රනිල්: දේශපාලන කතරේ ක්ෂේම භූමියක්ද ? මිරිඟුවක් ද? – ප්‍රජාතන්ත්‍ර විසිනි

“දේශපාලන කාන්තාරයට එකම සුදුස්සා රනිල්” යැයි වික්ටර් අයිවන් පවසා තිබේ. එය සාධාරණය කරන්නට ඔහු බොහෝ තර්ක ඉදිරිපත් කරයි. ඉන් සමහරක් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතු ඒවා නොවේ. මේ ඉන් සමහරකි.

රනිල් “සාහිත්‍යය, කලාව වැනි විෂයන් සම්බන්ධයෙන් පවා” හොඳ අවබෝධයක් තිබෙන බව වික්ටර් පවසයි. එබඳු අවබෝධයක් ඇති බව ප්‍රකාශ කිරීම වගේම ඒ ක්ෂේත්‍රයට අදාළව කරන ක්‍රියා ද එක සේ වැදගත්ය. සරච්චන්ද්‍රට පහර දී බිම දමා ඇදගෙන ගියේ රනිල් ද නායකයෙකු වූ ජේ.ආර් ජනාධිපති පාලනය සමයේ ය. එම පහරදීම මෙහෙයවූ බවට ජනයා සාක්ෂි දරන එවක එජාප ජාතික සේවක සංගමයේ නායකයා වූ පියසේන ජයවීර එජාපයට කළ සේවයට රනිල් එජාප නායක සමයේදී සම්මාන පිරිනැමුණු බවට වාර්තා විය. සරච්චන්ද්‍රට කළ පහර දීම ගැන රනිල් ගේ එජාපය සමාව ඉල්ලන්නේ කවදාද?

“ රනිල් වික‍්‍රමසිංහ ළඟ තිබුණ දුර්වලතාවක් ලෙස මම හඳුනගත්තේ, ඔහුට පාලන කාලයක් තුළ එල්ල විය හැකි අභියෝග පිළිබඳ තියුණු වැටහීමක් තිබුණේ නෑ. උදාහරණයක් විදියට අධිකරණයේ තිබුණ අවුල්කාරී තත්ත්වයට ඔහු අත දැම්මේ නෑ. ඔහු හිතුවා අධිකරණයෙන් ඔහුට බාධා කිරීම් සිදුවන්නේ නැහැ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම රනිල්ගේ ආණ්ඩුව පෙරළන්න වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ හිටපු අග විනිසුරුවරයා. එතකොට තමයි ඔහු ඒකේ විපාක දැක්කේ. එතැනින් පස්සේ නැවත වතාවක් රනිල් වික‍්‍රමසිංහට දීර්ඝකාලයක් විපක්ෂයේ රැඳී සිටින්න සිදුවනවා” යැයි වික්ටර් පවසන විට ඔහු යෝජනා කරන බව පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවේ අධිකරණයට අත දැමිය යුතුව තිබුණු බව ද? අද රනිල් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින බව කියා සිටින නමුත් තමන්ගේ අපේක්ෂාවන්ට එරෙහිව යන නඩු තීන්දු (වැට් තීන්දුව, සිංහරාසා තීන්දුව) අධිකරණය ලබා දෙන විට ඔහු පවසන දේවලින් පෙනී යන්නේ ඔහු එම තීන්දු පිළිබඳ සතුටු නොවන බවයි. රටේ අගමැති එබඳු ප්‍රකාශ කිරීම අධිකරණයට කරන බලපෑමකි. ඒ අනුව යමින් ඇමති රවි කරුණානායක ද අධිකරණය අමතා කෙසේ යුක්තිය පසිඳලිය යුතු දැයි මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කරනු දක්නට ලැබුණි.

“ බලතල නොබෙදීමේ අවුල” මැයෙන් වික්ටර් ගේ ලිපියේ දක්වා ඇති අදහස් කියා සිටින්නේ රනිල් ට ආණ්ඩුවේ බලය අතහැර ජනාධිපති රාජ්‍ය නායකයා වශයෙන් පමණක් සිටිය යුතු බවයි. ජනවාරි 8 ව්‍යාපාරය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කළ විට ඊට පක්ෂ වූ අය බොහෝ දෙනෙකුත් රනිල් තම ආණ්ඩුව මෙහෙයවන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් එය යලි සළකා බැලිය යුතු බව දැන් සිතන්නට පටන් ගෙන තිබේ. වැට් බද්ද පැනවූ අවස්ථාවේ සාමාන්‍ය ජනයා පවා මෙලෙස සිතන්නට පටන් ගත් බව ප්‍රකාශ විය. රනිල් ට රටේ ආර්ථික වැඩ පිළිවෙල තනි කැමැත්තට හසුරුවන්නට ඉඩ දීම සම්මුතිවාදී ආණ්ඩුවේ පිළිවෙත වන බව ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රී ජනතාවට කියා කැමැත්ත ගත් දෙයක් නොවේ. එය ඒ දෙදෙනා අතර ඇති කරගත් පෞද්ගලික ගිවිසුමක් බව දැන් පෙනෙයි. ජනතාව මෙය අනුමත කරන්නේ නැත. දැන් රනිල් ආණ්ඩුව ගෙනියන්නේ තම තනි කැමැත්තට තමන් වටා සිටින ගජ මිතුරන් සුළු පිරිසක් එකතු කර ගෙන බව පෙනෙයි. අමාත්‍ය මණ්ඩලය මහින්ද රාජපක්ෂ රෙජිමය සමයේ වගේම රනිල් රෙජිමය යටතේත් නායකයා, ඒ කියන්නේ දැන් රනිල් ගේ මතයට විරුද්ධ වන්නේ නැත. රනිල් පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක තත්වයට හෑල්ලු කොට ඇතිවා පමණක් නොව එය තනිකරම විහිලුවක් බවට පත් කොට ඇත. ජනාධිපති ජේආර් ඇරඹූ පාර්ලිමේන්තුව බල රහිත කිරීමේ ක්‍රියාවලිය එහි අවසානයට ගෙන එන වගකීම තමන්ට පවරා ගෙන තිබෙන්නේ රනිල් ය. මෙය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතයට බරපතළ අවදානමක් මතු කරන කාරණයකි.

“ බලතල නොබෙදීමේ අවුල” යටතේ වික්ටර් මෙසේ පවසයි: “හදිසියේ හැදුණු එක එක ව්‍යාපාරත් මේකට සම්බන්ධ වුණා. නමුත් රට පාලනය කරන්නේ පුරවැසි ව්‍යාපාර නෙමෙයි. මේ අකෘතිය මහ අවුල්සහගත ආකෘතියක්. මේ ආකෘතියේ ජනාධිපතිගේ කාර්යය මොකක්ද කියලා පැහැදිලි නැහැ. සමහර තීරණවලදි දෙන්නා දෙපැත්තට යන අවස්ථා තිබෙනවා.” ජනවාරි 8 ජයග්‍රහණයට පුරවැසි ව්‍යාපාර සැපයූ දායකත්වය ලඝු කොට සැළකිය යුතු යැයි වික්ටර් පවසනවා විය නොහැකිය. හදිසියේ හැදුණා හෝ කලක සිට තිබුනා හෝ තමන් සිවිල් සමාජය කියා ගන්නා කිහිප දෙනෙකුට රට පාලනය කිරීමට ඉඩ දිය නොහැකිය යන අදහස සමග එකඟ විය හැකිය. නමුත්, අනෙක් අතට පෙනෙන්නට ඇත්තේ ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව මේ ඇතැම් සිවිල් සමාජ නායකයන් තමන්ට අවශ්‍ය පරිදි හසුරුවන බවයි. නමුත් ජනවාරි 8 වැනිදා මෛත්‍රී බලයට ගෙන ඒමට ජීවිත පරදුවට තැබූ පුරවැසි සමූහයාගේ අපේක්ෂාවන් පසෙක ලා රට පාලනය කිරීමට සිතීම දේශපාලන අණුවන කමකි. ජනවාරි 8 වැනිදා ගිවිසුමට අත්සන් කළ බහුජන සංවිධාන 49න් ඒ සියල්ලගේම අදහස් සළකා බලා මෙන්ම එම 49ට අයිති නැති වුවත් රටේ සෙසු පොදු ජනතාවගේ ද අදහස් සළකා බලා ආණ්ඩු කළ හොත් පමණක් මේ ආණ්ඩුවට කලක් පැවතිය හැකි වනු ඇත.

ජනාධිපතිගේ සහ අගමැති ගේ කාර්යයන් කවරේද යන්න සළකා බලා බලය බෙදා ගැනීමක් කිරීමේ යෝජනාව උචිතය. නමුත් එය අගමැතිට තනිකර විධායක බලයක් පවරන ක්‍රමයක් වීම රටේ යහපතට හේතු නොවනු ඇත. දැන් පෙනෙන්නට තිබෙන්නේ තමන් ගේ බලය යනුවෙන් අගමැති සිතන දේ පිළිබඳ ජනාධිපති ගේ එකඟතාවක් නොමැති බවයි.

රනිල්ට එරෙහිව කාලයක් තිස්සේ තිබෙන චෝදනාවක් වන බටලන්ද සම්බන්ධ සිද්ධිය ගැන වික්ටර් මෙසේ පවසයි: “කෙසේ වුණත් රනිල් එම චෝදනාවට මුහුණ දුන්නා. ඔහු උසාවියට ගිහින් සාක්ෂි ඉදිරිපත් කළා. ඔහුගේ සාක්ෂිය වුණේ ‘‘මම එහෙම දෙයක් දන්නේ නැහැ. මා නොදැනුවත් එහෙම දෙයක් වන්න පුළුවන්කමක් නැහැ’’ කියලා. ඒ වෙලාවේ ඔහුව හරස් ප‍්‍රශ්න අහලා හිර කරන්න කාටවත් බැරිවුණා. ඒ නිසා මේ චෝදනාව අදට වලංගු නැහැ.”
නමුත් බටලන්ද කොමිෂන් සභා වාර්තාව නිගමනය කළේ පොලීසිය විසින් බටලන්දේ නීති විරෝධී රඳවා ගැනීමේ කඳවුරක් පවත්වාගෙන ගිය බවත් එහිදී පුද්ගලයන් වද හිංසා වලට ලක් කළ බවත් එකළ කර්මාන්ත ඇමති රනිල් එම කඳවුර පැවතීම පිළිබඳ දැන සිටි බවත් ය (බලන්න, බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිටු 153-4 https://ia601309.us.archive.org/8/items/BatalandaCommissionReportSrilanka/Batalanda-Commission-Report%20-Srilanka.pdf සහ පහත අනෙක් මූලාශ්‍ර). එසේ තිබිය දී වික්ටර් එම චෝදනා අදට වලංගු නැතැයි පවසන්නේ දේශපාලන අරමුණකින් විය යුතු ය.

The Batalanda Commission report that was submitted to President Chandrika on 27 March 1997 found the police Counter Subversive Unit (CSU) headed by Peiris “directly responsible” for the torture carried out at the illegal unofficial detention centre at Batalanda Housing Scheme (Sri Lanka Monitor Apr. 1998). The report also found Wickramasinghe knew of the centre’s existence (ibid.).
http://www.refworld.org/docid/3ae6acfd54.html
1995 inquiry commission on Batalanda. One of its findings was that “Mr. Ranil Wickremesinghe and the SSP, Nalin Delgoda, are indirectly responsible for the maintenance of places of unlawful detention and torture chambers in houses at the Batalanda Housing Scheme”.

It said Mr. Wickremesinghe held “unauthorised” meetings of police officers involved in counter-insurgency operations in the housing complex, and that as such, he had “abused his authority”.

http://www.thehindu.com/2000/08/23/stories/03230007.htm

අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ සිද්ධිය ගැන වික්ටර් පවසන කතන්දරයත් අපට වටහා ගත හැකි වන්නේ එය දේශපාලන අරමුණකින් කරන්නක් ලෙස මිස සත්‍ය ගවේෂණය කරන මාධ්‍යවේදියෙකු විසින් පවසන්නක් ලෙස නොවේ. ඔහු පවසන පරිදි මේ සිදුවීම හුදෙක් “ ජනමාධ්‍යය ……….ගොතාපු ගුණ්ඩුවක්ද යන සැකය මට තියෙනවා” යන අදහස පුදුම සහගත එකක් වන්නේ මේ පිළිබඳ හෙළිදරවු වුනු තොරතුරු සහ අදහස් ප්‍රමාණයේ පරිමාව සහ පරාසය පමණක් නොව ඊට මැදිහත් වීම් කළ පුද්ගලයන් ගේ තරාතිරම ද සළකා බලන විටයි. මේ ගැන අවශ්‍ය තරම් මූලාශ්‍ර අන්තර්ජාලයේ ඉතා පහසුවෙන් සොයා ගත හැකිය.

“ අර්ජුන මහේන්ද්‍රන්ගේ සිදුවීමේ සදාචාරාත්මක ප‍්‍රශ්නය වුණේ ඔහුගේ බෑනා මේ ගණුදෙනුවට සම්බන්ධ වුණා කියන එකනේ” යැයි වික්ටර් පවසන්නේ මෙම ගණුදෙනුවට රනිල් පැහැදිළිවම මැදිහත් වීය යන චෝදනාව නඟන රජීව විජේසිංහ වැනි අයගේ ප්‍රකාශ නොසළකා හරිමිනි. මෙම තීරණය අගමැති විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති තීරණයක් බව මහ බැංකු අධිපති කියා සිටි බව රජිව විජේසිංහ වාර්තා කලේය. එපමණක් නොව එජාපයේ සභාපති සහ රනිල් ගේ විශ්වාසවන්තම සගයෙකු වන මලික් සමරවික්‍රම ඊට සෘජුවම මැදිහත් වීය යන බරපතළ චෝදනාව ද වික්ටර් මෙහදී අමතක කරයි. පක්ෂයේ ලේකම් කබීර් හෂිම්, මලික් සමගින් මහ බැංකුවට ගොස් මහේන්ද්‍රන් හමුවී තිබුනි (බලන්න 2015 ජූලි සහ අගෝස්තු මාස වල රජිව ගේ facebook අඩවියේ සටහන්). මෙම ගණුදෙනුව එජාපයේ මැතිවරණ අරමුදලට මුදල් සොයා ගැනීම සඳහා කළ එකක් බව වානිජ මංඩලයේ හිටපු සභාපති සහ Friday Forum සිවිල් සංවිධානයේ සාමාජික චන්ද්‍ර ජයරත්න මහජන රැස්වීමක දී කියා සිටියේය. කොමියුනිස්ට් පක්ෂයේ නායක කෝප් කමිටුවේ එවකට සභාපති ඩිව් ගුණසේකර, මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලියු. ඒ. විජේවර්ධන, ආචාර්ය ජිද්‍රෙක් උස්වත්ත ආරච්චි, ඒ. සී. විස්වලිංගම් වැනි සමාජයේ ගරුත්වය දිනා ගත් පිරිස් මේ ගැන බරපතළ ප්‍රශ්න මතු කලහ. එපමණක් නොව පරණ පාර්ලිමේන්තුවේ පමණක් නොව නව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ විමර්ශනයට ද මෙය ලක්වී තිබේ. ඉතින්, මෙබඳු කාරණයක් ගැන වික්ටර් තමන්ට ඇති “චූටි සැකය” පදනම් කොට ගෙන එළඹෙන්නේ ඉතා විශාල නිගමනයකට ය. ඊළඟට එන තර්කය ඉතාම වැදගත් ය.

වික්ටර් මෙසේ පවසයි: “රනිල් දැඩි ස්වරයකින් මොහුව අවසානය දක්වාම ආරක්ෂා කළානේ. ඔය කියන චෝදනා ඔප්පුවෙලා තියෙනවා නම් රනිල් වගේ කෙනෙක් එවැනි පුද්ගලයෙක්ව ආරක්ෂා කරයිද යන ගැටලූව පැනනැඟුනා. අවංකවම ඒ නිසා මට සැකයක් තියෙනවා.” ‘රනිල් වගේ පුද්ගලයෙක්’ යනුවෙන් වික්ටර් මෙහි පවසන්නේ ‘රනිල් අවංක පුද්ගලයෙකි’ යන්න පිළිගැණුනු කාරණයකි යන්නයි. එය වුවද රජිව විජේසිංහ නිතරම ප්‍රශ්න කොට ඇත. සැබැවින්ම ගත් කළ රනිල් මුදල් වංචා නොකරන තමන්ගේ දෑත් පිරිසිදු ‘Mr. Clean’ යන්න සියළු දෙනාම මෙන් පිළිගත් කරුණක් ව තිබුණද මහබැංකු බැඳුම්කර වංචාවත් සමග ඒ අදහසත් බරපතළ ගැටළුවට ලක් විය. ඒ රනිල් තමන් ගේ සාක්කුව පුරවා ගැනීමට මුදල් වංචා කළේය යන්න කවුරුවත් විශ්වාස නොකරනු ඇති වුවත් පක්ෂයේ මැතිවරණ අරමුදලට හෝ වේවා මහ බැංකු මුදල් වංචාවට අනුග්‍රහය දැක්වීය යන අදහස පැතිරීමත් සමගිනි.

මීටත් වඩා වැදගත් පරිවර්තනයක් රනිල් ගේ ප්‍රතිරූපය පිළිබඳ සිදු වී ඇත. එය නම් ඔහු ජනතාවට බොරු පොරොන්දු දී ඒවා කිසිසේත්ම නොසළකා හරින, දේශපාලනයේදී තමන් දේශනා කරන දේ ක්‍රියාවට නංවන්නේ නැති පුද්ගලයෙකි යන්න දැන් ජනතාව අතර තහවුරු වෙමින් පවතින්නේය යන්නයි. පළමුකොට, ඔහු විපක්ෂයේ සිටින සමයේදී දිගටම නව ලිබරල්වාදයෙන් තමන් ඈත් වෙන බව අඟවා අවසානයේදී තමා නව ලිබරල්වාදයට විරුද්ධ බව සෘජුව පැවසූ අවස්ථාත් තිබුනි. ඒ වෙනුවට සමාජ වෙළඳපොළ ආර්ථිකයක් පිළිබඳ අදහස ඔහු ඉදිරිපත් කළේය. නමුත් බලය ලැබී ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව ඔහු කියා සිටින්නේ ජේආර් ඇරඹූ වැඩ පිළිවෙල දිගටම ඉදිරියටම ගෙනියන බවය. දැන් ඔහු ක්‍රියාත්මක කරන්නේත් එයයි. බලය කෙසේ හෝ තමන් අතට ගැනීමට රනිල් ජනතාවට බොරු කීවේය යන්නෙන් කියවෙන්නේ මෙරට හිටි අවසාන ධනේශ්වර මහත්මා දේශපාලනඥයාත් බලයට කෑදර වී අනිත් කපටි දේශපාලනඥයන්ගේ ගොඩටම වැටුනා යන්න යි. මෙය තමන්ට යමක් කිරීමට ඇති අවසාන අවස්ථාව ලෙස සළකා මින් ඉදිරියට යළිත් බලයට ඒමට නොලැබුනත් කමක් නැත යනුවෙන් සිතා එසේ කළා විය හැකිය. එසේ නොමැති නම් ජනතාව රවටා හෝ බලය ලබාගෙන රට හැදුවහොත් ජනතාව ඒ පොරොන්දු අමතක කොට සතුටු වෙයි යනුවෙන් සිතුවා විය හැකිය. ඉතින් සැබවින්ම එසේ වනු ඇතිද? යන්න ඉදිරියේදී දැකිය හැකි වනු ඇත.

අනෙක් කාරණය, රනිල් පාර්ලිමේන්තුව ගැන දක්වන ආකල්පය පිළිබඳ ය. ඔහු ට අද පාර්ලිමේන්තුව හුදෙක් තම බලය සහතික කරන රබර් මුද්‍රාවක් පමණකි. එමෙන්ම ඔහු මෙතෙක් මෙරට දේශපාලන ඉතිහාසයේ නොවූ ආකාරයට එය හෑල්ලුවට සහ විහිලුවට ලක් කොට ඇත. තමන් යහපාලනය අනුගමනය කරන බව ප්‍රකාශ කළද ඔහු විපක්ෂයේ ප්‍රශ්න වලට සෘජු පිලිතුරු නොදෙයි. දිගින් දිගටම රාජපක්ෂ රෙජිමයේ අකටයුතු මතක් කරමින් උත්තර දීම මග හරියි. පාර්ලිමේන්තුව තනිකරම විහිලුවක් බවට පත් කරයි. ඔහුගේ සභානායක කිරිඇල්ල ඇමතිවරයා ද අනුගමනය කරන්නේත් ඒ මගම ය. මෙලෙස පාර්ලිමේන්තුව හෑල්ලු කිරීම හේතුවෙන් මෙරට ජනයා තුළ පාර්ලිමේන්තුව කෙරෙහි තිබුනු විශ්වාසය මේ වනවිටත් බිඳ වැටී ඇත. පාර්ලිමේන්තුව හෑල්ලු කරන්නේය යනු ජනතාවත් ඔවුන් ගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවනුත් හෑල්ලුවට ලක් කරන්නේය යන්නයි. මෙය ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ජනතාව ඈත් කරවන්නට හේතු වනු ඇත. මේ රටේ බුද්ධිමත් තරුණ පරපුර දැනටමත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඈත් වී සිටියි.

“ නමුත් විවෘත්ත ආර්ථිකය නිසා දේශීය කර්මාන්ත විනාශ වීමකට වඩා නවීන වීමක් සිදු වුණා” යන්නට වික්ටර් දෙන උදාහරණය “ලංකාවේ අතින් වියන ඇඳුමක් අද අපිට ගන්න බෑ. ඒවා ගන්නේ හොඳ සල්ලිකාර පන්තියක්” යන්නයි. ඉන් කියැවෙන්නේ නිෂ්පාදනය පුළුල් වුනා යන්නද?, එසේ නොමැතිනම් දේශීය කර්මාන්තය හැකිලී භාණ්ඩ මිල අධික ලෙස ප්‍රතිනිර්මාණය කෙරුනා යන්නද? අතින් වියන ඇඳුම් ශ්‍රම සූක්ෂම නිෂ්පාදනයකි. එහෙයින් එම කර්මාන්තයට යන්ත්‍ර වලින් වියන ඇඳුම් මිල සමග වෙළෙඳ පොලේ තරඟ කළ නොහැකිය. එහෙයින් එය විශේෂායනයට ලක්වී මිළ අධික භාණ්ඩයක් වශයෙන් පමණක් පවතියි. නමුත් ඉන් එම අතින් වියන රෙදි කර්මාන්තයේ නිරතව සිටි විශාල පිරිසකට රැකියා අහිමි විය. නමුත් විවෘත ආර්ථිකය නිසා දේශීයව පැවතුණු බොහෝ කර්මාන්ත වැනසී ගොස් ඇත. අද අපි අල්පෙනෙත්තේ සිට සියලු කාර්මික නිමි භාණ්ඩ පිටරටින් ගෙන්වන්නෙමු. වෙළෙඳ පොල දෙස බැලූ විට මෙය පහසුවෙන් දැක ගත හැකිය. ලංකාවේ නිපදවූ භාණ්ඩ යනුවෙන් අපට දැකිය හැක්කේ මොනවාද? .

එට්කා ගිවිසුම ගැන වික්ටර් පවසන්නේ “ එට්කා වගේ ගිවිසුමකින් ලංකාවේ වෙළෙඳපොළ ඉන්දියාවට ගොදුරු වීමේ අවදානමක් නැතිව නෙමෙයි. නමුත් ආත්මවිශ්වාසය සහ හැකියාව තියෙනවා නම් අපිට මේ වෙළෙඳපොළ ජයගැනීම අසීරු කාර්යයක් නෙමෙයි. අපිට නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ 15ක් හෝ 20ක් හඳුනගන්න පුළුවන් නම් ලංකාව හිතාගන්නවත් බැරි තරම් ඉස්සරහට යනවා” යන්නයි. දැන් අප මේ භාණ්ඩ හඳුනා ගන්නේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවද? නැත්නම් අප ඊට පෙර එය කළ යුතු නැද්ද? මේ පිළිබඳ අදාළ භාණ්ඩ සඳහා නිෂ්පාදන සැළැස්මක් අපට තිබෙනවාද? යනාදී ප්‍රශ්න මෙහිදී මතුවෙයි. 2014 දී ලංකා ඉන්දියා වෙළඳාමේ පරතරය ඇ.ඩො. මිලියන 3353 කි. ඒ අපට අවාසි හිඟයේ ප්‍රමාණයයි. නව වෙළඳ ගිවිසුම මෙම පරතරය තවත් උග්‍ර නොකරන බවට ඇති සහතිකය කුමක් ද?

රනිල් එක් අවස්ථාවකදී විධායක ජනාධිපති ධුරය අත්හරිනවා වුනත් ඒ වෙනුවෙන් ඔහුට විධායක අගමැති තනතුරක් හදා ගැනීමට අවශ්‍යය. දැනටමත් ඔහු හැසිරෙන්නේ විධායක අගමැති කෙනෙකු ලෙසිනි. රනිල් දරදඬු පාලකයෙක්ද නැතිනම් ශක්තිමත් පාලකයෙක්ද යන්න තීරණය කරනු ඇත්තේ අනාගතය යි. තවමත් ඔහු දරදඬු ලක්ෂණ ප්‍රකට කරයි. තමන්ගේ තීරන දරදඬුව ක්‍රියාත්මක කිරීමට ගොස් ඊට එන විරෝධය දැඩි වූ විට ඒවා ආපස්සට ගෙන ආයෙමත් වෙනස් ස්වරූපයෙන් ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහයට ශක්තිමත් පාලනයක් යැයි කිව හැකි ද?

රනිල් ගේ දේශපාලන අදහස් වැටෙන්නේ ලිබරල්වාදයට නොව ගතානුගතිකවාදයට (conservatism) ය. රනිල් ජාත්‍යන්තරයේ එම පිළට සම්බන්ධ වී සිටින්නේ ඔහු තමා ගැන දන්නා බැවිනි.

වික්ටර් පවසන පරිදි දැන් මේ රට දේශපාලන කාන්තාරයක් නම්, “මේ කාන්තාරයේ ඉතිරිවෙලා ඉන්නවා නම් කවුරුහරි එයින් එක්කෙනෙක් තමයි රනිල්” යනුවෙන් ඔහු කියා සිටින්නේ ‘රනිල් අපේ ගැලවුම්කාරයා’ යන අදහසිනි. මට හිතෙන්නේ අපට අද ඇති අභියෝගය ගැලවුම් කාරයෙකු පිළිබඳ අදහස අයින් කොට ජනතාවගේ හඩට කන් දෙන නායකයන් හදාගැනීමේ අභියෝගය යි.

http://wp.me/p8pxe-1T7