‘කළ යුත්තේ කුමක් ද?’ – කුමුදු කුසුම් කුමාර

ඇරිස්ටෝටල්

ඇරිස්ටෝටල්

කළ යුත්තේ කුමක් දැයි වමේ සහෝදරවරු අසති. ඔවුන් මේ ප්‍රශ්නය නගන්නේ මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් සහ ඉදිරියේදී අප දේශපාලනය කළ යුතු ආකාරය පිළිබඳ ය. ඇතැමුන් දකින පරිදි වම කළ යුත්තේ බලයේ සිටින රජයේ ප්‍රගතිශීලී බලවේග සමග කටයුතු කිරීමය. ජනවාරි 8 දා ව්‍යාපාරයෙන් ප්‍රකාශිත ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා වෙනුවෙන් තව දුරටත් පෙනී සිටීම මේ මොහොතේ වමේ දේශපාලන කටයුත්ත ලෙස ගැනීම ඇතැමුන් දකින්නේ හුදු ලිබරල්වාදී වීමක් ලෙසිනි. එය පන්ති සටන අත හැරීමක් ලෙසද ඔවුහු දකිති. පන්ති සටනට මූලිකත්වය දිය යුතු විටෙක එය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප කරන්නේ නම් ඉහත විවේචනය සාධාරණ විය හැකි නමුත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම ම පන්ති සටන අත් හැරීමක් වන්නේ නැත. වම-දකුණ භේදයක් අද නැතැයි ලිබරල්වාදීන් විසින් කියනු ලැබීම පුදුමයක් නොවන නමුත් වමේ යැයි කියා ගන්නා සමහරුන් ද එසේ ප්‍රකාශ කරන්නේ පංති ගැටුම පිළිබඳ අදහස තව දුරටත් වලංගු නොවන්නේය යන විශ්වාසය නිසා විය යුතුය.

වඩා වැදගත්ව අප ඇසිය යුතු කරුණ වන්නේ වත්මන් ලංකාවේ පන්ති ගැටුම කුමන ස්වරූපයක් ගනු ඇතිද? යන්නයි. ආර්ථිකයේ නව ලිබරල්වාදී පිළිවෙත වත්මන් රජය විසින්මත් තව දුරටත් ක්‍රියාත්මක කරන්නේ නම් එය සමාජයේ පංති ගැටුම් උත්සන්න කරනු ඇත. නිදහස් වෙළඳ පොළ ක්‍රමය අපේ ආර්ථිකයේ පදනම විය යුතුය යන අදහස වමෙන් ඉදිරිපත් කෙරුණා කියා සමාජ අසමානතාව ස්වභාවික ලෙස සළකා නිදහස් වෙළඳ පොළක් පිළිබඳ මවාගත් අදහසක් තුළ දියකර හැරීම අපේක්ෂා කරන දක්ෂිණාංශික ආකල්පයෙන් එය මිදෙන්නේ නැත.

ජාතික ආණ්ඩුව සැදීමට ‍යොමු වූ ක්‍රියාවලියේ සහ එය සැදුම් ගත් ආකාරයපිළිබඳ වන විවේචනයට ආණ්ඩුවෙන් ලැබුණු ප්‍රතිචාරය නම් ජාතික වැදගත් කමින් යුතු ජනවාර්ගික සංහිඳියාව සහ සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සඳහා මඟ මෙය බවයි. අරමුණ යහපත් හෙයින් ඒ සඳහා කාර්යක්ෂම නම් කුමන හෝ මාර්ගයක් යොදා ගැනීම උචිත බව මෙයින් කියැවෙයි. මෙලෙස අරමුණ සහ මඟ දෙකට බෙදීම දේශපාලනය ඉන් සාධනය කරන අරමුණ මුල් කරගෙන නිර්වචනය කරයි. මෙය හනා ආරන්ඩ්ට් දක්වන පරිදි දේශපාලනය හරියට භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම අරමුණු කොට ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය යොදාගන්නා ක්‍රියාවලියක් ලෙස සැළකීමකි. නමුත් ඊට වෙනස්ව, දේශපාලනය යනු පොදු යහපත ඉලක්ක කොට ගෙන පුරවැසියන් එක්ව ක්‍රියා කිරීම අත්‍යන්ත වටිනාකමක් ඇති ක්‍රියාවක් යැයි සැළකීම ගත හැකිය. යහපත් අරමුණක් සාධනය කිරීමට වුව අයහපත් මාර්ග ගැනීමෙන් අප අයහපත් ක්‍රියාවල යෙදෙන්නන් බවට පත්වෙයි. එවිට අප දේශපාලනයෙන් අරමුණු කරන පොදු යහපත අවසානයේදී පරාජය නොවන්නේද? යන්න සිතා බැලිය යුතුය. ජනවාර්ගික සංහිඳියාව අපේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා පිළිබිඹු කරන්නේ නම් එය සාධනයට ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා ගැනීමෙන් අවසානයේදී ප්‍රජාතන්ත්‍රවාදය රැකේද?

සංවර්ධනය යන ගණීය පදයෙන් හැඳින්වෙන ආර්ථික වර්ධනය පොදු යහපත ඉලක්ක කරගත් ක්‍රියාවලියක් වන්නට නම් එහි ස්වරූපය පිළිබඳ ජාතික එකඟතාවක් ඇති විය යුතුය. රටේ ආර්ථික සංවර්ධනය කොළඹ මහාපුරවර සංවර්ධනය යනුවෙන් හැඳින්වෙන සමස්ත බටහිර පළාතම ආවරණය වන දැවැන්ත නාගරීකරණ වැඩ පිලිවෙලක් මත පදනම් කිරීම ට ඇති යෝජනාවේ ඵල විපාක පිළිබඳ ජාතික සාකච්ඡාවක් සඳහා අවකාශ සහ කාලය ලැබිය යුතුය. එබඳු ව්‍යාපෘතියක් ලංකාවේ සමාජ ආර්ථික තත්වයන්ට කොපමණ ගැලපෙන්නේද යන්න පිළිබඳ වැදගත් ප්‍රශ්න දැනටමත් ඈෂ්ලි ඩි වොස් වැනි වාස්තු විද්‍යාඥයන් විසින් මතු කර ඇත.

සමාජ සාධාරණයේ දෘෂ්ටි කෝණයෙන්ද මෙම ව්‍යාපෘතිය මතු කරන ගැටලු වැදගත්ය. කොළඹ නගරයේ වසන ලක්ෂයක් වන අඩු ආදායම් ලාභීන් ගේ වාසස්ථාන සහ ජීවනෝපායයන්ට අදාළව සාධාරණය ඉටුකිරීමවෙනුවෙන් පෙනී සිටීමේ වගකීමක් වමේ ව්‍යාපාරයට තිබේ. නගරයේ ඓතිහාසික සංවර්ධනයට ඉමහත් දායකත්වයක් සැපයූ කම්කරු පංතිය ප්‍රමුඛ අවිධිමත් ආර්ථිකයේ ශ්‍රම බලකායද ඇතුළත් නාගරික පහළ පංතිකයන් ඔවුන්ගේ පාරම්පරික නිවාස සහ වාසභූමි වලින් හමුදා බලය යොදා බලහාත්කාරයෙන් නෙරපා එම ඉඩම් ජාත්‍යන්තරයට අලෙවි කිරීම ට රාජපක්ෂ රෙජිමය ගත් ක්‍රියාමාර්ග තරමක් හෝ පරාජය කරන ලද්දේ එම ජනයා සිවිල් සමාජ ව්‍යාපාරයේ සහ වමේ බලවේග වල සහායෙන් ගෙන ගිය ඉමහත් අරගලයක ප්‍රථිඵලයක් වශයෙනි. තමන් බලයට පත් කළ නව රජය යටතේ යලිත් එබඳු තත්වයක් උදානොවනු ඇතැයි යන්න මෙම ජනයාගේ අපේක්ෂාවයි.

ජනවාරි 8 සිදුවූයේ විප්ලවයක් නොවන බව අපට දැන්වත් තේරුම් යා යුතුය. එය විප්ලවීය විපර්යාසයක් පිළිබඳ ජනතා අපේක්ෂා කැටි කර ගත් බව සැබෑය. එම ව්‍යාපාරයේ ඵල නෙලා ගත් දේශපාලනඥයන්ට එය තමන් රහසේ කළ කටයුත්තක ප්‍රථිඵලයක් විය හැකි නමුත් ජනතාවගේ පැත්තෙන් ගත් කළ එය මහජන දේශපාලන පෙරළියකි.

කෙසේ වුවත් අපි ඉතා ඉක්මනින් යලිත් බූර්ෂුවා ප්‍රජාතන්ත්‍රවාදයට පසු බැස සිටිමු.

මෙයට ප්‍රතිචාර දැක්විය හැකි එක් එළඹුමක් නම් ‘දේශපාලනය මෙහෙම තමයි’ කියා දේශපාලන විද්‍යාවේ එන ‘යථාර්ථවාදී’ ආස්ථානයට පසු බැසීමයි. එසේ කොට උපයෝගිතාවාදී ලෙස එම දේශපාලනයට හවුල් වීමයි. නමුත් ජනවාරි 8 වැනිදා ව්‍යාපාරයට සක්‍රීයව සහභාගී වූ ජනතාව අතර පවතින්නේ වෙනත් අදහසකි. ඔවුන් බොහෝ දෙනෙකුට අවශ්‍ය මූලික දෙයක් නම් ජනාධිපතිවරණ වේදිකාවේ හෙළා දැකීමට ලක් වූ දූෂිතයන්ට දඬුවම් දෙමින් යුක්තිය ඉටු කිරීමයි. එබඳු පිරිස් ජාතික ආණ්ඩුවට හවුල් කොටගෙන ඔවුනට දේශපාලන බලය පිරිනැමීම ජනතාවගේ බලවත් අප්‍රසාදයට ලක් වී තිබේ.

ජනයා මැතිවරණයකදී තමන් බලයට පත්කිරීම තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එන දේ ඒ හැටියෙන්ම අනුමත කිරීමකැයි සිතන්නට ඇතැම් දේශපාලකයන් කැමති ය. මහ මැතිවරණයකදී ජනයා කිසියම් පක්ෂයකට ඡන්දය දෙන්නේ මන්දැයි අනුභූතිකව සළකා බැලුව හොත් මෙය වලංගු නොවන අදහසක් බව පෙනී යනු ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන් සිටින ජනාධිපතිවරයෙකු බලයෙන් පහ කිරීමේ අවශ්‍යතාව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක එන පොරොන්දු වලට වඩා ඡන්දය දීමෙහිදී තීරනාත්මක විය හැකිය. නමුත් වූ පොරොන්දුහිතා මතා කඩ කිරීම හෝ පොරොන්දු වූ දෙයෙහි හරයට එරෙහිව යන පරිදි ක්‍රියා කිරීම වංචා කිරීමක් ලෙසින් ජනයා අර්ථ දැක්වීමට ඉඩ තිබේ.

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක අරමුණු වලට පටහැනි දේ බලයට පත් වූ පසු ජනතාවගේ කැමැත්ත නොවිමසා කරන්නට දේශපාලනඥයන් පෙළඹීමෙන් පෙනෙන්නේ ඔවුන් ජනයා හුදු ඡන්දදායකයන් ලෙස මිස පුරවැසියන් ලෙස නොසළකන බවයි. දේශපාලනඥයා යනු බලයට පත්වීමට නොයෙකුත් පොරොන්දු දෙන සහ බලයට පත් වූ පසු එම පොරොන්දු කඩ කරන බලලෝභියෙකි යන අදහස ජන විඥානයේ පැළ පදියම් වීම ජනයාද තම ඡන්දය අවස්ථාවාදී ලෙස තම ස්වාර්ථ සාධනයට යෙදවීමට හේතු වෙයි. අවංක ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයන් ඇත්තේම නැත සහ දේශපාලනඥයා හැමදාමත් පොරොන්දු කඩ කරන්නෙකි යන අදහස් යළි යළිත් සමාජයේ තහවුරු වීම ජනයා විශේෂයෙන් තරුණයන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කෙරෙහි කළ කිරවා ඉන් ඈත් කිරීමට හේතුවෙයි. එය අප සමාජයේ යහ පැවැත්ම අනතුරට හෙළයි.

සම්මුතිවාදය දේශපාලනඥයන් අතර පමණක් නොව බලයට පත්වීමෙන් පසුද දේශපාලනඥයන් සහ ජනතාව අතරද ගොඩ නැඟිය යුතුය. එසේ කළ හැකි වන්නේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල විනිවිද දක්නා බවින් යුතුව ජනතාවට ඉදිරිපත් කොට ඔවුනට අදහස් පළකිරීමට ප්‍රමාණවත් කල් ලබා දෙමින් ඒ අදහස් ද සැළකිල්ලට ගෙන තීරණ වලට එළඹීමෙනි.

ජනයා ඡන්දදායකයන් බවට ලඝු කොට පක්ෂ දේශපාලනයට ගැට ගසන බූර්ෂුවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලනයේ සීමාව ලෙසින් පිළිගැනීමේ ලිබරල් ‍දේශපාලනය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් සහ ගැඹුරු කරමින් පුරවැසියන් සක්‍රීය දේශපාලනයට කැඳවන පුරවැසි දේශපාලනයක් වෙනුවෙන් කැපවීමට වමට හැකිය. එබඳු කැපවීමක් පිටුපස ඇති අදහසක් නම් දේශපාලනය දේශපාලනය සඳහා මිස නිශ්චිත ප්‍රායෝගික අරමුණු වලට සීමා කරමින් ඒවාට ගැට ගැසිය යුතු නොවේ යන්නයි. දේශපාලනය යනු ඇරිස්ටෝටලියානු අර්ථයෙන් කියන්නේ නම සදාචාරමය, ආචාර ධර්මීය ක්‍රියාකාරකමක් මිස භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම වැනි උපයෝගී ක්‍රියාවක් නොවේ, යන්නයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )