මහාචාර්ය ගණනාථගේ “නෙරපූ රජ” නිකුත් වෙයි.

නෙරපූ රජ: ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය

කතෘ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර
පරිවර්තනය- එච්. ජී. දයාසිසිර
ප්‍රකාශනය- සරසවි ප්‍රකාශකයෝ
මිළ- රුපියල් 525.00

මහාචාර්ය ඔබේසේකර සහ කථිකාචාර්ය එච්. ජී. දයාසිසිර (ඡායාරූපය -©චතුර මධුසංක)

මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ ලංකාව තුළ මෑත කාලයේ වඩාත් විවාදපාත්‍ර කෘතියක් වූ ඩූම්ඩ් කිංග් ( The Doomed King:Requiem for Sri Vikrama Rajasinhe) නම් ඉංග්‍රීසි බසින් පල වු කෘතිය නෙරපූ රජ ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය වශයෙන් එච්. ජී. දයාසිසිර විසින් සිංහල බසට නගා පල වී ඇත.මහාචාර්ය ගණනාථ ඔබේසේකර විසින් ඉංග්‍රීසි බසින් රචිත දහයකට අධික කෘති අතරින් සිංහල බසට නැගුණ ප්‍රථම හා එකම කෘතිය ද මෙය වේ.

මහාචාර්ය ඔබේසේකර ඔහුගේ අන් බොහෝ ශාස්ත්‍රීය මැදිහත් වීම් වල දී මෙන්ම මෙහිදී ද ඉතිහාසය ලිවීම පිළිබඳ බාරදූර ගැටලුව යළි මතු කරයි. ලාංකික ඉතිහාසය මෙන්ම ජනප්‍රිය ඉතිහාසය තුළ ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ භූමිකාව නිරූපණය වන ආකාරය ගැටලුවට ලක් කරන ඔබේසේකර ඉතිහාසකරණයේ මූලාශ්‍ර ඒවායේ සමාජ ආර්ථික දේශපාලන සංදර්භය තුළ පිහිටුවා අවබෝධ කරගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි. එමෙන්ම මෙහිදී ප්‍රශ්න කෙරෙන්නේ යටත් විජිත බල ව්‍යාපෘතියේ සමාජ දේශපාලන ගම්‍යමානයන් නොසලකා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ ඉතිහාසය සත්‍යයක් සේ බාරගැනීමේ ගැටලුවයි. කෲර දුර්දාන්ත රජෙක් ලෙස ගත් ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ ඉතිහාසගත ප්‍රතිරූපය යටත් විජිත ව්‍යාපෘතිය යුක්තියුක්ත කරණයෙන් නිදහස්ව අවබෝධ කරගත නොහැක බව ඔබේසේකර අප හමුවේ ගෙන හැර පායි. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ ප්‍රගතිශීලී, විමුක්තිදායක කාර්යක් සේ ඉතිහාසය තුළ ස්භාවිකකරණයට ලක්ව ඇති උඩරට රාජධානිය කුරිරු රජෙක් ගෙන් මුදාගැනීම පිළිබඳ ඉරණම්ගත චිත්‍රය උඩියටිකුරු කරන සාක්ෂි හා ගැටලු ඔබේසේකර අප හමුවේ තබයි. ඇහැලේපොල පවුලේ සාමාජිකයන් කුරිරු දඬුවමකට ලක් කිරීමේ ඉතිහාසගත කතන්දරයේ යටත් විජිත සම්භවය ඔබේසේකර හෙළිදරව් කරයි. තවද, සිංහලයා පිළිබඳ මුල් පුරාවෘත්ත හා බැඳි ඓතිහාසික යමක් සේ ගැනෙන වර්තමාන ජාතික කොඩියේ එන කඩුව රැගත් සිංහයාගේ සංකේතයේ නූතන බටහිර සම්භවය විචාරශීලී ලෙස මෙම කෘතියේ සාකච්ඡාවට ගෙන තිබේ. සැබැවින්ම, ලංදේසි යුගයේ පහත රට ප්‍රදේශ වල භාවිතා වූ මෙම සිංහ ධජය බ්‍රව්න්රිග් ආණ්ඩු කාරයා 1815 දී ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ දී ප්‍රථම වරට උඩරට ඔසවා තබන්නේ පහත රට ප්‍රදේශ නියෝජනය කිරීමට බව ඔබේසේකර පෙන්වා දෙයි.

මහාචාර්ය රජීව් භාර්ගවා මෙම කෘතිය පිළිබඳ සඳහන් කරමින් පෙන්වා දෙන්නේ “ම්ලේච්ඡ රජෙක් පිළිබඳ ප්‍රතිරූපයක් සූක්ෂම ලෙස නිමවා, සාමූහික විඥානය විශේෂයෙන්ම යටත් විජිත වැසියන්ගේ එනම් උගත් ශ්‍රී ලාංකිකයන්ගේ සිතුවිලි ග්‍රහණයට ගෙන ලිබරල් සනශීලීත්වයේ ප්‍රතිමූර්තියක් සේ පෙනී සිටින යටත් විජිත වාදීන්ගේ දුෂ්ට අතීතය යටපත් කල ආකාරය” ඔබේසේකර ගෙන හැර පාන බවයි. ජෝන් රොජර්ස් පෙන්වා දෙන්නේ “මෙම කෘතිය අධිරාජ්‍ය ව්‍යාප්තිය යුක්ති යුක්තකරණයට මුල් කාලයේ ගොඩ නංවන ලද දැනුමේ චිරස්ථායි පැවැත්ම පිළිබඳ නිදර්ශනයක් සපයන බවයි.”

යටත් විජිත තත්වයෙන් නිදහස ලබා අඩ සියවසකට අධික කාලයක් ගෙවී ඇතත් අපගේ ඥාන පද්ධතීන්, චින්තනය යටත් විජිතහරණය කිරීමේ දුෂ්කරතාවය පිළිබඳ එක් කථාවක් ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ ඉතිහාසය වෙත මහාචාර්ය ඔබේසේකරගේ යළි පිවිසීමෙන් උගත හැකි පාඩමකි.
සියළු ශ්‍රී ලාංකිකයන් කියවිය යුතු කෘතියක් වන මෙය ඉතා කෙටි කලකින් සිංහල බසින් කියවන්නන් අතරට ගෙන ඒමට මහාචාර්ය ගණනාථ ඔබේසේකර මෙන්ම මෙහි පරිවර්තකයා වන කථිකාචාර්ය එච්. ජී. දායාසිසිර කටයුතු කිරීම ඉතාමත් ප්‍රශංසනීය වේ.

මහාචාර්ය ගණනාථ ඔබේසේකර ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙක් වන අතර ඔහු කලක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ද, ඇ.එ.ජ. යේ සන් ඩියගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ද සේවය කර ඇත.මානව විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන බුද්ධිමතෙකු වන ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයකට අධික වන අතර සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිත්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. ඔහුගේ පර්යේෂණ සහ කෘති බොහොමයක් ලාංකික සාමාජය පිළිබඳව වන අතර මේ වන විට 1818 අරගලය පිළිබඳ ඔහුගේ කෘතිය නිම කරමින් සිටියි.

එච්. ජී. දයාසිසිර වෘත්තියෙන් පුරාවිද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙක් වන අතර මහාචාර්ය ඔබේසේකර ගේ පර්යේෂණ සහායකයෙකු ලෙස ද කටයුතු කරයි.

එම කෘතියේ දරුවන් වංගෙඩියේ කෙටවීමේ කතාව යලිආවර්ජනය නම් කොටස මෙහි පල කරමු.

කුමාරිහාමි පවුලේ ඛේදවාචකය යලිආවර්ජනය (නෙරපූ රජ: ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය කෘතියෙනි)

ඇහැලේපොළ දරුවන් වනේ ලා කෙටවීමේ ශෝකාන්ත කතා පුවත ගොඩ නැගෙන්නේ පීරිස් පෙන්වා දෙන පරිදි ජනප‍්‍රිය ශෝකාන්ත කතා ඇසුරිණි. මේ සිද්ධිය ගැන මුලින් ම වාර්තා කරන්නේ තොඑන් (Theon) නමැති ලන්දේසි ජාතික වෙඩික්කරුවකු විසිනි. වාර්තා කරනුයේ එය සිදු වූවා යැයි කියන වකවානුවට මාස දහයකට පසුව ය. තොඑන් මෙම කතාව කියන්නේ මහනුවර ආක‍්‍රමණයට පෙර ය. එම පුවත බ‍්‍රවුන්රිග් විසින් 1815 පෙබරවාරි 25 දින රාජ්‍ය ලේකම් බැතර්ස්ට් වෙත යවයි. එහි අරමුණ උඩරට ආක‍්‍රමණයට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරිම බව පැහැදිලි ය. බ‍්‍රවුන්රිග් බැතර්ස්ට් වෙත යවන්නේ තොඑන්ගෙන් ලද තොරතුර යි. බ‍්‍රවුන්රිග් වාර්තා කරන්නේ මෙසේ ය.

“ඔහු (තොඑන්) කියන අන්දමට ඇහැලේපොළ අදිකාරමගේ දරුවන් සිව් දෙනාගේ හිස ගසා දමා ඇත. බාලම අතදරුවා කිරි උරමින් සිටිය දී උදුරා ගෙන මරා දැමී ය. ඔවුන්ගේ සිරුරු බිම දිගේ ඇදගෙන යන ලදි. දරුවන්ගේ හිස් වංගෙඩියේ දමා මව ලවා කෙටෙව්වේ ය. ඇයට තමාගේ ම දරුවන් වනේ ලා කෙටීමට බල කෙරිණි. ඇය හා ඇයගේ ඥාති කතුන් තිදෙනෙකුගේ දෑත් හා දෙපා මාළිගාවේ වහල් ස්ත‍්‍රීන් ලවා ගැට ගසා බෙල්ලේ ගල් එල්ලා වැවට දැම්මේ ය.”

මේ කතාව බ‍්‍රවුන්රිග් හා තොඑන් විසින් බි‍්‍රතාන්‍යයින් හා සිංහලයින් අතර ප‍්‍රසිද්ධ කළේ නැතැයි කාට නම් කිව හැකි ද? තොඑන් ගැන යලිත් මම ඔබට සිහි කැඳවන්නම්.

තොඑන්ගේ සම්ප‍්‍රර්ණ නම ජෑන් එග්බර්ටස් තොඑන්. කව්ද මේ තොඑන්? ලේඞ්න්වල(Leiden) ඉඳලා ආව ලන්දේසි සොල්දාදුවෙක්. ලංකාවට ඇවිත් බි‍්‍රතාන්‍ය හමුදාවට සේවය කළා. 1803 උඩරට ආක‍්‍රමණයේ දී මේජර් ඬේවිගේ රෙජිමේන්තුව ඝාතනය වෙද්දී තොඑන් ගැල වී පළා යාමට උත්සාහ කළා. ඔහු බඩ ගා යද්දී උඩරට මිනිසුන් ඔහුව අල්ලා ගස් බැන්දා.

(බැමි ලිහා ගෙන ගැල වී පැන යද්දී සත් දිනක් හාමතේ සිට දුර්වලව සිටි ඔහුව මැලේ හා ලැස්කා (ලැස්කිරිඤ්ඤ) හමුදා මගින් අල්ලා ගෙන රජු වෙත පමුණුවනු ලැබීය. නමුත් රජු අපේක්ෂා කිරීමට අපහසු තරම් උසස් ගති ගුණ පෙන්වමින් තොඑන්ට හා ඔහු සමග අත් අඩංගුවට පත් වූ අනෙක් අයටත් අයට රෙදි- පිළි, ආහාර හා මුදල් ද දුන්නේ ය. තොඑන් මුස්ලිම් කාන්තාවක හා විවාහ වී මහනුවර ම පදිංචි වූයේය.”

ඇහැලේපොළ කුමාරිහාමි පුවත බ‍්‍රවුන්රිග්ට දෙන්නේ මෙම අමුතු මිනිසා ය.

ඩොයිලිගේ දිනපොතෙන් ද තොඑන් ගැන තොරතුරක් ලබා ගත හැක. රජු විසින් ඔහුට නිදහස ප‍්‍රදානය කළ පසුව ඔහු රජුගේ වෙඩි බෙහෙත් ගබඩාවේ සේවය කර ඇත. වෙඩි බෙහෙත් නිපදවීම, විදුම් කිරීම සඳහා ඔහුට විශේෂ ප‍්‍රාගුණ්‍යතාවයක් තිබී ඇත. රජුගේ නියෝජිතයින්ට තොඑන්ගේ රහස් ඔත්තු පණිවුඩ ගැන හෝඩුවාවක් ලැබෙන තුරු තොඑන්ට වෙඩි බෙහෙත් රාජකාරිය කළ හැකි විය. මේජර් ඬේවි විසින් මේට්ලන්ඞ් වෙත යවන හසුනක් රාජපුරුෂයිනට හසු විය. එහි සඳහන් ආකාරයට තොඑන් විසින් මේට්ලන්ඞ් වෙත ඬේවිගේ ලියුම් මිටියක් යවා ඇත. ඩොයිලිගේ දිනපොතේ එම ලියුම්වල ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත.

“written by Major Davie to the Dutch Artillery Man Thoen in Kandy, a Letter to Govr. Maitland, a Draft on Do [to Davie] – for 600 RDs [rix dollars]. A Note to his [Davie’s] Father — & a Letter from John Edbertï Thoen to the Govr. – requesting 50 Pags. [pagodas] to pay his debts.”

මෙම පැකට්ටුවට ඇතුලත් ලියුම් ලන්දේසි කාලතුවක්කුකරු තොඑන් මගින් ආණ්ඩුකාරවරයාට එවීමට ඬේවි විසින් එවන ලද බව එහි සඳහන් වේ. ඩොයිලි මෙම සටහන තබන්නේ 1812 ජනවාරි 10 දින වුව ද මහනුවර කොළඹ දුර්ග මාර්ග ඔස්සේ මෙම ලියුම් කට්ටලය ලැබෙන්නට ඇත්තේ ඊට පෙර ය. අවාසනාවට ඉන් පසුව ඊට අදාලව වැඩි යමක් දිනපොතේ හමු නොවේ. එහෙත් පෙනෙන ආකාරයට මෙම ලියුම් ගොනුව ඩොයිලිට යැවීමට භාර ගෙන ඇත්තේ සින්නමුරා මිහිදීන් (මොහිදීන්) නමැති මුස්ලිම් තවලම්කරුවෙකි. මොහිදීන් එය ලලා නමැති දෙමළ බ‍්‍රාහ්මණයා මගින් ඩොයිලිට යවා ඇත. ලලා මහනුවර ඔසුසලක හිමිකරුවෙකි. ලලා පසුව රජුගේ නිලධාරියකු විසින් සිරභාරයට ගෙන ඇති නමුත් ඊට හේතුව පැහැදිලි නැත. තොඑන් ඩොයිලිිට යැවූ පැකේජය (කට්ටලය) රාජපුරූෂයන්ට හසු නොවුන නමුත් පසුව හසු වූ ලියුමක සඳහනකින් ලියුම් යවන්නේ තොඑන් මගින් බව ඔවුනට අවබෝධ විය. මේජර් ඬේවි ආණ්ඩුකාරයාට යැවූ තවත් එවැනි ලියුමකට අත් වූ ඉරණම ඉතා වැදගත් ය. 1812 ජනවාරි 10 දින වැදගත් ප‍්‍රභූවරයකු වූ තම්බි මුදලියා දන්වන පරිදි

“මහනුවර දැඩි රැකවල් නිසා එම හසුන එවීම කළ නොහැක.”

“ඬේවිගේ හසුනක් කොළඹට ගෙන එද්දී ලොන්සප්පුවා බලන දී රජුගේ සිරභාරයට පත් විය.”

එම ලිපියේ සඳහන් කරුණුවලින් පැකේජය යැවූ පුද්ගලයා ලන්දේසි කාලතුවක්කුකරු බව හෙලි විය. “එහි ප‍්‍රතිඵලයක් ලෙස ලොන්සප්පුවා මහ හිර ගෙදරට යැවූ අතර ලලා හා තොඑන් නුවරින් පිටුවහල් කර කිසිවකු නොදන්නා පෙදෙසකට යවා ඇති බව” පන්නල උන්නාන්සේ නම් චරපුරුෂයා 1812 පෙබරවාරි 01 දින ඩොයිලිට දන්වා ඇත. කුප‍්‍රකට චරපුරුෂ භික්ෂුවක වූ ගොඩමුන්නේ උන්නාන්සේ ඩොයිලිට දන්වා ඇති පරිදි ලොන්සප්පු ළඟ තිබී හසු වු හසුනෙහි සඳහන් බරපතල කාරණා හේතුවෙන් මලබාර් ලලා හා ලන්දේසියා බෝගම්බර දී මරණයට පත් කර ඇත. තවත් චරපුරුෂ භික්ෂුවක වන කොස්කඳවල උන්නාන්සේ එම කටකතාව ප‍්‍රතික්ෂේප කරමින් 1812 මාර්තු 18 දින දන්වන පරිදි

“ලන්දේසියා හා ලලා වෙනත් රටකට (උඩරටට අයත් රටකට) යවා සිරකර තබා ඇත.”

ශ‍්‍රී වික‍්‍රම විසින් ම ඬේවි ගෙන්වා ලියුම් යැවීම ගැන ප‍්‍රශ්න කර ඔහුට සමාව දී කුමාරුප්පේ වීදියේ රඳවා තැබී ය. ඔහු හමු වීම භික්ෂූනට පවා තහනම් විය. මාර්තු 21 දින ඔත්තුකරුවකු ඩොයිලිට දැන්වූයේ ලලාට මරණ දඬුවම දුන් නමුත් කාලතුවක්කුකරු තොඑන් තවමත් සිරභාරයේ පසුවන බවයි. දූෂමාන කටකතාවල පරස්පරතා යලිත් පෙන්වමින් ජුනි 24 දින ඩොයිලිට දැනගන්නට ලැබී ඇත්තේ

“ලන්දේසියා කුමන්ත‍්‍රණකරුවකු හා ප‍්‍රධාන පෙළේ ඔත්තුකරුවකු ලෙස සළකා අම්පිටියේ දී හිස ගසා දමා අනතුරුව උල තැබූ බවයි. අනෙක් දෙදෙනා නොදන්නා තැනකට ගෙන ගොස් ඇත”.

තවත් තොරතුරකට අනුව

“ඔවුන් තිදෙනා ම ඌවේ බදුල්ලේ අටුවෙ විදානෙගේ ගෙදර සුරක්ෂිතව සිටිති.”

රැකවළුන් යටතේ විය හැක. වාසනාවට මෙම දැනුම් දුන් පුද්ගලයා සත්‍ය තොරතුරු සොයා දැනුම් දීමට උනන්දු වී ඇත.

ඔත්තුකරුවන් ඩොයිලිට සැපයූ තොරතුරු බොහොමයක් නොමග යවන සුළු ඒවා බව මෙම එකම සිද්ධිය වාර්තා කරන ආකාරයෙන් පෙනේ. රජතුමා විසින් මරා දමන ලදැයි පැවසූ එක් අයකු හෝ මරා දමා නැති බවට අවසාන ප‍්‍රවෘත්තියෙන් පෙනේ. ජනවාරි සිට ජුනි දක්වා මාස හයක දී එකම සිද්ධියට අදාලව ලැබුණ ප‍්‍රවෘත්ති හතක් එකනෙකට පරස්පර බව පැහැදිලි ය. බොරු තොරතුරු දුන් චරපුරුෂයන් හය දෙනාගෙන් තිදෙනෙක් ම භික්ෂූන් වීම සුවිශේෂ ය.

මේ අනුව ඔත්තුකරුවන් සැපයූ අනෙක් තොරතුරු ගැන ද විශ්වාසය තැබිය නොහැක. සත් කෝරළයේ හතලිස් හත් දෙනෙකු මොල්ලිගොඩගේ නියෝගයෙන් මරා දැමීම, එමෙන් ම තවත් හැත්තෑවක් කිසිදු හේතුවක් නැතිව උල තැබීම එවැනි ප‍්‍රවෘත්ති ය. අනූවක්, සියයක් වශයෙන් අතිශයෝක්තිය වර්ධනය වීම කටකතාවල ස්වරූපය යි. එම සංඛ්‍යා ඉදිරිපත් කිරීම මගින් මිනිසුන් මුලාවට පත් කරයි. මේවා පරිකල්පිත සිද්ධීන් බව පෙනේ. අප දන්නා පරිදි උඩරට ආක‍්‍රමණ අවස්ථාවේ තොඑන් බදුල්ලෙන් පැන යයි. ඔහු රෝහලක නැවතී ප‍්‍රතිකාර ගනිද්දී මාර්ෂල් ඔහු බලන්නට ඇවිත් ඔහුට සත්කාර කර ඇත. ඔහුගේ ප‍්‍රධානී මේජර් හුක්ට හඳුන්වා දුන් අතර හුක් ඒ ගැන බ‍්‍රවුන්රිග්ට දන්වා යවා ඇත. එහි දී බ‍්‍රවුන්රිග් තොඑන්ගේ කතාවේ කොටසක් පමණක් වාර්තා කරයි. ආණ්ඩුකාරයා සමග කතා බහ කරද්දී තොඑන් සිය පරිකල්පනයේ තිබූ දේ බොහොමයක් පවසා ඇති බව මතක තබා ගත යුතු ය. එසේ වුවත් මහනුවර ආක‍්‍රමණය සාධාරණීකරණය කිරීමට බ‍්‍රවුන්රිග් “කන්ද උඩරට පළාත් නිරවුල් කිරීමේ නිල ප‍්‍රකාශනයේ” (“Official Declaration of the Settlement of the Kandyan Provinces”) පළමු කොටස තොඑන්ගේ තොරතුරු මත පදනම්ව ලියා ඇත. අහිංසකයන් බුරුතු පිටින් මරා දැමීම ආක‍්‍රමණයට හේතුව යි. “නිකරුණේ මිනිස් ජීවිත විනාශ කිරීම” ”දුෂ්ඨ- ම්ලේච්ඡ පාලනය” ”රජුගේ දුෂ්චරිතය” ” මිනිස් අවශ්‍යතා හැඟීම් මුළුමනින් ම නොසළකා හැරීම” රජුට එරෙහි චෝදනා වෙයි. රජුගේ ම්ලේච්ඡත්වය කුමාරිහාමි සිද්ධියෙන් සනාථ වෙයි. අසරණ දරුවන් සිව් දෙනෙකු ඝාතනය කළ අතර බාලම අතදරුවා කිරි උරමින් සිටිය දී උදුරා ගෙන මරා දැමී ය. ඔවුන්ගේ සිරුරු බිම දිගේ ඇදගෙන යන ලදි. හිස් වංගෙඩියේ දමා මව ලවා කෙටෙව්වේ ය. ඇයට තමාගේ ම දරුවන් වනේ ලා කෙටීමට බල කෙරිණි. ඇය හා ඇයගේ ඥති කතුන් තිදෙනෙකුගේ දෑත් හා දෙපා ගැට ගසා බෙල්ලේ ගල් එල්ලා වැවේ ගිල්වා කෲර ලෙස මරා දැම්මේ ය. මෙම කතාව තොඑන්ගේ ප‍්‍රබන්ධයක් බව අප දැනටමත් දනිමු. මොහු අසම්බන්ධ බොරු කියන්නකු බව පැහැදිලි ය. තමා දුටු දෙයක් ලෙස කියන මෙය කිසිසේත්ම විශ්වාස කල නොහැක්කේ ඔහු සිරකරුවකු බැවිනි. බ‍්‍රවුන්රිග් හා ඬේවි ලියන්නේ එකම ආකාරයෙනි. තොඑන් සිය බිරිඳ සමග ගාල්ලේ පදිංචි වූ බව ද ඔහුගේ බොරු ගෙතීමේ හැකියාවට නිසා දෝ බ‍්‍රවුන්රිග් විසින් වෙඩි බෙහෙත් ගබඩාවේ රැකියාවක් දුන් බව ද මතක තබා ගත යුතු ය. 1816 අගභාගයේ හෝ 1817 මුල්භාගයේ ඬේවි ”අගති විරහිත” තොරතුරු සපයන්නෙකු ලෙස තොඑන්ගෙන් තොරතුරු ලබා ගත්තේ නැති නම් එය මවිතයට කරුණකි. එනිසා (පෝල් පීරිස් සඳහන් කළ ආකාරයට) දරු ඔළු කෙටීම පිළිබඳ තම මනසේ ඇති මති මතාන්තර එකතු කර හොඳ කතාවක් ගොඩ නගා ගැනීමට තොඑන් සමත් වී ඇත. ලන්දේසියකු වුව ද මුස්ලිම් කතක හා විවාහ වී වසර දොලහක් පමණ මහනුවර සිටි නිසා සිංහල-දෙමළ භාෂා දෙකම හෝ අවම වශයෙන් එකක් හැසිරවීමේ හැකියාව තිබෙන්නට ඇත. බි‍්‍රතාන්‍ය හමුදාවට එක්වීමට පෙර ලන්දේසි හමුදාවේ සේවය කර තිබූ ඔහුට වංගෙඩියේ ලා කෙටීම ගැන කතන්දර අපූර්ව දෙයක් නොවේ. පීරිස් පෙන්වා දෙන පරිදි එවැනි පසුබිමක් නැතිව කුමාරිහාමි කතාව ගෙතිය නොහැක. මෙවැනි කතාවක් කීමට ඔහු පෙළඹුණේ ඇයි? ඔහු වසර ගණනාවක් තිස්සේ රජුගේ සිරකාරයකු විය. ඔහු අල්ලාගත් අවස්ථාවේ ම මරණ දඬුවම නොදීම ගැන හැර රජු වෙත ප‍්‍රසාදයක් ඇති කර ගැනීමට ඔහුට හේතුවක් නැත. රජු ඔහුව රාජ්‍ය සේවයට ද එක් කර ගත්තේ ය. නමුත් ඔහුගේ ම ද්‍රෝහීකම් නිසා දඬුවමට ලක් විය. සිරගෙයින් මිදී බ‍්‍රවුන්රිග් හමු වූ විට ඔහු අසන්නට කැමති ලෙස කතා කිරීමට පෙළඹී ඇති බව පෙනේ. අවාසනාවට අපට කියවන්නට තිබෙන්නේ තොඑන් කී කතාවට බ‍්‍රවුන්රිග් අගතිගාමී ලෙස එකතු කළ දේ ද සමග ය. සිරකරුවකු ලෙස සිටිය දී කුමාරිහාමි මරා දැමීම ගැන ඔහුට අසන්නට ලැබුණ දේට ඔහුගේ පරිකල්පනය තුළ ඇති අදහස් මුසුකොට කතාවක් නිර්මාණය කළේ ය. ඝාතන කතාවේ යම් සත්‍යයක් තිබෙන්නට පුළුවණ. වැවක ගිල්වා මැරුවා වෙන්නට පුළුවණ. නමුත් තොඑන් බ‍්‍රවුන්රිග් හෝ ඬේවි එම වැව කුමක්දැයි නොකිය යි. ඔවුන් මහමග දිගේ ඇද ගෙන ගියා යැයි කීම තම අත්දැකීමට අනුව විය හැක. ඔහු අත්අඩංගුවට පත්ව රජු ඉදිරියට ඇදගෙන ආව නිසා ඔවුනට ද එම ඉරණම ම අත්වන්නට ඇතැයි පරිකල්පනය කරන්නට ඇත. ගිල්වා මරා දැමුවා යැයි කියන වැව බෝගම්බරදැයි නිශ්චිතව කිව නොහැක. නමුත් බෝගම්බර වැව දැනට ඇති නුවර වැවට යාබදව ඊට පහලින් තිබී ඇත. වැව් දෙක වෙන් වූයේ ඉතා තුනී තීරුවකිනි. 1810 දෙසැ. 01 දින සටහනක් අනුව ගොඩමුන්නේ උන්නාන්සේ විසින් මහනුවරට යවන ලද වෙදරාළ කෙනෙක් බෝගම්බර වැවෙන් දෙවරක් ම නා ගත් බව කලින් සඳහන් කළෙමි. ඉන් අදහස් වන්නේ එම වැව පොදු පරිහරනයට යොදා ගත් බවයි. එය රජුගේ ප‍්‍රධාන ව්‍යාපෘතියක් වූ කිරිමුහුදට සම්බන්ධව තිබුනේ නැත. එ නමුත් ඊට යාබදව තිබිණ. එම නිසා රජුගේ ශුද්ධාවාසය වූ අන්තරීක්ෂ විමාන නගරය, දළදා මැදුර කිල්ලට අසුවන පරිදි බෝගම්බර වැව මළ මිනි වලින් අපවිත‍්‍ර කළා යැයි පිලිගන්නට නොහැක. වැවක ගිල්වා මරන්නට ඇත. එහෙත් ඒ බෝගම්බර වැව යැයි කාලීන ඉංග‍්‍රීසි මූලාශ‍්‍ර කිසිවක නැත. ඇහැලේපොළ වර්ණනාව, කිරළ සන්දේශය වැනි රජුට අපහාස කිරීමට ම රචනා කළ දේශීය මූලාශ‍්‍රවල ද නැත.

කතිකා අධ්‍යයන කවයේ අවසරකින් තොරව මෙතැනින් උපුටා පල කිරීම තහනම්.