ධර්මපාලතුමාගේ ලෝක බෞද්ධ දෘෂ්ටිය – මහාචාර්ය අසංග තිලකරත්න
ධර්මපාලතුමාගේ දේශීය චින්තනය හා ක්‍රියාකාරීත්වය බොහෝ විට අර්ථකථනය කරනු ලැබ ඇත්තේ පටු ජාතිකවාදී හා නොතිබූ අතීත ශ්‍රී විභූතියක් පිළිබඳව “වංසය කබල් ගෑ” අවසානයේ දී තමා උපන් දේශීය ධනපති පංතියට සේවය කිරීමේ සංසිද්ධියක් ලෙසටය.
මෑත ශ්‍රී ලාංකික ඉතිහාසය තුළ නිවැරැදිව තේරුම් නොගනු ලැබූ එක් ශ්‍රේෂ්ඨ පුරුෂයෙකු පිළිබඳ අගනා නිදසුනක් ලෙස ධර්මපාලතුමා හැඳින්වීම නිවැරැදිය. එතුමාගේ චින්තනය හා ක්‍රියාකාරීත්වය සමස්තයක් ලෙස ගෙන එය එතුමා ක්‍රියා කළ 19 වන සියවසේ අග සහ 20 වන සියවසේ ආරම්භක අවදියේ ශ්‍රී ලාංකික ආර්ථික, දේශපාලනික හා ආගමික සන්දර්භය තුළ තබා විමසා බලන විට ඉහත දැක්වූ ජනප්‍රිය අර්ථකථනය නිවැරැදි නොවන බව පෙනී යයි.
ධර්මපාලතුමාගේ ක්‍රියාකාරීත්වය පුළුල් අංශ තුනකට බෙදා දැක්විය හැකිය. එනම් (I) එතුමාගේ ශ්‍රී ලාංකික ජාතික හා ආගමික පුනරුද ක්‍රියාවලිය, (II) බුද්ධගයාව නැවත බෞද්ධයන් වෙත ලබාගැනීම මුල් කොටගත් ඉන්දියාව තුළ බුදුසමය නැවත පිහිටුවීම සඳහා වූ ක්‍රියාවලිය හා (III) අමෙරිකාව හා එංගලන්තය ඇතුළු බටහිර ලෝකයට බුදුසමය හඳුන්වා දීම සඳහා වූ ක්‍රියාවලිය යනුවෙනි. මෙම ක්‍රියාවලි තුන එකිනෙකින් වියුක්ත ලෙස පෙනී යා හැකි වුවත්, එසේ නො වනුයේ ඒවා සියල්ල එක ම පුළුල් දෘෂ්ටිකෝණයක් මඟින් මෙහෙයවන ලද අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධ ක්‍රියාදාමයක් වීමේ හේතුවෙනි.
ශ්‍රී ලංකාව තුළ ධර්මපාලතුමාගේ චින්තනයට හා ඒ මත පදනම් වූ ක්‍රියාකාරීත්වයට පසුබිම වන මතවාදී බලවේග තුනක් නම් කළ හැකිය. (I) සිංහල ජාතිකත්වය හා එහි ප්‍රෞඪ අතීතය පිළිබඳව ධර්මපාලතුමාගේ අවබෝධය, (II) බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමෙහි ශ්‍රේෂ්ඨත්වය හා ජාතිය ගොඩනැංවීමෙහිලා එහි ඇති අදාළ භාවය හා ශක්තිය පිළිබඳ විශ්වාසය හා (III) ශ්‍රී ලංකා සමාජයෙහි සාමාජික හා ආර්ථික අභිවෘද්ධිය සඳහා අදාළ වන නූතන අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳ චින්තනය.සිංහල ජාතිය පිළිබඳ ධර්මපාලතුමාගේ අදහස් හා ක්‍රියාකාරීත්වය තේරුම් ගත යුත්තේ එවකට පැවැති යටත් විජිතවාදී දේශපාලන සන්දර්භය තුළය. එක් අතකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව පරාධීන ජාතියක් ලෙස පැවැති අතර අනිත් අතට අනිකුත් විවිධ ජාතිකයන් අතර සිංහල ජාතිකයා, බහුල වශයෙන් විදේශීය ආගමික හා සංස්කෘතික චර්යාවනට අනුගත වෙමින් පරදේශීව සිටි අතර ග්‍රාමීය බහුතර ජන කොටස අලසකමින් යුතුව නිසි අධ්‍යාපනයකින් තොරව, එහෙයින්ම කර්මාන්ත හා වෙළඳාම වැනි කාර්යවලින් බැහැරව අවාසනාවන්ත ලෙස ජීවත්වනු ධර්මපාලතුමාගේ අවධානයට පාත්‍ර විය.
මෙම තත්ත්වයෙන් සිංහලයා බේරාගැනීම ධර්මපාල චින්තනයේ හා ක්‍රියාකාරීත්වයේ ශ්‍රී ලංකාව සම්බන්ධ ප්‍රධාන කාර්යය විය. සිංහල ජනතාව වැටී සිටි මෙම තත්ත්වයෙන් ඔවුන් නඟාසිටුවීමට එතුමා නැඟූ හඬ වේදනාත්මක ද කර්කශ ද විය.
දෙමළ, මරක්කල, ලන්සි, හෙට්ටි, ඉන්දියන්වරු, හම්බයෝ, කොච්චි, යුරෝපීයවරු ද ශතවර්ෂ හතළිහ තුළ වෘද්ධියට පැමිණියෝය. කළු හම ඇති ජාතීහු ලංකාවේ සිටිති. ඔවුන් ඉංග්‍රීසීන්ගේ චාරිත්‍ර ගන්නේ නැත. සිංහල මෝඩයා පමණක් ඉංග්‍රීසි චාරිත්‍ර ගෙන පිරිහීමට පත් විය. දෙමළ, කොච්චි, හම්බ, මරක්කල කළු වර්ගයා දවසින් දවස වර්ෂ තිහක් තුළ සමෘද්ධි භාවයට පැමිණියාහහුයි. කාලකණ්ණි සිංහලයෝ විනාශ මුඛයට පත්වූවෝය. ජීවිකාව පිණිස ලංකාවට ගොඩබසින පරදේශීහු සිංහලයාගේ මූඪකම් දැක “සිංහලයා මෝඩයා” යැයි ගර්හා කරති.
ධන සැපයීමට සිංහලයාට මොළේ නැතැයි දෙමළ කුලීකාරයන්ට වැටහී තිබේ. රික්ෂෝ රථය අදින දෙමළ කුලීකාරයාට තිබෙන ඥානය සිංහල කාලකණ්ණියාට නැත. කලිසම්, කෝට්, තොප්පි, ටයි, කොලර්, කමිස, මේස් බැනියන්, සපත්තු, මේස්, ලේන්සු බොත්තන් ආදියට සිංහල මෝඩයා කරන නිරර්ථක වියදම් අනික් ජාතීහු කරන්නේ නැත. ලංකාවේ හම්බ, මරක්කල, ලන්සි, පාරසී සමූහයා දක්නා ලැබේ. ජාතික වස්ත්‍ර, ජාතික නාම, ජාතික චාරිත්‍ර උල්ලංඝනය නොකොට යටකී ජාතීහු පවත්වති. කිසි චාරිත්‍රයක්, ආගමක්, ධර්මයක්, ආචාර්යවරයෙක් නැත්තේ කාලකණ්ණි සිංහලයන්ට පමණයි. (ධර්මපාල ලිපි. සංස්. ගුරුගේ 73 – 74 පිටු)
මෙම අදහස්වලින් මතුවන්නේ අනිකුත් ජාතීන් පිළිබඳව ඊර්ෂ්‍යාවකින් පසුවන්නෙකු නොව තම ජාතියෙහි පරිහානිය දැක එම ජාතිය දියුණු කිරීම සඳහා වෙහෙස දැරූ ක්‍රියාකාරිකයෙකි. “දැනගත යුතු කරුණු” යනුවෙන් ලියා විසුරුවා හරින ලද පත්‍රිකා මඟින් සිංහල ජනතාවගේ දෛනික ජීවිතය ක්‍රමවත් කර ගැනීමට අවශ්‍ය කරුණු ද ඇතුළු බොහෝ වැදගත් තොරතුරු විශාල ප්‍රමාණයක් සාමාන්‍ය ජනතාව වෙත ලබා දෙන ලදී.
ගිහි විනය පිළිබඳ ලේඛනය වූ කලී පෞද්ගලික හා පොදු සමාජ ජීවිතයේ සෑම අංශයක් පිළිබඳවම පාහේ මඟපෙන්වීම් සංග්‍රහයකි. සිංහල ජනතාව වෙත පූර්ණ සංස්කෘතියක් මෙම ලේඛන මඟින් ඉදිරිපත් කළ ධර්මපාලතුමා අමද්‍යප සභාව මඟින් සිංහල ජනතාව මත්පැනින් වළක්වා ගැනීමට උත්සාහ කළා පමණක් නොව, එම ජනතාව තුළ දේශපාලන නිදහස සඳහා අවශ්‍ය මානසික වාතාවරණයක් සකස් කිරීමට ද උත්සාහ කළේය.
අමෙරිකාවේ හා එංගලන්තයෙහි ද, යුරෝපයෙහි ජපානය හා චීනය වැනි රටවල්වල ද සංචාරය කළ ධර්මපාලතුමා එම රටවල කාර්මික දියුණුව නිරීක්ෂණය කොට ඒ අනුව ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීමේ හා දියුණු කිරීමේ අවශ්‍යතාව ලාංකිකයනට පැහැදිලි කළා පමණක් නොව, එම රටවලට පුද්ගලයන් යවා පුහුණු කොට සමහර කර්මාන්ත ලංකාවෙහි ආරම්භ කිරීමට ද කටයුතු යෙදුවේය.
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි අධ්‍යාපන ක්‍රමයෙහි ඇති ප්‍රායෝගික ලක්ෂණ දුටු එතුමා එබඳු අධ්‍යාපන ක්‍රමයක් ලංකාවට ගැළපෙන බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව පිළිබඳ එතුමාගේ චින්තනය හා ක්‍රියාකාරීත්වය පුළුල් ගෝලීය ආකල්පයක ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැක්කේ මේ අනුවය.
ධර්මපාලතුමා හට මෙබඳු පුළුල් දෘෂ්ටි පථයක් ඇතිවූයේ කෙසේද යනු එතරම් අපහසුවකින් තොරව තේරුම් ගත හැකිය. එතුමාගේ පවුල් පරිසරය අගනුවර වූ කොළඹ ප්‍රධාන ව්‍යාපාරික පවුලකට අයත් වීම තුළින් සකස් වූවක් බව මෙහිලා සඳහන් කළ යුතුය. පිය පාර්ශ්වයෙන්, පියා වූ දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා පමණක් නොව, එතුමාගේ පියා වූ ඩිංගිරි අප්පුහාමි හේවාවිතාරණ මහතා ද ව්‍යාපාරික ප්‍රජාවට අයත් වූහ.
ධර්මපාලතුමා හට මවගේ පාර්ශ්වයෙන් ද නාගරික ප්‍රභූත්වය උරුමව තිබූ අතර, එතුමාගේ මවගේ පියා වූ අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන මුහන්දිරම් තුමා විසිනි විද්‍යෝදය පිරිවෙන පිහිටුවීම සඳහා මාළිගාකන්දේ ඉඩම හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් හට පූජා කරන ලද්දේ.
මෙබඳු නාගරික, ව්‍යාපාරික පවුල් පරිසරයක උපන් ධර්මපාලතුමාට කුඩා අවදියෙහි ලැබූ ක්‍රිස්තියානි අධ්‍යාපනය තුළින් ශ්‍රී ලාංකික නොවන සමාජය හා සංස්කෘතියත්, බුදුදහමට වෙනස් යුරෝපීය ආගමික සම්ප්‍රදායත් පිළිබඳව කරුණු දැනගැනීමට ලැබීම එතුමාගේ පසුකාලීන ක්‍රියාකාරීත්වය කෙරෙහි අර්ථවත් බලපෑමක් කළ බව පෙනේ.එතුමා බටහිර ආගමට හා සංස්කෘතියට නොපැකිළ මුහුණ දුන්නේත්, එම සමාජයට වැටහෙන ආකාර සංකල්පීය රාමුවකින් ආමන්ත්‍රණය කිරීමට එතුමාට හැකි වූයේත් මෙම ඇතැම් විට අමිහිරි වූ ආරම්භක අත්දැකීම හේතුවෙන් බව සිතිය හැකිය.
කෝට්ටේ මිෂනාරි ක්‍රිස්තියානි පාසලෙහි ඉගෙනීම ලබද්දී එම පාසලෙහි ආචාර්යවරයා ඔහුගේ තුවක්කුවෙන් කුරුල්ලෙකු මරා බිම හෙළීමේ සිද්ධිය ධර්මපාලතුමා තම චිකාගෝ නුවර ආගම් සම්මේලන අවස්ථාවෙහි දී කළ දේශනයකදී ද සඳහන් කිරීෙමන් එතුමා ලැබූ අත්දැකීම්වල ප්‍රබලත්වය පැහැදිලි වේ.
ගෝලීය දෘෂ්ටියක් සඳහා වඩා පුළුල් හා ප්‍රසන්න මඟපෙන්වීම් ධර්මපාලතුමා හට ලැබෙනුයේ හෙන්රි ස්ටිල් ඕල්කට්තුමාගෙන් සහ හෙලේනා පෙට්‍රොව්නා බ්ලැවැට්ස්කි මැතිනියගෙනි. පානදුරාවාදය පිළිබඳ විස්තර කියවා බෞද්ධයන් හා එක්ව වැඩ කිරීමේ අභිලාෂයෙන් මේ දෙදෙන නිව්යෝක් හි සිට ලක්දිවට සැපත්වනුයේ 1880 මැයි මාසයේදීය.
පරමවිඥානාර්ථ බෞද්ධ සමිතිය පිහිටුවීම ඇතුළු ඕල්කට්තුමාගේ ආරම්භක කටයුතුවලට පරිවර්තකයා වශයෙන් පමණක් නොව හැකි සෑම ආකාරයකින් ම තරුණ ධර්මපාල සහයෝගය දුන් බව පෙනේ. ඉන් අනතුරුව දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් ඕල්කට්තුමාගේ ප්‍රසිද්ධ දේශන සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යය ධර්මපාලතුමා හට නව අදහස්වලට විවෘත වීමට අවස්ථාවක් වූවා පමණක් නොව තම උපන් බිමෙහි පැවැති දුක්මුසු සමාජ ආර්ථික යථාර්ථය පිළිබඳව සෘජු අවබෝධයක් ලබාගැනීමේ අවස්ථාවක් ද විය.
පසුව මෙම දෙපළ ද කැටුව දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර අඩ්යාර් හි පරමවිඥානාර්ථ මූලස්ථානයට ධර්මපාලතුමා ගියේ පරමවිඥානාර්ථය පිළිබඳව වැඩිදුර හැදෑරීමට වුවත්, එහිදී බ්ලැවැට්ස්කි මැතිනියගේ උපදෙස් මත ඒ වෙනුවට පාලි භාෂාව ගැඹුරට ඉගෙනීමටත්, ඒ මඟින් මානව වර්ගයාට සේවය කිරීමටත් ගත් අධිෂ්ඨානය සහිතව ධර්මපාලතුමා නැවත ශ්‍රී ලංකාවට පැමිණීම එතුමාගේ ස්වාධීන ක්‍රියාකාරී ජීවිතයෙහි ආරම්භය විය.
ධර්මපාලතුමාගේ ලංකාවෙන් පිටත බෞද්ධ ක්‍රියාකාරකම් ආරම්භ වනුයේ ඉන්දියාවෙනි. 1884 දී මුලින් ම එතුමා පරමවිඥානාර්ථ ක්‍රියාකාරීන් සමඟ චෙන්නායි නුවර අඩ්යාර් හි පිහිටි එම මූලස්ථානයට ගොස් පැමිණීමෙන් පසු නැවත ඉන්දියාවට ගියේ 1891 දී එහි පැවැත්වුණු අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයට සහභාගි වීම සඳහාය.
ඕල්කට්තුමා විසින් මෙම සම්මේලනය කැඳවා තිබුණේ එතුමා සකස් කොට තිබූ සියලු බෞද්ධ සම්ප්‍රදායවලට පොදු මූලධර්ම දාහතරකින් සමන්විත ලේඛනයට එම බෞද්ධ සම්ප්‍රදායවල නායකයන්ගේ අනුමැතිය ලබාගැනීම සඳහාය. මෙම ලේඛනය හැදෑරීමෙන් පසු ශ්‍රී ලාංකික බෞද්ධයන් වෙනුවෙන් අනුමැතිය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් දෙන ලදුව, එය නිල වශයෙන් සම්මේලනයට දැන්වීමේ කාර්යය පවරන ලද්දේ ධර්මපාලතුමාටය.
ජපාන භික්ෂුවක වූ කෝෂෙන් ගුණරතන හිමියන් ද සමඟ ධර්මපාලතුමා මේ ගමන පිටත්වූයේ දඹදිව බෞද්ධ සිද්ධස්ථාන දැකගැනීමේ හා වන්දනා කිරීමේ ද අදහසින් ය. අඩ්යාර් හි පැවැති සම්මේලනයේ දී සියලු බෞද්ධ සම්ප්‍රදායවලට පොදු සිද්ධාන්ත පද්ධතියක් සකස් කොට ඉදිරිපත් කිරීමේ ගෞරවය ඕල්කට්තුමාට හිමිවන අතර, ධර්මපාලතුමාගේ පැත්තෙන් බලන විට එම ප්‍රයත්නයට දායක වීම එතුමා තුළ සමස්ත බෞද්ධ චින්තනයේ අවශ්‍යක ඒකත්වය පිළිබඳ හැඟීමක් ඇතිවීමෙහිලා ප්‍රබල හේතුවක් වූවා නො අනුමානය. පසුව අප දකින ධර්මපාලතුමාගේ ලෝක බෞද්ධ ක්‍රියාකාරීත්වයෙහි මෙහෙයුම් බලවේගය වූයේ මෙම අවබෝධය බව කිව හැකිය.
ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාව සඳහා ගිය ධර්මපාලතුමාට එහි දක්නට ලැබුණේ ගරාවැටුණු, නොසලකා හරින ලද නටබුන් රාශියක් පමණි. බුද්ධගයාවට ගිය විට දුටු දේ සිත් කම්පා කරනසුලු වූයේ, බෞද්ධයන්ගේ මෙම අති උත්තම පූජනීය ස්ථානය ශිවලිංගයක් සහිත දේවාලයක් බවට පත්කොට තිබූ බැවිනි.
බුද්ධගයාව පමණක් නොව සියලු බෞද්ධ සිද්ධස්ථාන ද නිසි ගෞරවාන්විත භාවයට පත් කළ යුතු බවට දැඩි අධිෂ්ඨානයක් ධර්මපාලතුමා තුළ ඇතිවෙමින් තිබුණේ මෙම කනගාටුදායක තත්ත්වය දැකීමට පටන් ගැනීමත් සමඟය. එහෙත් එතුමාම සඳහන් කොට ඇති පරිදි මෙම අධිෂ්ඨානය තීව්‍ර වූයේ බුද්ධගයාවට සිදුව තිබූ විනාශය දැකීමෙනි.
බුදුසමය නැවතත් ඉන්දියාවට හඳුන්වා දී, බුද්ධගයාව ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කොට භික්ෂූන් වහන්සේ එම ස්ථානවල වාසය කරවීමේ දැඩි අදිටනින් ධර්මපාලතුමා ආපසු ලංකාවට පැමිණියේ.
පැමිණි විගස ධර්මපාලතුමා ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගෙන් යුත් රැස්වීමක් කැඳවා ඉන්දියාවෙහි බෞද්ධ තත්ත්වය පිළිබඳව පැහැදිලි කොට එහි සියලු බෞද්ධ සිද්ධස්ථානත්, විශේෂයෙන් ම බෞද්ධයාගේ මුදුන්මල්කඩ වන බුද්ධගයාවත් බේරාගැනීමේ අතිවිශාල ප්‍රයත්නයක අවශ්‍යතාව මෙම සම්භාවනීය සභාවට පැහැදිලි කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස 1891මැයි මස 31 වන දින බුද්ධගයා මහාබෝධි සමාගම පිහිටුවා ගන්නා ලදී. ධර්මපාලතුමාගේ පුළුල් ගෝලීය දෘෂ්ටිය මෙම සංගමයේ නිලධාරි මණ්ඩලයෙහි සංයුතිය දෙස බැලීමෙන් වුව පැහැදිලි වේ. සංගමයෙහි සභාපති ලෙස හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ද, ලේකම් ලෙස ධර්මපාල තුමා ද පත් වූ අතර, අනුශාසක ලෙස පත්කර ගන්නා ලද්දේ ටිබෙටයෙහි සුප්‍රකට ලාමාවරයෙකු වූ ලොඩින් ද් ටුබ්-දාන්-ග්යා-ත්වෝ හිමියන් ය.
අධ්‍යක්ෂ හා ප්‍රධාන උපදේශක ලෙස ඔල්කට්තුමා පත්කර ගන්නා ලද අතර, බුරුමය, ජපානය, චීනය යන රටවලින් උප සභාපතිවරුන් තිදෙනෙක් ද, ලංකාවෙන් උපසභාපතිවරුන් ලෙස වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන් හා වැලිගම ශ්‍රී සුමංගල හිමියන් ද පත්කර ගන්නා ලදී.
සියමය, ජපානය, බුරුමය, ලංකාව, අරකන්, චිතගොං, කල්කටා, ඩාර්ජිලිං, නිව්යෝක් හා ප්‍රංශය යන රටවලින් හා ප්‍රදේශවලින් ද නියෝජිතවරු පත්කර ගන්නා ලදහ. මෙබඳු අන්තර්ජාතික හා අන්තර් බෞද්ධ සාම්ප්‍රදායික මණ්ඩලයක් පත්කර ගැනීම තුළින් පැහැදිලි වනුයේ බුද්ධගයාව හෝ එබඳු අන් කිසිදු බෞද්ධ සිද්ධස්ථානයක් හෝ හුදු එක් රටකට හෝ එක් ජාතියකට හෝ නොව සමස්ත බෞද්ධ ලෝකයාට ම උරුම වන බවට ධර්මපාලතුමා තුළ පැවැති නිවැරැදි අවබෝධයයි.
මෙසේ ආරම්භ කරන ලද මහාබෝධි සමාගමෙහි ඉන්දීය ක්‍රියාකාරීත්වයත්, එහි මූලස්ථානය කල්කටා නගරයෙහි පිහිටුවා අනෙකුත් ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රයෙන් ද ශාඛා පිහිටුවා බුද්ධගයාව හින්දූන්ගෙන් බේරාගැනීමටත්, අනෙකුත් බෞද්ධ සිද්ධස්ථාන නඟාසිටුවීමටත් ධර්මපාලතුමා තම ජීවිතය අවසානය තෙක් ගත් වෙහෙස හා එතුමාගේ ජය සහ පරාජය ඇතුළු ක්‍රියාකාරීත්වය ද පිළිබඳ කතාන්තරය නැවත නැවතත් විස්තර සහිතව කියනු ලැබ ඇත.
බුද්ධගයාව බේරාගැනීමේ කාර්යය ධර්මපාලතුමා හට තම ජීවිත කාලය තුළදී සාර්ථක කර ගැනීමට නොහැකි වුවද ඉන්පසු වුවද එය මුළුමනින් සාර්ථක නොවූවද, එතුමා ඉන්දියාවට නැවත බුදුදහම හා බුදු සසුන හඳුන්වා දෙමින් කරන ලද සේවාව පුරෝගාමී මෙහෙවරකි. සුනිතිකුමාර් චැටර්ජි නම් විද්වතා පවසන පරිදි ඉන්දියාවට බුදුදහම නැවත හඳුන්වා දීමෙන් ධර්මපාලතුමා විසින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ අශෝක රජතුමා වෙත වූ ණය ගෙවා අවසන් කොට ඇත.
අමෙරිකාව, එංගලන්තය හා යුරෝපය
ඉන්දියාවේ තම කාර්ය සඳහා ධර්මපාලතුමා බෞද්ධ අබෞද්ධ මුළු ලෝකයේම සහාය පැතුවේය, එසේම ලද්දේය. අමෙරිකාවට හා එංගලන්තයට අමතරව එතුමා නෙදර්ලන්තය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය වැනි යුරෝපීය රටවල ද සංචාරය කළේය. යුරෝපීය රටවල එතුමාගේ බෞද්ධ කටයුතු නො පැවැතිය ද, එතුමා මෙම රටවල සංචාරය කළේ ලංකාවේ හා ඉන්දියාවේ එතුමාගේ අධ්‍යාපන හා සාමාජික කාර්ය සඳහා මාර්ගෝපදේශ ලබාගැනීමේ අදහසින්. විශේෂයෙන් ම මෙම රටවල කාර්මික දියුණුව එතුමාගේ තියුණු අවධානයට යොමු විය. යුරෝපීය රටවලට අමතරව මහායාන බෞද්ධ රටවල් වූ ජපානය හා චීනය යන රටවල ද එතුමා සංචාරය කළේ තම බෞද්ධ කටයුතු – විශේෂයෙන් ම ඉන්දියාවේ බෞද්ධ කටයුතු – සඳහා ආධාර ලබාගැනීමේත්, තම ලෝක බෞද්ධ දෘෂ්ටිය තහවුරු කරමින් සම්ප්‍රදාය භේදයකින් තොරව ලොව පුරා විසිර සිටින බෞද්ධයන් අතර ඒකාබද්ධතාවක් ඇති කිරීමේත් පරමාර්ථයෙන් බව පෙනේ.
ධර්මපාලතුමා ශ්‍රී ලාංකික ෙථරවාද සම්ප්‍රදායේ පමණක් නොව ලෝක බෞද්ධ ප්‍රජාවගේ ද නියෝජිතයා ලෙස බටහිර ලෝකය හමුවේ මුල්වරට පෙනී සිටිනුයේ 1893 සැප්තැම්බර් මස (11 – 27 දිනවල) අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර පැවැති ලෝක ආගම් පිළිබඳ සම්මේලනයේදීය. (Parliament of World Religions) එම සම්මේලනය ඉදිරියෙහි පැවැත්වූ පළමු දේශනය ධර්මපාලතුමා ආරම්භ කරනුයේ මෙසේය.
මා ඔබ වෙත එන්නේ දස ලක්ෂ හාරසිය හැත්තෑ පහක් වන සමස්ත බෞද්ධ ජනතාවගේ සුබ පැතුම් සමඟය. ශත වර්ෂ ගණනාවක් ආසියාවෙහි ප්‍රචලිතව පැවැත ඇති එම ආගමික සම්ප්‍රදායෙහි ආරම්භකයාණන් වහන්සේගේ ආශීර්වාදය හා ශාන්තිය රැගෙන මම ඔබ වෙත පැමිණ ඇත්තෙමි. අද වන විට සියවස් විසි හතරක් මුළුල්ලේ පැවත ඇති එම ආගම මඟින් ආසියාව මෘදු දේශයක් බටව පත්කොට ඇත. මෙම සම්මේලනයට සහභාගි වීම සඳහා මට ලෝකයේ විවිධ බෞද්ධ රටවල් ඒකාබද්ධ කිරීමේ නූතන බෞද්ධ ඉතිහාසයෙහි අතිශය වැදගත් කාර්යය අතපසු කිරීමට සිදුවිය.
මෙම ප්‍රකාශයෙන් නිසැකව පැහැදිලි වනුයේ ධර්මපාලතුමා චිකාගෝ හි ලෝක ආගමික සම්මේලනයේදී තම කාර්යය දුටුවේ හුදෙක් කුඩා ශ්‍රී ලංකා දිවයින නියෝජනය කරන්නෙකුගේ නොව සමස්ත ලෝක බෞද්ධ ජනතාව නියෝජනය කරන්නෙකුගේ කාර්යය ලෙසටය.
මෙම ගමනට පෙර සිට ම ධර්මපාලතුමා බටහිර ලෝකයේත්, ජපානය වැනි රටවලත් විවිධ බෞද්ධයන් හා බුදුදහමට ලැදිකමක් දැක්වූ බොහෝ දෙනෙකු සමඟ සබඳතා ගොඩනඟා ගෙන තිබූ අතර, එබඳු පුද්ගලයන් අතර The Light of Asia (ආසියාලෝකය) යන බුද්ධචරිතාත්මක කාව්‍යය රචනා කළ එඩ්වින් ආර්නෝල්ඩ් මහතා වැනි ලෝක ප්‍රකට පුද්ගලයෝ ද වූහ. ආසියාව හරහා චිකාගෝ නගරයට යන අතරමඟ හවායි දූපතට ගොඩබට කල්හි එතුමාට හමු වූ මේරි එලිසබත් ෆොස්ටර් මැතිනිය එතැන් පටන් ඇයගේ අභාවය තෙක් ම ඇය සතු අතිවිශාල ධනස්කන්ධය ධර්මපාලතුමාගේ ලෝක – ශාසනික – ආගමික කටයුතු සඳහා නොපැකිළ යෙදෙව්වාය. මෙම ශ්‍රේෂ්ඨ කාන්තාව තම ධනය ධර්මපාලතුමාගේ කටයුතු සඳහා පරිත්‍යාග කිරීමේදී කොතරම් නිවැරැදි ආකල්පයකින් යුතුව එසේ කළා ද යත් මුදල් එවූ සෑම අවස්ථාවකදී ම පාහේ තමාට එම අවස්ථාව ලබා දීම පිළිබඳව ධර්මපාලතුමාට නොමසුරුව ස්තූති කළාය. ධර්මපාලතුමාගෙන් පැත්තෙන් බලන විට, තම මුදල් වෙනුවෙන් කවරාකාර වූ හෝ පැහැදිලි කිරීමක් අපේක්ෂා නොකළ මෙම නූතන යුගයේ විශාඛාවට එතුමා ඇයගේ මුදල් වියදම් කළ ආකාරය පිළිබඳ පැහැදිලි වාර්තා ඉදිරිපත් කළේය. ධර්මපාලතුමාගේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ කටයුතු සඳහා පමණක් නොව එංගලන්තයෙහි බෞද්ධ කටයුතු සඳහා ද මෙම දානපතිනිය ආධාර කළාය.
එංගලන්තයෙහි බුදුසමය පිහිටුවීමේ කාර්යයට ධර්මපාලතුමා ඉදිරිපත් වූයේ එතුමාගේ ජීවිතයෙහි අවසාන දශකයෙහි සිටය. ධර්මපාලතුමා 1893 චිකාගෝ නුවරට යන අතරේදී ලන්ඩන් නුවරට ගියේය. එවර එඩිවින් ආර්නෝල්ඩ් මහතා සහ ලන්ඩනයේ පරමවිඥානාර්ථ සමිතියෙහි ඇනී බැසන්ට් මහත්මියගේ ද ආගන්තුක සත්කාර ලැබුවේය. 1904 දී එතුමා එංගලන්තයට ගියේ ලන්ඩන් නුවර හා ලිවර්පුල් නගරයෙහි කාර්මික විද්‍යාල පිළිබඳව අධ්‍යයනය කිරීමටය. මෙසේ කරන ලද ගමන්වලදී එතුමා එංගලන්තයෙහි බුදුසමය පිහිටුවීමේ අවශ්‍යතාව දුටුවා විය හැකිය. ඒ වන විට බුරුම සම්ප්‍රදායෙහි පැවිද්ද ලැබ සිටි බ්‍රිතාන්‍ය ජාතික ආනන්ද මෙත්තෙය්‍ය හිමි (ඇලන් බෙනට්) 1908 දී එංගලන්තයට පැමිණීම බ්‍රිතාන්‍ය බුදුසමයෙහි ආරම්භය ලෙස දැක්විය හැකිය. මහාබෝධි සඟරාවෙහි 1909 අප්‍රේල් මැයි කලාපයෙහි ධර්මපාලතුමා බෞද්ධ විහාරස්ථානයක් ආරම්භ කිරීමේ ආනන්ද මෙත්තෙය්‍ය හිමියන්ගේ උත්සාහය ගැන සඳහන් කරමින් එම කාර්යය සඳහා ශ්‍රී ලංකාවාසී හා ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සහයෝගය ලැබිය යුතු බව සඳහන් කළේය. එහෙත් විහාරස්ථානයක් පිහිටුවීමේ මෙම උත්සාහය සඵල නොවූ අතර, 1914 දී ආනන්ද මෙත්තෙය්‍ය හිමියන් තම දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුකොටගෙන උපැවිදි බවට පත්වුණි. London Buddhist Society හි කටයුතු ක්‍රමයෙන් අභාවයට ගිය බව පෙනේ.
එංගලන්තයෙහි බුදුසමය පිහිටුවීම ධර්මපාලතුමාගේ මූලික අභිලාෂයක් බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ 1915 කෝලාහලවලින් ඊළඟ අවුරුදු හතක පමණ කාලය එතුමා ඉන්දියාවෙහි සිරගත කොට තිබූ අවදියෙන් පසුවය. පිරිහී ගොස් තිබූ සෞඛ්‍යය නැවත ලබාගැනීම සඳහා එතුමා 1925 වර්ෂයෙහිදී ජර්මනියට හා ස්විට්සර්ලන්තයට ගිය අතර 1926 වර්ෂයේදී London Buddhist Vihara නමින් ප්‍රථම ථේරවාද බෞද්ධ විහාරස්ථානය ධර්මපාලතුමා විසින් බටහිර ලෝකයෙහි පිහිටුවන ලදී.
ලන්ඩන් හි බෞද්ධ විහාරය පිහිටුවීම හා එහි භික්ෂූන් වාසය කරවීම ධර්මපාලතුමාගේ වැඩසටහනෙහි එක් අංගයක් පමණක් වූ අතර, විහාරස්ථානය පදනම් කොටගෙන එතුමා සාර්ථක කර ගැනීමට අපේක්ෂා කළ කරුණු දෙස බලන විට පෙනී යනුයේ බටහිර ලෝකයෙහි බුදුසමය පිළිබඳව ඉතා පුළුල් දෘෂ්ටියක් එතුමාට තිබූ බවයි. ධර්මපාලතුමා 1927වර්ෂයෙහිදී සටහන් කොට ඇති එම කරුණු මෙසේය.
(i) යුරෝපීය රටවල බුදුදහම ප්‍රචලිත කිරීම සඳහාත්, එංගලන්තයෙහි හා අමෙරිකාවෙහි බුද්ධ ශාසනය පිහිටුවීම සඳහාත් අවශ්‍ය ක්‍රමවේදය සකස් කර ගැනීම සඳහා ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ මූලිකත්වයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වීම.
(ii) ලන්ඩනයෙහි බෞද්ධ විහාරයක් හා සංඝාවාසයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබාගැනීම පිණිස මහානායක හිමිවරුන්ගේ සංදේශයක් ථායිලන්තයේ හා කාම්බෝජයේ රජවරුන්ටත්, ජපානය, කොරියාව හා චීනය යන රටවල ප්‍රධාන භික්ෂූන්වහන්සේලාට හා චීන රජයෙහි ජනාධිපතිතුමාටත්, චීනයේ ඒ වන විට සිටි තාෂිලාමාටත් යැවීම.
(iii) ලන්ඩන්හි බෞද්ධ විහාරය පිහිටුවීම සඳහාත්, තරුණ ඉංගිරිසි ජාතික පිරිස්වලට ධර්මය උගන්වා ඔවුන් එංගලන්තයෙහි ධර්මය ප්‍රචාරය කිරීම සඳහා පුහුණු කිරීමට අභ්‍යාස මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටත් ආධාර ලබා ගනු පිණිස ශ්‍රී ලාංකික ප්‍රභූවරුන්ට මෙම සම්මන්ත්‍රණයට ආරාධනා කිරීම.
(iv) ලෝකය පුරා ධර්ම දූතයන් ලෙස යැවීම සඳහා උගත් බුද්ධිමත් බෞද්ධ පිරිස්වලට පුහුණුව ලබාදීම.
(v) පොළොන්නරුවෙහි ජේතවන විහාරයට අනුරූප සැලැස්මකින් යුතු විහාරයක් එංගලන්තයෙහි තැනවීම.
(vi) The British Buddhist නම් සඟරාව අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ ප්‍රාථමික තත්ත්වයක ඇති බ්‍රිතාන්‍ය බෞද්ධ පුස්තකාලය වැඩි දියුණු කිරීම.
(vii) බෞද්ධ ශිෂ්‍යයන් සඳහා නේවාසිකාගාරයක් තැනවීම. මෙම කරුණු විමසා බලන විට පැහැදිලි වනුයේ ධර්මපාලතුමාට අවශ්‍ය වූයේ හුදෙක් ලන්ඩන් නුවර විහාරයක් පිහිටුවීම පමණක් නොව, එම විහාරය එංගලන්තයෙහි දේශීය හා විදේශීය ජනකොටස්වල මධ්‍යස්ථානයක් බවට පත් කිරීම වූ බවයි.
සමෝධානය
ධර්මපාලතුමා ශ්‍රී ලංකාවේ උපන් බෞද්ධයෙකු වශයෙන් ථේරවාද සම්ප්‍රදායට ගරු කළ ද, බුදුසමය පිළිබඳ එතුමාගේ දෘෂ්ටිය වූයේ එය ගෝලීය සංසිද්ධියක් බවයි. බුදුසමය ප්‍රබල බටහිර ලෝකයෙහි ව්‍යාප්තව නොපැවැතිය ද මූලික දාර්ශනික පදනමෙහි සිට ම බුදුරදුන්ගේ චින්තනය ගෝලීය අදාළත්වයකින් ද, එහෙයින් ම ගෝලීය ආකර්ෂණයකින් ද යුතු විය. මෙම ශ්‍රේෂ්ඨ දහම සමස්ත ලෝකය වෙත ලබාදීම එතුමාගේ මූලික අරමුණක් වූ අතර, එය ලෝකය වෙනුවෙන් පමණක් නොව බුදුදහම වෙනුවෙන් ද අවශ්‍ය කාර්යය ඉෂ්ට කිරීමක් යැයි එතුමා සිතූ බව පෙනේ. 1927 ජනවාරි මස 8 වන දින සිංහල බෞද්ධයා පුවත්පතෙහි ධර්මපාලතුමා මෙසේ සටහන් කළේය.
විසිහතර ලක්ෂයක් ලංකාවේ බෞද්ධයෝ සිටිති. එංගලන්තවාසීන්ට බෞද්ධයින්ගේ තේජස පෙන්වීමට තිබෙන එක ම මාර්ගය ලොන්ඩන් නුවර විහාරයක් කරවීමයි. එංගලන්තයෙන් මෙරටට ගෙනෙන බ්‍රැන්ඩි, විස්කි, සපත්තු, තොප්පි, කෝට්, ටයි, ගවුම් ආදියට අවුරුද්දකට රුපියල් දෙතුන් කෝටියක් වියදම් වේ. ඉංග්‍රීසීන්ගේ දාසයෝ මෙන් ක්‍රියාකරන සිංහලයිනි, ආත්ම ගෞරවය, ස්වරාජ ගෞරවය සිහිකොට ඉංග්‍රීසීන්ට යටත් අප විසින් දානය කිරීම යෝග්‍ය ක්‍රියාවකි, අපට දෙන්ට හැකි උතුම් අමෘතය නම් තථාගතප්පවේදිත ශ්‍රී සද්ධර්මයයි. (ධර්මපාල ලිපි පි. 285)
ධර්මපාලතුමාගේ මෙම ප්‍රකාශයෙහි සන්දර්භය අපගේ යටත්විජිත තත්ත්වය වූ බැවින් එම අදහස් එංගලන්තයට සාපේක්ෂව දක්වා තිබුණ ද එතුමා මෙයින් ප්‍රකාශ කරනුයේ බටහිර ලෝකයට ලංකාවෙන් දිය හැකි උතුම් ම දානය බුදුදහම බවයි. මෙම කරුණ එදාට මෙන්ම අදට ද එක සේ සත්‍ය බව කිව යුතුය.
//ධර්මපාලතුමාගේ දේශීය චින්තනය හා ක්‍රියාකාරීත්වය බොහෝ විට අර්ථකථනය කරනු ලැබ ඇත්තේ පටු ජාතිකවාදී හා නොතිබූ අතීත ශ්‍රී විභූතියක් පිළිබඳව “වංසය කබල් ගෑ” අවසානයේ දී තමා උපන් දේශීය ධනපති පංතියට සේවය කිරීමේ සංසිද්ධියක් ලෙසටය.
මෑත ශ්‍රී ලාංකික ඉතිහාසය තුළ නිවැරැදිව තේරුම් නොගනු ලැබූ එක් ශ්‍රේෂ්ඨ පුරුෂයෙකු පිළිබඳ අගනා නිදසුනක් ලෙස ධර්මපාලතුමා හැඳින්වීම නිවැරැදිය. එතුමාගේ චින්තනය හා ක්‍රියාකාරීත්වය සමස්තයක් ලෙස ගෙන එය එතුමා ක්‍රියා කළ 19 වන සියවසේ අග සහ 20 වන සියවසේ ආරම්භක අවදියේ ශ්‍රී ලාංකික ආර්ථික, දේශපාලනික හා ආගමික සන්දර්භය තුළ තබා විමසා බලන විට ඉහත දැක්වූ ජනප්‍රිය අර්ථකථනය නිවැරැදි නොවන බව පෙනී යයි.// ධර්මපාලතුමාගේ ව්‍යාපාරය කුමක්ද යන්න මතුපිටින් බලා නිගමන ගෙන කරනු ලබන විග්‍රහයන් සංස්කරණය වීමට මේ අදහස් ගොනුවත් ඉතාම වටිනවා. මේ ලිපිය උඩුගැනවීම වෙනුවෙන ස්තුතියි කථිකා වෙතට