සුවිශේෂ සටනක් – ආචාර්ය සුමති සිවමෝහන්

ආචාර්ය සුමති සිවමෝහන්
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ඉදිරියේ එන ජනපතිවරණයේ සුවිශේෂත්වය නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ උද්ඝෝෂණය මහෝඝයක් බවට පත්ව තිබීමත් භීෂණය හා අසාධාරණය අවසන් කිරීම සඳහා වන වුවමනාව උච්ඡස්ථානයනට පත්ව තිබීමත්ය.

අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම උදෙසා දෝංකාර නංවන මහා හඬක් නැගෙමින් තිබේ. කිසිවකුටත් බලයෙන් වියරුව හිතුවක්කාර ලෙස කටයුතු කළ නොහැකි බවටත් එබඳු ප‍්‍රයත්නයන්ට එරෙහිව හාත්පසින්ම විරෝධයක් නැගෙන බවටත් පාලකයන් වෙත ඉතා පැහැදිලි පණිවිඩයක් නිකුත් වී ඇත. එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අවකාශය වඩා පුළුල් වී ඇත. ජනතාවෝ සිය අපේක්ෂාවන් ඉදිරිපත් කරමින් විවෘතව කතා කරති. විවෘතව ක‍්‍රියා කරති.
මගේ අදහස අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු හුදෙක් පුද්ගලයෙකු ලෙස අදහස් ප‍්‍රකාශ කිරීම හෝ ක‍්‍රියා කිරීම පමණක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමාජ හා සංස්කෘතික චර්යාවන් සමග අනුල්ලංඝනීය ලෙස බද්ධ වූවකි. ණය බරින් පරිපීඩිතව සිටින ගොවීන් විෂයෙහි මෙන්ම අවතැන් වී සිටින්නවුන් විෂයෙහි ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක විය යුතුව තිබේ. ඔවුන්ගේ ජීවිත යුද්ධයෙන් විනාශ වී ඇත.

වැඩකරන ජනතාවට යහපත් ජීවන තත්වයක් ලබා දිය යුතුය. අනාගතය පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව අසරණව සිටින වතුකරයේ ජනතාවට සාධාරණය ඉටු විය යුතුය. විදේශ රැකියාවල නියුක්තව සිටින්නවුන්ගේ ජීවිත අර්බුදයකය. සුලූතර ජන කණ්ඩායම් නොසලකා හරිනු ලැබ දෙවන පංතියේ පුරවැසියන් පිරිසක් බවට පත්ව ඇත. කාන්තාවෝ රජයේ මෙන්ම ප‍්‍රජාවගේ ද පීඩාවට භාජනය වී සිරකරුවන්ගේ තත්වයට පත්ව ඇත. සුලූ පරිමාණ ව්‍යාපාරිකයින් සුපිරි ව්‍යාපාරිකයින්ට බිලි දී ඔවුන්ගේ ගොදුරක් බවට පත්කරනු ලැබ ඇත.

කලාකරුවන්ගේ, මාධ්‍යවේදීන්ගේ, ගුරුවරුන්ගේ හා ශාස්ත‍්‍රඥයන්ගේ නිදහස මෙන්ම යහපත් සංස්කෘතික පරිසරයක් සඳහා ඇති අවකාශය හැකිලෙමින් පවතී. මේ ආකාරයට නොසලකා හරිනු ලැබ ඇත්තවුන්ගේ ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතී.

2015 ජනපතිවරණය මේ සියල්ලන් තුළ නව අපේක්ෂාවන් දල්වා ඇත. අවකාශය දැනටම විවෘත වී ඇති අතර එය තව දුරටත් විවෘත කොට තහවුරු කොට ගත යුතුව ඇත.. මේ ජනපතිවරණයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ගමන අවසාන නොවේ. විශ්වවිද්‍යාලවල සිටින අප ඇතුළු අනෙකුත් සියලූ දෙන නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට හා අධ්‍යාපනය අර්ථවත් කිරීම සඳහා සටන් කරන අතර සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොටස් මෙම අවකාශය වඩාත් පුළුල් කොට ගැනීම සඳහා ක‍්‍රියාත්මක විය යුතුය. ජනතාවට නැගී සිටීමට හා සටන් සඳහා වේදිකාවක් සපයා ගැනීම සඳහා විධාකාර වූ උද්ඝෝෂණයන් අවශ්‍ය වේ.

2015 ජනවාරි 04 වන ඉරිදා
ඉදිරිය පුවත් පතෙනි.