සරල ශාස්ත්‍රීය සංගීතයේ නිර්මාපකයා අමරදේව – මහාචාර්ය සුචරිත ගම්ලත්

“සරල ශාස්ත්‍රීය සංගීතයේ නිර්මාපකයා වන්නේ ඔහුයි. උත්තර භාරතීය රාගධාරී සංගීතයෙහි රස භාවයන් හා දේශීය ජන ගී, ජන නාද රටාව යන අංශ දෙකෙහිම සංකලනයෙන් ඔහු මේ තත්ත්වය නිර්මාණය කළා. ඊට පෙර යුගයන් හිදී ශාස්ත්‍රීය සංගීතය වෙනම ඇසුණා. ජනගීය වෙනම ඇසුණා. මේ අංශ දෙකම නිර්මාණාත්මක ලෙස භාවිතා කළ පළමු පුද්ගලයා වන්නේ ඔහුයි. ඒ සංගීත සම්ප්‍රදායන් දෙකෙහි එකමුතුවෙන් බිහිවුණු නිර්මාණ හරහා අප ගීතයෙන් එතෙක් අත් නොවිඳි රසභාවයන් මතුවුණා. ගීතය නිර්මාණාත්මක ලෙස පුළුල් ලෙස වර්ධනය වුණා. ඒ වගේම ජන ගීය සම්බන්ධයෙන් තිබුණු අදහස්වල වෙනසක් ද ඇති කළා……ඕනෑම කලාකරුවකුගේ හැම නිර්මාණයක්ම එක සේ උසස් යැයි කියන්න බැහැ. හැම නිර්මාණයක්ම විශිෂ්ට වන්නේ නැහැ. ඒ වගේම අමරදේවයන්ගේ ද හැම කෘතියක්ම එකසේ උසස් කෘති යැයි මා පිළිගන්නේ නැහැ. ඔහු නිර්මාණය කරපු ගායනා කරපු දේශාභිමානී ගී යටතට වැටෙන බොහොමයක් ගීත උසස් නිර්මාණ ලෙස මම පිළිගන්නෙ නැහැ. උදාහරණයක් වශයෙන් 1983 කළු ජූලිය දවසෙ පේරාදෙණි විශ්වවිද්‍යාලෙ සිංහල ශිෂ්‍යයන් ද්‍රවිඩ ශිෂ්‍යයන්ට ම්ලේච්ඡ, දරුණු කුරිරු විදිහට පහර දුන්නෙ ඔහු තනු නිර්මාණය කරපු “මේ සිංහල අපගෙ රටයි” ගීතය ගායනා කරමින්.”

ඔබ සිංහල සංගීත ක්‍ෂේත්‍රය ඇතුළත අමරදේවයන් හඳුනාගන්නේ කෙසේද?

සිංහල සංගීත ක්‍ෂේත්‍රයේ අමරදේවයන් අද්විතීයයි. භාෂාවේ ඇති ජීව ගුණය, ධ්වනිපූර්ණ බව හරහා උද්දීපනය වන සම්භාව්‍ය සාහිත්‍ය ලක්ෂණ ද සංගීතය ඇසුරෙහි බිහිවන විචිත්‍ර නාද මාධූර්ය ද, එකට එක් තැන් කළ ප්‍රධාන නිර්මාණකරුවා වන්නේ ඔහුයි. ඒ නිර්මාණාත්මක ව්‍යායාමය තුළ රස නිෂ්පත්තියෙහිලා අමරදේවයන් දැක්වූ සංගීතමය පරිචය ද බිහි කරන ලද මධුර තනු රාශිය ද සිත රංජනය කරන ලද නාද කෞශල්‍යයෙන් හෙබි භාවාත්මක ගායනය ද ඉතා විශිෂ්ටයි. උත්තර භාරතීය ශාස්ත්‍රීය සංගීතය මැනවින් ප්‍රගුණ කළ අති දක්ෂ වයලීන වාදකයකු වූ ඔහු නිර්මාණාත්මක පරිකල්පනයෙන් පෝෂිත සැබෑ සංගීතඥයෙක්.

අමරදේවයන් සිංහල සංගීත ක්‍ෂේත්‍රයට සිදුකරන ලද මෙහෙය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

එය අංශ කිහිපයකින් සාකච්ඡා කරන්න වෙනවා. පළමු කාරණය තමයි සරල ශාස්ත්‍රීය සංගීතයේ නිර්මාපකයා වන්නේ ඔහුයි. උත්තර භාරතීය රාගධාරී සංගීතයෙහි රස භාවයන් හා දේශීය ජන ගී, ජන නාද රටාව යන අංශ දෙකෙහිම සංකලනයෙන් ඔහු මේ තත්ත්වය නිර්මාණය කළා. ඊට පෙර යුගයන් හිදී ශාස්ත්‍රීය සංගීතය වෙනම ඇසුණා. ජනගීය වෙනම ඇසුණා. මේ අංශ දෙකම නිර්මාණාත්මක ලෙස භාවිතා කළ පළමු පුද්ගලයා වන්නේ ඔහුයි. ඒ සංගීත සම්ප්‍රදායන් දෙකෙහි එකමුතුවෙන් බිහිවුණු නිර්මාණ හරහා අප ගීතයෙන් එතෙක් අත් නොවිඳි රසභාවයන් මතුවුණා. ගීතය නිර්මාණාත්මක ලෙස පුළුල් ලෙස වර්ධනය වුණා. ඒ වගේම ජන ගීය සම්බන්ධයෙන් තිබුණු අදහස්වල වෙනසක් ද ඇති කළා.

අමරදේව – මහගමසේකර සුසංයෝගය ඔබ හඳුනා ගත්තේ කෙසේද?

සම්භාවය සිංහල සාහිත්‍යයේ ජීවය, ධ්වනිශක්තිය ස්නායු පද්ධතියට ස්වීකරණය කරගත් නිර්මාපකයෙක් තමයි සේකර. ජන ගීවල තිබෙන සාහිත්‍යමය අගය ඒ ආකෘතිය තුළම රඳවා තබා ගන්නා අතරම එහි අන්තර්ගතය තුළ යම් යම් වෙනස්කම් කරමින් ජන ගීයෙහි ඇති සාහිත්‍යමය අගය, සංගීතමය ගුණයක් දක්වා වර්ධනය කිරීමට අමරදේවයන්ටත් මහගමසේකරයන්ටත් හැකිවුණා. එය ශ්‍රී ලංකාවේ සරල ශාස්ත්‍රීය සංගීතයට ඉතා විශාල බලපෑමක් වුණා. ඒ වගේම ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් පෝෂණය වුණා පමණක් නොව එය සිංහල ගීතයෙහි මං සලකුණක් බවට ද පත්වුණා.

අමරදේවයන්ට පෙර යුගයෙහි සිංහල සංගීතය පෝෂණය කිරීමට දායක වූ ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත වැනි නිර්මාණකරුවන් අතර අමරදේවයන් සුවිශේෂී වන්නේ කෙසේද?

ඔබ සඳහන් නම් දෙකට අමතරව රූපසිංහ මාස්ටර් හා අල්හාජ් මොහිදීන් බෙග් යන පුද්ගලයන් දෙදෙනා ද සිංහල සංගීතයෙහි පෝෂණයට ඉතා වැදගත් මෙහෙයක් ඉටු කළා. ඒ අතර තවත් කිහිප දෙනකු ද සිටිනවා. නමුත් අමරදේවයන් මේ හැම කෙනෙක්වම නිශේධනය කරගෙන ඉදිරියට ආව. අමරදේවයන්ට පෙර යුගයේ බිහිවූ නිර්මාණශිල්පීන්ගේ කිසියම් දුබලතා තිබුණේ නම් ඒවා නිවැරැදිව අවබෝධ කරගනිමින්, ඔවුන්ගේ නිර්මාණයන්හි ඇති සාධනීය ලක්ෂණ තවදුරටත් වර්ධනය කරමින් අමරදේවයන් ද එයට අලුත් යමක් එක්කරමින් ගීතයේ රුව ගුණ පෝෂණය කළා. ආනන්ද සමරකෝන්, සුනිල් සාන්තයන් විසින් සිදුකරන ලද අනූපමේය සේවය ඔවුන්ගෙන් පසු බාරවුණේ අමරදේවයන්ට. ඔහු එම උරදීමේ කාර්ය ඉතා සාර්ථකව ඉටු කළා.

ඔහුගෙන් පසු පරම්පරාවට ද ඒ බලපෑම තදින්ම කාවැදුණා.

ඔව්. ඔහුගෙන් පසු පරම්පරාව ඔහු දැමූ ශක්තිමත් අඩිතාලම එක්තරා දුරකට පෝෂණය කළා. නමුත් නොයෙක් සමාජ, දේශපාලන, ආර්ථික සාධක මත පසු පම්පරාව විවිධ න්‍යාය පත්‍රයන්ට අනුව ක්‍රියාත්මක වීම නිසා එහි පසුබෑමක්ද ඇතිවුණා. එහි ප්‍රතිඵලය වුණේ ගීතයෙහි සාධනීය ලක්ෂණ ඉන් බැහැර වීමයි.

ඔබ කියන්නෙ අමරදේවයන් එවැනි තත්ත්වයකට පත්වුණේ නැහැ කියලද?

මම එහෙම කියන්නෙ නැහැ. ඕනෑම කලාකරුවකුගේ හැම නිර්මාණයක්ම එක සේ උසස් යැයි කියන්න බැහැ. හැම නිර්මාණයක්ම විශිෂ්ට වන්නේ නැහැ. ඒ වගේම අමරදේවයන්ගේ ද හැම කෘතියක්ම එකසේ උසස් කෘති යැයි මා පිළිගන්නේ නැහැ. ඔහු නිර්මාණය කරපු ගායනා කරපු දේශාභිමානී ගී යටතට වැටෙන බොහොමයක් ගීත උසස් නිර්මාණ ලෙස මම පිළිගන්නෙ නැහැ. උදාහරණයක් වශයෙන් 1983 කළු ජූලිය දවසෙ පේරාදෙණි විශ්වවිද්‍යාලෙ සිංහල ශිෂ්‍යයන් ද්‍රවිඩ ශිෂ්‍යයන්ට ම්ලේච්ඡ, දරුණු කුරිරු විදිහට පහර දුන්නෙ ඔහු තනු නිර්මාණය කරපු “මේ සිංහල අපගෙ රටයි” ගීතය ගායනා කරමින්.

මේ සිද්ධිය ඉතා සවිස්තරව මහාචාර්ය එස්. සිවසේකරම් පෙන්වා දී තිබෙනවා. එය අප ද හොඳින් දන්නා කරුණක්. එහෙම ශිෂ්‍යයන්ට ප්‍රහාර එල්ල කරන, මිනිසුන්ගේ මානව සම්බන්ධතා කුඩු පට්ටම් කරන රටක “පින්කෙත හෙල රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා” කියල ඔහු ගායනා කරනවා. ඒක මිථ්‍යාව වැපිරීමටත්, ආගමික දෘෂ්ටිවාදය මත පදනම් වූ විද්‍යාත්මක නොවන අදහස්.

පදවැල සම්බන්ධ ව තතු එසේ වුවත් ඒ ගීතයන්හි තනුව හා ගායනය රසිකයා තුළ ජාතිවාදී අදහස් වපුරනවා වෙනුවට පහන් සංවේගයක් ඇති කරවනවා යැයි මම සිතනවා.

කලාවෙහි මුඛ්‍ය පරමාර්ථය වනුයේ යථාර්ථය ඥානනය කිරීම මිස මිථ්‍යාව වැපිරීම නොවෙයි. ඔවැනි ගීතවල සිදුවන්නෙ පද වැලෙහි තිබෙන ප්‍රතිගාමී භාවය අමරදේවයන් ගේ මධුර හඬින් උද්දීපනය කිරීමයි. සරල ගීතය කියන්නෙ සියුම්, සුභාවිත මනෝභාවයන් නිර්මාණය කරනු ලබන නිර්මාණාත්මක කාර්යයකට. ඒ පිළිබඳව විස්තර කරන විචාරකයන් කියන්නෙ එය පත්තු කරන්න ලැහැස්ති කරල තියෙන පහනක් වගේ දෙයක්. එහෙම නැත්නම් පිපෙන්න ඔන්න මෙන්න තියෙන මල් පොහොට්ටුවක් වගේ දෙයක් කියල. එය ඉතා සියුම් නිර්මාණාත්මක කාර්යයක්. එසේ නොවන ප්‍රතිගාමී ගීත අමරදේවයන් ගායනා කළත් වෙන කවුරු ගායනා කළත් ප්‍රතිඵලය වන්නේ එකමයි. මා අමරදේවයන් සමඟ එකඟ නොවන තැන එතැනයි.

අමරදේවයන් ගේ සාහිත්‍යමය වටිනාකම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ ජීව ගුණය, ධ්වනිපූර්ණ බව, සරල ගීතය තුළ ජීවමාන ලෙස නිර්මාණය කළේ ඔහුයි. අපේ රටේ බිහිවූ හා දැනට බිහිවී ඇති බොහෝ සංගීතඥයන්, රචකයකු ලියා දෙන ඕනෑම දෙයකට තනුවක් නිර්මාණය කරල ගීතයක් බවට පත් කරනවා. නමුත් අමරදේවයන් කවදාවත් නිකන් ආවට ගියාට තනු නිර්මාණය කරේ නැහැ. මේ පිළිබඳ පැහැදිලි කර ගැනීම සඳහා නැවතත් අපට අමරදේව – සේකර යුගයට යන්න වෙනවා.

සේකරයන් හා අමරදේවයන් දින ගණන් සති ගණන් සාකච්ඡා කරමින් තමයි ගීතයක් බිහි කරන්නෙ. එතැනදි සේකරයන් ගේ වචන පවා අමරදේවයන් ගීතයට ගැළපෙන පරිදි වෙනස් කරනව. රිද්මය පවා අවසන් මොහොතෙ වෙනස් කරන අවස්ථා තියෙනව. ගීතය තමනට ගැළපෙන ලෙස නිර්මාණය වන තුරු ඒ උත්සාහය අත්හරින්නෙ නැහැ. අමරදේවයන් සතු සාහිත්‍යමය දැනුම සේකරයන් ගේ දැනුම හා එක් කරමින් අවසානයේ ඉතා ප්‍රශස්ත නිර්මාණයක් බිහි කරනව. අමරදේවයන් ගේ මුල් කාලීන සෑම ගීතයකම වාගේ මේ සාහිත්‍යමය වටිනාකම දැඩි ලෙස කැපී පෙනෙනවා.

මේ අනුව සාහිත්‍යමය අගය හා සංගීතමය අගය එකට එක් කළ ප්‍රධාන නියමුවා වනුයේ අමරදේවයන්.

පැහැදිලිවම. ඔහු නිර්මාණය කළ සරල ගී පමණක් නොව විශේෂයෙන් චිත්‍රසේනයන් හා වජිරා නිෂ්පාදනය කරන ලද මුද්‍රා නාටක තුළ මේ ලක්‍ෂණය පැහැදිලිවම දක්නට ලැබෙනව. “කරදිය” මුද්‍රා නාටකය සඳහා අමරදේවයන් නිර්මාණය කරන ලද ගීත, නළ දමයන්ති මුද්‍රා නාටකය සඳහා අමරදේවයන් නිර්මාණය කරන ලද “ඈත කඳුකර හිමව් අරණේ” ඇතුළු අනිකුත් ගීත තුළ පැහැදිලිවම දක්නට ලැබෙන්නේ පොහොසත් නාද මාලාවකට වර්ණය දෙන සම්භාව්‍ය සාහිත්‍යයේ ජීව ශක්තිය.

මෙවැනි සුසංයෝගයක් සාර්ථක ලෙස බිහි කළ එකම නිර්මාණකරුවා අමරදේවයන්. මෙහිදීද මහගමසේකරයන් ගේ අගය වඩාත් ඉස්මතු වෙනව. මෙවැනි නිර්මාණ සාහිත්‍ය දත් පමණින් හෝ සංගීතය දත් පමණින් බිහි කිරීමට නොහැකියි. ඒ සඳහා නිර්මාණ වේශයට අවශ්‍ය පරිකල්පනය වුවමනා වෙනවා. නිර්මාණාත්මක පරිකල්පන ශක්තියක් නොමැති කිසිවකුගෙන් මෙවැනි වටිනා නිර්මාණ බිහිවන්නේ නැහැ. ඒ අතිනුත් අමරදේවයන් ඉතා ඉහළ ස්ථානයක පසුවෙනව. සංගීත ක්‍ෂෙත්‍රය තුළ නිර්මාණාත්මක පරිකල්පන ශක්තියෙන් ඉදිරියෙන් ම සිටින්නේ ද අමරදේවයන් මිස වෙන කිසිවකු නොවේ.

අමරදේවයන් ගේ වේදිකා නාට්‍ය සංගීතය පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?

අමරදේවයන් ගේ වේදිකා නාට්‍ය සංගීතය ඉතා රසවත් නාද මාලාවන්ගෙන් හා ගායන කෞශල්‍යයෙන් යුක්තයි. මහාචාර්ය සරච්චÁද්‍රයන්ගේ පබාවතී, බව කඩතුරාව, ලෝමහංස ඇතුළු තවත් නිෂ්පාදන කිහිපයකට ඔහු සංගීතයෙන් දායක වුණා. මෙම නාට්‍ය සඳහා ඔහු නිර්මාණය කරන ලද ගී තනු ඉතා විශිෂ්ටයි. ඒ අතර සරච්චන්ද්‍රයන් ගේ “වෙස්සන්තර” නාටකය වෙනුවෙන් ඔහු නිර්මාණය කරන ලද ගී තනුවලට මගේ විශේෂ කැමැත්තක් තියෙනව. එහෙත් මට දුකක් තියෙන්නෙ ඔහුගේ සංගීතඥයා තුළින් මෙයට වඩා වැඩි වැඩක් ගන්න තිබුණ යැයි සිතෙන විට.

ඒ කියන්නෙ?

අමරදේවයන් කියන්නෙ අති දක්‍ෂ වයලීන වාදකයෙක්. නමුත් අපේ රටෙහි සංගීතමය සංස්කෘතියක් නොමැති නිසා ඔහුගේ වයලීන වාදන අහන්න ශ්‍රාවක මණ්ඩපයක් තිබුණෙ නැහැ. කොටින්ම වයලීන වාදනයට රසිකයො හිටියෙ නැහැ. සංගීතය පිළිබඳ දැනුමැති විචාරකයො සිටියෙත් නැහැ. මේ පසුබිම මත ඔහුගේ ශාස්ත්‍රීය ඥානය මත පදනම් වූ වයලීන වාදනය අභාවයට ගියා. ශ්‍රී ලංකාව තුළ ශාස්ත්‍රීය සංගීතයට තිබෙන තැන ඉතාම අවාසනාවන්තයි. ශාස්ත්‍රීය සංගීතය රස විඳීමක් නොමැති තරම්. මෙහි ප්‍රතිඵලය වන්නෙ ශිල්ප මැනවින් ප්‍රගුණ කළ සංගීතඥයන්ට නිසි තැන නොලැබීම යාමයි. ඔවුනගේ ශාස්ත්‍රීය ඥානය කිසිදු ලෙස සංගීතයේ ප්‍රගමනයට යොදා නොගෙන ඔවුන් ඈත් කර තැබීමයි. අමරදේව නැමති දක්‍ෂ වයලීන වාදකයා හට ද අත්වුණේ එම ඉරණමයි.

ඔබ වඩා ඇලුම් කරනුයේ ඔහුගේ ශාස්ත්‍රීය ගායනයට ද? එසේ නොමැති නම් සරල ශාස්ත්‍රීය ගායනයට ද?

ඔය දෙකෙන් මොකක් කිව්වත් මම ආසයි. ශාස්ත්‍රීය ගීතය ශාස්ත්‍රීය ලෙස ගැයීමටත් සරල ගීතය සරල ලෙස ගැයීමටත් අමරදේවයන් දක්වන කුසලතාවය ඉතා ප්‍රශංසනීයයි. එහෙත් අමරදේවයන් ගේ ශාස්ත්‍රීය ගායනා පොදු ජනයා අතරට ගියෙ නැහැ. එයට ද මා මුලින් සඳහන් කළ පරිදි ශාස්ත්‍රීය සංගීතය රස විඳින ශ්‍රාවක මණ්ඩපයක් හිටියෙ නැහැ. එසේ සිටියා නම් අමරදේවයන් ගේ අගය මෙයට වඩා කිහිප ගුණයකින් වැඩි වෙනව. ඒක අපේ රටේ තියෙන අභාග්‍ය සම්පන්න තත්වයක්. සරල ශාස්ත්‍රීය ගීතය මෙන්ම ශාස්ත්‍රීය ගායන, වාදන සඳහා ද ශ්‍රාවක මණ්ඩපයක් නිර්මාණය විය යුතුයි. එය රටේ සංගීත සංස්කෘතියෙහි කොටසක් විය යුතුයි.

ඔබ ප්‍රකාශ කරන ලද සියලු දෙය සාරාංශ කොට බැලුවහොත් සිංහල සංගීතයේ පොදු සාධකය අමරදේවයන්.

පැහැදිලිවම ඔව්. ශාස්ත්‍රීය සංගීතය, සරල සංගීතය, මුද්‍රා නාටක සංගීතය, ගුවන් විදුලි ගීත නාටක සංගීතය, චිත්‍රපට සංගීතය, ජන සංගීතය මේ හැම ක්‍ෂෙත්‍රයකම බිහිවුණ පොදු සාධකය අමරදේවයන්. එය යුග යුග ගණන් ගලා යන නිර්මාණ සමුදායක එකතුවක්.

ඒ අනුව අමරදේවයන් යුග පුරුෂයෙක්.

යුග පුරුෂයෙක් යන වචනය මම පාවිච්චි කරන්නෙ නැහැ. යුග පුරුෂයා කියන්නෙ පුරුෂයො දෙන්නෙකුට. එයට අවශ්‍යම නම් කියන්න වෙන්නෙ යුග කාරක පුරුෂයෙක් කියල. කෙසේ නමුත් යුගයේ පුරුෂයෙක් කියන්නෙ අයින්ස්ටයින්, ලෙනින්, කාල් මාක්ස්, එංගල්ස්, චාල්ස් ඩාවින් වැනි යුගයක් සම්පූර්ණයෙන්ම කණ පිට පෙරළු මිනිසුන්ට පමණයි. යුග පුරුෂයො, යුග ස්ත්‍රීන් බොහොමයක් ඉන්නව. අපිට මෙහෙම කියන්න පුළුවන්. අමරදේවයන් ශ්‍රී ලංකා සංගීතයෙහි පතාක යෝධයෙක් කියල.

ඔබ හා අමරදේවයන් අතර ඇති සම්බන්‍ධය කෙසේ ද?

මම අමරදේවයන්ව අවුරුදු හතළිහක පමණ ඉඳන් ආශ්‍රය කරනව. අපි තරුණ කාලෙ නිතරම වගෙ හමුවෙලා සාකච්ඡා මණ්ඩප තියනව. එහිදි අපි සාහිත්‍ය, සංගීතය, වේදිකාව ඇතුළු නොයෙක් දේ පිළිබඳ සංවාද කරනව. මෑත භාගයේ වුණත් ඉඳහිට මම ඔහු බලන්න ගියා. නමුත් ළඟකදි මට ඔහු හම්බවුණ් නැහැ. අපි දෙදෙනගෙම සෞඛ්‍යය හේතු එයට බලපෑව. අපි දෙන්නගෙම මිත්‍රයකු වූ සුනිල් ෆොන්සේකා මහත්තයලගෙ ගෙදර ඉස්සර ඉඳහිටල හම්බවෙලා කෑම ටිකක් කාල සින්දුවක් දෙකක් කියල සතුටු වන කාලයක් තිබුණ. ළඟකදී ඒකත් කරන්න බැරිවුණා. එවැනි සද්ජන හමුවීම් දැන් නොමැති වීම පිළිබඳ මට ඇති වෙන්නෙ මහත් සංවේගයක්.

ඒ නිසා දැන් මටත් අමරදේවයන්ටත් ඇත්තේ අපි දෙදෙනා සම්බන්‍ධව රසවත් අතීතයක් පමණයි. මානව සංහතිය කියන්නෙ දැවැන්ත උත්සාහයකින් ගොඩනඟා ගත් සම්පතක්. නමුත් කාලය අපව කෙමෙන් වියපත් කරනව. හිත තරුණ වුවත් ගත තරුණ නැහැ. මටත් අමරදේවයන්ටත් දෙදෙනාටම එය පොදුයි. අපි අපේ ජීවිත දිහා ආපහු හැරිල බලනකොට එය ඉතිහාසය තුළ එක පරිච්ඡේදයක්. එමෙන්ම මහලුවිය හා මරණය විසින් මානව සංහතියේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට එල්ල කරන මේ ප්‍රහාරය කසකස්තානයේ සොයා ගෙන ඇති වාජීකරණය මඟින් අවුරුද්දකින් හෝ දික් කර ගත හැකි නම් මම සතුටුයි. අමරදේවයන් ද සතුටු වනු ඇතැයි මම සිතනව. අපිට සමාජය වෙනුවෙන්, මානව සංහතිය වෙනුවෙන් තව බොහෝ දේ කරන්න තියෙනව. එම නිසා අමරදේවයන්ට මම ඉත සිතින් සුබ පතනවා. අපේ ආයුෂත් රැගෙන නිදුක් නිරෝගී සුවයෙන් ජීවත්වීමට වාසනාව එතුමාට ලැබේවා.

සංලාපය – සුලෝචන වික්‍රමසිංහ

2012 දෙසැම්බර් 2 දින සිළුමිණ පුවත්පතින් උපුටා ගන්නා ලදී.