“ජනවර්ග පදනම් කර ගෙන නොව පුරවැසියන්ට දේශපාලන බලය දෙන විසඳුමක්…”- කුමුදු කුසුම් කුමාර

බලය බෙදුවොත් වෙනම දෙමළ රාජ්‍යයක් හදාවි කියන බිය ගොඩ නගන්නේ කවුද, කුමන දේශපාලන අවස්ථා මුල් කර ගෙන ද කියලා…………මේ මතය ජනතාවට ගෙන යන්නේ සිංහල බෞද්ධ ජන කොටස් තුළ අනියත බියක් ඇති කරලා එහි දේශපාලන වාසිය ලබා ගන්න අපේක්ෂා කරන කොටස්……සිංහල බෞද්ධ ජන කොටස්වල ඇති කරන මේ අනියත බියට හේතු සාධක වන කාරණා විග්‍රහ කරන්නත් කටයුතු කළ යුතුයි. සිංහල ජාතිය, සිංහල භාෂාව, බුද්ධ ශාසනය නැතිව යනවා කියලා අනියත බියක් සිංහල බෞද්ධයන් තුළ ඇති කරල තියෙනවා. මේක තමයි මේකේ පදනම. මේ දේ ට මූලික සතුරු ප්‍රවාහය ලෙස දකින්නේ දෙමළ ජනයා වාසය කරන ප්‍රදේශවල තමන්ගේ ස්වායත්ත දේශපාලන බලය සහ නිදහස ඉල්ලීමයි. සිංහල ජනයාට තමන්ගේ භාෂාව, තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම නැතිව යයි කියන බිය ඇතිවෙන්නේ කුමන හේතු පදනම් කර ගෙන ද කියන දේ පිළිබඳ විග්‍රහයකට අපි යා යුතුයි. මම හිතන්නේ නම් සිංහල බෞද්ධයන්ගේ අනාගතයට බරපතළ ම තර්ජනය එල්ල වෙන්නේ සිංහල බෞද්ධ සමාජය ඇතුළෙන් මයි………මෙහි දී 72 ව්‍යවස්ථාවට ඇතුළත් කරපු මේ බුද්ධාගමට ප‍්‍රමුඛත්වය දිය යුතුයි කියන කාරණය පිළිබඳ දෙමළ ජනතාව තුළ විශාල විරෝධයක් පවතිනවා. ඒ විරෝධය පැවතීමට හේතුව ඔවුන් බුද්ධාගමට විරුද්ධ කමක් නොවෙයි. ප්‍රශ්නය තිබෙන්නේ වසර තිහක් පැවතිච්ච යුද්ධය තුළ බුද්ධාගම, රාජ්‍යයේ කටයුතු සහ මිලිටරීකරණය සමඟ පැහැදිලි සබඳතාවක් දකින්නට ලැබුණා…….සිංහල බෞද්ධ ජාතිවාදී කොටස් මම කලින් කියපු බිය සම්බන්ධ කාරණා මත තමන්ගේ අනන්‍යතා ලක්ෂණ දෙමළ සමාජය තුළ පිහිටුවීමේ නිරන්තර උත්සාහයක යෙදෙනවා. ඒකේ ප්‍රධාන සංකේතයක් වෙන්නේ බුද්ධාගම. මේ නිසා දෙමළ ජනතාව තුළ දැඩි බියක් පවතිනවා ඔවුන් ව යටත් කර ගැනීමේ, නිදහසක් නො දීමේ ක්‍රියාවලිය තුළ බුද්ධාගම විශාල සංකේත බලයක් සමඟ රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. මං හිතන්නේ යුද්ධය අවසන් වුණා, ත්‍රස්තවාදය පරාජය කළා, අපි අනාගතය දෙස බලනවා නම් අපි උත්සාහ කළ යුත්තේ එබඳු බිය, සැක සමාජයෙන් ඉවත් කිරීමයි. අපි ලංකාවේ සමාජයේ සියලු දෙනාට සමානව සලකනවා නම්, එබඳු බියක් ඇති වන කිසිදු කාරණයක් ව්‍යවස්ථාපිත පදනමකින් ස්ථාපිත නො කළ යුතුයි. එහි දී අපි සියලු ආගම්වලට සමානව සැලකිය යුතුයි. බුද්ධාගමේ සමහරුන් කියන්නේ බුද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය තිබිය යුතුයි එහෙම නොවුනොත් බුද්ධාගම නැති වී යාමේ තර්ජනයක් තියෙන්න පුළුවන් කියලා. බුද්ධාගමට හෝ වෙනත් සියලු ආගම්වලට ආණ්ඩුවෙන් ඔවුන්ට ලැබිය යුතු කිසියම් ආකාරයක මූල්‍ය හෝ ආයතනික සහාය ලබා දීමට ව්‍යවස්ථාවේ කිසියම් ආගමකට ප‍්‍රමුඛස්ථානයක් ලබා දෙනවා කියලා සඳහන් කිරීම අවශ්‍ය නැහැ. ඒ සඳහා ප්‍රතිපාදන සපයා ගත හැකියි. ඒ සම්බන්ධව කිසිවෙක් විරුද්ධ වෙන්නේ නැහැ. මං හිතන ආකාරයට බුද්ධාගමට එල්ල වෙලා තියෙන ලොකු ම අනතුර එල්ල වෙලා තියෙන්නේ ආණ්ඩුවේ අනුග්‍රහය කියන කාරණයෙන් නොවෙයි. ආණ්ඩුවේ අනුග්‍රහය දැන් තියෙනවා. නමුත් අද බුද්ධාගමේ වර්තමාන තත්ත්වය මොකක්ද? එතන සඳහන් වෙන්නේ බුද්ධාගම ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සංඝයා වහන්සේලා නැතිකම, පන්සල් වැසී ගෙන යාම එහෙම නැත්නම් තරුණ පිරිස් ආගමින් ඈත් වීම වගේ කාරණා…..ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී බෙදුම්වාදී ව්‍යාපාරය පරාජය කළා කියලා ජනවාර්ගික ප්‍රශ්නයට තුඩු දුන් මූලික කරුණු අහෝසි වෙලා නැහැ. වෙනත් විදියකින් කියනවා නම් සමහර සිංහල බෞද්ධ ජාතිකවාදී කොටස් හිතනවා වගේ දෙමළ, මුස්ලිම් කියන ජනවර්ග දෙක සිංහල ජාතියට අවශෝෂණය කර ගෙන මේ ප්‍රශ්නය විසඳීමේ හැකියාවක් අද සමාජයේ පවතින්නේ නැහැ. ඊට හේතුව ඒ අවශෝෂණය කිරීමේ ක්‍රියාවලිය නතර වෙනවා යටත් විජිතවාදයේ පැමිණීමත් සමඟම සිංහල ක්‍රිස්තියානි සහ ඒ ජනවාර්ගික අනන්‍යතාවන් ස්ථාපිත කිරීම පදනම් කර ගෙන…….ඒ තත්ත්වය තුළ මගේ අදහස නම් සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස්වලට එක ලංකාවක් තුළ, එක කියන කොට ඒකීය කියන වචනය මම පාවිච්චි කරන්න කැමති නැහැ. එක්සත් ලංකාවක් තුළ ජීවත් වීමට පදනම දැමිය හැකි වන්නේ ජනවර්ග පදනම් කර ගෙන නොවෙයි, එතැනිනුත් එහාට යන ආකාරයට පහළ මට්ටමින් ගම්, කුඩා නගර, මට්ටමින් ආරම්භ කළ පුරවැසියන්ට දේශපාලන බලය බෙදීම දක්වා දුර දිග යන බලය බෙදීමකින් පමණයි කියල යි මම විශ්වාස කරන්නේ.

නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් රට තුළ යම් සූදානමක් පවතිනවා. නමුත් ඇතැම් පාර්ශ්ව මෙය රට බෙදන උත්සාහයක් වශයෙන් අර්ථ දක්වනවා. මේ අලත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය මොහොතක් ද?

අලත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන අදහස මතු වුණේ ජනවාරි 8 ව්‍යාපාරය හරහා. ඒකට මූලික හේතුව වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන යෝජනාවයි. ඊළඟට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහාත් අලත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන අදහස මත. ඔය කාරණා දෙක මුල් කර ගෙන තමයි අලත් ව්‍යවස්ථාවක් ගැන අදහස මතු වුණේ. ඒ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන්න සමහරුන්ට අවශ්‍ය වුනාට ව්‍යවස්ථාපිත කරුණු අනුව ජනමත විචාරණයකට නො යා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නොහැකි ය කියන දේ මත කරන්න පුළුවන් දේ සංශෝධන ගෙන ඒමයි කියල සංශෝධන ගෙන ආවා. මේ වෙලාවේ අලත් ව්‍යවස්ථාවක් අවශ්‍ය ද කියන කාරණය පිළිබඳ මම හිතන්නේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් දුරදිග යන දේශපාලන බලය බෙදීමක් සිදු කරන්න නම් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවයි. දැනට පවතින 13 වන සංශෝධනයෙන් එහාට යන ආකාරයේ බලය විමධ්‍යගත කිරීමක් සිදු කළ යුතුයි. ඊට අමතරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන කාරණය පිළිබඳ ජනවාරි 8 ව්‍යාපාරයට සම්බන්ධ වුණු මේ යෝජනාව ගෙන ආ කොටස් තුළ පවා යම් අවුලක් හට ගෙන තියෙනවා. සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ද කියන ප්‍රශ්නයත් පැන නැගිල තියෙනවා.

ලංකාවේ ජාතික ගැටලෑවට අදාළ ව බලය බෙදීම විසඳුමක් ලෙස ඔබ පිළිගන්නවා ද?

අද අපි ජීවත් වෙන්නේ 21 වන සියවසේ. නූතන, ගෝලීයකරණය වුණු, එකට බැඳුණු ලෝකයක. ඒ වගේම මානව අයිතිවාසිකම් අතින් බොහොම ඉස්සරහට ගිය මතවාදයක් තියෙන ලෝකයක. ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය බොහෝ කාලයක් තිස්සේ දිග්ගැස්සිලා තිබුණු ප්‍රශ්නයක්. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී බෙදුම්වාදී ව්‍යාපාරය පරාජය කළා කියලා ජනවාර්ගික ප්‍රශ්නයට තුඩු දුන් මූලික කරුණු අහෝසි වෙලා නැහැ. වෙනත් විදියකින් කියනවා නම් සමහර සිංහල බෞද්ධ ජාතිකවාදී කොටස් හිතනවා වගේ දෙමළ, මුස්ලිම් කියන ජනවර්ග දෙක සිංහල ජාතියට අවශෝෂණය කර ගෙන මේ ප්‍රශ්නය විසඳීමේ හැකියාවක් අද සමාජයේ පවතින්නේ නැහැ. ඊට හේතුව ඒ අවශෝෂණය කිරීමේ ක්‍රියාවලිය නතර වෙනවා යටත් විජිතවාදයේ පැමිණීමත් සමඟම සිංහල ක්‍රිස්තියානි සහ ඒ ජනවාර්ගික අනන්‍යතාවන් ස්ථාපිත කිරීම පදනම් කර ගෙන. දැන් ඒ ජනවාර්ගික කොටස්වල දීර්ඝ කාලීන යුද්ධය පසුබිම් කර ගෙන ඔවුන් තුළ ඇතිවෙලා තියෙන තමන්ගේ අනන්‍යතාවය පිළිබඳ හැඟීම සහ ඔවුන් සුවිශේෂ ජනවර්ගයක්, සමාජීය සහ සංස්කෘතික වශයෙන් සුවිශේෂී අනන්‍යතාවයක් තියෙනවා කියන එක මකා හරින්න සිංහල ජාතිය ඇතුළට අවශෝෂණය කර ගෙන දිය කර හරින්න පුළුවන් කාරණයක් නොවෙයි. ඒ තත්ත්වය තුළ මගේ අදහස නම් සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස්වලට එක ලංකාවක් තුළ, එක කියන කොට ඒකීය කියන වචනය මම පාවිච්චි කරන්න කැමති නැහැ. එක්සත් ලංකාවක් තුළ ජීවත් වීමට පදනම දැමිය හැකි වන්නේ ජනවර්ග පදනම් කර ගෙන නොවෙයි, එතැනිනුත් එහාට යන ආකාරයට පහළ මට්ටමින් ගම්, කුඩා නගර, මට්ටමින් ආරම්භ කළ පුරවැසියන්ට දේශපාලන බලය බෙදීම දක්වා දුර දිග යන බලය බෙදීමකින් පමණයි කියල යි මම විශ්වාස කරන්නේ. ඊට මෙහා තිබෙන විසඳුමක් වශයෙන් මම විශ්වාස කරනවා දැනට තියෙන පළාත් සභා පදනම් කර ගැනීම. ෆෙඩරල් කියන වචනය බොහොම භයානක වචනයක් විදිහට තමයි සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් අර්ථ ගන්වල තියෙන්නේ. නමුත් ෆෙඩරල් කියන වචනයේ අදහස සන්ධිය කරණයක් තුළින් රාජ්‍යයක් ගොඩ නැගීම පිළිබඳ අදහස. පහළ මට්ටමේ සිට ඉහළ දක්වා බලය ගොඩ නැගීමේ ක්‍රමයක් එහි තියෙනවා. අනෙක දැනට පවතින ක්‍රමය කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා බලය විමධ්‍යගත කිරීම. මේ ක්‍රම දෙකෙන් කෝක ක්‍රියාත්මක කළත් මම කැමතියි. ඒ තුළින් එක්සත් ජාතියක් තුළ සිංහල දෙමළ හා මුස්ලිම් සියලු ජන කොටස් රටෙන් වෙන් නොවී එකට ජීවත් විය හැකි දේශපාලන පරිසරයක් ගොඩ නැගිය හැකි බව සහ දිගු කල් පවතිනා එක ම විසඳුම එය බවයි මගේ විශ්වාසය.

බලය බෙදීම ගැන ඔහොම විශ්වාසයෙන් කතා කළත් මේ ව්‍යවස්ථාවේ ඇති කරල තියෙන 13 වන සංශෝධනයත් හරි ආකාර ක්‍රියාත්මක වෙලා නෑ නේද?

ක්‍රියාත්මක කිරීම දේශපාලන පැලැන්තියේ අවශ්‍යතාව මත සිද්ධ වෙන දෙයක්. ඔබ කියන එක හරි. මෙතෙක් කල් ලංකාවේ දේශපාලන පැලැන්තිය නැත්නම් දේශපාලන පන්තිය මේ බලය බෙදීම ක්‍රියාත්මක කරන්න ඉඩ දීල නැහැ 13 වන සංශෝධනය පවතින තත්ත්වයට වත්. නමුත් දෙමළ ජනතාවගේ පැත්තෙන් අපට පේනවා පැහැදිලිව ම ඉල්ලීමක් තියෙනවා තමන් බහුතරයක් වාසය කරන ප්‍රදේශවල තමන්ගේ කටයුතු කර ගෙන යා හැකි ප්‍රමාණයට දේශපාලන නිදහස ඔවුන්ට ලැබිය යුතුයි කියන මතය. ඒ දේ ඉෂ්ට නො කරන තාක් කල් ලංකාවේ ජාතික සංහිඳියාවක් ගොඩ නැගිය නො හැකියි. ලංකාවේ දේශපාලන පැලැන්තිය දෙමළ ජනයාගේ ප්‍රශ්නයට පමණක් නොවෙයි සිංහල සහ අනෙකුත් කොටස්වල ප්‍රශ්නවලටත් සංවේදී නැහැ. දැන් ඒ අය ක්‍රියා කරමින් ඉන්නේ තමන්ගේ පැවැත්ම සඳහා ම ස්වාර්ථ සාධනය කර ගන්නා වෙනම පන්තියක් විදිහට. ඒ අය ඒකට උනන්දු නැති කම, අප නිවැරදි මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීම වැළැක්වීමට හේතුවක් විය යුතු නැහැ. මේක එකපාරට විසඳුමක් සාර්ථකව ක්‍රියාත්මක කළ නො හැකි කාරණයක් විය හැකි බව මම පිළිගන්නවා. ලංකාවේ ජාතික සංහිඳියාව සහ ජාතික ඒකාග්‍රතාව ගැන උනන්දුවක් දක්වන පිරිස් විසින් මහජනයා හමුවේ දීර්ඝ කාලීන විවාදයක් තුළින් මේ ප්‍රශ්නය ජය ගැනීමට යොමු විය යුතුයි. ඒකෙ වගකීම ඔබ කියූ පරිදි ම තියෙන්නේ බලයේ සිටින ප්‍රභූ දේශපාලන පැලැන්තිය අත නොවෙයි. ඔවුන් මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නැහැ. එහි වගකීම දිගු කාලයක් තිස්සේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් පෙනී ඉන්න වාමාංශික කොටස් මත පැවරෙන වගකීමක්. ප්‍රභූ පැලැන්තිය මේකට යොමු වෙන්නේ නැහැ කියලා අපි අත්හැරිය යුතු නැහැ. දේශපාලනය කියන දේ හැම විටම ප‍්‍රායෝගික ව කළ හැකි කාරණා මත පමණක් කරන්න ගියොත් රටකට අවශ්‍ය කරන අනාගත දැක්මක් ගොඩනගා ගෙන ඒ සඳහා ජනතාව එකඟ කරවා ගැනීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කෙරෙන්නේ නැහැ.

සමහර දේශපාලන ව්‍යාපාර බලය බෙදීමට එක හෙළා විරුද්ධයි. ඔවුන් කියන්නේ එල්ටීටීඊ සංවිධානය යුද්ධයෙන් කර ගන්න බැරි වුණු දේ වත්මන් ආණ්ඩුව යටතේ දේශපාලනයෙන් කර ගන්නවා කියලා. මේ අභියෝගය සමාජය තුළ විසඳ ගන්නේ කොහොම ද?

මෙතන තිබෙන්නේ මූලික ව අනෙකා පිළිබඳ ව තියෙන බිය පිළිබඳ කාරණයක්. අපි තේරුම් ගන්න අවශ්‍යයි සාමාන්‍ය ජනතාව තුළ මේ බිය, බලය බෙදුවොත් වෙනම දෙමළ රාජ්‍යයක් හදාවි කියන බිය ගොඩ නගන්නේ කවුද, කුමන දේශපාලන අවස්ථා මුල් කර ගෙන ද කියලා. මේ සැකය ෆෙඩරල් ක්‍රමය නිසා වෙනම රාජ්‍ය හැදෙනවා කියල නම්, ලෝකයේ ඕන තරම් උදාහරණ තියෙනවා ෆෙඩරල් ක්‍රමය නිසා එක්සත් බව රැක ගෙන පැවතෙන රාජ්‍යයක් ගැන. එබඳු උදාහරණ තියෙද්දීත් මේ මතය ජනතාවට ගෙන යන්නේ සිංහල බෞද්ධ ජන කොටස් තුළ අනියත බියක් ඇති කරලා එහි දේශපාලන වාසිය ලබා ගන්න අපේක්ෂා කරන කොටස්. නමුත් ජනවාර්ගික ප්‍රශ්නයට සැබෑ විසඳුමක් අපේක්ෂා කරන කොටස් මේ ප්‍රශ්නය ජනතාව අතරට ගිහිල්ලා බලය බෙදීම තුළින් ජාතික එකමුතුවක් ඇති කර ගන්නෙ කොහොමද කියන එක ගැන ජනතාවට කරුණු ඉදිරිපත් කළ යුතුයි. ඒ පිළිබඳ සාකච්ඡාවක් ඇති කළ යුතුයි. ඒ වගේ ම අපි මේක යටින් තියෙන සිංහල බෞද්ධ ජන කොටස්වල ඇති කරන මේ අනියත බියට හේතු සාධක වන කාරණා විග්‍රහ කරන්නත් කටයුතු කළ යුතුයි. සිංහල ජාතිය, සිංහල භාෂාව, බුද්ධ ශාසනය නැතිව යනවා කියලා අනියත බියක් සිංහල බෞද්ධයන් තුළ ඇති කරල තියෙනවා. මේක තමයි මේකේ පදනම. මේ දේ ට මූලික සතුරු ප්‍රවාහය ලෙස දකින්නේ දෙමළ ජනයා වාසය කරන ප්‍රදේශවල තමන්ගේ ස්වායත්ත දේශපාලන බලය සහ නිදහස ඉල්ලීමයි. සිංහල ජනයාට තමන්ගේ භාෂාව, තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම නැතිව යයි කියන බිය ඇතිවෙන්නේ කුමන හේතු පදනම් කර ගෙන ද කියන දේ පිළිබඳ විග්‍රහයකට අපි යා යුතුයි. මම හිතන්නේ නම් සිංහල බෞද්ධයන්ගේ අනාගතයට බරපතළ ම තර්ජනය එල්ල වෙන්නේ සිංහල බෞද්ධ සමාජය ඇතුළෙන් මයි.

පවතින 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන පරිච්ඡේදයේ බුද්ධාගම විශේෂ කොට සලකා තිබීම ජනවාර්ගික සමගියට කොයි විදියේ බලපෑමක් කරනවා ද?

නූතන ලංකාවේ පවතින්නේ ආගමික වශයෙන්, ජාතික වශයෙන් සහ සංස්කෘතික වශයෙන් ජනවර්ග ගණනාවක අනන්‍යතාවයන් බොහොම තහවුරු වුණු සමාජයක්. ඒ නිසා නූතන මතවාදී තත්ත්වයන් තුළ ඔවුන් අදහස් කරනවා සියලු දෙනාට ම සමානව සැලකිය යුතුයි කියන අදහස. මෙහි දී 72 ව්‍යවස්ථාවට ඇතුළත් කරපු මේ බුද්ධාගමට ප‍්‍රමුඛත්වය දිය යුතුයි කියන කාරණය පිළිබඳ දෙමළ ජනතාව තුළ විශාල විරෝධයක් පවතිනවා. ඒ විරෝධය පැවතීමට හේතුව ඔවුන් බුද්ධාගමට විරුද්ධ කමක් නොවෙයි. ප්‍රශ්නය තිබෙන්නේ වසර තිහක් පැවතිච්ච යුද්ධය තුළ බුද්ධාගම, රාජ්‍යයේ කටයුතු සහ මිලිටරීකරණය සමඟ පැහැදිලි සබඳතාවක් දකින්නට ලැබුණා. විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල. ඒ පිළිබඳ වූ උදාහරණ තවමත් ඉදිරිපත් වෙමින් පවතිනවා. සිංහල බෞද්ධ ජාතිවාදී කොටස් මම කලින් කියපු බිය සම්බන්ධ කාරණා මත තමන්ගේ අනන්‍යතා ලක්ෂණ දෙමළ සමාජය තුළ පිහිටුවීමේ නිරන්තර උත්සාහයක යෙදෙනවා. ඒකේ ප්‍රධාන සංකේතයක් වෙන්නේ බුද්ධාගම. මේ නිසා දෙමළ ජනතාව තුළ දැඩි බියක් පවතිනවා ඔවුන් ව යටත් කර ගැනීමේ, නිදහසක් නො දීමේ ක්‍රියාවලිය තුළ බුද්ධාගම විශාල සංකේත බලයක් සමඟ රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. මං හිතන්නේ යුද්ධය අවසන් වුණා, ත්‍රස්තවාදය පරාජය කළා, අපි අනාගතය දෙස බලනවා නම් අපි උත්සාහ කළ යුත්තේ එබඳු බිය, සැක සමාජයෙන් ඉවත් කිරීමයි. අපි ලංකාවේ සමාජයේ සියලු දෙනාට සමානව සලකනවා නම්, එබඳු බියක් ඇති වන කිසිදු කාරණයක් ව්‍යවස්ථාපිත පදනමකින් ස්ථාපිත නො කළ යුතුයි. එහි දී අපි සියලු ආගම්වලට සමානව සැලකිය යුතුයි. බුද්ධාගමේ සමහරුන් කියන්නේ බුද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය තිබිය යුතුයි එහෙම නො වුනොත් බුද්ධාගම නැති වී යාමේ තර්ජනයක් තියෙන්න පුළුවන් කියලා. බුද්ධාගමට හෝ වෙනත් සියලු ආගම්වලට ආණ්ඩුවෙන් ඔවුන්ට ලැබිය යුතු කිසියම් ආකාරයක මූල්‍ය හෝ ආයතනික සහාය ලබා දීමට ව්‍යවස්ථාවේ කිසියම් ආගමකට ප‍්‍රමුඛස්ථානයක් ලබා දෙනවා කියලා සඳහන් කිරීම අවශ්‍ය නැහැ. ඒ සඳහා ප්‍රතිපාදන සපයා ගත හැකියි. ඒ සම්බන්ධව කිසිවෙක් විරුද්ධ වෙන්නේ නැහැ. මං හිතන ආකාරයට බුද්ධාගමට එල්ල වෙලා තියෙන ලොකු ම අනතුර එල්ල වෙලා තියෙන්නේ ආණ්ඩුවේ අනුග්‍රහය කියන කාරණයෙන් නොවෙයි. ආණ්ඩුවේ අනුග්‍රහය දැන් තියෙනවා. නමුත් අද බුද්ධාගමේ වර්තමාන තත්ත්වය මොකක්ද? එතන සඳහන් වෙන්නේ බුද්ධාගම ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සංඝයා වහන්සේලා නැතිකම, පන්සල් වැසී ගෙන යාම එහෙම නැත්නම් තරුණ පිරිස් ආගමින් ඈත් වීම වගේ කාරණා. මේවා සමාජීය ප්‍රශ්න. මේවා කාලයක ඉඳන් ඇතිවෙමින් යන වෙනසක් පිළිබඳ ප්‍රශ්නයක්. වෙනස් වන ලෝකය හමුවේ එයට අනුව වෙනස් වෙමින් තමන් වෙනස් වෙන්නේ නැත්නම් සමාජයේ ආයතනවලට හෝ පුද්ගලයන්ට දිගු කාලීන පැවැත්මක් නැහැ. වෙනස් වීමට මූණ දීලා අලත් වෙන්නේ කොහොමද? බුද්ධාගමත් බරපතළ ලෙස මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. ඒකට විසඳුමක් සොයා ගැනීම කියන කාරණාවට රාජ්‍ය අනුග්‍රහය හෝ ව්‍යවස්ථාවෙන් ඒ අනුග්‍රහය සහතික කිරීම කියන කරුණු අතර සම්බන්ධයක් මම දකින්නේ නැහැ. මේ තත්ත්වයන් තුළ ලංකාවට 21 වන ශතවර්ෂයට ගැළපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම් සිංහල බෞද්ධ ජනයාට ඒත්තු ගැන්විය යුතුයි සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රමුඛ සියලු ජන කොටස්වලට සමානයන් වශයෙන් මේ සමාජයේ එකට ජීවත් වීමට හැකි පදනමක් සපයන ව්‍යවස්ථාවකින් මෙපිට අපට අනාගත දැක්මක් ඇති ලංකාවක් හදා ගන්න බැරි වෙයි කියන කාරණය. මේ කාරණයට කල් ගත වෙන්න පුළුවන්. මොකද මේක කාලයක් තිස්සේ මිනිසුන්ගේ මුල් බැහැ ගෙන තියෙන අදහස්. වාමාංශික සහ ප්‍රගතිශීලී පුද්ගලයන් සහ දේශපාලන කොටස් තමන්ගේ වගකීමක් වශයෙන් මේ කටයුත්ත සඳහා මැදිහත් විය යුතුයි. ආණ්ඩුවේ හෝ විපක්ෂයේ සිටින දේශපාලන ප්‍රභූ පැලැන්තියෙන් මෙය අපට අපේක්ෂා කළ නො හැකියි.

සාකච්ඡා සටහන: සමන් ජයකොඩි

2016 නොවැම්බර් 06 වැනි දා ඉරිදා ‘ඇත්ත’ පුවත් පතිනි.