ල.ස.ස.ප. ලේකම් තිස්ස විතාරණ ට අභියෝගයක්: ” සහෝදරයා මාධ්‍යයට කියන කතාව ඇන්. ඇම්. සහෝදරයාගේ පිංතූරය ඉදිරියෙන් ඉඳන් කියන්න” – චමීර පෙරේරා
චමීර පෙරේරා,
මධ්‍යම කාරක සභික – ල.ස.ස.ප.
ල.ස.ස.ප. ලේකම් තිස්ස විතාරණ සහෝදරයා මාධ්‍ය හමුවක් කැඳවා තමන් පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව කටයුතු කළ බවත්, සෙසු අය ඊට විරුද්ධව බොරු කියමින් යන බවත් පවසා ඇත. ඇත්තටම විතාරණ සහෝදරයා කළ යුත්තේ, මාධ්‍ය හමුවක් කැඳවා ඔය දේ ප‍්‍රකාශ කිරීමට පෙර, දේශපාලන මණ්ඩලය රැස්වන කාමරයේ ඇති ඇන්. ඇම්. සහෝදරයාගේ පිංතූරය ඉදිරියට ගොස් ඔය ප‍්‍රකාශය කිරීමය. ලේකම් සහෝදරයාට තමන් ලියූ දේශපාලන වාර්තාව ගැන කල්පනාවක් නැති කල්හි, පක්‍ෂයේ ව්‍යවස්ථාව හෝ ඇන්. ඇම්, කොල්වින් සහෝදරවරුන්ගේ ප‍්‍රකාශන ගැන කුමන කතාද?
විතාරණ සහෝදරයා පසුගිය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ දේශපාලන වාර්තාවේ මෙසේ සඳහන් කරයි:
‘‘රාජපක්‍ෂ පවුල මෙන්ම ශ‍්‍රි.ල.නි.පයේ සමහර නායකයන් විසින් දේශපාලන බලය ප‍්‍රාදේශීයව සහ රාජ්‍ය මට්ටමේදී අනිසි ලෙස පරිහරණය කිරීම, නැඟී එන නව ධනවත් පන්තියේ බලය වැඩිවීම, නීතිය හා සමාජ සාමය බිඳවැටීම සහ වැරදි පරිපාලනය වැඩිවන දූෂිත කි‍්‍රයාවන සමහර ප‍්‍රධාන කරුණුය…’’
‘‘විධායක ජනාධිපති ධූරය හා නිලධාරිවාදයේ බලය ශක්තිමත් වීමත් එහි බලතල අවභාවිතය කිරීමත් ධනවත් හා බලවත් අපේක්‍ෂකයන්ට හිතකර විශාල (දිස්ති‍්‍රක්) මට්ටමේ ඡුන්ද කොට්ඨාශවල මැතිවරණ ක‍්‍රමය, මුක්තියට මුවාවී ඡුන්ද දායකයනට ප‍්‍රසිද්ධියේ අල්ලස් ලබාදීම, වැඩිවන ජිවන වියදම සහ ප‍්‍රමාණවත් නොව ආදායම විශේෂයෙන්ම ඌව පළාතේ පැවැති නියඟය සහ වැඩිවෙමින් පවතින මුස්ලිම් ප‍්‍රජාවගේ බිය මෙහි මූල බීජ වෙයි…’’
‘‘ඒ හා සමාන තවත් අනතුරක් වන්නේ හමුදාවේ කොටස්ද සහිත සිංහල බෞද්ධ අන්තවාදී බලවේග සමහරවිට ගෝඨාබයගේ නායකත්වයෙන් යුතුව අධිපතිවාදී හෝ ඒකාධිපතිවාදී මඟක් ගැනිමයි. බොදු බල සේනාවට නෝර්වීජියන් සහය හිමිවන්නේ සමහරවිට ඔවුන්ගේ අධිරාජ්‍යවාදී බෙදුම්වාදී ප‍්‍රතිපත්ති නිසාය…’’
ඉහත උපුටාගැනීම් සියල්ලම ලේකම් විතාරණ සහෝදරයා ලියූ දේශපාලන වාර්තාවෙන්ය.
ආණ්ඩුව ඌවේදී ලැබූ පසුබෑමට හේතු මෙන්ම නුදුරු අනාගතයේ ගෝඨාභයගේ මැදිහත්වීමෙන් මිලිටරි ස්වරූපයේ පාලනයක් ඇතිවීමට ඇති ඉඩකඩ ඔහු ද පිළිගැනීමය. විධායක පවුලේ පවතින මෙම අධිකාරිවාදය, මුදල් නාස්තිය, අන්තවාදයට දක්වන පක්‍ෂපාතීභාවය යනාදි සියල්ල පිළිගනිමින්, අවසානයේ ක්‍ෂණිකව රාජපක්‍ෂ මහතාට නැවත සහය දිය යුතු යැයි තීරණය කරන්නේ මාධ්‍යවලට පැවසූ දේශීය හා ජාත්‍යන්තර තත්ත්වය කිරා, මැන බලා නොව වත්මන් රාජපක්‍ෂ පාලනය ගම්වල පාලම්, බෝක්කු, කාපට් පාරවල් ලබාදෙමින් ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ඉටුකරන නිසාය යන ඉතා සරල සාධකය මුල්කරගෙනය. දැන් සම සමාජ ව්‍යවස්ථාව ගැන ප‍්‍රකාශ කරන ලේකම් සහෝදරයා, ව්‍යවස්ථාවේ තිබෙන දේශපාලන හර පද්ධතීන් පිළිබඳව සුළු හෝ ගෞරවයක් ඇත්නම් මෙවැනි සරල හේතු මත විධායක ජනාධිපති ධූරය පවත්වා ගැනීමටත්, කිසිකලෙක එය තම පවුලෙන් පිට ලබාදීමට අකමැති රාජපක්‍ෂ ජනාධිපතිවරයාට, එය අහෝසි නොකර නැවත පත්වීමට සහය පල නොකරනු ඇත. අනෙක් පැත්තෙන් වමේ පක්‍ෂ ලේකම්වරයකු ලෙස ‘ජනතාව’ පිළිබඳව ඔහුට ඇති ආකල්පයද බරපතල ගැටලූවකි. ජනතාව හුදෙක්ම තමන්ගේ එදිනෙදා කෑම, බීම හා පරිභෝජනය සඳහා කටයුතු කරන සත්ත්වයින් කොට්ඨාශයක්ය යන, ලිබරල් දේශපාලන ආකල්පය දැරීම, සම සමාජය නම් ‘නිදහස, සාධාරණත්වය හා සමානාත්මතාවය’ යැයි 1935 පක්‍ෂය ආරම්භ කරන විට සභාපති ලෙස කොල්වින් සහෝදරයා කළ ප‍්‍රකාශයට ඉඳුරාම පටහැනි වූවකි.
ජනතාව එදිනෙදා ජීවිතය ගැන පමණක් හෝ අවශ්‍යතාවයන් වැඩිකර ගැනීමට කටයුතු කරන සත්ත්වයන් කොටසක් පමණක්ද? ඔවුන්ට නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනි සත්භාවික දේශපාලන වටිනාකම් ගැන උනන්දුවක් නැත්ද? එයින් හැඟවෙන්නේ වාමාංශික ව්‍යාපාරය අවුරුදු 75කට වඩා වැඩි කාලයක් ජනතාව තුළ මෙම වටිනාකම් වැපිරීමට කටයුතු නොකළ බවද? දේශපාලනය කිරීම ජනතා කාර්්‍යයක් බවට පත්කළ දේශපාලන ව්‍යාපාරයක සඟයකුට එවැන්නක් සිතීමටවත් නොහැක. ජනතාව එදිනෙදා අවශ්‍යතාවයන් ගැන පමණක් සිතන පිරිසක් යැයි සිතන ආකාරයටම, විතාරණ සහෝදරයා දේශපාලනය ලෙස දකින්නේ කුමක්ද යන්න අවබෝධයක් ගත හැක. කෑම, බීම පරිභෝජනයට ජනතාවගේ දේශපාලන කි‍්‍රයාකාරීත්වය සීමාකරන විතාරණ සහෝදරයා, ඔහුගේ දේශපාලනයද අමාත්‍ය තනතුර, උපදේශක, උපදේශිකාවන්ට සීමාකරගෙන ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය එසේ වුද හැම සම සමාජ කාරයකුට, ඔය ලිබරල් දේශපාලනය පිළිගත නොහැක. තවමත් අප පිළිගන්නේ සත්භාවික වටිනාකම අත් නොහැර අල්ලාගෙන සිටින සම සමාජ දේශපාලනයයි. ඉතින් එය අපේ වරදක්ද?
කෑගල්ල දිස්ති‍්‍රක්කයෙන් පැමිණි මධ්‍යම කාරක සභික සහෝදරවරුන් අමතක කළ වැදගත් දේශපාලන කරුණක් ඇත. ඒ ඇන්. ඇම්. සහෝදරයා කිසිවිටක ‘ජනතාව’, තමන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතුවල සීමාවූ සත්ත්ව කොට්ඨාශයක් ලෙස නොදැකීමයි. ‘‘අප ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ගැන කතා කළේ, වැඩ කළේ, අප පිළිගත් නිදහස, සාධාරණත්වය හා සමානාත්මතාවය එම අවශ්‍යතාවයන් හා මුසු කරමින්. එදිනෙදා අවශ්‍යතා ඉටුකරගන්න ජනතාව දේශපාලනයට රැුගෙන ආවේ අපි’’ ඇන්. ඇම්. සහෝදරයා ලියූ ‘අපෙන් ඉටු වූ සේවය’ ලිපිය කියවුවහොත් මේ ගැන තවත් අවබෝධ කරගත හැකිවේ. විතාරණ සහෝදරයා පිළිගෙන ඇති පරිදිම, රාජපක්‍ෂ පවුල රටේ සියලූ මර්මස්ථානයන් තමන්ගේ ග‍්‍රහණයට ගෙන, ඔවුන්ගේ අභිමතයට යමක් ලබාදෙන තැනට ජනතාව මෙන්ම ජනතා නියෝජිතයන්වද හෑල්ලූ කර ඇති මොහොතක, එයට අභියෝග කිරීමට ජනතාව දේශපාලනයට ගෙන ඒම වෙනුවට ඔවුන්් එදිනෙදා පුද්ගලික ජිවිතයට සීමාකිරීම දේශපාලන විරෝධී, රාජපාක්‍ෂික කි‍්‍රයාවකි. මෙලෙස දේශපාලන විරෝධියකු ලෙස කටයුතු කරන ලේකම් සහෝදරයා, තමන්ද නොකියූ පක්‍ෂ ව්‍යවස්ථාවක් ගැන මාධ්‍යයට කීමෙන් ඇති ඵලය කුමක්ද? ව්‍යවස්ථාව පමණක්ද, ඔහු තමන්ගේ මාමාවද අමතක කළේ පක්‍ෂ ස්ථාවරයට එරෙහිව යමින් 18 ව්‍යවස්ථා සංශෝධනයට ඡුන්දය දීමෙන්ය.
මෙහිදී අවසාන වශයෙන් යමක් අවධාරණය කළ යුතුය. ඔක්තෝබර් 26 දින පැවැත්වූ මධ්‍යම කාරක සභාව තුළදී, රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙන් කිසිවෙක් පෙනී නොසිටිය බව අවධාරණය කළ යුතුය. අප එහිදී මතුකළේ කරුණු කීපයකි. එකක් විධායක ජනාධිපති ධූරය අහෝසි නොකොට, වර්තමාන ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයකට යාමට ඉඩ නොදීය යුතුය. එමෙන්ම ඒ සඳහා ශ‍්‍රී.ල.නි.පයේ ප‍්‍රගතිශීලි කොටස් සමඟ බලපෑම් කිරීමට වහාම කටයුතු කළ යුතු බව. හිතුවක්කාරී ලෙස වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කරයි නම්, ශ‍්‍රී.ල.නි.පයේ ප‍්‍රගතිශීලි කොටස් සමඟ පොදු වැඩපිළිවෙලක් ඇතිකරගත යුතු බවයි. එදින න්‍යාය පත‍්‍රයේවත් තීරණයක් ගැනීම පිළිබඳව කිසිදු සඳහනක් නොවූ අතර, විතාරණ හා වයි. ජී. පද්මසිරි සහෝදරවරු පෙර සැලසුමක් මත, ක්‍ෂණිකවම තීරණයක් ගැනීමට යෝජනා කළේය. රාජපක්‍ෂවරුන් මේ වන විට පක්‍ෂයේ තීරණවලට බලපෑම් කරන ආකාරයත්, පක්‍ෂයේ ඉදිරි ලේකම්වරයා කවුරුන් විය යුතුද යන්න ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන්ම ඉඟි පලවෙමින් ඇති බව කෑගල්ල දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වේ. විසම්මුතීන් නොඉවසන, විරුද්ධවාදය බරපතල වරදක් ලෙස අපේ වර්තමාන රාජපක්‍ෂ පවුල, ආයතන, පුද්ගලයන්, මහජන නියෝජිතයන් තමන්ට අවශ්‍ය පරිදි අවනත කරගැනීමට කටයුතු කර ඇත. විධායක ජනාධිපති ධූරයේ බරපතලකම එයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එය දක්වන ප‍්‍රතිවිරෝධයයි. වර්තමානයේ ල.ස.ස.පයට එල්ලවී ඇති අනතුරත් එයමයි. විධායකයේ ග‍්‍රහණයට පත්වීමේ අනතුරයි. විධායක ජනාධිපති ධූරය වහාම අහෝසි කිරීම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මෙන්ම පක්‍ෂයක් ලෙස ල.ස.ස.පයේ ස්වාධීනත්වයටද අත්‍යවශ්‍ය කොන්දේසියකි. ඇන්. ඇම්. සහෝදරයා 1978 කියූ පරිදිම දැන් ඇති අභියෝගය ‘අප රැුකගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය රැුකගැනීමයි’. අප මැදිහත්වන්නේ ඒ සඳහාමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සරල මාර්ග නැත, කෙලින් මාර්ගද නැත. වංගු මෙන්ම ගිරි, ශිඛරද තරණය කළ යුතුව ඇත.
ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් තහනම් කරනු ලැබූ ‘ඇත්ත‘ පුවත් පතේ නොවැම්බර් 09 වැනිදා කලාපයෙනි.
උපුටා පළ කරන්නේ නම් කරුණාකර මූලාශ්‍රය පහත පරිදි දෙන්න: ‘කතිකා‘ අධ්‍යයන කවය https://kathika.wordpress.com/