ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (1 කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම්

“……ලංකාවේ ප‍්‍රධාන කරාව සංක‍්‍රමණික කණ්ඩායම් පැමිණෙන්නේ 15 වැනි සියවසෙන් සහ ඊට පසු කාලයකය.(19) රාජරත්නාකරයේ එන ගජබා කතාව දකුණු ඉන්දියාවෙන් පැමිණී මෙවැනි සමාන කණ්ඩායම් වල ජීවත්වීම – පැවතීම විස්තර කරන අතර එය සාධාරණීකරණය ද කරයි. කඩඉම්පොත, ගජබාහු කරාව වීරයෙකදුද බවට පරිවර්තනය කර ඇත. ඔහු උපන්නේ ලංකාවේ නොව ඉන්දියාවේය. තවදුරටත් කියැවෙන ලෙස ඔහු බුදුන්වහන්සේට සමකාලීනයෙකි. එහෙයින් ගජබාහු පිළිබඳ මිථයා කතාමය ලක්‍ෂණය දැක්වීමට මීට වඩා විස්තර අනවශ්‍යය.

ගජබාහු කතාව, සිංහල සමාජ ව්‍යූහය තුළට සංක‍්‍රමණික කණ්ඩායම් සම්බන්ධ කර ගැනිමේ මිථ්‍යා කථාමය ලක්‍ෂණයක් වශයෙන් සාධ්‍යතා සම්පන්න චරිතයක් වීම මෑත කාලනයක් වන තුරුම පැවත ආවේය. පහතරට සිංහලයන් අතර වෙසෙන දෙමළ ගැත්තර කුලය ද ලංකාවට පසු කාලයක පැමිණී සංක‍්‍රමණික පිරිසකි. ඔවුහු ද තමන්ගේ පරපුර ගජබාහුගේ සිරකරුවන් දක්වා සම්බන්ධ කරති. මුලදී සන්නාලියන් වූ පසුව කුරුඳු තලන්නන් වූ චාලිය – හාලි – සලාගම කුලයේ අය කලින් පැමිණියා වුව ද ලංකාව පිළිබඳව පෘතුගීසි ජාතික ඉතිහාසඥයකු වූ ද ක්වේරෝස් පියතුමා 17 වැනි ශතවර්ෂයේ දී සිංහලයන්ගේ දක්‍ෂකම් ගැන මෙසේ ලියූවේය. ‘‘වරක් ඔවුහු විදේශකියන් 12000 ක් අල්ලා ගත්තාහු. ඒ මිනිසුන් ලවා දොළොස්දාස් – කෝරළය ජනාවාස කරවූහ. ඔවුන් කියන හැටියට පසුව මේ පිරිසගෙන් කුරුඳු වගා කර ගත හැකි විය.’’(20) දොළොස් දාස් කෝරළය ඇත්තේ මාතර දිස්ත‍්‍රික්කයේය. එහි ද සලාගම කුලයට අයිති කණ්ඩායම් ජීවත් වෙති.

මෙසේ සලකන විට පෙනෙන්නේ ගජබාහු කතාව, ලංකාවේ දකුණු ඉන්දියානු පදිංචිකරුවන් ගේ පැවැත්ම විස්තර කර දක්වන එය සාධාරණීකරණය කරන සාධ්‍යතා සම්පන්න පුරාණෝක්තියක් බව යි……..”

මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ Gajabahu and Gajabahu Synchronism වශයෙන් මුල් වරට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ The Ceylon journal of the Humanities සඟරාවේ පළමු වෙළුමේ පළමු අංකයේ පලවු රචනාවේ මෙම සිංහල පරිවර්තනය මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් පරිවර්තනය කරන ලදුව මහාචාර්ය ජයන්ත අමරසිංහ සංස්කරණයෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය විසින් පල කරන ලද සිරි ගුණසිංහ උපහාර ලිපි සංග්‍රහයේ පල විය.

ගජබාහු පුරාණෝක්තිය හා ඉතිහාසය අතර ගැටලුව පිළිබඳ සවිස්තර සාකච්ඡාවක් මෙහි එයි. පත්තිනි ඇදහිල්ලේ ප්‍රභවය මෙන්ම දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් සිංහල බෞද්ධ සමාජයට අනුකලනය වීම පිළිබඳ විග්‍රහයකින් ද යුතු මෙම දීර්ඝ රචනාවේ පළමු කොටස මෙහි පල කරමු.

ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය: පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක්- මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණ සාහිත්‍ය කෘති හා වංසකථා පැහැදිලිව ම පුරාණෝක්තිමය කරුණු වලින් ගහණ බව පැහැදිලි කරුණකි. විටෙක ඓතිහාසිකයෙන් පුරාණෝක්තිකය විලක්ෂණය කිරීම සූකරය. තවත් විටෙක දි එසේ වෙන්කර හඳුනාගැනීම දුෂ්කර ය. එසේ වන්නේ ආවර්ජිත සිද්ධිවල ඓතිහාසික පදනමක් හෝ හරයක් තිබෙන විට ය. පුරාණෝක්තිකය සිදුවීම් හෝ පුද්ගලයන් ප‍්‍රාදේශීය හෝ ජාතික වාත්සල්‍යය සමඟ ගැට ගැසී ඇත්නම් ගැටලූ තව දුරටත් සංකීර්ණ වේ. මෙය ජාතික ගෞරවය පිළිබඳ කරුණක් සනාථ කරනු වස් හෝ ඓතිහාසික කිතු ගොස වර්ධනය කරනු පිණිස හෝ පුරාණෝක්තිය ඉතිහාසය ලෙස උත්ථානය කිරීමට උගතුන් පොළඹවන්නකි. වාසනාවකට මෙන් ලංකේය වංසකතාවල ඇති ලිඛිත සම්ප‍්‍රදායට අමතරව ප‍්‍රසිද්ධ ආගමික උත්සව වලදී ගැයෙන හෝ රඟ දැක්වෙන පුරාණෝක්ති හා බැඳුණු ශාන්තිකර්ම සම්ප‍්‍රදායක් ද අපට තිබේ. එහෙයින් සාහිත්‍යයික කෘතිවල එන දත්ත පුරාණෝක්තික දත්ත සමඟ පාලනයකට මඟ සැලසේ. මෙය මූලාශ‍්‍රයවල සඳහන් සිද්ධි සහ පුද්ගලයන්ගේ ඓතිහාසිකත්වය හෝ පුරාණෝක්තිමය ස්වභාවය ගැන අවබෝධයට ආලෝකය සපයයි. මේ ලිපියෙන් ඓතිහාසික වංසකතා සාහිත්‍යය කෘතිවල සහ සමකාලීන සිංහල ශාන්තිකර්ම මූලාශ‍්‍රයවල සිංහලයන්ගේ වැදගත් රජෙකු ලෙස සඳහන් වන ‘ගජබාහු’ ගැන අවධානය යොමු කරනු ලැබේ. ඔහු ඓතිහාසික වංසකතාවල මෙන්ම සාහිත්‍යයික කෘතිවල ද, සමකාලීන සිංහල ශාන්තිකර්ම සම්ප‍්‍රදායෙහි ද පෙනෙන වැදගත් සිංහල නරපතියෙකි.

පත්තිනි දේව ඇදහිල්ල ගැන මා කළ පර්යේෂණ ගජබාහු රජු ගැන උනන්දුවක් ජනිත කළේ ය. පත්තිනි දේවතාවිය හා බැඳි ශාන්තිකර්ම ඇත්තේ පහතරට ය. ඒ අතරින් ද බහු ප‍්‍රචලිත ව තිබෙන්නේ ගම්මඩුව නමින් හැඳින්වෙන ශාන්තිකර්මය යි. රටේ හැමතැනක ම මේ දේවතාවිය වෙනුවෙන් වෙන්වු දේවාල ද ඇත. වාර්ෂික දේවාල පූජා වලදී දේවතාවිය සම්බන්ධ පුරාණෝක්ති ගායනා කෙරේ. ඇයට ගෞරව පිණිස ශාන්තිකර්ම සිදුකෙරේ. එවැනි එක් පූජාවක් නම් ‘‘දිය කැපීම’’ යි. පුරාණෝක්තියට අනුව එයින් සිහිපත් කරන්නේ ගජබාහු මුහුද දෙබෑ කිරීමේ පුවත යි. ගම්මඩු ශාන්තිකර්මයේ දී ගැයෙන ‘ගජබාහු කථාව’ නැමැති අභිචාර පඨිතයෙහි (ritual text) මේ සිද්ධිය පුනරාවර්ජනය කෙරේ.

මගේ පර්යේෂණවල දී ගජබාහු කතාව ඓතිහාසික නොවන හා මානවවිද්‍යාත්මක විශ්ලේෂණයකට නතු කිරීමෙන්, මේ චරිතය වටා ගොඩනැගී ඇති දුරවබෝධ හා ගැටලූකාරී දෑ පැහැදිලි කර ගැනීමට හැකි වෙතැයි මට අවබෝධ විණි. එසේ කිරීමෙන් මේ චරිතය මැදිකරගෙන තිබෙන බහ්වාර්ථවත්භාවයන්, ප‍්‍රතිවිරෝධයන් ඉවත් කර ගැනීටම හැකි වෙතැයි මට සිතිණි. සිංහල සංස්කෘතියේ සහ ඉතිහාසයේ මේ රජුගේ භූමිකාවත් සිලප්පදිහාරම් නම් දමිළ සංගම් සාහිත්‍ය කෘතිය සමඟ ඇති සම්බන්ධතාවත් අධ්‍යයනයට එය ඉවහල් වන බව ද මම වටහා ගත්තෙමි. ගජබා වෘත්තාන්තය පිලිබඳ ගැටලූව මතු වන්නේ සිලප්පදිහාරම් කාව්‍යයේ එන කතා පුවත සමඟ එක් කරන්නට යාමෙනි. සිලප්පදිහාරම් කාව්‍යය රචිත කාලය එහි සඳහන් වන ලංකාවේ කයවාගු ගජබාහු ලෙස ගැනීමට යාම මේ අවුලේ මුල යි. සිලප්පදිහාරම් කාව්‍යයේ මේ ගැන කියන විට සෙංගුට්ටුවන් රජුගේ අනුග‍්‍රහයෙන් කළ පත්තිනි දේවාලය පිළිබඳ ආරම්භක උත්සවයට කයවාගු – ගජබාහු රජු සම්බන්ධ වුණු බව කියැවෙයි. ගජබාහු ජීවත් වූයේ දෙවැනි ශතවර්ෂයේ අග හරියේ ය. මහාවංසයේ දැක්වෙන අන්දමට ගජබාහු වෘත්තාන්තය දකුණු ඉන්දියාවේ ඓතිහාසික සහ සාහිත්‍යයික කාලානුක‍්‍රමිකතාව පිළියෙල කිරීමේ දී තීරණාත්මක බලපෑමක් කරයි. කිහිප දෙනෙකු හැර බොහෝ විද්වත්තු මේ කාල නිර්නය පිළිගන්නට කැමැති වෙති. ජාත්‍යාලයෙන් පෙළඹුණු දික්ෂිතාර් වැනි උගත්තු මේ කතාව මුළුමනින්ම පිළිගනිති. ඔවුන් කියන හැටියට ලංකාවේ ගජබාහු රජු සෙංගුට්ටුවන් අගනුවර පැවැත්වුණු මේ උළෙලට සම්බන්ධ වුණා පමණක් නොව, ලංකාවට පත්තිනි පූජාව ද හඳුන්වා දුන්නේ ය. මේ කරුණ සිල්පදිහාරම් විවරණ කතුවරයාගේ පසුව එක් කරුණු කොටසෙහි සඳහන් වෙයි. දෘඪ මනසැති ඉතිහාසඥයෝ මේ කතාව සීමාවන්ට යටත් ව පිළිගනිති. ඔවුන්ගේ අවධානය යොමු වුණු එක් කරුණක් නම් සිලප්පදිහාරම් කාව්‍යයේ සමකාලීනයන් ලෙස ගජබාහු සහ සෙංගුට්ටුවන් යන රජවරුන් දෙදෙනාගේ ම නම් සඳහන් ව තිබීමයි. සිලප්පදිහාරම් කාව්‍යය රචිත කාලය ඊට පසු කාලයකට අයත් වුවත්, රජවරුන් දෙදෙනා ගැන කරන සඳහනකට මුල් වූ කිසියම් වටිනා ඓතිහාසික සම්ප‍්‍රදායක් තිබෙන්ට ඇතැයි යනු මේ විද්වතුන්ගේ මතය යි.

ගජබා කාල නිර්ණය දකුණු ඉන්දියානු කාල නිර්ණයට කෙතරම් වැදගත් වේ ද යන්න ප‍්‍රධාන පෙළේ විද්වතුන් කිහිප දෙනෙකු ප‍්‍රකාශ කර තිබෙන නියෝජනාත්මක උද්ධෘත කිහිපයකින් දැක්වීමට පුළුවන.

(අ) ලංකාවේ රජු ගැන කරන මේ සඳහන අපට ඉමායා වර්මන්ගේ කාලය නිර්ණය කර ගන්නට උදව් වෙයි.

(ආ)‘සෙංගුට්ටුවන්’රජු ලංකාවේ පළමුවැනි ගජබාහු සමඟ එක කාලයකට සම්බන්ධ කිරීම ආදී දමිළ සාහිත්‍යය පිළිබඳ කාලානුක‍්‍රමනතාව තහවුරු කරන ප‍්‍රබල උපකාරයකි.

(ඉ)සාක්‍ෂි විමර්ශනයෙන් අනතුරුව දික්ෂිතාර් විශ්වාස සහිතව මේ නිගමනයට එළඹෙයි.මේ අනුව ගජබා වෘත්තාන්තය සිලප්පදිහාරම් කාව්‍ය රචනා කරන ලද දවස සදාකාලයට ම තීරණය කර අවසාන කෙරෙයි.(3)

(ඊ)දමිළ පිළිබඳ විශේෂඥයෙකු වූ චෙක් ජාතික කමිල් ස්වෙලෙබිල් කියන්නේ ‘ඊනියා ගජබා කාලානුක‍්‍රමණය පිළිගන්නා ඉතිහාසඥයන් වැඩිදෙනා ලංකාවේ පළමුවැනි ගජබාහු රජු (ක‍්‍රි.ව. 171 – 193) චේර අධිරාජයකු වූ සෙංගුට්ටුවන් රජුගේ සමකාලිකයා ලෙස පිළිගනිති.(4)

(උ)නීලකණ්ඨ ශාස්ත‍්‍රී කියන්නේ ‘මේ පුරාවෘත්තය ඓතිහාසික වශයෙන් නිවැරදි කාලානුක‍්‍රමය සිහියේ තැන්පත් වීමක්(5)ලෙසිනි.පරණවිතාන ද මේ අදහස පිළිගනියි.(6)

අපි ඉදිරි පිටුවල ඓතිහාසික කාලානුක‍්‍රමණිකාවක් පිළියෙල කිරීමේ දී ගජබා කාලානුක‍්‍රමණය අර්ථ විරහිත බව සිලප්පදිහාරම් කාව්‍යයේ එන ගජබාහු මිථ්‍යා චරිතයක් මිස ඓතිහාසික එකක් නොවන හෙයින් ඓතිහාසික කාල නිර්ණයට ඵලක් නැතැයි පෙන්වා දෙන්නෙමු. මේ අදහස මත අපට ගජබාහු පුරාණෝක්තිය විශ්ලේෂණය කරන්නට පුළුවන.

ගජබාහු සමකාලිකත්වය :

ලංකාවේ ගජබාහු ගැන මූලික කාලානුක‍්‍රමණය සිලප්පදිහාරම්හි දැක්වෙන සඳහන මෙසේය.

“නරපතිතෙමේ තෙවරක් දෙවොල පැදකුනු කොට පූූජා පැවැත්වීය. ඉන්පසු එම සෙංගුට්ටුවන් රජු විසින් මුදාහරින ලද ආරිය රජවරු ද රැුකවලෙහි සිටි අන් රජවරු ද කුඩක රටෙහි කොඞ්කර රජු ද මාලව රට රජු ද සමුදුර මැද පිහිටි ලංකාවේ ගජබා රජු ද අප රටෙහි ඉමයවරම්බන් උපන් දිනය සිහිකරවන සිව්සෙන් යාගයට පැමිණ අපට ද කරුණා කරනු මැනැවැ යි නමස්කාර කොට අයැදියහ. එකල්හි ‘වර දුන්නේ ය’ යන හඬ නඟන්නවුන්ගේ ශබ්දය ඇසිණ’’.(7)

වෛයාපුරි පිල්ලෙයි වැනි වියතුන් පැහැදිලිව සඳහන් කරන්නේ මේ විස්තරයට අනුව හැඟවෙන්නේ ගජබාහු රජ තෙමේ උත්සවාවාස්ථාවෙහි පැමිණ සිටි බවයි. ඔහු ලංකාවට පත්තිනි පූජාව හඳුන්වා දුන්නේ ය යන කතාව එන්නේ උරෛපෙරුත්තුරෛ නම් කෘතියෙහි ය. එය මුල් කාලීන සංස්කාරකයෙකු විසින් පදිකම් කොටසට ඈදන ලද්දකි.(8) මේ සඳහන සැබැවින් ම මුලින් දැක්වුණු සඳහනට පටහැනි බව පෙනේ. ඉන් කියවෙන්නේ පත්තිනිය විසින් මධුරා පුරය විනාශ කර දැමුණු බවයි. පාණ්ඩ්‍ය රාජධානිය දුර්භික්‍ෂයකින් වැනසී ගිය බව ඉන් කියවේ.

මියගිය රජුගේ අනුප‍්‍රාප්තිකයා රන්කරුවන් දහසක් කැපකිරීමෙන් ආගමික පුද සිරිත් පවත්වා ලිංගික පාරිශුද්ධියට අදාළ දෙවඟනගේ දේවාශිර්වාදය ලබා ගත්තේය. මහ වැසි වැටී දුර්භික්‍ෂය පහවී යළි පොළවේ සශ‍්‍රීකත්වය ළඟා කර ගත්තේය. එය සැලවීමෙන් මුහුදෙන් වට වූ ලංකාවේ විසූ ගජබාහු රජ පත්තිනි දේවිය වෙනුවෙන් දෙවොලක් ඉදිකොට දිනපතා පූජෝපහාර පැවැත්වීය. පත්තිනි දේවිය ඔහුගේ රටෙහි පැවති ආපදා පහ කරාවි යැයි සිතා ඔහු අධි මනසින් පටන් ගැනෙන වාර්ෂික උත්සවයක් ඇති කළේය. ඉන්පසු වැසි වැටී සශ‍්‍රීකත්වය ඇති වී නිත්‍ය සශ්‍ය ඵලදා ඇති විය.(9)

මේ කොටසින් ස්ථිරව කියැවෙන්නේ ගජබාහු ලංකාවට පත්තිිනි පූජාව හඳුන්වා දුන් බවත් එය ස්ථාපණය කළ බවත් පමණි. අනික් කරුණු සමඟ එක් කර බලන විට මේ ප‍්‍රතිවිරෝධ කියමන් බැරෑරුම් ව ගත් වෛයාපුරි පිල්ලෙයි ගජබාහු කාලානුක‍්‍රමණයේ වැදගත්කම ද සෙංගුට්ටුවන් රාජ සභාවෙහි ගජබාහු පැමිණ සිටියේය යි කියන කතාවත් ප‍්‍රතික්‍ෂේප කරයි. මේවා පශ්චාද්කාලීන එකතු කිරීම් ලෙස ඔහු පිළිගනියි.(10) වෛයාපුරි පිල්ලෙයිගේ මතය සමඟ එකඟ වෙමින් ගජබාහු කතාව තවදුරටත් අප විශ්ලේෂණය කරන්නට යන්නේ එය මානව විද්‍යාත්මක විශේලේෂණයකට ලක් කරමිනි.

දැඩි මතවාදී උගතුන් ඉදිරිපත් කර ඇති අදහස් කෙටියෙන් මෙසේය. සිලප්පදිහාරම්හි ලංකාවේ ගජබාහු ගැන සඳහන් වෙයි. ලංකාවේ වංසකතාවල ගජබාහු රජවරුන් දෙදෙනෙක් හමු වේ. එක් කෙනෙක් ක‍්‍රි.ව. දෙවැනි සියවසේය. අනිකා දොළොස් වැනි ශත වර්ෂයේ ය. දින වකවානු වශයෙන් ගත හොත් දොළොස් වැනි සියවස ඉතා මෑත කාලයට අයත්ය. එහෙත් සිලප්පදිහාරම්හි සඳහන් වන්නේ පළමු වැනි ගජබාහු ගැනය. ඔහු රජ කළේ දෙවැනි ශත වර්ෂයෙහි ය. ලාංකික වංසකතා විචාරාත්මක විමර්ෂණයකට ලක් කළ හොත් කරුණු වඩාත් සංකීර්ණ තත්වයකට පත්වෙයි. පළමු වැනි ගජබාහු ගැන කියැවෙන මුල් ම සඳහන හමුවන්නේ හතර වැනි ශත වර්ෂයේ මැද හරියේ දී පමණ ලාංකේය භික්‍ෂූන් රචනා කළ දීපවංසයෙහි ය. එහි ගජබාහු වංකනාසිකතිස්සගේ පියා යැයි කියවෙන සංක්‍ෂිප්ත හා පැහැදිලි සටහනක් ඇත.

‘එසේ ම ඔහුගේ අතිජාත පුත‍්‍ර වූ ගජබාහු ගාමිණී රජු මනෝරම්‍ය වූ අභයගිරි විහාරයෙහි මහසෑයක් ද කරවීය. එකල්හි මවු දේවිය පිණිස ගාමිණී නම් තඩාගයක් ද කැරවීය. එසේම ඒ ලකිසුරු තෙමේ රම්‍යයක නම් ආරාමය ද කැරවීය. ලක්දිව්හි දෙවිසි වර්ෂයක් රාජ්‍යය කැරවීය’.(11)

පස් වැනි සියවසේ දී රචිත මහාවංසය ඊට වඩා මඳ විස්තරයක් ගෙන එයි. දීපවංසයෙහි සඳහන් නොකෙරුණු ආගමික වැඩ කිහිපයක් මහාවංස විස්තරයට ඇතුළත්ය. එහි පත්තිනි පූජාව ගැන හෝ ගජබාහුගේ දකුණු ඉන්දියා සංචාරයක් ගැන නොකියවෙයි. මේ තොරතුරු දහ සය වැනි ශතවර්ෂයේ දී කළ රාජරත්නාකාරය සහ දහ හත්වැනි ශතවර්ෂයේ දී කළැයි සිතෙන රාජාවලිය යන කෘතිවල දී නම් හමුවේ. දීපවංශය සහ මහාවංසය පාලියෙන් රචිතය. මේ කෘති දෙක නම් ලියා ඇත්තේ සිංහලයෙනි. රාජාවලිය ගජබාහු දකුණු ඉන්දියාවට ගොස් සර්වඥ ධාතු ද පත්තිනි දේවියගේ පා සලඹ ද ගෙනා බව කියයි. මෑතක රචිත ග‍්‍රන්ථ දෙක ගැන විමසන්නට පෙර අපි දීපවංසය සහ මහාවංසය ගජබාහු ගැන කරන විස්තර විමර්ශනයට භාජන කරමු.

දීපවංසය හා මහාවංසය ලියැවුණේ හතර වැනි සහ පස් වැනි ශතවර්ෂවලය. එවිට මේ කෘති දෙකම පළමුවැනි ගජබාහුගේ රාජ්‍යකාලයේ සිදුවීම් වලට ළං වෙයි. තවත් කරුණක් මේ හා සම්බන්ධය. වංසකතාවල සංස්කාරකවරු දෙපළම බෞද්ධ විහාරාරාමවල භිික්‍ෂූන් වාර්තා කර තිබුණු ඊට පෙර කාලවලට අයත් විස්තර ප‍්‍රයෝජනයට ගත්හ. එසේ සලකත හොත් මේවායේ ගජබාහුගේ ඉන්දියා ගමන ගැන සඳහනක් නොතිබීම විස්මය දනවයි. දික්ෂිතාර් සහ කුලසේකරම් මෙම අඩුවට හේතුව ලෙස දක්වන්නේ බෞද්ධ වංසකතා සම්පාදකයින් පත්තිනි පූජාව වැනි අබෞද්ධ ඇදහිල්ලක් සමඟ සම්බන්ධ වන්නට දැක්වූ නොකැමැත්තයි. වංසකතාකරුවන් දෙපළ ම තම කෘතිවල ඊනියා අබෞද්ධ වතාවත් සහ විස්තර බහුල ලෙස ඉදිරිපත් කර ඇති බැවින් මේ තර්කය මට කිසිසේත පිළිගත නොහැකිය. සත්‍ය වශයෙන්ම ජනප‍්‍රිය සිංහල සම්ප‍්‍රදායට අනුව පත්තිනි හින්දු දෙවියෙකු නොව බෞද්ධ දේවතාවියකි. එසේම ඇය මතු බුදුවන්නට සිටින බෝධිසත්වයෙකි. ඊටත් වඩා විශේෂ වන්නේ පශ්චාද්කාලීන විස්තර සටහන් වල දැක්වෙන අන්දමට සිංහල සම්ප‍්‍රදායට අනකූලව ගජබාහු ආපසු එන විට සර්වඥ ධාතු ද මෙරටට වැඩමවා ඇති බවයි. එහෙයින් මුල් වංසකතාවල ද ගජබාහුගේ විදේශ ගමන ගැන නොදැක්වීම නම් විස්මයජනකය. එහෙයින් නිශ්චිත යාවත්කාලීන සාමාන්‍යකරණ කිහිපයක් ඉදිරිපත් කර ඒවා පසු ව විස්තර කරමි.

අ. මහාවංසය සහ දීපවංසය ගජබාහුගේ දකුණු ඉන්දියා සංචාර ගැන කිසිම සඳහනක් කර නැත. එයට හේතුව වංසකතාවල දැක්වෙන පළමු වැනි ගජබාහු එවැනි සංචාරයක නොයෙදීමයි.

ආ. වංසකතා රචනා කරන අවධියෙහි ලක්දිව පත්තිනි පූජා ක‍්‍රමයක් නොපැවතුණු බව පෙනේ. ඒවායේ කිසිදු අවස්ථාවක පත්තිනි දේවතාවිය ගැන සඳහනක් නොමැත. එහෙත් පසු කලෙක රචිත සිංහල වංසකතාවල පත්තිනි ගැන සඳහන්ව ඇත. එහෙයින් අපට දැනට පත්තිනි පූජාව ලංකාවට හඳුන්වා දෙන්නට ඇත්තේ පස්වැනි ශතවර්ෂයට පසුව හා දහසය වැනි සියවසට පෙර බව තීරණය කළහැකිය.

පශ්චාද්කාලීන සිංහල වාර්තා විමර්ශනයේ දී මේ කරුණු තවදුරටත් විස්තර කරනු ලැබේ. දැන් අපි දහසය වැනි සහ දහ හත් වැනි ශතවර්ෂවලට අයිති සිංහල කතා ප‍්‍රවෘත්ති වල ස්වභාවය ගැන විමසා බලමු. සිංහල වංශකතා දෙකම එක හා සමාන තොරතුරු ගජබාහු ගැන කියතත් රාජාවලිය වැඩිපුර විස්තර ඉදිරිපත් කරයි. ඒ ගැන පළමු ව සලකා බලමු.

‘වක්නැසිනම්බප රජුගේ පුත් ගජබාහු රජකමට පැමිණ ඉන්නා අවධියට රජ රාත‍්‍රිියේ නුවර ඇවිදිනාකොට එක් කනවැන්දුම් ගෑනියක් තමාගේ දරුවන් සොලී රජ අල්ලාගෙන ගියාට රාත‍්‍රියේ අඬනවා අසා ඒ ගජබාහු රජ මේ නුවර අවනඩුවක් ඇත කියා ඇගෙ දොර සුණු ගා රජ මාලිගාවට ගියාහ. එරජ උදෑසන ඇමතියන් ගෙන්වා මෙනුවර නඩු අනඩු මොනවාදැයි කියා රජ ඇමතියන් අතින් ඇසූ සඳ මහරජ මඟුල් ගෙයක් මෙන් තිබෙන්නේය කියා ඇමතියෝ සැළකළෝය. එවිට ඇමතියන්ඩ උදහස් වදාරා දොර සුණු ගෑ ගෙයි ස්ත‍්‍රිය ගෙන්වා රජ ඇගෙන් ඇසූ විට සොළී රජ දොළොස් දහසක් සිර අල්ලාගෙන යනකොට මාගේ දරු දෙදෙනාත් අල්ලා ගියාට ඇඬුවාය කී සඳ පියරජ හට උදහස් වදාරා සොළී පුරයට සෙට එමි කියාලා සෙනඟ එක්කරගෙන යාපා පටුනට ගොස් සොළී රජ බලපා ගෙනිච්ච සෙනඟ ගෙනෙම් කියා සේනාවට අවසර දී නීලා යෝධයා කැටුව ගොසින් යගදාව ගෙන දිය දෙබෑ කොට සිට ගොසින් සොළී පුරයට වැද සොළී රජ බයගන්වා ගෙන සක් රජ මෙන් සිංහාසනයෙහි වැඩ හිඳ ගත. නීලා යෝධයා එනුවර ඇතුන් අල්වා එකෙකුගේ ඇෙඟ් එකකු ගසා දෙන්න මරන්නාහ. මෙසේ සොළී පුරය පාළු කරන විට සොළී රජ හට ඇමති සැළ කලාහ. සොළී රජ එබසට සිංහල සේනාව මෙපුර වනසන්ඩ ආවාද කියා ගජබාහු රජ්ජුරුවන් අතින් ඇසූ සඳ එබසට ගජබාහු රජු කියන සේක් කැටුව ආ කුඩා කොලූ මිස වෙන නැත හමුදාව කියාලා නීලා යෝධයා ගෙන්වාගෙන ගජබාහු රජ සිටියාහ. එබසට සේනාව නැතුව රජ තනිව ආවේ මන්දැයි කියා ඇසුව විට නුඹගේ පිය මහරජ මාගේ පියාණන් අවධියේ සිර සොළොස් දහසක් ගෙනාවාය. මම ඒ සිර ගෙනයන්ඩ ආමි කී සඳ දෙව්පුර ගොසින් අසුර යුධ ජයගත්තේ පළමු අප කුලයේ රජක කියා සෙනඟ ගෙන්වා දෙන්ඩ බැරිය කී සඳ එබසට ගජබාහු රජ කෝපව මෙනුවරත් නසා අළුකර දමමි කියා පමා නැතුව මාගේ සෙනඟට සූවිසිදහසක් දෙව යි කියා වැලි මැඩ දිය මිරිකා පෑය. යගදාවෙන් දිය මිරිකා පෑය. සොළී රජ භයගන්වාගෙන සූවිසිදහසක් සොළී ලා සිරගෙන පත්තිනි දෙවියන්ගේ රුවන් සළඹක් ගෙන සිවු දේවාලේ දෙවියන්ගේ ආයුධත් ගෙන්වා ගෙන වළගම්බාහු රජ අවධියේ ගෙනිච්ච පාත‍්‍රධාතුවත් ගෙන්වා ගෙන මතු මෙවැන්නක් නොකරන සැටියට තරවටු කරගෙන පිටත්ව ඇවිත් මේ ලංකාවට ගොඩබාගෙන ප‍්‍රෙවිණි හිර තම තමන්ගේ ප‍්‍රවේණි වලට ඇර පුරවැඞී සිර අලූත්කූරුවෙ සාරසියපත්තුවේ යටිනුවර උඩුනුවර තුම්පනේ හේවාහැට පන්සියපත්තුව එගොඩ තිහ යන මෙකී රටවල බෙදා ඇර ඉන්ඩ සලස්වා දී සූවිසි අවුරුද්දක් රාජ්‍යය කර ගජබාහු රජ දෙව්ලොව ගියාහ.'(13)

මේ වාර්තාව කියවන පාඨකයා එය සිලප්පදිහාරම් සටහනට සම්බන්ධ වන්නේ එක් කරුණක් සම්බන්ධයෙන් පමණක් බව අවබෝධ කර ගනියි. එනම්, ගජබාහු දකුණු ඉන්දියාවට ගිය අතර එය පත්තිනි පූජාව සමඟ සම්බන්ධ වන බවයි. එය සිලප්පදිහාරම් කාව්‍යයේ අදහස් සමඟ ගැටෙයි. නැත්නම් සමහර විස්තර අතහැර දමයි. සෙංගුට්ටුවන් රජ කළේ චේර රාජ්‍යයෙහි ය. එහෙත් රාජාවලිය කියන්නේ ගජබාහු චෝල – සොළී දේසයට ගිය බවයි. පත්තිනි දේවතාවියගේ පා සළඹ ගෙන එන්නේ චෝළ දේසයෙන් නම් ගජබාහු කිසි දිනක චේර රටට නොගිය බව පිළිගත හැකිය. මේ වාර්තාවෙහි ඓතිහාසික සත්‍යයක් ඇතැයි මඳකට සිතා ගතහොත් පමණි, එසේ වුව කිව හැක්කෙ. මේ අදහස නිවැරදි නම් දෙවැනි ශතවර්ෂය වන විට චෝළ රටෙහි පත්තිනි පූජාව සම්පූර්ණයෙන් ම ආයතනගත වී තිබිය යුතුයි. සිලප්පදිහාරම් දක්වන හැටියට පත්තිනි පූජාව චේර දේසයෙහි ආරම්භ කළේ සෙංගුට්ටුවන් රජු ය. සිංහල විස්තර වලට අනුව ඒ කතාව සාවද්‍ය ය. සිලප්පදිහාරම් කාව්‍යයෙහි ගජබාහු දැක්වෙන්නේ සෙංගුට්ටුවන්ගේ යටත් රජකු අන්දමටය. රාජරත්නාකාරය සහ රාජාවලිය විස්තර කරන්නේ මහා බලසම්පන්න වීරයෙකු වූ ගජබාහු කෙනෙකි. ඔහු හතර මහා දේවාලවල දෙවිවරුන්ගේ දේවාභරණ ද සර්වඥයන් වහන්සේගේ පාත‍්‍ර ධාතුව ද දොළොස් දහසක් දමිළ හිරකරුවන් ද ගෙනාවේය. එහෙත් ලංකාවට පත්තිනි පූජාව හඳුන්වා දුන් බවක් සඳහන් නොවේ. මීට ප‍්‍රතිවිරුද්ධ කරුණක් අපට මේ ග‍්‍රන්ථ දෙක අනුව අනුමාන කළ හැකිය. එනම්, මේවායේ හැටියට ඒ වන විටත් පත්තිනි පූජාව මෙරට පැවතුණු බවයිි. එහෙයිනි, පත්තිනිගේ පා සළඹ ලංකාවට ගෙන ඒම වැදගත් වන්නේ. මෙතැන ද තවත් කරුණක් අපට පෙන්වා දීමට පුළුවන. එනම්, සිංහල මූලාශ‍්‍රයන් පැහැදිලිව වෙනත් තැනක ගජබාහු ලංකාවට පත්තිනි පූජාව හඳුන්වා නොදුන් බව සඳහන් කර ඇත. එහෙයින් අපට නඬේසන් වැනි සමහර උගතුන් මේ අදහස් මත පිහිටා කරන ළාමක ප‍්‍රකාශන ඉවත දමන්නට සිදුවේ. නඬේසන්ගේ ප‍්‍රකාශය මෙසේය. ‘ලාංකික වංසකතාවක් වූ රාජාවලිය ලංකාවට පළමු වැනි ගජබාහු පත්තිනි පූජාව ගෙනා බව තහවුරු කරයි.(14)

ගජබාහු කතාව දෙස යාම්තමට බැලූවත්, එය ඓතිහාසික සත්‍යයක් නොවන බව පැහැදිලිය. පියරජුගේ කාලයේ දී මෙරටින් දොළොස්දහසක් සිරකරුවන් ලෙස ගෙන ගිය බව මහලූ වැන්දඹුවක් ගජබාහුට මතක් කර දුන්නාය. රජු එය නොදැන සිටියේ යි කීම සිදුවිය නොහැක්කකි. මහ මුහුද දෙබෑ කිරීම තවත් ආශ්චර්යවත් විස්තර එහි ඓතිහාසික සත්‍යයක් නොමැති බව ප‍්‍රකට කරයි. එහෙත් එය කිසියම් ඓතිහාසික සිද්ධියක් පදනම් කරගෙන කරන ලද සටහනක් විය හැකිය. එනමුත් ඒ ගැන විස්තරයක් අපට ළඟ නැත. එසේම මේ කරන ලද විස්තරය අකුරින් අකුරට සමාන වන්නේ දිය කැපීමේ පූජාවේ දී ගජබාහු මිත්‍යා කථාව කවියෙන් ගායනා කරන අවස්ථාවටය. මේ තොරතුරු නොවැළැක්විය හැකි ලෙස සමානය. ගජබාහු කතාව ඓතිහාසික සත්‍යයක් නොවේ. එය පුරාණෝක්තියකි. එය සම්බන්ධ වන්නේ දිය කැපීම සමඟය. ඒ සිංහල වංශකකතා දෙකක එන සිදුවීම් වලට සමානය. එසේ නම් මහාවංශය මේ ගැන සඳහන් නොකිරීමට ප‍්‍රධාන හේතුව එකල එවැනි තත්ත්වයක් නොපැවතීමයි. මෙය සත්‍ය වන්නේ ගජබාහු කථාවට පමණක් නොවේ. තවත් බොහෝ මෙවැනි පුරාණෝක්ති තිබේ. තවත් එවැන්නක් ලෙස පූනා යාගය දැක්විය හැකිය. උඩරට කොහොඹා යක් කංකාරිය ද තවත් එකකි. තවද, එය පඬුවස් දෙව්රජුගේ අසනීපයට සම්බන්ධ වූවකි. පණ්ඩුවාසුදේව විජයගේ බෑනාය. මහාවංශය ද මේ ගැන කිසිවක් නොකියයි. එහෙත් රාජාවලිය මිථ්‍යාමය කථාවේ සියළුම අංග ලක්‍ෂණ සම්පූර්ණ වශයෙන් ඉදිරිපත් කරයි. එහෙයින් යළිත් තහවුරු කළ හැකි වන්නේ මේ පුරාණෝක්තිය ආරම්භ වන්නට ඇත්තේ පස් වැනි සියවසින් පසු හා 16 වැනි ශතවර්ෂයට පෙර බවයි. එයට පදනම සැපයූවේ ශාන්තිකර්ම දත්තය. එහෙත් සමහර උගතුන් සිතන්නේ මේවා නොබිඳිය හැකි ඓතිහාසික සත්‍ය ලෙසයි. ලංකාවේ දක්‍ෂිණ භාරතීය ජනපදකරණය ගැන ලියූ මදුරාසි විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා මෙසේ කියයි. ‘‘එවැනි ජනාවාසකරණයක් ගැන හමුවන එක් ආදි කාලීන සාධකයක් සම්බන්ධ වන්නේ පඬුවස් දෙව් රාජ්‍ය කාලයටයි. රජුට වැළඳුනු රෝගාබාධයක් සුවකිරීම පිණිස දකුණු ඉන්දියාවෙන් කැඳවූ බ‍්‍රාහ්මණයෝ ලංකාවේ අගනුවර පදිංචි වූහ’’.(15)

මෙතෙක් වේලා අප කී කරුණු සංක්‍ෂේප වශයෙන් මෙසේ සඳහන් කළ හැකිය. රාජාවලියේ හා රාජරත්නාකරයේ එන ගජබාහු කථාව ප‍්‍රභවය ලබා ඇත්තේ දිය කැපීමේ දිය කෙළි උළෙල හෝ ඒ හා සමාන වෙනත් පුරාණෝක්ති ඇසුරිනි. ඒ දෙවන ශතවර්ෂයේ වාසය කළ ඓතිහාසික පුද්ගලයෙකු වූ ගජබාහු රජු සමඟ කිසිදු සම්බන්ධයක් නොදක්වන්නකි. ගජබාහු රජු පත්තිනි පූජාව සමඟ සම්බන්ධ කෙරුනු සිලප්පදිහාරම් කතාවට විරුද්ධ සේ පෙනී යන කතාව පහළ වන්නට ඇත්තේ පස්වෙනි ශත වර්ෂයෙන් පසුවයි. දිය කැපීම සම්බන්ධ පූජාව මිථ්‍යා කථා වලට වඩා කලින් සිදුවූවක් වීමට ඉඩ ඇත. නිදසුනක් ලෙස කිව යුත්තේ ලංකාවේ දියකැපීම සම්බන්ධව ඇත්තේ කතරගම-ස්කන්ධ, ගනේෂ සහ ශිව යන දෙවිවරුන්ගේ පූජෝත්සව සමඟයි. මෙහි එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ එකිනෙකට සමාන නැති කතා පුවත් සමඟය. සිංහල ලංකාවේ ප‍්‍රබලම සශ‍්‍රීකත්ව පූජාව වූ දිය කැපීම පත්තිනි පූජාවට සම්බන්ධ වීමෙන් පසු ගජබාහු කතාව එහි උපත ගැන කීමට යොදා ගන්නට ඇත. විජය පණ්ඩුවාසදේව සහ මල්ල රජ්ජුරුවෝ යන පිරිස් මෙන්ම ගජබාහු ද ඒකාන්තයෙන් ම නියම සිංහල සංස්කෘතික වීරයෙකි. මේ හැම වීරයෙක්ම සිංහල ශාන්තිකර්ම සම්ප‍්‍රදායේ එන විවිධ ශාන්තිකර්ම වලත් සිංහලයන් සතු ආගමික සිරිත් විරිත් සහ ආයතන වලද ‘‘ආරම්භකයෝය.’’ මේ වීරයන්ගේ කතා පුවත් වල කිසියම් ඓතිහාසිකත්වයක් ඇත්නම් ඒ සියල්ල මිථ්‍යා කථා නිර්මාණ ක‍්‍රියාදාමය හට පරිවර්තනය වී තිබේ. සිංහල වංශකතා දෙකේ සහ අපේ මිත්‍යා කථා වල දැක්වෙන ගජබාහු කථාව තවදුරටත් විශ්ලේෂණය කර බලන විට ෙමි මිත්‍යාකරණ ක‍්‍රියාදාමය මැනවින් අවබෝධ කරගත හැකි වන්නේය.

රාජාවලිය විස්තරය සහ දිය කැපීමේ වතාවත් වල එන ගජබාහු මිත්‍යා කථාවේ වැදගත් වෙනස්කමක් පවතී. රාජාවලිය කියන හැටියට ගජබාහු රජු ලංකාවට එන විට ගෙනා දොළොස් දහසක් පිරිස පදිංචි කරවුයේ පහත දැක්වෙන ස්ථාන වලය. අලූත්කුරුව, සාරසියපත්තුව, යටිනුවර, උඩුනුවර, තුම්පනේ, හේවාහැට, පන්සියපත්තුව, එගොඩතිහ සහ මෙගොඩතිහය. දිය කැපීමේ වතාවත් වලදී මේ විස්තරය අමතක කර දමයි. මේ කතා විශ්ලේෂණය කිරීමේ දී මතුවන ඓතිහාසික සාහිත්‍යයිකත්වය වන්නේ දෙවෙනි ශත වර්ෂයේ විසූ පළමු වන ගජබාහු චෝල රටට විරුද්ධව සටනට ගොස් ගෙනා බොහෝ සිරකරුවන් කන්ද උඩරට සිංහල රාජ්‍යයේ විවිධ ප‍්‍රදේශ වල පදිංචි කරවූ බවයි. මෙහි තවත් ප‍්‍රතිවිරෝධයක් තිබේ. ගජබාහුගේ පියාට සමකාලීන චෝල රජු සිංහල සිරකරුවන් යෙදවූයේ කාවේරි නදියේ වේල්ල බැඳීමේ වැඩටය. මෙය ප‍්‍රයෝජනවත් වාරි ව්‍යාපෘතියකි. උඩරට රාජධානියේ සහ මුහුදුබඩ ප‍්‍රදේශවල මෙසේ සිරකරුවන් යොදා මෙවැනි සංවර්ධන වැඩ කටයුතු ආරම්භ නොකිරීම ගජබාහු රජුගේ නොදැනුම හෙලි කරයි. දෙවන ශතවර්ෂයේ දී ඔවුන් පදිංචි කරවූ ප‍්‍රදේශ වල මේ මානව ශ‍්‍රමය යහපත් කටයුත්තකට යොදාගත හැකිව තිබුණි. මේවා යාමට අපහසු ජනතාවට දුක් කරදර ගෙනා දුෂ්කර ප‍්‍රදේශය. ‘‘ඒවා වැදගත් වුනේ කැරලි කරුවන්ට සහ පරාජය වූවන් සඳහාය.’’(16) මේ කතාව මිත්‍යා කථාවක් ලෙස ගෙන කරන මානව විද්‍යාත්මක විශ්ලේෂණය අපට වෙනත් තීරණ වලට බසින්නට මඟපාදයි. ගජබාහු පිළිබඳ මේ කථාව මා නම් කරන්නේ ‘‘ජනපදකරණය මිත්‍යාවක්’’ ලෙසටය. මෙය ක‍්‍රියාත්මක වශයෙන් බැලූව හොත් බයිබලයේ එන මෝසස්ගේ මිත්‍යා කථාව සමඟ සැසදිය හැකිය. ආරම්භක මිත්‍යා කතාවක් ලෙස එයින් කියවෙන්නේ ලංකාවේ උඩරට පළාත් වලත් මුහුදුබඩ ප‍්‍රදේශවලත් දකුණු ඉන්දියානු වැසියන් පදිංචි වී සිටි බවයි. මේ පිරිස විවිධ හේතු මත මෙරටට ආ අය විය හැකිය. ආක‍්‍රමණික රැල්ලක්, සාමකාමී සංක‍්‍රමණිකයන් හෝ සිංහල රජවරුන් විසින් මෙරටට ගෙනා පිරිසක් වීමට ද ඉඩ ඇත. මේ ශානරයට අයිති අනෙක් මිත්‍යා කථා මෙන්ම මෙයද මේ ජන කොට්ඨාශ වල වාසය ගැන විස්තර කරයි. මැලිනොව්ස්කිගේ වචන වලින් කියතොත්, සිංහල සමාජ ව්‍යූහය තුළ මොවුන්ගේ ‘‘තත්ව විෂමතාව’’ යුක්ති සහගත කරන්නකි. දැන් පවා උඩරට සමහර ප‍්‍රදේශ වල ගොවිගම කුලයේම අඩු කුල වාසය කරති. මට අම්පිටිය අසල ගමක එවැනි ප‍්‍රජාවක් හමුවිය. ඔවුහු තම උපත් කථාව මෙයට සම්බන්ධ කරති. ඔවුන්ගේ තත්ත්වය බහුතර ගොවිගම කුලිකයන්ගේ තත්වයට වඩා මදක් පහත්ය. ඔවුන්ගේ අඩුකම ද, ප‍්‍රභවය ද යන දෙකම විස්තර කරන්නේ මෙවැනිම මිත්‍යාකතාවක් ඇසුරු කරගෙනය. මෑතක් වනතුරුම සිංහල සමාජ ව්‍යූහය ඇතුළට සංක‍්‍රමණික ජන කොටසක් ප‍්‍රවේශ කර ගැනීමේ යාන්ත‍්‍රණයක් ලෙස මිථ්‍යා කථාව භාවිත වේ. පහතරට සිංහල සමාජයේ කරාව, සලාගම සහ දෙමළ ගැත්තර යන කුලවලට අයත් ජනතාව වාසය කරති. තමන් පැවත එන්නේ එසේ ගෙනා හිරකරුවන්ගෙන් යයි ඔවුහු කියති. මින් මේ කණ්ඩායමට ලැබෙන පිළිගැනීම කුමක්ද? මැලිනොව්ස්කි කියන පරිදි එයින් ඔවුන්ට මිථ්‍යා කථාමය වරපතක් හිමිවේ.(17)

ගජබාහු ගේ ජනපදකරණය පිළිබඳ මුල් ම සාධකය ලැබෙන්නේ 16 වැනි සියවසේ දී රචිත රාජරත්නාකරයේ ය. එහි කියැවෙන්නේ මේ සිරකරුවන් මීගමුව අසල අලූත්කුරුව ප‍්‍රදේශයේ පදිංචි කළ බවයි. එච්.සී.පී. බෙල් උද්ධරණය කොට දක්වා ඇති කඩඉමි පොතක එන ජනප‍්‍රවාදයක ගජබාහු අලූත්කුරුව ජනපදකරණය කළ ආකාරය ගැන වෙනස් විදියේ විස්තරයක් සඳහන් වෙයි.

‘‘ඈත අතීතයේ රාවණා යුද්ධයට පසු කුරු රට සිට රැුජිනක් ද රජ කුමරෙක් ද ධනවත් වංශවතෙක් ද උගත් අගමැතිවරයෙක් ද ඔවුන්ගේ පරිවාර සෙනඟ සමඟ මේ දිවයිනට පැමිණියහ. රාම රජුගේ අණ පරිදි ඔවුන් පදිංචි වූ ප‍්‍රදේශය කුරු රට යනුවෙන් හැඳින්විණ. අප මහ බුදු රජුන්ගේ කාලයේ කුරු රට සිට පැමිණි ගජබාහු රජ මිනිසුන් පදිංචි කරවීමෙන් පසු එම ප‍්‍රදේශය පරණ කුරු රට නමින් හැඳින්විණ. තවත් ප‍්‍රදේශයකට දහසක පිරිසක් යැවුණු අතර එම ප‍්‍රදේශය අලූත් කුරුව නමින් හැඳින්විණ.’’(18)

අලූත්කුරුව අද කරාව කුලිකයන්ගේ ජනාවාසයකි. මිථ්‍යාකථාවන්ට අනුව ඔවුන්ගේ උත්පත්තිය ඔවුන් මහාභාරත සංග‍්‍රාමයෙහි කෞරවයන්ට සම්බන්ධ කෙරේ. ලංකාවේ ප‍්‍රධාන කරාව සංක‍්‍රමණික කණ්ඩායම් පැමිණෙන්නේ 15 වැනි සියවසෙන් සහ ඊට පසු කාලයකය.(19) රාජරත්නාකරයේ එන ගජබා කතාව දකුණු ඉන්දියාවෙන් පැමිණී මෙවැනි සමාන කණ්ඩායම් වල ජීවත්වීම – පැවතීම විස්තර කරන අතර එය සාධාරණීකරණය ද කරයි. කඩඉම්පොත, ගජබාහු කරාව වීරයෙකදුද බවට පරිවර්තනය කර ඇත. ඔහු උපන්නේ ලංකාවේ නොව ඉන්දියාවේය. තවදුරටත් කියැවෙන ලෙස ඔහු බුදුන්වහන්සේට සමකාලීනයෙකි. එහෙයින් ගජබාහු පිළිබඳ මිථයා කතාමය ලක්‍ෂණය දැක්වීමට මීට වඩා විස්තර අනවශ්‍යය.

ගජබාහු කතාව, සිංහල සමාජ ව්‍යූහය තුළට සංක‍්‍රමණික කණ්ඩායම් සම්බන්ධ කර ගැනිමේ මිථ්‍යා කථාමය ලක්‍ෂණයක් වශයෙන් සාධ්‍යතා සම්පන්න චරිතයක් වීම මෑත කාලනයක් වන තුරුම පැවත ආවේය. පහතරට සිංහලයන් අතර වෙසෙන දෙමළ ගැත්තර කුලය ද ලංකාවට පසු කාලයක පැමිණී සංක‍්‍රමණික පිරිසකි. ඔවුහු ද තමන්ගේ පරපුර ගජබාහුගේ සිරකරුවන් දක්වා සම්බන්ධ කරති. මුලදී සන්නාලියන් වූ පසුව කුරුඳු තලන්නන් වූ චාලිය – හාලි – සලාගම කුලයේ අය කලින් පැමිණියා වුව ද ලංකාව පිළිබඳව පෘතුගීසි ජාතික ඉතිහාසඥයකු වූ ද ක්වේරෝස් පියතුමා 17 වැනි ශතවර්ෂයේ දී සිංහලයන්ගේ දක්‍ෂකම් ගැන මෙසේ ලියූවේය. ‘‘වරක් ඔවුහු විදේශකියන් 12000 ක් අල්ලා ගත්තාහු. ඒ මිනිසුන් ලවා දොළොස්දාස් – කෝරළය ජනාවාස කරවූහ. ඔවුන් කියන හැටියට පසුව මේ පිරිසගෙන් කුරුඳු වගා කර ගත හැකි විය.’’(20) දොළොස් දාස් කෝරළය ඇත්තේ මාතර දිස්ත‍්‍රික්කයේය. එහි ද සලාගම කුලයට අයිති කණ්ඩායම් ජීවත් වෙති.

මෙසේ සලකන විට පෙනෙන්නේ ගජබාහු කතාව, ලංකාවේ දකුණු ඉන්දියානු පදිංචිකරුවන් ගේ පැවැත්ම විස්තර කර දක්වන එය සාධාරණීකරණය කරන සාධ්‍යතා සම්පන්න පුරාණෝක්තියක් බව යි. මේ මිථ්‍යා කථා ප‍්‍රවාචය මතු වූයේ කවර කාලයක ද? දිගින් දිගට ම සිංහල වංසකථාවල මේ සම්බන්ධ ව පිළිතුරු ලබාගත හැකි වැදගත් සාධක දෙකක් හමුවෙයි. පළමුව, උඩරට සහ මුහුදුබඩ මේ සිරකරු ජනතාව පදිංචි කර වූ ප‍්‍රදේශ යි. මේ ප‍්‍රදේශය වැදගත් වුයේ් 14 වැනි ශතවර්ෂයේ දී සහ ඉන් පසු කාලයේදීය. විශේෂයෙන්ම ගම්පොළ රාජධානිය පිහිටුවීමෙන් අනතුරුවය. දහවැනි සියවසේ චෝලයන්ගේ ද පසු කාලයක දී එනම්, 13 වැනි ශතවර්ෂයේ දී මාඝගේ බියකරු ආක‍්‍රමණවලත් ප‍්‍රතිඵලය වූයේ ඔවුන් මෙලෙස මහනුවර ප‍්‍රදේශවලට යාම ය. චෝළ සහ මාඝ ආක‍්‍රමණ නිසා අනුරාධපුර සහ පොළොන්නරු වැනි සමෘද්ධිමත් ශිෂ්ටාචාර නැති වී ගියේය. එහෙයින් මේ ජනපදකරණය මිථ්‍යා කථාව මතු වන්නට ඉඩ ඇත්තේ 14 වැනි ශතවර්ෂයෙන් පසුව ය. තවත් වැදගත් කරුණක් ඇත. එය නම් දෙවැනි ශතවර්ෂයේදී මේ එකම ස්ථාන නාමයක් වත් කිසිවෙකු දැන නොසිිටි බවයි. දෙවැනි ව, රාජාවලිය ගජබාහු ආපසු එන විට හතර මහා දේවාලයේ දේවාල දේවාභරණ ද ගෙනා බව කියයි. මහනුවර හතර මහා දේවාල යනු ස්කන්ධ කතරගම, පත්තිනි, නාථ සහ විෂ්ණු යන හතර තැන යි. මහනුවර මේ දේවාල හතර වැදගත් බවට පත්වූයේ ක‍්‍රි.ව. 1775 කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ කාලයේ ය. එහෙත් ඒවා රාජාවලිය රචනා කළ 17 වැනි සියවසේ ද තිබුණු බව කිව යුතුය.(21) මහාවංසය හෝ දීපවංසය හතර මහා දේවාල ගැන කිසිවක් සඳහන් නොකරයි. එහෙයින් හතර මහා දේවාල පිළිබඳ සංකල්පය මතු ව එන්නේ මහනුවර කාලයේ 14 වැනි ශතවර්ෂයෙන් පසු ව යයි කීම වඩාත් ප‍්‍රබල බව පෙනේ. එහෙයින් මේ ගජබාහු පුරාණෝක්තිය අයිති වන්නේ 14 සහ 15 ශතවර්ෂවල වලට බව අපට ස්ථිර කොට කිව හැකිය.

මේ අතින් බලන විට වැදගත් වන තවත් සාධක කිහිපයක් අපට ලැබේ. 16 වැනි ශතවර්ෂයේ දී රචිත රාජරත්නාකරය ගජබාහු පත්තිනි දේවියගේ පා සළඹ හෝ හතර මහා දේවාල වල දේවාභරණ මෙරටට ගෙනා බවට සඳහනක් නොකරයි. කථාවේ අනික් තොරතුරු නම් එක හා සමානය. 13 වැනි සියවසේ දී ලියැවුණු සේ සැලකෙන පූජාවලිය නැමැති සිංහල ග‍්‍රන්ථය ගජබාහු ගැන කියන්නේ මෙසේ ය.

‘‘ඔහු පිත් වක් නැහැ තිස් නම් රජ තුන් හවුරුද්දක් රාජ්‍යය කළේය. ඔහු පිත් ගජබාහු නම් රජ තමා දවස ලක්දිවින් මිනිසුන් කාවේරියේ මෙහෙයට යෙති යනු අසා අමාත්‍යයන් ගෙන්වා විචාරා උදහස් ව, පියරජහු කැරවූ යෝධයන් පන්සියයක් ඔසවා දී ලන තමන්ගේ යගදාව ගෙන, ප‍්‍රදක්ෂිණා කොට සයුරු පැහැර පින් බෙලෙන් දිය දෙබේ කොට පිටිපතුල් නොතෙමා සොළී රටට ගොස්, තමන්ගේ බල පා කාවේරියේ මෙහෙයට ගියවුන් හරවා එතෙන සිට, කාවේරියේ මෙහෙයට ලක්දිව් වැස්සන් නොගන්නට ව්‍යවස්ථා කරවා, මුහුදුකරය වටා රැකවල් ලවා අවුත් ලක්දිව් බෙර ලවා බොහෝ කුසල් කොට දෙවිසි හවුරුද්දක් රාජ්‍යය කොට දෙව්ලොව ගියහ.’’(22)(

මතු සම්බන්ධයි.

කතිකා අධ්‍යයන කවයේ අවසරකින් තොරව මෙතැනින් උපුටා පල කිරීම තහනම්.