නිර්මිත පරිසරය තුළින් අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානතාව තහවුරු කරමු – චන්න දාස්වත්ත

‘ගෞරවය දිනාගැනීමට පෙර ගෞරවය ලබා දිය යුතුයි.’ තනි තනිව පුද්ගලයන් ලෙස හෝ ජාතික රාජ්‍යයක් ලෙස ගෞරවය සහ ඇගයීම පිළිබඳව කියවෙද්දී ඉහත කියමන නිතර නිතර භාවිතවූවකි. ජාතික රජයක් වෙනත් රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී පවත්වන ගෞරවනීය ස්වභාවය මත වෙනත් රටවල් තවත් රටක් පිළිබඳව දක්වන අවධානය සහ ඇගයීම තීරණය වේ. රටක් ලෙස ඔවුන් නිවැරදි යැ’යි විශ්වාස කරන අදහස් රටක සුභසිද්ධිය උදෙසා යොදවා, ඒ වෙනුවෙන් පෙනීසිටිමින්, ඒ සඳහා අවශ්‍යවන ක‍්‍රමෝපායන්හි වගකීම නොබියව දරාසිටීම පවා අන්‍යයන්ගේ ගෞරවය සහ ආදරය දිනා ගැනීමට හේතුවන සාධකයකි.

කිසියම් ජන කොට්ඨාසයක් පොදු සුභසිද්ධිය උදෙසා එක්ව ජීවත්වීමට තීරණය කරන තැනින් ජාතික රාජ්‍යයක් යන සංකල්පය දලූලයි. අවම වශයෙන් ජාතික රාජ්‍යයක් යන්නෙහි නුතන හඳුනාගැනීම එයයි. සිය කැමැත්තෙන් එවැනි සංකල්පයක් තුළ ජීවත්වීමට තෝරාගන්නා අයෙකු එවැනි සංකල්පයක් තුළ ජීවත්වීමට තීරණය කරන්නේ, ජාතික රාජ්‍යයක් තුළ එහි ජීවත්වන සියලූම ජනයාට එක හා සමාන ගෞරවාන්විත ජීවිතයක් ලබාදීමට එහි ව්‍යවස්ථාව සමාජයට බැඳී සිටින නිසායි. එනිසා එවැනි වටපිටාවක් තුළ පාලන තන්ත‍්‍රය කි‍්‍රයාවට නංවන ඕනෑම පියවරක් ‘සෑම දෙනාටම එක සමාන ගෞරවයක්’ යන අදහසෙහි සිට කි‍්‍රයාවට නැංවිය යුතුය. කිසියම් රටක් හෝ රජයක් මෙම ‘සමානතා’ සංකල්පය ඔස්සේ ගෞරවයට සහ ඇගයීමට පාත‍්‍ර වේ නම් එමඟින් නිරායාසයෙන්ම එහි ජීවත්වන ජනයාට සාධාරණයක් ඉෂ්ට කරයි. කිසියම් රටක පුරවැසියන් එකිනෙකාට ගෞරව කරන ආකාරය එම රට අනෙක් රටවල් අතර මෙන්ම රටේම පුරවැසියන්ගේ ගෞරවාදරය පවා ලැබීමට සමත් වෙයි.

රටක් ලෙස ශී‍්‍ර ලංකාව එහි පුරවැසියන්ට සුභවාදී ජීවිතයක් සඳහා විවිධ අවකාශ විවර කරදී ඇති දේශයකි. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය මඟින් එහි පුරවැසියන්ට අවම වශයෙන් යහපත් ජීවිතයකට අවතීර්ණවීමේ අවස්ථා උදාකර දී තිබේ. එම ක‍්‍රමවේදයන් තුළ විවිධ අක‍්‍රමිකතා පවතින බව පිළිගත යුතුව තිබුණත්, විසිවෙනි සියවස ආරම්භයේදී, යටත් විජිතකරණයෙන් පෝෂණය ලද පශ්චාත් යටත් විජිත ලක්ෂණයන් සහිත ව්‍යුහයක් තුළින් ගැළවී, විසි එක්වෙනි ශතවර්ෂය අවසානය වන විට වඩා විවෘත, තනි පුද්ගල කි‍්‍රයාකාරකම් මඟින් ඔවුනොවුන්ගේ ජීවිත තීරණය කිරීමේ හැකියාව දිනාගෙන ඇත. එම වෙනස ඇතිකිරීමට බලපාන ලද ප‍්‍රධානම සාධක දෙකක් ලෙස නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්ය සේවය හඳුනාගැනීම තුළ කිසිම වරදක් නැත.

ගෞරවාදරය සහ ඇගයීම යන සංකල්ප එදිනෙදා ජීවිතය සමඟ භෞතික සාධකයක් ලෙස ගළපන්නේ කෙසේ ද? අප සමාජය තුළ එදිනෙදා ජීවිත හා සබැ`දි භෞතික සංවර්ධනය පිළිබඳව සිතා බැලූවහොත් ශී‍්‍ර ලංකාව රටක් ලෙස අසාර්ථක වී ඇති අවස්ථාවන් එමටය.

මෙරට නාගරික සහ අර්ධ නාගරික ප‍්‍රදේශ ආශ‍්‍රිතව භෞතික සංවර්ධනය පිළිබඳව සලකා බැලූවහොත්, සමානතාව සහ සහජීවනය පිළිබඳව මූලික කරුණු පවා මෙරට සැලසුම්කරුවන් සහ පරිපාලන ආයතන විසින් මඟහැරී ගොස් ඇති බව දැකගත හැකිය. ඉතාම සරලව ගතහොත් තවමත් බහුලව පොදු ප‍්‍රවාහන සේවා හෝ පයින් ගමන් කරන ජනතාවක් සිටින රටක නගර පද්ධතිය සහ මාර්ග හෝ වීදි අතර ඔවුනට කිසිම ඉඩක් වෙන්කර නොතිබීම ඛේදජනක තත්ත්වයකි. කිසිම ලෙසකින්වත් නොගැළපෙන ආකාරයේ බස්නැවතුම් සහ කිසිම ලෙසකින්වත් සෑහීමකට පත් නොවිය හැකි පදික වේදිකා පමණක් නිරීක්ෂණය කිරීමෙන් මෙම තත්ත්වය තේරුම්ගත හැකිය. ඒ හැරුණුවිට නගර පද්ධති තුළ ඇති සෑම විවෘත ඉඩකඩක්ම රටෙහි හෝ නගරයෙහි ප‍්‍රතිරූපය මවාපෑමට භාවිත කොට තිබේ. කිසිවෙකු සිමෙන්ති ගල් අතුරන ලද මනා මංතීරු ඉල්ලන්නේ නැත. එහෙත් සම්පූර්ණයෙන්ම පදිකයන් සඳහා වෙන් කරන ලද තුරු වියනක සෙවණ සහිත මංතීරු අපගේ 90%ක්ම නගර ආශ‍්‍රිතව දක්නට නොලැබීම අභාග්‍යයකි. සරලව ගතහොත් රටෙහි පාලන තන්ත‍්‍රයන්හි තීරණ ගන්නා සුළුතරය විසින් බහුතරයක් වන සාමාන්‍ය ජනතාව අගෞරවයට පත්කර ඇත.

දිනෙන් දින ඉහළ යන නිවාස සහ අනෙකුත් ගොඩනැඟිලි අවශ්‍යතාව සලකා බලන කල රටේ ඉඩම් හෝ විවෘත අවකාශ අධික ලෙස භාවිතයට ගැනීම කිසිම පාලනයකින් තොරව සිදුවන්නකි. රට තුළ ස්වාභාවික සම්පත් සහ වගාබිම් හෝ වගාකළ හැකි බිම් ශීඝ‍්‍ර ලෙස මෙම පුළුල් සැලැස්මකින් තොරව කෙරෙන ජනාවාස ක‍්‍රමවේදයන් මඟින් විනාශ කෙරෙමින් ඇත. ඉතා හො`දින් සැලසුම් කරන ලද නිවාස සහ ගොඩනැගිලි ක‍්‍රමවේදයන් තුළින් ජනාවාස පද්ධති සහ ජීවන විලාසයන් වෙත මිනිසා උනන්දු කළ යුතුව ඇත. එමඟින් රටක් ලෙස අපට හිමි ඉතා සීමිත හරිත පරිසරය සහ වගාබිම් ඉතිරි කරගත හැකි අතර එමඟින් අප නිරායාසයෙන්ම අපගේ සුන්දර රටට ගෞරවාදරය ලබාදෙනු ඇත. කළ යුතුව ඇති දෙය එය වුවත් දැනට පෙනෙන්නට තිබෙන ලෙසට අපි වෙළෙඳපොළ ආර්ථිකයට අවශ්‍ය පරිදි අපගේ පරිසර පද්ධතිය ආක‍්‍රමණය කිරීමට ඉඩ දී ඇත්තෙමු.

වෙළෙඳපොළ ආධිපත්‍යය විසින් අපගේ නගර සභා අර්ධ නාගරික ප‍්‍රදේශවල සැලසුමකින් තොර අපිළිවෙළ ස්වභාවය තීරණය කරමින් ඇති අතර එම සංකීර්ණ තත්ත්වය ප‍්‍රබල අනතුරු ඇඟවීමක් කරයි. රට තුළ අනතුරු ඇ`ගවීමක් කරයි. රට තුළ ශීඝ‍්‍රයෙන් පැතිර යන ඉදිකිරීම් මඟින් වෙළෙඳපොළ ආර්ථික ව්‍යුහයට විශාල වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන අතර බහුතරයක්ග‍්‍රාමීය හෝ ප‍්‍රධාන නගරවලින් පිටත සිදුවන සැලසුමකින් තොර විසිරුණු ජනාවාස ගලනය පාලනය කිරීමට ක‍්‍රමවේදයක් සැකසිය යුතුව ඇත. ලොව දියුණු වෙළෙඳපොළ ආර්ථික ක‍්‍රමවේදයන් පවතින රටවල පවා, ජනාවාසකරණය අවම ඉඩම් ප‍්‍රමාණයක් භාවිත වන ආකාරයට කළමනාකරණය කරයි. එමෙන්ම ඉතාම දියුණු යටිතල පහසුකම් සහිත සහ මිනිස් ජීවන මට්ටම ඔප්නංවන ප්රදේශ ජනාවාස ලෙස දියුණු කරයි. මෙවැනි විධිමත් සැලසුම් ක‍්‍රමවේද නිසැකවම සමාජයක සියලූම ජන කොට්ඨාසවලට සමාන ලෙස ගෞරව කරන සහ අන්‍යොන්‍ය ගෞරවය පතුරුවන්නකි.

වාස්තු විද්‍යාත්මක මැදිහත්වීම පිළිබඳව සලකා බලන කල ඉතාම පැහැදිලි කරුණක් වන්නේ, පොදු ගොඩනැගිලි සහ පොදු අවශ්‍යතා වෙනුවෙන් ගෞරවාදරයට ලක්විය යුතු ගොඩනැඟිලි හෝ සැලසුම් ක‍්‍රමවේද ඇත්තේ ඉතාම අතළොස්සක් බවයි. රසඥතාව පිළිබඳ මිනුම් දඬු එකිනෙකට වෙනස් විය හැකිය. අලංකාරය යන්න පිළිබඳව පොදු මතය වෙනස් විය හැකිය. එහෙත් සාර්ථක නගර පද්ධතියක වාස්තු විද්‍යාව සහ ගොඩනැගිලි ඒවා භාවිත කරන්නන්ගේ මනස වැඩිදියුණු කිරීමේ අවම සුදුකමෙන්වත් යුක්ත විය යුතු අතර පොදු ගොඩනැගිලි තුළට ඇතුළු වී නිදහස් ලෙස ඒවා අත්විඳීමේ හැකියාව සලසා දිය යුතුව ඇත. අපගේ පොදු ගොඩනැගිලි පිළිබඳව සලකා බලන විට බොහෝ විට ඒවා නිර්මාණය කර ඇත්තේ පොදු ජනතාවට නිදහසේ ඇතුළු වීම ඇහිරෙන ආකාරයට මිස නිදහසේ ගොඩනැගිලිවලට ඇතුළුවීමට පහසු ලෙස නොවේ. එවන් සමාජයක සහ එහි වෙසෙන මිනිසුන් අතර අන්‍යෝන්‍ය ගෞරවාදරයක් ඇතිවිය හැකිද? උදාහරණයක් ලෙස ‘ජාතික ප‍්‍රාසංගික ආයතනය’ පිළිබඳව විමසා බලමු. ජාතික ස්මාරකයක් ලෙස මිනිසුන්ට තමන්ගේ හැඟීම් සමඟ මුසුවීමට මෙම ගොඩනැගිලි සංකීර්ණය තුළ කිසිම අවකාශයක් පොදු මිනිසාට විවෘත නැත. එමෙන්ම ජාතික ප‍්‍රාසංගික කලා ආයතනය වුවත් එම පරිශ‍්‍රය තුළ සමකාලීන සංස්කෘතික සහ කලා අංග ගෞරවයෙන් සැමරීමට කිසිම වැඩපිළිවෙළක් නැත. සිංහල නාට්‍ය, භරත නාට්‍යම් හෝ සිම්පනි සංධ්වනි සඳහා එහි කිසිම විධිමත් වැඩපිළිවෙළක් නොමැතිය. ලෝකයේ වෙනත් දියුණු රටවල ජාතික තලයෙන් මෙවැනි සංස්කෘතික කලා ආයතන ඉතා ප‍්‍රබල ලෙස මිනිසුන්ගේ ගෞරවයට පාත‍්‍රවන්නේ ඇයි?

රටක් වශයෙන් එහි පොදු මහජනයාගේ ගෞරවාදරයට ලක් වීමට නම්, නිතර උළුප්පා දක්වන ‘මෙගා’ වැඩපිළිවෙළ සමඟම පොදු ජනතාවට නිදහස් ලෙස ජීවත්වීමට සහ එදිනෙදා ජීවිතය සතුටින් ගතකිරීමට සරල මෙන්ම අත්‍යවශ්‍ය මූලික ගැටලූ කිහිපය නිවැරදිව විසඳීමට කාලය උදාවී තිබේ. එවැනි දැවැන්ත වැඩපිළිවෙළ මඟින් රටක් ලෙස නව අවස්ථාවන් විවර කරගන්නවා සමඟම රටෙහි පොදු ජනතාවට තමන්ගේ රට ගැන ආඩම්බර විය හැකි බව සැබෑවකි.

එයට සමාන්තරව පොදු ජනජීවිත මට්ටම ඉහළ තළයකට ඔසවා තබා මුළු මහත් සමාජයටම ගෞරවාන්විතව දිවි ගෙවීමට පදනම සැකසිය යුතුව ඇත. එවැනි පසුබිමක් මත දියුණුවන රටක් එම රටෙහි ජනතාවගේ ගෞරවාදරයට පත්වන අතරම ලෝකයෙහි අනෙක් රටවල් අතර පවා ආදරණීය ඇගයීමකට ලක්වීම පුදුමයක් නොවනු ඇත.

රාවය 30 වෙනි සංවත්සර අතිරේකයෙනි

Leave a comment