ඇත්තෙන් ”ඉදිරිය”ට

unnamed2 කතුවැකිය

මෙරට ප‍්‍රගතිශීලී මාධ්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී කාර්යයක් ඉටු කළ ”ඇත්ත” පුවත්පත ”ඉදිරිය” පුවත්පතෙහි ජන්ම භූමිය මෙන්ම ආදර්ශය ද වේ. 2013 ජූලි මස 3 දින සිට 2014 නොවැම්බර් 9 දින දක්වා ඇත්තේ කර්තෘවරුන් වූ අපි ඇත්ත 21 වන සියවසෙහි පුවත්පතක් බවට පත් කළෙමු.

ඒ අවධිය තුළ ඇත්ත මෙරට පරිණතම සිංහල දේශපාලන පුවත්පත බවට පත් කිරිමට අපට හැකි විය. අප විසින් සංස්කරණය කරන ලද අවසාන ඇත්ත පුවත්පත එහි ප‍්‍රකාශකයන් වන ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වර්තමාන නිල නායකත්වය විසින් තහනම් කරනු ලැබූ පසු අපි එහි කර්තෘ මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කළෙමු. එසේ වුව ද කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් ද ඇතුළුව ඇත්තේ පාඨක බහුතරය තවමත් අප සමග සිටින බව අපි දනිමු.

එබැවින් අප විසින් ඇත්ත මගින් ගෙනයන ලද මතවාදය ඉදිරියට ගෙන යාම සඳහා ”ඉදිරිය” පුවත්පත ආරම්භ කරමු. ඒ සඳහා එදා ඇත්ත කියවූ අයටත් වඩා වැඩි පිරිසක් දැනටම අපට ආධාර කිරීම සඳහා ඉදිරිපත් වී ඇති අතර ඒ සැමට අපි තුති පුදමු.
තමා ජීවත් වන සමාජයේ ඇත්තටම සිදු වන්නේ කුමක්දැයි අවබෝධ කොට ගැනීමේ අවශ්‍යතාවයක් මෙරට ජනයා තුළ ඇති වී තිබේයයි අපි 2013 ජූලි තුන් වන දා ඇත්ත කතු වැකියෙන් කීවෙමු. අද වන විට පවතින තත්වය අවබෝධ කොට ගැනීමට පමණක් නොව ඒ මත පදනම්ව ඉදිරිය සකස් කොට ගත යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මෙරට බහුතර ජනතාව තීරණය කොට ඇත. ඒ ඉදිරි මග පිළිබඳ සංවාදයකට වේදිකාවක් සැපයීම ”ඉදිරිය” පුවත්පතෙහි අරමුණ වේ.

දැනට බලයේ සිටින රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රතික්ෂේප කරන බවත්, නීතියේ පාලනය බිඳ දමා ඇති බවත්, අතිශය දූෂිත බවත්, දූෂණයට ආධාර අනුබල දෙන බවත්, සමාජ සාධාරණය පිලිබඳ කිසිදු තැකීමක් නොකරන බවත් දැන් තහවුරු වී ඇත. එපමණක් නොව මෙම අගතිගාමී පාලන තන්ත‍්‍රය පවත්වාගෙන යාම සඳහා පෙර නොවූ විරූ භීෂණයක් දියත් කරමින් හමුදා පාලනයක් කරා ගමන් කරන බවත් පැහැදිලිය.

මෙම රජයේ ප‍්‍රධාන සටන් පාඨය හා ප‍්‍රචාරක අවිය වී ඇති සංවර්ධනය රටේ ජාතික වුවමනා සඳහා සිදු කරන්නක් නොව පාලක කල්ලියේ මහා පරිමාණ දූෂණය සාක්ෂාත් කොට ගැනීමේ මෙවලමක් බවට පත් වී ඇති බව රජයෙන් පිට සිටින හා ඉවත් වෙමින් සිටින පිරිස්වල ප‍්‍රකාශයන්ගෙන් පමණක් නොව රජය තුළින්ම එන කෝප් වාර්තාව වැනි ලේඛනයන්ගෙන් ද සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ.

සිවිල් යුද්ධය අවසන් කිරීම පිළිබඳ රජයේ ආත්ම වර්ණනාව ද දිනෙන් දින අවලංගු කාසියක් බවට පත්වෙමින් පවතී. යුද්ධය අවසන් වුව ද සාමයක් නැත. අවි අතට ගැනීමට දෙමළ ජනතාව පෙළඹ වූ හේතු සොයා බලා ඒවාට පිළියම් යෙදීමේ වුවමනාවක් රජයට නැත. ඒ වෙනුවට සිදු කොට ඇත්තේ උතුර හමුදා පාලනයකට නතු කොට රට නිල වශයෙන් බෙදා පාලනය කිරිමකි. සුළු ජාතීන් මර්දනයට ලක් කිරීමකි.

ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත්ව ඇත්තේ ජාත්‍යන්තර සහායද ලැබ අවසන් කරන ලද සිවිල් යුද්ධයෙන් පසුව සිදු කිරිමට මේ රජය විසින්ම ප‍්‍රතිඥා දෙන ලද පියවර නොගැනීම නිසාය. රජයට පැහැදිලි, නිවැරදි විදේශ ප‍්‍රතිපත්තියක් නොමැති නිසාය. විදේශ අමාත්‍යංශයේ ඉහවහා ගොස් ඇති දූෂණය හා අකාර්යක්ෂමතාවය නිසාය.

මේ සියල්ල මෙසේ සිදු වීමට ප‍්‍රධාන සාධකය වී ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමයද ඇතුළත් වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බව අද මෙරට බහුතර දේශපාලන පක්ෂවල මෙන්ම සිවිල් සමාජයේ ද නිගමනයයි. තවමත් රජයට සහාය දෙමින් රජය තුළ ගාල් වී සිටින ඊනියා සමාජවාදී පෙරමුණේ නායකයන් ද ඇතුළු රජයේ බහුතරය ද මේ සත්‍යය පිලිගන්නා නමුදු පාලක පවුලේ කල්ලිය හා එය වටා සිටින්නන් කෙරෙහි කිසිදු බලපෑමක් කිරිමට ඔවුන් අසමත්ය. එපමණක් නොව පවත්නා ඒකාධිපති පාලනයට සිය ප‍්‍රතිපත්ති පාවා දෙමින් ඔවුහු කොන්දේසි විරහිත සහායක් දක්වති. මොවුන්ගේ යථා ස්වරූපය හෙළිදරව් කිරීම මෙන්ම කලක් මෙරට සමාජයේ ප‍්‍රබුද්ධතම හා නිර්මාණාත්මක පිරිසට නායකත්වය දුන් මෙම සංවිධාන වර්තමාන අගාධයෙන් ගලවා ගැනීම ද සිය කාර්යයේ වැදගත් අංශයක් සේ ”ඉදිරිය” දකී.

වර්තමාන සමාජ-දේශපාලන තත්වය නිදහසින් පසු මෙරට ඉතිහාසයේ ඇති වූ එක්තරා ආකාරයක විකෘත වර්ධනයක් සේ හැඳින්වීම නිවරදය. මේ තත්වය යටතේ රට තුළ සිටින ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, නීතියේ පාලනයට, යහපාලනයට, ජාතික සමගියට පක්ෂ සියලූ කොටස්වලට ඒකරාශී වීමට ඉතිහාසය විසින් බල කරනු ලැබ ඇත. එබඳු ඒකරාශී වීමකට දායක වීම අප ඉදිරියේ ඇති කාර්යභාරයයි.

අද එක් අරමුණක් සඳහා එක් වී සිටින පිරිස් වුව ද වර්තමාන අභාග්‍ය සම්පන්න තත්වයට තමන්ද අතීතයේ දී දායක වී ඇති ආකාරය පිළිබඳ ස්වයං විවේචනයක යෙදී තමන් දැන හෝ නොදැන කළ වරද නිවරද කොට ගැනීම මෙන්ම තම ක‍්‍රියා නිසා පීඩාවට පත් වූ පුද්ගලයන් මෙන්ම කණ්ඩායම්වලින් ද සමාව අයැදීම අත්‍යවශ්‍යයයි අපි තරයේ විශ්වාස කරමු. අර්ථවත් සමගියක් ඇති කොට ගැනීම සඳහා එය පූර්ව අවශ්‍යතාවයක් වන බැවිනි.

”ඉදිරිය” මේ ඓතිහාසික අවස්ථාවේ දී සමාජ සාධාරණය හා ජාතික සමගිය පතන සියලූ හොඳහිත ඇති පාඨකයන්ගේ සහාය ඉල්ලා සිටින අතර වර්තමාන අගාධයෙන් රට ගොඩ ගැනිමට සියලූ රටවැසියන් අධිෂ්ඨාන කොට ගත යුතුයයි අවධාරණය කර සිටී.

????? පුවත්පතේ 2014 දෙසැම්බර් 07 වන ඉරිදා කලාපයෙනි

උපුටා පළ කරන්නේ නම් කරුණාකර මූලාශ්‍රය පහත පරිදි දෙන්න: ‘කතිකා‘ අධ්‍යයන කවය https://kathika.wordpress.com/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s