ජනාධිපතිවරණයේදී ජනතා න්‍යාය පත්රයක් ඉදිරියට ගැනීමේ අභියෝගය – සමාජවාදී අධ්‍යන කවයේ සංවාදය
සංවාදය හඳුන්වා දෙමින් අදහස් දැක්වූ චමීර පෙරේරා ප‍්‍රකාශ කළේ මේ වන විට දේශපාලන පෙළ ගැසීම් සිදුවන අකාරය අනුව ජනාධිපතිවරණයේදී ජනතා න්‍යාය පත්රයක් ඉදිරියට ගැනීම අභියෝගයක් බවට පත්ව ඇති බවය.
78 ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපති ධුරයක් යෝජනා වන අවස්ථාවේදී ආචාර්ය ඇන් ඇම් පෙරේරා ඒ පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණය නමින් පොතක් ලිව්වා. ලෙඩ ඇඳේ සිට ලියන ඒ පොත ගැන මහාචාර්ය ඔස්මන් කළ විමසීමකදී ඔහු දී තිබුණු පිළිතුර මේකයි.
‘මේකෙන් වෙන්නේ දේශපාලන ඇබිත්තයන් හදන එක විතරයි. හිතනවද පාර්ලිමේන්තුවට මේකත් එක්ක හැප්පෙන්න පුළුවන් කියලා. වෙන්නේ හිස නමාගෙන ඉන්න වෙන එක විතරයි. අන්න ඒ විය හැකි දේ ගැනයි මම ලියන්නේ.’
සංවාදය අරඹමින් අදහස් දැක්වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඉදිරි ප‍්‍රකාශ කළේ ඉදිරියේදී රටේ ඉතා බරපතල දේශපාලන පරිවර්තනයක් සිදුවන බව පේනවා. 2005 මැතිවරණයෙන් පස්සේ මේ දක්වා තිබුණු කිසිම මැතිවරණයක් තීරණාත්මක මැතිවරණ වුණේ නෑ. ඒ හැම මැතිවරණයකදීම සන්ධානයේ ආධිපත්‍ය පෙනෙන්න තිබුණා. නමුත් පහුගිය පළාත් සභා මැතිවරණ ප‍්‍රතිපල මගින් ඒ තත්ත්වයේ වෙනසක් පෙණුනා. අද වන විට සන්ධානයක් ලෙස 2005 දී එකතු වුණු පක්ෂවල එකමුතුභාවයත් අභියෝග
යට ලක්වෙලා තියනවා. ආණ්ඩුවට සහාය දක්වමින් සිටින සම සමාජ සහ කොමියුනිස්ට් පක්ෂවලත් මේ කාරණය
උඩ අභ්‍යන්තර අර්බුධ වර්ධනය වෙමින් තියනවා. මේ සිදුවන්නට යන දේශපාලන පරිවර්ථනය ජනතා කේන්ද්‍රීය දිසාවකට යොමුකරගන්නේ කෙසේද කියන කාරණය අපි සළකා බැලිය යුතුයි.
මෙහිදී මතුවන මූලික ප‍්‍රශ්ණ ගණනාවකි. ඒ පිළිබඳ සිදුවන සාකච්ඡාද බොහොමයකි. රාජපක්ෂ කදවුර පසෙකින් තැබූ විට සෙසු පක්ෂ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බව කියනවා. ඒ අතර වාමාංශික විකල්පයක් පිළිබඳ අදහසක් වමේ අය තුලින් ප‍්‍රකාශයට පත්වෙනවා.
ඌව පළාත් සභාවේ මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පසුව එක්සත් ජාතික ජනතා න්‍යාය පත්රයක් ඉදිරියට ගැනීමේ අභියෝගය පක්ෂයට මැතිවරණ ජයගැනීමේ හැකියාව ගැන විශ්වාසයක් ඇතිවී තිබෙනවා. එනිසා පොදු අපේක්ෂකයෙක් කියන අදහස වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම ගැන ඒ අය කතා කරනවා. ඒ අතර පොදු අපේක්ෂකයා ඒ පැත්තට නම්මවා ගන්න එක්සත් ජාතික පක්ෂය උත්සාහයක යෙදෙනවා.
මේ තත්ත්වයන් හමුවේ ඉදිරි ජනාධිපතිවරණයේ දේශපාලනය මහජනයා කේන්ද්‍ර කරගත් එකක් නොවී දේශපාලන ප‍්‍රභූ කණ්ඩායම් අතර තරගයක් තුළ සිරවී තිබෙනවා. මෙතනින් මහජනතාවගේ අභිලාෂ පෙරට ගන්නේ කෙසේද කියන ගැටළුව මතුවෙනවා.”
නිර්මාල්ගේ එම අදහස් දැක්වීමෙන් පසු ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු සභාව ඇමතුවේය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමේ ඇති වැදගත්කම අවධාරණය කළ හෙතෙම එය මේ මොහොතේ ආරම්භක පියවරක් වශයෙන් සැළකිය හැකි බව පෙන්වා දුන්නේය. (ඔහු කළ සම්පූර්ණ කතාව සඳහා බලන්න මෙහි )
අනතුරුව සංවාද සභාව අමතමින් කතා කළ ආචාර්ය සුමනසිරි ලියනගේ දක්වන ලද අදහස් විවාදාත්මක විය.
බොහෝ දෙනෙකු කතාකරන ආකාරයෙන් ඉදිරි ජනාධිපතිවරණය අති විශාල සමාජ පරිවර්තනයකට මුල පිරීමක් වනු ඇතැයි තමන් නොසළකන බව හෙතෙම පැවසුවේය.
”මේ රටේ දේශපාලන හැසිරීම් අනුව ඉදිරි ජනාධිපතිවරණය කියන්නේ තවත් එක් මැතිවරණයක් පමණයි. එක් වටයකදී ් ට ඡුන්දය දෙනවා. ඊළඟ වටයේදී ඊ ට ඡුන්දය දෙනවා. ඊළඟ වටයේදී නැවතත් ් ට ඡුන්දය දෙනවා. ඒකයි මේ රටේ ඡුන්දදායකයාගේ හැසිරීම. මේක ඇතුළේ කවුරු දිනුවත් ජනතා න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. මහින්ද දිනුවත් රනිල් දිනුවත් වෙන්නේ එකම දෙයයි. සමාජ සාදාරණය ඇති කිරීමේ පුළුල් චලිතයක් අද සමාජයේ නෑ. පොදු අපේක්ෂක කතාව දැන් ඉතාම පහළ මට්ටමකට වැටිලා.”
ආචාර්ය සුමනසිරි ලියනගේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මුලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙවනුව සමාජවාදය යැයි කියන්නේ නම් එය කිසිදා ඉටු නොවනු ඇති බවය. වර්තමානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු නව ලිබරල්වාදය තුළට අවශෝෂණය කරගෙන ඇති දේශපාලන ක‍්‍රමයක් බවත් එබැවින් නව ලිබරල් වාදයට අත නොතබා එය තුළ ඇති කිසිවක වෙනසක් සිදුකළ නොහැකි යැයිද ඔහු අවධාරණය කළේය. සමාජයේ තියන සියළු සටන් මැතිවරණ සටන් ඉදිරියේ අහෝසිවී යන බව පෙන්වා දුන් හෙතෙම ඉදිරි ජනාධිපතිවරණයේදීද එවැනි තත්ත්වයක් ඇති නොවනු පිණිස වමේ අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හැකිනම් ඔහුට ජයගැනීමට නොහැකි වුවත් නව සමාජ චලිතයක් ඇතිකිරීමට හැකිවනු ඇති බව පැවසුවේය.
ආචාර්ය කුමුදු කුසුම් කුමාර සභාව අමතා ප‍්‍රකාශ කළේ වමේ ව්‍යාපාරය ගොඩනැඟීමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීමත් යන දෙකෙහි පරස්පරයක් තමන් නොදකින බවය. මේ අවස්ථාවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ගෙන යන සියළු සටන් ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යමින් ඒ සටන් වමේ ව්‍යාපාරය හා බද්ධ කරන්නැයි හෙතෙම යෝජනා කළේය.
”ලාංකික සමාජය ලෝකය හමුවේ ශිෂ්ඨ සම්පන්න සමාජයක් විදිහට යම් ගරුත්වයක් දිනාගෙන සිටියා නම් එහි ගෞරවය ලැබිය යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටයි. ලංකාවේ වමේ ව්‍යාපාරයේ කාර්යභාරය වූයේ ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට කැදවීමයි කියා ඇන් ඇම් පෙරේරා මහතා කියා තිබුණා. ලංකාවේ කම්කරු පන්තිය දිනාගත් සියළුම ජයග‍්‍රහණ පසුබිමේ තියෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කාරණයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අරගල කරමින් දිගින් දිගටම පෙනී සිටීම පිළිබඳ කාරණයයි. 56 පිබිදීම කියා සමහරු විග‍්‍රහ කරන තත්ත්වය තුළ ලංකාවේ සාහිත්‍යයේ සහ කලාවේ ඇතිවුණු පිබිදීම විශාලයි.
මේ මැතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුකගැනීම ඉතාමත් වැදගත් කාරණය බවට පත්වන්නේ වමේ ව්‍යාපාරය නැවත ගොඩනැඟීමේ පදනම එය වන බැවින් කියා මා විශ්වාස කරනවා. අපේ රටේ ජනතාවට සක‍්‍රිය ලෙස දේශපාලනයට ප‍්‍රවේශවීමට අවශ්‍ය අවකාශය විවර කරන්නට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍යයයි. ජේ.ආර්. ගේ විවෘත ආර්ථිකයට විරුද්ධව දිගින් දිගටම සිදුවුණු අරගල නිසයි චන්ද්‍රිකාට විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙන්න කතා කරන්න සිදුවෙන්නේ. එක්සත් ජාතික පක්ෂය පවා තම ප‍්‍රතිපත්ති පිළිබඳ නැවත සළකා බලන්නට යොමුවෙන්නේ ඒ පසුබිම තුළයි.
නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ආවට පස්සේ ඒ තත්ත්වය වෙනස් වුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථානගත වෙලා තිබුණු තැනට ජාතිකවාදය ස්ථානගත කරන්න රාජපක්ෂ පාලනය කටයුතු කළා. 78 සිට සිදුවුණු මර්දනයත් යුද ජයෙන් පස්සේ වඩාත් වැඩි තත්වයකින් සිදුවුණා. ඒ වෙනසට වමේ ව්‍යාපාරය දැක්වූ ප‍්‍රතිචාරය එක්තරා ආකාරයකින් මන්දෝත්සාහි එකක්. ලංකාවේ වාමාංශික ව්‍යාපාරයත් මේ තත්ත්වයට යම් කිසි ආකාරයකින් අනුගත වුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මේ පසුබැසීම ලංකාවේ සමාජය විවිධාකාරයෙන් පිළිඅරගෙන තියනවා.
නමුත් මේ එන ජනාධිපතිවරණයත් සමඟ අපිට පැහැදිලි අවස්ථාවක් ලැබිලා තියනවා මේක නැවතත් සංවාදයට ලක්කර ගන්න. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම කියන කාරණය මේ ජනාධිපතිවරණයේදී මතුපිටට ආවා. මේක වමේ ව්‍යාපාරය හා එක්කරන්නට ඇති බාධකය මොකක්ද? ඇයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ වමේ වැඩපිළිවෙලින් වෙනස් විය යුත්තේ කියන ගැටළුව මට තියනවා. මම හිතන්නේ මේ දෙකම එකක් විය හැකි බවයි. අපිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍ය වන්නේ අපේ දේශපාලන ජීවිත නැවත සක‍්‍රීය කරගැනීමේ අවම කොන්දේසිය ලෙස මිස අවසාන කොන්දේසිය වශයෙන් නොවේ.”
ආචාර්ය කුමුදු කුසුම් කුමාර තවදුරටත් පැවසුයේ දැනට ජනාධිපතිවරණය මුල්කරගෙන ඉදිරියට යන සාකච්ඡුාව තුළ ලොකු අනතුරක් පවතින බවය. එනම් එහිදී යම් කිසි ආකාරයකින් නව ලිබරල්වාදයේ දෙවනි පියවර ජයග‍්‍රහණය කළහොත් වාමාංශිකයන් කරා මර්ධනයක් පැමිණීමේ අවදානම තිබීම බවද නව ලිබරල්වාදයේ ඉදිරි පියවර සඳහා සාර්ථක අයුරින් ජනතාව මර්ධනය කිරීමේ අවශ්‍යතාවක් පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.
අනතුරුව සංවාදයට එක්වෙමින් ප‍්‍රසන්න විතානගේ ප‍්‍රකාශ කළේ වර්ථමානයේ නිදහසේ කලා නිර්මාණයක් කිරීමට පවා අවකාශයක් නොමැති බවය. කොස්තාපල් පුඤ්ඤසෝම චිත‍්‍රපටිය පවා ප‍්‍රදර්ශණය තහනම් කළ යුතු බවට ඇතැම් පිරිස් අදහස් ඉදිරිපත් කළ බවද ඔහු පැවසුවේය.
ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික රාජා උස්වැටකෙයියාව අදහස් දක්වමින් පැවසුවේ විධායක ජනාධිපති ක‍්‍රමය ආරම්භයේ සිටම වමේ පක්ෂ ඊට එරෙහිව සිටි බවය. ”අද වෙනකොට විධායක ජනාධිපති ක‍්‍රමය ගෙනා එක්සත් ජාතික පක්ෂය පවා ඊට විරුද්ධයි. එසේ තිබියදී මේ ජනාධිපතිවරයා කියනවා විධායක ජනාධිපති ක‍්‍රමය තියාගන්න ඕනේ කියන කතාවක්. අද වන විට විධායක ජනාධිපති ක‍්‍රමය පාවිච්චි කරලා අන් කවරදාකවත් නොමැති විදිහට රටේ කම්කරුවන් ශිෂ්‍යයන් ගොවියන් සියළු දෙනාම මර්ධනය කරන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. රටේ ජනතාව භීතියෙන් පෙළෙනවා. කොමියුනිස්ට් පක්ෂය ලෙස 18 වෙනි සංශෝධනය සම්මත කරන්නට ඡන්දය දෙමින් අපිත් සම්මාදම් වුණා මේ වැඬේට. නමුත් මාස දෙකකින් අපි ස්වයං විවේචනයක් කරමින් එය වරදක් බව පිළිගත්තා. අද තියන මූලික ගැටළුව මේ ෆැසිස්ට් ක‍්‍රමයේ දේශපාලනය පරාජය කරලා මේ රටේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීමේ සටනයි.”
ජනාධිපති පරාජය කිරීම මගින් පමණක් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ හැකියාවක් නොලැබෙන බව පෙන්වා දුන් ඔහු ජනාධිපතිවරයා පැරදවීමෙන් පසු ජනාධිපති ක‍්‍රමයද අහෝසි කළ යුතු බවට පාර්ලිමේන්තුවට බල කෙරෙන උද්ඝෝෂණයකට යා යුතු බවද අවධාරණය කළේය. වමේ සාමාජිකයන් වශයෙන් සිය වගකීම වන්නේ ජනතාවගේ පසුපසින් ගමන් කිරීම නොව ජනතාවට මාර්ගෝපදේශකයන් ලෙස ඉදිරියෙන් ගමන් කිරීම බවද ඔහු පැවසුවේය.
හෙළ උරුමය පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ උදය ගම්මන්පිල සංවාද සභාව අමතා අදහස් ප‍්‍රකාශ කරමින් පැවසුවේ තම පක්ෂය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉටු නොවන්නේ නම් ස්ථිර වශයෙන්ම ආණ්ඩුවෙන් ඉවත්ව ජනාධිපතිවරයා පරාජය කිරීමට ක‍්‍රියා කරන බවය. ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇති ඉදිරි කෙටි කාලය තුළ තවදුරටත් මෙවැනි සංවාද සංවාදය කිරීමට සමාජවාදී අධ්‍යන කවය සූදානමින් සිටී.
– වාර්තාව සම්පාදනය ශ්‍රී විසිනි
(මේ ලිපිය වාරණයට ලක්වූ ඉකුත් නොවැම්බර් 09 වෙනිදා ‘ඇත්ත’ පුවත්පතේ පල කෙරුණකි. එහි අන්තර්ගතයේ ඇති කාලීන වැදගත්කම සලකා මෙසේ පලකරන්නෙමු)
ඉදිරිය පුවත්පතේ 2014 දෙසැම්බර් 07 වන ඉරිදා කලාපයෙනි
උපුටා පළ කරන්නේ නම් කරුණාකර මූලාශ්‍රය පහත පරිදි දෙන්න: ‘කතිකා‘ අධ්‍යයන කවය https://kathika.wordpress.com/