සංවර්ධනයෙහි ආශ්චර්යය – ජයතිලක ද සිල්වා

image003_zpsa1c36570

අප රට දැන් සංවර්ධනය වෙලා. මෙය ආණ්ඩුව හැම වේදිකාවක ම ගයන ගීතයක්. සාක්කි හැටියට පෙන්වන්නේ කොළඹ නගරය, අධිවේගී මාර්ග, නගර අලංකරණය, අහස සිඹින මහල් නිවාස, සුවිසල් සාප්පු සංකීර්ණ. ඒ හැර දීකිරට බළල්ලූත් සාක්කි කිව්වා සේ සංඛ්‍යාලේඛනත් ගෙන හැරැ පානවා – දළ ජාතික නිෂ්පාදනය, ඒකජනක ආදායම, ආර්ථික සංවර්ධන අනුපාතික ආදිය.

ඇත්ත නේන්නම්! ආවඩා, ආයු බෝ වේවා! ආවඩන්නෝ එමට. එහෙත් සංවර්ධනය කියන්නේ කුමක් ද? ඉහත පෙන්වන දැයින් (දර්ශකවලින්) සංවර්ධනය පැහැදිලි කළ හැකි ද? ඇත්තට ම එයින් පෙන්වන්නේ එක් පැත්තක් පමණයි. වඩා වැදැගත් සංවර්ධනයෙහි හරය හෝ අරුත හෝ වටහා ගන්නට වෙනස් මඟක් ගත යුතු යි.

ඉන්දියාවෙහි හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාව 2020 නව සහශ‍්‍රකය සඳහා දැක්මක් නමැති පොතෙහි ඔහු දන්නා තුන් දෙනෙකුන් ගැන සඳහන් කරමින් නිදසුනක් මඟින් සංවර්ධනය විස්තර කරන්නේ මෙහෙම යි. “වෙන්කත්ට පුතුන් දෙදෙනෙකු සහ දුවක සිටියා. සියල්ලෝ ම උපාධිධරයෝ. ඔවුහු රැකියා කළෝ. එම පෙදෙසෙහි ම පුතුන් තුන් දෙනෙකුන් සිටි කුප්පු ද වාසය කළා. ඔහුට උගන්වන්නට හැකි වූයේ එක් දරුවෙකුට පමණයි. ඔහු වාසය කෙළේ කුලී නිවසෙක. කරුප්පන්ට දියණියන් දෙදෙනෙකුන් සහ එක් පුතෙකු සිටියා. ඔහු කෙළේ අර්ධ රැකියාවක්. දුප්පත්කම නිසා ඔහුට එක දරුවෙකුට වත් උගන්වන්න බැරි වුනා.” සංවර්ධිත ඉන්දියාවක් පිළිබඳ අපේ සිහිනය කරුප්පන් වැන්නවුන්ටත් සිය දරුවන් සඳහා සැලැකිය යුතු ආයු කාලයක් සහ මූලික පහසුකම් හා හොඳ සෞඛ්‍යයක් සපයන රැකියාවක් ලබා දීමය යනුවෙන් කලාම් එහි සඳහන් කළා.

අපේ රටෙහි පාලකයන් එවන් අරමුණක් කරා ද යන්නේ? ඔවුන් පෙන්වන්නේ පිට ආටෝප සංවර්ධනයක් පමණයි. හැම දෙනාම පාහේ දන්නා පරිදි එයින් වැඩි වාසි පාලක කල්ලියට පමණයි. නැත්නම් ඉහළ ධනවතුන් අතලොස්සකට පමණයි. හිසට වහලක් නැති දුප්පතාට අහස සිඹින උස මහල් නිවාසයෙහි පදිංචි විය හැකි ද? සුපිරි සාප්පු සංකීර්ණවලින් සාමාන්‍ය ජනයාට බඩු ගත හැකි ද? කණගාටුදායක ම කාරණය මෙම සියලූ සෞභාග්‍යය ඉහළ පැළැන්තියට සහතික කරන්නට දුප්පතා බදු ගෙවමින් නැහීම නො වේ ද? තම දරු මුණුපුරන් පවා ණයකරුවන් කැරීම නො වේ ද? රජයේ ආදායමෙන් හැම රුපියල් සියයකින් ම සත 80ක් ගෙවන්නේ සාමාන්‍ය පාරිභෝගිකයා ය. රජය වැඩි පොළියට ණය ගෙනයි මෙම ඊණියා ආශ්චර්යය පාන්නෙ.

සංවර්ධනය හුදු ආර්ථික දත්ත සහ දර්ශකවලින් මැනීම පමාණවත් නැහැ. නොබෙල් ත්‍යාගලාභී අමිර්ත්‍ය සෙන් පවසන පරිදි කේන්ද්‍රීය කාරණය ජනතාවට විවෘත සමාජ ඉඩප‍්‍රස්ථා පුළුල් කැරීම යි. වි‍ශේෂයෙන් ම හැමට අධ්‍යාපන සහ සුව සේවා පහසුකම් ලබාදීම යි. දස දහස් ගණන් ජනතාවට සමාජ ඉඩප‍්‍රස්ථා අවහිර කරන අසමානතා ඉවත් කැරීම යි. මෙම කෝදුවෙන් මැන බලන විට අප රට සංවර්ධනයෙහි ආශ්චර්යයක් තිබේ ද? රජයේ රෝහල්වල ලෙඩට බෙහෙත් නැත්නම්, අධ්‍යාපන වියදම් දෙමාපියන් පිට පැටැවෙන්නේ නම්, ඇති හැකි අයට සියලූ පහසුකම් සහ වරප‍්‍රසාද ලැබේ නම් පාලකයන් සහ උන් ගේ ඉඳුල් ලෙවකන බඩගෝස්තරවාදීන් කුමන සුරංගනා කතා කීවත් ආශ්චර්යය හුදු මිරිඟුවක් පමණකි.

මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසු බලයට පත් හැම ආණ්ඩුවක් විසින් ම එතෙක් අඩු ආදායම් ලාභීන් සඳහා පැවැති සමාජ ආරක්ෂණ ජාලය ක‍්‍රම ක‍්‍රමයෙන් විනාශ කරන ලද්දේ ලූණු ගෙඩියක බික් ගලවන්නාක් සේ ය. කොරේ පිටට මරේ කීවාක් මෙන් අද ආණ්ඩුව අත්‍යවශ්‍ය සියලූ භාණ්ඩ සඳහා දැඩි බදු අය කැරීමට ද පුරුදුව ඇත. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඇති නැති පරතරය වඩා පුළුල් ව ඇති බව ආණ්ඩුවෙහි නිල දත්තවලින් ම පෙනේ. දත්ත පසෙක තිබිය දී අලූතෙන් පොහොසත් ව මහ ජාතියෙන් වැජැඹෙන ධනවත් පන්තියක පැවැත්ම ඇස් පනාපිට දකින්නට තිබේ. ඔවුහු ධනබලයෙහි මෙන් ම උන් ගේ පෙකණී වැල ගැට ගැසී ඇති මාලිගාවට ඇති සම්බන්ධයෙහි ද අනුහසින් සියලූ නීතී සියතට ගෙන ඇත්තාහ. විත්තිකාරයා නිදහස් ව පැමිණිලිකාරයා එල්ලූම් ගස් යන තත්ත්වයක් උදා ව ඇත්තේ එහෙයිනි.

මෙම තත්ත්වය යටතේ නිරායාසයෙන් ම පැන නඟින ජන අරගලය ප‍්‍රචණ්ඩ ආකාරයෙන් මර්ධනය කැරීමට ආණ්ඩුව ක‍්‍රියා කැරැ ඇත. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙහි රතුපස්වල සහ වෙනත් තන්හි හමුදා පොලිස් වෙඩි පහරට ලක්ව අහිංසකයන් මියැදුන සැටියෙන් ම ඒ බව පැහැදිලි ය. භයානක ම තත්ත්වය ආරක්ෂක සේනා සහ පොලීසිය මෙන් ම අධිකරණය ද දේශපාලනීකරණයට ගොදුරු කැරැ තිබීම යගි ඇත්තට ම කිව හොත් සකල බලය විධායක ජනපති සහ ඔහු ගේ පවුල ඇතුළු කුඩා කල්ලියක් අත හකුළුවා තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රය වැළැලී ගොස් ඒකාධිපත්‍යයක් ඉස්මතු ව ඇත. එබැවින් ප‍්‍රජාතන්ත‍්‍රය සහ මානව හිමිකම් අලූතෙන් යළි දිනා ගත යුතු ය.

මෙවර ජනාධිපතිවරණයෙහි දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයල යහපාලනය සහ විධායක ජනපති ක‍්‍රමය අහෝසි කැරීම ප‍්‍රධාන තේමා ව ඇත්තේ එහෙයිනි. සාමාන්‍ය ජනතාව ගේ සමාජ ඉඩප‍්‍රස්ථා පුළුල් කැරැ ගත හැකි වන්නේ එම කාරණා ඉෂ්ට සිද්ධ වීමෙන් පමණකි.

2014 දෙසැම්බර් 14 වන ඉරිදා ඉදිරිය පුවත් පතෙනි.

උපුටා පළ කරන්නේ නම් කරුණාකර මූලාශ්‍රය පහත පරිදි දෙන්න: ‘කතිකා‘ අධ්‍යයන කවය https://kathika.wordpress.com/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s