ජනාධිපතිවරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නව වම – කුමුදු කුසුම් කුමාර විසිනි

000_del611660611

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන්නේ පවත්නා රජයට පක්ෂවද නැතහොත් විපක්ෂවද යන්න මත මෙරට දේශපාලනයේ මූලික පිල් බෙදීමක් සිදුවෙමින් පවතී. ඉන් කියැවෙන්නේ මෙම මැතිවරණය ලාංකේය දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන බවයි.

මෙයට අමතරව විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ද විවිධ මත අනුව පිල් බෙදෙමින් පවතී. ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ යෝජනා මුල් කොට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම අරමුණු කොට ගත් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් සඳහා එකඟත්වයක් ගොඩ නැඟීමේ ව්‍යාපාරයක් තිබේ. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් පිළිගැන්වීමේ උත්සාහයක් ද ඇත. මේ සියල්ල ප්‍රභූ පැළැන්තියේ පාලනය තට්ටු මාරු ක්‍රමයට පවත්වා ගෙන යාමේ වැඩ පිළිවෙලේ තවත් අවස්ථාවක් ලෙස ප්‍රතික්ෂේප කරන නව වමක් ද තිබේ.

මෙම නව වමේ තර්කය ඉදිරි ජනාධිපතිවරණය ලාංකේය දේශපාලනයට තීරණාත්මක නොවන බවයි. ඒ ඉන් කුමන පිළ දිනුවත් ජනතා න්‍යාය පත්‍රයක් දිනනු ඇතැයි බලාපොරොත්තු තබා ගත නොහැකි හෙයිනි. එහෙයින් නව වම තමන්ගේම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පෙළඹෙන්නේ පවත්නා නව ලිබරල්වාදී ආධිපත්‍යය පරාජය කිරීමෙන් තොරව දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවීම කළ නොහැක්කක් බව තර්ක කරමිනි. පළමුව කී අරමුණට සේවය කරනු වස් එම අපේෂකයා ඡන්දය ඉල්ලා සිටිනු ඇත්තේ වම ගොඩ නැඟීමේ ව්‍යාපාරයකට මිස ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවීම සඳහා වන පොදු අරමුණකට නොවේ.

මා මෙම ලිපියෙන් ආමන්ත්‍රණය කරන්නට කැමති කරුණ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සහ යළි ස්ථාපිත කිරීම මෙම මොහොතේ තීරණාත්මක වැදගත් කමක් ගන්නේ මන්ද? යන්නයි.

මගේ යෝජනාව නූතන ලාංකේය සාමුහික ජීවිතයේ හරය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය බවයි. නිදහසින් පසු ලාංකේය සමාජයේ අපගේ වටිනාම මූලික සමාජ භාවිතාව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යි. ලංකාව ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස ලොව පිළිගැණුනේ නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී පදනමෙහි පිහිටා අප ගේ සාමුහික ජීවිතයෙහි අප ලබා ගත් විශිෂ්ඨ සාධනයන් හේතුවෙනි.

ලංකාවේ මුල් වමේ ව්‍යාපාරයේ ජයග්‍රහණය වූයේ ලාංකේය ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගෙන ඒම බව එහි නායකයෙකු වූ ඇන්. ඇම්. පෙරේරා පවසා තිබේ. නූතන ලාංකේය ජනතාවගේ ජීවන තත්වය භෞතිකව මෙන්ම දේශපාලනමය, සමාජීය සහ සංස්කෘතික වශයෙන්ද උසස් කරමින් ඔවුන් දිනාගත් දේශපාලන නිදහස මුල් කොට ගත් කම්කරු -ගොවි අයිතීන්, නිදහස් අධ්‍යාපනය, මහජන සෞඛ්‍ය සේවය, මහජන මගී ප්‍රවාහනය, සුභ සාධනය යනාදී සියලු දෑ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම මත දිනාගත් ඒවාය. දේශපාලන, විද්‍යා, සංස්කෘතික ඈ සියලු ක්ෂේත්‍රයකම අප ලබාගත් ජයග්‍රහණයන් ගේ පදනමද එයයි.

එහෙයින් 1977න් පසු ඇරඹුණ සමයේ පටන් අපට අහිමිව ගිය ප්‍රජාතන්ත්‍රවාදය යළි දිනා ගැනීම මෙරට පොදු යහපතට අත්‍යවශ්‍යය.
30 වසරක යුද්ධය නිසා අයාලේ ගිය අපගේ සාමුහික ජීවිතය යළි යහ මඟට ගන්නට, අප යළිත් ශිෂ්ඨ සම්පන්න සමාජයක් බවට පත්වීමට, නව ලිබරල්වාදී ආර්ථිකය සහ ඒ මත ඇති කරන සමාජ සැකැස්ම අපගේ ජීවිතවලට ගෙන එන හුදෙකලා බවින් මිදීම සඳහා, අපට පුරවැසියන් ලෙස අපේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අවකාශ සළසා ගනු වස්, අපට අපේ ජීවිතවලට බලපාන කරුණු පිළිබඳ සාමුහික තීරණ ගැනීමේදී බලපෑමක් කළ හැකි වන පරිදි, අපේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ විධායකයට අසීමිත බලය පැවරුණු තත්වයෙන් මුදාගෙන, වාරිකව ආණ්ඩු වෙනස් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්මය යළි තහවුරු කර ගැනීමට, අපේ දේශපාලන නියෝජිතයන් අපට, තම ඡන්ද කොට්ඨාශයට වග කියන බවට පත් කිරීම සඳහා අපට ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම අවශ්‍යය. ඒ සඳහා ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු වෙයි. ජනතා පරමාධිපත්‍යය සැබෑවක් කරන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම අවශ්‍ය වෙයි.

රාජපක්ෂ රෙජීමය ව්‍යවස්ථාව තමන් කැමති පරිදි සංශෝධනය කොට තම පාලනය සදහටම පවත්වා ගැනීමට වෙර දරමින් සිටියි. ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කිරීම නව ලිබරල්වාදයේ අවශ්‍යතාවක් බවත් රෙජීමය වෙනස් කිරීමකින් එම තත්වය වෙනස් නොවනු ඇති බවත් නව වම කියයි. මෙම තර්කය සමාජ සංසිද්ධීන් පරමයන් ලෙස ගන්නා අතර ඒවා විග්‍රහයේදී කලු සුදු අන්තයන් අතර ඇති අඳුරු කලාපය තම විග්‍රහයට හසු කර ගැනීමට අසමත් වෙයි. උදාහරණයක් දක්වතොත් අපට තිබී ඇති ආණ්ඩු අතරින් රාජපක්ෂ රෙජීමය තරම් රටේ ව්‍යවස්ථාව සහ සම්මත නීති රීති සහමුලින්ම නොසළකා සමස්ත බලය පාලක කල්ලියක් අත ගොණු කරගත් රජයක් පෙර තිබී නැතැයි යන්න ගැන අප එකඟ වන්නේ නම් එයට හේතුව නව ලිබරල්වාදය යැයි කීම රාජපක්ෂ රෙජීමයේ පන්ති සහ සමාජ ස්වභාවය නොසළකා හරියි.

රාජපක්ෂ රෙජීමය තමන් දකින්නේ මෙතෙක් ලංකාවේ රාජ්‍ය බලය අත්පත් කරගෙන සිටි බණ්ඩාරනායක සේනානායක යනාදී පරපුරු නියෝජනය කරන ප්‍රභූ පැළැන්තියේ කණ්ඩායම් පළමුවරට පරාජය කොට පිහිටුවූ සාමාන්‍ය වැසියන්ගේ ආණ්ඩුවක් ලෙසයි. එහෙයින් ව්‍යවස්ථාව, නීති රීති, ශිෂ්ඨ සම්පන්න බව, සංස්කෘතික බව පිළිබඳ කතිකාව තමන් බලයෙන් පළවා හැරීමේ ප්‍රභූ පැළැන්තියේ කුමන්ත්‍රණය ක්‍රියාවට නැංවීමක් ලෙස මෙම රෙජීමය දකියි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනීසිටීම ද රෙජීමය දකින්නේ මෙම ප්‍රභූ කුමන්ත්‍රණයේම කොටසක් ලෙසයි. කුමන්ත්‍රණයට දෙමළ ඩයස්පෝරාවත් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවලුත් හවුල් බව රෙජීමය විශ්වාස කරයි. මෙරට නීති රීති වලින් බැට කා පුරුදු සාමාන්‍ය ජනයාගේ සහයෝගය ද රෙජීමයට ලැබීම පුදුමයට කරුණක් විය යුතු නොවේ. ජාතිකවාදය හැරුණුවිට රෙජීමයට කැමැත්ත දක්වන්නට ජනයා පොළොඹවන ප්‍රධානම කාරණය ‘තමන්ගේම කෙනෙකු’ පාලකයා වී ඇතැයි ඔවුන් අතර පවතින හැඟීමයි. එහෙයින් රාජපක්ෂ රෙජීමය එහි පන්ති සහ සමාජ ස්වරූපය හේතුවෙන් ව්‍යවස්ථාව, නීතිය සහ සම්මත රීති රැකීම සම්බන්ධයෙන් වෙනත් රෙජීමයකට වෙනස් ආකල්පයක් රජය තුළට ගෙනැවිත් තිබීම නොසළකා හැරි ය නොහැකි වැදගත් කරුණකි.

අවසන් වශයෙන් නව ලිබරල්වාදය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය අනිවාර්ය පියවරක් වන හෙයින් නව ලිබරල්වාදය පරාජය නොකොට ප්‍රජාතන්ත්‍රවාදය රැක ගත නොහැකිය යන නව වමේ තර්කය ගනිමු.

පළමු කොටම කිව යුත්තේ මෙරට නව ලිබරල්වාදයට යට කිරීමේ ව්‍යාපෘතිය ජේ. ආර්. ජයවර්ධන පාලනය යටතේ ඇරඹුණු තැන් පටන් මෙරට ජනයා ඊට දැඩි ප්‍රතිරෝධයක් දකවමින් එය පසු බස්වන්නට සමත් වී සිටිය බවයි. එහි ප්‍රථිඵලයක් ලෙසිනි, චන්ද්‍රිකා කුමාරතුංග බලයට ඒම සඳහා ‘මානුෂික මුහුණුවරක් සහිත විවෘත ආර්ථිකයක් තම මැතිවරණයට තේමා පාඨය කර ගන්නේ. ඉන් පසුව බලයට ආ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට පවා නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ යළි සළකා බලන්නට සිදුවීය. යුද්ධයත් සමඟ නව ලිබරල්වාදයටද පසුබෑමක් ඇති විය.

යුද්ධයෙන් පසු නව ලිබරල්වාදය ලංකාවේ පිම්මක් ගන්නේ සංවර්ධන කතිකාව හරහා ය. රාජපක්ෂ රෙජීමයට සංවර්ධන කතිකාව අළෙවි කරන්නට නව ලිබරල්වාදී ඒජන්තයෝ සමත් වෙති. සංවර්ධන කතිකාව මූල්‍ය සමුච්ඡායනයේ අවශ්‍යතාවෙන් පෙළෙන රාජපක්ෂ රෙජීමයේ සහ එය වටා සිටින සමාජ පංතීන් ගේ අපේක්ෂාවන් සමඟ කදිමට ගැළපෙයි. ඒ අනුව යමින් ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් මර්ධනය කිරීමේ අලුත් අදියරක් යුද්ධයෙන් පසු දියත් කරන්නට රෙජීමයට හැකි වන්නේ එල්ටීටීය පරාජය කොට යුද්ධය අවසන් කිරීමෙන් දිනා ගත් ජනප්‍රසාදයත් ඩයස්පෝරාව හරහා යළි එල්ටීටීය නැඟිටීමේ මිථ්‍යාවත් තමන් බලයෙන් පහ කිරීමේ බටහිර සහ ප්‍රභූ කුමන්ත්‍රණයක් ඇතැයි යන බියද එක් කරමින් සිංහල ජාතිකවාදය අවුළුවා තබා ගැනීම මඟිනි. නමුත් එසේ තිබියදීත් තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කිරීම ජනයා විසින් අත් නොහරින බවට දෙස් දෙන වැදගත් දේශපාලන සටන් ගණනාවක්ම පසු ගිය කාලය තුළ සිදු කරන ලදී.

රෙජීමය බලහත්කාරයෙන් තම ඉඩම් සහ නිවාස අල්ලා ගෙන තමන් විතැන් කිරීමට එරෙහිව කොළඹ සහ වෙනත් නගර වල වැසියන් ගෙන ගිය අරගල මෙහි ආසන්නතම උදාහරණය යි. මෙය පෙන්නුම් කරන්නේ නව ලිබරල්වාදය හමුවේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමට අරගල කිරීමට ජනයා සූදානම් බවයි. අඩුව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීම සහ යළි ස්ථාපිත කිරීම අරමුණු කොට ගත් ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් යුද්ධයෙන් පසු සමයේ අපට නොවීම යි.

දැන් ඒ සඳහා කාලය එළඹ තිබේ. එය බිහිවීමේ හැකියාව ඇති බවද ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන ගොඩ නැඟෙන දේශපාලන පෙළගැසීම් වලින් පෙන්නුම් කෙරෙයි. මාදුළුවාවේ සෝභිත හිමි මුල් කර ගත් ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ මෙහි මූලිකත්වය ගත්තේය. ‘ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ සඳහා වන රාවයේ මහජන පෙත්සම’ එය ඉදිරියට ගෙන යමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා සඳහා වන වඩා පුළුල් වැඩ පිළිවෙලක් ජනතාව අතරට ගෙන යමින් තිබේ. මෙම අරමුණින්ම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජනතා ව්‍යාපාරය පුළුල් මහජන වේදිකාවක් ගොඩ නඟමින් ජනතාව අමතමින් සිටියි. මෙම සියළු උත්සාහයන් එක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සහ යළි ස්ථාපිත කිරීම සඳහා වන පුළුල්තම මහජන බලවේගය ගොඩ නැඟීම සඳහා අවස්ථාව දැන් උදාවී තිබේ. ඒ සඳහා ජනතාව පැත්තෙන් ලැබෙන ප්‍රතිචාර සාධනීය බව පෙනෙන්නට තිබේ.

නවලිබරල්වාදය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය අනිවාර්ය යැයි කියමින් මෙම වගකීමමෙන් මිදෙන්නට නිදහසට කරුණක් පැරණි හෝ වේවා නව හෝ වේවා වාමාංශිකයන්ට නැත. නවලිබරල් වාදය ප්‍රතිරෝධය දැක්විය නොහැකි ඉරණමක් ලෙස සැළකිය නොහැක. අවශ්‍යවන්නේ නව ලිබරල්වාදය ලංකාව තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වාස්තවික විග්‍රහයක් සම්පාදනය කර ගනිමින් එයට ප්‍රතිරෝධය දක්වන කතිකාවක් සම්පාදනය කරමින් ජනතාව දැනුවත් කරමින් දේශපාලනයට අවතීර්ණ වීමයි. ජනාධිපතික්‍රමය අහෝසි කොට අහිමි වූ නිදහස යළි දිනා ගැනීම, දෙමළ ජනයාට ව්‍යවස්ථාවෙන් ස්ථාපිත දේශපාලන බලය ක්‍රියාවෙන් පැවරීම, රජය පෞද්ගලික අංශයට මුල් තැන දෙමින් ජන ජිවිතයට තීරණාත්මකව බලපාන අධ්‍යාපනය, සෞඛ්‍යය, මගී ප්‍රවාහනය වැනි අංශ නොසළකා හැරීමට එරෙහිවීම වැනි පරාසයක් හරහා විහිදුණු ඉල්ලීම් මුල්කොට සංවිධානය වීමට මහජනයා දැනුවත් කිරීමෙන් නවලිබරල්වාදයට එරෙහි සටනට ඔවුන් කැඳවිය හැකිය. නව ලිබරල්වාදය යටතේ සමාජය අංශූකරණය වීමේ හේතුවෙන් පරාරෝපණයෙන් පීඩා විඳින සහ පාරිභෝජනවාදයට යට නොවී සමාජීය වීමේ මං සොයමින් සිටින තරුණ පරපුරේ ජිවිතය අර්ථවත් කිරීමට ඔවුන් මෙම දේශපාලනයට කැඳවිය යුතුය.

මේ මොහොතේ ජනයාට තීරණාත්මකව බලපාන දේශපාලන කරුණු ආමන්ත්‍රණය කිරීමෙන් පලා ගොස් වම ගොඩ නැඟීම පිළිබඳ සිතීම යථාර්ථවාදී එළඹුමක් නොවේ. වමේ පැවැත්ම ඇත්තේ ජනතාව අතර මිස ඉන් පිටස්තරව නොවේ.

උපුටා පළ කරන්නේ නම් කරුණාකර මූලාශ්‍රය පහත පරිදි දෙන්න: ‘කතිකා‘ අධ්‍යයන කවය https://kathika.wordpress.com/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )