අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය – ගණනාථ ඔබේසේකර (1 කොටස)

පරිවර්තනය – ©දිමුතු සමන් වෙත්තසිංහ

“1818 දී බ්‍රිතාන්‍යයන්ට එරෙහි විරෝධතා අරගල සමයේ බිබිලේ (වෙල්ලස්ස නම්) සහ ඒ ආසන්න මගේ වර්තමාන ක්ෂේත්‍ර පර්යේෂණ ප්‍රදේශයේ සිංහල පවුල් කිහිපයක් නැගෙනහිර වෙරළට පලා ගොස් එහිදී සිංහල වාසගම් නාම සහිත දෙමළ කතා කරන්නන් බවට පත්විය. සුළු ආකාරයකින් හෝ ඔවූහු අප වත්මනෙහි නැගෙනහිර වෙරළ යැයි පවසන ප්‍රදේශයෙහි සංස්කෘතික සාරවත්භාවය පෝෂණය කිරීමට දායක වූහ. නමුත් ඊටත් වඩා ගැඹුරට ගිය තවත් න්‍යාය පත්‍රයක් මට තිබේ. ශ්‍රී ලංකාව වෙත දකුණු ඉන්දීය ජනයාගේ නිරන්තර සංක්‍රමණය ඉස්මතු කෙරෙන්නේ මෙමගිනි. මෙය බොහෝ සිංහල බෞද්ධයන්ගේ ද්වේශයට ලක්වන අදහසකි. මේ වන විට අපි මෙම සංක්‍රමණ සමහරක් නිශ්චිතව පෙන්නුම් කිරීමට අපට උපකාරී වන කෝට්ටේ සහ නුවර යුගවල ලියැවුන සිංහල ග්‍රන්ථ එකතු කිරීමේ ක්‍රියාවලියක නියැලී සිටිමු……………………………මෙම ග්‍රන්ථවලින් කියවෙන්නේ වැන්සි බටහිර ආසියාවේ ජනප්‍රිය වෙළඳ මධ්‍යස්ථානයක් බවත්, සාමාන්‍ය ගැමියෝ මාතෘ දේවතා ඇදහිල්ල මධ්‍ය කරගත් ද්‍රවිඩ ජන ආගම යැයි පවසන දෙයට කැප වී සිටිය ද, වෙළදාම පැවතියේ බුද්ධාගම, ජෛනාගම සහ ආජිවක ලබ්ධිය ආදී වෛතුල්‍යවාදී ආගම් අත බවත් ය.ඉහත සඳහන් කළ කෘති දෙකම ලියා ඇත්තේ දෙමළ භාෂාවෙනි;සිංහල යාතු කර්මීය කෘති සම්බන්ධයෙන් ද මෙය සත්‍ය බව අපගේ පූර්ව සාකච්ඡාවෙන් පෙන්නුම් කෙරේ. සෑම අතින්ම විය හැකි දෙය නම් මෙම කෘති රචනා කර තිබුණේ මෙම ප්‍රදේශයේ මලයාලි භාෂාව වර්ධනය වීමට පූර්වයෙන් දෙමළ කේරලයේ භාෂාව වූ කාලයේ බව මින් වැඩිදුරටත් අදහස් කෙරේ. එමනිසා පත්තිනි ඇදහිල්ලේ යාතුකර්මීය ග්‍රන්ථ සිංහල ප්‍රදේශවලට ගෙන එන ලද්දේ දෙමළ කථා කරන කේරල සංක්‍රමණිකයන් යන්න විය හැකි කරුණකි…………………………1344 අභිලේඛනයක් වැන්සි වල වාසය කළ අලගක්කෝණාර කෙනෙකුගේ දසවන අනුප්‍රාප්තිකයා මහාමාත්‍ය අලගක්කෝණාර ගැන සඳහන් කරයි. මෙම වංශාවලිය නිවැරදි නම් අලගක්කෝණාර වන්සි වල සිට පැමිණ ඇත්තේ ක්‍රි.ව. 1100 දී හෝ ඒ ආසන්නයේ දී ය. මෙහෙනවර පවුල ආරම්භයේ දී වෙළෙන්දන් වුවත් දැදිගම සහ ගම්පොල රාජසභා නිළධාරීන් ලෙස බලවත් වන අතර ඔවුන්ගේ ප්‍රථම රජු හතරවන බුවනෙකබාහු 1341 දී සිංහාසනාරූඩ වේ…………….මෙම පවුල් දෙකම වඩා පීතෘ වංශික සහ ද්විපාර්ශ්වික නැඹුරුවක් ඇති සිංහල ජනයා අතර ජීවත් වූ හෙයින් තම මාතෘ වංශික රීති බාගදා අවඥාසහගතව සැළකු තත්වයක් යටතේ පවා මාතෘ වංශික පෙළපත අනුගමනය කළේය. අලගක්කෝණාර කෙනෙක් වූ වීරබාහු අප්නාට තම මස්සිනා වන කෝට්ටේ රාජ්‍යයේ රාජත්වය හෙබවූ පස්වන බුවනෙකබාහුගෙන් යුව රජකම ලැබේ.සියලු අලගක්කෝණාරවරු සහ මෙහෙනවරු බෞද්ධයන් වූ අතර බෞද්ධ ආයතන වලට සහයෝගය දැක්වූහ.”

ඔබේසේකරගේ කෘතිය

ඔබේසේකරගේ කෘතිය

ආචාර්ය නීලන් තීරුචෙල්වම් අනුස්මරණය වෙනුවෙන් මහාචාර්ය ගණනාථ ඔබේසේකර 2004 වසරේ ජූලි 29 දින ජනවාර්ගික අධ්‍යයන කේන්ද්‍රයේ දී කරන ලද මෙම දේශනය The Matrilineal East Coast Circa 1968: Nostalgia and Post Nostalgia in Our Troubled Time වශයෙන් 2004 දී පල විය. එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් කරුණා කණ්ඩායම බිඳී ගොස් හටගත් අභ්‍යන්තර යුද්ධයෙන් නැගෙනහිර පළාත උණුසුම්ව තිබූ තත්වයක් තුළ ඒ පිළිබඳ සඳහනක් මෙම දේශනයේ ආරම්භයේ වෙයි.


ලංකා ඉතිහාසය පිළිබඳ මුල්කාලීන කෘති හා සැසඳීමේදී මහාචාර්ය ඔබේසේකරගේ මෙම රචනාව සමග Buddhism Nationhood and Cultural Identity, The Coming of Brahmin Migrants: The Śudra Fate of an Indian Elite in Sri Lanka සහ The Many Faces of the Kandyan Kingdom, 1591-1765: Lessons For Our Time? යන රචනා ඥාන මීමංසාත්මකව සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරන බව පැවසිය හැක්කේ මහාචාර්ය ඔබේසේකරගේ ග්‍රන්ථාවලී සංකරණයෙන් සහ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර සහ නන්දන වීරරත්න සංස්කරණයෙන් පලවූ දුර්ලභ ඓතිහාසික ග්‍රන්ථ නම් මහනුවර සහ කෝට්ටේ යුගවල ප්‍රාදේශීය ග්‍රන්ථ වලින් හෙලිවන අප්‍රකට ඉතිහාස අධ්‍යයනය තුළ ඒවා පිහිටුවිය හැකි නිසාය. කෙසේ නමුත්, මෙම ලිපිය හෙලන අන්තර් දෘෂ්ටීන් ජනවාර්ගිකත්වය, කුලය, ආගම පිළිබඳ අධිපති ඉතිහාස ආඛ්‍යානයන් ගැටළුවට ලක් කරන බව පැහැදිළිය.

1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය – ගණනාථ ඔබේසේකර – (1 කොටස)

පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ

මා හිතමිත්‍ර සිතී තිරුචෙල්වම් සහ රාධිකා කුමාරස්වාමි නීලන්ගේ අනුස්මරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ යන මාතෘකාව යටතේ දේශනයක් කරන්නැයි මට ඇරයුම් කළ විට මා මුලින් ප්‍රතික්ෂේප කළත් අවසානයේ ඔවුන්ගේ සිතැඟි ඉටු කිරීමට සිදු විය. මක්නිසාද නීලන් මගේ සමීප මිතුරෙකු වූ නිසාත් ‘බෑ කියන්න බෑනේ’යන පැරණි සිංහල කියමන සිහිපත් වූ නිසාත්ය.

මගේ පැකිලීමට හේතුව ඉතා පැහැදිළිය. එම ප්‍රදේශයේ ජනවාර්ගික ගැටුම ඇතිවූ දා පටන් මම නැගෙනහිර වෙරළ ප්‍රදේශයට ගොස් නොමැති අතර මා වැනි බියගුල්ලන්ට නිරුපද්‍රිත අද පවා එම ප්‍රදේශය පිළිබඳ මා තුළ ඇති අතීතකාමය සිංහල මෙන්ම දෙමළ හමුදාවන් විසින් කරන ලද යුද ප්‍රචණ්ඩත්වයේ, වදහිංසාවේ සහ භීෂණයේ භෞතික සහසිද්ධීන්ගෙන් බිඳී යාම අත්දැකීමට මා අකමැතිය.මෙම ප්‍රදේශය පිළිබඳ කථා කිරීමට මා පැකිලෙන තවත් සිතුවිල්ලක් නම් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අතර අභ්‍යන්තර යුද්ධයක් පවතින තත්වයක් තුළ වර්තමානයේ එය උණුසුම් මාතෘකාවක් වන නිසාය. එම ගැටළුව ආමන්ත්‍රණය කිරීමට මට සුළුවෙන් හෝ හැකිදැයි සැක සහිත වන නමුත් ත්‍රීකුණාමලයේ සිට පහලට ඉතා දකුණ ප්‍රදේශයට වන්නට ඇති පානම දක්වා, පහසුව සඳහා මඩකළපු සංස්කෘතික ප්‍රදේශය යනුවෙන් හැඳින්විය හැකි නැගෙනහිර වෙරළේ දේශපාලන, සමාජ, සංස්කෘතික ගැටළු සම්බන්ධයෙන් මට යම් යම් සංස්කෘතික අන්තර් දෘෂ්ටීන් සළසා දිය හැකිය.ජනවාර්ගික ගැටුම සම්බන්ධයෙන් නීලන් සහ මා අතර එකඟත්වයක් නොතිබුයේ ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් පමණක් වන අතර කෙසේ නමුත් නැගෙනහිර වෙරළ මෙයින් එකකි. මක්නිසාද, පරිකල්පිත වේවා, සැබෑ වේවා කවරහෝ සාම ගිවිසුමක දී මඩකලපුව දිස්ත්‍රික්කය තීරණාත්මක සාධකයක් විය හැකි බව මා විශ්වාස කළෙමි. බාගදා මගේ මෙම අගතිය මට මෙම දේශනය අතරතුර සාධාරණීකරනය කිරීමට හැකිය. අපගේ අර්බුදකාරී යුගයේ පර්යාවලෝකයෙන් නොව හැටගණන් වල අවසාන කාලයේ මෙම ප්‍රදේශයේ මා කළ ක්ෂේත්‍ර පර්යේෂණ පිළිබඳ ආවර්ජනය කිරීම මගින් මා මෙය සිදු කරන්නෙමි. නමුත් වෙබ්ස්ටර් තම මිනීවලෙන් නැගිට මෙසේ පවසනු ඇත.”නමුත් ඒ තවත් රටකය, ඒ හැරත් කෙල්ල මැරිලාය. එසේවුවත් මා පවසන්නේ ඒ වෙනත් රටක බව ස්ථීරය, නමුත්, කෙල්ල තවම ජීවතුන් අතර වියහැක. නැත්නම්,එතරම්ම සනීපෙන් විය හැක.” මම මෙම ප්‍රදේශයට තවත් හේතුවක් නිසා ඇල්මක් දක්වමි. 1818 දී බ්‍රිතාන්‍යයන්ට එරෙහි විරෝධතා අරගල සමයේ බිබිලේ (වෙල්ලස්ස නම්) සහ ඒ ආසන්න මගේ වර්තමාන ක්ෂේත්‍ර පර්යේෂණ ප්‍රදේශයේ සිංහල පවුල් කිහිපයක් නැගෙනහිර වෙරළට පලා ගොස් එහිදී සිංහල වාසගම් නාම සහිත දෙමළ කතා කරන්නන් බවට පත්විය. සුළු ආකාරයකින් හෝ ඔවූහු අප වත්මනෙහි නැගෙනහිර වෙරළ යැයි පවසන ප්‍රදේශයෙහි සංස්කෘතික සාරවත්භාවය පෝෂණය කිරීමට දායක වූහ. නමුත් ඊටත් වඩා ගැඹුරට ගිය තවත් න්‍යාය පත්‍රයක් මට තිබේ. ශ්‍රී ලංකාව වෙත දකුණු ඉන්දීය ජනයාගේ නිරන්තර සංක්‍රමණය ඉස්මතු කෙරෙන්නේ මෙමගිනි. මෙය බොහෝ සිංහල බෞද්ධයන්ගේ ද්වේශයට ලක්වන අදහසකි. මේ වන විට අපි මෙම සංක්‍රමණ සමහරක් නිශ්චිතව පෙන්නුම් කිරීමට අපට උපකාරී වන කෝට්ටේ සහ නුවර යුගවල ලියැවුන සිංහල ග්‍රන්ථ එකතු කිරීමේ ක්‍රියාවලියක නියැලී සිටිමු.මගේ කතාවට ඇතුලත් නොවන්නේ දැනටමත් රීත්‍යානුකූලව නැගෙනහිර වෙරළ තුළ තිබෙන ත්‍රීකුණාමලය සහ එහි උතුරු ප්‍රදේශයයි; තවද මෙයින් අප සිහියට ගත යුතු දෙය නම් ශ්‍රී ලංකාවේ සියලුම පළාත් මෙන් නැගෙනහිර පළාත ද යටත් විජිත නිර්මාණයක් වූ බවය.එතැන් පටන් මෙම යටත් විජිත නිර්මාණය දේශපාලන වැදගත්කමක් ගන්නා තැනට පත් වූ අතර කෙසේ නමුත් පැරණි දේශපාලන සැකැස්ම සතුව තවම යම් අරුතක් තිබේ. මඩකලපු ප්‍රදේශයේ සිට අක්කරෙයිපත්තු දක්වා ප්‍රදේශය මා ක්ෂේත්‍ර පර්යේෂණ කළ සමයේ දෙමළ සහ මුස්ලිම් මාතෘ වංශික ජනයාගේ සාම්ප්‍රදායික නිජබිම විය.අක්කරෙයිපත්තුවෙන් දකුණු දෙසට වන්නේ පානම ගම්මානයයි. සිංහල සහ මාතෘ වංශික නොවන්නන් සහමුලින්ම අන්තර්වාර්ගික විවාහ පිළිගත්තේ කෙළෙස ද යත් එකම පවුලේ සාමාජිකයන් අතර පවා සිංහල සහ දෙමළ පුද්ගල නාම පැවතීමට එහිදී හැකිවිය. මුතු බණ්ඩා සහ සුබ්‍රමනියම් එවැනි නිදර්ශනයන්ය. පානම ආරම්භයේ දී ඌවට අයිති ප්‍රදේශයක් වූ අතර එහි දිසාවේවරයාගේ (රජු පත්කරන ආණ්ඩුකාරවරයා ) අධිකරණ සීමාව යටතේ විය. බාගදා පානම ප්‍රදේශයට නුවර රජුට සෘජු වගකීමක් ඇති තමාගේම ප්‍රාදේශීය ප්‍රධානියෙක් විය. අනෙක් අතට මඩකලපු ප්‍රදේශය ( කෙනෙක් මෙයට ත්‍රීකුණාමලයත් එකතු කිරීමට ඉඩ තිබේ) නුවර රජුට සෘජු පක්ෂපාතභාවයකින් බැඳුනා වූ මුක්කුවාර්වරුන්ගේ ආධිපත්‍යය යටතේ විය.මෙම ප්‍රදේශය පෘතුගීසි සහ ලන්දේසි නාමික පාලනය යටතට පත්වීමෙන් පසුව පවා එසේ පැවතුණි. මා මුලින් ක්ෂේත්‍ර පර්යේෂණ කළ කාලයේ පෙර සඳහන් කළ කරුණට පිළිගැනීමක් ලැබෙන බොහෝ ග්‍රන්ථ මා එකතු කර ගත් අතර මා වර්තමානයේ කරන ක්ෂේත්‍ර පර්යේෂණවල දී දෙවැනි රාජසිංහ රජු දේශපාලන සංධානයන් ශක්තිමත් කිරීමේ මගක් ලෙස මෙම ප්‍රදේශයෙන් කුමාරිකාවක් විවාහ කරගැනීම පිළිබඳ සඳහනක් ඇති පුරාවෘත්ත මා එකතු කර තිබේ.

පානම පතිතිනි පිදීම

පානම පතිතිනි පිදීම

දෙමළ භාෂාව නූගත් මා වැන්නෙක් නැගෙනහිර වෙරළට සම්බන්ධ වූයේ කෙසේ ද? 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ මූලික උපාධිය ලැබු මා කාලයත් සමග පිදෙන විශ්ව විද්‍යාල රැකියාවක් ලබා සාහිත්‍යය පිළිබඳ දර්ශනශූරී උපාධියක් පසුව කිරීමේ මග ගැනීම වෙනුවට මානව විද්‍යාව වෙත හැරුණේ එම විෂය පිළිබඳ සමකාලීන න්‍යායික සාහිත්‍යය පිළිබඳ කිසිදු සැබෑ දැනුමකින් තොරවය. උපාධි අපේක්ෂකයෙකුව සිටි සමයේ සියලු ආකාරයේ සාමූහික යාතුකර්ම දුටු මා පත්තිනි දේවතාවිය පිළිබඳ ඇදහිල්ල සම්මත ක්ෂේත්‍ර පර්යේෂණ ක්‍රමය වූ හුදෙක් එක් ග්‍රාමීය පිහිටුමක් තුළ පමණක් කිරීම වෙනුවට සමස්ථ ශ්‍රී ලංකාවේම අධ්‍යයනය කිරීමට තීරණය කළෙමි. මෙහිදී මම පත්ත්නි ඇදහිල්ල තල කිහිපයකම සංස්ථාපනය වී තිබු බව පැවසීම හැර එම කල්පිත කථාංගයේ සවිස්තර වෙත යාමට බළාපොරොත්තු නොවෙමි.ප්‍රථමයෙන් උතුරු වන්නිය (වනගත ප්‍රදේශය ) හැර රටේ සිංහල කතා කරන සියලු ප්‍රදේශ වල පත්තිනි දේවතාවිය සඳහා දේවාල මෙන්ම වාර්ෂික පූජෝත්සව පැවැත්වේ. දළ වශයෙන් වර්තමාන උතුරුමැද සහ වයඹ පළාත් වලට අයත් වන වන්නියේ අධිපති ඇදහිල්ල වන්නේ ගනේෂ් නමින් හඳුන්වන පුල්ලෙයාර් ඇදහිල්ලයි. දෙවනුව, ප්‍රාදේශීය මට්ටමක දී පත්තිනි ඇදහිල්ල සංස්ථාපනය වී ඇත්තේ බොහෝ දුරට බටහිර, දකුණු සහ සබරගමු පළාත්වල ගම්මඩුව ලෙසින් හඳුන්වන අස්වනු නෙලා ගත් පසු තුති පූජා කිරීමේ ( බාර ඔප්පු කිරීමේ ) යාතුකර්මීය සංකීර්ණයක් ලෙසය. සාමාන්‍යයෙන් ගම්මඩුවට අනුග්‍රහ දක්වන්නේ ගමක් හෝ ගම් සමූහයක් වන අතර කපුරාලලා යනුවෙන් හඳුන්වන පරිව්‍රජක පූජකයන් සහ ඔවුන්ගේ සහායකයන් සහ බෙරවාදකයන් මඩු නටති. ප්‍රධාන යාතුකර්මීය චක්‍රය රඟ දැක්වීමට කපුරාල සහ ඔහුගේ පිරිස ගමේ සුවිශේෂ ප්‍රදේශයක් පවිත්‍ර රඟබිමක් ලෙස සීමා නියම කොට කැප කරයි.දිව්‍යලෝකයේ දෙවියන්ට තම මහිමයෙන් ගමට වඩින ලෙස එතැන් පටන් ආරාධනා කරති. ගම්මඩුවේ මුල්තැන දරණ දේවතාවිය පත්තිනි දේවතාවිය වුවත් ප්‍රාදේශීය දේවගණයේ දේවතාවන්ට රඟබිමට වඩින ලෙස ආරාධනා කරයි. ගායනය කරන හෝ නාට්‍යානුසාරයෙන් නිරූපණය කරන පාඨ, කවි 35 ක දිගකින් යුතු පරිපූර්ණ එකතුවකට (පන්තිස් කෝල්මුර) අයත් වන අතර මෙයින් සමහරක් ක්ෂය වී යමින් තිබේ.යාතු කර්මීය නාටක මූලික වශයෙන් දෙවර්ගයකි: හාස්‍යජනක සහ අශ්ලීල ඒවා භාව විරේචන ඒවා ලෙස නම් කරන අතර ඝෝර අභිනයන්ගෙන් යුතු අනෙක් රාශිය මම ඩ්‍රොමීනා ලෙස හඳුන්වමි. පසුව සඳහන් කල ඒවා අතරින් ඉතා බලවත් දේ හඳුන්වන්නේ දේවතාවියගේ වල්ලභයා වන පාලඟ ( දෙමළ භාෂාවෙන් කොවුලාන හෝ පලඛාර් ) ඝාතනය සහ කිපුන දේවතාවිය විසින් ඔහු මලවුන්ගෙන් නැගිටවීම හා බැඳුනු මරා ඉපැද්දීමයි.මෙම යාතුකර්මීය නාටකයේ නිරූපණය කෙරෙන කථාන්තරය සීලප්පටිකාරම් නම් ශ්‍රේෂ්ට දෙමළ සම්භාව්‍ය ග්‍රන්ථයේ විස්තර කර ඇති පත්තිනි දේවතාවියගේ ජීවිත කථාවට තරමක් සමීපය. 60 ගණන් වල පවා මෙම අභිනය දැක ගැනීම විරල වූ අතර එය තවදුරටත් රඟ දැක්වෙන්නේ නැත. තෙවනුව පත්තිනි දේවාල සහ ගම්මඩුවේ වාර්ෂික යාතු කර්මවලට අමතරව දේවතාවිය සහ ඇයගේ වල්ලභයා ආශ්‍රිත යාතු කර්මීය ක්‍රීඩා දෙකක් තිබේ. පොල් කෙළිය සහ අං කෙළිය යන මෙම ක්‍රීඩා දේවාල පූජෝත්සව සමයේ ගම්මඩුවක දී එසේත් නැතහොත් එම අවස්ථා දෙකම නැති විශේෂයෙන්ම දීර්ඝ නියං කාල වලදී රඟ දැක්වේ.මෙම ක්‍රීඩා දෙකෙහිදීම ගම සහ සමූහය තමන්ම පිල් දෙකකට බෙදාගන්නා අතර උඩු පිල වල්ලභයාගේත් යටි පිල පත්තිනි දේවතාවියගේත් විය. අංකෙළිය පිළිබඳ මා සංක්ෂිප්ත සඳහනක් කරන්නේ නම් මෙහිදී ගෝනෙකුගේ හෝ ලීයෙන් නිම කර වෙස්ගැන්වූ අං යුගලක් එකට අමුණා කඹයකට ගැට ගසා එක අනක් කැඩෙන තුරු එම කඹය දෙපිළම අදිති. සාමාන්‍යයෙන් අංකෙළිය දින කිහිපයක් පවත්වන අතර එම ක්‍රීඩාව කෙසේ පිළියෙල කරගෙන ඇත්දැයි කිවහොත් දෙපිළම මාරුවෙන් මාරුවට ක්‍රීඩාව ජය ගනිමින් අවසන් දිනයේ දී පමණක් දෙපිළම ජය ගනිති.ජය ගන්නා පිළ පරාජිත පිළට අවමන් කරන අතර එවකට තොරාගත් අසභ්‍ය ක්‍රියා හා වචන වල පටලැවීම අසා දැකගැනීමට මා හට නම් වාසනාව තිබුණි.

සිංහල ගම්මඩුවක ප්‍රධාන කපුරාල පත්තිනි නැටීම

සිංහල ගම්මඩුවක ප්‍රධාන කපුරාල පත්තිනි නැටීම

මා ගවේෂණය කරන ගැටලුවක් නම් සිංහල කතා කරන බෞද්ධයන් අතර පත්තිනි ඇදහිල්ල කවර කාලයේ ස්ථාපිත වූයේ ද යන ප්‍රශ්නයයි. මා සන්තකයේ ඇති කෘති ඇත්තේ කෙනෙක් නූතන සිංහල යැයි හඳුන්වන භාෂාවෙන් වන අතර නෙවිල්ගේ එකතුවේ ඇති ඒවාද ඇතුලත් පැරණි කෘති 16 වන ශතවර්ෂයෙන් ඔබ්බට පැවත එන ඒවා විය නොහැක. මින් හුදෙක් අදහස් වන්නේ මෙම කෘති මුඛ සම්ප්‍රදායෙන් පැවතගෙන විත් අප ඉහත දැක්වූ කාලයේ ලියා තබා ඇති බවත් ඇදහිල්ලේ ආරම්භය පිළිබඳ කිසිම හැඟවීමක් මින් නොලැබෙන බවත්ය. කෙසේ නමුත් කෘති කිහිපයක් යම් යම් සිත්ගන්නා සුළු ඉඟි අපට ලබා දේ. ඉන් එකක් නම් දෙමළ සිංහල කවි වේ. එය සිංහල පද්‍යයකට පසුව එන වෙස්ගැන්වූ දෙමළ පද්‍යයකින් සමන්විත වේ.

මෙම කෘතියේ ඇති පහත වාක්‍ය දෙක සළකා බලන්න.

දෙමළෙන් 700,000 ක් පද්‍ය ලියා ඇත. දෙමළ කෘතියේ සංඥා හොඳින් තේරුම් කර ගැනීමට දින 7 ක් වැයවේ.

මෙම වාක්‍ය පේළි වලින් ප්‍රබලව යෝජනා කෙරෙන්නේ සිංහල කෘති මුලින් දෙමළ භාෂාවෙන් තිබී සිංහල හා දෙමළ දෙපිරිසම ගායනා කළ බවත්ය.(එවැනි දෙමුහුන් විලාශයකට ක්ෂමා කළ හැකි නම්)

මාතලේ දිස්ත්‍රික්කයේ අම්බොක්කේ දී අප දිය කැපීමේ යාතු කර්මය නරඹමින් සිටින විට” ඉලංගෝ නමැති පණ්ඩිතයා මෙම කවි (මුලින්ම ) දෙමළෙන් ලියා ඇත” යන වාක්‍යය ඇසීමෙන් තිගැස්සුණි. ඉලංගෝ අටිකාල් ( ජෛන මුනි ඉලංගෝ) සීලප්පටිකාරම් හි අපිනාමික( මූලනාමික ) කතුවරයා බව අපි බොහෝ දෙනෙක් දනිමු:අපගේ පත්තිනි කෘති සමහරක අපිනාමික කතුවරයා ද ඔහුම විය. සේරමන් රජු ගම්මඩු යාතුකර්ම සංකීර්ණය මුලින්ම ස්ථාපනය කිරීමේ අවස්ථාවේ එහි සිටි බව පත්තිනි ඇදහිල්ලේ යාතුකර්ම වලදී කියැවේ. සේරමන් යනුවෙන් හුදෙක් අදහස් වන්නේ “කේරලයේ රජු” යන්න වන අතර ඔහු පත්තිනි ඇදහිල්ලේ අපිනාමික ආදි කතෘවරයා ද වේ. මෙම සම්භවය පිළිබඳ පුරාවෘත්තය සතුව ජනයාගේ ජීවිතවලට බැඳි සැළකිය යුතු අරුතක් ඇතත් පුළුල් ඓතිහාසික සහ ආනුභවික ප්‍රශ්නයක් ශේෂව පවතී: එනම් මෙම දෙමළ ග්‍රන්ථ සිංහල රටට ගෙනැවිත් ඒවා දේශීයකරණය කළ ජනයා කවුද යන්නයි?

මඩකලපුව කොරවේලි හි  කන්නකී(පත්තිනි ) පූජෝත්සවයක ප්‍රධාන පූසාරි පත්තිනි ආරූඩයෙන්

මඩකලපුව කොරවේලි හි කන්නකී(පත්තිනි ) පූජෝත්සවයක ප්‍රධාන පූසාරි පත්තිනි ආරූඩයෙන්

මට පෙනෙන ආකාරයට සීලප්පටිකාරම් මෙන්ම අපගේ සිංහල කෘති හඟවන්නේ ඒවා සේර හෝ කේරල රටේ පිහිටා ඇති බවත් සීලප්පටිකාරම් සහ බෞද්ධ කථාන්තරය වන මනිමේකලයි හි සඳහන් වන සේර රජුගේ පුරාතන අගනුවර වන වැන්සි පුරය විශේෂයෙන් වැදගත් වන බවත්ය. මෙම ග්‍රන්ථවලින් කියවෙන්නේ වැන්සි බටහිර ආසියාවේ ජනප්‍රිය වෙළඳ මධ්‍යස්ථානයක් බවත්, සාමාන්‍ය ගැමියෝ මාතෘ දේවතා ඇදහිල්ල මධ්‍ය කරගත් ද්‍රවිඩ ජන ආගම යැයි පවසන දෙයට කැප වී සිටිය ද, වෙළදාම පැවතියේ බුද්ධාගම, ජෛනාගම සහ ආජිවක ලබ්ධිය ආදී වෛතුල්‍යවාදී ආගම් අත බවත් ය.ඉහත සඳහන් කළ කෘති දෙකම ලියා ඇත්තේ දෙමළ භාෂාවෙනි;සිංහල යාතු කර්මීය කෘති සම්බන්ධයෙන් ද මෙය සත්‍ය බව අපගේ පූර්ව සාකච්ඡාවෙන් පෙන්නුම් කෙරේ. සෑම අතින්ම විය හැකි දෙය නම් මෙම කෘති රචනා කර තිබුණේ මෙම ප්‍රදේශයේ මලයාලි භාෂාව වර්ධනය වීමට පූර්වයෙන් දෙමළ කේරලයේ භාෂාව වූ කාලයේ බව මින් වැඩිදුරටත් අදහස් කෙරේ. එමනිසා පත්තිනි ඇදහිල්ලේ යාතුකර්මීය ග්‍රන්ථ සිංහල ප්‍රදේශවලට ගෙන එන ලද්දේ දෙමළ කථා කරන කේරල සංක්‍රමණිකයන් යන්න විය හැකි කරුණකි. නමුත් මෙම සංක්‍රමණිකයන් කවුරුන්ද? අහම්බෙන් සමාන පාරිසරික සහ දේශගුණික තත්වයන් ඇති කේරලය වැනි ප්‍රදේශයක් අතහැර යාමට ඔවුන් පොළඹවන ලද්දේ කවරෙක් ද? නැවත වරක් ලංකා ඉතිහාසයෙන් ලැබෙන ඉඟි පිළිතුරු සපයනු ඇත.
14 වන ශතවර්ෂයේ මැද සිට ගම්පොල සහ කෝට්ටේ රාජධානි වල දේශපාලනයේ ආධිපත්‍යය ඉසිලූ අලගක්කෝණාර ( හෝ අලකේශ්වර ) සහ මෙහෙනවර යන ශ්‍රී ලංකාවේ සිටි කේරල පවුල් දෙකේ සෞභාග්‍යය ගැන කතා කරමින් මෙම සාකච්ඡාව අරඹමු. 1344 අභිලේඛනයක් වැන්සි වල වාසය කළ අලගක්කෝණාර කෙනෙකුගේ දසවන අනුප්‍රාප්තිකයා මහාමාත්‍ය අලගක්කෝණාර ගැන සඳහන් කරයි. මෙම වංශාවලිය නිවැරදි නම් අලගක්කෝණාර වන්සි වල සිට පැමිණ ඇත්තේ ක්‍රි.ව. 1100 දී හෝ ඒ ආසන්නයේ දී ය. මෙහෙනවර පවුල ආරම්භයේ දී වෙළෙන්දන් වුවත් දැදිගම සහ ගම්පොල රාජසභා නිළධාරීන් ලෙස බලවත් වන අතර ඔවුන්ගේ ප්‍රථම රජු හතරවන බුවනෙකබාහු 1341 දී සිංහාසනාරූඩ වේ. අලගක්කෝණාරවරු රයිගම වාසය කලේ බේරුවල ඇති ලාභදායි බටහිර වෙරළ වරාය සහ දෙවුන්දර සහ වැලිගම වෙරළබඩ ප්‍රදේශවල වෙළඳාම හැසිරවීමටය.පසුව ඔවූහු බලකොටු ප්‍රාකාර වලින් යුතු කෝට්ටේ නගරය ඉදි කලේ කොළඹ නගරයේ අරාබි වෙළඳාම හැසිරවීමටය. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් පැවතියේ පරම බලයේ සංකේතයක් වූ සුදු අලියෙකුට පවා හිමිවූ අලගක්කෝණාරවරයෙකුගේ පාලනයේ බලපෑම යටතේ බව ඉබන් බතුතා පවසයි. මෙම පවුල් දෙකම වඩා පීතෘ වංශික සහ ද්විපාර්ශ්වික නැඹුරුවක් ඇති සිංහල ජනයා අතර ජීවත් වූ හෙයින් තම මාතෘ වංශික රීති බාගදා අවඥාසහගතව සැළකු තත්වයක් යටතේ පවා මාතෘ වංශික පෙළපත අනුගමනය කළේය. අලගක්කෝණාර කෙනෙක් වූ වීරබාහු අප්නාට තම මස්සිනා වන කෝට්ටේ රාජ්‍යයේ රාජත්වය හෙබවූ පස්වන බුවනෙකබාහුගෙන් යුව රජකම ලැබේ.සියලු අලගක්කෝණාරවරු සහ මෙහෙනවරු බෞද්ධයන් වූ අතර බෞද්ධ ආයතන වලට සහයෝගය දැක්වූහ. බාගදා, ඔවූහු ඉන්දියාවේ වෛතුල්‍යවාදී ආගම්වල බලපෑම යටතේ වූයේ යැයි මා සඳහන් කළ වන්සි නම් තම මුල් පදිංචිය තුළ දී පවා බෞද්ධයන් වූහ. මෙම වෙළඳ පවුල් තම අනුගාමිකයන් සමග වෙරළබඩ වෙළඳාම හැසිරවීම උදෙසා පැමිණියේ යැයි කෙනෙක් සිතන්නේ නම් පත්තිනි මෑණියන් නම් තමන්ට අධිගෘහිත දේවතාවන් ද තමන් සමග රැගෙන ආ සංඛ්‍යාත්මක වශයෙන් අඩපණ කළ කේරල ජන සමූහ සිංහල ප්‍රදේශවල සිටියෝය යන්න අරුමයක් නොවේ. එසේ රැගෙන ආ මෙම දේවතාවිය නොබෝ කලකින් රටේ මුරදේවතාවුන් සිව් දෙනාගෙන් එක් අයෙක් බවට නැගුන අතර බෝධිසත්වයෙකුගේ තත්වයට එනම් සක්‍රීය සිංහල බෞද්ධ දේව මණ්ඩලයේ එකම ස්ත්‍රී බෝධිසත්වයන් බවට පරිවර්තනය වූවාය. පත්තිනි දේවතාවිය රාජ්‍ය ආගමික වතාවත් වල අංගයක් වශයෙන් විධිමත්ව පිළිගැනෙන්නේ මෙහෙනවර පවුලට නෑකම් ඇති, 1411 දී සිංහාසනාරූඩව, අලගක්කෝණාරවරුන්ගේ පහසලත් රයිගම සිට මුලින් පාලනය මෙහෙයවා පසුව පාලනය කෝට්ටේට ගෙනගිය හයවන පරාක්‍රමභාහුගේ රාජ්‍ය කාලයේය. කෝකිල සංදේශය නම් සිංහල කාව්‍යයේ 117 වෙනි පද්‍යයට අනුව කෝට්ටේ තම අගනුවර පත්තිනි දේවතාවිය වෙනුවෙන් තෙමහල් දෙවොලක් ඉදිකලේ ඔහුය. පත්තිනි ඇදහිල්ලට සම්බන්ධ කෘති නිශ්චිත දින සඳහන් කල නොහැකි වුවත් හුඟ කලකට පෙර සිංහලට පරිවර්තනය වී ඇතැයි මම උපකල්පනය කරමි.

මතු සම්බන්ධයි
කතිකා අධ්‍යයන කවයේ අවසරකින් තොරව මෙතැනින් උපුටා පල කිරීම තහනම්.