රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත සලකා බැලීම

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත සලකා බැලීම

දයාපාල තිරාණගම

RAJAPAKSA SUMMIT
දයාපාල තිරාණගම විශ්ව විද්‍යාල රැකියාව අතහැර 80 දශකයේ පූර්ණ කාලීන දේශපාලනයට සම්බන්ධ වන්නේ එවකට ජේ. ආර්. ජයවර්ධන රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කලේ යැයි රාජ්‍ය මර්ධනයට ලක් වු විකල්ප කණ්ඩායමෙනි.දයාන් ජයතිලක, ජෝ සෙනෙවිරත්න,දයාපාල තිරාණගම,රාම් මාණික්කලිංගම් වැනි අය අයත් වූ මෙම වාම දේශපාලන කණ්ඩායම එක් පසෙකින් එ.ජා.ප. රජයේ මර්ධනයකටත් අනෙක් පසින් ජ.වි.පෙ සන්නද්ධ ව්‍යාපාරයේ මර්ධනයටත් ලක්ව තිබුණි. ඔහුගේ බිරිඳ යාපනයේ මානව හිමිකම් ක්‍රියාකාරිනයක වූ රාජීණී(රාජසිංහම්) තිරාණගම 1989 දී එල්.ටී.ටී.ඊ ය විසින් ඝාතනය කරන ලදී.මෙම ලිපිය රාවය පුවත් පතින් උපුටා ගන්න ලදී.

2010 ජනවාරි ජනාධිපතිවරණයේ දී ද 2010 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඉන් පසුව තීරණාත්මක ලෙස උතුර බැහැර කොට පැවැත්වූ පළාත් සභා මැතිවරණයේ දී ද ලබා ගත් අතිමහත් මැතිවරණ ජයග‍්‍රහණ හරහා එජනිස ආණ්ඩුව පෙර නොවූ විරූ දේශපාලන බල ආධිපත්‍යයක් අත් කර ගෙන ඇත. ඔවුන් විශිෂ්ට ආකාරයෙන් සිය ග‍්‍රාමීය ඡුන්ද පදනම ශක්තිමත් කර ගෙන ඇත. විපක්ෂය කියන පරිදි මෙම මැතිවරණ ජයග‍්‍රහණ අත් කර ගෙන තිබෙන්නේ දේශපාලනික බිය ගැන්වීම්, අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හා නීතියේ පාලනය අයුතු ලෙස පැහැර ගැනීම් මගිනි. එහෙත් එජනිස ආණ්ඩුව නොකඩවා මැතිවරණ දිනයි. මේ නිසා විපක්ෂය පැහැදිලිව ම අපේක්ෂා භංගත්වයට පත්ව සිටී. එජනිසය මැතිවරණවල දී දුර්වල වේ යැයි හෝ දකුණේ ජනයා අතර යම් අතෘප්තියක් වැඩෙමින් පැවතිය ද සිව් වසරක් තිස්සේ බලයේ සිටින ඔවුන්ගේ ජනප‍්‍රියත්වය විශාල වශයෙන් හීන වේ යැයි කිසි බලාපොරොත්තුවක් හෙට අනිද්දා නම් ඇති කර ගත නොහැකි ය. මේ අවුරුද්දේ අපේ‍්‍රල්වල පැවැත්වූ දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණ ඔවුන්ගේ ජනප‍්‍රියත්වය සම්බන්ධ ඇතැම් පෙරනිමිති පහළ කළ ද ඔවුන් ක‍්‍රමයෙන් මැතිවරණ පරාජයක් කරා ගමන් කරතියි සිතා ගැනීමට තරම් සාක්ෂි නැත. ක‍්‍රියාත්මකව පවත්නා දේශපාලන බලවේගවල සංකීර්ණ ස්වභාවයත් තමන්ට පැහැදිලි දේශපාලන ගමන් මගක් නොමැතිකම ජය ගැනීමට විපක්ෂය අසමත් වීමත් ඊට හේතු යි. එනිසා පෙරමග සැලසුම් කිරීම සැබෑ දේශපාලන ගැටලූවකි.

මේ ලිපිය සිය විශ්ලේෂණය සඳහා යොදා ගන්නේ ග‍්‍රාම්ස්චිවාදී ඉදිරි දැක්මයි. එය රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය හා එහි දැවැන්ත සාර්ථකත්වය දේශපාලන පරිශ‍්‍රමයක් ලෙස මෙන් ම එය ඇති කර තිබෙන බරපතළ දේශපාලන බලපෑම අතින් ද විමසා බැලීමට යත්න දරයි. දැන් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රගතියට, දේශපාලන ස්ථාවරත්වයට හා වඩා වැදගත් කරුණ වන රටේ ජාතික එකමුතුවට බිඳ හෙළිය නොහෙන බාධකයක්ව ඇත් ද යන්න විභාග කිරීමත් ලිපියෙන් ඉටු වෙයි.

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය හැඩගැසී ඒම

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය බිහි වූයේ දෙමළ ඊළම අරමුණු කොට එල්ටීටීඊය (දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය) ගෙන ගිය බලගතු මිලිටරි හා දේශපාලන ව්‍යාපෘතියට ඍජු ප‍්‍රතිචාරයක් ලෙසයැ’යි සැලකිය හැකි යි. එල්ටීටීඊයේ ව්‍යාපෘතිය විශේෂයෙන් ම 1983 කළු ජුලියේ සිට දෙමළ ප‍්‍රජාව අතර සුජාතභාවය දිනා ගත්තේ ය. එහෙත් රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය හැඩගැසී ආවේ 2005 ජනාධිපතිවරණයේ සිට ය. 1950 ගණන්වල ශ‍්‍රීලනිපය ඇරඹුණු තැන් සිට ම සැබෑ දේශපාලන හඬක් නැගීමේ අවස්ථාව අහිමිව සිටි සිංහල ග‍්‍රාමීය ප‍්‍රභූන් අතට කොළඹ ප‍්‍රභූන් අතින් දේශපාලන නායකත්වය මාරුවීමේ සන්ධිස්ථානයක් ඉන් සලකුණු විය. මෙය සිදු වීමට සිතුවාට වඩා කල් ගෙවිණ. දේශපාලන නායකත්වය මාරු වීම ග‍්‍රාමීය සිංහල දේශපාලන සමාජයෙහි කල් පවත්නා බලපෑමක් කර රාජපක්ෂ ව්‍යාපෘතිය සවි ගන්වා ඇත. රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතියට ඉන් තොර වී නම් දෙමළ කොටින්ගේ පරාජය සිදු නොවීමට තිබිණැ’යි සිතෙන තරම් බලගතු දේශපාලන හා මිලිටරිමය ව්‍යාපෘතියක් බවට පත් විය හැකි වූයේ කොන්දේසි දෙකක් නිසායි. පළමු වැන්න නම් බණ්ඩාරනායකවරුන්ගේ ඓතිහාසික පසුබැසීම හා ඈත දකුණින් රාජපක්ෂවරුන් මතුව ඒමයි. දෙවැන්න නම් 1956 සිට සිංහල දේශපාලන නායකත්වය විසින් පෝෂණය කළ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදාත්මක හා දේශපාලනික උරුමයේ සැබෑ උරුමක්කාරයන් බවට ඔවුන් පත් වීමයි. රාජපක්ෂ ව්‍යාපෘතිය දකුණේ දේශපාලන පක්ෂ බොහොමයක් සටනේ හරි මැද දී ම භේද භින්න කර ඒවායේ කොටස් තම ව්‍යාපෘතියට ඈඳා ගෙන ඇත. විශාලතම ධනපති පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ පටන් වාමාංශික ජනතා විමුක්ති පෙරමුණ දක්වා පක්ෂ සියල්ල ම සිය කොටස් මෙම ව්‍යාපෘතියට පලා යෑම නිසා බෙලහීන කරවන පසුබැසීම්වලින් පීඩා වින්දේ, මැතිවරණවල දී වඩා දුර්වල වූයේ ය. සාම්ප‍්‍රදායික වාම පක්ෂ හා වාම නැඹුරුවක් සහිත සමහර බුද්ධිමත්තු ව්‍යාපෘතියට පහසුවෙන් යොදා ගත හැකි විය. සාමකාමී ක‍්‍රමවලින් ජනවාර්ගික අර්බුදය විසඳීමෙහිලා සිංහල නායකත්වය අත තිබූ වෙනත් ශක්‍ය දේශපාලන විකල්ප තව දුරටත් වලංගු නො වෙතියි ඒ වන විට පෙනී ගිය බැවින් අනෙක් පක්ෂ හා සිංහල බුද්ධිමතුන් ව්‍යාපෘතියට ඈඳා ගැනීම දුෂ්කර කටයුත්තක් නො වී ය. වෙන ම රාජ්‍යයක් හැර වෙනත් විසඳුමක් නො පිළිගන්නා බව ප‍්‍රකාශ කරමින් එල්ටීටීඊය ශ‍්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව අනතුරේ හෙළා තිබිණ. ඔවුන් ප‍්‍රධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෙමළ දේශපාලන පක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා දෙමළ බුද්ධිමතුන් විනාශ කර දැමුවේ එල්ටීටීඊයේ ෆැසිස්ට් දේශපාලන පිළිවෙත පිළිබඳ සිය සැලකිලිමත් වීම් ප‍්‍රකාශයට පත් කළ නිසා ය. දෙමළ ප‍්‍රජාව තුළ කිසි විරුද්ධ දේශපාලන මතයක් නොඉවසූ ඔවුහු අනෙක් සටන්කාමී කණ්ඩායම් සියල්ල වනසා දැමීම නොහොත් තම සංවිධානය තුළට උකහා ගැනීමද කළහ. එල්ටීටීඊයේ ප‍්‍රචණ්ඩ දේශපාලන පිළිවෙත සහ දකුණේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් යුද රඟ මඩල උතුරු නැගෙනහිරින් ඔබ්බට ගෙන යෑමට එය දැරූ පරිශ‍්‍රමය හේතුවෙන් රාජපක්ෂ ව්‍යාපෘතිය සිංහල දකුණ තුළ ව්‍යාපෘතියක් ලෙස තවදුරටත් සුජාත විය. මෙය දේශපාලනික හා ද්‍රව්‍යමය සම්පත් සියල්ල ම උරා ගැනීමටත් 2009 මැයි මාසයෙහි වෙල්ලිමුලේවයික්කාල්හිදී එල්ටීටීඊය මුළුමනින්ම පාහේ වනසා දැමීමටත් නියමිතව තිබිණ.

සිංහල බෞද්ධ ආධිපත්‍ය මොඩලය

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය ප‍්‍රබලව ගොඩ නැගුණේ හා ක‍්‍රියාත්මක වූයේ සිංහල බෞද්ධ ආධිපත්‍ය දෘෂ්ටිය පදනම් කර ගෙන ය. එහි දෘෂ්ටිවාදාත්මක හරය වූයේ මෙය සිංහල බෞද්ධ රටක් ය, එය අයිති ඔවුන්ට මිස අනෙකුන්ට නො වේ ය යන මතය යි. මෑත අතීතයේ දී ආන්තික වාම පක්ෂ හෝ කණ්ඩායම් හැරුණු විට කිසි ම දේශපාලන පක්ෂයක් සිය දේශපාලන භාවිතයෙහි ලා මේ මතයට පූර්ණ ලෙස විරුද්ධව නැත.

රාජපක්ෂ ව්‍යාපෘතිය දේශපාලන බලවේගවල සන්ධානයක් වුවත් ඔවුන්ට පොදු එක් දෙයක් ඇත. ඔවුන් එක්ව කියා සිටින්නේ රට තුළ වෙසෙන ජනවාර්ගික හා ආගමික සුළුතරයන් සිය දේශපාලනික හා සංස්කෘතික ජීවිතයේ දී සිංහල බෞද්ධ බහුතරයේ අතිමහත් ආධිපත්‍යය පිළිගත යුතු බවත් ඒ අනුව තම ජීවිත හැඩ ගසා ගත යුතු බවත් ය. බොදු බල සේනාව දියත් කළ ක‍්‍රියාවන් හා මුස්ලිම් විරෝධී ව්‍යාපාරය සලකා බැලිය යුත්තේ මෙම පසුබිම තුළ හිඳිමිනි. රාජපක්ෂ ව්‍යාපෘතිය එවැනි සංවිධාන සිය රැුල තුළ තබා ගෙන හිඳ දේශපාලනිකව අපහසුතාවට පත් වන විට ඒවා ඈත් කරයි.

ආධිපත්‍ය මොඩලයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහාය ලැබේ. 1972 නව ආණ්ඩුක්‍‍්‍රම ව්‍යවස්ථාව අනෙක් ආගම් හා භාෂාවන් දෙවන තැනට දමා බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දුන් අතර සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගත්තේ ය. අනුගමනය කළ වෙනස්කම් කිරීමේ ක‍්‍රියා පටිපාටි නිසා 70 ගණන් අග වන විට දෙමළ සටන්කාමීත්වයට පදනම සැකසී තිබිණ. එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුව පවා බලය බෙදා හැරීමට සිංහල නායකත්වය දක්වන නොකැමැත්තෙන් පෙනෙන්නේ ආධිපත්‍ය මොඩලය තව මත් වැජඹෙන බව හා ශ‍්‍රී ලංකාවට දැවැන්ත දේශපාලන පිරිවැයක් දැරීමට සිදු වන බව යි.

ආධිපත්‍ය මොඩලය ක‍්‍රියාත්මක වන්නේ රික්තයක් තුළ නො වේ. එය දෙමළ සටන්කාමිත්වය හා ඉන් මොබ සිදු වූ දෙය පදනම් කර ගෙන ශ‍්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව සහ සිංහල ජනතාවගේ හා බුද්ධාගමේ ඉරණම පිළිබඳව අතීතයේ සිට පැවත ආ භීතීන් හා සැකසංකාවන් දැඩි කර ඇත. මෙම භීතීන් සිය මැතිවරණ අවස්ථා ශක්තිමත් කර ගැනීම සඳහා යොදා ගැනීමේ දී රාජපක්ෂ ව්‍යාපෘතිය ඉතා සාර්ථක වී ඇත. මැතිවරණ ජයග‍්‍රහණ හා දේශපාලන බලය නෙළා දුන් මෙය ඔවුන්ගේ අඛණ්ඩ පැවැත්මට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වී ඇත.

ශක්තිය හා දුර්වලකම

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත නැවතත් මැතිවරණ ජයග‍්‍රහණ අත් කර ගැනීම සඳහා ශක්තිය කොට ගන්නේ 2009 දී දෙමළ කොටින් පරාජය කිරීමෙන් ලද දැවැන්ත මිලිටරි හා දේශපාලන ජයග‍්‍රහණය බව නිසැකව කිව හැකි යි. එය දෙමළ කොටින් හා දෙමළ බෙදුම්වාදය මතු කළ සැබෑ බෙදුම්වාදී තර්ජනය පහ කළේ ය. ප‍්‍රතිඵලයක් ලෙස රාජපක්ෂ ව්‍යාපෘතිය සිංහල බෞද්ධ ගර්වයට සමීපව සම්බන්ධ වී ජනතා සිත්සතන්හි පැලපදියම් වීමට සමත් වූයේ ඔවුන් මැතිවරණවල දී අභියෝග කළ නොහැකි තත්ත්වයට පත් වී ඇත. ග‍්‍රාම්ස්චි පවසන අර්ථයෙන් නම් ඔවුන් බුද්ධිමය, සදාචාරාත්මක හා දේශපාලනික ආධිපත්‍යයක් (අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි 1976: 58) තහවුරු කර ගෙන ඇත. දේශපාලනික හා මැතිවරණමය අර්ථයෙන් නම් එල්ටීටීඊයට එරෙහිව අසීරුවෙන් දිනා ගත් මිලිටරි ජයග‍්‍රහණය සුරක්ෂිත කොට රටේ භෞමික අඛණ්ඩතාව දිගු කාලීනව සහතික කළ හැකි එක ම ආණ්ඩුව ලෙස පෙනී සිටීමට රාජපක්ෂ ව්‍යාපෘතිය සමත් වී ඇත. මෙය ඔවුන්ගේ මැතිවරණ ජයග‍්‍රහණයන් සඳහා තීරණාත්මක සහායක් සපයා ඇති ග‍්‍රාමීය සිංහල බෞද්ධ ජනතාවන්ගේ අදහස්වලට ගැළපෙන්නකි. එහෙත් දෙමළ ජනතාවගේ දුක් ගැනවිලිවලට විසඳුම් සෙවීමේ දී අවාසනාවට මෙය ඔවුන්ගේ දේශපාලන දුර්වලකම බවට පත් වී ඇත. දෙමළ ප‍්‍රජාවට බලය බෙදා හරින ලෙස දෙමළ ජනතාව කරන ඉල්ලීම දේශපාලනිකව අනදාළ යැයි නො සලකා හැරීමට හෝ පසෙකට අතු ගා දැමීමට හැකි යි සිතීමට ඔවුන් පෙළඹෙන්නේ සිංහල දකුණේ නොසැලෙන සහාය අඛණ්ඩව භුක්ති විඳිය හැකි හෙයිනි.

මේ අතර ග‍්‍රාමීය ජනතාවෝ ජනාධිපති රාජපක්ෂ තමන්ගේ එකෙකු ලෙස දකිති. කොළඹ පදනම් කර ගත් ප‍්‍රභූ නායකත්වය රටේ නායකයන් බවට පත් වීමට ප‍්‍රධාන හෝ මූලික සුදුසුකම ලෙස ගෙන හැර පෑවේ පැරණි රාජ වංශ සමග තමන්ට තිබෙන සම්බන්ධය යි. එහෙත් දැන් පළමු වතාවට ඔවුන්ට වැඩි දීප්තියකින් බබළමින් ගම්බද නායකයකු පෙරට පැමිණ ඇත. වර්තමානයේ දී පොදුවේ ගත් කල රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතියේ ද විශේෂයෙන් ජනාධිපති රාජපක්ෂගේ ද මැතිවරණ ශක්තියට ප‍්‍රධාන සාධක දෙකක් හේතු වේ. එනම් කොළඹ ප‍්‍රභූ දේශපාලන පන්ති බෙහෙවින් වෛර කිරීමට ප‍්‍රිය කරන ඔහුගේ ග‍්‍රාමීය දේශපාලන සම්භවය සහ එල්ටීටීඊයට එරෙහිව ලද ග‍්‍රාමීය ඡුන්දදායක හැඟීම් පුබුදුවා ඇති මිලිටරි ජයග‍්‍රහණය යි. මීට තවත් නිරීක්ෂණයක් එක් කළ යුතු ය. එනම් ග‍්‍රාමීය ආර්ථිකය යළි පණ ගන්වා ග‍්‍රාමීය තරුණ විරැුකියාවේ බලපෑම අඩු කර ඇති යටිතල පහසුකම් සංවර්ධන වැඩ සටහනයි. විදේශීය ප‍්‍රාග්ධනය හා ණය රට තුළට ගලා ඒම මින් පෙර කිසි කලෙක නොවූ අයුරින් ගම්බද සචල කර ඇත.

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය හා ජනාධිපති රාජපක්ෂ මැතිවරණවල දී අභියෝගයට ලක් කළ නොහැකි තත්ත්වයට පත් කරන ප‍්‍රධාන සාධක ඒවා ය. ග‍්‍රාම්ස්චි පවසන අර්ථයෙන් නම් රාජපක්ෂ ව්‍යාපෘතිය ‘ජීවමාන’ ය, ‘කල්පනා මාත‍්‍රයක් වත් විටින් විට ඇති වන්නක් වත්’ නො වේ, එවැනි ‘ව්‍යාපාර’ (අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි 1976: 178) දශක ගණනාවක් පැවතිය හැකි ය. ශ‍්‍රී ලාංකික විපක්ෂය මේ තත්ත්වය අවබෝධ කර ගෙන ඒ අනුව තම ක‍්‍රියා මාර්ගය සකස් කර ගත යුතු ය. දේශපාලනයේ දී බොහෝ විට අනපේක්ෂිත සිදුවීම්වල බලපෑම නිසා එවැනි අස්ථාවර නිශ්චිතත්වයන් සුනු විසුනු වී යා හැකි බව කිවමනා නො වේ. කෙසේ වෙතත් වත්මන් තත්ත්වය දිගට පැවතී ගෙන ගිය හොත් හා වැරදි හෝ තවදුර අයිතිවාසිකම් උල්ලංඝනයන් සිදු නොවුව හොත් ජනාධිපති රාජපක්ෂ පරාජය කිරීම දුෂ්කර වනු ඇත. පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා විරුද්ධ පක්ෂය තැති ගෙන හැසිරෙන ආකාරය හා ගන්නා අපමණ වෙහෙස ද සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීමට ඔවුන් අසමත් වීම ද පෙන්නුම් කරන්නේ සිංහල බෞද්ධ ආධිපත්‍යය හැඩ ගැසී ඇති බලගතු ස්වභාවය යි. විපක්ෂයේ කණ්ඩායම් දැනටමත් පොදු අපේක්ෂකයෙකු ලෙස නම් කිහිපයක් යෝජනා කර ඇත. මා සිතන පරිදි පොදු අපේක්ෂකයා ලෙස කවුරුන් තරග වැදුණත් වත්මන් ජනාධිපතිවරයා අතින් පරාජයට පත් වනු ඇත. ඉහත සඳහන් හේතු හැරුණු විට කිව යුත්තේ වත්මන් ජනාධිපතිවරයා හිලව් කිරීමට ජයග‍්‍රාහී පොදු අපේක්ෂකයා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු ඇත යන දේශපාලන සටන් පාඨය ප‍්‍රමාණවත් නොවන බවයි. එය පූර්ණ දේශපාලන පැකේජයක් විය යුතු ය. එය රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතියට ‘විරුද්ධ ආධිපත්‍ය’ දේශපාලන ක‍්‍රියා මාර්ගයක (ඩැනී ෆිල්ක් 2013: 119-133) ව්‍යාපෘතියක් විය යුතු ය.

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය රට තුළ තිබෙන අනෙක් සෑම දේශපාලන පක්ෂයක ම වත්මන් දේශපාලන ක‍්‍රියා මාර්ගයන්හි රැුඩිකල් වෙනසක් කිරීමට බල කර ඇත. නව-ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා තව දුරටත් එජාපය අවශ්‍ය නො වේ. රාජපක්ෂ ව්‍යාපෘතිය එය භාර ගෙන ඇත. රාජපක්ෂ ව්‍යාපෘතිය නෙරපා හළ හැකි විරුද්ධ ආධිපත්‍ය ව්‍යාපෘතියක් ගොඩනැගීමට එජාපය අසමත් ය. පළමු කරුණ ඔවුන් අපේක්ෂා භංගත්වයට පත්ව තම පක්ෂය තුළ ම භේද වී සිටීම යි. දෙවන කරුණ පක්ෂය තුළ සිටින සමහර නායකයන් දෙමළ ප‍්‍රජාවට බලය බෙදා හැරීම පිළිබඳ ගැටලූවේ දී රාජපක්ෂ ව්‍යාපෘතියට වඩා සමීප වීම යි. රාජපක්ෂ ව්‍යාපෘතියට විරුද්ධ ආධිපත්‍ය ව්‍යාපෘතියක් නිර්මාණය කිරීමට නම් දෙමළ ප‍්‍රජාවට බලය බෙදා හැරීම පිළිගැනීම අත්‍යවශ්‍ය ය.

ජවිපෙ ද මේ හේතුව නිසා ම විරුද්ධ ආධිපත්‍ය ව්‍යාපෘතිය නිර්මාණය කිරීමට අසමත් ය. බලය බෙදා හැරීම ගැන ඔවුන්ට කිසි කලෙක පැහැදිලි දේශපාලන මතයක් තිබී නැති අතර 1987-1989 සන්නද්ධ නැගිටීම අතරතුර ඔවුන් ක‍්‍රියා කළේ දෙමළ ප‍්‍රජාවට බලය බෙදා හැරීමට එරෙහි දිවුරුම් දුන් සතුරන් ලෙස ය. මේ අවධියේ දී ජවිපෙ දෙමළ ප‍්‍රජාවට බලය බෙදා හැරීමට සහාය දුන් වාමාංශික ක‍්‍රියාකාරීන් හා නායකයන් ඝාතනය කළේ ය. එතැන් සිට විසිපස් වසරක් දේශපාලන ක‍්‍රියාකාරකම්වල යෙදීත් ඔවුන් තව ම මේ ඝාතන සම්බන්ධ වගකීම භාර ගෙන සමාවක් ඉල්ලා නැත. රාජපක්ෂ ව්‍යාපෘතිය ජවිපෙ සිංහල සටන්කාමිත්වය තමන් භාර ගෙන ඔවුන්ගේ ග‍්‍රාමීය ඡුන්ද පදනම තව දුරටත් හකුළුවා ඇත. ග‍්‍රාමීය තරුණ විරැුකියාව අඩු කිරීම දැන් ජවිපෙ කේඩරයන් බඳවා ගැනීමේ හැකියාව හොර රහසේ පැහැර ගෙන ඇත.

සමාජවාදය දේශනා කිරීමේ සිය සුවපහසු වේදිකාව අහිමිව සිටින ජවිපෙ රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය සමග සටනට පිවිස ඇත්තේ තම සමාජවාදී මූලධර්ම මත නො ව තමන්ගේ ම මූලධර්ම මත ය. ඔවුහු පාලන තන්ත‍්‍රය කළ අයිතිවාසිකම් උල්ලංඝන ගැන කතා කරති. එසේ නම් තමන් කියන වර්ගයේ සමාජවාදයකින් අද අප භුක්ති විඳින අයිතිවාසිකම් කොතෙක් දුරට ආරක්ෂා වනු ඇත් දැයි ඔවුන් අපට කිව යුතු ය. රාජපක්ෂ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගත් කල අප සිටිය යුතු තැන අපි දනිමු. එහෙත් ජවිපෙ සම්බන්ධයෙන් ගත් කල ඔවුන්ගේ ඝාතක ඉතිහාසය අනුව එය මුළුමනින් ම වෙනස් අත්දැකීමක් වනු ඇත. ජවිපෙ සමාජවාදී අත්දැකීම ලෝක පරිමාණව මුහුණ පා තිබෙන දුෂ්කරතා තොගය සැලකිල්ලට ගෙන සිය මොඩලය යළි තක්සේරු කර ඇත් ද යන්නත් බෙහෙවින් ම සැක සහිත ය.

සිංහල බෞද්ධයන්ගෙන් අතිමහත් බහුතරය ආධිපත්‍ය හැඩ ගැස්මක් තුළ සංවිධානය කෙරෙන තත්ත්වයකදීත් ප‍්‍රධාන දෙමළ පක්ෂය වන ටීඑන්ඒ (දෙමළ ජාතික සන්ධානය) සුළුතර ප‍්‍රජාවක් ලෙෂ ‘විරුද්ධ ආධිපත්‍ය ව්‍යාපෘතියක්’ ගොඩ නැගීමට අසමත් ය. දෙමළ කොටින්ට බෙහෙවින් සමීපව සිටි ඔවුන් දෙමළ කොටින් පරාජය වී වසර පහක් ගත වීත් තමන් කොටින්ගේ කුරිරුකම් කෙරෙහි අවිවේචනාත්මක ආකල්පයක් ගත්තේ මන්දැයි ප‍්‍රමාණවත් ලෙස පැහැදිලි කර නැත.

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය දශක ගණනාවක් පැවතී ගෙන යති’යි කරන තර්කය සලකා බැලිය යුත්තේ පාලන තන්ත‍්‍රය දුර්විපාක නො ලබා කර ගෙන යන මූලික අයිතිවාසිකම් උල්ලංඝනයේ ඉතිහාසය සමග සසඳමිනි. සමහර ප‍්‍රාදේශීය නායකයන් ජනතා විරෝධී සාපරාධී ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධව සිටින අතර දේශපාලන හිතවත්කම් නිසා නිසි නීතිමය ක‍්‍රියාවලිය යොදා ගැනීම මන්දගාමී ය, නැත්නම් කඩාකප්පල් වේ. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් තේරීමේදී ඥාති සංග‍්‍රහය ප‍්‍රධාන සාධකයක් බව පෙනෙන අතර මේ නායකයන්ගෙන් සමහරු මුළුමනින් ම දූෂිත ය. අදූෂිත ප‍්‍රාදේශීය නායකයෝ තේරීම් ක‍්‍රියාවලියේ දී කොන් වෙති. දේශපාලනඥයන් දූෂිත බවටත් ඔවුන් ජනතා නියෝජිතයන් බවට පත් වන්නේ මුදල් ඉපැයීම සඳහා බවටත් ජනතාව අතර පුළුල් විශ්වාසයක් පවතී. ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන කාලයක් එනු ඇත. බස්නාහිර හා දකුණු පළාත්වල මෑත පැවැත්වූ පළාත් සභා මැතිවරණවලදී ආණ්ඩුවේ වැඩි ඡුන්ද සංඛ්‍යාව අඩු වූයේ මෙම කෝපය නිසා බව, පාඩමක් උගැන්වීමට ඡුන්දදායකයන්ට වුවමනා වූ නිසා බව පෙනේ.

සංවිධාන හා පුද්ගලයන් සුළුතර ප‍්‍රජාවන්ට එරෙහිව ප‍්‍රහාරාත්මකව වෛරී කතා පැවැත්වීම නතර කිරීමට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් තුච්ඡු ලෙස අසමත් වීම ද පවතී. බොදු බල සේනාව පොලිස් නිලධාරීන් ඉදිරියේ පවා රජයේ කාර්යාල වටලමින් සිය මුස්ලිම් විරෝධී ව්‍යාපාරය ක‍්‍රියාවට නැංවීමට සමත් වී ඇත්තේත් පොලීසිය ඔවුන්ගේ සාපරාධී හැසිරීම නතර කිරීම සඳහා පියවර ගැනීමට අසමත් වී ඇත්තේත් මන්දැයි ඉතා පැහැදිලි ය. ආණ්ඩුව මේ අයුරින් මේ රට තුළ සුළුතර ජීවිතය දුෂ්කර හා අභාග්‍ය සම්පන්න තත්ත්වයට පත් කිරීමට නොයෙක් සංවිධානවලට ඉඩ දී ඇත.

ජාතික ජනප‍්‍රියවීමේ අසාර්ථකත්වය

ග‍්‍රාම්ස්චි පවසන අර්ථයෙන් නම් දෙමළ කොටින් පරාජය කිරීමෙන් පසු පාලන තන්ත‍්‍රය ‘ජාතික ජනප‍්‍රිය’ ආණ්ඩුවක් බවට පත් වීමට අසමත්ව ඇත. ‘ජාතික ජනප‍්‍රිය’ දේශපාලන ස්වභාවය අත් කර ගැනීමට නම් පළමුව එය 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ පදනම මත දෙමළ ප‍්‍රජාවට දේශපාලන බලය බෙදා හැරීමෙන් දෙමළ ජනතාවගේ දුක් ගැනවිලිවලට විසඳුම් සපයා තිබිය යුතු ය. මෙය දෙමළ ජනතාවගේ සහාය දිනා ගැනීමටත් වෙන ම රාජ්‍යයක් හෙවත් දෙමළ ඊළම පිළිබඳ අදහසෙහි එල්ලී සිටීමට තවමත් කැමති අය හුදෙකලා කිරීමටත් දායක වන්නට තිබිණ. මෙය පරිණතභාවය, ඉවසීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අර්ථයෙන් ජාතිය ගොඩ නැගීමේ දේශපාලන ක‍්‍රියා මාර්ගයකට කැපවීම සහිත දේශපාලන සමබර කිරීමේ ක‍්‍රියාවක් වන්නට තිබිණ. දෙවනුව එය සුළුතර භීතීන්ට හා සැකසංකාවන්ට විසඳුම් සොයනු පිණිස ව්‍යවස්ථාව තුළ පවත්නා වෙනස්කම් කිරීමේ විධිවිධාන සියල්ල ඉවත් කර අනෙක් ප‍්‍රජාවන් හා ආගමික කණ්ඩායම් සමග එතරම් ම අවශ්‍ය කරන ප‍්‍රතිසන්ධානය ඇති කළ යුතුව තිබිණ. මෙය කිසි විටෙක සිදු නො වී ය. රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය තුළ සිටින වර්ගවාදී කොටස් එම ක‍්‍රියා මාර්ගය කඩාකප්පල් කර වෙනස්කම් කිරීමේ භාවිතයන් චිරස්ථායී කිරීම අඛණ්ඩව කර ගෙන යති.

අනෙකුන් බැහැර කරන සිංහල බෞද්ධ ආධිපත්‍ය හැඩ ගැස්මක් පවතින විට තමන් මේ ජාතියට අයත් යැයි නොහැෙඟන බැවින් අනෙක් සියලූ ආගමික හා ජනවාර්ගික සුළුතරයෝ පීඩා විඳිති. ඔවුන් තම එදිනෙදා ජීවිතයේ දී වෙනස්කම් කිරීම්වලට මුහුණ පාන අතර අද දින එවැනි බැහැර කිරීම් හා භාවිතයන් ජීවිතයේ කොටසක් බවට පත්ව ඇත. ‘ජාතිකවාදය පවත්නා නමුත් තත්ත්වය ජාතික ජනප‍්‍රියයැයි සැලකිය නොහැකි රටවල’ දී ‘පොදු මහජනතාව’ අන් අයුරකින් කිව හොත් ‘ගවයන් මෙන් පෙනෙති.’ (අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි 1995: 256). 2009 මැයි මස වෙල්ලිමුලේවයික්කාල්හි සිට 2013 අගෝස්තුවේ රතුපස්වල දක්වා අහිංසක සිවිල් වැසියන්ට සැලකූ ආකාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ එවැනි ජාතිකවාදී ආණ්ඩු මානව අභිමානය හා ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීමට කොතරම් නම් නුසූදානම් ද යන්න යි.

නිගමනය

වත්මන් ස්වරූපය හා ව්‍යුහය අනුව ගත් කල රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය දෙමළ ප‍්‍රජාවට බලය බෙදා හැරීම සම්බන්ධයෙන් දේශපාලනික ප‍්‍රගතියක් අත් කර ගැනීමට ඉඩක් නැත. එමෙන් ම බොදු බල සේනාව වැනි සංවිධානවලට සිය සාපරාධී හැසිරීම් බාධාවකින් තොරව පවත්වා ගෙන යෑමට ඉඩ ලැබී ඇති බැවින් මුස්ලිම් ප‍්‍රජාව තුළ තව තවත් සුළුතර දුක් ගැනවිලි ගොඩ ගැසිය හැකි ය. රාජපක්ෂ ව්‍යාපෘතියේ දේශපාලන බිඳ වැටීම නීතියේ පාලනය යළි පිහිටුවීමත් ජීවත් වීමට ඇති අයිතිය ඇතුළු මූලික මානව අයිතිවාසිකම්වලට ගරු කිරීමත් දෙමළ ප‍්‍රජාවට බලය බෙදා හැරීමත් සමග සම්බන්ධ වීමට යයි. සිංහල ජාත්‍යෝත්තමවාදය හා ජාතිකවාදය ඉතා ම සාර්ථකව රාජපක්ෂ ව්‍යාපෘතිය තුළ පැලපදියම් වීමට තිබෙන ඉඩ නිසා අවතැන්ව සිටින්නන් නව දේශපාලන ගමන් මගක් සෙවීම සඳහා අතිදීර්ඝ හා දුෂ්කර සටනකට සූදානම් විය යුතු ය. එහි දී ජයග‍්‍රහණයන්ගෙන් මෙන් ම අපේක්ෂා භංගත්වයන්ගෙන් ද උගන්නා අතර නැවුම් තුරුණු නායක පරම්පරාවක් පෙරට ගෙන ආ යුතු ය. විපක්ෂය කරන්නේ මීළඟ මහ මැතිවරණයේ දී එජනිසය පරාජය කිරීමට තමන්ට තිබෙන හැකියාව ගැන මන බඳනාසුලූ දේශපාලන කතා පැවැත්වීම පමණක් නම් ඔවුන් නැවත වතාවක් පරාජයේ ඉරණමට මුහුණ දෙනු ඇත. තිරසර අනාගතය රඳා පවත්නේ ජාතිකවාදී ක‍්‍රියා මාර්ග සඳහා ජනතාව බිලි දීමෙහි නො ව සකලවිධ ජනතාවන් පිළිගෙන ඔවුන්ට සේවය කරන ජාතිකවාදී දේශපාලනයක් මත ය.

– See more at: http://ravaya.lk/?p=4021#sthash.r4nPcCKj.dpuf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )