කලා ලොවෙන් සමුගත් ෂේක්ස්පියර් ප්‍රතිරචකයා
බන්දුලගේ ෂේක්ස්පියර් පරිවර්තන අතිශයින්ම කාව්‍යාත්මක වන අතරම නාට්‍ය උචිත වුණා. ඔහු සිය පරිවර්තන කාර්යේදී මුල් කෘතියේ අර්ථයට හැකිතාක් සමීප වීමට වගේම භාෂා ශෛලිය ආරක්ෂා කිරීම ගැනත් උනන්දුවක් දැක් වූවා. ෂේක්ස්පියර්ගේ වැකිවල කාල අන්තරය බන්දුල සිංහල පරිවර්තනවලත් එලෙසම දකින්න ලැබෙනවා.
එය රංග කාර්යේදී නළුවන්ට මෙන්ම නිෂ්පාදකටත් විශාල පහසුවක්. ජෙරොම් ද සිල්වා අධ්‍යක්ෂණය කළ ‘මැක්බත්’ සිංහල නාට්‍ය නිෂ්පාදනයට පාදක කරගත්තේ බන්දුල විතානගේ ගේ පරිවර්තන යයි. මා ද මෙම නිෂ්පාදනයට, වේදිකා පරිපාලනයෙන් සම්බන්ධ වූ නිසා රංගයට උචිත කාව්‍යාත්මක බසක් තනා ගැනීමට ඔහු ගත් අපරිමිත වෙහෙස ගැන අත්දැකීමක් තිබෙනවා. ඔහු ඉතාම නම්‍යශීලී පුළුල් වාග් කෝෂයක් සහිත නිර්මාණකරුවෙක්. එසේ නොමැතිව මෙවැනි වික්‍රමයක් දැක්වීමට හැකියාවක් ඇතිවන්නේ නැහැ. හුදු පරිවරතයෙක් නොවී නාට්‍යකරුවෙක් වීමත් මෙම අනන්‍යතාව තවත් හේතුවක් වෙන්න ඇති.
බන්දුල විතානගේ හැම්ලට්, මැක්බත්, වැනීසියේ වෙළෙන්දා ආදී සෑම ප්‍රමුඛතම ෂේක්ස්පියර් කෘතියක්ම සිංහලට නඟා තිබෙනවා. ඔහු හැඳින්වීම සඳහා ලේක්හවුස් පුවත් යොදාගත් ‘ෂේක්ස්පියර් ප්‍රතිරචකයා’ යන්න පසුව විරුදාවලියක් බවටත් පත් වුණා. බන්දුල ඔහුගේ නිර්මාණ දිවියේ දි ‘කඳුලකට වඩා සිනහව අගනේය’ යන අදහස යළි යළිත් මතු කළා. එය ඔහුගේ තේමා පාඨය වුවා යැයි පැවසිය හැකියි. මේ දහම වඩාත් හොඳින් දකින්න ලැබෙන්නේ ඔහුගේ පසුකාලීන නිර්මාණ අතරයි. “ෂේක්ස්පියර් ප්‍රතිරචකයා” ලෙස අප ඔහු හැඳින් වූවත් බන්දුල අතින් ලාංකික වේදිකාවට සිදුවු සේවය එක පරාසයකට කොටු කරන්න බැහැ. ඔහු අතින් මධ්‍යකාලීන යුගයට අයත් සම්භාව්‍ය නාට්‍ය වගේම නූතන නාට්‍යත් පරිවර්තනයව තිබෙනවා.
ඒ අතර අමෙරිකානු, ප්‍රංශ හා බ්‍රිතාන්‍ය නාට්‍යකරුවන් සිටිනවා. තෝන්ටන් වයිල්ඩර්ගේ ‘ද මැච් මේකර්’, කෘතිය ‘සෙනෙහෙබර ඩොලී නමින් ද ‘අවර් ටවුන්’ ‘හිරු දහස’ නමින් ද අනුවර්තනය හා නිෂ්පාදනයෙන් සිංහල වේදිකාව සරු කිරීමට ඔහු දායකව තිබෙනවා. ඒ අතරම ඔහු නීල් සයිමන්ගේ ‘ද ඔඩ් කපල්’ නාට්‍ය ‘ඒ සොඳුරු මිනිසා’ නමින් සිංහලට පරිවර්තනය කර තිබෙනවා. මේ සියලු නිෂ්පාදන කාර්ය අතරින් බන්දුල විතානගේ ගේ නම ප්‍රේක්ෂකයන් අතරට ගියේ සෙනෙහෙබර ඩොලී, රෝමය ගිනි ගනී හා සිකුරු සැණකෙළි නාට්‍ය වලින්.
රෝමය ….. රේ කුනී නම් බ්‍රිතාන්‍ය නාට්‍යකරුවාගේ ‘රන් ෆෝ යුවර් වයිෆ්’ නම් නාට්‍යයේ අනුවර්තනයක්. මෙම නාට්‍යයට අතිශය ජන ආකර්ෂණයක් ලබුණා. ඒ වගේම එය 96 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙෙල් දී සම්මාන 5ක් හිමි කරගත්තා. ඔහු පසුව එම නාට්‍යකරුවාගේම “කේජ් ඉන් ද නෙට්’ නාට්‍ය ‘රෝමය ගිනි ගනී’ ලෙස වේදිකාවට ගෙනාවා. ඔහු එක්තරා විදිහකට සුඛාන්ත නාට්‍ය නිෂ්පාදකයෙක් පරාත්වාරෝපණයව සිටියා කිව්වොත් නිවැරැදියි. ඒ වන විට මෙරට නාට්‍ය කලාව මුහුණ දී සිටි බරපතළ අර්බුදය එයට හේතු වෙන්න ඇති.
බන්දුලට මේ ගැන තිබුණේ ප්‍රායෝගික විසඳුමක්. ඔහු ‘සිනා රැල්ල’ට එරෙහිව උඩුගම් බලා පිහිනුවෙ නැහැ. ඒ රැල්ල දෙසටම එයට ඉහළින් සිටිමින් පිහිනුවා. සිනා රැල්ලට වසඟව සිටි ප්‍රේක්ෂකයන් හරවත් නාට්‍යමය අත්දැකීමක් ලබා දෙන්න ඔහුගේ මැදිහත්වීම වැදගත්. අවර ගණයේ හාස්‍ය රැල්ලෙන් කුල්මත්ව සිටි ප්‍රේක්ෂකයන්ගේ ඥාන මණ්ඩලය පුළුල් කරන්න මේ නාට්‍ය දායක වුණා. නමුත් ඒ මාවතේ ගමන් කළේ අල්ප දෙනෙක් පමණයි.
බන්දුල විතානගේ ගේ වසර 50කට ආසන්න නාට්‍ය කලා දිවිය එකම ආරකින් සමන්විත නොවන පුළුල් පරාසයක විහිදී ගිය එකක් බව පැහැදිලියි. ඔහු 1965දී ‘මේඝ ගර්ජනා’ නාට්‍යත්, 1971දී ‘ගංගාවක්, සපත්තු කබලක් හා මරණයක්’ නාට්‍යත් නිෂ්පාදනය කළා. සපත්තු කබලක් ලිව්වෙ සයිමන් නවගත්තේගම. ඔහු 74 දී “බෙකට්’ නිෂ්පාදනය කළා. එය දේශපාලන තේමාවක් රැගත් නාට්‍යයක්. ඒ වගේම මේ නාට්‍යවල අසම්මත නාට්‍ය ලක්ෂණත් දකින්න ලැබුණා. පසුව “ෂේක්ස්පියර් ප්‍රතිරචකයා” බවට පත් වන්නේත් මේ අසම්මත නාට්‍යකරුවාමයි. සංඛ්‍යාත්මකව සුළු වුවත් ඔහුගේ සිනමා සම්මාදමත් අගය කළ යුතුයි.
බන්දුල විතානගේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව හා ලේක්හවුස් ආයතනය යන ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දිශා තුනක විහිදී ගිය ප්‍රමුඛ මාධ්‍ය ආයතන තුනකට සිය සේවය ලබා දී තිබෙනවා. ඒ 1971 සිට 82 දක්වා ගුවන් විදුලියටත්, 1982 සිට 2000 පමණ වන තුරු රූපවාහිනියටත්, 2001 සිට වසර දෙකක් වැනි කෙටි කාලයක පත්තර මහගෙදර සඳහාත් යනාදි ලෙසයි.
රූපවාහිනී ටෙලි නාට්‍ය වංශ කතාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකි 80 දශකයේ ඔහු සුමිත්‍රා රාහුබද්ධගේ “බුමුතුරුණු” නවකතාව ඇසුරෙන් නිෂ්පාදනය කළ එනමින්ම යුත් ටෙලි නාට්‍යත්, “අසල්වැසියෝ” නාට්‍යත් ඉමහත් ජනාදරයක් දිනා ගත්තා. මේ නිර්මාණ ප්‍රදර්ශනය වී වර්තමානය වන විට දශක තුනකට ආසන්න කාලයක් ගතවී තිබුණත් තවමත් ඒවා රසිකයින්ගේ මතකයේ ඈත්වී නැහැ. රෝමය , සිකුරු සැණකෙළි හෝ වැනීසියේ වෙළෙන්දා අමතක වී නැහැ. එම නිර්මාණ තවදුරටත් ඔහු අප අතර සිටින්නේය යන හැඟීම ඇති කරනවා.
චන්දන ජයවීර
http://www.dinamina.lk/2014/09/03/_art.asp?fn=f1409035