ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී ‘‘ජනතාවට සහභාගිවීමේ අයිතිය සහ අවකාශය’’ තිබිය යුතුය

පසුගිය දෙසැම්බර 21 වන දිනැති පාර්ලිමේන්තුවේ අංක 01 දරණ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට අනුව මෙම ජනවාරි 09 වන දිනයේදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කි‍්‍රයාවලිය සඳහා ‘‘ආණ්ඩුක‍්‍රම සම්පාදක මණ්ඩලය’’ ලෙසින් හඳුන්වනු ලබන මන්තී‍්‍රවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරනු ඇත. එහි අරමුණ වනුයේ (උපුටනයේ ආරම්භය)…..ජනතාවගේ අදහස් හා උපදෙස් ලබා ගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 75 වන ව්‍යවස්ථාව යටතේ ඒ වෙත පැවරී ඇති බලතල කි‍්‍රයාත්මක කරමින් පාර්ලිමේන්තුව විසින් සළකා බලනු පිණිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම් පතක් සම්පාදනය කිරීමේ කාර්ය (උපුටනයේ අවසන) ඉටු කිරීම ය.

ඒ අනුව, මේ කෙටුම්පත් කි‍්‍රයාවලියේ ජනතා සහභාගිත්වය සීමා කර ඇත්තේ ‘‘අදහස් හා උපදෙස් ලබා ගැනීමට’’ පමණක් බැව් ඉතා පැහැදිලි ය. ඒ සඳහා දන්නා හා නොදන්නා පුද්ගලයන් 24 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් අගමැති වික‍්‍රමසිංහ විසින් දැනටමත් පත් කර හමාර ය. ජනතාව සමග ගනුදෙනු කිරීමේ ඔවුන්ගේ හැකියාව සහ අවංකත්වය පසෙකින් තබා ඔවුන්ට පවරා ඇති කාර්ය ගැන කතා කරන්නේ නම්, එය ජනතාවගෙන් සහ ප‍්‍රජා කාණ්ඩ හා සංවිධාන වලින් අදහස් හා යෝජනා ලබා ගැනීමට පමණක් සීමා කෙරුණකි. ඒ සඳහා ඔවුන්ට තුන් (03) මසක කාලයක් ලබා දී ඇත. මෙම 24 දෙනාගේ කමිටුව විසින් ඔවුන් ලබා ගන්නා සියල්ල (?) ගොනු කර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා අඩංගුවක් ආණ්ඩුවට සපයනු ඇත. එහෙත් ඔවුන්ගේ අවංකත්වය හා දේශපාලන බැඳීම් සම්බන්ධව ඇති ප‍්‍රශ්න හමුවේ ඔවුන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී මේ ආණ්ඩුවේ තෝරා ගැනීම් හා වුවමනාවන්ගෙන් කෙතරම් ස්වාධීනව කටයුතු කරනු ඇතිද යන්නට කිසිදු සහතිකයක් නැත. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ ‘‘ජනතා සහභාගිත්වය’’ එතෙකින් අවසන් වනු ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ දී තීන්දුකර ඇති මෙම ඉතාම දිළිඳු කේඩෑරි ‘‘ජන සහභාගිත්වය’’ හුවා දැක්වෙන්නේ අතිශය වැදගත් සාධකයක් ලෙසිනි. එනමුත් පාර්ලිමේන්තුව හමුවට ගෙනෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පණත කෙටුම්පත් කිරීමේ ඇත්ත කාර්ය සිදුවන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නා අ`ගුටු මිටු ව්‍යවස්ථා සම්පාදකයන් මගින් ය. ජනතාව විසින් තෝරා පත් කළද මේ පාර්ලිමේන්තුවේ ඔවුන් කිසිවකු ජනතාව වෙනුවෙන් නීති සම්පාදනයේදී කිසිදු කැපවීමක් හා හැකියාවක් පෙන්නුම් කළ පුද්ගලයන් නොවේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේදී හා සම්මත කර ගැනීමේදී ඔවුන් දැක්වූ බල තණ්හාව සහ අඳබාල කම එය මැනවින් ප‍්‍රදර්ශනය කෙරුවකි.

තව දුරටත් ‘‘දේශපාලක ව්‍යසන’’ දරා ගැනීමේ වුවමනාවක් ශී‍්‍ර ලාංකිකයන්ට නැත. එබැවින් සම්පාදනය කරගත යුතු නව අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කැපීම් කෙටීම් වලින් තොරව ඉදිරි දසක ගණනාවකට වලංගු වන්නාවූ සහ කි‍්‍රයාත්මකව තිබිය යුතු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් විය යුතු ය. එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව දීර්ග හා වැදගත් සමාජ සංවාද ඔස්සේ ජනතාව විසින් සම්පාදනය කරගත යුත්තක් මිස, ඊට අවශ්‍ය බුද්ධිමය ව්‍යායාමයක් සඳහා වන සමාජ කැපවීම් හා හැකියාවන් පිළිබඳ කිසිදු සාක්ෂියක් නැති දේශපාලකයන්ගේ පාර්ලිමේන්තුවක කෙරෙන සංවාද වලින් එය කෙටුම්පත් කළ හැක්කේ නොවේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී පූර්වයෙන් පිළිගනු ලබන ප‍්‍රතිපත්තිමය ස්ථාවරයන් හා සමාජ දර්ශනයක් තිබිය යුතුවා සේම, සම්පාදන කි‍්‍රයාවලිය සාමාන්‍ය ජන වහරෙන් සාකච්ඡුා කෙරෙන ඉතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන සහභාගිත්වයක් සහිත කි‍්‍රයාවලියක් විය යුතුය. දකුණු අපි‍්‍රකාවේ ව්‍යවස්ථා සම්පාදන කි‍්‍රයාවලිය වසර 02 ට වඩා දිගු කාලයක් පුරා පැවතියකි. ඔවුන් ව්‍යවස්ථා කෙටුම්පත් ගෝති‍්‍රක භාෂා ද ඇතුළත්ව භාෂා 11 කින් රට පුරා බෙදා හැරියේ ය. එහි අරමුණ වූයේ උපරිම ජන සහභාගිත්වයක් ලබා ගැනීම ය. ව්‍යවස්ථා සම්පාදන කි‍්‍රයාවලියෙහි ප‍්‍රධානියා වූ සිරිල් රමෆෝසා පැවසූයේ ඔවුන්ගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පුරවැසියන් ලක්ෂ 400 ක් විසින් ලියූ ව්‍යවස්ථා කෙටුම්පතක් බව ය. අතීතයේ සිදුවූ වැරදි නිසා ඇති වූ දේශපාලන අස්ථාවරවීම් සහ සමාජ ආර්ථික පසු බැසීම් වළකා ගැනීමට හැකි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ව්‍යවස්ථා විමර්ශනයක් කෙන්යානු ජනතාවට අවශ්‍ය විය. 2010 අගෝස්තුවේදී සම්මත කරනු ලැබූ ඔවුන්ගේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විවිධ ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලි ඔස්සේ, සමාන්තර විමර්ශන හා සංවිධිත ජන සහභාගිත්වයන් සහිත වූ සහ පුරවැසි අයිතීන් සඳහාවන පණතක්ද ඇතුලූ කෙරුනු ජනතා කේන්ද්‍රීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලෙස පිළිගනු ලබයි. එම කි‍්‍රයාවලියෙහිදී ජනතා සහභාගිත්වය නිල වශයෙන් සහතික කරනු ලැබූයේ ‘‘කොට්ඨාශ ව්‍යවස්ථා මණ්ඩප’’ පිහිටුවීමෙනි. එම පියවර අප තෝරා ගන්නේ නම්, එය අපට පිහිටු විය හැකි ‘‘මැතිවරණ කොට්ඨාශ සඳහාවන ව්‍යවස්ථා මණ්ඩප’’ වැනිය. අපට අවශ්‍ය නම් මේ වන විට ලොව බොහෝ රටවල එවැනි ජනතා සහභාගිත්ව කි‍්‍රයාදාම සතු අත්දැකීම් බහුලව ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී ‘‘තම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හදා ගත යුත්තේ ජනතාව’’ යැයි දැන් ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රතිපත්තිය වන්නේ ය. මෙහි සැළසුම්ව ඇත්තේ එවැන්නක් නොවේ. මෙය ජනතාව විසින් ජනතාව වෙනුවෙන් කෙටුම්පත් කෙරෙන්නක් නොවේ. මෙය ඉතා පැහැදිලි ලෙස මධ්‍යගත වූ පාර්ලිමේන්තු කි‍්‍රයාවලියකට සීමා කෙරෙන්නකි. අනතුරුව ජනමත විචාරණයකින් කෙරෙන්නේ එවැනි බුද්ධිමය ව්‍යායාමයක් සඳහා නිපුණතාවක් නොමැති පාර්ලිමේන්තුවක ලියා සම්මත කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනතාවට ‘‘ඔව්’’ හෝ ‘‘නැහැ’’ යැයි කීමට අවස්ථාවක් ලබාදීම පමණි.

මෙහිදී අප අවධාරණය කරන්නා වූ කාරණාවක් ඇත. මාස 06 කින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලියා සම්මත කර ගැනීමේ කිසිදු සමාජීය හදිස්සියක් නැත. එබැවින් පළාත් සභා, පළාත් පාලන ආයතන, පාර්ලිමේන්තුවෙහි නියෝජනය වන හා නොවන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, වෘත්තිකයන්ගේ සංවිධාන, වාණිජ සංවිධාන සහ සමාජීය හා ප‍්‍රජා සංවිධාන හා කණ්ඩායම් සඳහා භාෂා 03 න්ම දීර්ග හා හරවත් සංවාදයක් ගෙන යාම වෙනුවෙන් අවශ්‍ය කාලය ලබා දිය යුතු යැයි අපි කියමු. එම සමාජ කතිකාව ඔස්සේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට නව යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමටත් අයිතියක් තිබිය යුතු ය. පාර්ලිමේන්තුව හමුවට ආණ්ඩුක‍්‍ර ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළ යුත්තේ ඉන් පසුව යැයි අපි කියමු.

අත්සන් කළේ –

නීතිඥ නෙවිල් ආනන්ද

නීතිඥ සුජීව දහනායක

සමාජ කි‍්‍රයාධර මුදිත කරුණාමුනි

මාධ්‍යවේදී කුසල් පෙරේරා

වෘත්තීය සමිති නායක ඇන්ටන් මාකස්

නීතිඥ ශී‍්‍රනාත් පෙරේරා

සම්බන්ධීකරණය –

නීතිඥ නෙවිල් ආනන්ද – 0777876811

නීතිඥ සුජීව දහනායක – 0777324062

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )