අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ ( අවසාන කොටස)

"අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක්"

“අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක්”

නිව්ට්න් ගුණසිංහ ලංකාව බිහි කළ ප්‍රථම මාක්ස්වාදී මානව විද්‍යාඥයා වශයෙන් පිළිගැනේ.මාක්ස්වාදී න්‍යාය ක්ෂේත්‍ර පර්යේෂණ සමග සම්බන්ධ කරමින් ප්‍රබල මාක්ස්වාදී මානව විද්‍යා ශාස්ත්‍රීය සම්ප්‍රධායක් ලංකාවේ ආරම්භ කලේ ඔහුය.

නිව්ට්න් ගුණසිංහ 1946 අප්‍රියෙල් 5 දින නාවලපිටියේ උපත ලබා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්වීතීක අධ්‍යාපනය ලබා 1963 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව මහාචාර්ය ගණනාථ ඔබේසේකර, රැල්ෆ් පීරිස් වැනි ප්‍රවීණයන් යටතේ සමාජ විද්‍යාව හැදැරීය. 1973 දී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඔහු ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයනය කිරීමට සුප්‍රකට මාක්ස්වාදී මානව විද්‍යාඥයෙකු වූ මැක්ස් ග්ලක්මන් ආධිපත්‍ය හෙබවූ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයට සම්බන්ධ වීය. එසමයෙහි මැක්ස් ග්ලක්මන් ගේ කැමැත්ත වූයේ තම ශිෂ්‍යයන් අප්‍රිකාව පිළිබඳ පර්යේෂකයන් වනු දැකීමය. තම රට පිළිබඳ තම ආචාර්ය උපාධි පර්යේෂණය කිරීමට අවැසි වූ නිව්ටන් ලංකාව පිළිබඳ “පුල් එලිය” නමින් කෘතියක් කළ කේම්බ්‍රිජ් හි ඊ. ආර් ලීච් හමු වීම ඔහුගේ පර්යේෂණ දිශානතිය ලංකාව කෙරෙහි යොමුවීම තහවුරු කළේය. ඔහු පසුව දේශපාලන ආර්ථික විද්‍යාවේ ප්‍රවීනයෙකු වූ ඩඩ්ලි සියර්ස් ප්‍රධානත්වය ඉසිලූ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයට සම්බන්ධ වේ. Changing Socio – Economic Relations in the Kandyan Countryside යන ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයෙන් නුවර ගම්වල නිෂ්පාදන සබඳතා වැඩවසම් නිෂ්පාදන මාදිළියෙන් ධනවාදය වෙත පරිවර්තනය වීම පිළිබඳව සාකච්ඡා කෙරෙයි. එහිදී ඔහුගේ ප්‍රවාදය වූයේ ආචීර්ණ කල්පික නිෂ්පාදන සබඳතා ධනවාදී සමාජ සැකසුම තුළ යළි සක්‍රීයතාවයට පත්වීම පිළිබඳ කාරණය වේ.

කෘෂි අධ්‍යයන, ජනවාර්ගික අර්බුදය, ඉඩම් ප්‍රතිසංස්කරණ, 56 දේශපාලන විපර්යාසය කුලය හා පංති සැකසුම ආදි සමාජ, දේශපාලන, ආර්ථික ක්ෂේත්‍රයන්ගේ පර්යේෂණාත්මක ලිපි ගණනවක් දායාද කර ඇති ඔහු ග්‍රාම්ස්චි, අල්තූසර්, පුලන්ත්සාස් වැනි මාක්ස්වාදී චින්තකයන් මගින් බිහි වූ නව චින්තන ප්‍රවණතාවයන් ලාංකික සමාජයට හඳුන්වාදීමට පුරෝගාමී විය. ජයරත්න මලියගොඩ හා එක්ව පිහිටුවා ගත් මහනුවර ගොවි කම්කරු ආයතනය එවැනි අදහස් සමාජ ගත කල ස්ථානයකි. එමෙන්ම, සිංහලයාගේ සංස්කෘතිය පිළිබඳ ඔහු ලියන ලද විවාදාත්මක, සාරගර්භ ලිපිය නිසා වරක් ජාතිකවාදීන් ඔහු “තුප්පහි බුද්ධිමතා” යනුවෙන් හඳුන්වන තැනට පත්විය. නලින් ස්වාරිස්, කුමාරි ජයවර්ධන, සේනක බන්ඩාරනායක වැනි අය එක්ව සමාජ විද්‍යාඥයින්ගේ සංගමය පිහිටුවීමට ද ඔහු මුල්විය.
විශ්ව විද්‍යාල ශිෂ්‍ය අවධියේ සිටම වාමාංශික දේශපාලනය හා සම්බන්ධ වූ ඔහු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාවෝ වාදී පිල සමග කටයුතු කලා පමණක් නොව නාවලපිටිය කම්කරු සංගම් ක්‍රියාකාරීත්වයේ නායකත්වය ගෙන කටයුතු කලේය.එසේම, 80 දශකයේ අග භාගයේ ලංකා දේශපාලනය තුළ විපක්ෂය දුර්වල වීම, ජ.වි.පෙ සන්නද්ධ අරගලය ඇරඹීම ග්‍රාම්ස්චියානු විග්‍රහයකට ලක් කල ඔහු ෆැසිස්ට්වාදයේ නැගීම හමුවේ සිවිල් සමාජය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය දුටුවේය. ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සඳහා ව්‍යාපාරය (MIRJE) එහි ප්‍රතිඵලයකි. ඔහු එහි ආරම්භක සාමාජිකයෙකි. ආචාර්ය නිව්ටන් ගුණසිංහ 1988 ඔක්තෝම්බර් 31 වෙනිදා හදිසියේ අභාවප්‍රාප්ත වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරයෙක් විය.

අප මෙහි පල කරන කෘතිය 1985 දී ගොවි කම්කරු ආයතනයේ කරන ලද දේශන එකතු කර පල කරන ලද්දකි. එය ගොවි කම්කරු ආයතනයේ ප්‍රකාශනයක් ලෙස පලවී ඇත්තේ 1986 අගෝස්තුවේය.

ඓන්ද්‍රීය බුද්ධිමතුන් හා ඔවුන්ගේ කාර්ය භාරය

ඉතාලි තත්ත්වයන් තුළ බුද්ධිමය ශ්‍රේණීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී කතෝලික පල්ලිය විසින් දිගු කලක් තිස්සේ කරන ලද මතවාදී හා සංස්කෘතික ආධිපත්‍යය ද සැලකිල්කට ගතයුතුව ඇත. ග්‍රාම්ස්චි පල්ලිය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී එම ආයතනය නිශ්පාදන රටාවන් ගණනාවක් තුළ ආධිපත්‍යය දරා සිටීම වැදගත් සංවිධානාත්මක ශක්තියක් ලෙස හඳුනා ගනී. මුළින්ම වහල් සමාජය තුළ දී ආධිපත්‍යය ඇති කර ගන්නා කතෝලික පල්ලිය ඉන් පසුව රදල වැඩවසම් ක්‍රමය යටතේ ද එම ආධිපත්‍යය ආරක්ෂා කරගනී. ධනේශ්වර ක්‍රමය ඇතිවන විට ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණයන් නිසා පල්ලියට විශාල බාධා පැමිණුන ද, යුරෝපය තුළ සම්පූර්ණ වශයෙන් විශ්වනීය බලයක් පවත්වාගෙන යන්නට නොහැකි වුවත්, මූලික වශයෙන් බොහෝ ප්‍රදේශයන් තුළ තම බලපෑම දිගටම පවත්වාගෙන යන්නට එයට හැකි විය. ඓතිහාසික දෘෂ්ඨි කෝණයකින් බලන කළ කොමියුනිස්ට් පක්ෂය ද නිෂ්පාදන ක්‍රම ගණනාවක් නොමැති වුවද, අවම වශයෙන් නිෂ්පාදන ක්‍රම දෙකක් තුළ ආධිපත්‍ය පවත්වාගෙන යා යුතු සංවිධානයකි. ධනේශ්වර ක්‍රමය තුළත් සමාජවාදී යුගය තුළත් කොමියුනිස්ට් පක්ෂය පැවතිය යුතුය. මෙලෙස නිෂ්පාදන රටාවන් ගණනාවක් තුළ ආධිපත්‍යය දැරීම කතෝලික පල්ලිය හා කොමියුනිස්ට් පක්ෂය අතර ඇති මූලික සමානත්වයකි. එමනිසා කතෝලික පල්ලිය තම ආධිපත්‍යය නිෂ්පාදන ක්‍රම ගණනාවක් තුළ පවත්වාගෙන ගිය ආකාරය විප්ලවවාදීන් විසින් අධ්‍යයනය කොට උකහා ගතයුතු බව ග්‍රාම්ස්චි පෙන්වා දෙයි.

කතෝලික පල්ලිය තුළ ප්‍රධාන ප්‍රවනතා දෙකක් ග්‍රාම්ස්චි හඳුනා ගනී. පළමුවැන්න වනාහි පැරණි ප්‍රධාන පියතුමන්ලා සහ දේවධර්ම ශාස්ත්‍රාචාරීන් විසින් දේශනා කරන ලද බොහෝ දුරට දාර්ශනික වූ මතයයි. දෙවැන්න යුරෝපීය ග්‍රාමීය ප්‍රදේශ තුළ බොහෝ දුරට ශාන්තුවරයන් ආශ්‍රයෙන් සකස් වී තිබූ සාමාන්‍ය ජනතාවගේ ආගමයි. මෙම ප්‍රවනතා දෙක අතර සෑහෙන දුරස්තර භාවයක් ඇත. සාමාන්‍ය ජනතාවගේ ආගම බොහෝ දුරට ඇදහිලි හා භක්තිය මත සකස් වී ඇති අතර දේවධර්ම ශාස්ත්‍රාචාරීන්ගේ ආගම බොහෝ දුරට දාර්ශනික වූවකි. මෙම තත්ත්වයන් මෙසේ පවතිද්දීම පල්ලිය විශාල කාලයක් මතවාදී ආධපත්‍යය පවත්වාගෙන යාමෙහිලා සාර්ථකත්වයක් දිනාගෙන ඇත. මෙම ප්‍රවනතා දෙක ඕනෑම පන්ති සමාජයක පැවතිය යුතුය. ග්‍රාම්ස්චි, කතෝලික පල්ලියේ සාර්ථකත්වය වන්නේ මෙම ප්‍රවනතා දෙක අතර නිවැරදි තුළනයක් පැවැත්වීම මගින් මෙම කොටස් අතර නිවැරදි ආකාරයේ සම්බන්ධතාවක් පවත්වා ගැනීම බව පෙන්වා දෙයි. එමගින් කතෝලික පල්ලිය තම මතවාදී ජයග්‍රහණයන් තහවුරු කර ගත්තේය. එමෙන්ම යම් යම් අවස්ථා වලදී යම් රැඩිකල් මතවාදීන් විසින් ගෙනෙන ලද, පල්ලියේ දෘෂ්ඨි කෝණයෙන් බලන කළ “මිත්‍යාදෘෂ්ඨික” මත, යම් ආකාරයකින් විසඳීමට ද පල්ලිය සමත් වී ඇත. ෆ්‍රැන්සිස්කානු නිකාය ආරම්භ කළ ඇසිසිහි සාන්ත ෆ්‍රැන්සිස් මුනිවරයා වැනි අය ඉදිරිපත් කළ රැඩිකල්වාදී ප්‍රවනතාවයන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධ නොවී, ප්‍රධාන ව්‍යූහය තුළම යම් ස්ථානයක් හිමි කර දීමෙන් ඉතාමත් නිවැරදි ආකාරයට තුලනය සහ ආදිපත්‍යය පවත්වාගෙන යාමට පල්ලිය සමත් වී ඇත. එනම් මතවාදී දිනා ගැනීම මගින් විවිධ බුද්ධිමය කොට්ඨාශයන් හැසිරවීමේ කාර්ය භාරය පල්ලිය විසින් නිවැරදිව ඉටුකොට ඇත.

කතෝලික පල්ලියේ පැවතුනු ප්‍රවනතා දෙක, එනම් ඉතාලි පූජකයින්ගේ දාර්ශනික ආගම සහ මහජනතාවගේ ආගම අතර සම්බන්ධතාවයට බොහෝ දුරට සමාන්තරව දිවෙන සම්බන්ධතාවයක් නිර්ධන පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් සහ කම්කරු පන්තිය අතර ද දක්නට ඇත. ග්‍රාම්ස්චි විසින් නිර්ධන පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් ලෙස හඳුන්වනු ලබන කොට්ඨාශයේ සුවිශේෂප කාර්ය භාරය ඔහු විසින් සංකීර්ණ ලෙස විග්‍රහ කොට ඇත. මෙහිදී ඔහුගේ විග්‍රහයට අනුව මහජනතාව සංවිධානය කිරීම වැනි බුද්ධිමය කාර්යයන් ඉටු කරන සියලු දෙනා අයිති වන්නේ නිර්ධන පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ කොට්ඨාශයටයි. “හමුදාවක් නැති සෙනෙවි මඬුල්ලක්” යන ඉංග්‍රීසි කියමන ඔහු තම විග්‍රහයට උපයෝගී කර ගනී. මෙම කියමන බොහෝ දෙනා පාවිච්චි කරනුයේ අනුගාමිකයන් පිරිසක් නොමැති නායක මණ්ඩලයක් යන්න වඩා උපහාසාත්මකව පැවසීම සඳහා වන නමුත් ග්‍රාම්ස්චි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින්, සෙනෙවි මඬුල්ලක් ඇත්නම් හමුදාවක් ගොඩනැගීමේ හැකියාව ඇති බව පෙන්වා දෙයි. විසිරුනු ජන සමුදායකගෙන් හමුදාවක් ගොඩනැගීම කිසිසේත් කළ නොහැක්කකි. ඒ සඳහා නායකත්ව ශ්‍රේණීන් ක්‍රියාත්මක විය යුතුය. එමනිසා ග්‍රාම්ස්චි පෙන්වා දෙනුයේ සෙනෙවි මඬුල්ලක් ඇත්නම් සහ එම සෙනෙවි මඬුල්ල නියමාකාර සෙනෙවි මඬුල්ලක් නම් බොහෝ විට හමුදාවක් වටා ගොඩනැගෙන බවය. ග්‍රාම්ස්චි මෙහිදී සාමාන්‍ය ජනතාවගේ කාර්ය භාරයේ ඇති වැදගත්කම ද අවධාරනය කරන්නේ වී නමුත් එම කාර්ය භාරය ඉටු කිරීම සඳහා, නායකත්ව ශ්‍රේණීන් වටා, ඒ යටතේ ගොනුවන මහජනතාව විසින් ඉතිහාසය ගොඩනැගීම කරනු ලබන බව ඔහු අවධාරනය කරයි. විශේෂයෙන්ම සමහර ඓතිහාසික ආරම්භක අවස්ථාවන් වලදී නායකත්ව ශ්‍රේණීන්ගේ කාර්ය භාරය ඉතාමත් අත්‍යවශ්‍ය වෙයි. ග්‍රාම්ස්චිගේ මතය අනුව කම්කරු පන්තියට නිසියාකාරයෙන් කම්කරු පන්තික විඥානය ඇතිකර ගත හැක්කේ මෙම නායකත්ව ශ්‍රේණීන් සමඟ ද්වන්ද්වාත්මක සම්බන්ධතාවයක් පවත්වා ගැනීම මගිනි. මෙය ලෙනින්ගේ මතයන් සමඟ ද සමාන්තරව දිවෙන්නකි. ලෙනින් බොහෝ විට අවධාරනය කළේ කම්කරු පන්තියට සිය පන්ති විඥානය ලබාගත හැක්කේ වෘත්තීමය විප්ලවවාදීන්ගේ ව්‍යාපාරයක් සමඟ පවත්වන්නාවූ ද්වන්ද්වාත්මක සම්බන්ධතාවයකින් පමණක් බවය. එසේ නැතහොත් කම්කරු පන්තියට තම දෛනික අරගලය තුළ ලබාගත හැක්කේ වෘත්තීය සමිතිවාදී සහ ප්‍රතිසංස්කරනවාදී මානසිකත්වයකි. ග්‍රාම්ස්චි මෙම මතය වඩා ප්‍රභල සහ නව ආකාරයකින් ඉදිරිපත් කරයි.

ඇසිසිහි සාන්ත ෆ්‍රැන්සිස් මුනිවරයා

ඇසිසිහි සාන්ත ෆ්‍රැන්සිස් මුනිවරයා

අන්තෝනිඕ ග්‍රාම්ස්චි සමකාලීන‍ ලෝකයේ විවිධ රටවල්වල ප්‍රධාන සාමාජ ව්‍යූහාත්මක වෙනස්කම් සමඟ සම්බන්ධකොට එම රටවල්වල බුද්ධිමය ස්ථරයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සංකීර්ණ විග්‍රහයක් ඉදිරිපත් කරයි. මෙහිදී ඔහු ප්‍රංශයේ, එංගලන්තයේ, ජර්මනියේ සහ රුසියාවේ වැනි එකල ප්‍රධාන බුද්ධිමය කණ්ඩායම් ගොඩනැගී තිබූ රටවල බුද්ධිමතුන්ගේ ක්‍රියාකාරීත්වයත්, එම රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ සහ සමාජ විප්ලවයේදී ඔවුන්ගේ කාර්ය භාරෙයත් සැලකිල්ලට ගනිමින් ඒ අතර පවතින සංකීර්ණ සම්බන්ධතාවයන් විග්‍රහ කොට දක්වයි. ධනේශ්වර ව්‍යූහයන් පිළිබඳව සාකච්ඡා කරන විට, ධනේශ්වර පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ කාර්ය භාරය ඉතාමත්ම නිවැරදි ලෙස, උසස් මට්ටමින් හා අවසානය දක්වාත් නිමවූ රට හැටියට ඔහු ප්‍රංශය හඳුනා ගනී. ප්‍රංශ විප්ලවය මගින් ධනේශ්වර ක්‍රමය නිසියාකාර ලෙස ස්ථාපිත කරන ලද අතර, පැරණි රදළවාදී ක්‍රමයන් හා රදළ සම්බන්ධතාවයන් මූලික වශයෙන් සිඳබිඳ දැමීමේ හැකියාව ලැබුණි. මෙම විප්ලවීය කාර්ය භාරය ප්‍රංශයේ ධනේශ්වර පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් විසින් නියමාකාර ලෙස ඉටු කොට තිබුණි. එබඳු පරිපූර්ණ විප්ලවයක් මඟින්ධනේශ්වර පන්තිය පාලක පන්තිය බවට පත් වූ අතර, එම තත්ත්වය ප්‍රංශ දේශපාලනය තුළ දිගින් දිගටම විප්ලවකාරී ලක්ෂණ වශයෙන් පිළිබිඹු වෙයි. එහෙත් එංගලන්තයේ ඇති වූ තත්ත්වය මීට වඩා වෙනස් එකකි. ඉංග්‍රීසි විප්ලවයේ නායකත්වය දැරුවේ සැබැවින්ම ධනේශ්වර පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් නොව, පැරණි ඉඩම් හිමි පන්තිවල බුද්ධිමතුන් බව ග්‍රාම්ස්චි පෙන්වා දෙයි. එමනිසා ඉංග්‍රීසි රාජ්‍යය සමකාලීන ප්‍රංශ රාජ්‍යයට වඩා විශාල වශයෙන් වෙනස්කම් පෙන්වයි. පැරණි ඉඩම් හිමි පන්තිවල බුද්ධිමතුන්ගේ බලපෑම ඉංග්‍රීසි දේශපාලනයට හා රාජ්‍යයට දිගටම බලපාන අතර, යම් යම් පසුගාමී ලක්ෂණ ඒ තුළ දිගටම පෙන්නුම් කෙරේ. උදාහරණයක් ලෙස අදත් සිය පරම්පරා උරුමය අනුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක සාමාජිකත්වය දැර්ය හැකි, ලෝකයේ එකම රට එංගලන්තය වෙයි. මෙලෙස විප්ලවකාරී නොවන ලක්ෂණ පැවතීමට මූලිකම හේතුව වන්නේ ධනේශ්වර පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් ඉංග්‍රීසි විප්ලවයේදී දෙවන පෙළෙහි සිටීම බව ග්‍රාම්ස්චිගේ විග්‍රහය වෙයි. සමකාලීන ජර්මනියේ ඇති ධනේශ්වර විප්ලවය පැරණි ඉඩම් හිමි පන්තීන් විසින්ම ඉටු කරනු ලබන තත්ත්වයකි. කාර්මික විප්ලවයත්, ප්‍රාග්ධන සංචිතකරණයත් ඉටු කරනු ලැබූවේ ජර්මනියේ ඉඩම් හිමි පන්තියේ ‘ජුන්කර්’ නමැති සමාජ ස්ථරය විසිනි. එමනිසා ජර්මනිය තුළ එම රටටම සුවිශේෂ වූ පසුගාමී ලක්ෂණ දක්නට ලැබේ. එමෙන්ම ජර්මනිය තුළ සිදුවූ වඩා විශේෂ තත්ත්වය වූයේ ජර්මනියේ බලයට පැමිණි මෙම ධනේශ්වර පන්තියට එනම් ජුන්කර් සමාජ ස්ථරයට එරටෙහි පැවති විශාල හමුදාවක නායකත්වය ගැනීමට අවස්ථාව ලැබුණි. මෙම හමුදාව එකල යුරෝපයේ පැවති විශාලතම හමුදාවකි. කාර්මික විප්ලවයෙන් පසු මෙම හමුදාවේ නායකත්වය ධනේශ්වර පන්තියට හිමි වන අතර, එමනිසා දිගින් දිගටම ජර්මනියේ දේශපාලනය වඩා යුධවාදී තත්ත්වයක් පෙන්නුම් කරයි. 19 වන ශතවර්ෂයේ පළමුවන ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය තුළ ජර්මන් දේශපාලනය මෙම යුධවාදී ලක්ෂණ දිගින් දිගටම පෙන්නුම් කරයි. ග්‍රාම්ස්චි රුසියානු බුද්ධිමතුන් ගැන සාකච්ඡා කරන විට, විශේෂයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ ලෙනින්ගේ නායකත්වයෙන් යුතු වූ රුසියානු නිර්ධන පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ කාර්ය භාරය සම්බන්ධයෙනි. ධනේශ්වර විප්ලවය හා නිර්ධන පන්තික විප්ලවය අතර විශාල කාලයක් නොපැවතීමත්, ධනේශ්වර පන්තියේ බලඇණි සංවර්ධනය වනවා සමඟම නිර්ධන පන්තියේ බලඇණි ද සංවර්ධනය වී ඉදිරියට ඒමත් නිසා රුසියාවේ විශේෂ ආකාරයක බුද්ධිමය ස්ථරයක් ඇති වූ බවත්, සාර් රුසියාවේ පැවති තත්ත්වයන් නිසා එම බුද්ධිමය ස්ථරයට විශාල කාලයක් රටින් පිටත පිටුවහල් ජීවතයක් ගත කිරීමට සිදුවීම නිසා ඔවුන් සමස්ත යුරෝපීය මතවාදයකට උරුමකරුවන් බවට පත් වූ බවත් ග්‍රාම්ස්චි පෙන්වා දෙයි. මෙයින් විශේෂයෙන්ම ලෙනින්ගේ නායකත්වයෙන් යුතු වූ බුද්ධිමය ස්ථරය යුරෝපයේ සමාජවාදී ප්‍රවනතාවයන්ගේ උරුමකරුවන් බවට පත්වූ බවත්, ඔවුන්ගේ මතවාදය සමස්ත යුරෝපීය මතවාදයක් ලෙස වැඩුනු බවත් ඔහුගේ විග්‍රහය වෙයි. එමනිසා මෙම බුද්ධිමය ස්ථරයේ නායකත්වය යටතේ රුසියානු විප්ලවය සිදු වීම ලෝක පරිමානයේම විපර්යාසයකි. රුසියානු විප්ලවය හුදු රුසියානු විප්ලවයක් නොව ලෝකයේ එක් ඓතිහාසික යුගයක් අවසන් කරන්නාවූ විප්ලවයකි.

බුද්ධිමතුන් පිළිබඳව ග්‍රාම්ස්චිගේ විග්‍රහයන් ඔවුන් පැමිණෙන හා නියෝජනය කරන පන්තිවල බලපෑම මත පවතින බව පෙනී යයි. එහෙත් බුද්ධිමය ශ්‍රේණීන්ගේ විවිධාකාර ස්ථරගතවීමක් දක්නට ලැබුණ ද ඔවුන් අතර තමන් බුද්ධිමතුන්ය යන ව්‍යාජ සංකල්පයක්ද ඇත. මෙම සංකල්පය ව්‍යාජ වූවක් වන්නේ බුද්ධිමතුන් කිසි විටෙකත් සමජාතීය සමාජ ස්ථරයක් ලෙස හඳුනාගත නොහැකි වන බැවිනි. ඔවුන් විවිධ පන්තිවල මතවාදයන් නියෝජනය කරන අතර, පාලක පන්තියේ සිට සෘජු ලෙසම පාලිත පන්තිය දක්වාවූ විවිධ මතවාදයන් නියෝජනය කරන බුද්ධිමය ශ්‍රේණීන්දක්නට ලැබේ. එහෙත් යම් යම් ඓතිහාසික තත්ත්වයන් යටතේ හා යම් යම් කොන්දේසි යටතේ බුද්ධිමතුන්ගේ ශ්‍රේණීන් තුළ යම් අධ්‍යාත්මික සමජාතීය බවක් ඇති වීමේ හැකියාවක් ද පවතින බව ග්‍රාම්ස්චි පෙන්වා දෙයි. ඔහුගේ විග්‍රහයට අනුව සමහර අවස්ථාවලදී නැගී එන සමාජ පන්තියේ එනම් අනාගතයේදී පාලන බලය දැරීමට සිටින පන්තියේ බුද්ධිමය ශ්‍රේණීන්ට අනෙක් බුද්ධිමය ශ්‍රේණීන් මත තම මතවාදී ආධිපත්‍යක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙයි. මෙවැනි මතවාදී යටත්කර ගැනීමකින් පසුව ක්‍රියාත්මක දේශපාලනයේ සිදුවීම් වලදී අනෙකුත් බුද්ධිමය ස්ථරයන් නැගී එන පන්තියේ මතවාදී ස්ථාවරයට පැමිණීම දක්නට ලැබෙන්නෙකි, මෙම තත්ත්වයට උදාහරණයක් ලෙස අපට වර්තමාන ප්‍රංශයේ පවතින තත්ත්වයන් පෙන්වා දිය හැක. ප්‍රංශයේ කිසිඳු ප්‍රධාන මට්ටමේ බුද්ධිමතෙකුට තමන් සම්පූර්ණයෙන්ම දක්ෂිණාංශිකයෙකු වශයෙන් පෙනී සිටිය නොහැකිය. ඕනෑම දාර්ශනිකයෙකුට ද්‍රව්‍යවාදී නොවන මත විවෘතව ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. එහෙත් යථාර්ථික දේශපාලන ක්‍රියාවලියේදී ප්‍රංශයේ ප්‍රධාන බුද්ධිමතුන්ගේ සිථරය හැමවිටම වාමාංශික වූත්, රැඩිකල්වාදී වූත් ප්‍රවණතාවයක් දරා ඇත. එමනිසා යම් කාරනයක් පිළිබඳව මෙම බුද්ධිමය සිථරය තුළ එකඟත්වයක් දැකිය හැක. උදාහරණයක් ලෙස වියට්නාම් යුද්ධය පිළිබඳව ගත්විට ප්‍රංශයේ බුද්ධිමතුන්ගේ අති බහුතරය යුධ විරෝධී ආකල්පයක් දරා ඇත. ඇමරිකන්, ඉංග්‍රීසි හෝ ජර්මන් බුද්ධිමතුන් පිළිබඳව මෙබඳු තත්ත්වයක් මේ තරම් පැතිරී ගිය අයුරින් අපට දක්නට නැත. නමුත් බුද්ධිමතුන් වශයෙන් සමජාතීය යන සංකල්පය වැරදි එකක් වුවත් සමහර ඓතිහාසික තත්ත්වයන් යටතේ ඇතැම් තීරණාත්මක අවස්ථාවල දී විවිධ සමාජ ස්ථර වලට සම්බන්ධ වී සිටින බුද්ධිමය ශ්‍රේණීන් අතර යම් ආකාර මතවාදී සමජාතීය බවක් දක්නට ලැබිය හැක. මෙබඳු තත්ත්වයන් ඇති වන්නේ නැගී එන පන්තියේ බුද්ධිමය ශ්‍රේණීන් විසින් අනෙකුත් ස්ථරයන් න්‍යායික වශයෙන් හා මතවාදී වශයෙන් යටත් කරගන්නා තත්ත්වයන් තුළය.

පැසිස්ට්වාදය පිළිබඳ විග්‍රහයන්

අන්තෝනිඕ ග්‍රාම්ස්චි ජීවත් වූ කාලයේදී ඉතාලියේත් පසුව ලෝකය තුළත් ඉමහත් බලපෑමක් ඇති කළා වූ පැසිස්ට් වාදය නමැති දේශපාලන ව්‍යාපාරය පළමුවරට ජයග්‍රහණය කොට රාජ්‍ය බලය අල්ලා ගන්නා ලද්දේ ඉතාලියේය. පැසිස්ට් වාදයේ ජයග්‍රහණය පිළිබඳවත්, එහි පන්ති හරය හා ස්වරූපය පිළිබඳවත්, එයට එරෙහිව කරන සටන පිළිබඳවත් ඉතාම විනිවිද යන විග්‍රහයක් මෙම තත්ත්වයන් තුළදීම ග්‍රාම්ස්චි විසින් ඉදිරිපත් කොට ඇත. ඇතිත වශයෙන්ම එය ඉතාම තියුණු බුද්ධිමතෙකුට පමණක් කළහැකි කාර්යයක් ලෙස නම් කළ හැක. ඊට හේතුව ආරම්භයේදී පැසිස්ට්වාදය රැඩිකල් ව්‍යාපාරයක්, ජනතා කොටස් වලින් මතුවන, පාලක පන්තීන්ට විරුද්ධ ව්‍යාපාරයක් ලෙස පෙනී යෑමයි.

ටොගලියාටිත්

ටොගලියාටිත්

1917 රුසියාවේ ඔක්තෝබර් විප්ලවය ඇතිවන කාලයේදී ඉතාලි සමාජවාදී පක්ෂය ඉතා බලවත් පක්ෂයක්ව පැවතුනි. ඉතාලි කම්කරු පන්තියේ විශාල සහයෝගයක් දිනාගෙන සිටි මෙම පක්ෂය ඔක්තෝබර් විප්ලවයේ බලපෑමත්, පළමුවන ලෝක යුද්ධයේ ඉතාලි පරාජයත් ආශ්‍රයෙන් විශාල අභ්‍යන්තර කැළඹීම් වලට ලක් විය. ඉතාලි පැසිස්ට්වාදයේ පසුකාලීන නායකයා වූ බෙනි‍ටෝ මුසොලිනී 1915 පමණ කාලයේ දී ඉතාලි සමජවාදී පක්ෂයේ වාමාංශික ප්‍රවණතාවයේ නායකයා විය. දක්ෂිනාංශික ප්‍රවණතාවයේ නායකයා වූයේ සෙරාටි ය. රුසියාවේ සමාජවාදී ඔක්තෝබර් විප්ලවය මගින් ඇති කරනු ලබන බලපෑමට හා ආශ්වාදය ලක්වන ඉතාලි සමාජවාදී පක්ෂය තුළ ලෙනින්ගේ නායකත්වයෙන් යුතු ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතාවය සමඟ සම්බන්ධ වීමේ මතය ද මතු වේ. මේ වන විට තරුණ නායකයින් වූ අන්තෝනිඕ ග්‍රාම්ස්චි සහ ග්‍රාමිස්චිගේ මරණයෙන් පසු ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ ටොගලියාටිත්, එමෙන්ම ඔවුන්ට වඩා වැඩි වයස් මට්ටමක වූ නායකයෙක් වන බෝදිගාත් මෙම ප්‍රවණතාවයේ නායකයින් විය. මේ අවස්ථාවේදී සෙරාටි බොහෝ දුරට සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක් වශයෙන් ක්‍රියාත්මක විය. වාමාංශික ප්‍රවණතාවය වෙන්වී ඉතාලියානු කොමියුනිස්ට් පක්ෂය ගොඩනැගීම සිදු වන්නේ මෙම ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙනි, මීට පෙර මුසොලීනි ද සමාජවාදී පක්ෂයෙන් ඉවත් වී පැසිස්ට් පක්ෂය නමින් නව පක්ෂයක් ආරම්භ කරයි. මෙම පක්ෂය ද ආරම්භ වන්නේ වාමාංශික, ධනේශ්වර විරෝධී හා ජනතාවාදී පක්ෂයක් වශයෙනි. මෙම පක්ෂය ආරම්භයේදී ධනේශ්වර පන්තිය නියෝජනය කරන පක්ෂයක් ලෙස පෙනී නොසිටී. හිට්ලර්ට මෙන් නොව, මුසොලීනිට, සිය තරුණ කාලයේදී වාමාංශික දේශපාලනය කිරීමේ කීර්තිය ද වූ බැවින් තම පක්ෂය ජනතාවාදී පක්ෂයක් ලෙස පිළිගැන්වීමට හැකියාවක් තිබුණි. ඔහු පැසිස්ට් පක්ෂය ජනතාවට හඳන්වා දෙනු ලබන්නේ ජනතාවාදී ඉතාලි ජාතික පක්ෂයක් වශයෙනි. ඉතාලිය ඓතිහාසික වශයෙන් යුරෝපයේ විශාල කොටසක් පාලනය කළ රෝම අධිරාජ්‍යය පවත්වාගෙන ගිය රාජ්‍යයයි. එම ඓතිහාසික උරුමයන් පිළිබඳ මතකය ද ඉතාලි ජනතාව තුළ බලපවත්වන බව ද තේරුම් ගත යුතුය. නමුත් 1910 – 1915 වන විට ඉතාලියේ තත්ත්වයන් එතරම් විශිෂ්ඨ වූ තත්ත්වයන් නොවීය. එක් අතෙකින් ඉතාලියේ ධනවාදය හරියාකාරව සංවර්ධනය වී නොතිබුණු අතර, ඉතාලියේ දකුණේ විශාල ප්‍රදේශයක් නොදියුණු කෘෂිකාර්මික තත්ත්වයක පැවතුනි. දහහත්වන ශතවර්ෂයේ පමණ කාලයේදී යුරෝපයේ බොහෝ රටවල් ඉතාලිය අභිබවා සංවර්ධනය වී තිබුණි. මෙම ත්ත්වය තුළ ඉතාලියේ පැරණි පැවති ශ්‍රේෂ්ඨත්වය නැවත ගොඩනැගීම පිළිබඳ මතවාදයක් ද ඉතාලි ජනතාව තුළ පැවති අතර, එම යොමුව ද මුසොලීනි විසින් තම ව්‍යාපාරයේ සාර්තකත්වය උදෙසා යොදා ගැණිනි. ග්‍රාම්ස්චි ඉතාම හාත්ස්‍යයෙන් සඳහන් කරන ආකාරයට මුසොලීනි බොහෝ විට පැරණි සීසර් කෙනෙකුගේ මානසිකත්වයෙන් යුතුව කටයුතු කරන්නට උත්සාහ කළේය. මෙම අවස්ථාව ලෝක ඉතිහාසයේ පළමුවෙන්ම පැසිස්ට්වාදය ආරම්භ වූ අවස්ථාවයි. මින් පෙර පැසිස්ට්වාදය පිළිබඳ ආදර්ශයක් ලෝක ඉතිහාසයේම දක්නට නැත. එමෙන්ම එය ඉතාලි සමාජවාදී පක්ෂයේ වාමාංශික ප්‍රවණතාවයේ සිටි පුද්ගලයාගේ නායකත්වයෙන් මතුවන අතර එය කිසිසේත් ධනේශ්වර පන්තිය නියෝජනය කරන පක්ෂයක් වශයෙන් මතු නොවෙයි. පැසිස්ට් පක්ෂයේ මතවාදය තුළ ගැබ් වූයේ ජනතාවාදී වූත් ඉතාලියේ පැරණි සංස්කෘතිය සංරක්ෂණය කිරීම අරභයා වූත්, රෝම අධිරාජ්‍යයේ පැවති කීර්තිය නැවත ලඟා කරගැනීම සඳහා වූත් අපේක්ෂාවන්ය. මෙවැනි තත්ත්වයක් තුළ අනෙකුත් සමාජවාදී කොටස් තුළ මේ පිළිබඳ න්‍යායික අවුල් සහගත බවක් ඇති වීම ස්වභාවික වේ. හිට්ලර් බලයට පත්වන කාලය වන විට පැසිස්ට් වාදය අළුත් ප්‍රපංචයක් නොවන අතර එය එක් වරක් අත්හදා බලා තිබුණි. එමනිසා ඒ පිළිබඳව න්‍යායික විග්‍රහයක් කිරීම එතරම් අපහසු නොවීය. එහෙත් ඉතාලියේ ප්‍රථම වරට මෙම ප්‍රපංචය ජනතාවාදී සහ සමාජවාදී සටන්පාඨ යටතේ මතුවන විට එහි පන්ති හරය පිළිබඳ පැහැදිළි, නිවැරදි න්‍යායික විග්‍රහයක් කිරීමට තිබූ හැකියාව ග්‍රාම්ස්චිගේ දේශපාලන චින්තනයේ තියුණු බව පෙන්වන්නකි.

පැසිස්ට්වාදය පිළිබඳව විග්‍රහ කරන විට ග්‍රාම්ස්චිගේ ප්‍රධාන සංකල්ප දෙකක් වශයෙන් සීසර්වාදය පිළිබඳ සංකල්පය හා පැසිස්ට්වාදය පිළිබඳ සංකල්පය පැහැදිළිව වෙන්කොට හඳුනා ගැනීම වැදගත් වෙයි. මෙම සංකල්ප දෙකම එකිනෙකට සමාන්තරව දිවෙන නමුත් එකිනෙකින් වෙනස් සංකල්පයන් වෙයි.

සීසර්වාදය

 “ලුවී බොනපාට්ගේ දහඅටවන බෲමේයරය”

“ලුවී බොනපාට්ගේ දහඅටවන බෲමේයරය”

සීසර් වාදය ප්‍රධාන වශයෙන්ම ඉතිහාසය පිළිබඳ සංකල්පයකි. සමාජ ඉතිහාසයේ ඇතැම් අවස්ථාවන්හි දී, ප්‍රධාන පන්ති බලවේග දෙකක් එකිනෙකට එරෙහිව කරන තියුණු අරගලයකදී, අප සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන්නේ එයින් එක් ප්‍රධාන බලවේගයක් ජයග්‍රහණය කරනු ලබන අතර, අනෙක පරාජය වන බවයි. එනම් ඉතිහාසයේ ඉදිරිගාමී බලවේගය ජයග්‍රහණය කරනු ලබන හෝ එසේ නොමැති නම් ඉදිරිගාමී බලවේගය අභිබවා දැනට බලයේ සිටින බලවේගය තාවකාලිකව ජයග්‍රහණයක් ලබන බවය. ඉන්පසු ජයග්‍රහණය ලබන බලවේගය විසින් ‍අනෙක් බලවේගයේ ශක්තිය විනාශ කොට දමා තම ජයග්‍රහණය සහතික කරගනු ලබන බව අපි බලාපොරොත්තු වෙමු. උදාහරණයක් ලෙස අප ධනේශ්වර ක්‍රමය තුළ පන්ති අරගලය සලකන්නේ නම්, පන්ති අරගලයේ යම් තියුණු අවස්ථාවකදී, ධනපති පන්තියත්, නිර්ධන පන්තියත්, මුහුණට මුහුණලා අරගලයක යෙදෙයි. මෙම අරගලයේදී ධනේශ්වර පන්තිය හෝ නිර්ධන පන්තිය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතු බව අපි සාමාන්‍යයෙන් සිතමු. එම ජයග්‍රහණයෙන් පසු ජයග්‍රාහී පන්තිය විසින් පරාජිත පන්තියේ සංවිධානාත්මක ශක්තිය තාවකාලිකව හෝ විනාශ කර දමනු ලබන බව ද අපි දනිමු.

එහෙත් යම් යම් ඓතිහාසික තත්ත්වයන් තුළ මෙබඳු පන්ති බලවේගයන්ගේ විශේෂිත තුලනයක් ඇති විය හැකිය. මෙම තත්ත්වය තුළදී එකිනෙකට විරුද්ධව සටන් කරන්නාවූ අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රධාන බලවේගයන් ඔවුන්ගේ අරගලය මගින් එකිනෙකා විනාශ කරනු ලබන අතර මෙම අරගලයේදී බලවේගයන් දෙකම විඩාවට පත් වේ. මෙම තත්ත්වය තුළදී එක් බලවේගයකට අනෙත් බලවේගය යටත් කරන්නට නොහැකි වන අතර, බලවේගයන් දෙකම දුර්වල වෙයි. එවිට ප්‍රධාන බලවේග දෙක නොව වෙනත් බලවේගයකට එනම් තුන්වන බලවේගයකට මෙම බලවේගයන් අභිබවා ජයග්‍රහණය කිරීමේ හැකියාව ඇත. එසේ බලයට පත්වන බලවේගය ඉන්පසු එක්කෝ ප්‍රධාන බලවේගයන් දෙකෙන් එකකට සේවය කරනු ලබන හෝ එසේ නැත්නම් මෙම බලවේගයන් දෙක අතර තුලනයක් ඇති කරන හා එම බලවේගයන් දෙක අතර එහාට මෙහාට වැනෙන තත්ත්වයක් උදා විය හැකිය. එම ක්‍රියාකාරීත්වයේ ස්වරූපය අනුව එය ප්‍රගතිශීලී හෝ ප්‍රතිගාමී වන්නට පුළුවන. සීසර් වාදය ලෙස ග්‍රාම්ස්චි හඳුන්වන්නේ එලෙස බලයට පත්වන අතරමැදි බලවේගයක ආඥාදායකත්වයකි. ග්‍රාම්ස්චිගේ මෙම විග්‍රහයට ඉතා කිට්ටු විග්‍රහයක් ලෙස මාක්ස්ගේ පුංචි බොනපාට් පිළිබඳ නිරීක්ෂණයන් සැලකිය හැකිය. ප්‍රංශ දේශපාලන විග්‍රහයක් වන “ලුවී බොනපාට්ගේ දහඅටවන බෲමේයරය” කෘතියේ මේ අදහස් අපට දැකිය හැකිය. මේ කෘතියේ දී මාක්ස් බොනපාට් වාදය පිළිබඳ සුවිශේෂ අදහසක් ඉදිරිපත් කොට ඇත. මෙම බොනපාට්වාදී ආඥාදායකත්වය කෙලින්ම ධනේශ්වර පන්තියේ ආඥාදායකත්වයක් හෝ නොවීය. බොනපාට්වාදී ආඥාදායකත්වය මෙම පන්තීන් හා අනිකුත් පනතීන් අතර තුලනයක් ඇතිකරන සහ ඒ බලවේග අතර සැලෙන ආඥාදායකත්වයකි. පුංචි බොනපාට්ගේ නැගීම පිළිබඳ මාක්ස්ගේ මෙම විග්‍රහය හා සීසර්වාදය පිළිබඳ ග්‍රාම්ස්චිගේ විග්‍රහයේ සමානත්වයක් දක්නට ඇත. සීසර්වාදය ලෙස ග්‍රාම්ස්චි හඳුන්වන්නේ ද මෙබඳුම ආකාරයක තුන්වන බලවේගයක බලයට පත් වීමකි. එහෙත් මෙම බලයට පත්වීමෙන් පසුව එම බලවේගයේ ක්‍රියාකාරීත්වය එක්කෝ ඉදිරිගාමී දෙසකට හෝ නැතහොත් පසුගාමී දෙසකට යා හැකි බව ඔහු පෙන්වා දෙයි. ඔහු ඉදිරිගාමී සීසර්වරුන්ට උදාහරණ ලෙස දක්වන්නේ ජුලියට් සීසර්, පළමුවැනි නැපෝලියන් හෙවත් නැපෝලියන් බොනපාට් සහ ඉංග්‍රීසි විප්ලවයේදී ක්‍රොම්වෙල් ය. අප බොහෝ දෙනා තුළ නැපෝලියන් බොනපාට් පිළිබඳව ඇත්තේ ඔහු ප්‍රතිගාමී පාලකයෙකුය යන වැරදි අදහසකි. ට්‍රොට්ස්කි නැපෝලියන් බලයට පත්වීම හැඳින්වූයේ ‘තර්මීඩෝර් ප්‍රතිගාමීත්වය’ ලෙස ය. දේශපාලන වශයෙන්, නැපෝලියන් බොනපාට් බලයට පත්වීමට පෙර තිබූ විප්ලවකාරී ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඔහුගේ බලයට පත් වීමෙන් පසුව ප්‍රංශ රාජ්‍යතන්ත්‍රයෙන් ගිලිහී යෑම මෙබඳු විග්‍රහයකට හේතු විය හැක. එහෙත්, පන්තිමය හරය වන්නේ, ප්‍රංශ මහා විප්ලවය මගින් රදළ වැඩවසම් රාජ්‍යය බිඳ දමා බලයට පත් වූ ධනේශ්වර පන්තියේ රාජ්‍යය බොනපාට් තවදුරටත් ශක්තිමත් කරන්නේද? තහවුරු කරන්නේද? යන්නයි. බොනපාට්ගේ ආඥාදායකත්වය යටතේ ධනේශ්වර විප්ලවය දිගටම වර්ධනය වන අතර ඔහුගේ ආඥාදායකත්වය ධනේශ්වර රාජ්‍යයේම එක් සුවිශේෂ ආකාරයක් පමණකි. ඒ අනුව බලන කළ නැපෝලියන් බොනපාට්ගේ ආඥාදායකත්වය එම යුගයේදී ඉදිරිගාමී ආඥාදායකත්වයක් විය. ඒ වන විට යුරෝපයේ අනෙකුත් බොහෝ රටවල ධනේශ්වර විප්ලවයන් සිදුවී නොතිබුණු වකවානුවක් නිසා මෙම ආඥදායකත්වයේ ප්‍රගතිශීලී ස්වරූපය එම තත්ත්වයන් තුළ වඩාත් කැපී පෙණිනි. පළමුවෙනි නැපෝලියන් ප්‍රගතිශීලී සීසර්වරයෙකු ලෙස ග්‍රාම්ස්චි විග්‍රහ කරනුයේ එම තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනි. ප්‍රතිගාමී සීසර්ලාට උදාහරණයක් ලෙස ග්‍රාම්ස්චි හඳුනා ගන්නේ තුන්වන නැපෝලියන්ය. එම ආඥදායකත්වය එම යුගයේ දී පසුගාමී බලවේගයන්ට සේවය කරන්නකි. මෙලෙස සීසිර් වාදය එම ඓතිහාසික තත්ත්වයන් තුළ ප්‍රතිගාමී හෝ ප්‍රගතිශීලී කාර්ය භාරයක් ඉටුකළ හැක.

පැසිස්ට්වාදය

අන්තෝනිඕ ග්‍ර‍ාම්ස්චිගේ පැසිස්ට් වාදය පිළිබඳ විග්‍රහය සීසිර් වාදය සමඟ සමාන්තරව දිවෙන සංකල්පයක් ලෙස දැකිය හැකි නමුත් එය ඊට වඩා වෙනස් වූ සංකල්පයකි. අපි ‍ෙද්ශපාලන අර්බුදය පිළිබඳව ග්‍රාම්ස්චිගේ නිර්වචනය මුල් දේශනයේ දී ඉදිරිපත් කළෙමු. පැසිස්ට් වාදය පිළිබඳව ඔහුගේ නිරීක්ෂණයන් ද ‍ෙද්ශපාලන අර්බුදය පිළිබඳ නිර්වචනය හා සම්බන්ධ වෙයි. ‍ෙද්ශපාලන අර්බුදයක් ලෙස ග්‍රාම්ස්චි දක්වන්නේ සමාජ පන්තීන්, එම පන්තීන්ට චිරාගතව නායකත්වය සැපයූ නායකත්වයන්ගෙන් ගිලිහී යන තත්ත්වයකි. එනම් චිරාගතව නායකත්වයන්ට තම පන්තිය මත තිබූ මතවාදී ආධිපත්‍යය අහිමි වන තත්ත්වයකි. මෙය ආර්ථික අර්බුදයකින් පමණක් පැන නොනඟින හා බොහෝසෙයින් වෙනස් වූ තත්ත්වයක් වන අතර, සුවිශේෂ තත්ත්වයන්හිදී දේශපාලන අර්බුදයක් මඟින් ආර්ථික අර්බුදයක් නිර්මාණය විය හැක. එහෙත් ආර්ථික අර්බුදයක් හා දේශපාලන අර්බුදයක් අතර මූලික වෙනසක් වෙයි. ආර්ථික අර්බුදයක් මඟින් ගැටලුකාරී දේශපාලන තත්ත්වයන් මතු කළ හැකි වුවද, පන්තීන් තම චිරාගතව නායකත්වයන්ගෙන් ගිලිහී යන තත්ත්වයක් අනිවාර්යයෙන් පැන නොනඟී. ග්‍රාම්ස්චි සඳහන් කරන ‍ දේශපාලන අර්බුදය එලෙස පන්තීන් නායකත්වයන්ගෙන් වෙන්වීම මඟින් පැන නඟින්නකි. පැසිස්ට්වාදය මතුවන්නේ මෙබඳු දේශපාලන අර්බුදයක් පවතින අවස්ථාවකය.

ඉතාලි තත්ත්වයන් සැලකිල්ලට ගත් කළ සම්ප්‍රදායිකවත්, චිරාගතවත් කම්කර් පන්තිය, සමාජවාදී හා පසුව කොමියුනිස්ට් පක්ෂවලටත්, ධනේශ්වර පන්තිය, ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටත් සහයෝගය දෙමින් පැවතුනි. එහෙත් මෙම අලුත් බලවේගය වන පැසිස්ට් වාදය නැගීගෙන එන කාලය වන විට මෙම නායකත්වයන්ගේ, තම පන්තීන් මත තිබූ ආධිපත්‍යය ගිලිහී යන තත්ත්වයක් නිර්මාණය වී පැවතුනි. එනම් කොමියුනිස්ට්, සමාජවාදී පක්ෂවල නායකත්වයෙන් කම්කරු පන්තියත්, ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වයෙන් ධනේශ්වර පන්තියත් ගිලිහී යමින් පැවතුනි. පැසිස්ට්වාදය බලයට පත්වන්නේ මෙබඳු දේශපාලන තත්ත්වයක් උපයෝගී කොටගෙනය. මෙම කාලය වන විට පැසිස්ට්වාදය පිළිබඳව න්‍යායික වියවුල් බවක් සමාජවාදී බුද්ධිමතුන් අතර හටගෙන තිබුනි. ඇතමුන් පැසිස්ට්වාදය ‘පිස්සු වැටුනු සුළු ධනේශ්වර පන්තියේ ප්‍රකාශනයක්’ ලෙස හැඳින්වූ අතර, එහි හරය වූයේ එය ධනේශ්වර පන්තියේ ප්‍රකාශනයක් ලෙස පිලිගැනීම ප්‍රතික්ෂේප කිරීමයි. මෙවැනි වියවුල් සහගත තත්ත්වයක් ඇති වීමට හේතු කිහිපයක් විය. එයින් එක් හේතුවක් වූයේ මෙම වකවානුවේ දී පැසිස්ට් ව්‍යාපාරයේ නායකත්වය දැරුවේ හා ක්‍රියාකාරී වැඩ කටයුතු කළේ වාමාංශික හා රැඩිකල් පෙනුමෙන් යුතු ක්‍රියාකාරීන් පිරිසක් වීමය. ධනේශ්වර පන්තිය, එහි බුද්ධිමතුන් හා ක්‍රියාකාරීන් ද තවදුරටත් තම චිරාගත නායකත්ත්වය යටතේ කටයුතු කළෝය. මෙම නිසා පැසිස්ට් ව්‍යාපාරය මුල් වකවානුවේ දී වාමාංශික හා රැඩිකල් පෙනුමකින් යුතු ව්‍යාපාරයක් විය. න්‍යායික වියවුල්වලට අනෙක් හේතුව පැසිස්ට් ව්‍යාපාරයට පැවති ජනතා පදනම පිළිබඳ ප්‍රශ්නයයි. මෙම ජනතා පදනම විසින් පැසිස්ට්වාදය, යුධමය ඒකාධිපතීත්වයකින් කැපී පෙනෙන ලෙස වෙනස් කෙරෙයි. යුධමය ඒකාධිපතීත්වයකට ජනතා පදනමක් නොමැති වන බැවින් එය තේරුම් ගැනීමත් එයට එරෙහිව කටයුතු කිරීමත් පහසු කටයුත්තකි‍. යුධමය ඒකාධිපතීත්වයක් ජනතාව මර්ධනය කිරීම මඟින් දිගින් දිගටම ජනතාවගෙන් කොන්වෙමින් පවතින ආඥාදායකත්වයකි. පැසිස්ට්වාදය ද මර්ධනකාරී ඒකාධිපතීත්වයක ස්වරූපය ගත්තද එයට පුළුල් ජනතා පදනමක් හා එම ජනතා කොටස් මත මතවාදී ආධිපත්‍යයක් ඇත. එහෙත් එම ආරම්භක අවස්ථාවේදී පැසිස්ට්වාදය පිළිබඳව නිරවුල් න්‍යායික විග්‍රහයක් කිරීම ග්‍රාම්ස්චිගේ චින්තනයේ වැදගත් ලක්ෂණයකි.

ඉතාලි තත්ත්වයන් තුළ පැසිස්ට්වාදයේ ආරම්භක වකවානුවේදී එය පැහැදිළි සමාජ කණ්ඩායම් තුනක් මත පදනම් වන බව ග්‍රාම්ස්චි පෙන්වා දෙයි. එම බලවේගයන් නම් ග්‍රාමීය මැද ධනේශ්වර පන්තිය, නාගරික සුළු ධනේශ්වර කොට්ඨාශයන් සහ නන්නත්තාර නිර්ධන පන්තියයි. ග්‍රාමීය මැද ධනේශ්වරය යනු දකුණූ ඉතාලියේ ප්‍රධාන ඉඩම් හිමියන්ගේ පීඩනයට ලක් වී සිටින කෘෂිකාර්මික මැද ධනේශ්වර කොට්ඨාශයන් වේ. දකුණූ ඉතාලියේ ප්‍රධාන ඉඩම් හිමියන්, පාලක ධනේශ්වර කණිෂ්ඨ සහකාරයන් වශයෙන් සිටින අතර, ග්‍රාමීය මැද ධනේශ්වරය, පාලක ධනේශ්වරය සමඟ ප්‍රතිවිරෝධයන් සහිතව සිටී. මෙම මැද ධනේශ්වරය පැසිස්ට්වාදයේ ආරම්භක යුගයේදී එහි ක්‍රියාකාරී ජනතා කොට්ඨාශයක් බවට පත් වන්නේ මෙම ප්‍රතිවිරෝධයන් හේතුවෙනි. අනෙක් අතින් උතුරු ඉතාලියෙහි වේගවත් ධනේශ්වර සංවර්ධනය නිසා තම තත්ත්වයන්ගේ ගරාවැටුමකට ලක් වී සිටින නාගරික සුළු ධනේශ්වර කොට්ඨාශයන් ද ක්‍රියාත්මක වෙයි. ධනේශ්වර සංවර්ධනය වේගවත් වන තරමට සුළු ධනේශ්වර කොට්ඨාශයන්ගේ ජීවන තත්ත්වයන් ගරාවැටීම ද වඩා උත්සන්න වෙයි. මෙම ගරාවැටීම නිසා එම කොට්ඨාශයන් ද පවතින ක්‍රමය ද එරෙහිව විශාල විරෝධතාවයකින් යුක්ත වන ජන කොටසකි. එමනිසා මෙම බලවේගය ද පැසිස්ට්වාදයේ සමාජ උල්පතක් බවට පත් වෙයි. පැසිස්ට්වාදයේ අනෙක් සමාජ උල්පත වන්නේ නන්නත්තාර නිර්ධන පන්තියයි. මාක්ස් ‘පුංචි බොනපාට්ගේ නැගීම’ පිළිබඳව ඔහුගේ කෘතියේ දී පෙන්වා දෙන පරිදිම පුංචි බොනපාට් විසින් පැරීසියේ නන්නත්තාර නිර්ධන පන්තියට සොසේජස් සහ වයින් බෙදා දුන් අතර, ඉන්පසුව මෙම නන්නත්තාර කොටස් පුංචි බොනපාට් තමන්ගේ අධිරාජ්‍යයා වශයෙන් ප්‍රකාශ කරන ලදී. නන්නත්තාර නිර්ධන පන්තියේ දේශපාලන ප්‍රවණතාවයන් පිළිබඳව අදහස් මුලින්ම දකින්නට ලැබෙන්නේ ම‍ාක්ස්ගේ මෙම විග්‍රහයන් තුළය. මෙම කොටස නිර්ධන පන්තියේ මට්ටමට වඩා පහළ ජීවන මට්ටමක වූ ජන කොට්ඨාශයකි. මෙම කොටස සමන්විත වන්නේ හිඟන්නන්, පිට්පොකට් කාරයන්, රැකියා විරහිත රස්තියාදු කාරයන් වැනි කණ්ඩායම් වලිනි‍. ඔවුන් පවතින සමාජයේ විවිධ විෂමතාවයන්ගෙන් පීඩාවට පත් වී සිටින බලවේගයක් වන නමුත් නිර්ධන පන්තිය මෙන් විනයක් සහිත සමාජ බලවෙගයක් නොවේ. ඉතාලියේ දුඹුරු කමිස ව්‍යාපාරය වශයෙන් මුසොලීනි ගොඩනැගූ තග් සංස්ථවේ ක්‍රියාත්මක ප්‍රහාරක බලඇනිය වූයේ මෙම කොටසයි.

පැසිස්ට් වාදය මුල් කාලීනව මෙම ජන කොට්ඨාශයන්ගෙන් පැන නැඟුනේ වී නමුත් එහි සංවර්ධනයේ එක් අවදියකදී එහි සමාජ පදනම් පුළුල් වේ. මෙම අවස්ථාව වන විට පැරණි පක්ෂවල චිරාගත නායකත්වයන්ගෙන් එම පක්ෂයන් විසින් නියෝජනය කරන ලද පන්තීන් ගිලිහී යාමෙන් ඓන්ද්‍රීය දේශපාලන අර්බුදයක් නිර්මාණය වී පවතියි. මෙවිට ධනේශ්වර පාලනයත්, ධනේශවර නිෂ්පාදන ක්‍රමයත් දැඩි අර්බුදයකට‍ ලක් වන අතර, තම පාලනය හා නිෂ්පාදනය පවත්වාගෙන යාම සඳහා වෙනත් මාවත් සෙවීමට ධනේශ්වර පන්තියට සිදුවෙයි. මෙම තත්ත්වය මතුවන විට, තමන් පැසිස්ට් ව්‍යාපාරයට අකමැති වුවත් තම නිෂ්පාදන අයිතිය රැක ගැනීම් වස් පැසිස්ට් ව්‍යාපාරයට ආධාර කල යුතුය යන මතය ධනේශ්වර පන්තිය තුළ ඇති වෙයි. ඉතාලියේ මෙන්ම ජර්මනියේ ද මෙම තත්ත්වය ඇති විය. මෙම සහයෝගය පැසිස්ට් ව්‍යාපාරයට ලැබීමත් සමඟ එහි පැරණි පැවති තත්ත්වයේ ගුණාත්මක වෙනසක් ඇති වෙයි. මෙම වෙනස බොහෝ විට එම ව්‍යාපාරය බලයට පත් වීමට පෙරදීම සිදුවෙයි. එහෙත් කලින් සඳහන් කරන සමාජ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයෙන් තොරව කිසිඳු පැසිස්ට් ව්‍යාපාරයක් ආරම්භ නොවන බවත්, එම මුල් කාලයේදී පැසිස්ට් ව්‍යාපාරය රැඩිකල් සහ ධනේශ්වර විරෝධී සටන් පාඨයන් හඬ නගමින් මෙම ජන කොට්ඨාශයන් සංවිධානය කොට ඉදිරියට ගෙන එන බවත්, එම තත්ත්වයේ ගුණාත්මක වෙනස්වීමක් සිදුවන්නේ ධනේශ්වර පන්තියේ සහයෝගය මෙම පක්ෂයට ලැබීමෙන් පසුව බවත් මතක තබාගත යුතුය. ධනේශ්වර පන්තිය විසින් පැසිස්ට් ව්‍යාපාරය බලයට පත් කිරීම සඳහා කටයුතු කරනු ලබන්නේ මෙම ගුණාත්මක වෙනසට එම ව්‍යාපාරය භාජනය වීමෙන් පසුවය.

පැසිස්ට්වාදයේ අංග ලක්ෂණ

හිට්ලර් සහ මුසෝලිනි රෝමයේ ෆැසිස්ට් රැලියකදී

හිට්ලර් සහ මුසෝලිනි රෝමයේ ෆැසිස්ට් රැලියකදී

පැසිස්ට්වාදී ව්‍යාපාරයක ප්‍රභලව කැපී පෙනෙන අංග ලක්ෂණ ගණනාවක් වෙයි. මේවා වඩාත් කැපී පෙනෙන්නේ එම ව්‍යාපාරය බලයට පත් වීමෙන් පසුවය. මෙයින් මූලික අංගයක් ලෙස හැඳින්විය හැක්කේ සමාජයේ පන්ති ප්‍රතිවිරෝධයන් නැත යයි කීමටත්, පැසිස්ට් ව්‍යාපාරය ඊට ඉහළින් සිටින ව්‍යාපාරයක් වශයෙන් ඉස්මතු කිරීමටත් දරණ උත්සාහයයි. එකම ජාතියේ හෝ එකම ආගමේ හෝ වශයෙන් වූ සම්බන්ධතාවයන් ඉස්මතු කරමින්, සමාජීය පන්ති ප්‍රතිවිරෝධතා ද්වීතියික ලෙස සැලකීමට හෝ සම්පූර්ණයෙන් නැතැයි කීමට හෝ පැසිස්ට්වාදී ව්‍යාපාරයක් උත්සාහ කරයි. මෙමඟින් බහු ජනතාවන් දිනාගැනීමේ උත්සාහය ඉහළ මට්ටමකින් පැසිස්ට්වාදී ව්‍යාපාරය ක්‍රියාත්මක කරයි. මුසොලීනි විසින් රෝම අඡිරාජ්‍යයේ පැරණි කීර්තිය පිළිබඳ තත්ත්වයන් සහ ඒ වන විට ඉතාලි තත්ත්වයන් පාවිච්චි කරමින් පැරණි කීර්තිමත් යුගය නැවත ගොඩනැඟීම සඳහා වූ අපේක්ෂාවන් ජනතා සිත්සතන් තුළ ජනිත කළේය. මධ්‍යකාලීන යුගයේදී ජර්මන් රජවරුන් ශුද්ධ රෝමන් අධිරාජ්‍යයේ අධිරාජ්‍යයන් වශයෙන් සිටීමේ තත්ත්වයන් පාවිච්චි කරමින් ජර්මන් ජාතියේ විශිෂ්ඨත්වය කියන්නට හිට්ලර් උත්සාහ කළේය. එමෙන්ම තමන් ආර්ය වංශිකයන් ලෙස සලකමින් සහ ජර්මන් ජනතාවගේ සතුරන් ලෙස යුදෙව්වන් සලකමින් උග්‍ර ජාතිවාදය ද හිට්ලර් මෙහිලා පාවිච්චි කළේය. මෙලෙස සමාජයේ පන්ති අරගලය නැති බව හෝ නැත්නම් වෙනත් රටවල ඇති බව සහ තම රටේ නැති බව කියමින් තම ජාතිය, ආගම හෝ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කිරීම පැසිස්ට් ව්‍යාපාරයක කැපී පෙනෙන ලක්ෂණයකි. එමෙන්ම ඊට සම්බන්ධිත අනෙක් මතවාදී ලක්ෂණය වන්නේ පටු මානසිකත්වය නිරූපණය වන මතවාදයන්ය. පැසිස්ට්වාදයේ, මාක්ස්වාදයේ මෙන් ජාත්‍යන්තරවාදී ගුණයක් දක්නට ඇත්තේම නැත. ඒ වෙනුවට තම ජාතිය හෝ ආගම පිළිබඳව මවා ගත් පටු සංකල්පයන් පැසිස්ට් ව්‍යාපාරයක් තුළ දක්නට ඇත. අපේ සංස්කෘතිය තුළ ශ්‍රේෂ්ඨ අංග තිබූ බව හා අනෙක් අයට නොතිබූ බව වැනි සංකල්පයන් ද තම ජාතියේ ආරම්භය පිළිබඳ ශ්‍රේෂ්ඨභාවය හෝ පිරිසිඳුභාවය පිළිබඳ සංකල්පයන් ද වැනි මානසිකත්වයන් පැසිස්ට් ව්‍යාපාරයක් තුළ බහුලව දක්නට ඇත. උදාහරණයක් ලෙස අපේ රටේ පවතින අපි, අවිචචින්නව විජයගෙන් පැවතීම හෝ අපි විජයටත් පෙර රාවණාගේ කාලයේ සිට පැවතෙන බවට වූ මතවාදයන් මෙන්ම, යම් යම් විදේශීය රාජ්‍යයන් යටත් කිරීම සම්බන්ධයෙන් වූ ආශ්වාද ජනක කථාන්දර වැනි පටු මතවාදයන් පැසිස්ට් ව්‍යාපාරයක් තුළ ප්‍රභලව දක්නට ලැබෙයි. පැසිස්ට් ව්‍යාපාරයකින් තොරව වුවද මෙවැනි චින්තන රටාවන් පවතින අතර, පැසිස්ට් ව්‍යාපාරයක් මතුවී එන විට මේ සියළුම චින්තන රටාවන් පැසිස්ට් ව්‍යාපාරය හා සම්බන්ධ වී වඩාත් පුළුල් මට්ටමකින් ක්‍රියාත්මක වෙයි.

අනෙක් වැදගත් ලක්ෂණය ලෙස අපි ඉතාලි තත්ත්වයන් පිළිබඳව කලින් සඳහන් කළ ආකාරයට පැසිස්ට් ව්‍යාපාරයක් මතුවී එන විට ඉදිරිපත්වන ජනතාවාදී වූත්, සමහර විට සමාජවාදී මුහුණුවරකින් යුතු වූත්, ජාතිවාදී වූත් ස්වරූපයන් අපට සඳහන් කළ හැක. සාමාන්‍යයෙන් ඕනෑම ධනේශ්වර ව්‍යාපාරයක් ඉදිරියට එන්නේ යම් ආකාර ජනතාවාදී සටන් පාඨයන් යටතේ වුවද පැසිස්ට්වාදී ව්‍යාපාරයේ මෙම තත්ත්වය ගුණාත්මක වශයෙන් ඉතා ඉහළ මට්ටමක පවතී. බොහෝ විට මෙය සමාජවාදී සටන් පාඨයන්ගෙන් පවා ආවරණය ලබන අතර, සැබෑ සමාජවාදීන් ලෙස පෙනී සිටීමට උත්සාහ දරයි. හිට්ලර් තම පක්ෂය නම් කළේ ජාතික සමාජවාදී පක්ෂය වශයෙනි. තමන් නියම සමාජවාදීන් බවත්, කොමියුනිස්ට්වාදීන් රුසියාවට පන්දම් අල්ලන ජාතිද්‍රෝහීන් පිරිසක් බවත් ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම මුසොලීනි ද ග්‍රාම්ස්චි, ටොගලියාටි සහ බෝදිගා වැනි සමාජවාදීන්ට එරෙහිව නැගුවේ ද මේ ආකාරයේම වූ චෝදනාවන්ය. පැසිස්ට්වාදීන් කිසි විටෙක සමාජවාදයට එරෙහි බවක් ප්‍රකාශ කරමින් බලයට පැමිණ නැත. එය බලයට පැමිණෙන්නේ ජාතිවාදී සමාජවාදී, ජනතා හිතවාදී ව්‍යාපාරයක් වශයෙනි. එම මතවාදයන් පැසිස්ට් ව්‍යාපාරය තුළ ඉටු කරන ගුණාත්මක කාර්යභාරය අනුව අපට සාමාන්‍ය ධනේශ්වර ව්‍යාපාරයින් මෙය කැපී පෙනෙන ලෙස වෙන්කොට ගත හැකිය.

පැසිස්ට් රාජ්‍යයක පවතින විශේෂිත ස්වරූපය අනෙක් වැදගත් ලක්ෂණය ලෙස අපට සැලකිය හැක. අපි රදළ වැඩවසම් රාජ්‍යයන්, ධනේශ්වර රාජ්‍යයන් හා සමාජවාදී රාජ්‍යයන් ලෙස රාජ්‍යයන් ගොනු වශයෙන් සළකන්නේ නම්, පැසිස්ට් රාජ්‍යය ධනේශ්වර රාජ්‍යය යන වර්ගීකරණය තුළට අයත් වන බව සත්‍යය වේ. එහෙත් පැසිස්ට් රාජ්‍යයක් සාමාන්‍ය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකින් හෝ සාමාන්‍ය ධනේශ්වර ඒකාධිපතීත්වයකින් හෝ ප්‍රමාණාත්මකව නොව ගුණාත්මකව විශාල වශයෙන් වෙනස් වෙයි. සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රික ධනේශ්වර ක්‍රමයක හෝ මර්ධනකාරී ධනේශ්වර රාජ්‍යයක පවතිනවාට වඩා ඉතා පළල් මට්ටමකින් ජනතාවගේ සාමාන්‍ය නිදහස මර්ධනය කිරීම පැසිස්ට් රාජ්‍යයයේ විශේෂිත ලක්ෂණයකි. වෘත්තීය සමිති හෝ ඉතා සුළු මට්ටමේ ජනතා නිදහස පවා මර්ධනය කිරීමත් කිසිඳු ආකාරයක දේශපාලන නිදහසක් දක්නට නොලැබීමත් පැසිස්ට් රාජ්‍යයක ලක්ෂණයකි. සාමාන්‍ය ධනේශ්වර පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් මඟින් ඇතිවන ස්ථාවර ආධිපත්‍යයකට වැඩි කැමැත්තක් දැක්වුව ද දේශපාලන අර්බුදයකදී තම නිෂ්පාදන ක්‍රමය හා පන්ති පාලනය පවත්වාගෙන යාම සඳහා පැසිස්ට්වාදයේ මෙබඳු ඉතා කෲර පාලනයක් වුව උපයෝගී කර ගැනීමට පෙළඹේ. එය කිසිසේත්ම ධනේශ්වර පන්තියේ කැමැත්ත මත රඳා නොපවතී. එය රඳා පවතින්නේ දේශපාලන අර්බුදයේ තියිණුතාවය මත සිය ධනේශ්වර නිෂ්පාදන රටාව තවදුරටත් වෙනත් ආකාරයකින් පවත්වාගෙන යාමට නොහැකි වීම මතය. කෙසේ වුවද මෙම මර්ධනකාරී ක්‍රියාමාර්ගයන්ගේ, ප්‍රමාණය හා ගුණය යන දෙයාකාරයෙන්ම එය සාමාන්‍ය ධනේශ්වර රාජ්‍යයකින් වෙනස් වූ විශේෂිත තත්ත්වයක් පෙන්නුම් කරයි.

සාමාන්‍ය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් සහ පැසිස්ට් රාජ්‍යයක් අතර පවතින මෙම වෙනස නිසා පැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීමේ දී එම සටන් ක්‍රියාමාර්ග, මූලෝපාය හා උපාය මාර්ගයන් ද සාමාන්‍ය ධනේශ්වර රාජ්‍යයක‍ට එරෙහිව කරනු ලබන අරගලයකදී ට වඩා වෙනස් වෙයි. ඒ සඳහා සුවිශේෂ මූලෝපායක් හා උපාය මාර්ගයන් යොදා ගත යුතුය.

පැසිස්ට්වාදයට එරෙහිව සටන හා විප්ලවවාදී පක්ෂය

පැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය වන්නාවූ එක්සත් පෙරමුණ පිළිබඳවත් ඒ සඳහා මූලෝපායික ක්‍රියාමාර්ගයන් පිළිබඳවත් තුන්වන අන්තර්ජාතිකයේ ජෝර්ජි ඩිම්ට්‍රොව් විසින් සුප්‍රසිද්ධ ප්‍රවාදයන් ගණනාවක් ඉදිරිපත් කොට ඇත. මෙම අදහස් වලට සමාන සහ මඳ වශයෙන් වෙනස් වූ අදහස් කිහිපයක් අන්තෝනිඹ් ග්‍රාම්ස්චි විසින් ද ඔහුගේ හිරගෙදර ජීවිතයේදී මෙන්ම ඊට මඳ කලකට පෙර සිට ද ඉදිරිපත් කොට ඇත. පැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ක්‍රියාමාර්ගයන්ගේ අවශ්‍යතාවය ග්‍රාම්ස්චි වටහාගෙන සිටියේය. ඉතාලියේ උතුරේ කම්කරු පන්තියේ එක්සත්භාවයක් සමඟම දකුණේ පුළුල් ගොවි ජනතාව සමඟ සම්බන්ධයකුත් ඇතිවිය යුතු බව පැසිස්ට්වාදය ඇතිවන මුල් කාලයේදීම ඔහු වටහාගෙන තිබුණි. දේශපාලන වශයෙන් ගත් විට මේ එක්සත්භාවය ඉතාලි කොමියුනිස්ට් පක්ෂය හා ඉතාලි සමාජවාදී පක්ෂය අතර එක්සත්භාවයක් සමඟ ඉතාලි ගොවි ජනතාව නියෝජනය කළ කෘෂිකාර්මික පක්ෂයේ හා මෙම බලවේග අතර ඇතිවන සන්ධානයක් ද වශයෙන් විග්‍රහ කළ හැකිය. පැසිස්ට්වාදයට එරෙහිව සටන ජයග්‍රහණය කළ හැක්කේ මෙබඳු සන්ධානයක් තුළින් පමණක් බව ග්‍රාම්ස්චිගේ අදහස විය. මෙම ක්‍රියාමාර්ගයන් ග්‍රාම්ස්චිගේ පක්ෂය පිළිබඳ සංකල්පයන් සමඟ ද සම්බන්ධ වෙයි. අනෙකුත් සමාජ බලවේගයන්, පක්ෂ හා පන්තීන් එකට ගොනු කළ හැක්කේ පක්ෂය විසින් නායකත්වය දීම යන මූලික කොන්දේසිය යටතේ පමණකි. පැසිස්ට්වාදයට එරෙහිව සටන් කරන මූලික බලඇණිය වන්නේ විප්ලවවාදී පක්ෂයයි.

පක්ෂය පිළිබඳව ග්‍රාම්ස්චිගේ අදහස් බුද්ධිමය ශ්‍රේණීන් ගැන සාකච්ඡා කරන විට ද ලුහුඬින් සඳහන් කළෙමු. එමෙන්ම පක්ෂයේ පවතින විවිධ ශ්‍රේණීන් පිළිබඳව ග්‍රාම්ස්චි දැරූ අදහස් සංක්ෂිප්ත වශයෙන් මෙහිලා සඳහන් කිරීම වැදගත් වෙයි. ඔහු පක්ෂය තුළ ප්‍රධාන වශයෙන් ශ්‍රේණීන් තුනක් හඳුනා ගනී. එනම්,

(1) නිශ්චිත සමාජ ස්ථරයකින් හෝ සමාජ පන්තියකින් එන, විප්ලවවාදී නැඹුරුවකට ඓතිහාසික වශයෙන් සහයෝගය දෙන ජනතා කොට්ඨාශයන්, ඔහුගේ වචන වලින් දක්වන්නේ නම්; “නිර්මාණාත්මක හා සංවිධානාත්මක ස්වරූපයකට වඩා විනය හා පක්ෂපාතීත්වයක සුවරූපයෙන් ක්‍රියාත්මක වන්නාවූ සාමාන්‍ය ජනතා කොට්ඨාශයන්”. මෙම කොට්ඨාශයන් නොමැතිව මෙන්ම මෙම කොට්ඨාශයන් පමණක් වශයෙන් ද පක්ෂයට පැවතීමේ හැකියාව නොමැත.

(2) සෙනෙවි මඬුල්ලක් වශයෙන් ක්‍රියාත්මක වන්නාවූත්, පවතින තත්ත්වයන් සංකල්පනය කරන්නට හැකියාව ඇත්තාවූත්, ඒ අතරම එම සංකල්පනයන් විප්ලවකාරී කාර්යභාරය සමඟ සම්බන්ධ කළ හැකි නායකත්වයක්; “මධ්‍යගත කිරීමේත්, ඒකාබද්ධ කිරීමේත්, විනයගත කිරීමේත් හැකියාව ඇති ජාතික මට්ටමෙන් මධ්‍යගත වූ සංකීර්ණ බලවේග ගණනාවක්”

(3) ඉහත සඳහන් කොට්ඨාශයන්‍ දෙක අතරමැදින් ගමන් කරමින් එම කොට්ඨාශයන් අතර තුලනාත්මක සම්බන්ධතාවයක් පවත්වාගෙන යාහැකි සමාජ කොට්ඨාශයක්; “භෞතික වශයෙන් පමණක් නොව, හැඟීම්වලින් සහ බුද්ධිමය වශයෙන් පළමුවන හා දෙවන කණ්ඩායම් සම්බන්ධීකරණය කරන්නාවූ අන්තර් මධ්‍යම කොටසක්” වශයෙනි.

මෙහිදී ගම්‍ය වන කාරණයක් වන්නේ මූලික වශයෙන් තීරණ ගැනීම සහ අනෙක් කොටස් මෙහෙයවීම සිදු කරනු ලබන්නේ දෙවනු කී ජන කොට්ඨාශය විසින් බවය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී නොවන අදහසක් ලෙස කෙනෙකුට පෙනී යන්නට පිළිවන. එසේ වුවද ලෝකයේ විප්ලවවාදී පක්ෂවල දිගුකාලීන අත්දැකීම් විසින් පෙන්නුම්කොට ඇත්තේ ඇත්ත වශයෙන්ම මෙබඳු සමාජ කොටසක් පක්ෂ තුළ ක්‍රියාත්මක වන බව හා එම සමාජ කොටස විසින් අනෙක් ජනතා කොට්ඨාශයන්ට නායකත්වය දීමේ කාර්ය භාරය ඉටුකරනු ලබනා බවත්ය. එසේ වුවද නායකත්වය දෙන සමාජ කොටස පමණක් වශයෙන් වුවද පක්ෂයට පැවතීමේ හැකියාවත් නැත. ඇත්ත වශයෙන්ම පක්ෂයට පැවතීමට මෙම ශ්‍රේණීන් තුනම පැවතිය යුතු අතර, එම ශ්‍රේණීන් අතර නිවැරදි තුලනාත්මක සම්බන්ධතාවක් ද පැවතිය යුතුය. ග්‍රාම්ස්චි මෙම අදහස් ස්ථාවර සම්බන්ධීකරණය පිළිබඳ අදහස් ලෙස ඉදිරිපත් කරයි.

සම්භාව්‍ය මාක්ස්වාදී චින්තන සම්ප්‍රදාය තුළ උපරි ව්‍යූහය පිළිබඳව ප්‍රධානතම න්‍යාය වේදියා අන්තෝනිඕ ග්‍රාම්ස්චි බව අප කලින් පෙන්වා දුන්නෙමු. දේශපාලන ‍ක්ෂේත්‍රය, මතවාදී ක්ෂේත්‍රය සහ සංස්කෘතිය ආර්ථික ව්‍යූහයෙන් යාන්ත්‍රික ලෙස නිශ්චය නොකරන බව ග්‍රාම්ස්චිගේ නොවෙනස් වූ දෘෂ්ඨිපතය විය. නමුත් මෙම උපරි ව්‍යූහයේ විශේෂ, තලයන් ද්වන්ද්වාත්මක ලෙස ආර්ථික ව්‍යූහයන් සමඟ ප්‍රතික්‍රියා කරන අන්දම ද මෙම ප්‍රතික්‍රියා තුළින්ම එම ක්ෂේත්‍රයන්ට අර්ධ ස්වාධීනතාවයක් නිර්මාණය කරගන්නා ආකාරය ද ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම දේශපාලන අර්බුදය පිළිබඳ විග්‍රහයේදී ආර්ථික ව්‍යූහ‍යෙන් කිසියම් අර්ධ ස්වාධීනත්වයකින් යුතුව දේශපාලන ‍ක්ෂේත්‍රය ක්‍රියාත්මකවන ආකාරය ද, ඒ නිසාම ආර්ථික අර්බුදයක් නිසර්ගයෙන් දේශපාලන අර්බුදයකට නොපෙරලෙන බව ද, ඔහු විසින් පෙන්වා දෙන ලදී. මීට අමතරව ආර්ථික අර්බුදයක් නොමැති විටකදී වුවත් දේශපාලන ක්ෂේත්‍රයේ අර්බුදයක් හටගත හැකිය. ජනතා පිරිස් එකට බැඳ තබා, බලවේගයන් වශයෙන් ක්‍රියාත්මක කිරීමෙහිලා මතවාදයේ පවතින අතිශයින්ම වටිනා කාර්ය භාරය ග්‍රාම්ස්චි අවධාරණය කළේය. මෙම මතවාදයන් ගොඩනැගීම සහ එම මතවාදයන් සමාජ ඉතිහාසයේ ක්‍රියාත්මක වන සමාජ බලවේගයන් බවට පත්කිරීමෙහිලා බුද්ධිමය ශ්‍රේණීන්ගේ කාර්ය භාරය ඔහු නැවතත් විග්‍රහ කලේය. මෙම විග්‍රහයන් තුළින් විප්ලවකාරී පක්ෂයක් ගොඩනැගීමෙහිලා කම්කරු පන්තිය සමඟ ඓන්ද්‍රීය වශයෙන් බද්ධ වී සිටින්නාවූත්, ඔවුන්ට බුද්ධිමය නායකත්වය සපයන්නාවූත් ඓන්දීය බුද්ධිමතුන් කොටසකගේ ඇති අවශ්‍යතාවය ඔහු නිතර පෙන්වා දුන්නේය. ග්‍රාම්ස්චිගේ පූර්ණ ජීවිත කාලය තුළ කරන ලද අරගලයන් තුළින් ඔහු උත්සාහ කළේ මෙලෙස නිර්ධන පන්තියේ ඓන්දීය බුද්ධිමතෙකුගේ කාර්ය භාරය ඉටු කිරීමටයි.

ප්‍රතිචාර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )