මානව සුරක්ෂිතභාවයකින් තොර ජාතික ආරක්ෂාව – මහාචාර්ය සිරි හෙට්ටිගේ

කොළඹ විශ්වවිද්‍යාලය

යුද්ධය අවසන් වී වසර පහක් ගෙවීගොස් ඇති අද මෙරට මුහුණදෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය ලෙස බලයේ සිටින නායකයන් හුවා දක්වන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතැයි යන්නයි. එහෙත් පුදුමයට කාරණයක් වන්නේ, මෙරට දේශපාලන ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වන අනෙකුත් කිසිම දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ නොපෙනෙන ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් බලයේ සිටින අයට පමණක් පෙනීමයි.

මෙරට යුද්ධයක් පැවැති වසර තිහක පමණ කාලය තුළ රාජ්‍යාරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් පැවැති බව කවුරුත් දන්නා සත්‍යයකි. එම ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නය මතුවූයේ කෙසේද යන්න පිළිබඳව විවිධ අදහස් තිබිය හැකි වුවත්, ඒ සඳහා ප‍්‍රධාන සාධකයක් වූයේ මෙරට ද්‍රවිඩ ජනතාවට මුහුණදීමට සිුවූ විවිධ ප‍්‍රශ්න පදනම් කරගෙන ක‍්‍රමිකව වර්ධනය වූ බෙදුම්වාදී ව්‍යාපාරයයි. එහි ප‍්‍රධාන ධාවක බලවේගය වූ LTTE සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්වීමත් සමග, ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නය යටපත් වූ අතර, ඉන් පසු මතුපිටට පැමිණියේ ද්‍රවිඩ ජනතාව මෙන්ම රටේ අනෙකුත් ජනකොටස් ද කලක සිට මුහුණදී සිටි මානව සුරක්ෂිතභාවය පිළිබඳ ප‍්‍රශ්නයයි. දුගීකම, රැකියා විරහිතභාවය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප‍්‍රවාහනය, සමාජ රක්ෂණය, නිවාස ආදී ප‍්‍රශ්න මෙම මානව සුරක්ෂිතභාවය හා ඍජුවම බැඳුණු ප‍්‍රශ්න වේ. මෙම ප‍්‍රශ්න හමුවේ, රටේ ජනතාවගෙන් බොහෝ පිරිසක් මානව සුරක්ෂිතභාවය පිළිබඳ ප‍්‍රශ්නය නිසා දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටින බව නොරහසකි. දිනෙන් දින ඉහළ යන ජීවන බර හමුවේ තම පවුල්වල සාමාජිකයන්ගේ ජීවිත සුරක්ෂිත කර ගැනීම සඳහා බොහෝ තරුණ තරුණියන්, කාන්තාවන් හා පුරුෂයන් රට හැරදා වෙනත් රටවල රැකියා සොයා යාමට පෙළඹීම හේතුවෙන් කුඩා ළමුන් හා වැඩිහිටියන් විශාල පිරිසක් දැඩි අනාරක්ෂිත තත්වයට පත්වන බවට ඕනෑතරම් සාක්ෂි පර්යේෂණ හා ජනමාධ්‍යයන් තුළින් දිගින් දිගටම හෙළි වී ඇත. ආර්ථික ව්‍යුහයේ ඇති බැ?රුම් ප‍්‍රශ්න හමුවේ, බොහෝ වෘත්තීය සුදුසුකම් ලත් පිරිස් වෙනත් රටවලට සංක‍්‍රමණය වීම නිසා, රටේ අනාගතයට දැඩි හානිකර තත්වයක් උද්ගත වී ඇත. උතුරේ දහස් ගණනක් කාන්තාවන් හා ළමුන් තම පියවරු හා ස්වාමිපුරුෂයන් නැතිවීම නිසා දැඩි අනාරක්ෂිත හා අසරණ භාවයට පත්ව ඇත. ජලයට මුසු වූ රසායන ද්‍රව්‍ය නිසා වකුගඩු රෝගයෙන් පෙළෙන දහස් ගණනක් පවුල්වල සාමාජිකයන් මුහුණදී සිටින්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයකට නොව, තම පවුල්වල රැකවරණය පිළිබඳ ප‍්‍රශ්නයටයි.

වසර තිහකට ආසන්න කාලයක් පැවැති යුද සමය තුළ රජයේ ආරක්ෂක වියදම් වේගයෙන් ඉහළ දැමීමට සිදුවූ අතර, ඊට සමගාමීව, රටේ ජනතාවගේ මානව සුරක්ෂිතභාවය තහවුරු කිරීමට අවශ්‍ය සෞඛ්‍යය, අධ්‍යාපනය, සමාජ රක්ෂණය, සමාජ සේවා, පොදු ප‍්‍රවාහනය, නිවාස, පහසු මිළකට ආහාර සැපයීම, ළමා හා වැඩිහිටි රැකවරණය, නිවාස ආදී ක්ෂේත‍්‍රවල ප‍්‍රවර්ධනයක් ඇති කිරීමට ප‍්‍රමාණවත් ලෙස ප‍්‍රතිපාදන වෙන් කිරීමට නොහැකි විය. එහෙත්, යුද්ධය අවසන් වී වසර පහක් ගෙවී ඇති අද, මෙම තත්වය සැලකිය යුතු ලෙස වෙනස්විය යුතුව තිබුනත්, ඇත්ත තත්වය නම්, ඉහත සඳහන් ක්ෂේත‍්‍රවලට වෙන් කරන මහජන මුදල්වල වර්ධනයක් දැකිය නොහැකි බවයි. පසුගිය වසර කිහිපය තුළ රජයේ අයවැය දෙස බලන විට මෙය පැහැදිලිය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, මෙරට මානව සුරක්ෂිතභාවය, යුද්ධය අවසන් වුව ද, පැහැදිලි ප‍්‍රගතියක් පෙන්නුම් නොකරයි. මෙය මෙරට නායකයන් පොරොන්දු වූ පරිදි යුද්ධය අවසන්වීමේ ප‍්‍රතිලාභ මහජනතාවට ලබා දීමක් සිදු නොවී ඇති බවට පැහැදිලි සාක්ෂි දරයි. මෙය විවිධ ක්ෂේත‍්‍රවල ඇතිවී ඇති ප‍්‍රශ්න තුළින් ද මනාව සනාථ කරයි. උදාහරණ ලෙස, අධ්‍යාපනය සඳහා ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන වෙන් කොට සැලැස්මකට අනුව මෙම ක්ෂේත‍්‍රය වැඩිදියුණු නොකිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙරට බහුතරයක් තරුණ තරුණියන්ගේ ජීවිත අනාරක්ෂිත කොට ඇත. ආර්ථිකය සැලැස්මක් අනුව විවිධාංගීකරණය නොකිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ තරුණ තරුණියන්ට අවිධිමත් අංශයට ඇතුළුවීමට සිදුවී ඇති අතර, ඔවුන්ට යහපත් ජීවිතයක් ගත කිරීමට හෝ අනාගත සුරක්ෂිතභාවය පිළිබඳ හැ`ගීමක් ඇති කර ගැනීමට හෝ අවස්ථාවක් සැලසී නැත. උදාහරණ ලෙස ත‍්‍රීරෝධ රථ එලවන ලක්ෂ සංඛ්‍යාත තරුණයන්ගේ අනාගතය කුමක්ද?

පසුගිය සති කිහිපය තුළ ඇදහැලූනු දැඩි වර්ෂාපතනය නිසා නායයාම්, ජල ගැලීම් නිසා ලක්ෂ ගණනක් පවුල් අනාථ වී ඇති අතර, නියම සැලැස්මක් අනුව ජනාවාස සැලසුම් කර, ආරක්ෂිත නිවාස සැලසුම්කරණයක් සිදු නොවීමේ ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ පවුල් ඉතා අනාරක්ෂිත පහත් බිම් හා කඳු බෑවුම්වල නිවාස ඉඳිකිරීම් නිසා, මෙම තත්වයට මුහුණදී ඇත. ඒ සඳහා මගපෙන්විය යුතු පලාත්පාලන ආයතන ශක්තිමත් නොකර, සියලූ බලය ජාතික ආයතනවලට කේන්ද්‍රගත කොට ඇති පරිසරයක මෙවැනි ව්‍යසනයක් බලාපොරොත්තු විය යුතුය.

මේ දක්වා ඉදිරිපත් කළ කරුණුවලින් සනාථ වන්නේ, කවදාවත් සම්පූර්ණයෙන් විසඳිය නොහැකි, රාජ්‍යාරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නය දඩමීමා කරගෙන මහජනතාව තුළ බියක් ඇතිකර, මහජන කැමැත්ත තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට නායකයන් උත්සාහ කළත්, මෙරට පොදු ජනතාව තමන් ක‍්‍රියා කළ යුත්තේ, නොපෙනෙන අනතුරක් ගැන කල්පනා කරමින් ද නැතහොත්, මෙරට පුරවැසියන් බහුතරයක් ජාති, ආගම්, කුල බේදයකින් තොරව අද මුහුණදී සිටින මානව සුරක්ෂිතභාවය පිළිබඳ ප‍්‍රශ්නය සැලකිල්ලට ගනිමින් ද යන්න දැඩි සේ සිතා බැලිය යුතුව ඇත.

2015 ජනවාරි 04 වන ඉරිදා
ඉදිරිය පුවත් පතෙනි.