අව්‍යාජ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පිහිටුවීම –“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවෙන්”
10.1.2.ග්‍රාම රාජ්‍ය/ග්‍රාම සභා/ගම්සභා සංකල්පය
ග්‍රාම රාජ්‍ය/ග්‍රාම සභා/ගම් සභා ආදී විවිධ නම්වලින් හඳුන්වන මෙම සංකල්පය ගැන අදහස් දැක්වූ මහජනයාගේ පොදු අදහස වූයේ හැකිතාක් පහළ මට්ටමට එනම් ගමට දේශපාලන බලය ලබා දිය යුතු බවයි. පළාත් පාලන ආකෘතියක් ලෙස ක්‍රියාත්මක කළ යුතු මෙම යෝජිත ඒකකයේ නමට ‘‘ග්‍රාම’ හෝ ‘ගම’ යන විශේෂණ පද යොදා ගෙන ඇත්තේ ඒ හේතුවෙනි.
ගම් මට්ටමට දේශපාලන බලය ලබා දීම අවශ්‍යව ඇත්තේ ගම් මට්ටමේ පාලනයේ දුර්වලතා මග හරවා ගැනීමටත්, ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ව්‍යුහය තුළ පුරවැසියන්ගේ සෘජු සහභාගීත්වය සහතික කිරීමත් සඳහාය.
ගැමියන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමේ අරමුණ ළඟා කර ගැනීම සඳහා තීරණ ගැනීමේදී පුරවැසියන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය ලබා ගනිමින් ගම් මට්ටමේ කටයුතු කළමනාකරණය සඳහාවූ ස්වයං පාලන ආයතනික යාන්ත්‍රණයක් ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කිරීම යෝජිත පද්ධතියේ අරමුණ වේ. මෙවැනි නව දේශපාලන ව්‍යුහයක් අවශ්‍ය වී ඇත්තේ, සියලු මට්ටම්වල දේශපාලනඥයින් හා නිලධාරීන්ට බලය අවභාවිතා කිරීමට තුඩු දෙන පක්ෂ දේශපාලනයේ ඇති දූෂණය හා ප්‍රාදේශීය දේශපාලනයේ දැකිය හැකි අන්තවාදී දේශපාලනීකරණය හා නිලධාරිවාදය නිසාය.
තව ද, ග්‍රාමීය ආර්ථිකය තුළ අසාධාරණ වෙළඳ භාවිතයන් හා අතරමැදියන්ගේ සූරාකෑම ඉතා පුළුල් ලෙස දකින්නට ලැබේ. සාමාන්‍ය ගැමියන්ගේ සමාජ ආර්ථික අවශ්‍යතා නොසලකා හරිමින් ගැමි ආර්ථිකය සූරා කෑමට දේශපාලනඥයින් හා ප්‍රභූන් එක් වී තිබේ. ග්‍රාමීය මට්ටමේ ආර්ථික සංවර්ධනයක් ඇති වන ආකාරයට සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහනය හා මාර්ග සංවර්ධනය වැනි සේවාවන් හා යටිතල පහසුකම් ලබා දෙන සංවර්ධන වැඩසටහන් ග්‍රාමීය මට්ටමේ ආරම්භ කිරීම හදිසි හා කාලීන අවශ්‍යතාවකි.
ගැමි ජනයාට ආර්ථික ප්‍රතිලාභ දීමට ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවාහනය, ගබඩා කිරීම හා සකස් කිරීම වැඩිදියුණු කරමින් හා අපතේ යෑම අඩු කරමින් ඔවුන්ගේ නිෂ්පාදන පුළුල් වෙළෙඳපොළකට අලෙවි කළ හැකි ආකාරයට, ගම පදනම් කර ගත් වෙළඳ ක්‍රමයක් සකස් කළ යුතුවේ. හස්ත කර්මාන්ත වැනි දේ මත පදනම් වූ සාම්ප්‍රදායික ජීවිතයක් ගත කරමින්, පරිසරය ආරක්ෂා කර ගනිමින්, වනාන්තර හා පොදු භුක්තියට ඇති ඉඩම් වැනි ප්‍රාදේශීය සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ගම් වැසියන්ට ඔවුන්ගේ ප්‍රදේශ සංවර්ධනය කිරීමේ කටයුතුවල ක්‍රියාකාරී ලෙස නියැළීමට පුළුවන.
මේ නිසා ග්‍රාමීය මට්ටමේ පාලනය හා ආර්ථික කටයුතු කළමනාකරණය වැඩි දියුණු කිරීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය හා යහපත ළඟා කර ගැනීම සඳහා ග්‍රාමීය මට්ටමට අර්ථාන්විත ලෙස දේශපාලනය බලය බෙදා හැරීම අත්‍යවශ්‍ය වේ.
සංවර්ධන දෘෂ්ටිකෝණයට අමතරව, පළාත් පාලනය සඳහා තවත් තර්කයක් වන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය භාවිතයේදී අසාර්ථක වී ඇත යන්නයි. පාර්ලිමේන්තුව හා අනිකුත් ආයතනවලට පුරවැසියන් විසින් තම නියෝජිතයන් පත් කර ගන්නා නමුත් මැතිවරණ අතර කාලයේ ඔවුන් හුදු නරඹන්නන් බවට පත් වේ. තමන් විසින් ම තෝරාගත් නියෝජිතයන්ට ප්‍රමාණවත් බලපෑමක් කිරීමට මහජනයාට හැකියාවක් නැත. පාලනකරණය හා සංවර්ධනය පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් ඡන්දදායකයන්ගේ අදහස් ලබා ගැනීමේ යාන්ත්‍රණයක් නොමැති හෙයින් ඡන්දදායකයන් තමන්ට ලබා දුන් වරම ගෙන හැර දක්වමින් නියෝජිතයෝ තමන්ගේ සිතැඟි පරිදි පාලනය ගෙන යති.
දේශපාලනඥයින් වගකියන බවට පත්කිරීමේ හැකියාවක් පුරවැසියන්ට නැතිව ගොසිනි. පවතින දේශපාලන පද්ධතියේ ප්‍රධාන අඩුපාඩුවක් වන්නේ ඡන්දදායකයන් ලබා දුන් වරම ඉටු කිරීමට තෝරා පත් කරගත් නියෝජිතයන් අසමත්වූ විට ඔවුන් ආපසු කැඳවීමේ හැකියාවක් නැති වීමයි.
මහජනතාව ග්‍රාම රාජ්‍ය සංකල්පය දකින්නේ ගම් මට්ටමේ දේශපාලනය, පක්ෂ දේශපාලනයේ ඉතා හානිකර බලපෑමෙන් නිදහස් කර ගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙසයි. මෙහි මූලික සංවිධාන ව්‍යුහය වන්නේ මූලික ඒකකය වන ගමත්, ගම් කීපයක් ඇතුළත් වන ග්‍රාම නිලධාරි කොට්ඨාසයත්, එවැනි කොට්ඨාස ගණනාවකින් සමන්විත වන ග්‍රාම රාජ්‍යයත්, යනුවෙනි.
දැනට පවතින ප්‍රාදේශීය සභා හා/හෝ පළාත් සභා හෝ අලුතෙන් යෝජනා කර ඇති දිස්ත්‍රික් සභා හා අවසානයේ ජාතික මට්ටමේ සභාවක් හෝ පාර්ලිමේන්තුව සමග රටේ දේශපාලන ව්‍යුහයට ග්‍රාම රාජ්‍යය සම්බන්ධ කරන්නේ කෙසේ ද යන්න වෙනස් ආකාරයන්ගෙන් සංකල්ප ගත කර තිබේ.
එවැනි එක් දැක්මක් අනුව ග්‍රාම රාජ්‍යය දකින්නේ අ) ප්‍රාදේශීය ආ) දිස්ත්‍රික් සහ ඇ) ජාතික මට්ටමේ දේශපාලන ආයතනවලින් සමන්විත වන ස්තර තුනක ව්‍යුහයකින් පළාත් සභා විස්ථාපනය කිරීමේ මඟක් ලෙසයි. තවත් විකල්ප මතයකට අනුව එය පවතින පළාත් පාලන පද්ධතිය තුළ ජනතා සහභාගීත්වය වැඩි දියුණු කිරීමේ ක්‍රමයක් වේ. මෙය සිදු වන්නේ ගැමියා ඡන්දදායකයා ලෙසත්, ගම මූලික ඒකකය ලෙසත්, සලකන සෘජු මැතිවරණ ක්‍රමයක් මගිනි.
ග්‍රාම රාජ්‍ය සංකල්පය ගම හෝ ග්‍රාමීය ප්‍රදේශවලට සීමා විය යුතු නැති බවත් නාගරික හා මහ නගර සභා වැනි නාගරික ප්‍රදේශවලටත්, එය යොදා ගත හැකි බවටත්, තර්ක කරන ලදී.
10.1.3. ගම් මට්ටමේ ප්‍රජා සංවිධාන සාමාජිකයන්ගේ ග්‍රාම රාජ්‍යය
දැන් ක්‍රියාත්මක නොවන, එහෙත් මිට පෙර යුගයක අත්හදාබලන ලද, ග්‍රාමෝදය මණ්ඩල ආකාරයට, ග්‍රාමීය මට්ටමේ ප්‍රජා සංවිධානවල නායකයන්ගෙන් ග්‍රාම රාජ්‍යය සමන්විත විය යුතු ය යන්න එක් යෝජනාවකි. ග්‍රාමෝදය මණ්ඩල අසාර්ථක වූයේ ඒවාට අරමුදල් ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කළ බැවින් යැයි පවසන ලදි.
මෙම අදහසේ වඩා දියුණු අනුවාදයක් වන්නේ පළාත් පාලන කොට්ඨාසවල ජනතා ප්‍රශ්න ගැන කටයුතු කිරීමට පළාත් පාලන පද්ධතිය තුළ සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් පුරවැසි කොට්ඨාස කමිටු පිහිටුවීමයි. මෙහිදී පුළුල් පදනමක් ඇති කොට්ඨාස පද්ධතිය තුළ ඇති ආයතන සම්බන්ධ වන බැවින් එය තිරස් ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණුවක් ලෙස සැලකිය හැකි වේ. දැනටමත් සමහර සිවිල් සමාජ කණ්ඩායම් පළාත් පාලන ආයතන සමග කටයුතු කරමින් පළාත් පාලන ගැටලු සම්බන්ධයෙන් අදහස් දීමට මෙම මණ්ඩලවලට නිරීක්ෂකයන් ලෙස සහභාගි වෙති. කොට්ඨාස ක්‍රමය යටතේ පවත්වන ඊළඟ පළාත් පාලන මැතිවරණය, කොට්ඨාස මත පදනම් වූ ජනතා හෝ පුරවැසි කමිටු හා සංවිධාන ශක්තිමත් කිරීමට ලැබෙන අවස්ථාවක් ලෙස සැලකිය හැකි යැයි ද, පෙන්වා දෙන ලදී.
ජාතික දේශපාලන කතිකාවකට හා ක්‍රියා මාර්ගයකට පුරවැසියන් සෘජුව හා ක්‍රියාකාරීව සම්බන්ධ වූ පුරවැසි කණ්ඩායම්වල ජනවාරි 8 ව්‍යාපාරය මත පදනම්ව හා ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමේදී ජනතා සහභාගීත්වය වැඩි කිරීමට සම්බන්ධ අදහසක් වන්නේ සෑම දිස්ත්‍රික්කයක ම පුරවැසි කණ්ඩායම් සෑදීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය සාධනය මත පදනම්ව ඔවුන් ආපසු කැඳවීමේ ක්‍රියාදාමයක් ආරම්භ කිරීමේ බලය සහිතව මෙම පුරවැසි කණ්ඩායම් අධීක්ෂණ හා සමීක්ෂණ මට්ටමකින්, පවතින දේශපාලන ව්‍යුහය තුළට ව්‍යවස්ථානුකූලව අන්තර්ගත කළ හැකි වේ.
10.1.4. අනුපූරකතාව පිළිබඳ මූලධර්මය
ග්‍රාම රාජ්‍යය ඇති කිරීමට යෝජිත වෙනස්කම් සංකල්පගතකිරීමේදී අපට අනුපූරකතාව (subsidiarity) පිළිබඳ මූලධර්මය සහාය වෙයි.
මෙම මුල ධර්මයට අනුව ප්‍රධාන තැන ලැබෙන්නේ පාලන ආයතනවල පහළ ම මට්ටමටයි, (උදා. පළාත් පාලන ආයතනවලට) මෙම මුලධර්මයෙන් කියවෙන්නේ “පළාත්පාලන ආයතනයට කළ හැකි දෙයක් වේ නම් එය පළාත් පාලන පද්ධතිය තුළ තිබෙන්නට ඉඩ හැරිය යුතු” බවයි. පළාත් සභා හෝ ඉන් ඔබ්බට ගෙන යා යුත්තේ අනිත් කරුණු පමණි.
මෙම මූලධර්මයට අනුව රජයේ විශාල ඒකකවලට යොමු නො කර ප්‍රදේශයේ ප්‍රශ්න ගැන කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් බලතල පර්යන්තයේ සිටින පුරවැසියන්ට ලබා දීමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු වේ. කෙටියෙන් කිවහොත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නැඹුරු රජයක හදවත විය යුත්තේ මෙම අනුපූරකතා මූලධර්මය පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමයි. මෙහිදී ප්‍රමුඛ අංගය ලෙස සැලකෙන්නේ ග්‍රාම සභා සංකල්පයයි.
ගම් හෝ කොට්ඨාස මට්ටමේදී ග්‍රාම සභා අර්ථාන්විත හා ඵලදායී කිරීමට පහත දැක්වෙන යෝජනා ඉදිරිපත් කෙරුණි. මෙයින් පළමුවැන්න වන්නේ උනන්දුවක් දක්වන අංශ මත පදනම්ව (භේදකාරී පක්ෂ දේශපාලනය මත පදනම්වූ නියෝජිතයන් වෙනුවට) තෝරාගත් නියෝජිතයන්ගෙන් සමන්විත ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීමයි. මෙම අංශ වන්නේ (1) ආහාර නිෂ්පාදනය (ගොවිතැන, ධීවර කටයුතු ආදිය), (2) තරුණයන්, (3) කාන්තාවන්, (4) කර්මාන්ත හා සේවා (අධ්‍යාපනය, යටිතල පහසුකම්, සෞඛ්‍යය ආදිය), (5) සම්පත් (පරිසරය, සංස්කෘතිය, ආගම, ප්‍රජා නායකයන්, වැඩිහිටියන්) ආදියයි. දෙවැන්න වන්නේ රට පුරා විහිදී ඇති මෙම ග්‍රාමීය හා කොට්ඨාස මට්ටමේ ඒකකවලට ඔවුන්ගේ ප්‍රමුඛතා අනුව ඔවුන්ගේ කටයුතු කළමනාකරණය කර ගැනීමට, මධ්‍යම රජය විසින් සාධාරණ මුදල් ප්‍රමාණයක් ලබා දීමයි.
10.1.5. බලය බෙදාහැරීමේ දෙවැනි ස්තරය ලෙස පළාත් පාලන ආයතන
මේ කොටසේදී සාකච්ඡාවට බඳුන් වන්නේ ග්‍රාම සභා සංකල්පයයි. මෙය රාජ්‍යයකට වඩා සභාවක ස්වරූපය ගන්නා බැවින් අපේ අදහස ‘ග්‍රාම සභා‘ යන පදය මේ සඳහා වඩා යෝග්‍ය බවයි.
ග්‍රාම රාජ්‍යය පිළිබඳ වඩා ප්‍රබල සංකල්පීකරණයකින් කියවෙන්නේ බලය පැවරීමේ දෙවන ස්තරය විය යුත්තේ පළාත් පාලන ආයතන බවයි. පළමුවැනි ස්තරය වන්නේ පළාත් සභායි. (අ) ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍රවාදය, (ආ) ප්‍රාදේශීය සංවර්ධනය, (ඇ) පාලනයේ පුරවැසි සහභාගීත්වය, (ඈ) අන්තර්ගත ප්‍රජාතන්ත්‍රවාදයක් ආදිය සම්බන්ධයෙන් කටයුතු කළ හැකි ආයතන බවට ඒවා පත් කිරීමට පළාත් පාලන ආයතනවල කාර්යභාරය, බලතල හා කාර්යයන් පුළුල් කළ යුතු වේ.
මෙම පරිණාමනය සාර්ථක කර ගැනීමට ප්‍රාදේශීය සභා මට්ටමට පහළින් ඇති පළාත් පාලනයේ කුඩා ම ඒකක කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. මෙම කාර්යය සඳහා ප්‍රාදේශීය සභා විශාල වැඩි බැවින් ‘ග්‍රාම සභා‘ නමින් හඳුන්වන කුඩා ඒකක පිහිටු විය යුතුය. ග්‍රාම සභාවල සංයුතිය, බලතල හා කාර්යයන් තීරණය කිරීමේදී ඉන්දියානු ‘පංචයාන් රාජ්‘ ක්‍රමයෙන් ආභාෂයක් ලබා ගත හැකි වේ. මෙම ඒකකවලට පළාත් සභාවලින් ස්වාධීනව කටයුතු කිරීමට හැකි වන සේ මෙන් ම ඒවායේ මූල්‍ය ස්වාධිකාරය සහතික කිරීම සඳහා, මධ්‍යම රජය, ග්‍රාම සභාවලට අරමුදල් ලබා දිය යුතුය. පළාත් පාලනයේ මෙම ආයතන දෙක අතර සම්බන්ධය පවත්වා ගැනීමට මෙම මුදල් පළාත් සභා හරහා ග්‍රාම සභාවට යොමු කළ හැකි නමුත්, ඒවා ග්‍රාම සභාවලට ලැබෙන බව සහතික කිරීමේ ප්‍රබල යන්ත්‍රණයක් තිබීම අවශ්‍ය වේ. දැන් පළාත් පාලන ආයතන පවතින්නේ පළාත් සභාවේ හෝ මහ ඇමතිගේ කරුණාව මතය. බොහෝ අවස්ථාවන්හි පළාත් පාලන ආයතනවලට ලැබිය යුතු අරමුදල් ඔවුන්ට ලබාදෙන බවක් නො පෙනේ. පළාත් සභා මෙම අරමුදල්, පළාත් පාලන ආයතනය පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස ද, යොදා ගනී.
කාන්තාවන්, ප්‍රාදේශීය සුළුතරයන් (ජනවාර්ගික හා සමාජිය), තරුණයන් හා දුප්පතුන් වෙනුවෙන් පංගුවක් වෙන් කිරීමෙන් ප්‍රාදේශීය පාලනයේ ඔවුන්ගේ අනිවාර්ය නියෝජනයක් ඇති වන ආකාරයට ග්‍රාම සභා ක්‍රමය සැලසුම් කළ යුතුය. ග්‍රාමෝදය මණ්ඩල ක්‍රමයේදී සිදු වූ ආකාරයට ගමේ ප්‍රභූන්, බලය ඇති පක්ෂයේ නියෝජිතයන් හා දේශපාලන තැරුව්කරුවන් ග්‍රාම සභාවේ බලය අල්ලා ගැනීම වැළැක්වීම සඳහා මෙය ඉතා වැදගත් වේ.
10.1.6. ග්‍රාම සභා හා අනුපූරකතා මූල ධර්මයෙන් ඔබ්බට යමින් අව්‍යාජ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පිහිටුවීම
සෘජු සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් බිහි කරන ප්‍රාදේශීය මට්ටමේ පුරවැසියන්ට ජාතික මට්ටමේ දේශපාලනයේ සෘජු හා ක්‍රියාකාරී කාර්ය භාරයක් ඉටු කළ හැකි දේශපාලන ව්‍යුහයක් සංකල්පගත කිරීමෙන් ග්‍රාම සභා හා අනුපූරක මූලධර්මයෙන් ඔබ්බට යන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහසක් ඉදිරිපත් කරන ලදී. වත්මන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ගැන මහජනයා නැඟු විවිධ ගැටලුවලට යෝජිත ක්‍රමය පිළිතුරක් වනු ඇත. ඡන්ද දායකයන්ට වගවීමට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අසමත් වීමේ ගැටලුව මේ මගින් සාර්ථක ලෙස විසඳෙනු ඇත.
රජයේ සියලු මට්ටම්වලට පත් වූ පුරවැසි නියෝජිතයන් ආපසු කැඳවීමේ බලය සහිතව ඒ මගින් ප්‍රජාතාන්ත්‍රීයසංවරණ සහ තුලන ක්‍රමයක්ක්‍රියාත්මක වනු ඇත. එය ජාතික මට්ටම දක්වා ඉහළට යන මණ්ඩල මාලාවකට නියෝජිතයන් පත් කෙරෙන ක්‍රමයක් බැවින් පුරවැසියන්ගේ සෘජු සහභාගීත්වය තහවුරු කෙරෙන සන්ධාන මණඩල පද්ධතියකි. ජාතික මට්ටමේ විවිධ සමාජ ප්‍රවර්ගවල නියෝජනය ද, මෙයින් සහතික කෙරේ. එය, ජාතික මට්ටමේ දේශපාලනයේදී පොදු යහපත පිළිබද ව සාකච්ඡා කෙරෙන, නගර/ගම් මට්ටමේ පුරවැසියන්ට වැඩිපුර සහභාගී වීමට ඉඩ සලසන, මධ්‍යම/පළාත් /ප්‍රාදේශීය ආදි විවිධ ස්තර සම්බන්ධ කරන, පාලන ව්‍යුහයකි. මෙහි ප්‍රධාන නිර්ණායක වන්නේ ‘ආපසු කැඳවීමේ අයිතිය’ හා කුඩා හා හසුරුවා ගත හැකි ආයතනයි.
ඡන්ද කොට්ඨාසය ඉතා කුඩාවට තබා ගැනීමෙන් (100 දෙනෙක් පමණ) නියෝජිතයා ආපසු කැඳවීම පහසු වන අතර මෙසේ පත් කර ගන්නා මණ්ඩල ද, කුඩාවට තබා ගැනීමෙන් (නියෝජිතයන් 100කට නොවැඩි) ඔවුන් අතර අර්ථාන්විත අන්තර් ක්‍රියාකාරීත්වයක් ගැන සහතික විය හැකි වේ. මෙහිදී අපේක්ෂා කරන්නේ ඡන්දදායකයන් 100ක් පමණ ඇති ‘කොට්ඨාස‘ නම් මූලික ඒකකවලින් සමන්විත වන ස්තර තුනක පාලන ව්‍යුහයකි. මෙහි පළමුවැනි මට්ටම පළාත් පාලන ආයතනය වන අතර එය ඡන්දදායකයන් 10,000 ක් නියෝජනය කරන කොට්ඨාස නියෝජිතයන් 100කින් පමණ සමන්විත වේ. දෙවැනි මට්ටම වන පළාත් ආණ්ඩුව, ඡන්දදායකයන් මිලියනයක් නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීන් 100කින් පමණ සමන්විත වනු ඇත. ජාතික රජය නියෝජිතයන් 60 දෙනෙකුගෙන් සමන්විත වනු ඇත. මෙයින් 30 දෙනෙක් එක් පළාත් සභාවකින් ස්ත්‍රී පුරුෂ වශයෙන් දෙදෙනෙකු බැගින් පළාත් සභා මන්ත්‍රීන්ගෙන් තෝරා ගන්නා අතර අනෙක් 30 දෙනා විවිධ කණ්ඩායම් නියෝජනය කිරීමට ජාතික පදනමකින් තෝරා ගනු ඇත. මෙම කණ්ඩායම් වන්නේ ගොවින්, කාර්මික සේවකයන්, වතු කම්කරුවන්, ධීවරයන්, සේවා කර්මාන්තවල සේවකයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, විද්වතුන්, පාසල් ගුරුවරුන්, වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, වාස්තු විද්‍යාඥයින්, විද්‍යාඥයින්, සුළු කර්මාන්තකරුවන්, මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්තකරුවන්, විශාල කර්මාන්තකරුවන්, වෙළඳුන්, බැංකුකරුවන් වැනි වෙනත් ව්‍යවසායකයන් ආදි කොටස්ය. මේ අනුව 60 දෙනෙකුගෙන් සමන්විත ජාතික මණ්ඩලයේ අවම වශයෙන් 15ක් (උපරිම වශයෙන් 45ක්) කාන්තාවන් වනු ඇත.
පිටතින් සභාපති කෙනෙක් තෝරා පත් කර ගන්නා ජාතික සභාව පාලනයේ ප්‍රධාන අංශ නියෝජනය කරන උප කමිටු 12කට බෙදිය යුතුය. මෙම අංශ වන්නේ ආරක්ෂක හා විදේශ කටයුතු, මුදල්, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආහාර හා කෘෂිකර්මය, අධිකරණ, පරිපාලනය හා නීතිය බලාත්මක කිරීම, කර්මාන්ත ආදියයි. සෑම උප කමිටුවක් ම සභාපති කෙනෙක් පත් කර ගත යුතුවේ. මෙම සභාපතිවරුන්ගේ කමිටුව අමාත්‍ය මණ්ඩලය ලෙස කටයුතු කරන අතර ඔවුන් අතරින් කෙනෙක් අගමැති ලෙස තෝරා ගත යුතුය. යෝජිත ව්‍යුහයේ සෑම පරිපාලන මට්ටමකම බලතල හා වගකීම් පර්යන්තයේ සිට කේන්ද්‍රයට මධ්‍යගත කෙරේ. සැම මට්ටමක ම ආපසු කැඳවීමේ බලය ඇති අතර සියලු ම ආයතනවල නිල කාලය නියම කෙරේ. සියලු මැතිවරණ අවුරුදු හතරකට වරක් එකඟ වූ මාසයක පැවැත්වෙනු ඇත. වරින්වර මැතිවරණ පැවැත්වීමෙන් ඇති වන අවුල් හා වියදම් මේ නිසා අවම කර ගැනීමට හැකි වනු ඇත.
ඉහත සඳහන් ආකාරයට අපගේ දේශපාලන ආයතන ප්‍රති-ව්‍යූහගත කිරීමෙන් රටේ දේශපාලන කටයුතුවලට පුරවැසියන්ට ක්‍රියාකාරී ලෙස සහභාගී වීමට ඉඩ සලසා දීම අතින්, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ අසාර්ථකත්වයට පිළියමක් ලැබෙනු ඇත. කෙසේ වෙතත් එවැනි රාජ්‍ය ක්‍රමයක් පිහිටුවීම සඳහා පුරවැසියන් අතර උන්නතකාමී සමාජ පරිකාල්පනික දියුණුවක් අවශ්‍ය වේ.
කියවන්න දමිළ පිටපත
කියවන්න ඉංග්‍රීසි පිටපත