ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ: භින්නෝන්මාදය ජනතාවටද? රෙජීමයටද? – කුමුදු කුසුම් කුමාර
මේ ජනරැල්ල දැක රජය සහ අනුගාමිකයන් කුපිත වී වියරුවෙන් ක්‍රියා කරන්නට පටන් ගෙන ඇත. රජයේ මැරයන් දේශපාලනයේ යෙදෙන ජනයාට පහර දෙද්දී, වේදිකා ගිනි තබද්දී, වෙඩි තියද්දී පොලීසිය එක්කෝ මඟහැර යති, නැතහොත් නීතිය හකුලා ගෙන බලා සිටිති. මෙබඳු ප්‍රචණ්ඩ ක්‍රියාවලට අත් අඩංගුවට ගන්නැයි අධිකරණය නම් කළ මැර දේශපාලනඥයන් නීතියේ අණට පිටුපා නිදැල්ලේ සැරිසරද්දී පොලිස් නිලධාරීහු මාධ්‍ය කැමරා ඉදිරියේ ඔවුන්ට ආචාර කරති. අන්තිමේදී විපක්ෂයේ සහ ජනතාවගේ විරෝධය උත්සන්න වන විට කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන ඉක්මනින්ම සුළු ඇප දී නිදහස් කරති.
මේ මැරකම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්නට පියවර රටට විනය පිහිටුවන්නට කතා කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ හෝ රජයේ අන් කිසිවෙකුත් ගෙන නැත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ 2015 ජනාධිපතිවරණය සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශය අප සළකා බැලිය යුත්තේ ඉහත පසුබිමෙහිය. එය කියවන විට මතුවන ගැටලුව වන්නේ රාජපක්ෂ රෙජීමයත් අපත් වසන්නේ එකම ලොවකද? යන්නයි. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය වත්මන් ලංකාව පිළිබඳ නොව වෙනත් සුරංගනා ලොවක එන රටක් පිළිබඳ එකක් මෙනි. එක්කෝ රාජපක්ෂ රෙජීමය උග්‍ර භින්නෝන්මාදය නැතහොත් යථාව විපරීත ලෙස අර්ථකථනය කිරීමේ රෝගයෙන් පෙළෙයි. නැත්නම් මේ රටේ ජනයාට එබඳු ව්‍යාධියක් ඇතැයි ඔවුහු සිතති.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය කියා සිටින බොහෝ කරුණු රාජපක්ෂ රෙජීමය යටතේ සැබෑවටම සිදු වූ සහ දැනුත් සිදුවන දේට හාත් පසින්ම වෙනස්ය. අලුත් පොරොන්දු පසෙක තබා රෙජීමය ක්‍රියා කොට ඇති ආකාරය පිළිබඳ උදාහරණ කිහිපයක් ගනිමු.
නූතන අධිරාජ්‍යවාදී යකඩ සපත්තුවට පෑගී සිටින රාජ්‍යයන්ට දේශපාලන ආදර්ශයක් තමන් සපයන බව කීවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ චීන මූල්‍ය අරමුදල් වැනි ආයතන වලින් විශාල වශයෙන් දිගින් දිගටම රෙජීමයට ණය ලැබීම පෙන්නුම් කරන් නේ රෙජීමය එම අධිරාජ්‍යවාදයට යටත් වී ඇති බව නොවේද?
අපගේ ශිෂ්ටාචාර උරුමය බෞද්ධ බව සැබෑ නමුත් වත්මන් රෙජීමය ක්‍රියාවෙන් හරයෙන් බෞද්ධ පැවැත්මක් කිසිසේත්ම පෙන්වා නැත. සරල උදාහරණයක් ලෙසින් නගරයේ බල්ලන්ට සහ හිඟන්නන්ට අත්වූ කුරිරු ඉරණම පෙන්වා දිය හැක. හිංසාවේ අවම මට්ටමින් ගත් කළ වුව සංචාරක කර්මාන්තය වෙනුවෙන් බල්ලන් සහ හිඟන්නන් නගරයෙන් අයින් කිරීම සත්ව කරුණාව පෙන්වීමක් හෝ බෞද්ධ පිළිවෙතක් නොවේ.
දැහැමි රාජ්‍ය පාලනයක් ගැන අලංකාරික බස් දෙඩූවද රාජපක්ෂ රෙජීමය අදැහැමි බවේ සංකේතය ලෙසින් මෙරට ජනයාට පෙනී ගොස් ඇත. තම අයිතිවාසිකම් ඉල්ලා සටන් කරන දෙමළ ජනයා, සෙසු පුරවැසියන් සහ කම්කරුවන් රාජ්‍ය මර්ධන යාන්ත්‍රණය සහ මැර බලය යොදා දැඩි මර්ධනයට යටත් කිරීම දැහැමි නොවේ.
මුස්ලිම් සහ ක්‍රිස්තියානි ජනයාට එරෙහිව ආගම් භේද වපුරන බොදු බල සේනාව රාවණා බලය වැනි සංවිධාන රජයේ, ආණ්ඩුවේ සහ දේශපාලනඥයන් ගේ අනුග්‍රහය ලැබීම පෙන්නුම් කරන්නේ රෙජීමය තම පැවැත්ම සඳහා ආගමික භේද ඇති කිරීමට නොපැකිලෙන බවයි.
විධායක ජනාධිපති ක්‍රමය යොදා ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කිරීම සාංගමික අයිතිය රැකීම නොවේ. මේ ජනාධිපතිවරණයම ඊට කදිම උදාහරණයකි. විපක්ෂයට රැස්වීමක් තියන්නට පිට්ටනියක් ශාලාවක් ගත නොහැකි ලෙසට දේශපාලන බලය යෙදීම නින්දිත ක්‍රියාවක් මිස සාංගමික නිදහස රැකීමක් නොවේ. දේශපාලන වේදිකාවලට ගිනි තියන පහර දෙන වෙඩි තියන මැරවරයන් නිදැල්ලේ හැසිරීමට ඉඩ දීම සාංගමික නිදහස රැකීමක් නොවේ.
නීතිය රකින බවට දිවුරා බලයට පත්ව රටේ මැතිවරණ නීති රීති කඩන ජනාධිපතිවරයෙකු රටේ දූ දරුවනට විනය රැකීම ගැන උගන්වන්නට යාම කකුළු වතක් නොවේද? හමුදාභටයන් යොදා ඡන්දදායකයන් බිය වද්දන බවට පළවන වාර්තා පෙන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමක් නොවේ.
මාධ්‍ය නිදහස රෙජීමයේ ග්‍රහණයට යට කොට ඇති බව මාධ්‍යවේදීන් මෙන්ම හිමිකරුවෝද දනිති. මාධ්‍ය තමන්ට මිලට ගත නොහැකි නම් ඒවා හිමිකරුවන් මගින් හෝ තර්ජනයෙන් හෝ තමන්ට රිසි පරිදි හැසිරවීම රෙජීමය විසින් කරන බව ප්‍රසිද්ධ රහසක් පමණි.
සංවර්ධනය කොට රටටම විදුලිය ලබා දී ඇතැයි කීවත් රජයේ නාස්තිකාර වියදම් වෙනුවෙන් විදුලිය වැනි පාරිභෝගික සේවාවන් මත අධික බර ජනයා මත පටවා ඇත. සේවක අර්ථ සාධක අරමුදල අයුතු ලෙස ආයෝජනය කරමින් බිලියන ගණනාවක් ඊට අහිමි කිරීම රජයම පිළිගෙන ඇත. නව අධ්‍යාපන පණතේ මුල් අරමුණු ලෝක බැංකුවේ උපදෙස් යටතේ ග්‍රේරෝකරණය ට ලක් කොට ඇත. රටේ ස්වභාවික පරිසරය වැඩියෙන්ම වැනසූ යුගය රාජපක්ෂ රෙජීමයේ යුගය බවට පරිසරවේදීන් සාක්ෂ්‍ය දරනු ඇත.
රාජ්‍ය සේවය සහමුලින්ම දේශපාලනීකරණය කොට ඇත. රාජ්‍ය ආයතන පරිපාලනයට සුදුස්සන් නොව දේශපාලන හෙංචයියන් පත් කිරීමෙන් ඒවා පවත්වාගෙන යාමේ අරමුණු පරාජය කොට පාක්ෂිකයන්ට රැකියා සහ හෙංචයියන්ට මුදල් ඉපයීමේ මාර්ග බවට පත් කර ඇත. පරිපාලන සේවයේ නිලධාරීන් දේශපාලනයට ගෙන ඒම උග්‍ර වශයෙන් වත්මන් රෙජීමය යටතේ සිදු වී ඇත. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ සේවකයන් ගෙන්වා පවත්වන දේශපාලන රැස්වීම්වලදී කතා පවත්වයි. ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ දේශපාලන රැස්වීම් අමතයි. රෙජීමයේ දේශපාලන කටයුතු වලට පරිපාලන සේවයේ මෙන්ම වෙනත් මට්ටම්වල නිලධාරීන් සහ රජයේ සම්පත් නිර්දය ලෙස යොදා ගැනෙයි. හමුදාවන් සහ පොලීසිය රෙජීමයේ ජනාධිපති අපේක්ෂකයා සඳහා ප්‍රසිද්ධියේම විවිධ ආකාරයෙන් යොදා ගැනෙන අතර විවිධ ව්‍යාජ හේතු දක්වමින් ඒවා සාධාරණීකරණය කෙරෙයි.
ජාතික ආරක්ෂාව
ජාතික ආරක්ෂාව සනාථ කිරීම පිළිබඳ කරුණට ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ප්‍රමුඛතාව දී ඇත. මෙලෙස ආරක්ෂා කිරීමට යෝජනා කරන්නේ කාගේ ජාතියද? රෙජීමය ක්‍රියා කරන්නේ මෙය තමන්ගේ මිස මෙරට ජනයාගේ ජාතියක් ලෙස සළකා නොවන බව පෙනයි. මන්ද යත් එය මෙරට ජනයාද ඇතුළත් වන ජාතියක් නම් එහි ආරක්ෂාව සළසා ගැනීමෙහිදී ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනයට ලක් විය නොහැකි හෙයිනි.
කොටි සංවිධානය සහමුලින්ම වනසා දමා ඇතැයි රෙජීමය එක් අතකින් කියයි. අනෙක් අතින් කොටි සංවිධානය විසින් දමා ගසන එක බෝම්බයකින් ජාතියේ ඉදිරිගමන අඩාළ කළ හැකි යැයි කියයි. තව දුරටත් ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් ඇතැයි කීමට පදනම් කරගන්නේ ඩයස්පෝරාව නැතහොත් පිටරට විසිරී සිටින එල්ටීටීඊ සාමාජිකයන් පිළිබඳ කරුණයි.
ජිනීවා තර්ජනයට මුහුණ දීමට නම් ස්ථාවර සහ ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය යැයි සහ ජාතික ආරක්ෂාවට තවමත් තර්ජන ඇතැයි කියන ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ ඊට එරෙහිව කටයුතු කිරීමෙහි ලා බුද්ධි අංශය වඩාත් වැදගත් මෙවලම ලෙස අවධාරණය කරයි.
ජාතික ආරක්ෂාව සඳහා යැයි කියමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගැනීම සහ ජනයා දේශපාලනයේ නිරතවීම සතුරු ක්‍රියාවක් ලෙස සළකා ඔවුන් රාජ්‍ය බුද්ධි අංශයන්හි නිර්දය ප්‍රවීක්ෂණයට ලක් කිරීම අදාළ ජාතික ආරක්ෂාවට නොව තමන්ට ප්‍රතිපක්ෂ දේශපාලනය මර්ධනය කිරීමටය.
රාජ්‍ය බුද්ධි අංශ මෙරට ජනයා පවත්වන හැම ලොකු කුඩා දේශපාලන රැස්වීමක්ම රජයේ දැඩි ප්‍රවීක්ෂණයට ලක් කරයි. එම රැස්වීම් වලට එන ජනයා ගේ ඡායාරූප ගනියි, ඔවුන් වීඩියෝ ගත කරයි. අන්තර්ජාලයේ දේශපාලන අදහස් පළකරන හෝ රජය හෙළා දකින තරුණයන් පස්සේ බුද්ධි අංශය පන්නයි. දේශපාලනඥයන් ඇතුළු ජනයාගේ දුරකථන වලට හොරෙන් ඇහුම් කන් දෙයි. හරියට මුළු ලංකාවාසී ජනයා රෙජීමයේ නිරතුරු අධීක්ෂණයට ලක් වූ රඳවා තබා ගැනීමේ කඳවුරක වසන්නන් බඳුය. මෙම ක්‍රියාමාර්ග එලිපිටම කරමින් රජය යෙදී සිටින් නේ දේශපාලනය කිරීමට ඉදිරිපත් වීමෙන් මෙරට ජනයා බියවැද්දීමය.
එල්ටීටීය යළි නැගිටීමට තිබිය හැකි අවදානම පිළිබඳ සැබෑ තක්‍සේරුවක් රජයට තිබිය යුතුය. එසේ නොමැතිව ජනයා එළිපිට දේශපාලනය කිරීම රාජ්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස ගැනීම සහ ජනයාගේ සමස්ත දේශපාලන ක්‍රියාවලියම උග්‍ර ප්‍රවීක්ෂනයට යටත් කිරීම එක්කෝ රාජ්‍ය බුද්ධි අංශයේ දුර්වල කම හෙළි කරන්නකි. නැතහොත් රෙජීමය විසින් තම දේශපාලන ප්‍රතිමල්ලවයන් මර්ධනය සඳහා රාජ්‍ය බුද්ධි අංශය යොදා ගැනීම ව්‍යාජ ලෙස සාධාරණීකරණය කිරීමකි.
දෙමළ ජනයාට පූර්ණ දේශපාලන නිදහස ලබා දීම හෝ ඒ වෙනුවෙන් දෙමළ හෝ සිංහල හෝ ජනයා පෙනීසිටීම සහ කටයුතු කිරීම නිසා යලි එල්ටීටීය බිහිවීමට හේතු වනු ඇතැයි යන විශ්වාසයේ පිහිටා කටයුතු කිරීමෙන් ජාතික ආරක්ෂාව සලසා ගත නොහැකිය. ඩයස්පෝරාවේ බලපෑමෙන් දෙමළ ජනයා නිදහස් කර ගැනීමේ එකම මඟ ඔවුනට පූර්ණ දේශපාලන නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීමයි. දෙමළ ජනයාගේ දේශපාලන නිදහස මර්ධනය කරත් කරත්ම ඔවුන් ඩයස්පෝරාවේ දේශපාලනයේ අතකොළු වීමට ඇති ඉඩකඩ වැඩිය.
නිදහස යනු යුද බියෙන් මිදීම පමණක් නොවේ. තමන් ගේ රජයේ මර්ධනයෙන් මිදීමද නිදහස සඳහා අත්‍යවශ්‍ය ය. මෙය උතුරු නැගෙනහිර දෙමළ ජනයාට පමණක් නොව දකුණේ සිංහල ජනයාට ද අදාළය.
පොදු අපේක්ෂකයා
පොදු අපේක්ෂකයා සහ විපක්ෂ ආණ්ඩුවක් බලයට පැමිණිය හොත් රට අස්ථාවර සහ වියවුල් වනු ඇතැයි යන තර්කයට පදනමක් නැත. මෛත්‍රීපාල සිරිසේන භාහිර හැසිරීමෙන් ගත් කළ වුව ස්ථාවරභාවයේ සංකේතය කි. කලබල නැත, සංයමයෙන් කතා කරයි, හැසිරෙයි. ඔහු නායකත්වය දෙන විපක්ෂය එකමුතුවෙන් වැඩ කටයුතු කරයි.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය යෝජනා කරන ප්‍රතිපත්ති සම්පාදනයේදී මහජනයා ගේ අදහස් සැළකිල්ලට ගැනීම ක්‍රියාවෙන් පෙන්වා දීමට සමත් වනු ඇතැයි සිතමු. යහ පාලනය, නීතිය සහ පටිපාටිය රැකීම මුල් කර ගත් නව දේශපාලන සංස්කෘතියක් සැබැවින්ම බිහි කිරීමට ඔහුගේ රජයට හැකි වනු ඇතැයි ජනයා අපේක්ෂා කරති.