1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර (4 කොටස)

1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර (4 කොටස)
පරිවර්තනය – ©දිමුතු සමන් වෙත්තසිංහ
දෙවැනි රාජසිංහ

දෙවැනි රාජසිංහ

“පුරාවෘත්තවලට ඓතිහාසික වලංගුතාවයක් නොතිබිය හැක; නමුත් පුරාවෘත්ත යටින් ඇති දේශපාලන අරුත් වලට එවැනි වලංගුතාවයක් ඇති අතර, එනම් අවම වශයෙන් 15 වන ශත වර්ෂය තුළ සහ ඉන්පසුව නැගෙනහිර වෙරළ නුවර රාජධානියේ කොටසක්ව පැවතුණේ රජුගේ විධිවත් ආධිපත්‍යයට යටත් වු මුක්කුවාර්වරුන්ගේ ප‍්‍රධානත්වය යටතේය.

මෙම අදහස තවදුරටත් විස්තර කිරීමට මට ඉඩ දෙන්න. නැගෙනහිර වෙරළ, ලන්දේසී මූලාශ‍්‍ර වලට අනුව ආසියාවේ ඉතා සමෘද්ධිමත් නගරයක් වූ බින්තැන්න ලෙසින් ද හැඳින්වූ මහියංගනය වෙළඳ මධ්‍යස්ථානය කරගෙන මඩකලපුවේ සහ ත‍්‍රිකුණාමලයේ සිට නුවර දක්වා දිවුන වෙළඳ මාර්ග කිහිපයකින් යාවී තිබුණි. මෙම වැදගත්කමේ පාර්ශ්වයක් හට ගත්තේ නැගෙනහිර සමඟ වෙළඳාමෙන් වන අතර විශේෂයෙන්ම වැදගත් වූයේ නුවර වැසියන්ට ලූණු සහ කරවල කළමණා සැපයූ මුස්ලිම් වෙළෙන්දන්ය. පෘතුගීසීන් සහ ලන්දේසීන් නුවරට පහර දුන් විට හෝ පහරදීමට තර්ජනය කළ විට රජවරු බින්තැන්නේ සටන්කාමී වැද්දන්ගේ ආරක්‍ෂාව යටතට තම පවුල් යැව්වෝය. මෙම වැද්දන්ගෙන් සමහරෙක් ඒ වන විටත් රජුගේ මාළිගයේ හේවායින්ගේ කොටසක් බවට පත්ව තිබුණි. විකල්ප අගනුවරක් ලෙස එහි තිබූ වැදගත්කම නිසාම බින්තැන්න-අලූත්නුවර ලෙස යළි නම් කෙරිණි. ඉතා බලවත් නුවර රජෙක් වූ දෙවැනි රාජසිංහ උපත ලැබුවේ බින්තැන්න – අලූත්නුවරය.


ආචාර්ය නීලන් තීරුචෙල්වම් අනුස්මරණය වෙනුවෙන් මහාචාර්ය ගණනාථ ඔබේසේකර 2004 වසරේ ජූලි 29 දින ජනවාර්ගික අධ්‍යයන කේන්ද්‍රයේ දී කරන ලද මෙම දේශනය The Matrilineal East Coast Circa 1968: Nostalgia and Post Nostalgia in Our Troubled Time වශයෙන් 2004 දී පල විය. එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් කරුණා කණ්ඩායම බිඳී ගොස් හටගත් අභ්‍යන්තර යුද්ධයෙන් නැගෙනහිර පළාත උණුසුම්ව තිබූ තත්වයක් තුළ ඒ පිළිබඳ සඳහනක් මෙම දේශනයේ ආරම්භයේ වෙයි.

ලංකා ඉතිහාසය පිළිබඳ මුල්කාලීන කෘති හා සැසඳීමේදී මහාචාර්ය ඔබේසේකරගේ මෙම රචනාව සමග Buddhism Nationhood and Cultural Identity, The Coming of Brahmin Migrants: The Śudra Fate of an Indian Elite in Sri Lanka සහ The Many Faces of the Kandyan Kingdom, 1591-1765: Lessons For Our Time? යන රචනා ඥාන මීමංසාත්මකව සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරන බව පැවසිය හැක්කේ මහාචාර්ය ඔබේසේකරගේ ග්‍රන්ථාවලී සංකරණයෙන් සහ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර සහ නන්දන වීරරත්න සංස්කරණයෙන් පලවූ දුර්ලභ ඓතිහාසික ග්‍රන්ථ නම් මහනුවර සහ කෝට්ටේ යුගවල ප්‍රාදේශීය ග්‍රන්ථ වලින් හෙලිවන අප්‍රකට ඉතිහාස අධ්‍යයනය තුළ ඒවා පිහිටුවිය හැකි නිසාය. කෙසේ නමුත්, මෙම ලිපිය හෙලන අන්තර් දෘෂ්ටීන් ජනවාර්ගිකත්වය, කුලය, ආගම පිළිබඳ අධිපති ඉතිහාස ආඛ්‍යානයන් ගැටළුවට ලක් කරන බව පැහැදිළිය.මෙම කොටසෙහි සාකච්ඡා කෙරෙන්නේ මඩකලපු දෙමළ ජනයා සිංහලයා සමඟ ඇති දේශපාලන සහ සංස්කෘතික සබඳතා පිළිබඳවය.

මඩකලපු දෙමළ සහ මුස්ලිම් ජනයා : සිංහලයා සමඟ ඇති දේශපාලන සහ සංස්කෘතික සබඳතා (4 කොටස)

මා මුලින් ප‍්‍රකාශ කළ දෙය යළි දැක්වීමට මට ඉඩදෙන්න: එක් මට්ටමක දී නැගෙනහිර වෙරළේ දෙමළ ජනයා සහ පහත රට සිංහල ජනයා පත්තිනි දේවතාවිය හා බැඳුණු විශ්වාස හා යාතුකර්ම සමූහයක් හවුලේ භුක්ති විඳින අතර ඇයට බුහුමන් දැක්වීමට අතිශයින් වැදගත් ක‍්‍රීඩා දෙකක් රඟ දක්වති. කෙසේ නමුත් මෙය මා ක්‍ෂේත‍්‍ර පර්යේෂණ කළ සමය වන විටත්, මෙම ජන කණ්ඩායම් දෙක අතර දේශපාලන හෝ සංස්කෘතික සබඳතා ඇති කරන තැනට මඟ හෙළි කළේ නැත. එනම්, මේ හා සමාන කෘති පැවතීමෙන් කිසියම් ආකාරයක ඒකත්වයක් හෝ අන්‍යෝන්‍ය විඥානයක් ඇතිවීමට තුඩු නොදුන් අතර ඒ වෙනුවට ඓතිහාසික සම්භවයන්ගේ ඒකත්වයක් පෙන්නුම් කළේය. මේ අරුතින් දිවයිනේ සියලූම ආගම් වල වාගේ සාමාජිකයන් පූජෝත්සව සමයේ දී රැස්වන කතරගම ඇදහිල්ලෙන් මෙම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. සිංහල ප‍්‍රදේශ වල සිටින කේරළ සංක‍්‍රමණිකයෝ ඔවුන් සමඟම මාතෘවංශික පෙළපත ගෙනාවේ නම් තමන්ට වෙනස් ඥාති ක‍්‍රම අනුගමනය කළ ජනයා අතර ඔවුන් පදිංචි වන තාක් කාලයක් එය පැවතුනා විය නොහැක. නමුත් පත්තිනි ඇදහිල්ල එසේ නොවේ: කේරළ වෙළඳ කුමාරවරුන්ට බලය තිබූ තත්වයක් තුළ රාජකීය ඇදහිලි වල අංගයක් ලෙස පත්තිනි ඇදහිල්ල සංස්ථාපිත වූ අතර පත්තිනි දේවතාවියම මුර දේවතාවියක් සහ බෝධිසත්වයෙක් බවට නැගුණාය. පුරාවෘත්තවලට එසේත් නැත්නම් ඉතිහාසයට අනුව සමහර රජවරු සිංහල ප‍්‍රදේශ පුරා පත්තිනි දේවාල ඉදි කලෝය. එනම්, සෑම තැන්හිම ඇති ලෙන් විහාර අතීතාවර්තීව පළවෙනි වළගම්බා රජුට ආරෝපණය කළ සේ, ප‍්‍රාදේශීය පත්තිනි දේවාල වලට පෙළපත් ලැබුනේ කතාවට කියන්නේ නම් පළවෙනි රාජසිංහ රජු ඒවා ඉදි කළේය යන පුරාවෘත්තය මඟිනි. මඩකලපුව සම්බන්ධයෙන් ද මෙය සත්‍ය වන්නේ එම ප‍්‍රදේශයේ පට්ටිමෙතු හි පත්තිනි කෝවිල ඉදි කර ඇතැයි පැවසෙන්නේ පළවෙනි රාජසිංහ රජු නිසා වන අතර ප‍්‍රාදේශීය වෘත්තාන්ත අනුව රජුගේ අගනුවර වූ සීතාවකින්ම මෙය හඳුන්වා දී ඇත. මින් අදහස් වන්නේ සිංහල රාජ්‍යත්වය හා බැදුණු එක්තරා ආකාරයක ඓතිහාසික ස්මරණයක් මඩකලපු ප‍්‍රදේශයේ පැවතුණ බවයි. පත්තිනි ඇදහිල්ලම සංස්ථාපනය වීම සම්බන්ධයෙන් ද මෙය සත්‍ය විය. ඇදහිල්ල හඳුන්වා දීම සම්බන්ධයෙන් සිංහල රජ ගජබාහුට ගෞරවය පිදෙන බොහෝ පිටපත් වලින් එකක් මෙහි වේ.

පට්ටිමෙතු කන්නකී කෝවිලේ පුස්කොල ලේඛන

පට්ටිමෙතු කන්නකී කෝවිලේ පුස්කොල ලේඛන

”දෙමළ චෝළ දේශයේ පත්තිනි වන්දනාව පුළුල්ව ව්‍යාප්තව තිබුණි. චෝළ රාජධානිය හා ශ‍්‍රී ලංකාවේ නුවර රජකළ ගජබාහුගේ රාජධානිය අතර නිරන්තර සබඳතා තිබුණි. එම නිසා ගජබාහු රජු චෝළ රාජධානියට ගොස් සළඹක් ඇතැතිව අඹා තිබූ පත්තිනි දේවතාවියගේ පිළිමය සහ පූජකයෝ ගණනාවක් රැගෙන ආවේය. ගජබාහුගේ රාජධානියේ තත්වයන් කොතරම් අයහපත් ද පවසන්නේ නම් පිළිමය එහි තැබීමට හෝ පිහිටුවීමට නොහැකි විය. මෙයට හේතුව වූයේ නුවර ජනයාගේ පාර්ශවයෙන් භක්තිය නැතිවීමයි. සැදැහැවත් ජනයා සිටින තැනක් සොයා පිළිමය ගෙන යන ලෙස රජු ඔහුගේ පූජකයන්ට අණ කළේය. අවසානයේ එය මඩකලපුව දිස්ත‍්‍රික්කයට පැමිණෙන තෙක් රට පුරාම ගෙන ගියේය. මෙම පෙරහැර ළඟා වූ ප‍්‍රථම ස්ථානය තම්බිලූවිල් වන අතර අවසාන ස්ථානය වීරමුනෙයිය.”

සිංහල පුරා වෘත්තය තුළ ගජබාහු යනු තම යගදාවෙන් මුහුද දෙබෑකර, ගිරිකුළ මිරිකා ජලය ගෙන, චෝල රජු බිය ගන්වා 24000 ක් දෙමළුන් රැගෙන විත් රටේ විවිධ තැන්හි පදිංචි කළ සංස්කෘතික වීරයෙකි. මා මෙය ආගමන හෝ ජනපදකරණ පුරාවෘත්තයක් ලෙස හඳුන්වන අතර මෙයට කදිම නැම්මක් නැගෙනහිර වෙරළේ දී ලැබෙන්නේ එහිදි ගජබාහු පත්තිනි ඇදහිල්ල පිහිටුවන්නේ ජනයාගේ ශ‍්‍රද්ධාව හා භක්තිය නිසාය. නමුත් එයින් ඔබ්බට ගිය කල්හි, මෙම පුරාවෘත්තයෙන් නැගෙනහිර වෙරළ ජනයා නුවර රජවරු හා සම්බන්ධ කෙරේ; ඔවුනට අනුව ගජබාහු නුවර සිට රාජ්‍ය කළ රජෙකි. පුරාවෘත්තවලට ඓතිහාසික වලංගුතාවයක් නොතිබිය හැක; නමුත් පුරාවෘත්ත යටින් ඇති දේශපාලන අරුත් වලට එවැනි වලංගුතාවයක් ඇති අතර, එනම් අවම වශයෙන් 15 වන ශත වර්ෂය තුළ සහ ඉන්පසුව නැගෙනහිර වෙරළ නුවර රාජධානියේ කොටසක්ව පැවතුණේ රජුගේ විධිවත් ආධිපත්‍යයට යටත් වු මුක්කුවාර්වරුන්ගේ ප‍්‍රධානත්වය යටතේය.

මෙම අදහස තවදුරටත් විස්තර කිරීමට මට ඉඩ දෙන්න. නැගෙනහිර වෙරළ, ලන්දේසී මූලාශ‍්‍ර වලට අනුව ආසියාවේ ඉතා සමෘද්ධිමත් නගරයක් වූ බින්තැන්න ලෙසින් ද හැඳින්වූ මහියංගනය වෙළඳ මධ්‍යස්ථානය කරගෙන මඩකලපුවේ සහ ත‍්‍රිකුණාමලයේ සිට නුවර දක්වා දිවුන වෙළඳ මාර්ග කිහිපයකින් යාවී තිබුණි. මෙම වැදගත්කමේ පාර්ශ්වයක් හට ගත්තේ නැගෙනහිර සමඟ වෙළඳාමෙන් වන අතර විශේෂයෙන්ම වැදගත් වූයේ නුවර වැසියන්ට ලූණු සහ කරවල කළමණා සැපයූ මුස්ලිම් වෙළෙන්දන්ය. පෘතුගීසීන් සහ ලන්දේසීන් නුවරට පහර දුන් විට හෝ පහරදීමට තර්ජනය කළ විට රජවරු බින්තැන්නේ සටන්කාමී වැද්දන්ගේ ආරක්‍ෂාව යටතට තම පවුල් යැව්වෝය. මෙම වැද්දන්ගෙන් සමහරෙක් ඒ වන විටත් රජුගේ මාළිගයේ හේවායින්ගේ කොටසක් බවට පත්ව තිබුණි. විකල්ප අගනුවරක් ලෙස එහි තිබූ වැදගත්කම නිසාම බින්තැන්න-අලූත්නුවර ලෙස යළි නම් කෙරිණි. ඉතා බලවත් නුවර රජෙක් වූ දෙවැනි රාජසිංහ උපත ලැබුවේ බින්තැන්න – අලූත්නුවරය. මවිසින් ක්‍ෂේත‍්‍රයේ දී මෑතකදී එකතු කරන ලද පුරාවෘත්ත ස්කන්ධ කුමරු වල්ලි අම්මා හා පැවති පේ‍්‍රම සම්බන්ධය හා සමාන්තර කොට තැකිය හැකි පරිදි රජු වැදි යුවතියක් හා බැඳි පේ‍්‍රම බන්ධන විස්තර කරයි. මෙම විවාහ උපාය මාර්ග දෙකම දේශපාලන හේතු උඩ අනුලෝම විවාහ (කාන්තාවන් තමාට වඩා උසස් තත්වයක අයෙකු හා විවාහ වීම) සහ ප‍්‍රතිලෝම විවාහ (කාන්තාවක් තමාට වඩා පහල තත්ත්වයක අයෙකු හා විවාහ වීම) ගිවිසගත් මෙම ප‍්‍රදේශයේ ධනවත් ප‍්‍රභූන් අතර පැවති ප‍්‍රාදේශීය චාරිත‍්‍ර පෙන්නුම් කරන අවස්ථාවන්ය. තව මට්ටමකදී මා දකින පරිදි මෙම සන්ධානයන් දෙකම දඩයක්කරුවන්ගේ අගනාකම් ක්‍ෂත‍්‍රීයන්ගේ අගනාකම් වලටත් ක්‍ෂත‍්‍රීයන්ගේ අගනාකම් දඩයක්කරුවන්ගේ අගනාකම් වලටත් බලපෑ දීර්ඝ කාලීන ඓතිහාසික ක‍්‍රියාදාමයක් පෙන්නුම් කරන්නේ කෙසේ දැයි කිවහොත් ශ‍්‍රී ලංකාවේ දී, වැදි රජවරු සිංහල රජවරුන්ගේ පවුල් හා විවාහ වූ ආකාරය වාර්තා වූ අවස්ථා නිදර්ශනයක් ලෙස ඇත. දෙවැනි රාජසිංහ රජු මුක්කුවාර්වරුන්ගේ කුමාරිකාවක් විවාහ කර ගැනීම පිළිබඳ සඳහන් වූ පුරාවෘත්ත මමද සටහන් කර ඇත්තෙමි. මෙම ආකාරයේ විවාහ ඬේවිඞ් ෂුල්මන් මනාව පැහැදිලි කර ඇති පරිදි රජු තම අධිරාජ්‍යය අවට සිටින මුලාදෑනීන් සහ යුධ ප‍්‍රධානීන් සමඟ සන්ධානයන් ශක්තිමත් කර ගැනීමේ අදිටනින් උපක‍්‍රමිකව බිසෝවරුන් බඳවාගත් චෝල අධිරාජ්‍යය සම්බන්ධයෙන් සිදුවේ.

ජෙනරාල් හල්ෆ්ගේ පැමිණීම

ජෙනරාල් හල්ෆ්ගේ පැමිණීම


නැගෙනහිර වෙරළ සමඟ වූ ආසන්න දේශපාලන සම්බන්ධය සිදුවූයේ සමහර විස්තර වලට අනුව ප‍්‍රදේශයේ කුඹුරු ඉඩම් වලින් 50% ක් පාලනය කළ මාතෘ වංශ වලට අයිති වූ පොටියාර් නම් මුක්කුවාර් ප‍්‍රධානීන් සමඟ සම්බන්ධතා තිබූ බින්තැන්න – අලූත්නුවර දිසාවේවරයා හරහාය. පෘතුගීසීන් 1628 වන විට ත‍්‍රිකුණාමලයේ සහ මඩකලපුවේ බලකොටු ගොඩනගා ගෙන තිබුණ ද ඔවුන් නැගෙනහිර සිටියේ නාමිකව පමණි. 1638 දී සිංහලයන් සහ ලන්දේසීන් මඩකලපුව බලකොටුවට කළ ඒකාබද්ධ ප‍්‍රහාරය හේතු කොට ගෙන පෘතුගීසිහු යටත් වූහ. මේ හා සමාන ප‍්‍රහාරයක් සිංහල කෘතිවල වාර්තා වන්නේ ත‍්‍රිකුණාමල බලකොටුව රාජසිංහයන්ගේ හමුදාව බාගදා ලන්දේසීන්ගේ උදව් ඇතිව විනාශ කළ අවස්ථාව පිළිබඳවය. එසේ වුවත්, සිංහල විස්තර වල මෙම ලන්දේසි සන්ධානය කිසිදා සඳහන් වන්නේ නැත.

මතු සම්බන්ධයි
කතිකා අධ්‍යයන කවයේ අවසරකින් තොරව මෙතැනින් උපුටා පල කිරීම තහනම්.