ගෝනිබිල්ලන්ට බිය නොවෙමු – මහාචාර්ය එච් එල් සෙනෙවිරත්න
ජනාධිපති රාජපක්ෂ තම ධුර කාලයෙන් වසර දෙකක්ම ඉතිරිව තිබිය දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කළේය. මෙම තීරණයට හේතුව මෙරට ජනයා සිය පාලනය විසින් පටවනු ලැබූ බරින් පීඩිතව සිටින බවත් සිය ඒකාධිපති ස්වරූපයේ පාලන ශෛලියෙන් හෙම්බත්ව සිටින බවත් ඌව පළාත්සභා මැතිවරණයෙන් පසු අවබෝධ වීමය. ”ත‍්‍රස්තවාදය පැරදවීම” මත පදනම් වූ ඔහුගේ ජනප‍්‍රියභාවය ද හීන වෙමින් යන බැවින් තව වසර දෙකක් ගත වුවහොත් ඉදිරි ජනපත්ිවරණයකින් තමා පරාජය වන බව ඔහු දැන ගත්තේය.
වර්තමාන ජනපතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරයේ දී ඔහු විසින් යොදා ගනු ලබන කපටි උපක‍්‍රමයන්ගෙන් එකක් වන්නේ විදේශ ගත දෙමළ පුරවැසියනට හා වෙනත් බලවේගයන්ට අනුබල දෙමින් රට අස්ථාවර කිරීමටත් තමා විදුලි පුටුවට යැවීමටත් ”විදේශීය කුමන්ත‍්‍රණයක්” ඇතැයි කියමින් ජනතා අනුකම්පාව ලබා ගැනීමට තැත් කිරීමය.
මේ දෙකම මෙම පාලනතන්ත‍්‍රය මෙරට ජනතාව විෂයෙහි දක්වන අපහාසාත්මක ආකල්පය ප‍්‍රකාශ කරන සාවද්‍ය චෝදනාවන්ය. මෙයින් පැහැදිලි වන කරුණ නම් මෙරට ජනයා ගෝනිබිල්ලන් ගැන කියා බිය ගැන්විය හැකි ළදරුවන්ටත් වඩා අඥාන සේ ඔහු විසින් සලකනු ලබන බවය. මේවා ගෝනිබිල්ලන් එන්නේය යි කියන කතාවලට වඩා වෙනස් නැත. කිසිදු විදේශීය බලවේගයකට මෙරට අස්ථාවර කිරීමේ හෝ ජනපති විදුලි පුටුවට යැවීමේ වුවමනාවක් නැත. සිම්බාබ්වේ, උතුරු කොරියාව වැනි ලෝකයේ නොයෙක් ප‍්‍රදේශවල රාජපක්ෂ රෙජීමයේ වැනි පාලන ක‍්‍රමයන් නෙ යන ඒකාධිපතියෝ සිටිති. කිසිවෙකු ඔවුන් විදුලි පුටුවට යවන්නේ නැත. ඔවුහු ඔවුන්ගේ සුව පහසු පුටුවල සැප සේ අසුන් ගෙන සිටිති.
එක් එක් රටවල් හෝ එක්සත් ජාතීන් වැනි සංවිධාන හෝ සම්බාධක පැනවුවහොත් සිදු විය හැක්කේ කුමක් ද? අපට විදේශීය ධනවත් රටවල් සමග වෙළදාම් අංශයෙන් සැලකිය යුතු හානි සිදු කරන එවැනි එක් සම්බාධකයක් දැනටම යුරෝපීය ප‍්‍රජාව විසින් පනවනු ලැබ ඇත. මේවා රාජතන්ත‍්‍රීය පියවර මගින් වැළැක්විය හැකිව තිබිණි. එහෙත් ඒ සඳහා පරිණත විදේශ ප‍්‍රතිපත්තියක් හා එය ක‍්‍රියාත්මක කිරීමට මනා පුහුණවුවක් ලැබූ වෘත්තිකයින් අවශ්‍ය වේ. නිදහස ලැබූ අවධියේ සිට ක‍්‍රියාත්මක වූ මනා පරිපාලන රටාවට පින් සිදුවන්නට මෙරට එබඳු විදේශ ප‍්‍රතිපත්තියක් හා විදේශ සේවයක් තිබිණි. ජනාධිපතිවරයා යුද්ධය දිනීමේ කීර්තිය තමා වෙත පමණක් පවරාගෙන ඇතත් ඇත්ත වශයෙන්ම එල්ටීටීඊයට එරෙහි සටන ජය ගැනීමේ දී එම විදේශ සේවය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.
එසේ වුව ද නිදහස ලැබූ අවධියේ සිට පැවති සෑම රජයක් විසින්ම පරිස්සමින් ගොඩ නගා ගන්නා ලද එම ශක්තිමත් විදේශ ප‍්‍රතිපත්තිය මෙම රජයේ අදූරදර්ශී ප‍්‍රතිපත්තීන් විසින් විනාශ කොට දමනු ලැබ ඇත. ඒ හැරුණු විට ජයන්ත ධනපාල වැනි අන්තර්ජාතික තලයේ කීර්තිමත් නිලධාරීන් වෙනුවට අපගේ විදේශ සේවය රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ගෙන් හා සුදුසුකම් නැති ගජමිතුරන්ගෙන් පුරවනු ලැබ ඇත. මේ පුද්ගලයන් අතුරින් වැඩි දෙනෙකුට රටේ වුවමනාවන් නියෝජනය කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම තබා මෙම සේවය සඳහා අවශ්‍ය අවම සුදුසුකම්වත් නැත. අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල මෙරටේ ආර්ථික වුවමනාවන් නියෝජනය කිරීමට හා අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ප‍්‍රචාරක සමාගම්වල සේවය ලබා ගනීමට රජයට අතිවිශාල මුදල් සම්භාරයක් නිරර්ථක ලෙස වියදම් කිරීමට සිදු වී ඇත. මෙබඳු දේ පිළිබඳව මහජනයා අඳුරේ තබා ඇති අතර රට අස්ථාවර කිරීම හා රාජපක්ෂ මහතා විදුලි පුටුවට යැවීම පිළිබඳව අසත්‍ය ප‍්‍රවෘත්තිවලට රාජ්‍ය මාධ්‍යවල ප‍්‍රධාන තැනක් දෙනු ලැබේ.
2015 ජනවාරි 04 වන ඉරිදා
ඉදිරිය පුවත් පතෙනි.