කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍යයන් ශිෂ්‍යයන් මත මුදාහරින ප්‍රචණ්ඩත්වය සහ ප්‍රජාතාන්ත්‍රික නිදහස මර්දනය

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය ශාස්ත්‍ර පීඨයේ ඇතැම් ශිෂ්‍යයන් සහ ශිෂ්‍ය කණ්ඩායම් අනෙකුත් ශිෂ්‍යයන් මත මුදාහරින ප්‍රචණ්ඩත්වය පිළිබඳව දැඩි කනස්සල්ලක් ප්‍රකාශකර සිටියි. ඒ පිළිබඳව 2015 පෙබරවාරී 10 වන දින පැවැත්වූ පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේ දී ගනු ලැබූ ඒකමතික තීරණය ප්‍රකාර ස්ථාවරය මෙමගින් ප්‍රකාශයට පත් කෙරේ.

ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයන් අතර වර්ධනය වෙමින් පවතින අනුන් නොඉවසීම හා බැඳුන සිදුවීම් පිළිබඳව අපි කනස්සල්ල ප්‍රකාශකර සිටිමු. එවැනි සිදුවීම් පසුගිය කාලය පුරාම වාර්තා වෙමින් පැවති අතර එක් සිද්ධියක් කෙළවර වූයේ තමන්ට අනුකූලතාව නොදැක්වූයේ යැයි පවසමින් එක් ශිෂ්‍යයෙක් පළමු වසර ශිෂ්‍යාවකට පහර දීමෙනි.

ඉතා මෑත සිදුවීමක් වුයේ පළමු වසර ශිෂ්‍යයෙකුට කළ පහරදීම ය. සමහරෙකු මෙම සිද්ධි නවක වදයට සීමා වූ සිදුවීම් ලෙස අර්ථ දැක්වීමට ඉඩ ඇති අතර මෙහි ගැටලුව වන්නේ අනුන් නොඉවසීම බවත්, එය හුදෙක් (සහ සුවිශේෂීව) නවක සිසුන් විශ්වවිද්‍යාල ජීවිතයට ප්‍රවිශ්ට කිරීමේ ප්‍රචණ්ඩ අංගයක් ලෙස පමණක් නොසැලකිය යුතු බවත් අපගේ විශ්වාසයයි.

එසේම පීඨයේ ශිෂ්‍යයන් අතර ප්‍රචණ්ඩත්වයට මුලපුරන සහ අනුන් නොඉවසීමේ සංස්කෘතියක් පවතින බව අපගේ අවබෝධයයි. එසේම මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ දී මූලික වන විසම්මුතියට ඇති ඉඩ සුරැකීම සිදුවන බවක් පෙනෙන්නට නැත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පරමාදර්ශීය වශයෙන් ශිෂ්‍යයන් තුළ වෙනස් මත දැරීමේ හැකියාව පෝෂණය කළ යුතු අතර එකිනෙකාගේ මතවල, ඇඳුම්වල සහ දෘෂ්ටියේ පවතින වෙනස්කම් විවිධත්වය ඉගැනීමේ සහ අගය කිරීමේ කොටසක් ලෙස බාරගත යුතුය. මෙය ඉගැනීමේ නිෂ්ටාවක් පමණක් නොවේ: එය විශ්වවිද්‍යාල ජීවිතය මගින් වගා කිරීමට අපේක්ෂා කෙරෙන ආකල්පමය සංවර්ධනයක් ද වේ. එය ශිෂ්‍ය ජීවිතයකින් පිළිබිඹු කිරීමට අපේක්ෂා කෙරෙන උසස් අධ්‍යාපනයේ අවියෝජනීය කොටසකි. ශිෂ්‍යයන් ද ඇතුළත් සමස්ත ශාස්ත්‍ර පීඨයම එම ජීව ගුණය පවත්වා ගත යුතුය.

‘අනුන් නොඉවසීමේ සංස්කෘතිය’ යන්නෙන් ශිෂ්‍ය ප්‍රජාව අතරවන මූලික නිදහස ප්‍රතික්ෂේප කිරීමේ සහ විවිධත්වය නිශේධනය කිරීමේ ප්‍රයත්නයන් ද අදහස් කෙරෙයි . ස්ත්‍රී පුරුෂ සමාජීයභාවය, ජනවාර්ගිකත්වය, පංතිය, කුලය ආදී විභේදන විවිධ ශිෂ්‍ය සමූහ අතර බහුවිධ ආකාරයන්ගෙන් අන්තර්ඡේදනය වන බව විද්‍යමාන වේ.මෙය අවබෝධ කර ගැනීමටත්, සක්‍රීය ලෙස අගය කිරීමටත්, සංවේදීව පිළිගැනීමටත් අවශ්‍යය. එම වෙනස්කම් පාලනය නොකළ යුතුය. එම වෙනස්කම් ප්‍රකාශයට පත්වීම බලහත්කාරයෙන් මර්දනය කොට සියල්ලන් සඳහා ඒකමානි, නිවැරදියැයි වෙන කෙනෙක් විශ්වාස කරන හැසිරීමේ ක්‍රමයක් අනුන් මත ප්‍රක්ෂේපණය කිරීමේ කවර හෝ ප්‍රයත්නයක් ප්‍රචණ්ඩත්වය, අනුන් නොඉවසීම, වෙනස්ලෙස සැලකීම පමණක් නොව ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහතික කළ නිදහස කඩකිරීමක් ද වෙයි. එසේම ශිෂ්‍යයන් විසින් පරිපාලනයෙන් ඉල්ලා සිටින සහ විශ්වවිද්‍යාලයේදී තම අයිතීන් ලෙස සලකන්නේ ද මෙකී නිදහසම වීම උත්ප්‍රාසජනකය.

රටේ මෙම තීරණාත්මක සංධිස්ථානයේදී, පුරවැසි බහුතරයකගේ අපේක්ෂාව වන්නේ ද ආධානග්‍රාහීත්වය නොපතන, වෙනස ඒකාකෘතිගත නොකරන සහ එය යක්ෂාවේශයක් ලෙස නොදකින විවෘත මනසකින් යුතු සමාජයකි. තවද, ජනයා මෙවැනි විකෘති කිරීම්වලින් බැහැරව එකිනෙකා අගය කරන්නේ කෙසේදැයි යන්න සොයා ගැනීමේ දුෂ්කර කාර්යය අරඹා ඇත. උසස් අධ්‍යාපන ආයතන කවර කලෙකවත් මෙකි පොදු කරුණු සම්බන්ධයෙන් අන් කවරෙකුටත් වඩා අවසාන විනිශ්චකරුවන් වන්නේ නැත. නමුත් මෙම අරමුණු සාක්ෂාත් කිරීමේ සාමූහික වගකීම පෝෂණය කිරීමෙහි ලා ඒවා සහභාගී වේ. ශිෂ්‍යයන් ශිෂ්‍යයන් මත පනවන ප්‍රචණ්ඩත්වය තුළින් ප්‍රකාශයට පත් වන, ශාස්ත්‍ර පීඨය තුළ ඇති අනුන් නොඉවසීමේ සංස්කෘතිය අවසන් කිරීමට අප ඉල්ලා සිටින්නේ මෙම සංදර්භය තුළය. ප්‍රචණ්ඩත්වයේ සහ අනුන් නොඉවසීමේ සරණ නොගොස් එකිනෙකාට නව ආකාරයන්ගෙන් සම්බන්ධවීමේ අභියෝගය තවදුරටත් කල් නොදැමීමේ වැදගත්කම අපි දැඩි ලෙස අවධාරණය කර සිටිමු.

සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තම සගයන් අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව සැලකුම් ලැබීමේ අයිතිය හිමි සමාන මනුෂ්‍යයන් ලෙස සලකනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය
23.02.2015

Faculty of Arts, University of Colombo, Sri Lanka
Arts Faculty Teachers’ Association
Colombo University (AFTA-CU)

President:
Prof. Ananda Tissakumara
anandat@gmail.com

Secretary:
Mr. Krishantha Fedricks
kfedricks@hotmail.com

Treasurer:
Ms. Sewwandi Alawaththa
sewwandialawaththa@gmail.com

Vice President:
Mr. Mahesh Senanayake
Mahesh@poli.cmb.ac.lk

Assistant Secretary:
Ms. Thanuja Weerakoon
thanujaweerakoon@yahoo.com

Executive Committee:
Rev. Uduhawara Ananda thero
Dr. Nirmal Devasiri
Dr. Prasad Serasinghe
Mr. R.M. Dissanayake