාහ කරගෙන පසුව ඇය අතහැර දැමීය. එම විවාහයේ දරුවන්ගෙන් වැද්දෝ ඇති වූහ. පසුව විජය දක්ෂිණ (දමිළ රටේ) මධුරාපුරයෙන් (කෘෂ්ණගේ වාස භූමිය වූ උත්තර මධුරාවෙන් වෙනස්) රජ කුමරියක අභිෂේක කළත් දරුපල නැති බැවින් රජකම සඳහා ඔහු ඇවෑමෙන් මල් සුමිත්ත කුමරු පුත් පඬුවස්දෙව් සිංහ පුරයෙන් ගෙන්වා ගැනුණි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල් පදනම පිළිබඳ පුරාණ කථාව මෙය වන අතර එය සිංහලයන්ගේ ඓතිහාසික චින්තනයේ අනිවාර්ය අංගයක් ද වන්නේ ය. මේ පුරාණ කථාවේ ජනවාර්ගික වියෝජනයක් (separation) හා සංයෝජනයක් (integration) ගැබ් වී ඇති අයුරු වත්මන් ශාස්ත්‍රවන්තයන්ට පෙනී ඇත්නම් කලාතුරකිනි. දිවයින විජයාගමනය සඳහා යක්ෂයන් එළවා පිරිසිදු කොට සූදානම් කිරීම බුදුන් අතින් සිදු වේ. වැද්දෝ විජයගෙන් පැවැත ආවත් අවජාතක වූ හෙයින් නීත්‍යානුසාරී රාජත්වයවත් බෞද්ධ ඉතිහාසය වත් ශිෂ්ටාචාරය වත් ඔවුනට හිමි නැත. දමිළයෝ ඤාතීහු වෙති. ඔවුනට රාජ පරම්පරාව උරුම නොවේ. එය මහාභාරතයේ වීරයන් සිහියට නංවන පණ්ඩුවාසදේව වෙත ආපසු යැවේ. කෙසේ වුවද වැද්දන් සේ නොව දමිළයෝ ඤාතීන් පමණක් නොව ජාතිය පිහිටුවා ලීමේදී සහාය ආරම්භකයෝ (co-founders) ද වෙති. පුරාණ කථාවේ මේ පැත්ත මෑත කාලයේදී නොසලකා හැර අමතක කර දමා තිබේ. විජය කථාවේ ඉතිරි කොටස පමණක් සෑම තැනම පිළිගෙන ශ්‍රී ලංකා ඉතිහාසයේ සැබෑ ආරම්භය ලෙස සැලකේ.
මේ ආරම්භක පුරාණ කථා ආධිපත්‍යය දරන පිරිස දේශපාලන නීත්‍යානුකූලභාවය සපයමින් දිවයිනේ මූලික වශයෙන් බෞද්ධ ස්වභාවයට සාධාරණත්වයක් සපයයි. ක්‍රි.ව. හයවන සියවසේ සිට සිංහල සංස්කෘතිය තුළ මේ ආරම්භක පුරාණොක්ති විවිධාකාරයෙන් ජනකථා, ග්‍රාමීය පූජානුගත නාට්‍ය, ජනකාව්‍ය ආදියෙහි බහුවිධාකාරයෙන් නිරතුරුව යෙදෙමින් නූතන නාට්‍ය සාහිත්‍ය තෙක්ම පැවත ආයේය. නූතන ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් විසින් පවා මේ කථාවල දිවයින ජනාවාස කිරීමේ හරය ගැබ්ව ඇතැයි සලකන ලදී. ලෝකයේ සෑම සංස්කෘතියකම පාහේ මේ ආකාරයේ අධිකාරිපත්‍රමය පුරාණොක්ති (charter myths) දක්නට ඇත. මෙහිදී එය සඳහා බෞද්ධ නීත්‍යානුගත භාවයක් දී තිබේ.
3. ගම් මට්ටමේ පූජාකර්මයන්හි, දෙවියන් හෝ යකුන් සම්බන්ධ වූයේ වේවා බොහෝ විට ඇරඹෙන්නේ:
“සසිරි බර මෙසිරිලක”
යනුවෙන් ඇරඹෙන ගායනයකිනි. මේ කියමන පිටුපස ඇති දේ ගැන සලකා බලමු. මෙය භූගෝලීය ප්‍රදේශයක් ගැන ප්‍රකාශනයක් නොව ස්ථානයක් පිළිබඳ සංකල්පනයකි. (ඉංග්‍රීසි මුල් පිටපතේ එන imagination/ imagined/ imagine යනාදී වචන සිංහල පිටපතේ ලියැවෙන්නේ ‘සංකල්පනය‘ යන වචනය ඇසුරෙනි. ‘සංකල්පනය‘ ඇති ඉංග්‍රීසි පදය conceptualisation යන්නයි. එහි අරුත ‘සිතා ගැනීම,‘ ‘සිත්හි නගා ගැනීම‘ යි. නමුත් imagination යන්න වඩා සමීප වන්නේ ‘පරිකල්පනය‘ යන ‘සිතින් මවා ගැනීම‘ යන අරුත ඇති යෙදුමට බව අපේ වැටහීමයි. – ‘කතිකා‘) අතීතයේ බොහෝ දෙනාට අද මෙන් ප්‍රාදේශීය භූගෝලය ගැන දැනුමක් නොතිබුනත් මෙය සාගරයෙන් වට වූ දූපතක් ය යන දැනුම තිබෙන්නට ඇත. මේ සංකල්පිත අවකාශය තුළ අභ්‍යන්තර භූගෝලය සටහන් කරන “කඩයිම් පොත්” නම් රචනා විශේෂයක් තිබේ. මීට අමතරව දේව ගණයේ විවිධ දෙවිවරුන් ආධිපත්‍ය දරන විචල්‍ය සීමාවන්ගෙන් යුතු ප්‍රදේශ ගැන ද දැනුමක් තිබුණි.
hk
4. පූජාකර්ම පාඨයන්හි ඉහත සඳහන් කියමනෙන් පසුව ශ්‍රී ලංකාව නම් මේ ස්ථානයේ පවතින බෞද්ධ ධුරාවලිය (hierarchy) විස්තර වේ.
උතුම් බුදු සරණේ
වදහළ දහම් සරණේ
සමඟ සඟ සරණේ
බැතින් වඳිනෙමු මෙතුන් සරණේ
මී ලඟට ප්‍රධාන ආරක්ෂක (සිව්වරම්) දෙවිවරුන් සහ අනතුරුව ඒ ඒ ප්‍රදේශයට විශේෂ වූ අවශේෂ දෙවිවරු ද සඳහන් කරනු ලැබේ. පළාතෙන් පළාතට වෙනස්කම් සමහරක් ඇතත් මුලු දිවයිනටම පොදු වූ බුදුන් ප්‍රමුඛව පුධාන ආරක්ෂක දෙවිවරුන්ගෙන් සමන්විත සමස්ත ලංකා දේවගණයක් ගැන විශ්වාසයක් ඇත. මේ දෙවිවරු බුදු සමය, රාජ්‍ය හා ශ්‍රී ලංකාව ආරක්ෂා කරන්නන් ලෙස සැලකෙති. මේ අදහස් ඇතුළත් කවි දිවයිනේ සිංහල කථා කෙරෙන පළාත් හැමෙකකම බලි තොවිල් වතාවත්හිදී ගායනා කරනු ලැබේ. මේවා ප්‍රබන්ධ කෙරුණේ කවදා දැයි නිශ්චිතව කිව නොහැකි නමුත් භාෂාමය ලකුණු අනුව දළ වශයෙන් 16 වන සියවසේ දී පමණ යැයි කිව හැකිය. එහෙත් මීට සමාන තත්ත්ව නිරූපණ ඊට බොහෝ කළකට ඉහතත් පැවතෙන්නට ඇත. මේ සාහිත්‍යයෙන් සංකල්පණය වන ස්ථානය පිළිබඳ ප්‍රදේශ නිරූපණයක් ඇති අතර එය එකිනෙක ආවරණය වන පරිදි සැලසුම් වූ බෞද්ධ දේව බල ප්‍රදේශ ධූරාවලියකින් සමන්විතය. ඒ දෙවිවරු එකිනෙකා තම තමන් අධිපති කේන්ද්‍රස්ථානයකදී පුද පූජාවට පාත්‍රවෙති.
ග්‍රාමීය මට්ටමේ ඇති මෙම දේව හා යක්ෂ පිදවිලි වලින් ඔබ්බට ගොස් බෞද්ධ පූජනීය ස්ථාන වෙත එළඹුණු කල බුදුරදුන් උදෙසා වූ පුද පූජා සම්බන්ධයෙන් නිකායාදී භේදයන් අභිබවා යන දැඩි ඒකරූපීකරණයක් දැක්ක හැකි වේ. බැතිමත්හු තම චිත්ත සන්තානය තුළ බුදුන් පුරුෂයෙකු වුවත් මවක හා සමාන දයානුකම්පා සහගත අයෙකු ලෙස නිදන් කරගෙන සිටිති. මෙම ඒකරූපීකරණය පහසු වී ඇත්තේ පන්සල්, භික්ෂූන් හා ධර්ම දේශකයන් සෑම තැනකම ලැබිය හැකි හෙයිනි. පන්සල්වල ඇති සිතුවම් ද මෙම ඒකරූපී භාවය ගොඩ නැගීමට හේතු වේ. රට පුරා විහිද ඇති සියළු ගම් නියම්ගම් අභිබවා යන පොදු “මෝක්ෂ මාර්ගයක්” කෙරේ සෑම දෙනාම බැඳී සිටින හෙයින් එය පොදු චින්තනයක් ලෙස පැවතුණි.
5. මෙම ස්ථානය සංකල්පනය කිරීම හා සමඟ පැන නගින ප්‍රශ්නය වන්නේ එය නම් කිරීමට ඇති වචන දෙක පිළිබඳ ගැටළුවයි. එය “ලංකා” හෝ “ශ්‍රී ලංකා” යන නාමයෙන් නම් කල යුතුද නො එසේනම් “සිංහලද්වීප” යන නමින් නම් කල යුතුද? බලි තොවිල් කවි අඩංගු පොත් සිය ගණනක් කියවීමේදී මගේ අත්දැකීම නම් මේ දිවයින “ලක” නැතහොත් “සිරිලක” යැයි හඳුන්වා ඇති බවය. එහෙත් මේ දිවයිනට විදේශික නැවියන් හෝ වෙළෙන්දන් ආදීන් පැමිණෙන කළ ඔවුන් එය හඳුන්වන්නේ “සිහළ දෙස” කියාය. විකල්ප අවස්ථා ස්වල්පයකදී හැර මහාවංශය වැනි ශ්‍රී ලාංකික ඉතිහාස මූලාශ්‍රයන්හි ද මේ රට හැඳින්වෙන්නේ “ශ්‍රී ලංකා” යනුවෙනි. මහාවංශයේ පළමු කොටසේ ඇතැම් විට “තම්බපණ්ණි” යන්න ද යෙදී තිබේ. ආරම්භක පුරාණ කථාවේදී විජය මේ දිවයිනට ගොඩ බැස විෂ්ණුගෙන් මෙහි නම කුමක්දැයි ඇසූ විට ඔහුගෙන් ලැබෙන පිළිතුර නම් “ශ්‍රී ලංකා දිවයින” යනුයි. එහෙත් පිටස්තරයෝ මේ දිවයිනට බොහෝ විට නො එසේනම් සෑම විටම හැඳින්වූයේ “සිංහලදීප” කියා වන අතර යුරෝපීයයන් “සෙයිලාන්” හෝ “සිලෝන්” යන්න ලබා ගත්තේ ඒ වචනය චීන බසෙහි නිරූපිත ආකාරය අනුසාරයෙනි. අරාබි බසේ “සෙරන්ඩිබ්” යන්නත් එසේමය. අද දමිළ ගරිල්ලා බටයන් තම නිජබිම යැයි කියා ගන්නා “ඊළාම්” යන්න “සිංකලම්” (සිංහලයන්ගේ රට) යන අරුත් ඇති බව මදුරාසි ශබ්දාවලිය (Madras Lexicon) පවසන්නේ ය!
දහවන සියවසට අයත් නේපාලීය සිතුවමක “සීහළදීප ආරෝග්‍යචල ලෝකේශ්වර” නම් රෝහලක් ගැන සඳහන් වේ. එවැනිම තවත් බාහිර සඳහනක් සද්ධර්මපුණ්ඩරීක නම් මහායාන ග්‍රන්ථයේ ඇත. එයට අනුව එක් භවයක බුදුන් වහන්සේ සිංහ කල්පයේ සිංහ නැමැත්තෙකුගේ “සිංහල” නම් පුත්ව උපන්නෝය. වෙළෙන්දෙකු වූ සිංහල පන්සීයක් පිරිවර හා සමඟ මැණික් සොයා යාත්‍ර කරන්නේ තාම්‍රදීප (තම්බපණ්ණි) වෙරළේ නැව බිඳී සුරඟනන් වෙසින් ආ යක්ෂණියන් පිරිසක් විසින් බේරා ගැනෙති. මනුෂ්‍ය පිරිස කා දැමීමට අපේක්ෂා කරන යක්ෂණීන්ගෙන් එකියක සිංහල විවාහ කර ගනී. ඔහුට යක්ෂණියන්ගේ උපාය ගැන අද්භූත හඬකින් දැනුම් දෙනු ලැබේ. අවසානයේදී පිරිවර සියළුදෙනා ඔවුන්ගේ මෝහය නිසා විනාශයට පත් වෙතත් සිංහල පමණක් දිවි ගලවා ගනී. ආපසු නව බිරිය සමඟ සිංහ කල්පයට පැමිණි කල සිංහලගේ පියා ඔහුගේ අවවාදය නොතකා ඇගේ වසඟයට පත්ව සපිරිවරින් විනාශයට පත්වන්නේ යක්ෂණිය හා පිරිස විසින් කා දමනු ලැබීමෙනි. අවසන වැසියෝ සිංහල රජ බවට පත් කර ගනිති. ඔහු යක්ෂණිය සපිරිවරින් වනයට පන්නා දමයි. මේ සියල්ලේ ප්‍රතිඵලය ලෙස තාම්‍රදීපයට “සිංහලදීප” යන නම ලැබේ.
සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ ප්‍රධාන කොටස් ක්‍රි.ව. 3 වන සියවසට පෙර රචිත බව කියැවේ. එහෙත් ඉහත සඳහන් සිංහල සිද්ධිය ඇතුළත් කාණ්ඩ ව්‍යූහය නිර්මාණය වන්නට ඇත්තේ 4 වන සියවසේදී පමණය; එනම් මහා වංශයට පෙර විය හැකිය. ඒ කෙසේ වුවද මේ දිවයින “සිංහලදීප” යනුවෙන් හැඳින්වීම පිටරැටියන් විසින් අතීතයේ යොදාගත් සම්මුතියකි. මෙසේ දෙවිදියකින් නම් වීම මට පෙනෙන්නේ රට වැසියන් එහි ඇතුළත ප්‍රභේදයන් ගැන සැළකිලිමත් වූ නමුත් පිටරැටියන් මෙය එහි වාසී බහුතරයගේ නමින් හැඳින්වීමට පසුබට නොවූ බවයි. විජය හා සම්බන්ධ ආරම්භක පුරාණ කථාවේදී ප්‍රධාන “අන්‍යයන්” වන්නේ වැදි ජනයාය. පසුව සිංහල ඉතිහාස චින්තනය දමිළයන් වෙතට හැරෙනු දැක්ක හැකිය. මේ අයුරින් බලන කළ තමන්ගේම ආරම්භක පුරාණ කථාවේ දේශය වැද්දන්ට අයත් යැයි පැවසී තිබේ නම් යටත් විජිත යුගයට පෙරදී සිංහලයන්ට මෙය “සිංහලදීප” යැයි කියාගත නොහැකි තත්වයක් තිබුණා යැයි මට පෙනේ. අපි මේ ආරම්භක පුරාණ කථා පසෙක ලා පූර්ව ඓතිහාසික පුරාවිද්‍යාව සළකා බැලුවහොත් පෙනෙන්නේ සිංහලයන්ට පෙර මෙම දේශයේ දඩයම් කරුවන් හා වන ඵලයෙන් යැපෙන්නන් (වැද්දන්) ඇතුළුව විවිධ කණ්ඩායම් විසූ බවයි.
ජන පිරිසක් තමන් අභ්‍යන්තරයේ පවතින විවිධතාව ගැන සැළකිලිමත් වීම අරුම දෙයක් නොවේ. මෙය පැරණි ඤාති පර්ෂදයන්හි මෙන්ම වත්මන් විශ්වවිද්‍යාල වැනි සංස්ථා තුළ ද දැක්ක හැකිය. පිට සිටින අයට ඒවා ඝන සේ පෙනුණත් ඇතුළත සිටින අය එහි ඇති විවිධතාව ගැන දනිත්. වංශ (clan) හා පෙළපත් (lineage) අරභයා නම් පිට සිටින අයගේත් ඇතුලත සිටින අයගේත් වෙන‍් වෙන් නිරීක්ෂණයන් නම් තැබීමෙන් හඳුනා ගෙන තිබුණි.
6. මේ සියලු සංස්කෘතික ප්‍රකාශන විසින් විවිධත්වයෙන් යුත් සිංහල පිරිසට තමන් “බෞද්ධයන්” යැයි සංකල්පනය කිරීමට ඉඩ දී තිබේ. එහෙත් සංකල්පනය විසින් පමණක් අභ්‍යන්තර විවිධතා හා පක්ෂපාතීත්වයන් අභිබවා යන අයිතිවීමේ හැඟීමක් නිර්මාණය කල හැක්කේද? බෙනඩික්ට් ඇන්ඩර්සන් කියන පරිදි “සංඛත (concrete) ජන සමාජ” ඇතැයි මා පිළිගන්නේ නැත. සියලු ජන සමාජයෝ තම තමන්ගේ විශේෂ අයුරින් සංකල්පිත වූවෝය. මානව වර්ග විද්‍යාව හෝ ඉතිහාස ශාස්ත්‍රය කළ යුත්තේ එම සමාජ සංකල්පනය වී ඇති අයුරු විස්තර කිරීමය. මෙයින් නොනැවතී නූතන යුගයේ එය ජාතිකෝත්සව, හමුදා පෙළපාලි, පා පන්දු ක්‍රීඩා හෝ දේශපාලන රැළි ආදියේදී සංඛතව පෙනෙන අයුරු ද දැක්විය යුතුය. දුර්ඛයිම් විසින් විස්තර කැරුණු ඕස්ට්‍රේලියානු ඇබොරිජිනිවරුන්ගේ “කොරබොරියේ” දී මෙන් නොව අද එම ජාතිකෝත්සව ආදියට ඈතින් සිට සහභාගි වීමට අවකාශය ජනමාධ්‍ය (රූපවාහිණී ආදී) මගින් සලසා දී ඇත. එයින් යථොක්ත හැඟීම් පෝෂණය කෙරේ. බෞද්ධයන් යටත් විජිත යුගයට පෙර, එනම් මේ ජනමාධ්‍ය සංවර්ධනයට පෙර තමන් සාමූහිකත්වයට අයිතිය යන්න සංඛත කළේ කෙසේ ද? මා සිතන්නේ ගම් මට්ටමින් පන්සලේ පොදු පුද පූජාවන්ට අමතරව ආවශ්‍යක වන්දනා ගමන (obligatory pilgrimage) මගින් මෙය සිදු කරන බවයි. මෙය මගේ ක්ෂේත්‍ර පර්යේෂණ අත්දැකීම අනුව විස්තර කරනු කැමැත්තෙමි.
ඊශාන දිග ලංකාවේ කඳු අතර පිහිටි රම්බාදෙණිය නම් ග්‍රාමය ගැන 1958-60 කාලයේදී ස්ටැන්ලි තම්බයියා සහ මා ක්ෂේත්‍ර පර්යේෂණයේ යෙදී සිටින විට තතත්ත්වය මෙසේ විය. අස්වැන්න ලැබීමෙන් පසුව ගැමි සියලු දෙනා එකතු වී “අඩුක්කු” පූජාවක් මගින් දෙවියන්ට ස්තූති කරති. මෙහිදී ගමේ කපුරාළ බුදුරදුන්ට හා ප්‍රධාන ආක්ෂක දෙවිවරුන්ටත් පළමුව පූජා පවත්වා ඊ ළඟට ගමේ දෙවිවරුන් වන බණ්ඩාර දෙවියන්ට පූජා පවත්වයි. මේ වතාවත් අනුව ග්‍රාමය බණ්ඩාර දෙවියන්ගේ දයාලු ආරක්ෂාව යටතේ සිටින සදාචාර සමාජයක් (moral community) ලෙසට ක්‍රියාත්මක වීමට ඉඩ සැලසේ. සෑම වසරකටම වරක් ගැමි ඇතැම්හු සැතපුම් 35 ක් පමණ දුරින් පිහිටා ඇති මහා වන්දනා මධ්‍යස්ථානය වන මහියංගනයට යන්නාහු ය. මේ ස්ථානය බුදු පහසින් පවිත්‍ර වූ තැනකි. වනය මැදින් යන විට ගස්වල කොළ අතු එල්ලීම මගින් ගමේ දෙවියන්ගේ අඩවියෙන් ඉවත්ව අන්‍ය දෙවිවරුන්ගේ අඩවි තුළට පිවිසීමේදී ඒ දෙවිවරුන්ගේ පිහිටාරක්ෂාව යටතේ සිටින බව පිළිගන්නෙමු. පැය කිහිපයක් මෙසේ ගමන් කරද්දී තවත් වන්දනා ගමන් මාර්ග වලින් එන තවත් ගැමි පිරිස් අප හා එක් වී අවසන අප මහියංගනයට ලඟා වන විට සදාචාර සමාජය දෙගුණ තෙගුණ ලෙස විශාල වී මිනිස් ගංගාවක් බවට පත් වී තිබේ. මග දිගට අපි බුදුගුණ වර්ණනා කවි ගායනා කරන්නේ ප්‍රසාරණය වූ සමාජයේ සියල්ලන්ටම පොදු වූ භාෂාමය ප්‍රකාශනය එය වන බැවිනි. වන්දනා ස්ථානයට ලඟා වූ පසු අපි ගඟෙන් නා පිරිසිඳු වී එහි ආරක්ෂක දෙවිවරුන් වන සමන් හා කතරගම දෙවියන්ට බාර හාර වී බුදුන් වැඳ සම්පූර්ණයෙන්ම බෞද්ධ වූ පුද පූජාවන්හි නිරත වෙමු. මෙහිදී වැදගත් පක්ෂපාතීත්ව සංක්‍රමණයක් සිදු වී තිබේ. ගැමින් තමන්ගේ පටු සීමාවේ සිටින ග්‍රාම දෙවියන්ට ඇති පක්ෂපාතීත්වය තාවකාලිකව හැර දමා පොදු පූජාවන් වන බුදුන් පිදීම හා ප්‍රධාන ආරක්ෂක දෙවියන් පිදීම යටතේ එක්සත් වී සිටිති. කළින් වෙන් වෙන් ඒකක ලෙස තිබුණු සදාචාර සමාජ තම අනන්‍යතාවන් හැර දමා විශාල වූ සිංහල බෞද්ධ සදාචාර සමාජයෙහි එකමුතු වී සිටිති.
දුර්ඛයිම් පවසා ඇති පරිදි සංඛතකරණය (concretization) වනාහි ශාරීරික, චිත්ත විෂයීගත සහ සංකල්පමය අත්දැකීමකි. (physical, psychical and imaginative experience) ඉහත ගැමි ජන පිරිස් එක් පොදු සිංහල බෞද්ධ පිරිසක් බවට වන්දනා මධ්‍යස්ථානයේ දී පත් වූයේ ද එලෙසිනි.
මහියංගන වන්දනාව ඒ හා සමාන තවත් වන්දනා ස්ථාන 16 කින් (සොළොස්මස්ථාන) එකකි. මෙය අඩු තරමින් 18 වන සියවස තරම් ඈතට දිව යන බව විශ්වාසයකි. රම්බාදෙණිය ජනයා 1968 දී මහියංගනයෙන් ඔබ්බට නොගියත් සියලු දෙනා අඩු තරමින් එතැනට හෝ යන්නට ඇත. අප ඉහත “කුමක් හෝ” (whatever) යනුවෙන් නම් නොකර සිටි දෙය හඳුනා ගැන්මට ආවශ්‍යක වන්දනා ගමන උපකාරී වේ. එය නම් “සාසනය” යන්නයි. සිංහල භාෂාවේ ඉංග්‍රීසි “nation” යන්නට සමාන වචනයක් නැත. එහි තැන සිංහලයේ ගැනෙන්නේ “සාසනය” යන්න විසිනි. බෞද්ධ සම්ප්‍රදාය තුළ සාසනය යනු ජන වාර්ගික හා අන්‍ය සීමා අභික්‍රමණය කරන විශ්වව්‍යාපී බෞද්ධ සමාජයය. ඒ සමඟ සාසනය යන්න බුදුන් විසින් ශුද්ධ භූමියක් බවට පත් කරන ලද දේශයේ භූගෝළීය සීමා තුළ පිහිටුවා ඇති බෞද්ධාගමික ආයතනය ද වේ. මෙසේ සාසනය යන්න අරුත් දෙකකින් යෙදේ. එහෙයින් ශ්‍රී ලංකාවේ සාසනය හෝ හුදෙක් සාසනය යන නම අපගේ විමර්ශනය සඳහා එම සුවිශේෂ අරුතින් යොදා ගත හැකිය. සුවිශේෂ අර්ථයෙන් ගත් කල සාසනය යන්න “බෞද්ධ ඉතිහාසය” හා බද්ධ වී ඇති අතර විශ්වව්‍යාපී අර්ථයෙන් ගත් කල එය බෞද්ධ ධර්ම සම්ප්‍රදාය හා බද්ධ වී සිටී. මේ අර්ථ දෙක අතර විඝටනය බුදුසමයට ආවේණික වූවකි. සමකාලීන බෞද්ධාගමික ජාතිකවාදයේදී පුනරුත්තාපනය කර සිටින දුටුගැමුණු වීරරාජයා දමිළ මිත්‍යා දෘෂ්ටිකයන් හා සටන් වදින්නේ රාජත්වයේ ශ්‍රී විභූතිය උදෙසා නොව සාසනයේ ශ්‍රී විභූතිය උදෙසාය. එනම් ලංකාවට සුවිශේෂ වූ කාරණයක් සඳහාය. සිංහලයන්ට “ජාතිය” යන්න සඳහා යෙදිය හැකි වචනයක් නොතිබුණි. ඔවුන් යොදා ගත් “සාසනය” යන්නද nation යන්න මෙන් විවිධාර්ථ දනවන්නක් විය.
(මතු සම්බන්ධයි)
උපුටා පළ කරන්නේ නම් කරුණාකර මූලාශ්‍රය පහත පරිදි දෙන්න: ‘කතිකා‘ අධ්‍යයන කවය උපුටා පළ කළ, දීගල්ලේ මහින්ද හිමි සංස්කරණය කළ බුදුසමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය නමැති පොතෙහි පළ කොට ඇති මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන්ගේ “බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ (පිටු 23-64) නමැති ලිපියෙනි. https://kathika.wordpress.com/
ඉතාම හරවත් වැදගත් ලිපියකි. ස්තුතියි !
හරවත් කෙසේ වෙතත් රසවත් ලිපියක්.
x