ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (2 කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම්

“පුරාණෝක්ති එසේ පැතිර යන විට ප‍්‍රතිග‍්‍රහණය කරන ජාතියේ සමාජීය ඓතිහාසික පරිසරයට අනුකූල වන සේ එය අනුවර්තනය කරගනු ලැබේ. ඒ නිසා අපට රටවල් දෙක ගජබාහු කෙරෙහි දක්වන ආකල්ප වල වෙනස ද පැහැදිලි ව දැකිය හැකිය. ලංකාවේ පවත්නා අදහසට අනුව ගජබාහු සිංහල ජනතාව වහල් භාවයෙන් මුදවාගත් ක්ීර්තිධර වීරයාය. 10 – 13 වැනි ශතවර්ෂ වල පැවතුණු දේශමාමකත්වයට එම පුරාණෝක්තිය මනා ව ගැළපෙයි. මේ අවධිය තුළ දකුණු ඉන්දියානුන් මෙරට ආක‍්‍රමණ කළ සමයකි. එසේ නම්, දකුණු ඉන්දියානු උද්දාමය කෙසේ පැවතිණිද? මේ ආක‍්‍රමණ ආරම්භ වූයේ දකුණු ඉන්දියාවේ චෝළ සහ කේරළ – චේර ප‍්‍රදේශවලිනි. එහි පැවතුණේ ලංකාවේ තත්වයේ හාත්පසින්ම විරුද්ධ පැත්තයි. මේ පැත්ත ගජබාහු කතාව පිළිබඳ ඉන්දියානු කතාවේ පැහැදිලිව දැකිය හැකිය. සිලප්පදිහාරම් හි එන ගජබාහු සිංහල පුරාණෝක්තියේ වීරයා නොවේ. ඔහු සිංගුට්ටුවන් රජුට වඩා පහළ මට්ටමේ කෙනෙකි. සෙංගුට්ටුවන් කීර්තිමත් දමිළ වීරයාය. වීර කාව්‍යයේ ඔහු ද විශ්වාස කළ නොහැකි පෙළහර පාන්නෙකි. ගජබාහු මේ දෙපෙති කතාව පුරාණෝක්ති චරිතයක් -පුද්ගලයෙක් -අසල්වැසි රටවල් දෙකක විවිධ සමාජයීය ඓතිහාසික තත්ත්වයන්ට ගැලපෙන පරිදි අනුවර්තන කරගෙන ඇති ආකාරය දක්වන සිත්ගන්නා සුළු නිදර්ශනයකි.”

මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ Gajabahu and Gajabahu Synchronism වශයෙන් මුල් වරට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ The Ceylon journal of the Humanities සඟරාවේ පළමු වෙළුමේ පළමු අංකයේ පලවු රචනාවේ මෙම සිංහල පරිවර්තනය මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් පරිවර්තනය කරන ලදුව මහාචාර්ය ජයන්ත අමරසිංහ සංස්කරණයෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය විසින් පල කරන ලද සිරි ගුණසිංහ උපහාර ලිපි සංග්‍රහයේ පල විය.

ගජබාහු පුරාණෝක්තිය හා ඉතිහාසය අතර ගැටලුව පිළිබඳ සවිස්තර සාකච්ඡාවක් මෙහි එයි. පත්තිනි ඇදහිල්ලේ ප්‍රභවය මෙන්ම දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් සිංහල බෞද්ධ සමාජයට අනුකලනය වීම පිළිබඳ විග්‍රහයකින් ද යුතු මෙම දීර්ඝ රචනාවේ දෙවැනි කොටස මෙහි පල කරමු.

ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය: පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් (2 කොටස)- මහාචාර්ය ගණනාථ ඔබේසේකර

ගජබාහු සමඟ පත්තිනි පූජාව සම්බන්ධ කිරීමක් මෙන් ම හතර දේවාල ගැන ද පූජාවලියේ නොකියවෙන අතර, සිරකරුවන් විශේෂ වූ ස්ථානවල පදිංචි කරවූ බවක් හෝ මෙරටට ගෙනා සිරකරුවන්ගේ සංඛ්‍යාව ගැන හෝ කිසිම දෙයක් සඳහන් වන්නේ නැත. පූජාවලියේ හෝ 13 වැනි සියවසට අයිති එක ද සාහිත්‍ය කෘතියක හෝ පත්තිනි ඇදහිල්ලක් ගැන කියවෙන්නේ ද නැත. එහෙයින් වංසකථාවන්හි මේ පුරාණොක්තියේ වර්ධනය පහත දැක්වෙන වගුවෙන් දක්වන්නට පුළුවන.

මහාවංශය හා දීපවංශය රචනා කළ අවදියෙහි පත්තිනි පූජාව සඳහන් කරන්නට තරම් සෑහෙන තොරතුරක් ලෙස නොපිළිගත්තේද? මේ වංසකතා දෙකෙහි ලංකා ඉතිහාසයේ බොහෝ වැදගත් යැයි සැලකිය හැකි සිදුවීම් රැුසක් ගැන කරුණු දක්නට නොලැබේ. එහෙයින් මහාවංසයේ සහ දීපවංසයේ යම් යම් ඓතිහාසික සිද්ධි ගැන සඳහන් නොවීම, එම සිද්ධිය සමාජයේ නොපැවතිණි යි තර්ක කිරීමට හේතුවක් නොවේ. එහෙත් මේ ආදි කාලීන වංසකථා දෙකම ගජබාහු රජු ගැන සත්‍ය වශයෙන් ම සඳහන් කර ඇත. ආගමික කටයුතු සම්බන්ධයෙන් කරන විස්තර වල දී ප‍්‍රාතිහාර්ය ජනක සිදුවීම් විස්තර කරන මේ වංසකතා දෙක ගජබාහු රජු ගැන සත්‍ය වශයෙන් ම සඳහන් කර ඇත. ආගමික කටයුතු සම්බන්ධයෙන් කරන විස්තර වල දී ප‍්‍රාතිහාර්ය ජනක සිදුවීම් විස්තර කරන මේ වංසකතා දෙක ගජබාහුගේ අද්භූතජනක ගමන ගැන සඳහන් නොකරයි. ඔහුගේ ‘‘ප‍්‍රාතිහාර්ය ජනක ක‍්‍රියාවන්’’ එකල ජනතාව අතර ප‍්‍රචලිත ව තිබුණේ නම් වංසකතාකරුවන් දෙදෙනාම ඒවා ගැන සඳහන් නොකිරීමට හේතුවක් නැත. දීපවංසයේ සහ මහාවංසයෙ ඓතිහාසික සංසිද්ධියෙන් ආරම්භ වන ගජබා කතාව, පසුව රාජාවලියට එන විට ප‍්‍රබල පුරාණෝක්තියක් බවට විකාශනය වීම පුදුම සහගතයි. 5 වැනි සියවසේ දී නොදැක්වුණු මිථ්‍යා කථා අංග 13 වැනි ශතවර්ෂයේ දී රචිත පූජාවලියට ඇතුළත් විය. පූජාවලිය ගජබා රජ විසින් කරවන ලද වැව් සහ විහාර ගැන විස්තර ඉවත් කර ඇත. ඒ වන විට ඉතිහාසයේ ආ ගජබාහු පුරාණෝක්තියේ වීරයා බවට පරිවර්තනය වී තිබේ. මුහුද දෙබෑ කිරීම සහ සිරකරුවන් ආපසු ගෙන ඒම යන තොරතුරු පූජාවලියේ ඇතුළත් කිරීමෙන් පුරාණොක්ති නිර්මාණ ක‍්‍රියාදාමය ආරම්භ විය.

සමකාලීන දිය කැපීමේ මංගල්ලය උත්කර්ෂයට නංවන්නේ ගජබා මුහුදු දිය දෙබෑ කරගෙන කළ ගමන බව අප සිතට ගත යුතු යි. මේ උත්පත්ති කතාව හෝ ඒ හා සමාන කතාවන් පූජාවලියට සම්බන්ධ කර ඇත. මේ මිථ්‍යා කථාව කලින් පූජාවලියේ සඳහන් කර ඇත්තේ පත්තිනි ගැන සඳහනක් රහිතවය. ඒ අනුව අපට පහත සඳහන් නිගමන වලට එළඹීමට අවස්ථාව ඇත.

අ. දිය කැපීමේ මංගල්ලය අදත් පත්තිනි දේවියට පමණක් නොව, කතරගම, ශිව සහ ගණේෂ යන දෙවිවරුන්ට ද සම්බන්ධය.

ආ. එය පත්තිනි පූජාවට වඩා කලින් තිබුණක් විය යුතුය.

ඉ. ලංකාවේ පත්තිනි පූජා වල දියකැපීම සම්බන්ධ වන්නේ ගජබාහුටය. අන්තර්ගතය අතින් බලන විට මේ පුරාණෝක්ති දෙක එකට සම්බන්ධ කරන පුරුක වන්නේ ගජබාහු පත්තිනිගේ සළඹ ගෙන ඒමයි.

ඊ. පූජාවලිය මේ සළඹ ගැන හෝ පත්තිනි දේවිය ගැන කිසිවක් සඳහන් නොකරයි.

උ. එහෙයින් ලංකාවේ පත්තිනි පූජාව ස්ථාවර භාවයට පත්වීමට පෙර පවා ගජබාහු කතාව දිය කැපීමේ ප‍්‍රභවයට හේතු වූ සේ පෙනේ. නැත්නම් එය පත්තිනි කතාවෙන් වෙනස්ව ස්වාධින ව ඇති වූ පුරාණෝක්තියකි.

මේ තොරතුරු පවා පූජාවලියේ ඇතුළත් විස්තරයට අනුව පෙනී යන්නේ කිසියම් ශාන්තිකර්මයකට සම්බන්ධ බවයි. එහි කියැවෙන පරිදි ගජබාහු මුහුද දෙබෑ කරන්නට පෙර යගදාව අතැතිව දකුණේ සිට වමට ප‍්‍රදක්ෂිණා කළේ ය. අදත් මෙවැනි පැදකුණු කිරීමක් සෙත් පතන ශාන්තිකර්මයක ආරම්භයෙහි දක්නට පුළුවන. පැදකුණු කිරීම කළ යුතු වන්නේ දකුණේ සිට වමට ය. එවිට එය සුභදායකය. වමේ සිට දකුණට කළ හොත් එය අසුභ ඵල ගෙන දෙයි. ගජබාහු මුහුද පැදකුණු කිරීම ගැන විවාදයක් පැවැතීම සතුටට හේතුවක් නොවේ. මෑත කාලයක කළ සියලූ පූජාවලී සංස්කරණ වල ප‍්‍රදක්ෂිණා යන වචනය වෙනුවට ඇත්තේ දක්ෂිණා කොට යනුයි. දක්‍ෂිණා යනු කිසියම් ප‍්‍රදානයකි. ත්‍යාගයකි. දක්‍ෂිණා කොට යනු ප‍්‍රදානයක් නොකොට ත්‍යාගයක් දී යන අරුතක් මතු කරයි. කෙසේ වුවත් 1893 දී සිංහලෙන් ද 1895 දී ඉංග‍්‍රීසියෙන් ද පූජාවලිය(23) පළ කළ බී. ගුණසේකර අත් පිටපත් කිහිපයක් එකතු කොට සසඳා බලා අවසාන වශයෙන් නිගමනය කර ඇත්තේ ප‍්‍රදක්ෂිණා කොට යන පද යි. මා සාකච්ඡුා කළ උගතුන් නම් කියන්නේ දක්ෂිණා කොට නිවැරදි බවයි. එයට හේතුව ලෙස ඔවුන්් කියන්නේ මහා සමුද්‍රය ප‍්‍රදක්ෂිණා කිරීම ගජබාහුට කළ නොහැකි කටයුත්තක් නිසා ය. මගේ නම් අදහස නිවැරදි පදය ප‍්‍රදක්ෂිණා කොට බව යි. දක්ෂිණා කොට යනු සංස්කාරකවරුන් මේ කතාව වචනවල අරුත පමණක් සලකා බලා කළ අර්ථ කථනයක ප‍්‍රතිඵලයකි. මෙම විවාදයේ අවසාන ප‍්‍රතිඵලය ලබාගත හැකි වන්නේ කවදා හෝ පූජාවලියේ පැරණි පුස්කොළ අත්පිටපත් එකතු කොට සසඳා බැලීම කළ දවසකය.

ඉහත දැක්වුණු තර්කය පදනම් කරගෙන අප කියන්නේ ගජබාහු පුරාණෝක්තිය 13 වැනි ශතවර්ෂයේ දී ප‍්‍රභවය ලත් බව යි. එමෙන් ම එම මිථ්‍යා කථාව පත්තිනි පූජාව සමඟ සම්බන්ධයක් ද නැති බව යි. ගජබාහු පුරාණෝක්තිය පත්තිනි පූජාව සමඟ සම්බන්ධයක් නැතිකම 15 වැනි ශතවර්ෂයේ දී එලෙසම පැවතුණ බව සිතාගත නොහැකිය. රාජරත්නාකරය පත්තිනි දේවිය ගැන එවැන්නක් සඳහන් නොකරන්නේ ඒ නිසාය. මේ විස්තරයට අනුව, ගජබාහු කි‍්‍රි.පූ. 29 – 17 කාලයේ වළගම්බා රජු කල ලංකාවෙන් දකුණු ඉන්දියාවට ගෙන ගිය බුදුන්ගේ පාත‍්‍ර ධාතුව ගෙනාවේය. මේ කරුණ ඇතුළත් කිරිමේ මිථ්‍යාමය වැදගත්කම කුමක්ද? මහාවංසයට අනුව දකුණු ඉන්දියාවෙන් ආ දමිළ නායකයෝ පාත‍්‍ර ධාතුව පැහැර ගෙන ගොස් වැඳුම් පිදුම් කරන්නට වූහ.(24) මහාවංස කතාව දිගටම ගෙන ගිය චූලවංසය ක‍්‍රි.ව. 352 – 409 රජ කළ උපතිස්ස රජුගේ රාජ්‍ය සමයෙහි වැසි වස්සවන පූජාවක දී රජතුමා ගල් පාත‍්‍රයක් භාවිතා කළ බව සඳහන් කරයි.(25) මහාවංසය කෙසේ වුවත්, ලංකාවට ආපසු ගෙනා පාත‍්‍ර ධාතුව ගැන නොකියයි. මෙය පුදුමය දනවන රික්තයකි. එය බහුජන ආගමික භක්තියට කරන ලද නොඉවසිය හැකි පාඩුවකි.

එසේ නම් උපතිස්ස රජුන් කාලයේ තිබුණු ගලින් කළ පාත‍්‍රයට වූයේ කිම? මහාවංසය මුල දී කරන විස්තර වල පාත‍්‍රය සෙල්මුවා බවක් නොකියයි.(26) එමෙන් ම බුදුන් වහන්සේ මෙවැනි ඛනිජමය පාත‍්‍රයක් භාවිත කළේ දැයි සිතීම දුෂ්කරය. මෙතැන දී බැසිය හැකි නිගමනය ද අනිවාර්ය ය. දන්ත ධාතුව මෙන් ම පාත‍්‍රා ධාතුව ද වැඳුම් පිඳුම් වලට භාජන වූ ප‍්‍රධාන වස්තුවක් වන අතර එය ද රාජ්‍යත්වය සමඟ බැඳී සිටින්නකි. එය දකුණු ඉන්දියාවට ගෙන එන ලද අතර වළගම්බා රාජ්‍ය සමයේ දී නැතිව ගියේය. එනමුත් ජනතා සම්මානයට ලක් වූ මෙවැනි ආගමික වස්තුවක් මෙසේ නැතිවීම දැරිය නොහැකි බැවින් ඒ වෙනුවට ගල් පාත‍්‍ර ධාතුවක් භාවිතයට ගන්නට ඇත. මේ සිදුවීම් දන්ත ධාතුව සමඟ ද මෙලෙසම විස්තර වෙයි. බොහෝ වංසකාතා වල එය විවිධ ආපදා වලට ලක්වුවත් අවසානයේ දී යහතින් ලංකාවට ගෙනා බව සඳහන්වේ. එහෙත් මෙතැන ද රික්තයක් ඇත. ක‍්‍රි.පූ. 2 වන සියවසේ දී පාත‍්‍ර ධාතුව නැති වී ගියේ නම් ක‍්‍රි.ව. 5 වන සියවසේ දී සහ ඉන් පසුව ද එය තිබුණා නම් එය සොයාගත්තේ කවුද? කවරාකාරයෙන් ද? එය කළේ ගජබාහුය. එහෙයින් 16 වන සියවසේ දී, රාජරත්නාකරය ලියන විට සංස්කෘතික වීරයා වූ ගජබාහුට මේ මහා කාර්ය සාධනය ගෞරවය හිමිකර දෙන ලදි. එසේ ගතහොත් මේ ගජබාහු පුරාණෝක්තිය ලංකාවේ ගලින් කළ පාත‍්‍ර ධාතුවක් තිබෙන්නට හේතුව විස්තර කරයි.

18 හෝ 19 වෙනි ශතවර්ෂයේ දී රාජාවලියෙහි ගජබාහු මිත්‍යා කථාවට තවත් මූලාංග දෙකක් එකතු විනි, ගජබාහු හතර මහා දේවාල වල දෙවිවරුගේ දේවාභරණ හා පත්තිනි දේවියගේ පා සළඹ ද මෙරටට ගෙනාවේය. දේවාල හතර මොනවාද ඒවායෙහි දෙවිවරුන් කවරහුද? නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යනු දෙවිවරුන් සතර දෙනාය. මේ හතර දේවාල පිහිටා ඇතතේ මහනුවර දළඳා මන්දිරය අසලය. එයින් එක් දේවතාවක් වන්නේ පත්තිනිය. ගජබාහු පත්තිනියගේ දේවත්වය හඟවන දේවාභරණත් පා සළඹත් ගෙනාවේය. සාහිත්‍යයික අර්ථකථනයකට ලක්කිරීම නිසා මතුවන මෙවැනි ප‍්‍රතිවිරෝධතා විසඳා ගැනීමට නම් අප එයට ප‍්‍රවේශ විය යුත්තේ පුරාණෝක්තියක් ලෙස ගනිමිනි.

හතර මහා දේවාල නියත වශයෙන්ම සම්බන්ධ වී ඇත්තේ මහනුවර රාජ්‍යත්වය සමඟය. ඒවා සටන් වල දී ජයග‍්‍රහණය සඳහාත්, ලෞකික විෂයයන්හි කාර්ය සාඵල්‍ය සඳහාත් අත්‍යවශ්‍යය. හතර මහා දේවාල මීට පෙර තිබෙන්නට ඇතත් ඒවා ප‍්‍රබලත්වයට පත් වන්නේ ක‍්‍රි.ව. 1747 – 1782 අතර රජ කළ කීර්ති ශ‍්‍රී රාජසිංහ කලය. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු හතර දේවාල වල සහභාගීත්වය ඇති ව දළඳා පෙරහැර පවත්වනන්ට කටයුතු කළේය.(27) පෙරහැරේ උත්පත්තිය පිළිබඳ තවත් කථා ඇති අතර එයින් එකකට අනුව මේ පෙරහැර පටන් ගන්නේ ගජබාහු රජු චෝලයන්ට විරුද්ධ ව කළ සටනේ ජයග‍්‍රහණය සිහි කිරීමටය. එසේ සලකන විට දෙවිවරු සතර දෙනාගේ දේවාභරණ වල වැදගත්කම පැහැදිලි කරගත හැකිය. එය ගජබාහු පෙරහැර ආරම්භ කළේ යැයි යන්නට සම්බන්ධ වේ. එසේ නම් පත්තිනිගේ සළඹ ගැන කෙරෙන සටහනේ අරුත කුමක්ද? පිළිගත හැකි කරුණ නම්, රාජාවලිය රචනා කරන කාලය වන විට පත්තිනි පූජාව ප‍්‍රබලත්වයට පත්ව තිබීමත්, වාර්ෂික පත්තිනි තෝත‍්‍රවල දී කරන දිය කැපීමේ මංගල්‍යය සහ අනික් වතාවත් ද ඒ හා සම්බන්ධ වී තිබීමත්ය. අදත් පත්තිනි වෙනුවෙන් කරන ගම්මඩු තෝත‍්‍ර වලදී මේවා මේ ආකාරයෙන්ම සිදුවේ. මේ අනුව දිය කැපීම සමඟ බැඳුණු ගජාබාහු පුරාණෝක්තිය පත්තිනි දේවිය හා සම්බන්ධ වෙයි. ගජබාහු ලංකාවට පත්තිනි සළඹ ගෙනා බවට ඇති කතා පුවත සඳහන් වන ගජබාහු පුරාණෝක්තියේ අවසාන වර්ධිත අවස්ථාවට මේවා ඇතුළත් කරන ලදි.

අප තවම ගජබාහු පුරාණෝක්තිය ගැන සාකච්ඡුා කළේ නැත. ගජබාහු මෙරට සංස්කෘතික වීරයා ය. සිංහලයන්ගේ වැදගත්කමක් ඇති සංස්කෘතික ක‍්‍රියාවන් සමූහයක් ගජබාහුට පවරා තිබේ. පුරාණෝක්තියේ මුල් ම අස්ථාව 13 වැනි ශතකයයි. එය 5 වැනි සියවසේ කිසි සේත් නොතිබුණු එකකි. ප‍්‍රශ්නය පැන නඟින්නේ මේ පුරාණෝක්තිය මතුව ආවේ 5 සහ 13 ශතවර්ෂ අතරින් කවර කාලයේද? යන්නෙනි. මේ පුරාණෝක්තියේ අන්තර්ගතය පිළිබඳ මනෝවිද්‍යාත්මක අර්ථකථනයකින් මේ ප‍්‍රශ්නයට කිසියම් විසඳුම් ඉඟියක් ලබාගත හැකිය. දමිළ රාජ්‍යයේ හිරකරගෙන සිටි තම ජනතාව මුදාගන්නට ගිය වීරයා ගජබාහුය. ඔහු බයිබලයේ එන මෝසස්ට සමානය. ඔහු ගඟ දිය මුගුරින් ගසා වෙන් කර මුහුද ද දෙබෑ කළේය. ගජබාහු සමඟ නීල මහා යෝධයා ද යයි. අනික් සිංහල පුරාණෝක්තිවල නීල මහා යෝධයා ලෙස පෙනී සිටින්නේ කලූකුමාර යක්‍ෂයාය.(28) ඔහු චෝලයන් 12000 ක් සමඟ සිංහලයන් 12000ක් ද ගෙන ආවේය. ඉන්දියානු සංස්කෘතියෙහි අංක 12 ට ඇති පූජාමය වැදගත්කම ගැන විග‍්‍රහයක් ජෝන් ඩබ්ලිව්. ස්පෙල්මන් කළ රචනාවක දක්වා ඇත. ස්පෙල්මන් ජෛන පුරාණෝක්තියක් ද ගෙන හැර දක්වමින් ගජබාහු කතාව සමඟ ඇති සම්බන්ධකම් පෙන්වා දෙයි. අවුරුදු 12 කට බලපාන නියඟයක් ගැන දුටු තාපසයෙක් 12000 ක් වන තම පිරිස වඩා සරු බිමකට කැඳවාගෙන ගියේය.(29) අද්භූත ජනක පෙළහර පාමින් විරුද්ධව ආ සතුරු -දමිළයන් විනාශ කළ ගජබාහු මහා වීරයෙකි. මේ පුරාණෝක්තියේ එන තානය සහ අන්තර්ගතය මුළුමනින්ම ස්වදේශීය නොවූ වද එය යථාර්ථයකට වඩා ප‍්‍රාර්ථනා සමෘද්ධ වීමකි. ඉරණමේ බලවත් ආපදාවන්ට ලක් වුණු කණ්ඩායමක ආත්ම ගෞරවය ඉස්මතු කරලන්නකි. මේ යථාර්ථයේ විරුද්ධ පැත්ත අපට පෙනෙන ආකාරයට පුරාණෝක්තිමය පැන්ටසිය මවයි. එවිට මතුවන ප‍්‍රශ්නයක් ඇත. එනම්, මේ පුරාණෝක්තිය නිර්මාණය වීමට 4 සහ 13 වැනි ශත වර්ෂ වලින් වඩාත් උචිත වූ කාලය කුමක්ද? ඒ අතරතුර ඇති ඓතිහාසික සිද්ධි මේ ගැටලූවට පිළිතුරු ලබාදෙයි.

10 වැනි ශතවර්ෂයේ අග දී ක‍්‍රමානුකූලව සිදුවුණු දකුණු ඉන්දියානු ආක‍්‍රමණ වල ආරම්භයත් සමඟම සිංහලයන්ට පරිහානිදායක අවධියක් ආරම්භ ආරම්භ විය. ඒ ආක‍්‍රමණය ඊට පෙර සිදුවූ ඒවා මෙන් තැනින් තැන ඇති වූ කලාතුරකින් සිදුවූ ඒවාට වඩා බරපතල විය. ක‍්‍රි.ව. 1070 දක්වා ලංකාව චෝල අධිරාජ්‍යයේ කොටසක් බවට පත්විණි. කීර්ති නම් සිංහල නායකයෙක් විප්ලවකාරී ලෙස නායකත්වය ගෙන පළමුවැනි විජයබාහු නමින් රජකමට පත්විය. (1059 – 1114). විජයබාහුගෙන් පසු සිංහල ශිෂ්ටාචාරයේ ක‍්‍රමයෙන් හිස ඔසවන්නට විය. එය ඉහළම තැනට පැමිණියේ මහා පරාක‍්‍රමබාහු රාජ්‍යත්වයට පත්වීමත් සමඟය. අනුරාධපුර පැරණි අගනුවර චෝළ ආක‍්‍රමණවල ප‍්‍රතිඵලයක් ලෙස පොළොන්නරුවට ගෙන යන්නට සිදුවිය. පළමුවැනි පරාක‍්‍රමබාහු යටතේ සිංහල ශිෂ්ටාචාරය ඉතා උච්ච ස්ථානයකට පත්විය. එහෙත් වැඩිකල් පැවතුණේ නැත. 1214 දී කාලිිංගයෙන් විශාල හමුදාවක් සමඟ ලංකාවට ගොඩබට මාඝ ලංකාව ම මහා විනාසයකට ලක් කළේ ය. මාඝ කළ විලෝපනය ගැන චූලවංසය දීර්ඝ විස්තරයක් සපයයි. මේ හා සමඟම වාගේ ලියැවුණු පූජාවලිය සිංහලයන් මුහුණ පෑ මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය විස්තර කරයි. මේ කෘති දෙකෙහි ම කේරළ භට සංඛ්‍යාව 24000 ක් ලෙස දක්වා ඇත. මෙය වචන වල අරුතින්ම නොගතමනාය. රාජාවලිය ඒ සංඛ්‍යාව 20000 ක් කර තිබේ. එහි යටත් කර ගැනීම ගැන කෙටි සටහනක් ඇත. එය මෙසේය:

‘ලංකාවාසීන්ගේ කිසියම් ධර්මයක් නැති හෙයින් අහේතු කොට පව් පල දෙන හෙයින් ලකට අරක්ගත් දෙවියන්ගෙන් කිසි අපේක්‍ෂාවක් නැති හෙයින් අධර්මකම් පහළ වන්නේය. කලිඟු රජ විසිදහසක් මල්ලව සෙනඟ ගෙන ලක්දිවට ගොඩබැස කඳවුරු බැඳ පොළොන්නරු නුවර ගෙන පරාක‍්‍රම පඩි රජ අල්ලා ඇස් උදුරා ඇස් උදුරා ලෝකශාසනය නසා රුවන්වැලි දාගැබ බිඳුවා සෙසු දාගොප් බිඳුවා නොයෙක් සර්ධාවන්ත රජුන්ගේ චෛත්‍ය නැමැති කීර්ති ශරීරවල කොත් නැමැති ඔටුනු හා රුවන් නමැති ගිම්මස ගෙන ධාතු නැමැති ජීවිතය දෙමළුන් ලවා නසා ලක්දිව කුලවාසීන් උතුන් කරවා කීර්ති පවත්වා, ජාතිභේද කරවා සිරිලක මිත්‍යාදෘෂ්ටි කරවා සිල්වත් අය අල්වා ධන විකාරයට පමුණුවා ලංකාව ගිනිගත් ගෙයක් සේ පමුණුවා ගම ගම දෙමළුන් ඉඳුවා බලහත්කාරයෙන් එකුන් විසි අවුරුද්දක් රාජ්‍යය කළේය.(30)

අනුරාධපුරය සහ පොළොන්නරුව යන පැරණි අගනුවරවල් දෙක ම මාඝ විසින් විනාශ කරන ලද අතරතුර තුන්වැනි විජයබාහු නම් සිංහලයා දඹදෙණියේ සිංහල රාජධානිය ආරම්භ කළේය. දඹදෙණිය පිහිටියේ පැරණි අගනුවරින් දකුණු දෙසය. ඔහුගෙන් පසුව ඔහු පුත් දෙවැනි පරාක‍්‍රමබාහු 1236- 1271 රජකමට පත් වූයේය. ඔහුගේ රාජ්‍ය කාලය සාහිත්‍යයික සහ සංස්කෘතික කටයුතු වලට ඉතා වාසනාවන්ත කාලයක් විය. එහෙත් ඔහුට ද මුළු ලංකාවම එක්සේසත් කර ගත නොහැකි විය. ගජබාහු පුරාවෘත්තය කියන මුල් ම කෘතිය වූ පූජාවලිය ලියන ලද්දේ මේ රජතුමාගේ කාලයෙහිය.

මේ අවධියේ සමාජීය ඓතිහාසික උද්දාමය ස්වදේශීය පුරාණෝක්තියක් වර්ධනයට හොඳ පසුබිමක් විය. චෝළයන්ට යටත්වීම නිසා සිංහලයන්ගේ සමෘද්ධිමත් භාවය අන්ත පරිහානියට ලක්වුයේ 10 සහ 11 ශතවර්ෂ වලදීය. 12 වැනි සියවසේ දී අලූත් උද්දීප්තියකට එය ළඟාවිය. නැවතත් 13 වැනි සියවසේ දී එය දිවයිනේ ඉතිහාසයෙහි පහළ ම තැනට වැටුණි. මේ පුරාණෝක්තියේ පැන්ටසියාව, යථාර්ථයට විරුද්ධ පක්‍ෂය ගන්නේ නම් මාඝ විසින් කරන ලද මහා විනාසය මෙවැනි පුරාණෝක්තියක උද්භවයට සුදුසුම අවස්ථාව වන්නේය. මාඝ පරණ රාජධානියේ රජ කරන අවස්ථාවෙහි තුන් වැනි විජයබාහු දඹදෙණි රජ පරපුර ස්ථාපනය කළ බව අපි දුටුවෙමු. එහෙයින් පුරාණෝක්තිය බිහි වන්නට ඇත්තේ ද ඉන් පසු කාලයෙහි ඒ ප‍්‍රදේශයෙහිය. එය එසේ පිළිගත හොත් පූජාවලිය රචනයේ දී එකල පැවතුණු පුරාණෝක්තිය එලෙස ලියා තබන්නට ඇත.

ගජබාහු පුරාණෝක්තිය සමඟ මාඝ කතාව සසඳා බැලූවහොත් පළමුවැන්න මිථ්‍යා කථාවක් බවත් එය පශ්චාද්කාලීන ‘‘යථාර්ථයේ’’ විරුද්ධ පැත්ත ගන්නා බවත්, කේරළ ආක‍්‍රමණිකයන් 24000 ක් නැත්නම් 20000 ක් රැුගෙන මාඝ ලංකාව ආක‍්‍රමණය බවත් පැහැදිලිය. මාඝ කොල්ලකෑම් කරමින් සිංහලයන් ත‍්‍රාසයට පත් කළ අතර ඔවුන්ගේ රජු ද මරා දැම්මේය. ගජබාහු චෝළයන් ත‍්‍රාසයට පත් කළේය. මාඝ සිංහල ගම්මානවල දමිළ ආක‍්‍රමණිකයන් පදිංචි කරවූයේය. ගජබාහු එය කළේ දමිළ හිරකරුවන්ගෙනි. මේ ප‍්‍රතිවිරෝධතාවන්ට වඩා වැදගත් වන්නේ පුරාණෝක්තිය සතු සමාජීය මනෝ විද්‍යාත්මක කාර්යභාරයයි. එමඟින් ආපදා සම්පන්න අවදියක දී පහළටම වැටී තිබුණු ජනතාවගේ ආත්ම ගෞරවය වැඩිකරන්නට පුළුවන. අපට පෙනෙන්නේ මේ වීර ක‍්‍රියා ගජබාහු මත නිතැතින්ම ආරෝපණය කිරීමෙන් ලැබෙන ප‍්‍රතිඵලය නම් ඓතිහාසික වශයෙන් වැදගත් පුද්ගලයෙකු පුරාණෝක්ති ගත පුද්ගලයෙකු බවට පරිවර්තනය වීමයි. සහස‍්‍රජීවී පුරාණෝක්ති මෙන් නොව මෙහි සඳහන් වන වීරවික‍්‍රමාන්විත ක‍්‍රියාවන් ප‍්‍රක්ෂේපණ කර ඇත්තේ ඉතා කීර්තිමත් අතීතයකටය. එය දිව්‍යමය අනාගතයක් නොවේ. දෙවර්ගයේම පුරාණොක්ති කෙසේ වුවත්, ප‍්‍රකාශ කරන්නේ පැන්ටසියාවකි. එය පවත්නා යථාර්ථයට පටහැනි එකකි. එසේ නම් පුරාණෝක්තියෙන් සාහිත්‍යමය අර්ථකථනයක් මතුුවීම අත්‍යන්තයෙන්ම සිදුවන්නකි. එවැනි සාහිත්‍යයික අර්ථකථනයක් දිය හැකි හොඳම නිදර්ශනයක් අපි වෙනත් කීර්තිමත් විද්වතකුගෙන් උපුටාගෙන දක්වමු.

‘‘ඊළඟ රජුගේ රාජ්‍ය සමයේ දී චෝළ දේශීන්ගේ කුඩා යුද්ධ කණ්ඩායමක් ලංකාව ආක‍්‍රමණය කොට බොහෝ දේ පැහැරගෙන හිරකරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද රැුගෙන ගියේය. ඔහුගෙන් පසු රජ පැමිණි ඔහු පුත් ගජබා තෙමේ විශාල යුද්ධ හමුදාවක් රැුගෙන ගොස් තන්ජෝරය ආක‍්‍රමණය කොට මේ නිග‍්‍රහයට පළි ගත්තේය. අනපේක්‍ෂිත ප‍්‍රහාරයෙන් භය පත් වූ තන්ජෝරයේ රජ කිසිම විරුද්ධතාවක් නොපා සියලූ ඉල්ලීම් ඉෂ්ට කර දීමට පොරොන්දු විය. සිංහලයන් ස්වකීය ජන්මද්වීපයෙන් බැහැර ව ගිය ප‍්‍රථම විශේෂ ගමන වන මෙය නිසා වැදගත් වූ ද සිත් ගන්නා වූ ද, ප‍්‍රතිඵල කිිහිපයක් ඇතිවිය. පෙරළා එද්දී ගජබාහු විසින් සූවිසි දහසක් චෝළ සිරකරුවෝ ගෙන එන ලදහ. දිවයිනේ නොයෙක් පළාත්වල පදිංචි කරවන ලද ඔවුහු නොබෝ කලකින්ම නිත්‍ය ජනගහනයේ ම කොටසක් බවට පත් වූහ. අද පවා ඔවුන්ගෙන් පැවත එන්නෝ කිහිප ප‍්‍රදේශයකම විසිර ගොස් සිටිති. ඔවුන්ගේ භාෂාව ද සිංහල භාෂාව කෙරෙහි බොහෝ දුරට බලපා ඇත. චෝළ වචන බොහෝ ගණනක් සිංහලයන්ගේ ලිඛිත භාෂාවට ද ඇතුළු වී තිබේ. චෝළ රජු පත්ත්ිනි නම් හින්දු දෙව් දුව ගේ මැණික් පා සළඹ ද විෂ්ණු කාර්තිකේය නාථ සහ පත්තිනි යන දේවතාවන්ගේ නිල භාණ්ඩ ද ගජබාහුට පරිත්‍යාග කළේය. මේ අන්දමට දෙවිවරුනට සහ දේවතාවියනට පූජා පැවැත්වීමේ සිරිත ලක්දිවට ද පුරුදු කරන ලදි. මේ දෙවිවරුන් වටා පෘථුල වූ සාහිත්‍යයක් ද ජන කථා රාශියක් ද ගොඩනැගී ඇත. ඔවුන්ට මෙහෙ කිරීම සඳහා කැප වූ විශේෂ කුල ගෙවල් ද ඇත. මේ දෙවිවරුන් කැප වූ විශේෂ කුල ගෙවල් ද ඇත. මේ දෙවිවරුන් පිළිබඳව නොයෙක් චාරිත‍්‍ර සහ පූජෝත්සව අද දක්වා පැවත එයි. පත්තිනි – දේව – පූජාව සම්බන්ධ පොත් රාශියක් දැනුදු දක්නට ලැබෙයි.’’(31)

පූර්වෝක්ත ගජබාහු පුරාණෝක්ති විශ්ලේෂණය සිලප්පදිහාරම් කාව්‍යය කෙරෙහි දක්වන ආනුභාවය කුමක්ද? එසේම ආදි කාලීන දකුණු ඉන්දියානු ඉතිහාසයේ කාලානුක‍්‍රමණතාව ගැන එයින් ලැබෙන ආලෝකය කුමක්ද? මෙහිදී එක් කරුණක් පැහැදිලිය. එය නම් පත්තිනි පූජාවට සම්බන්ධ ගජබාහු කි‍්‍රි.ව. දෙවැනි සියවසේ රජ කළ ඓතිහාසික ගජබාහු නොවීමයි. එහෙයින් ගජබාහු කතාවත් සිලප්පදිහාරම් කතාවත් එකම අවදියකට අයත් කිරීම සම්පූර්ණයෙන් ඉවත දැමිය යුතුයි. දෙවැනි ව ගජබාහු පුරාණෝක්තිය 10 සහ 13 ශතවර්ෂ අතර කාලයේදී උද්ගත වූ සේ සැලකිය හැකි නම්, සිංහල සාධක ඇසුරු කොට ගෙන සිලප්පදිහාරම් පසු කාලයකට අයත් කරන්නට සිදුවෙයි. එසේ වුවත් තවමත් නොවිසිඳුනු වෙනත් ගැටලූ ද තිබේ. ඉතා පරිස්සමින් ඉතිහාසය අධ්‍යයනයෙහි යෙදෙන ශාස්ත‍්‍රවන්ත භාරතීය විද්වත්තු සිලප්පදිහාරම් 9 වැනි ශතවර්ෂයට වඩා පසු කාලයකට අයත් කිරීමට මැළිවෙති.

එය එසේ නම්, සෙංගුට්ටුවන් රජු සමඟ ඉලංගෝ අඩිගල්ගේ ඇති ඥාතීත්වය ද ගජබාහු ගැන කියන දේ මෙන්ම පසුකාලින ඈඳීම්ය. එවැනි එකතු කිරීම් ආදී සාහිත්‍යයේ පැහැදිලිව පෙනෙන ලක්‍ෂණයකි. සමහර වියත්තු සිලප්පදිහාරම් ගජබාහු ගැන කියවෙන කරුණ ස්වාධින එකක් සේ ගත්හ. (නිද. කුලසේකරම්) සිංහල වංසකථාකරුවෝ ඒ සිදුවීම් වීරයා පිළිබඳ ඓතිහාසික සත්‍ය කරුණු ලෙස සැලකූහ. මානව විද්‍යාඥයාට මෙයින් ගැටලූවක් මතුවන්නේ නැත. ආදීම කාලවල සිට ඉන්දු යුරෝපීය කක්ෂයෙහි මෙවැනි පුරාණෝක්ති සංසරණයෙහි යෙදුණු බැවින්. රටවල් දෙක අතර අන්තර් සන්නිවේදන මාධ්‍ය පැවතියෙන් ගජබාහු පුරාණෝක්තිය ලංකාවේ සම්භව වී දකුණු ඉන්දියාවට පැතිර යන්නට ඇත. පුරාණෝක්ති එසේ පැතිර යන විට ප‍්‍රතිග‍්‍රහණය කරන ජාතියේ සමාජීය ඓතිහාසික පරිසරයට අනුකූල වන සේ එය අනුවර්තනය කරගනු ලැබේ. ඒ නිසා අපට රටවල් දෙක ගජබාහු කෙරෙහි දක්වන ආකල්ප වල වෙනස ද පැහැදිලි ව දැකිය හැකිය. ලංකාවේ පවත්නා අදහසට අනුව ගජබාහු සිංහල ජනතාව වහල් භාවයෙන් මුදවාගත් ක්ීර්තිධර වීරයාය. 10 – 13 වැනි ශතවර්ෂ වල පැවතුණු දේශමාමකත්වයට එම පුරාණෝක්තිය මනා ව ගැළපෙයි. මේ අවධිය තුළ දකුණු ඉන්දියානුන් මෙරට ආක‍්‍රමණ කළ සමයකි. එසේ නම්, දකුණු ඉන්දියානු උද්දාමය කෙසේ පැවතිණිද? මේ ආක‍්‍රමණ ආරම්භ වූයේ දකුණු ඉන්දියාවේ චෝළ සහ කේරළ – චේර ප‍්‍රදේශවලිනි. එහි පැවතුණේ ලංකාවේ තත්වයේ හාත්පසින්ම විරුද්ධ පැත්තයි. මේ පැත්ත ගජබාහු කතාව පිළිබඳ ඉන්දියානු කතාවේ පැහැදිලිව දැකිය හැකිය. සිලප්පදිහාරම් හි එන ගජබාහු සිංහල පුරාණෝක්තියේ වීරයා නොවේ. ඔහු සිංගුට්ටුවන් රජුට වඩා පහළ මට්ටමේ කෙනෙකි. සෙංගුට්ටුවන් කීර්තිමත් දමිළ වීරයාය. වීර කාව්‍යයේ ඔහු ද විශ්වාස කළ නොහැකි පෙළහර පාන්නෙකි. ගජබාහු මේ දෙපෙති කතාව පුරාණෝක්ති චරිතයක් -පුද්ගලයෙක් -අසල්වැසි රටවල් දෙකක විවිධ සමාජයීය ඓතිහාසික තත්ත්වයන්ට ගැලපෙන පරිදි අනුවර්තන කරගෙන ඇති ආකාරය දක්වන සිත්ගන්නා සුළු නිදර්ශනයකි.

එලෙසින්ම ගජබාහු හා පත්තිනි පූජාව අතර සම්බන්ධය ද ගැන කියන විට විස්තර වන්නේ ගජබාහුගේ භූමිකාවේ වෙනස්කම්ය. ඉන්දියානු මූලාශ‍්‍රය කියන්නේ ලංකාවට පත්තිනි පූජාව හඳුන්වා දුන්නේ චේර රජුගේ අනුග‍්‍රහය මත බවයි. සිංහල තොරතුරු වලට අනුව පෙනී යන්නේ ගජබාහු රජු චෝළ රජු බියගන්වා මහත් ගරු සම්භාවනාවකට ලක් වූ පත්තිනි දේවියගේ පා සළඹ ලංකාවට ගෙනා බවයි. සිංහල කතා ගැන සම්පූර්ණයෙන් විමසා බැලූව හොත් ගජබාහුගේ ක‍්‍රියාව හිරකරුවන් සම්බන්ධයෙන් ක‍්‍රියාකළ ආකාරය සමඟ දැඩිව සමානය. චෝළ රජු සිංහල හිරකරුවන් 12000 ක් අල්ලා ගත්තේය. ගජබාහු ඒ 12000 ත් ඊට අමතරව තවත් 12000 ක් ද මෙරටට ගෙනාවේය. දමිළයෙක් වළගම්බා කාලයේ පාත‍්‍ර ධාතුව මෙරටින් ගෙන ගියේය. ගජබාහු මෙය ආපසු ගෙනාවා පමණක් නොව ඊට අමතරව පත්තිනි දේවියගේ පා සළඹත් හතර මහා දේවාලයේ ආභරණත් ආපසු ගෙනාවේය. මේ පුරාණෝක්තිය සංවිධානය කළ අන්දමෙහි කිසියම් රටාවක් ඇත. එහෙත් එය මෙවැනි සාහිත්‍යයක අර්ථ කථනයකින් විස්තර කරලීම උගහටය.

සිලප්පදිහාරම් මහා කාව්‍යය දක්වන සෙංගුට්ටුවන් නම් චේර රජුගේ අනුග‍්‍රහය ඇතිව ගජබාහු ලංකාවට පත්තිනි පූජාව හඳුන්වා දීමේ තොරතුරු අප විසින් කලින් සඳහන් කරන ලදි. එහෙත් ලංකාවේ ගජබාහු පුරාණෝක්තිය මෙයට සමාන නැත. ලංකාවේ සිංහල ශාන්තිකර්ම පිලිබඳ මූලාශ‍්‍රය පත්තිනි පූජාව ගැන දක්වන්නේ කවර ආකාර තොරතුරුද? පත්තිනි ත්‍රෝත‍්‍ර වලදී ගායනා කරන මඩු උපත මේ ප‍්‍රශ්නයට පිළිතුරු සපයයි. පත්තිනි පූජාව ලංකාවට හඳුන්වා දුන්නේ සේරමන් රජුය. එහි සාහිත්‍යයික අර්ථය චේර රජු යනුයි. සංගම් සාහිත්‍යයෙහි බොහෝ දකුණු ඉන්දියානු පාලකයින්ට සේරමන්, චේරමන් යන ගෞරව නාමය දී තිබේ.(32) මෙය පිළිගන්නා සාහිත්‍යලෝලයා පත්තිනි පූජාව ලංකාවට හඳුන්වා දුන්නේ සෙංගුට්ටුවන් නම් චේර රජු යැයි වාද කරන්නට ඉඩ තිබේ. මෙයද අපට පෙනෙන්නේ ගජබා උපකල්පනය තරම් දුරදිග යන එකක් බවයි. අනෙක සිංහල ශාන්තිකර්ම වල දැක්වෙන පාඬි රජුන් සහ සොලී රජු මෙන්ම සේරමන් රජු ද මිත්‍යා කථාත්මක පුද්ගලයෙකි. පුරාණෝක්ති වල ඔහු ගැන විස්තර වන ආකාරය බලන්න. පෙර උත්පත්තියකදී පැවති වෛරයක් නිසා ගෙම්බෙකු රජුගේ නාසයට ඇතුල්වීමෙන් සේරමන් රජුට බලවත් හිසරුදාවක් ඇතිවිය. විස්තර කල නොහැකි කිසියම් හේතුවක් නිසා ඔහු ලංකාවට පැමිණ තමන්ට ශාන්තියක් කරවා ගත්තේය. මෙතනදී දෙව්ලොව මැවුම් කරන විශ්ව කර්ම දිව්‍ය පුත‍්‍රයා ද දේව රජු වූ ශක‍්‍රයා ද උපකාරයට ආහ. දුරාතීතයේ විණැයි කියන මේ සිදුවීම අද කෙරෙන ගම්මඩු ත්‍රෝත‍්‍රයෙහි පුරාවෘත්තයයි. එහෙයින් එය පුරා කතාවට ඓතිහාසිකත්වයක් පිරිනමන්නට නොහැකිය. මේ වෘත්තාන්තයේ හි ක‍්‍රියාව පුරා කාලයකට අයත් කර ඇති බව සත්‍යවන්නා සේම මේ පුරාණෝක්ති ද නිර්මාණය වී ඇත්තේ ඓතිහාසික කාලයක බවද සත්‍යය. පත්තිනි පිළිබඳ මේ පුරාණෝක්තියෙන් අපට පිිළිගත ලබාගත හැකි ඓතිහාසික සාධකය නම් මලල දේශයෙන් මල – බාර ? ආ චේර – කේරළ පදිංචි කරුවන් මෙරටට පත්තිනි පූජාව හඳුන්වා දුන් බවයි. සිංහල ත්‍රෝත‍්‍ර සාහිත්‍යයෙහි මලල දේශය පාඬි සහ සොළී යන වචන වලින් සාමාන්‍යයෙන් හැඟවෙන්නේ දකුණු ඉන්දියානු වැසියන්ය. එසේ වුවද ඒවා දකුනු ඉන්දියාවේ විශේෂ වූ භූගෝලීය ප‍්‍රදේශයකට සම්බන්ධ නැත. මේ කරුණු සලකා බලන විට අවසානයේ දී අපට ලංවිය හැකි අනුමානය නම් පත්තිනි පූජාව ලංකාවට හඳුන්වා දෙන ලද්දේ දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණ පදිංචි වූවන් විසින් බවයි. ඒ සිදුවීම වන්නට ඇත්තේ ද 10 – 13 වැනි ශතවර්ෂ අතර කාල පරිච්ෙඡ්දයේදීය.

මතු සම්බන්ධයි.

ඡායාරූපය-©චතුර
කතිකා අධ්‍යයන කවයේ අවසරකින් තොරව මෙතැනින් උපුටා පල කිරීම තහනම්.