ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (1- 10 පරිච්ඡේද)

1 පරිච්ඡේදය – හැඳින්වීම

2015 දෙසැම්බර් 22වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුව පත් කරන ලද්දේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන ශ්‍රී ලංකාවේ ජනතාව සමග සාකච්ඡාමය ක්‍රියාවලියක නිරත වීම සඳහා ය. මෙම කමිටුව සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත විය (අ ඇමුණුම).

1.1 ක්‍රියාවලිය

කමිටුව බහුවිධ ක්‍රමවලින් ජනතාවගේ අදහස් ලබා ගත්තේය. වාචිකව හෝ තැපෑලෙන්, විද්‍යුත්-තැපෑලෙන් හෝ ෆැක්ස් මගින් ලිඛිතව හෝ අදහස් හෝ යෝජනා ඉදිරිපත් කරන ලෙස මහජනයාට ආරාධනය කරන ලදී. දින අටක් පුරා මහජන අදහස් විමසූ කොළඹ දිස්ත්‍රික්කයේ හැරෙන්නට, අනිත් දිස්ත්‍රික්ක විසි හතරේ ම දින දෙක බැගින් මහජන අදහස් විමසීමට කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහාය ලබා ගත්තේය. මෙම දිස්ත්‍රික් රැස්වීම් සඳහා කමිටුව උප-කණ්ඩායම් ලෙස සහභාගි වීය. (ඈ ඇමුණුම බලන්න). සියලු මහජන අදහස් විමසීමේ සැසි, මාධ්‍යවලට හා මහජනයාට විවෘත විය. දින ගණනාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජනයාගේ අදහස් හා නිර්දේශ අඩංගු වාර්තාවක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අවධානය සඳහා කමිටුව විසින් පිළියෙල කරන ලදී.

පාරදෘශ්‍ය භාවය පවත්වා ගැනීම සඳහා මහජනයා විසින් ඉදිරිපත් කළ අදහස් අඩංගු දත්ත සමුදාය පද්ධතියක් ද, කමිටුව විසින් ස්ථාපිත කරනු ලැබීය. මෙම දත්ත සමුදාය පද්ධතිය නිර්මාණය කරන ලද්දේ මෙම ඓතිහාසික ක්‍රියාවලිය අනාගතය සඳහා ආරක්ෂා කිරීමටත්, මහජනතාවට මෙම ලේඛන ලබාගැනීමේ පහසුවත්, සඳහායි.

මෙම ක්‍රියාවලියට මහජනයාගෙන් ලැබුණු ප්‍රතිචාරය ඉතා ප්‍රශංසනීය වේ. මහජන අදහස් ඉදිරිපත් කිරීමට දුන් කෙටි දැනුම්දීම හා කාලයේ හා මානව සම්පත්වල සීමාවන් මැද වුවත් රටේ ජනගහණයෙන් සැලකිය යුතු කොටසක් තුළ රටේ උත්තරීතර නීතිය ප්‍රතිසංස්කරණය කිරීමේ හා රාජ්‍ය බලය ප්‍රතිසංවිධානය කිරීමේ ප්‍රයත්නයට සම්බන්ධ වීමට අභිලාෂයක් තිබුණු බව අපට පැහැදිලිව දැක ගත හැකි විය.

කමිටුව ඉදිරියේ අදහස් දැක්වූ අය අතර සිවිල් සමාජ කණ්ඩායම්, පූජකවරුන්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, විශ්‍රාමික හා ආබාධිත පොලිසියේ හා හමුදා සාමාජිකයින්, දේශපාලන ක්‍රියාකාරීන්, ශිෂ්‍ය-ශිෂ්‍යාවන්, වෘත්තීය සමිති සාමාජිකයින්, දේශපාලනඥයින්, ජනවාර්ගික කණ්ඩායම්, ආන්තික හා නොතකා හරින ලද කණ්ඩායම්, සුළු ජනවාර්ගික කණ්ඩායම් හා ආබාධිත පුද්ගලයන් ආදි පුළුල් නියෝජනයක් දක්වන පුද්ගලයන් හා කණ්ඩායම් වූහ.
ලිඛිතව මෙන්ම වාචික ව බහුවිධ අදහස් හා මත ඉදිරිපත් කෙරුණි. මෙහිදී වඩාත් ප්‍රශංසනීය කරුණ වන්නේ ජනතාව ඉතා අවංකව අදහස් ඉදිරිපත් කිරීම පමණක් නොව අන් අදහස්වලට සවන්දීමට දැක්වූ උනන්දුවයි. අදහස් දැක්වීමට පැමිණි බොහෝ අය, තම සහෝදර පුරවැසියන්ගේ අදහස්වලට සවන් දීමට ද, නතරවූහ. මෙම ක්‍රියාවලියට ජනතාව දැක්වූ උනන්දුව, ව්‍යවස්ථාව සැදීමේ කටයුතු වලට සහභාගී වීමට ඔවුන් දැක්වූ කැපවීම හා වෙනස් අදහස්වලට කන්දීමේ විවෘත භාවය මෙයින් පිළිබිඹු විය. මෙම මහජන අදහස් විමසීම මගින් පරිණත ප්‍රජාතන්ත්‍රීය සමාජයක වැදගත් ලක්ෂණයක් දැකිය හැකි වූයේය. එනම්, ජාතික වශයෙන් වැදගත්වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා හා විවාදවල නිරත වීමට ජනතාව දක්වන උනන්දුවයි. බොහෝ දුරට මෙම සාකච්ඡා හා අදහස් දැක්වීම් සාමකාමී හා විනීත වාතාවරණයක සිදු වුණි. එකිනෙකට ඉතා වෙනස් අදහස් ඉදිරිපත් කිරීම මැද වුවත් මහජනයා මෙම ක්‍රියාවලියටත්, විවෘතව අදහස් දැක්වීමට සෑම කෙනෙකුට ම ඇති අයිතියටත්, ගරු කළෝය. මෙය ඉතා ප්‍රශංසා කළ යුතු මෙන් ම අගය කළ යුතු ලක්ෂණයකි.

මෙම කටයුතුවලදී කමිටුව වැදගත් කරුණු දෙකක් නිරීක්ෂණය කළෝය. මෙයින් එකක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත්, තියුණු කිරීමටත්, මහජනයා දැක්වු කැමැත්ත වන අතර දෙවැන්න වන්නේ සාමය හා ප්‍රතිසන්ධානය සඳහා දැක්වූ උනන්දුවයි. ඔවුන් මේවා ළඟා කර ගත හැක්කේ කෙසේද, යන්න ගැන වෙනස් මත තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී රටක් සඳහා ශ්‍රී ලාංකික ජනතාවගේ ඇති අවංක අභිලාෂය මෙයින් පැහැදිලි විය.

මෙම ක්‍රියාවලියට සහභාගී වීමේදී අපේ ජනතාව දැක්වු අව්‍යාජත්වය හා අභිලාෂයන් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයින් වටහාගෙන ඒවාට ගරු කළ යුතු බව මෙම කමිටුවේ අදහසයි. අප ඉදිරියට පැමිණි බොහෝ දෙනෙක් මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ඓතිහාසික වැදගත්කම පෙන්වා දුන් අතර ඔවුන්ට එයට සහභාගී වීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳ ව කෘතඥතාව පළ කළෝය. ඔවුන් කමිටුව ඉදිරියට පැමිණියේ විශ්වාසී හැඟීමකින් හා යෝධ අපේක්ෂාවන් සහිතවයි. මෙය, අපේ රටේ ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවත්, අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කිරීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් බවත්, අනාගත පරම්පරාවන් සඳහා සුරක්ෂිත හා ප්‍රීතිමත් රටක් ගොඩ නැඟීමට මෙය යොදා ගත හැකි බවත් බොහෝ අය කියා සිටියහ. ඔවුන් අප ඉදිරියට පැමිණියේත්, අදහස් ඉදිරිපත් කළේත්, විශාල බලාපොරොත්තු සහිතව බැවින් එම විශ්වාසය හා අපේක්ෂා බිඳ නොදැමිය යුතුය. ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් අර්ථාන්විත වන්නේ ජනතාව එය තමන්ට ‘අයිති’ දෙයක් ලෙස ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නේ නම් පමණි. මේ නිසා මහජනයාගේ අදහස්වලට අවධානය යොමු කරමින්, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ඔවුන්ගේ කාර්යභාරය පිළිගනිමින්, ජනතාව මෙම ක්‍රියාවලියට දිගට ම සහභාගි වන බව සහතික කිරීම තීරණාත්මක ව වැදගත් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය නිතර සිදුවන දෙයක් නොවේ. මෙය නිදහස ලැබීමෙන් පසු අපේ රටේ සිදුවන තුන්වැනි ප්‍රධාන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය වීම, අපේ රටේ සියලු ජනයාගේ අපේක්ෂාවන් පිළිබඳ ව සාමූහික එකඟත්වයකට එළඹීමට අතීතයේ අපේ ව්‍යවස්ථා සම්පාදකයන් අසමත් වීම පිළිබඳ සංඥාවකි. රාජ්‍යයේ ඓන්ද්‍රීයාංග, නීතියේ ආධිපත්‍යය හා ඒවා එකිනෙක අතරෙහිත් විශ්වාසය ගොඩනැගීමේ කාර්යයේදී අපි අසාර්ථක වී ඇත්තෙමු. අතීත වැරදිවලට සමාව ගැනීමේ කාර්යයට අපි නැවතත් මුහුණදී සිටිමු. එම නිසා මේ අවස්ථාව අපතේ යෑමට ඉඩ නො දිය යුතුය. රටේ අනාගතය වෙනුවෙන් දේශපාලන අවස්ථාවාදයෙන් ඔබ්බට යෑමට තැත් කළ යුතු වෙමු. අනාගත පරම්පරාවන්ට අපි ලබා දිය යුත්තේ කුමන ආකාරයක උරුමයක් ද? එය ගිලිහී ගිය අවස්ථා හා අසාර්ථක ප්‍රයත්න පිළිබඳ ව ද? එසේ නැත්නම් ආඩම්බරයෙන් හිමිකම් පෑ හැකි දෙයක් ද? අප කළ යුත්තේ වර්තමානයේ අවශ්‍යතාවන්ට පමණක් ප්‍රතිචාර දක්වමින් පහසු මග ගැනීම ද? එසේ නැත්නම් අනාගතය ගැන විශ්වාසයෙන් සියලු දෙනාට ම සාධාරණය හා සමානත්වය සහතික කරන ශක්තිමත් හා ක්‍රියාකාරී ප්‍රජාතාන්ත්‍රික සමාජයක් ගොඩ නැගීම ද? මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ හා පුළුල් සමාජයේ විවාදයට භාජනය විය යුතු ප්‍රශ්න වේ.

සියලු ප්‍රජාවන් ඇතුළත් වන සාමකාමී හා සුසංවාදී වාතාවරණයක් නිර්මාණය කිරීමේ පෙර නොවූ විරූ අභියෝගයකට වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේ උත්සාහයට මුහුණ දීමට සිදුවී තිබේ. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය හා සාමය, පාරදෘශ්‍ය බව, වගවීම, මානව හිමිකම් හා නිදහස, සමාජ සාධාරණත්වය, සමානත්වය, පරිසරය හා ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම වැනි සියලු ම කරුණු ගැන ව්‍යවස්ථා සම්පාදකයන් අවධානය යොමු කළ යුතු වේ.

අපේ සමාජයේ ඇති සියලු වැරදි, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ තුළින් විසඳිය නොහැකිබව අප පිළිගත යුතුය. දේශපාලන නියෝජිතයන් ගැන බොහෝ පුරවැසියන් ඔවුන්ගේ අසතුට ප්‍රකාශ කළ ආකාරයට ම අපත්, අපේ ප්‍රජාතාන්ත්‍රික වගකීම් ඉටු කළේදැයි විමසා බැලිය යුතුය. අපගේ නියෝජිතයන්ගෙන් අප සමහර ගුණාංග හා සාරධර්ම අපේක්ෂා කරන ආකාරයට ම අපත් එම සාරධර්ම අනුව ජීවත් වන්නේදැයි, මෙනෙහි කළ යුතු වේ.

කෙසේ වෙතත් අප තෝරා පත් කර ගන්නා නියෝජිතයන් එන්නේ අප අතරෙනි. ප්‍රජාතන්ත්‍රවාදය සමග වගකීම් ද, තිබේ. අපේ නිර්දේශවලින් පිළිබිඹු වන පරිදි අපගේ ජනතාව ඉල්ලා සිටින්නේ වඩාත් තියුණු ලෙස ප්‍රජාතන්ත්‍රීකරණය වූ සමාජයකි. ප්‍රජාතාන්ත්‍රික සහභාගිත්වය යනු, ආත්මාර්ථකාමි ව නොව අන් අය වෙනුවෙන් ද, කටයුතු කිරීම බව අප අවබෝධ කර ගත යුතුය. එයින් අදහස් කරන්නේ අනේක ආස්ථාන හා බහුවිධ ළැදියාවන් සැලකිල්ලට ගනිමින් එකඟත්වයට හා විසඳුම්වලට එළඹීමයි; එයින් අදහස් කරන්නේ අප සියලු දෙනා එකඟ නොවන නමුත් අපේ වෙනස්කම් මැද සමාදානයෙන් ජීවත් වීමට අප කැමති බව පිළිගැනීමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථක වීමට නම් එම ප්‍රතිසංස්කරණ පිළිබඳව එකඟත්වයක් ගොඩ නැඟීමත්, පුරවැසියන් ක්‍රියාකාරී ලෙස සහභාගී කර ගැනීමත් අත්‍යවශ්‍ය බව අපගේ නිශ්චිත අදහස වේ. මේ සඳහා අපට දූරදර්ශී දේශපාලන නායකත්වයක් හා පරිකල්පනයක් අවශ්‍ය වේ. ජනතාව පුබුදුකිරීම හා ඔවුන් සමග ඵලදායී ලෙස සන්නිවේදනයේ යෙදීම දේශපාලන නායකයන්ගේ වගකීම වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පුරා ම ජනතාව දිගට ම සම්බන්ධ කරගැනීමේ හා එය රටේ සියලු ජනතාවන්ට අයිති ව්‍යවස්ථාවක් බවට පත් කිරීමේ අවශ්‍යතාව දේශපාලන බලාධිකාරිය විසින් අවබෝධ කරගනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.

විශේෂයෙන් ම අප ඉදිරියට පැමිණි අය ඇතුලු රටේ ජනතාවට ද, විශේෂ ආයාචනයක් කිරීමට අපි කැමැත්තෙමු. කරුණාකර ඔබට වැදගත් වන කරුණු ගැන දිගටම උද්ඝෝෂණයේ නිරත වන්න. මෙය ආරම්භය පමණි, අවසානය නොවේ. අපි තෝරා පත් කර ගෙන ඇති නියෝජිතයන් අපටත්, මේ රටේ ජනතාවටත්, මෙම තීරණාත්මක වශයෙන් වැදගත් කාර්යය සඳහා පැහැදිලිව ඉදිරිපත් කර ඇති අපේක්ෂාවන් හා අභිලාෂයන්ට වගකියන බවට සහතික වීම සඳහා මෙම ක්‍රියාවලියේ අප දිගට ම ක්‍රියාකාරීව සිටීම අවශ්‍ය වේ.

මීට පෙර ද, සඳහන් කර ඇති පරිදි කමිටුවට බහුවිධ ක්‍රමවලින් අදහස් ඉදිරිපත් කරන ලදී. රට පුරා පවත්වන ලද මහජන අදහස් දැක්වීමේ සැසිවලදී ඉදිරිපත් කරන ලද කරුණුවලට අමතරව අපට තැපෑලෙන්, ඉ-තැපෑලෙන් හා ෆැක්ස් මගින් ද, අදහස් හා යෝජනා ලැබුණි (ඈ ඇමුණුම). ලැබුණු සියලු ම ලේඛන, කමිටු සාමාජිකයන් විසින් දිස්ත්‍රික් වාර්තා ලෙස සාරාංශ ගත කරන ලදී. ඉන්පසු විවිධ තේමා යටතේ වාර්තා කෙටුම්පත් කරන ලදී. මෙම කෙටුම්පත් වාර්තා, සාකච්ඡාවට බඳුන් කළ කමිටු සාමාජිකයෝ ඒ ඒ විෂය යටතේ නිර්දේශ සකස් කළෝය. අපේ අවසාන වාර්තාව පිළියෙල කරන ලද්දේ මෙම සාකච්ඡා පදනම් කර ගෙනයි.

අපේ අරමුණ දෙවැදෑරුම් විය; පළමුව මහජනයා විසින් ඉදිරිපත් කරන ලද අදහස් හැකිතාක් නිවැරදිව හා සාධාරණව ගෙන හැර දැක්වීම හා ඒවායේ යුක්ති සහගත බව පැහැදිලි කිරීමයි. දෙවෙනුව අප වෙත ඉදිරිපත් කෙරුණු අදහස්වල විශ්ලේෂණයක් මෙන් ම අපේ දේශපාලන, වෘත්තිය හා ශික්ෂණ විශේෂඥ දැනුම මත පදනම් ව නිර්දේශ ඉදිරිපත් කිරීමයි. මෙම කමිටුව නීතිඥයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, දේශපාලනඥයින්, විද්වතුන් හා වෘත්තිකයන්ගෙන් සමන්විත වූ බැවින් එය විවිධ ආස්ථානයන් හා ළැදියාවන් නියෝජනය කරන කණ්ඩායමක් විය. අපේ අදහස වූයේ නිර්දේශ සකස් කිරීම සඳහා මෙම කණ්ඩායමේ විශේෂඥ දැනුම යොදා ගැනීම වැදගත් බවයි.

කිසියම් නිර්දේශයක් සම්බන්ධයෙන් අපට එකඟත්වයකට පැමිණීමට නො හැකිවූ විට සියලුම සාමාජිකයන්ගේ අදහස් නියෝජනය වන පරිදි නිර්දේශ එකකට වඩා ඉදිරිපත් කිරීමට අපි එකඟ වූයෙමු. බොහෝ අතින් කමිටුවේ අදහස් සමාජයේ ඇති බහුවිධ ආස්ථාන හා මතවල ක්ෂුද්‍ර විශ්වයක් විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාකච්ඡා කිරීම සඳහා මෙම වෙනස්කම් හා විවිධත්වය අපේ වාර්තාවේ ඇතුළත් කළ යුතු බවට අපි එකඟ වූයෙමු. මෙම වාර්තාවේ අරමුණ වන්නේ මහජනතාවගේ අදහස් විශ්ලේෂණය කරමින් හා ඉදිරිපත් කරමින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාකච්ඡාවලට දායකත්වයක් සැපයීමයි. මෙහි දැක්වෙන්නේ කමිටුවට ලැබුණු අදහස් පිළිබඳ සාකච්ඡාවක් හා අපේ නිර්දේශයි.

1.2 වාර්තාවේ ව්‍යුහය

වාර්තාවේ පරිච්ඡේද විසි දෙකක් අඩංගු වේ. සෑම පරිච්ඡේදයක් ම ආරම්භ වන්නේ මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳ සාකච්ඡාවකිනි. ඉන් පසු කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර ඇත. නිර්දේශ එකකට වැඩියෙන් ඇති අවස්ථාවලදී ඒ ඒ නිර්දේශ ඉදිරිපත් කළ කමිටු සාමාජිකයන්ගේ නම් පාදීය සටහනක් ලෙස දක්වා තිබේ.

මෙම කමිටුවට අදහස් ඉදිරිපත් කළ පුද්ගලයන් හෝ සංවිධාන, නම් වශයෙන් සඳහන් නො කිරීමට අපි තීරණය කළෙමු. යෝජනා හා අදහස් ඉදිරිපත් කළ සියලු දෙනාගේ ම සම්පූර්ණ ලැයිස්තුවක් ‘උ‘ ඇමුණුමේ ඇතුළත් කර තිබේ. අපගේ ඇතැම් නිර්දේශ ඉදිරිපත් කිරීමේදී අපට ලැබුණු ලේඛනවල තිබූ වාග් ව්‍යවහාරය ම යොදා ගත් බව මෙහිලා සඳහන් කරමු.

1.3 සීමා හා බාධක

අපට මුහුණ දීමට සිදුවූ විශාල ම බාධකය වූයේ කාලය පිළිබඳ ප්‍රශ්නයයි. මහජනයා කමිටුව ඉදිරියේ අදහස් දැක්වීම කෙරෙහි ද, මෙය බලපෑවේය. ව්‍යවස්ථා සම්පාදනය වැනි කටයුත්තකදී තම අදහස් ඉදිරිපත් කිරීමට කාලයක් අවශ්‍ය වේ. ප්‍රමාණවත් කාලයක් නොලැබීම නිසා බොහෝ අයට නියමිත කාලය තුළ අපට කරුණු දැක්වීමට නොහැකි වන්නට ඇත. තව ද, කාලය සීමා වීම නිසා කොළඹින් පිට දිස්ත්‍රික්කවල මහජන අදහස් විමසීම දින දෙකකට සීමා කිරීමට සිදු විය. බොහෝ දිස්ත්‍රික්කවල මෙම කාලය ප්‍රමාණවත් නොවූ බව පැහැදිලිව ම පෙනී ගියේය.
අපට පැහැදිලි කිරීමට අවශ්‍ය තවත් සාධකයක් වන්නේ මහජනයා ඉදිරිපත් කළ අදහස්වල සංඛ්‍යාන විශ්ලේෂණයක් මෙහි දක්වා නොතිබීමයි. කමිටුව මෙම තීරණය ගත්තේ අප වෙත ලැබුණු ඉදිරිපත් කිරීම්, සංඛ්‍යාන විශ්ලේෂණයකට යොදා ගත හැකි නියැදියක් ලෙස සැලකීමට නොහැකි නිසාය. කමිටුව ඉදිරියේ කරුණු ඉදිරිපත් කරන ලද්දේ ස්වේඡාවෙන් කමිටුව ඉදිරියට ඒමට තීරණය කළ අයයි. ඔවුන් කිසිසේත් කමිටුව විසින් තෝරා ගත් පිරිසක් නොවේ. මේ නිසා අප මෙහිදී අනුගමනය කළ ක්‍රියා මාර්ගය නම් ලැබුණු සියලු ඉදිරිපත් කිරීම්, හොඳින් අධ්‍යයනය කර, මහජනයා විසින් ඉදිරිපත් කළ මතවල විවිධ ප්‍රභේද මතු කර, මෙම අදහස් මත පදනම්වූ සාකච්ඡාවකින් පසුව අපේ නිර්දේශ ඉදිරිපත් කිරීමයි.

2 පරිච්ඡේදය – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව

මහජනයා විසින් ඉදිරිපත් කරන ලද අදහස් පදනම් කර ගනිමින් කමිටුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ පහත සඳහන් කරුණු ඇතුළත් විය යුතුයැයි යෝජනා කර සිටී.

• ශ්‍රී ලාංකික ප්‍රජාවේ සහානුබද්ධ කොටස් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම්, මලයහ/කඳුරට දෙමළ, ආදීවාසී, මැලේ, බර්ගර් හා අනිකුත් සංස්කෘතික හා අනිකුත් භාෂාත්මක ප්‍රජාවන් පිළිගැනීම;
• සියලුම පුරවැසියන්ට හා ප්‍රජාවන්ට රට අයිති බවත්, සාමයෙන් හා සමගියෙන් එකට ජීවත්වීමේ අයිතිය සැමට ඇති බවත් පිළිගැනීම;
• අපගේ සංස්කෘතීන්, ආගම් හා භාෂාවල ඇති විවිධත්වය අපේ රටේ සම්පත් බවත් ඒවාට ගරු කිරීම හා ආරක්ෂා කිරීම අවශ්‍ය බවත් පිළිගැනීම;
• ජනතාවගේ අභිලාෂ අනුව ක්‍රියා කරන රජයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට පදනම දැමීමට කටයුතු කිරීම;
• ශ්‍රී ලංකාව තමාගේ මවුබිම ලෙස විශ්වාස කරන සියල්ලන්ට ම සමානාත්මතාව, යුක්තිය, සාධාරණය හා නිදහස තහවුරු කරන සමාජවාදී හා ජනරජ මූලධර්ම පිළිබඳව සහතික වීම;
• රටේ සෑම හා සියලු ම පුරවැසියන්ට නීතිය හා අධිකරණය යටතේ සමාන ආරක්ෂාව ඇති බවට සහතික වීම;
• අතීතයේ සිදුවූ හිංසා හා ලේවැගිරීම් පිළිගනිමින්, නැතිවූ ජීවිතවලට ගරු කරමින්, අනාගතයේ නැවතත් එවැනි ප්‍රචණ්ඩත්වයක් ඇතිවීම වැළැක්විමේ අවශ්‍යතාව පිළිගැනීම;
• අතීත අමිහිරි සිදුවීම් සුවපත් කිරීමට හා නීතියේ ආධිපත්‍යය, නිදහස, ප්‍රජාතාන්ත්‍රික සාර ධර්ම, සමාජ සාධාරණත්වය හා මූලික අයිතිවාසිකම් මත පදනම්වූ සමාජයක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම;
• මානව අභිමානය ආරක්ෂා කිරීමට සහ අබලතා ඇති පුද්ගලයන්ට සහ මානව විවිධත්වයේ සහ මානවීයත්වයේ අංග ලෙස ගරු කිරීමට ක්‍රියා කිරීම

2.2 නිර්දේශ

යෝජිත ව්‍යවස්ථාවේ පූර්විකාවේ ඇතුළත් කළ යුතු කරුණු පිළිබඳව මහජනතාව බොහෝ අදහස් ඉදිරිපත් කර තිබේ. අනාගතයට පාඩමක් හා සිහි ගැන්වීමක් ලෙස රාජ්‍යයේ අතීත සිදුවීම් ගැන සඳහනක් ඇතුළත් කිරීමට සමහරුන්ට අවශ්‍ය විය. කෙසේ වෙතත් පූර්විකාවේ ඇතුළත් විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, මානව අභිමානය, සාධාරණත්වය, සමානත්වය, බහුවිධතාව, විවිධත්වය, සාමය ආදිය ප්‍රවර්ධනය කිරීමටත්, ගරුකිරීමටත්, කැපවීම බවට එකඟත්වයක් ඇති විය.

ඉදිරිපත් වූ අදහස් සලකා බැලීමෙන් පසුව කමිටුවේ මතය වුයේ යෝජිත පූර්විකාවේ පහත සඳහන් කරුණු ඇතුළත් කිරීම පිළිබඳ ව අවධානය යොමු කළ යුතු බවයි.

“අතීතයේ භේද සුව කිරීමේ අවශ්‍යතාව සහ ජාතීයේ ඒකීයත්වය හා ඒකාග්‍රතාව දියුණු කිරීම පිළිගැනීම
ආණ්ඩුකරණයට සම්බන්ධ ආයතන ශක්තිමත් කිරීම,
පුළුල් බල හවුල්කාරීත්වය ගැන සහතික වීම.
ප්‍රජාතාන්ත්‍රික සාර ධර්ම, නීතියේ ආධිපත්‍යය, සමාජ සාධාරණත්වය, මානව අභිමානය හා මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම.
ආර්ථික, සමාජීය හා සංස්කෘතික අභිවෘද්ධියට පහසුකම් සැලසීම, හා
සාමය, වාර්ගික සංහිඳියාව හා ප්‍රජාතාන්ත්‍රික භාවිතයන් දිරි ගැන්වීම.”

3 පරිච්ඡේදය – ජාතික ධජය, ජාතික ගීය හා පුරවැසිභාවය

3.1 ජාතික ධජය

3.1.2 නිර්දේශ

ඉහත සඳහන් අදහස් මත පදනම්ව, පහත දැක්වෙන නිර්දේශ ඉදිරිපත් කෙරේ.
අ. ජනවර්ග පිළිබඳ සඳහනකින් තොරව, ශ්‍රී ලාංකික සාමූහික ජීවිතය නියෝජනය වන අනාගමික රාජ්‍යයකට සුදුසු නව ජාතික ධජයක් නිර්මාණය කිරීම
හරිනි අමරසුරිය; ඒ.එම්. නවරත්න බණ්ඩාර; එස්.සී.සී. ඉළංකෝවන්; කුමුදු කුසුම් කුමාර; එන්.සෙල්වක්කුමාරන්; එස්. විජේසන්දිරන්;

ආ. සියලු ජනවාර්ගික කණ්ඩායම්වල සමානත්වය හා ඔවුන් අතර සාමය හා සමාදානය සංකේතවත් වන නව ධජයක් සැලසුම් කිරීම
එස්. තවරාජා
ඇ, කිසි ම වෙනසකින් තොරව වර්තමාන ධජය තබා ගැනීම
උපුල් අබේරත්න; එම්.එල්.ඒ. කාදර්; කුෂාන් ද අල්විස්, ජ.නී; එම්.කේ. නදීකා දමයන්ති; එම්.වයි.එම්. ෆායිස්; සුනිල් ජයරත්න; සිරිමසිරි හපුආරච්චි; තේමිය එල්.බී. හුරුල්ලේ; කාන්ති රණසිංහ; වින්ස්ටන් පතිරාජ; ලාල් විජේනායක

3.2 ජාතික ගීය

3.2.2 නිර්දේශ

ඉහත සඳහන් කරුණු මත පදනම් ව අපි පහත දැක්වෙන නිර්දේශ ඉදිරිපත් කරමු.
අ. 2000 ව්‍යවස්ථා පනත් කෙටුම්පතෙහි සඳහන් ඇති ජාතික ගිය පිළිබඳ වගන්ති සැලකිල්ලට ගැනීම
කුෂාන් ද අල්විස්, ජ.නී‍
ආ. ජාතික ගීය සිංහලෙන් හා/හෝ දෙමළෙන් ගායනා කිරීමට ඇති අයිතිය පිළිගනිමින් 2000 ව්‍යවස්ථා පනත් කෙටුම්පතෙහි ඉදිරිපත් කර ඇති ජාතික ගීය පිළිබඳ වගන්ති සැලකිල්ලට ගැනීම
උපුල් අබේරත්න; හරිනි අමරසූරිය; ඒ.එම්. නවරත්න බණ්ඩාර; එම්.එල්.ඒ. කාදර්; එම්.කේ. නදීකා දමයන්ති; එස්.සී.සී. ඉළංකෝවන්; එම්.වයි.එම්. ෆායිස්; සුනිල් ජයරත්න; සිරිමසිරි හපුආරච්චි; කුමුදු කුසුම් කුමාර; කාන්ති රණසිංහ; වින්ස්ටන් පතිරාජ; එන්.සෙල්වක්කුමාරන්: එස්. තවරාජා; එස්.විජේසන්දිරන්; ලාල් විජේනායක

3.3 පුරවැසිභාවය

3.3.2 නිර්දේශ
රටේ පුරවැසියන් වර්තමානයේ මුහුණ දී සිටින තත්ත්වය මැද එකඟතාවක් ගොඩ නැගීමේ කාර්යය සඳහා අපේ නිර්දේශ මෙසේ දක්වමු.
අ. පුරවැසියෙක් වූයේ පරම්පරාවෙන් හෝ ලියාපදිංචියෙන් යන කුමන ආකාරයකින් වුවත්, සියලු ම ශ්‍රී ලාංකික පුරවැසියන්ට සමාන ලෙස සැලකීම.
ආ. ලියාපදිංචියෙන් පුරවැසියන් වන පුද්ගලයන් අවනතවීමේ දිවුරුමක් ගත යුතුය.

4 පරිච්ඡේදය – ආගම

4.2 නිර්දේශ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සැලකිල්ලට ගැනීම සඳහා සාමාජිකයන්ගේ විකල්ප නිර්දේශ සියල්ල ම මෙහි ඉදිරිපත් කිරීමට කමිටුව තීරණය කළේය.
i. කිසිම වෙනසකින් තොරව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (II වැනි පරිච්ඡේදය) 9 වැනි ව්‍යවස්ථාව තබා ගැනීම.(1)
ii. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වැනි පරිච්ඡේදයේ ශීර්ෂය “බුද්ධාගම” නොව “ආගම්” යනුවෙන් වෙනස් විය යුතු අතර 9 වැනි ව්‍යවස්ථාව කිසිම වෙනසක් නොකර තබා ගත යුතුය. (2)
iii. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව පහත දැක්වෙන ආකාරයට වෙනස් කළ යුතුය:
ශ්‍රී ලංකා ජනරජය සියලුම ආගම්වලට සම තත්ත්වයක් දිය යුතුය. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි හා 14(1)ඉ ව්‍යවස්ථාවලින් සියලු ආගම්වලට ලබාදී ඇති අයිතීන් ආරක්ෂා කරමින් රාජ්‍යය බුද්ධාගම හා බුද්ධ ශාසනය පෝෂණය කර ආරක්ෂා කළ යුතුය. (3)
iv. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුය. (4)
v. ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනයට ආගමේ කාර්යභාරය පිළිගන්නා අතර ශ්‍රී ලංකාව අනාගාමික රාජ්‍යයක් විය යුතුය. (5)
vi. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වැනි පරිච්ඡේදයේ ශීර්ෂය “ආගම්” විය යුතුය. එයට අදාළ ව්‍යවස්ථාව පහත දැක්වෙන ආකාරයට සංශෝධනය විය යුතුය.
“ශ්‍රී ලංකා ජනරජය සියලු ආගම්වලට සමාන තත්ත්වයක් දිය යුතුය” (6)
—————————–
(1). කුෂාන් ද අල්විස්, ජ.නී; එම්.කේ. නදීකා දමයන්ති
(2). තේමිය එල්.බී. හුරුල්ලේ; වින්ස්ටන් පතිරාජ
(3). උපුල් අබේරත්න; එම්.එල්.ඒ. කාදර්; ලාල් විජේනායක; සිරිමසිරි හපුආරච්චි; සුනිල් ජයරත්න
(4). හරිනි අමරසූරිය; එස්.සී.සී. ඉළංකෝවන්; කුමුදු කුසුම් කුමාර; කාන්ති රණසිංහ; එන්. සෙල්වක්කුමාරන්
(5). ඒ.එම්. නවරත්න බණ්ඩාර
(6.) එස්. තවරාජා; එස්. විජේසන්දිරන්

5 පරිච්ඡේදය – රාජ්‍යයේ ස්වභාවය

රාජ්‍යයේ ස්වභාවය

5.2 නිර්දේශ

රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ නිර්දේශ සකස් කිරීමේදි කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. අපි මෙහිදී කරුණු දෙකක් ගැන අවධානය යොමු කළෙමු. ඒවා නම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව හා ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමයි. අප ඉදිරියට පැමිණි සියලු දෙනාට ම මෙම කරුණු දෙක ඉතා වැදගත් බව පෙනුණි. වඩා යහපත් අනාගතයක් කරා රට ගෙන යෑමට ඉවහල් වන නිර්දේශ ඉදිරිපත් කිරීමේදී විවිධ ප්‍රජාවන් අතර බිය හා අනාරක්ෂිතබව නැවත ඇති නො කිරීමේ අවශ්‍යතාව ද, අපි අවබෝධ කර ගත්තෙමු. රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ එකඟතාවකට එළඹිය නො හැකි වූවත්, කමිටු සාමාජිකයන් ඔවුන්ගේ මුල් අදහස්වලින් මඳක් ඉවත්ව පහත දැක්වෙන නිර්දේශ සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණි බව මෙහිලා සඳහන් කළ යුතුය.
අපගේ නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණ උදෙසා අප ඒකීය හා ෆෙඩරල් ක්‍රම අර්ථ දක්වන්නේ මෙසේයි:
ඒකීය ආණ්ඩු ක්‍රමයක් යනු ආණ්ඩු බලය එක මධ්‍යස්ථානයක පවතින ක්‍රමයකි. ඒකීය රාජ්‍යයක් තුළ කේන්ද්‍රයේ ඇති එක් ආයතනයකට ව්‍යවස්ථාදායක බලය පවතින අතර කේන්ද්‍රයේ ඇති තවත් ආයතනයකට විධායක බලය ද, කේන්ද්‍රයේ ඇති තවත් ආයතනයකට අධිකරණ බලය ද, හිමිවේ. කෙසේ වෙතත් මෙම ආයතන අතර බලතල වෙන් කිරීමේ මට්ටම වෙනස් විය හැකිය. ඒකීය රාජ්‍ය ක්‍රමයක් යටතේ මේවාට ඉහළ, සමාන්තර හෝ සම්බන්ධීකරණ ආයතනයකට ඉඩක් නැත. තව ද, මෙම බලතල සමහරක් පැවැරූ හෝ දේශපාලන බලය බෙදාහරින ලද ආයතන තිබිය හැකි වූවත්, කේන්ද්‍රයේ ආයතනයට බලය පැවරූ හෝ බෙදා හරින ලද ආයතනයේ කැමැත්ත හෝ එකඟත්වය නොමැතිව පැවරූ බලතල ආපසු ගැනීමට, සංශෝධනය කිරීමට හෝ අහෝසි කිරීමට බලය තිබේ. මේ අනුව බලය පැවරීම හෝ දේශපාලන බලතල බෙදා හැරීම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලේඛනයක් තුළින් සිදු වුවහොත් පැවරූ හෝ බෙදාහැරි ඒකකවල අනුමැතියකින් හෝ එකඟත්වයකින් තොරව මධ්‍යම ව්‍යවස්ථාදායකයට එවැනි විධිවිධාන ප්‍රතිසංවිධානය කිරීමට හෝ ඉවත් කිරීමට හැකි වේ.
අනිත් අතට ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් යනු ඇතැම් විෂය කරුණු සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල ඇති ෆෙඩරල් රජයක් හා අනිකුත් විෂය කරුණු ගැන ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල ඇති ප්‍රාදේශීය ෆෙඩරල් ඒකක ද, තිබිය හැකි ක්‍රමයකි. මෙහිදී සමහර කරුණු පිළිබඳ ජනතා බලය (පරමාධිපත්‍යය) ෆෙඩරල් (මධ්‍යම) රජයටත්, අනිත් කරුණු සම්බන්ධයෙන් එම බලය (ප්‍රාදේශීය) ෆෙඩරල් ඒකකවලටත්, හිමි වේ. මෙම බලය බෙදා ගැනීමේ හෝ විමධ්‍යගත කිරීමේ විධිවිධාන රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලේඛනයකින් සිදු විය යුතු අතර ෆෙඩරල් (මධ්‍යම) රජයට ඒකපාර්ශිකව ඒවා වෙනස් කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ නු පුළුවන. එවැනි සංශෝධන සඳහා (ප්‍රාදේශීය) ෆෙඩරල් ඒකක කිසියම් ප්‍රතිශතයක හෝ අනුමැතිය හෝ එකඟත්වය තිබිය යුතුය.
ලෝකයේ දැකිය හැකි බොහෝ (පාලන) පද්ධති නියම ලෙස මෙම වර්ගීකරණය යටතට පත් නොවන බව අපි දනිමු. සමහරක් මෙම පද්ධති දෙකේ උපරිපතනයන් වන අතර එක් පද්ධතියකින් සමහර අංගත්, අනිත් පද්ධතියෙන් වෙනත් අංගත්, රැගෙන දේශපාලන ක්‍රමයේ අවශ්‍යතාවන්ට අනුකූල වන ලෙස නිර්මාණාත්මකව සකස් කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තිබේ. රට ආණ්ඩු කිරීමේ අරමුණට හානියක් නොවන සේ එක් පද්ධතියක වැදගත් අංග අනිත් පද්ධතියේ අංග සමග සම්බන්ධ කිරීමේ හැකියාව ද, තිබේ.
කමිටුවට රාජ්‍යයේ ස්වභාවය ගැන එකඟත්වයකට එළඹීමට නොහැකි වූ නිසා පහත දැක්වෙන සූත්‍රකරණ තුන ඉදිරිපත් කරමු.

i ශ්‍රී ලංකාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති ආණ්ඩු ආයතනවලින්* සමන්විත වන එක්, ස්වාධීන, නිදහස්, ස්වෛරී ජනරජයක් විය යුතු අතර රාජ්‍යය, ජනරජයේ නිදහස, ස්වෛරීත්වය, ඒකීයත්වය (unity) හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරමින්, රටේ විවිධ ජන කොටස් අතර සාමය හා සංහිඳියාව පවත්වා ගනිමින් ශ්‍රී ලාංකීක අනන්‍යතාව රාජ්‍ය විසින් ප්‍රවර්ධනය කළ යුතුය.

හරිනි අමරසූරිය; ඒ.එම්. නවරත්න බණ්ඩාර; එම්.එල්.ඒ.කාදර්; එම්.වයි. එම්. ෆායිස්; සිරිමසිරි හපුආරච්චි; කුමුදු කුසුම් කුමාර (ෆෙඩරල් ස්ථාවරයේ සිට සම්මුතියකට එළැඹිණි); කාන්ති රණසිංහ; එන්. සෙල්වක්කුමාරන්; එස්. තවරාජා (ෆෙඩරල් ස්ථාවරයේ සිට සම්මුතියකට එළැඹිණි) ; එස්. විජේසන්දිරන් (ෆෙඩරල් ස්ථාවරයේ සිට සම්මුතියකට එළැඹිණි)

ii ශ්‍රී ලංකා ජනරජය, ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති ආණ්ඩු ආයතනවලින්* සමන්විත වන ස්වාධීන, නිදහස්, ස්වෛරී ඒකීය ජනරජයක් විය යුතු අතර රටේ විවිධ ජන කොටස් අතර සාමය හා සංහිඳියාව පවත්වා ගනිමින් එය ශ්‍රී ලාංකික අනන්‍යතාව ප්‍රවර්ධනය කළ යුතුය. මෙම ව්‍යවස්ථාවේ පරමාර්ථය සඳහා ඒකීය රාජ්‍යයක් යනු බහු-ස්තර පාලන පද්ධතියක් සහිත නොබෙදුණු රටකි.
උපුල් අබේරත්න; එම්.කේ. නදීකා දමයන්ති; තේමිය එල්.බී. හුරුල්ලේ; සුනිල් ජයරත්න; වින්ස්ටන් පතිරාජ; ලාල් විජේනායක
*ආණ්ඩුවේ ආයතනවලට, ජාතික මට්ටමේදී පාර්ලිමේන්තුව, විධායකය හා අධිකරණය: පළාත් මට්ටමේදී පළාත් සභා හා පළාත් විධායකය හා ප්‍රාදේශිය මට්ටමේදී පළාත් පාලන ආයතන, මෙම ආයතනවල ප්‍රධානියා හෝ නියෝජ්‍ය ප්‍රධානියා.

iii වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වැනි ව්‍යවස්ථාව කිසි ම වෙනසකින් තොරව තබා ගත යුතුය. එනම්: “ ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයකි”
කුෂාන් ද අල්විස්, ජ.නී.

6 පරිච්ඡේදය -ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය

6.2 ව්‍යවස්ථාවේ උත්තරීතරත්වය
6.2.2 නිර්දේශ

1. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජනරජයේ උත්තරීතර නීතිය වේ; එයට පටහැණි නීතියක් හෝ ක්‍රියාවක් අවලංගු වන අතර එයින් නියම කෙරෙන කර්තව්‍යයන් සපුරා ලිය යුතුය.

2. ඉහත සඳහන් ආකාරයට ජනරජයේ කිසි ම ආයතනයකට එයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ඒවා හැර වෙනත් කිසි ම බලයක් ඇතැයි කියා සිටීමට නුපුළුවන. මෙම බලතල විෂය පථය අතින් සීමා විය යුතු අතර කිසිම ආයතනයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අසීමිත හෝ බන්ධන රහිත බලතල ලබාදී ඇතැයි කිව හැකි නොවේ.

3. රජයේ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ අංශවල සංවිධානාත්මක ව්‍යුහය සම්බන්ධයෙන් බලතල බෙදීම පිළිබඳ සිද්ධාන්තයේ අත්‍යවශ්‍ය ලක්ෂණ හා මෙම අංශවල ක්‍රියාකාරී භුමිකාවන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් විය යුතු යැයි නිර්දේශ කෙරේ.

4. මෙය තවදුරටත් පහසු කිරීම සඳහා ව්‍යවස්ථා ප්‍රතිපාදන විවරණය කිරීමේ බලය ඇති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයක් හෝ ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට හෝ ව්‍යවස්ථා මණ්ඩලයට පාර්ලිමේන්තුව හෝ අනිකුත් නීති සම්පාදක ආයතන විසින් සම්මත කර ගත් නීති පරීක්ෂා කර ඒවා වලංගු ද? නැද්ද? යන්න ප්‍රකාශ කිරීමේ බලය තිබේ. මේ නිසා නීති අධිකරණ සමාලෝචනයකට භාජනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැහැදිලි ව පිළිගත යුතු වේ. මේ ආකාරයට ම විධායක ක්‍රියා හා අධිකරණ ක්‍රියා ද, අධිකරණ සමාලෝචනයට භාජනය කිරීමේ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් විය යුතුය. මේ කරුණු පිළිබඳ විස්තරාත්මක නිර්දේශ 14 වැනි පරිච්ඡේදයේ අඩංගු වේ.

5. මේ ආකාරයට ම නීතියේ ආධිපත්‍යය පිළිගැනීම, ගෞරව කිරීම හා පවත්වා ගැනීම සහතික කරන ප්‍රතිපාදන යෝජිත ව්‍යවස්ථාවේ ඇතුළත් කළ යුතු වේ. මෙම සාරධර්ම සමග ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනයට කැපවීම, ජනරජවාදය, මූලික මානව හිමිකම් හා මහජන භාරය පිළිබඳ සිද්ධාන්තය ව්‍යවස්ථාවේ අඩිතාලමේ පදනම වනු ඇත.

6. රාජ්‍ය ආයතනවල බලතල අයිති වන්නේ රටේ ජනතාවට බවත්, එම බලතල ක්‍රියාත්මක කරන ආයතන ඒවා තාවකාලික වශයෙන් දරන්නන් බවත්, ඒවා පවතින්නේ ජනතාවගේ හා මතු පරම්පරාවල යහපත සඳහා බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිත ලෙස සඳහන් විය යුතුය.

6.3 බලතල බෙදීම හා නීතියේ ආධිපතය

6.3.2 නිර්දේශ
1. බලතල බෙදීම පිළිබඳ සිද්ධාන්තය, හුදු අර්ථය නොව, එහි අගය හා ජීව ගුණය ගැන සලකා ව්‍යවස්ථා සම්පාදනයේදී අවධානය යොමු කළ යුතු වේ. පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩු ක්‍රමයක් අනුගමනය කළ යුතු ය යන ප්‍රබල නිර්දේශය තුළ ව්‍යවස්ථාදායකය හා විධායකය අතර දැඩි ලෙස සපුරා ම වෙන්වූ බෙදීමක් අපේක්ෂා කළ හැකි නොවේ. එවැන්නක් යෝග්‍ය වන්නේ ද, නැත. එහෙත් අධිකරණය ස්ථාන ගත කළ යුත්තේ න්‍යායිකව හා යථාර්ථවාදීව එය රජයේ අනිත් අංශවලින් ස්වාධීන වන ආකාරයටය.

2. රටේ ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ කටයුතුවල ව්‍යවස්ථානුකූලභාවය හා නීත්‍යනුකූල බව පරීක්ෂාවට ලක් කිරීමේ කාර්යය, අධිකරණයට ව්‍යවස්ථානුකූලව පැවරිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරබව හා රටේ නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සෘජුව ම පවරා ඇති ජනතාවගේ අධිකරණ බලය දරා සිටින්නන් ලෙස එය අධිකරණයේ පරම වගකීමක් වෙයි.

3. අධිකරණය, පැහැදිලි සංවිධානීය හා කාර්යාත්මක ලෙස ව්‍යවස්ථාදායකය හා විධායකයෙන් වෙන් කළ යුතුය. අසාමාන්‍ය අවස්ථාවන්හිදී විනිශ්චයකරුවන් ඒකාබද්ධ, වගකියන හා පාරදෘශ්‍ය විනය ක්‍රියා මාර්ගයකට යටත් කළ හැකි වේ. මෙය දැඩි ලෙස ස්වාභාවික යුක්තියේ නීතිවලට අනුකූලව සිදු විය යුතුය.

4. රටේ නීති පද්ධතියේත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් කටයුතුවලට මඟ පෙන්වන , අවිවාදනීය හා නොසැලෙන ලක්ෂණය වන්නේ, නීතියෙන් පාලනය කිරීම නොව, නීතියේ ආධිපත්‍යය පිළිබඳ න්‍යායයි.

5. රටේ සියලු ම ආයතන හා රටේ ජනතාව එහි ලිහිල් මෙන් ම පුළුල් අර්ථයෙන් නීතියේ ආධිපත්‍යය පිළිගෙන ආරක්ෂා කළ යුතු අතර නීතියේ ආධිපත්‍යය පිළිබඳ පුළුල් අවබෝධයකින් කටයුතු කළ යුතු වේ. වෙනත් කරුණු අතර නිශ්චිතතාව, සාමාන්‍යත්වය හා සමානාත්මතාව පිළිබඳ අවම ප්‍රමිතිවලට නීති පද්ධතිය අනුකූල වීම නීතියේ ආධිපත්‍යයෙන් අපේක්ෂා කෙරේ.

6. විධායක හා පරිපාලන ක්‍රියා සම්බන්ධයෙන් රජයේ ආයතනයක හෝ කාරකත්වයක ක්‍රියාවක් හෝ ක්‍රියා නොකිරීම හෝ ව්‍යවස්ථාව හෝ නීතියක් යටතේ හෝ නිශ්චිතව හෝ ඉඳුරාම ව්‍යංජිතව හෝ බලය පැවරීමකින් අවධාරණය කළ නො හැකි නම් ඒවා නීත්‍යනුකූල හෝ වලංගු නොවේ. ව්‍යවස්ථාපිත ආයතනයක ඕනෑම ක්‍රියාවක් හෝ පැහැර හැරීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ නීතියක් මගින් හෝ තහවුරු කළ නොහැකි නම් එහි නීත්‍යනූකූලභාවයක් හෝ වලංගුභාවයක් නැත.

7. අනිත් අතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ නීතියෙන් නිශ්චිතව හෝ ඉඳුරා ම ව්‍යංජිතව හෝ තහනම් කර නැති ඕනෑ ම ක්‍රියාවක නියැලීමට හෝ එසේ නොකිරීමට හෝ ස්වාභාවික පුද්ගලයෙකුට නිදහස තිබේ. නීතියෙන් වළක්වා නැති ඕනෑ ම ක්‍රියාවක යෙදීමට මිනිසුන්ට නිදහස තිබේ.

8. නීතියේ ආධිපත්‍යය පිළිබඳ න්‍යායේ විෂය පථය හා අන්තර්ගතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි නිශ්චිත ව ඇතුළත් කළ යුතුය.

9. මේ සම්බන්ධයෙන් අපගේ නිශ්චිත අදහස වන්නේ උසාවි මගින් හා විශේෂඥයින් විසින් අර්ථ කථනය කරන ලද හා පැහැදිලි කරන ලද නීතියේ ආධිපත්‍යය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවයි. පුද්ගලයන්ගේ හෝ සංවිධානවල ආශාවන් හා මනාපයන් අනුව නොව නීතියට අනුව ක්‍රියාත්මකවන ප්‍රාණවත් ප්‍රජාතන්ත්‍රයක් සහතික කළ හැකි වන්නේ ඒ මගින් පමණි.

7 පරිච්ඡේදය – රජයේ ආකෘතිය හා ස්තර

7.1 රජයේ ආකෘතිය
7.1.2 නිර්දේශ
ඉහත සඳහන් කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසු පහත දැක්වෙන යෝජනා ඉදිරිපත් කරමු.
1. ජාතික හා පළාත් මට්ටමේදී වෙස්ට්මින්ස්ටර් ක්‍රමයේ ආණ්ඩුවක් ක්‍රියාත්මක කළ යුතු ය. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවන්හිදී අලුත් ආණ්ඩුව පත් වන තෙක් භාරකාර ආණ්ඩුවක් තිබිය යුතුය .
උපුල් අබේරත්න; කුෂාන් ද අල්විස්, ජ.නී; හරිනි අමරසූරිය; එම්.වයි.එම්. ෆායිස්; තේමිය එල්.බී. හුරුල්ලේ; කුමුදු කුසුම් කුමාර; වින්ස්ටන් පතිරාජ; එන්. සෙල්වක්කුමාරන්; එස්. තවරාජා; එස්. විජේසන්දිරන්; ලාල් විජේනායක
2. මධ්‍යම රජයේ මට්ටමට පහළින් විධායක කමිටු ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුය.
අ. මෙම ක්‍රමය පළාත් මට්ටමේ මෙන් ම පළාත්පාලන ආයතන මට්ටමේ ද, ක්‍රියාත්මක කළ යුතු යැයි සමහරුන් යෝජනා කර තිබේ.
ආ. මෙවැනි ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුත්තේ පළාත්පාලන මට්ටමේ පමණක් යැයි සමහරුන් නිර්දේශ කර තිබේ.
ඒ.එම්. නවරත්න බණ්ඩාර; එම්.කේ. නදීකා දමයන්ති; එස්. සී.සි ඉළංකෝවන්; සුනිල් ජයරත්න; සිරිමසිරි හපුආරච්චි; කාන්ති රණසිංහ;
ජනාධිපතිගේ කාර්ය භාරය සම්බන්ධයෙන් ද, විවිධ මත ඉදිරිපත් වූ අතර ඒවා පහත දැක්වේ
1. ජනාධිපති රාජ්‍යයේ නාමික ප්‍රධානියා විය යුතුය.
එම්.කේ. නදීකා දමයන්ති; එන්. සෙල්වක්කුමාරන්
2. ජනාධිපති රාජ්‍ය නායකයා මෙන් ම සන්නද්ධ හමුදාවල ප්‍රධාන අණ දෙන නිලධාරියා වනු ඇත. ජනාධිපති ඡන්දදායක ගණයකින් තෝරා ගන්නා අතර ඔහුට ව්‍යවස්ථාවෙන් නියමිත බලතල හිමි වේ. ව්‍යවස්ථාවේ අන්තර්ගත මූලධර්ම අනුව ජාතික ආරක්ෂාව, ජාතික අපේක්ෂා හෝ සුළු ජාතික අපේක්ෂාවන්ට තර්ජනයක් එල්ල වූ අවස්ථාවලදී මැදිහත් වීමේ බලතල මෙයට ඇතුළත් විය යුතුය.
උපුල් අබේරත්න; එම්.වයි. එම්. ෆායිස්; කාන්ති රණසිංහ; එස්. තවරාජා; ලාල් විජේනායක
3. ජනාධිපති රාජ්‍ය නායකයා මෙන් ම හමුදාවල ප්‍රධාන අණ දෙන නිලධාරියා විය යුතුය. ජනාධිපති මහජන ඡන්දයෙන් පත් කර ගත යුතු අතර ව්‍යවස්ථාවෙන් නියමිත බලතල හිමිවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්මවලට අනුකූලව ජාතික ආරක්ෂාව, ජාතික අපේක්ෂා හෝ සුළු ජාතික අපේක්ෂාවන්ට තර්ජනයක් එල්ල වූ අවස්ථාවලදී මැදිහත් වීමේ බලතල මෙයට ඇතුළත් විය යුතුය.
හරිනි අමරසූරිය; සුනිල් ජයරත්න; කුමුදු කුසුම් කුමාර; එස්. විජේසන්දිරන්
7.2 උප/නියෝජ්‍ය ජනාධිපති හෝ නියෝජ්‍ය අගමැති
7.2.2 නිර්දේශ
මෙම අලුත් තනතුරු සඳහා වූ යෝජනාවල ඒවායේ බලතල පුළුල් කිරීමක් සම්බන්ධයෙන් සඳහන් නොවූ අතර ඒවා යෝජනා කරන ලද්දේ විශේෂයෙන් ම සුළු ජාතික ප්‍රජාවන්ට සංකේතාත්මක අගයක් ලබා දීමට බව පෙනේ. දීර්ඝ සාකච්ඡාවකින් පසු පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.
1. ඡන්දදායක ගණයකින් තෝරා ගන්නා උප ජනාධිපතිවරයෙක් සිටිය යුතු අතර ඔහුගේ බලතල ව්‍යවස්ථාවෙන් නියම කෙරේ. උප ජනාධිපති, ජනාධිපති අයත් ප්‍රජාවට වඩා වෙනස් ප්‍රජාවකට අයත් පුද්ගලයෙක් විය යුතුය.
සුනිල් ජයරත්න; එස්.තවරාජා; වින්ස්ටන් පතිරාජ; ලාල් විජේනායක
2. සමහර කමිටු සාමාජිකයන්ගේ අදහස වූයේ මෙවැනි තනතුරක් ඇති කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි. මෙවැනි තනතුරක් ඇති කරන ලෙස ඉල්ලා සිටීමට හේතුව සුළු ජාතිකයන්ට නියෝජනයක් හා වැඩිපුර ආරක්ෂාවක් ලබා දීම හෙයින් අවශ්‍ය වන්නේ සුළු ජාතිකයන්ට නියෝජනය හා ආරක්ෂාව සහතික කරන පියවර ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමයි.
උපුල් අබේරත්න; හරිනි අමරසූරිය; එම්.කේ. නදීකා දමයන්ති; එම්.වයි. එම්. ෆායිස්; කුමුදු කුසුම් කුමාර; එන්. සෙල්වක්කුමාරන්; එස්. විජේසන්දිරන්
7.3 අමාත්‍ය මණ්ඩලය
7.3.2 නිර්දේශ
ඉදිරිපත් වූ අදහස් හා ඒවායේ සාධාරණත්වය සැලකිල්ලට ගැනීමෙන් පසු අපගේ නිර්දේශ පහත දක්වමු.
1. අමාත්‍ය මණ්ඩලයක් තිබිය යුතුය.
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අමාත්‍ය මණ්ඩලය, ඇමතිවරුන් 25-30කටත් නියෝජ්‍ය ඇමතිවරුන් 25-30කටත් සීමා කළ යුතුය. රාජ්‍ය ඇමති ක්‍රමය අහෝසි කළ යුතුය.
3. අමාත්‍යංශ යටතට පැවරෙන විෂයය බලයේ සිටින රජය විසින් තීරණය කළ යුත්තේ හේතු යුක්ති ලෙස කාර්යයන් හා සම්පත් වෙන් කරමිනි.
4. අමාත්‍ය මණ්ඩලය පත්වීමෙන් සති දෙකක් ඇතුළත අමාත්‍යංශ යටතට එන දෙපාර්තමේන්තු/ආයතන හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යයන් පැහැදිලිව දක්වා ගැසට් පත්‍රයේ පළ කළ යුතුය.
5. සෑම අමාත්‍යංශයකට ම අධීක්ෂණ කමිටුවක් තිබිය යුතුය. මෙම කමිටුවල අදාළ ඇමතිවරුන්ට අමතරව අදාළ වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයන් මෙන් ම අදාළ ව්‍යාපාරික මණ්ඩලවල නියෝජිතයන් හා අමාත්‍යංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද, ඇතුළත් විය යුතුය. අධීක්ෂණ කමිටුවල සාමාජිකයන් අගමැතිගේ උපදෙස් මත ජනාධිපති විසින් පත් කෙරේ. මෙම කමිටුවල කාර්ය භාරය හා විෂය පථය සාකච්ඡා කර තීරණය කළ යුතු වේ.
7.4 රජයේ ස්තර
7.4.2 නිර්දේශ
කමිටුව පහත සඳහන් කරුණු ගැන ඒකමතිකව එකඟ වූහ.

1. රජය ස්තර තුනකින් සමන්විත වනු ඇත: ජාතික, පළාත් හෝ කලාපීය හා පළාත් පාලන යනුවෙනි. පළාත් හෝ කලාපයට පසුව, බලය විමධ්‍යගත කෙරෙන ඊළඟ ස්තරය වන්නේ පළාත් පාලන ආයතනයි.
2. පළාත් පාලන ආයතනවල කාර්ය භාරය, බලතල හා කාර්යයන් පුළුල් කර පහත දැක්වෙන මූල ධර්ම යටතේ ඒවා වඩාත් ඵලදායි ආයතන බවට පත් කළ යුතුය.
අ. ජනතාවගේ පරමාධිපත්‍යයට සමීපතම මට්ටම
ආ. ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍රවාදය
ඇ. ප්‍රාදේශීය සංවර්ධනය
ඈ පාලනයේ පුරවැසි සහභාගීත්වය
ඉ. සියල්ලන් ඇතුළත් වන ප්‍රජාතන්ත්‍රවාදයක් (ආන්තික හා විවිධ ළැදියාවන් ඇති කණ්ඩායම් සහ ප්‍රජාවන්)

මෙවැනි පරිවර්තනයක් සාර්ථක කර ගැනීම සඳහා පළාත් පාලනයේ පහළ ම ඒකකවල ව්‍යුහය හා ක්‍රියාවලියට වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

8 පරිච්ඡේදය – බල හවුල්කාරීත්වය

8.1 නිර්දේශ

1. සාමාජිකයන් 75 දෙනෙකුගෙන් සමන්විත දෙවැනි මන්ත්‍රණ සභාවක් (උත්තර මණ්ඩලයක් හෝ සෙනෙට් සභාවක්) කමිටුව නිර්දේශ කරයි.
එම්.එල්.ඒ.කාදර්; එම්.කේ. නදීකා දමයන්ති; එස්.සී.සි. ඉළංකෝවන් සහ කුමුදු කුසුම් කුමාරගේ අදහස වූයේ දෙවැනි මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් ගණන 75ට අඩු විය යුතු බවයි.

2. කෙසේ වෙතත් එහි සංයුතිය සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් අතර වෙනස් මත තිබේ.

i) කමිටු සාමාජිකයන් සමහර දෙනෙකුට අනුව දෙවැනි මන්ත්‍රී මණ්ඩලය පහත දැක්වෙන අයගෙන් සමන්විත විය යුතු ය.
අ. පළාත් සභාවල මහ ඇමතිවරුන් (9)

ආ. කේවල ඡන්ද ක්‍රමය හරහා පළාත් සභිකයන්, පළාතේ මහ නගර සභාවල නගරාධිපතිවරුන් සහ උප නගරාධිපතිවරුන්. පළාතේ සියළුම නගර සභා සහ ප්‍රාදේශීය සභාපතිවරුන් හා උපසභාපතිවරුන් විසින් පළාතෙන් තෝරා පත් කර ගන්නා වෙනත් සාමාජිකයන් හය දෙනෙක්
උපුල් අබේරත්න; එම්.කේ.නදීකා දමයන්ති; සිරිමසිරි හපුආරච්චි; සුනිල් ජයරත්න; වින්ස්ටන් පතිරාජ; එන්. සෙල්වක්කුමාරන්; ලාල් විජේනායක
ii) කමිටුවේ අනිත් සාමාජිකයන්ගේ අදහස වන්නේ දෙවැනි මන්ත්‍රණ සභාවේ සංයුතිය මෙසේ විය යුතු බවයි;

අ. පළාත් සභාවෙන් යෝජනා කරන සෑම පළාත් සභාවකින් ම එක් සාමාජිකයෙක් බැගින් (මහ ඇමති විධායකයට අයත් වන බැවින් ඔහු නීති සම්පාදක ආයතනයක නො සිටිය යුතුය යන්න මොවුන්ගේ තර්කය විය)

ආ. කේවල ඡන්ද ක්‍රමය හරහා පළාත් සභිකයන්, පළාතේ මහ නගර සභාවල නගරාධිපතිවරුන් සහ උප නගරාධිපතිවරුන්. පළාතේ සියළුම නගර සභා සහ ප්‍රාදේශීය සභාපතිවරුන් හා උපසභාපතිවරුන් විසින් පළාතෙන් තෝරා පත් කර ගන්නා වෙනත් සාමාජිකයන් හය දෙනෙක්
හරිනි අමරසූරිය; කුෂාන් ද අල්විස්; ඒ.එම්. නවරත්න බණ්ඩාර; එස්.සී.සී. ඉළංකෝවන්; එම්.වයි.එම්.ෆායිස්; කුමුදු කුසුම් කුමාර; කාන්ති රණසිංහ; එස්.තවරාජා; එස්.විජේසන්දිරන්

iii) කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙකු තවදුරටත් යෝජනා කළේ දෙවැනි මන්ත්‍රණ සභාවක් පිහිටුවීමේ මූලික අරමුණ බහුතරවාදී පාර්ලිමේන්තු පද්ධතියෙන් සුළු ජාතික අපේක්ෂාවන් ආරක්ෂා කිරීම බවයි. මේ නිසා පහත දැක්වෙන දෑ සහතික කිරීමේ ක්‍රමයක් දෙවැනි සභාවේ තිබිය යුතුය.
අ. දෙවැනි මන්ත්‍රණ සභාවේ සියලු සුළුතර නියෝජිතයන් එකට එක් කළ විට එය බහුතර ප්‍රජාවේ නියෝජනයට වඩා අඩු නොවිය යුතුය.
ආ. සුළුතර ප්‍රජාවන්ට බලපාන පනත් සම්බන්ධයෙන් දෙවැනි සභාවේ බර
තබන ලද ඡන්ද ක්‍රමයක් පවත්වා ගැනීම.

එස්.තවරාජ; එස්.විජේසන්දිරන්

‍iv) වෘත්තිය සමිති. සමාජ ව්‍යාපාර, වෘත්තිකයන්ගේ සංගම් ආදියෙන් තනි ඡන්දය පැවරිය හැකි ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවෙන් සාමාජිකයන් හය දෙනෙක් නම් කිරීම.

v) ආගමික හා සංස්කෘතික කණ්ඩායම් ඇතුලු පහළ මන්ත්‍රණ සභාවේ ප්‍රමාණවත් ලෙස නියෝජනය නො වන ප්‍රජාවන් හා සුළුතරයන් අතරින් හය දෙනෙක් අගමැතිගේ උපදෙස් පිට ජනාධිපති විසින් පත් කිරීම.

vi) දෙවැනි සභාවේ සාමාජිකයන්ගෙන් තුනෙන් එකකට නො අඩු ප්‍රමාණයක් කාන්තාවන් විය යුතුය.

vii) සාමාජිකයන් නම් කිරීමේදී විවිධ දේශපාලන මතවාද නියෝජනය කරන කුඩා දේශපාලන පක්ෂ පිළිබද ව ද සැලකිල්ල යොමු කළ යුතුය.
සිරිමසිරි හපුආරච්චි; එස්.විජේසන්දිරන්

දෙවැනි මන්ත්‍රණ සභාව සම්බන්ධයෙන් පහත දැක්වෙන නිර්දේශ ද, කමිටුව ඉදිරිපත් කරයි.

3. දෙවැනි සභාවේ සාමාජිකයන්ගේ උපරිම නිල කාලය අවුරුදු හයක් වන අතර සෑම කණ්ඩායකම සාමාජිකයන් තුනෙන් එකක් දෙවැනි අවුරුද්ද අවසානයේ හා හතරවැනි අවුරුද්ද අවසානයේ සාමාජිකත්වයෙන් ඉවත් විය යුතුය. සෑම අවුරුදු දෙකකට වරක් ඉවත් වන සාමාජිකයන් කුසපත් ඇදීමෙන් තෝරා ගත යුතුය.

4. දෙවැනි, හතරවැනි හා හයවැනි අවුරුදුවල සාමාජිකත්වය අවසන් වන සාමාජිකයන් වෙනුවට ඉවත් වූ සාමාජිකයන් නියෝජනය කළ කණ්ඩායම්වලින් අලුත් සාමාජිකයන් පත් කළ යුතුය.

5. පුරප්පාඩුවක් පිරවීම සඳහා පත් කළ ඕනෑ ම සාමාජිකයෙක්, සාමාජිකත්වය දැරිය යුත්තේ මුල් සාමාජිකයාගේ ධුර කාලය අවසන් වන තුරු පමණි.

6. රටේ සිටින විශිෂ්ට පුද්ගලයන් අතරින් කෙනෙක් ව්‍යවස්ථාදායක මණ්ඩලය සමග සාකච්ඡා කර ජනාධිපති විසින් දෙවැනි මන්ත්‍රණ සභාවේ සභාපති ලෙස පත් කළ යුතුය. සභාපති වර්ෂ 6ක කාලයකට මෙම තනතුර දරනු ඇත.

9 පරිච්ඡේදය – බලය බෙදාහැරීම

9.1 බලය බෙදාහැරීමේ ඒකකය

9.1.2 නිර්දේශ

ඉහත සඳහන් කරුණු මත පදනම් ව පහත දැක්වෙන විකල්ප විසඳුම් ඉදිරිපත් කෙරේ.

1. පරිපාලන කටයුතු සඳහා යාබද පළාත් එකකට හෝ වැඩි ගණනකට ජනමත විචාරණයක් තුළින් එක් ව්‍යුහයක්/ඒකකයක් ලෙස එක් වීමට ඇති විකල්පය සහිතව දැනට ඇති පළාත් නමය පවත්වා ගැනීම. 154අ(3) ව්‍යවස්ථාව ඒ ආකාරයටම තබා ගත යුතුය.

එස්.සී.සී. ඉළංකෝවන්; කුමුදු කුසුම් කුමාර; වින්ස්ටන් පතිරාජ; එන්.සෙල්වක්කුමාරන්; ලාල් විජේනායක

2. දැනට ඇති පළාත් නවය තබා ගැනීම. කුමන ඒකක අතරවත් ඒකාබද්ධ වීමකට ඉඩ නොදිය යුතුයි. මේ නිසා 154අ(3) ව්‍යවස්ථාව ඉවත් කිරීම හෝ යෝජිත ව්‍යවස්ථාවේ එය ඇතුළත් නොකිරීම.

එම්.කේ. නදීකා දමයන්ති; එම්.වයි.එම්. ෆායිස්; තේමිය එල්.බී. හුරුල්ලේ; කාන්ති රණසිංහ

3. විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ සුළුතර කණ්ඩායම්වල සහභාගීත්වය හා නියෝජනය සහතික කිරීමට පළාත් මට්ටමේ බල හවුල්කාරිත්වය සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සහිත ව දැනට පවතින පළාත් නවය තබා ගැනීම.

උපුල් අබේරත්න; හරිනි අමරසූරිය; ඒ.එම්. නවරත්න බණ්ඩාර

4. අදාළ පළාත්වල පවත්වන ජනමත විචාරණ තුළින් යාබද පළාත්වලට ඒකාබද්ධ වීමට ඉඩදෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන සහිත ව පවතින පළාත් නවය ඒ ආකාරයට ම තබා ගැනීම. පළාත්වල විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ සුළුතර කණ්ඩායම්වල ප්‍රමාණවත් නියෝජනයක් ඇතිබව සහතික කිරීමේ ප්‍රතිපාදන තිබිය යුතුය. නැගෙනහිර මුස්ලිම් ජාතිකයන්ට හා මධ්‍යම පළාතේ මලයහ (කඳුරට) දෙමළ ජනයාට අභ්‍යන්තර ස්වයං පාලන ඒකක සාදා ගැනීමට ඉඩ දිය යුතුය. මලයහ දෙමළ ප්‍රජාවේ ස්වයං පාලන ඒකකය/ මණ්ඩලයට ඔවුන්ට බලපාන ආර්ථික, සමාජ, සංස්කෘතික, ආගමික හා සිවිල් කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බලය තිබිය යුතුය. ඔවුන්ගේ ප්‍රජාවේ ජීවිතවලට බලපෑමක් කරන නිශ්චිත කරුණු සම්බන්ධයෙන් මෙම ඒකකයට/ මණ්ඩලයට නීති සම්පාදක හා විධායක බලතල තිබිය යුතු වේ.

එස්.තවරාජා; එස්.විජේසන්දිරන්; එම්.එල්.ඒ.කාදර්

5. ඒකීය රාජ්‍යය තුළ රාජ්‍ය කේන්ද්‍රයේ බලය රැඳී තිබිය යුතුය. මධ්‍යම රජයට, පළාත්වලට බලය පැවරිය හැකි නමුත් පැවරූ ඒකකයේ එකඟතාවකින් තොරව එම බලය ආපසු ගැනීමට මධ්‍යම රජයට හැකි විය යුතුය. ව්‍යවස්ථාදායකයේ හා පාර්ලිමේන්තුවේ උත්තරීත්වය සහතික කළ යුතුය. පවතින පළාත් නවය ඒ ආකාරයට ම තිබිය යුතුය. කිසිම පළාතකට දේශපාලන හෝ පරිපාලනමය වශයෙන් ඒකාබද්ධ වීමට ඉඩ නොදිය යුතුය. මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(අ)3 ව්‍යවස්ථාව ඉවත් කළ යුතු අතර එයට සමාන ප්‍රතිපාදනයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු නො කළ යුතුය. භාෂාව, ජාතිය, ආගම හෝ ජනවර්ගය මත පදනම් ව කිසිම බලය පවරන ඒකකයක් නිර්මාණය නො කළ යුතුය.

කුෂාන් ද අල්විස්, ජා.නී; සිරිමසිරි හපුආරච්චි

6. ජාතික ධනය හා ස්වාභාවික සම්පත් සමාන ලෙස බෙදී යන ආකාරයට භුගෝලීය, සමාජ-ආර්ථික හා ජන විද්‍යාත්මක සාධක සැලකිල්ලට ගනිමින් තාර්කික පදනමක් මත බලය බෙදා හැරීමේ ඒකකයේ සීමා නියම කළ යුතු වේ. මෙම ඒකක ජාති, ජනවාර්ගික-ආගමික හෝ භාෂාමය කරුණු මත පදනම්ව පිහිටුවිය යුතු නොවේ.

සුනිල් ජයරත්න

9.2 බලය බෙදා හැරීමේ විෂය පථය

9.2.2 නිර්දේශ
ඉහත සඳහන් කරුණු මත පදනම් ව බලය බෙදා හරින ලද ඒකකයේ ආණ්ඩුකාර, විධායකය, අධිකරණය හා ව්‍යවස්ථාදායකයට පවරනු ලබන බලතල සම්බන්ධයෙන් අපේ නිර්දේශ පහත දක්වමු. බලය බෙදා හරින ලද ඒකකයේ ඉඩම් හා පොලිස් බලතල සම්බන්ධයෙන් ද, අපගේ නිර්දේශ ඉදිරිපත් කරමු. සමහර නිර්දේශවලට එකඟ නොවූ කමිටු සාමාජිකයෙකුගේ අදහස් ද, මෙහි දක්වා තිබේ.

i. ආණ්ඩුකාරවරයාගේ බලතල

අ. මහ ඇමතිගේ එකඟත්වය ඇතුව ජනාධිපති විසින් ආණ්ඩුකාරයා පත් කළ යුතුය.
ආ. ආණ්ඩුකාරයා කටයුතු කළ යුත්තේ මහ ඇමතිගේ උපදෙස් මතයි.
ඇ. පළාත් ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන පනත්වලට ආණ්ඩුකාරයා අනුමැතිය දීම අවශ්‍ය නොවේ. ඒ වෙනුවට සෑම පනතක්ම ව්‍යවස්ථාදායක අධිකරණයේ/ ශ්‍රේෂ්ඨාධිකරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිශ්චය මඬුල්ලෙහි සමාලෝචනයට භාජනය කෙරෙනු ඇත.
ඇ. පළාත්/කලාපීය ඒකකයට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත් කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුකාරයාට නොව පළාත් උසස් තනතුරු කොමිසමටය. ප්‍රධාන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතුව ජනාධිපති විසින් ප්‍රධාන ලේකම් පත් කළ යුතුය.
ඉ) ඉහත නිර්දේශ සම්බන්ධයෙන් විසම්මුතික මතයක් තිබූ එක් කමිටු සාමාජිකයෙක් කියා සිටියේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා/හෝ 1987 අංක 42 දරණ පනතේ ඇති ආණ්ඩුකාරයාගේ බලතල ඒ ආකාරයට ම තබා ගත යුතු බවයි. එම බලතල ඉවත් කරන්නේ නම් එම බලතල ඇති විකල්ප ආයතනයක් කේන්ද්‍රයේ ස්ථාපිත කළ යුතුය.
කුෂාන් ද අල්විස්, ජ.නී.

ii) පළාත්/කලාප මට්ටමේ විධායක බලය

බලය බෙදාහරින ලද ඒකකයේ විධායක අංශය වන්නේ ප්‍රධාන අමාත්‍ය සහ ඇමති මණ්ඩලයයි. ආණ්ඩුකාරයාට කිසි ම විධායක බලයක් හිමි නොවේ. අමාත්‍ය මණ්ඩලය, පළාත්/කලාපීය ඒකකයේ සියලු සාමාජික සංඛ්‍යාවෙන් 15-20% නො ඉක්මවිය යුතුය.

iii) පළාත්/කලාපීය මට්ටමේ අධිකරණය

අ. කලාපීය අද්වකාත් ජෙනරාල්වරයෙක් සිටිනු ඇත.
ආ. ආරවුල් විසඳීමේ සාම්ප්‍රදායික ක්‍රම ඇතුළු විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් පළාත්/කලාපවල පිහිටුවීමට දිරිගැන්විය යුතුය. කෙසේ වෙතත් එක් සාමාජිකයෙකුගේ මතය වූයේ එවැනි යාන්ත්‍රණයක් අධිකරණ පද්ධතියට අවහිරයක් විය හැකි බැවින් ඔහු එවැනි යන්ත්‍රණයක් පිහිටුවීමට විරුද්ධ වන බවයි.
කුෂාන් ද අල්විස්, ජ.නී.

iv) පළාත්/කලාප මට්ටමේ නීති සම්පාදන බලය

අ. පළාත් ඒකකයට දෙන නීති සම්පාදන බලය පැහැදිලි විෂය පථයකින් යුක්ත විය යුතු අතර එය අයත් වන්නේ පළාත් ආණ්ඩුවට ද? එසේ නැත්නම් මධ්‍යම ආණ්ඩුවට ද? යන්න ගැන සැකයක් නො තිබිය යුතුය.
ආ. පළාත් සභාවට ප්‍රඥ්පති සම්පාදන බලය තිබිය යුතුය. මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ/ශ්‍රේෂ්ඨාධිකරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිසුරු මඬුල්ලේ පුර්ව හා පශ්චාත් අධිකරණ සමාලෝචනයට යොමු කළ හැකියි.
ඇ. ලැයිස්තු තුනක් තිබෙනු ඇත. ඒවා නම්,
1) සංවෘත ලැයිස්තුව
2) පළාත් සභා ලැයිස්තුව
3) පළාත් පාලන ලැයිස්තුව
4) නිර්දේශ කර ඇති පරිදි පළාත් සභා ඇතුළත ස්වයං පාලන මණ්ඩල ස්ථාපිත කළහොත් ස්වයං පාලන මණ්ඩල ලැයිස්තුවක් ද, සකස් කළ යුතුය.
සමහර සංශෝධනවලට යටත්ව 2010 අගෝස්තුවේ ඉදිරිපත් කළ ව්‍යවස්ථා පනතේ ඇතුළත් කර තිබූ ලැයිස්තු දෙක භාවිතා කරනු ඇත.
එක් කමිටු සාමාජිකයෙකුගේ මතය වූයේ සමගාමී ලැයිස්තුව ඒ ආකාරයට ම පවත්වා ගත යුතු බවයි. ඔහුගේ තර්කය වූයේ එම ලැයිස්තුව ඉවත් කිරීමෙන් යම් කිසි පළාතක සුළුතර කණ්ඩායමක් ආරක්ෂා කිරීමට මධ්‍යම රජයට ඇති බලය අඩුවන බවයි. කෙසේ වෙතත්, පොලිස් බලතල, ඉඩම් බලතල, අන්තර්ජාතික ප්‍රදාන, සෘජු විදේශ ආයෝජන, ජාත්‍යන්තර සංවර්ධන ආධාර, පරිසරය, ජාත්‍යන්තර ණය, යුක්තිය පසිඳලිම හා පුරාවිද්‍යා වැඩබිම් ආදිය පළාත් සභාවට නොදෙන්නේ නම් ලැයිස්තු දෙකක් පවත්වා ගැනීමට ඔහු එකඟ විය. එසේ නැත්නම් මෙම සාමාජිකයාගේ මතය වූයේ සමගාමී ලැයිස්තුව පවත්වා ගත යුතු බවයි.
කුෂාන් ද අල්විස්, ජ.නී.

v. පොලිස් බලතල

මුළු රටට ම සිටිය යුත්තේ එක් පොලිස් බලකායකි. කෙසේ වෙතත් පළාත තුළ නීතිය හා සාමය සම්බන්ධයෙන් මහ ඇමතිට හා අමාත්‍ය මණ්ඩලයට උත්තර දීමට හා වගකීමට පළාතේ පොලිසිය බැඳී සිටි. අපරාධ වැළැක්වීම, විමර්ශනය හා සැකකරුවන්ට නඩු පැවරීම ආදිය සම්බන්ධයෙන් පළාත තුළ පොලිසිය, පළාතේ දේශපාලන නායකයන්ගෙන් ස්වාධීනව කටයුතු කළ යුතු වේ.
මෙම කරුණ සම්බන්ධයෙන් සෑම පළාතක ම ප්‍රොසිකියුටර් ජෙනරාල්වරයෙකු සිටින අතර පළාත තුළ අපරාධ වැළැක්වීම, විමර්ශනය හා සැකකරුවන්ට නඩු පැවරීම ආදිය ඔහුගේ වගකීම වෙයි. සහකාර පොලිස් අධිකාරී තනතුරෙන් පහළ පළාත් පොලිස් නිලධාරීන්ගේ මාරු කිරීම්, සේවයෙන් පහ කිරීම් හා විනයානුකූල කටයුතු ආදී කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට පළාත් පොලිස් කොමිසමක් පිහිටුවනු ඇත. පළාත් පොලිස් කොමිසමේ සංයුතිය මෙසේය:
අ. සභාපති පළාතේ ආණ්ඩුකාර විසින් පත් කෙරේ.
ආ. මහ ඇමති විසින් නම් කරනු ලැබූ තැනැත්තෙකු
ඇ. ජාතික පොලිස් කොමිසම විසින් නම් කරනු ලැබූ තැනැත්තෙකු
vi රජයේ ඉඩම්
මේ සම්බන්ධයෙන් කමිටුවේ එකඟත්වයක් නොවූ බැවින් නිර්දේශ දෙකක් පහත දක්වමු.

1) කමිටු සාමාජිකයන් බොහෝ දෙනෙකුගේ යෝජනාව

රාජ්‍ය ඉඩම්, ඉඩම් පැවරීම, ඉඩම් භාවිතය, මානව ජනාවාස හා අනිකුත් අදාළ කරුණු ඇතුලු ව ඉඩම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජාතික ඉඩම් කොමිසමක් ස්ථාපිත කිරීම. ඉඩම් භාවිතය, ජනාවාස හා ඉඩම් පැවරීම ආදි ප්‍රතිපත්තිවලදී ප්‍රදේශයේ ජනතාවට ප්‍රමුඛත්වයක් දිය යුතුය. ජාතික ඉඩම් කොමිසම වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වැනි පරිශිෂ්ටයේ 2.4 හා 2.5 හි සඳහන් කර ඇති මූලධර්ම අනුගමනය කළ යුතුය. පළාත් සභා හා රජයේ ආයතන විසින් ඉඩම් පැවරීම හා ඉඩම් භාවිතය ගැන තීරණය කිරීමේ බලය ජාතික ඉඩම් කොමිසමට ලබාදිය යුතුය. මධ්‍යම රජය හා පළාත් සභා අතර ආරවුලක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් ජාතික ඉඩම් කොමිසම තීරණය කරනු ඇත. ජාතික ඉඩම් කොමිසමේ තීරණය සමග එකඟ නො වන ඕනෑ ම පාර්ශවයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය/ශ්‍රේෂ්ඨාධිකරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිසුරු මඬුල්ලට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි වේ. පළාත් පාලන ආයතනවලට තමන්ගේ කටයුතු සඳහා, රජයේ අනිත් මට්ටමවලට යටත්ව, රජයේ ඉඩම් ලබා ගත හැකිවේ.
ජාතික ඉඩම් කොමිසමේ සංයුතිය මෙසේ විය යුතුය.
අ. සියලු ම ප්‍රධාන අමාත්‍යවරුන්
ආ. ඉඩම්, වාරිමාර්ග, මහවැලි හා නාගරික සංවර්ධනය යන විෂයයන් භාර ඇමතිවරුන්
ඇ. ඉඩම් හා ඉඩම් සංවර්ධනයට අදාළ අමාත්‍යංශවල ප්‍රධානීන්, නිල බලයෙන් පත්වූ සාමාජිකයන් ලෙස
ඈ. සිංහල, දෙමළ. මුස්ලිම් හා මලයහ (කඳුරට) දෙමළ ජනයා නියෝජනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ නිර්දේශ මත ජනාධිපති විසින් පත් කරන සාමාජිකයන් හතර දෙනෙක්.

2) කමිටු සාමාජිකයන් දෙදෙනෙකු යෝජනා කළේ පහත පරිදි වේ.

පළාතක රජයේ ඉඩම් යනු එම පළාතේ නීති සම්පාදක හා විධායක ආයතන, කටයුතු කළ යුතු විෂයයක් වේ. සංවෘත ලැයිස්තුවේ නියම කර ඇති ඔවුන්ගේ කාර්ය ක්ෂේත්‍රය යටතට එන ඕනෑ ම කටයුත්තක් සඳහා නීත්‍යනුකූල ව භාවිතයට ගැනීම සඳහා ඕනෑ ම ඉඩම් කැබැල්ලක් නිදහස් කරන ලෙස පළාතේ විධායකයෙන් ඉල්ලා සිටීමට මධ්‍යම රජයට අධිකාර බලය තිබේ. සංවෘත ලැයිස්තුව යටතට එන ඕනෑ ම නීත්‍යනුකූල කටයුත්තක් සඳහා මධ්‍යම රජයට භාවිතයට ගැනීමට රජයේ ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීම පළාත් විධායකයේ වගකීමක් වේ.
මධ්‍යම රජයට කිසියම් පළාතක ඕනෑ ම ආයතනයක් හෝ ව්‍යවසායක් පිහිටුවීමට අවශ්‍ය වූ විට එම පළාතේ එවැනි ආයතනයක් හෝ ව්‍යවසායක් පිහිටුවීමේ යෝග්‍යතාව පිළිබඳ ව අදාළ පළාත් විධායකය සමග සාකච්ඡා කිරීම මධ්‍යම රජයේ වගකීමක් වේ. අදාළ පළාතේ විධායකය සමග සාකච්ඡා කර සහයෝගී හා එකඟත්ව ක්‍රියාවලියකින් තොරව ආයතන හෝ ව්‍යවසාය පිහිටුවීමට මධ්‍යම රජය පියවර නො ගත යුතුය.
තම භූමි ප්‍රදේශය තුළ රජයේ ඉඩම් භාවිතයට ගැනීමේදී වන ආවරණය, අන්තර් පරම්පරා සාධාරණතාව, කෘෂිකාර්මික තිරසර බව, ඉඩම් කැබලි කිරීම, ඉඩම් අහිමි බව ආදිය සැලකිල්ලට ගනිමින් උචිත උපයෝගීකරණ භාවිතයන් සම්බන්ධයෙන් රාජ්‍ය ඉඩම් කොමිසමෙන් නිකුත් කර ඇති ප්‍රතිපත්ති උපදේශ පළාත් විධායක විසින් පිළිපැදිය යුතු වේ.
රාජ්‍ය ඉඩම් භාවිත කොමිසම, කේන්ද්‍රය හා පළාත්වල අපේක්ෂා නියෝජනය කරන අපක්ෂපාත සාමාජිකයන් ගණනකින් සමන්විත විය යුතු අතර මෙම ආයතනයේ වගකීම් හා බලතල සකස් කළ යුත්තේ, එම පළාතේ නියෝජිතයාගේ එකඟත්වයකින් තොරව, මෙම ආයතනයේ තීරණයක් එම පළාතේ ක්‍රියාත්මක කළ නො හැකි ආකාරයටයි.
එස්. තවරාජා; එස්.සෙල්වක්කුමාරන්

vii පළාත් රාජ්‍ය සේවය

මහජනයාට ලබා දෙන පළාත් හා පළාත් පාලන සේවා ගැන අදාළ ලැයිස්තුවල සඳහන් විය යුතු අතර මහජනයාට කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සේවය කිරීමට අදාළ ආණ්ඩුවට බලය ලබා දිය යුතුය.

viii කේන්ද්‍රයෙන් පළාත්වලට බලයපැවරීම

මධ්‍යම රජය යටතට පැවරෙන විෂයයන්හි කටයුතු, පළාත් හා පළාත් පාලන මට්ටමේ පරිපාලකයින් මගින් ක්‍රියාත්මක කිරීමට බලය පැවරීමට මධ්‍යම රජය බලගැන්විය යුතුය.

ix පරිසරය

පළාත්වලින් ද, නියෝජිතයන් ඇතුළත් වන, ජාතික පරිසර කොමිසමක් ස්ථාපිත කළ යුතුය. පරිසරය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කර ප්‍රකාශයට පත් කිරීමට කොමිසමට බලය පැවරෙනු ඇත. මෙම ප්‍රතිපත්තිවලට යටත්ව පරිසරය පැවරූ විෂයයක් වන අතර සෑම විෂයයකම පරිසර අංග පිළිබඳ කටයුතු රජයේ අදාළ ස්තරයෙන් සිදුවනු ඇත. උදාහරණයක් වශයෙන් නිවාස, පළාත් සභා විෂයයක් වන අතර එහි පරිසර අංශය පිළිබද ව පළාත් සභාව කටයුතු කරනු ඇත. අන්තර්-පළාත් වාරිමාර්ග, මධ්‍යම රජයේ විෂයයක් වන බැවින් එහි පරිසර අංශය ගැන මධ්‍යම රජය කටයුතු කරනු ඇත.

10 පරිච්ඡේදය – පළාත් පාලනය

10.1 නිර්දේශ
‍පහත දැක්වෙන ආකාරයට අපි විකල්ප නිර්දේශ දෙකක් යෝජනා කරමු.

1. දැනට පවතින මහනගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවලට අමතරව, අනිත් කටයුතු අතර තම පෙදෙසේ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වීමට, ගම් මට්ටමේ ග්‍රාමීය ජන සභාවක් (ග්‍රාම රාජ්‍යයක්) පිහිටුවීම. පළාත් පාලන ආයතනවල කටයුතුවලදී උපදේශක හා අධීක්ෂණ කාර්ය භාරයක් ඉටු කිරීමට මෙම ග්‍රාමීය ජනසභාවලට බලය තිබිය යුතු ය. මෙම ග්‍රාමීය ජන සභා, අදාළ පළාත් පාලන ප්‍රදේශ තුළ මහජන උපදේශන ආයතන ලෙස සැලකෙනු ඇත.

වතුවල මානව ජනාවාස ද, ගම් පද්ධතියේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු අතර ඒවා ග්‍රාමීය ජන සභා, ප්‍රාදේශීය සභා, නගර සභා හා මහනගර සභාවල කොටසක් ලෙස සැලකිය යුතුය.

එම ප්‍රදේශවල ජනතාවගේ යහපත සඳහා කටයුතු කිරීමටත්, පරිපාලනමය වශයෙන් සම්බන්ධීකරණය කිරීමටත් ග්‍රාමීය ජන සභා, ප්‍රාදේශීය සභා, නගර සභා හා මහනගර සභා වලට බලය පැවරිය යුතුය.

2. දැනට ඇති ප්‍රාදේශීය සභා මෙම කාර්යය සඳහා විශාල වැඩි බැවින් දැනට ඇති නාගරික සභා හා මහනගර සභාවලට අමතරව ගම් සභා හා සුළු නගර සභා ස්ථාපිත කළ යුතුය.

වතුවල මානව ජනාවාස ගම් පද්ධතියේ කොටසක් ලෙස ප්‍රකාශ කර ගම් සභා, සුළු නගර සභා, නාගරික සභා හා මහනගර සභාවල කොටසක් කිරීම නිර්දේශ කෙරේ.

එම ප්‍රදේශවල ජනතාවගේ යහපත සඳහා කටයුතු කිරීමටත්, පරිපාලනමය වශයෙන් සම්බන්ධීකරණය කිරීමටත් ග්‍රාමීය ජන සභා, ප්‍රාදේශීය සභා, නගර සභා හා මහනගර සභා වලට බලය පැවරීම නිර්දේශ කෙරේ.