ධර්මසේන පතිරාජ ගේ ‘ස්වරූප’: නූතනත්වය යටතේ අවශ්‍යතාවට බැඳුණු, නිදහස අහිමි මිනිසාගේ පැවැත්ම විකාරරූපී ද? -කුමුදු කුසුම් කුමාර

හැඳින්වීම

ධර්මසේන පතිරාජ ගේ ‘ස්වරූප’ මානව පැවැත්මේ පැතිකඩ ගණනාවක් අපගේ අවලෝකනයට විවෘත කරන කලාත්මක ලෙස නිමැවුණු චිත්‍රපටියකි. එය මූලිකවම නූතන ධනවාදය යටතේ මිනිසාට උදාකර ඇති පීඩාකාරිත්වය සහ ඉන් ඇතිකරන විගලිතභාවය (alienation) පිළිබඳ ය. නූතනත්වය යටතේ මානව පැවැත්මේ කොන්දේසිය අභූත ය, විකාරරූපී ය, යන්න මෙයින් යෝජනා කෙරෙයි.

මා දකින පරිදි අවසාන විග්‍රහයේදී ‘ස්වරූප’ නාභිගත වන්නේ සතෙකු බවට රූපාන්තරණය වීමේ (අ)භාග්‍යය සම්පන්න ඉරණමට මුහුණ පා සිටින කථානායකයා පිළිබඳවත් නොවේ, පවුල කෙරෙහිය, අසමත් නූතන පවුල පිළිබඳ ය. ඒ එකම වර, ‘ස්වරූප’, ආදරය කරුණාව වැනි මානව වටිනාකම් පිළිබඳ කරුණ ද අප හමුවේ මතු කරයි. එමෙන්ම, යථාව යනු කුමක් ද? අභූත, අද්භූතජනක යනු කුමක් ද? අභූතරූපී විකාරරූපී බව යථාව නොවන, යථාවෙන් බැහැර දෙයක් ද? යන ප්‍රශ්ණ අප හමුවේ නඟයි. තවද, ඒ යථාව පිළිබඳ අපගේ හැඟීම විභාග කිරීමට ඇරයුම් කරයි.

ශ්‍රමය සහ නො-නිදහස

‘ස්වරූප’, නූතනත්වය යටතේ යුරෝපීය සමාජයේ තරැණයෙකු අත්දුටු විගලිතභාවය පදනම් කොටගෙන රචිත ෆ්‍රාන්ස් කෆ්කාගේ The Metamorphosis (1915, රෑපාන්තරණය) නමැති කෙටි නවකථාවේ සිංහල අනුවාදයක් මත පදනම් වූ චිත්‍රපටියකි.

හනා ආරන්ඩ්ට් තම The Human Condition කෘතියේ ශ්‍රමය (labour), වැඩ (work) සහ ක්‍රියාව (action) යනුවෙන් මානව ක්‍රියාකාරකම් (activities) කොටස් තුනකට බෙදයි. එයින් ශ්‍රමය (labour), අනෙකුත් සත්වයන් හා සමානව, මානව පැවැත්මේ ජීවවිද්‍යාත්මක ක්‍රියාවලින් සහ අවශ්‍යතාවන් හා බැඳුණු, ජීවිතය පවත්වාගෙන යාම සඳහා කෙරෙන්නකි. එහි ප්‍රධාන ලාක්ෂණිකය නො-නිදහස (unfreedom) යි, වහල් ස්වරූපය යි. එනිසා මිනිසා විගලිතභාවයට පත් වෙයි. ( මිනිසා නිදහස දිශාවට ගෙන යන්නේ වැඩ සහ ක්‍රියාව යි.)

‘ස්වරූප’, තම ජීවනෝපාය සඳහා ශ්‍රමයේ යෙදෙන්නට බල කරනු ලැබූ තරුණ මිනිසෙකු එම ශ්‍රමයේ බරින් හෙම්බත්ව නො-නිදහසින් පීඩාවට පත්ව, තම පවුලෙන්, රැකියාවෙන්, සමාජයෙන්, සහ තමාගෙන්මත් විගලිත වී විඳින කටුක අත්දැකීම මුල්කර ගත් කථාන්තරයකි.

යටත් විජිත සමයේ ලංකාවේ මැද පංතික පවුලකට දාව ඉපිද අධ්‍යාපනය ලබා තම වැඩිහිටි ජීවිතය පශ්චාත් විජිත ලංකාවේ අරඹන තරුණයෙකුට ඖෂධ අලෙවි සමාගමක වෙළෙඳ නියෝජිතවරයෙකු ලෙස රැකියාවක් තිබියදීත් රැකියාවේ වෙහෙසත් පවුලේ පීඩනයත් නිසා ජීවිතය පිළිබඳ දැඩි ලෙස හෙම්බත් වන්නට තරම් ඔහුට ජීවිතයේ නිදහස නොතිබීම ධර්මසේන පතිරාජ තම චිත්‍රපටියෙන් අපගේ අවලෝකනය සඳහා ඉදිරිපත් කරන ගැටළුව යැයි සිතමි.

කථාව – පවුල

‘ස්වරූප’, රැකියාවේ දුෂ්කරතාවන්ගෙන් සහ සහ පීතෘමූලික ආකල්ප ඇති පියෙකු නිසා පීඩා විඳි, ජීවිතය පිළිබඳ ලාලසාව පිරිහුණු තරුණ මිනිසෙකු වන ග්‍රෙගරි සහ ඔහුට පිළිසරණක් විය නොහැකි මවක් ඔහු තමාගේ දියුණුවට අත දෙනු ඇතැයි අපේක්ෂා දල්වා සිටි සහෝදරියක් පිළිබඳ කථාවකි.

ඔවුන් එදිනෙදා ජීවිතයේ ගත් යම් තීරණ නිසා වියවුලට පත් පවුලකි. විශාල නිවසක් තමන්ට දරා ගත නොහැකි කුලියකට ගෙන, ග්‍රෙගරි සේවය කරන සමාගමෙන් ණයකුත් ගෙන, තමන්ට ආර්ථිකව දරා ගත නොහැකි දිවි පෙවෙතක් ගෙන යමින් එහි බර මූලිකව ග්‍රෙගරි මත පැටවූ පියෙකු අධිපතිකම දරන පවුලකි.

හර්මන් සැම්සන් ව්‍යාජ ඇගයීම් ඇති පියෙකි, පීතෘවාදී ආකල්ප ඇත්තෙකි, පීඩාකාරී ය, නපුරු ය. ඔහු තම මහන්තත්වය ගැන පුරාජේරු කීමට රැචියක් දක්වන සාටෝපකාරී ව්‍යාජ ගර්වයක් ඇත්තෙකි. පවුලේ අන් සාමාජිකයන්ද මෙය නොදන්නවා නොවේ. හර්මන් ගේ බිරිඳ මාර්තා එයට ප්‍රතිචාර දක්වන්නේ කිසියම් සෝපාහාසයකිනි. මාර්තා උපේක්ෂාවෙන් සියලු බර දරා ගන්නා සුප්‍රකට මව ගේ චරිතය යි.

පියා ග්‍රෙගරිට සළකා ඇති ආකාරය පීඩාකාරීය. මව එයට එකඟ නොවන නමුත් පියාගේ ආධිපත්‍යය නිසා ඇයට ග්‍රෙගරිට පිහිට වීමේ හැකියාවක් නොතිබුණි. අනෙක් අතට පියා විශ්‍රාම යාමෙන් පසු අධ්‍යාපනය නවත්වා රැකියාවකට යාමට ග්‍රෙගරිට ද අවශ්‍ය වීය.

ග්‍රෙගරි ගේ සහෝදරිය ග්‍රේටා, ග්‍රෙගරි තම සංගීත අධ්‍යාපනයට වියදම් කිරීම පිළිබඳ සතුටු වීය. ග්‍රෙගරිට තම සහෝදරිය සංගීත ක්ෂේත්‍රයේ දස්කම් වර්ධනය කරගනු ඇතැයි යන අපේක්ෂාව මුල් කර ගත් අභිලාෂයන් වීය. ග්‍රේටා කොළඹ සන්ධ්වනි වාදක මංඩලයට බැඳවීම ග්‍රෙගරි ගේ අපේක්ෂාව වූයේ තමා නොලද නිදහස ඇයටවත් ලබා දිය යුතු යැයි ඔහු සිතූ නිසාද? ඇයට අවශ්‍ය වූයේ තම නැන්දනියක මෙන් කොළඹ වංශවත් පැළැන්තියේ කාන්තා විදුහලේ සංගීත ගුරුවරයෙකු වීමට ය.

ග්‍රේටා මඟින් සමාජයේ ඉහළ තත්වයකට නැඟ ගැනීමේ ඵල නොලද ආශාව හර්මන්ට මෙන්ම ග්‍රෙගරිටත් තිබුණිද? මැද පංතිකයෙකු වූ නමුත් සමාජයේ ඉහළට නැඟ ගැනීමට නොහැකි වූ පියෙකු වියදම්කාර දිවි පෙවෙත සහ තම දියණිය ගේ සාර්ථකත්වය මගින්වත් එම ආශාව මුදුන් පමුණුවා ගැනීමට ඇති අපේක්ෂාවෙන් පසු වීද?

මේ යටත් විජිතවාදය යටතේ බිහිවූ ලංකාවේ මැද පංතිය කලු සුද්දන් ලෙස සිතීමට පුහුණු වීමෙන් ඇති වූ වින්නැහියද? මෙම පවුල පිළිබඳ ගැටළුව කුමක් ද? ඔවුන්ගේ වටිනාකම් ව්‍යාජ ඒවාද? පවුල සමාජයේ ශිෂ්ඨාචාරයේ මූලික ඒකකයි යැයි සමාජ විද්‍යාත්මක විග්‍රහයක් තිබේ. ‘ස්වරූප’ විභාග කරන්නේ එහි වලංගු භාවය ද?


රූපාන්තරණය

ග්‍රෙගරි සමාජයෙන් හුදෙකලා වී ඇත. ඒකාකාරී, නීරස, අර්ථ විරහිත, වෙහෙසකාරී රැකියාවක යෙදීමේ දෛනික දිවි පෙවෙත හැර අන් යමක් ජීවිතයේ නොලදින් වෙහෙසට පත් ව හෙම්බත් වන තරුණයෙකු තම පවුලෙන් ද දයාවක් නොලැබුණු තැන ජිවිතය පිළිබඳ බලවත් සේ කලකිරී සිටියි නම් ඒ පිළිබඳ ඔහුට කුමක් කළ හැකිද? ඔහු ගේ ජීවිතය අවදි වන්නේ ඔහුගේ “ප්‍රේම සබඳතා” තුළ පමණි. නමුත් “ප්‍රේමය” තම ජීවිතයේ නිත්‍ය පැවැත්මක් බවට පත් කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ඔහුට නැතුවා සේය.

ජීවිතයෙන් පළා යාමට අවශ්‍ය වූවා විය හැකි නමුත් එසේ කිරීමට තම සිත එකඟ කර ගැනීමට ඔහු අපොහොසත් වූවා විය හැකිය. තම පවුලට ඇති වගකීම නොසළකා හැර එසේ කිරීමට සිත හදා ගැනීමට ඔහුට නොහැකි වූවා විය හැකිය. ග්‍රෙගරි සමාජ ප්‍රතිමාන සහ වටිනාකම් වෙත තදින් බැඳුණෙකි. ඒවා පීඩාකාරී ලෙස දැනුණද ඊට එරෙහිව අරගල කිරීමට ඔහුට ශක්තියක් නැත්තා සේය. එලෙස ඇතිවන මානසික පීඩනය සහ ආතතිය යටතේ රෑපාන්තරණය ඔහු තම අර්බුදයෙන් මුදවා ලූ සේය.

එවැනි බැරෑරුම් සාංදෘෂ්ඨිකමය – එනම් මිනිසෙකු ලෙසින් වන තම පැවැත්ම පිළිබඳ – අර්බුදයකට මැදි වූ තරුණයෙක් රෑ නින්දට ගොස් පසු දින අවදි වූ විට තමන් මිනිසත් බවෙන් මිදී වෙනත් සතෙකු බවට රෑපාන්තරණය වූ බව දැනගත් විට සිදු විය හැක්කේ කුමක් ද? ඔහුගේ පවුලේ සාමාජිකයන් එයට මුහුණ දෙනු ඇත්තේ කෙසේද?

මේ නූතනත්වය තුළ මිනිසාගේ ඉරණමද?. ජීවත්වීම සඳහා යාන්ත්‍රිකව මෙන් රැකියාවක නිරතවීමට බල කෙරෙන මිනිසාට තම රැකියාවෙන් තෘප්තියක් නොලැබෙන්නේ නම් එය ජීවිතය හෙම්බත් කරන්නේ නම් ජීවත්වීම අර්ථවත් කරලීමට අවශ්‍ය තෘප්තිය සතුට අන් අරමුණක සොයා යන්නට මිනිසාට සිදුවෙයි. ඒ සඳහා කිසිදු තිරසාර මඟක් නොලබන මිනිසාගේ ඉරණම ඛේදනීය වීමට ඉඩ තිබේ.


ඛේදවාචකය සහ පවුලේ ප්‍රතිචාර

‘ස්වරූප’ මානව වෘතාන්තයකි, දෘෂ්ඨාන්තයකි. කථාන්තරයේ සන්දර්භය ද්වීතියක යැයි මම සිතමි. වැදගත් වන්නේ චරිත අත්දකින සිදුවීම් නොවේ, ‘ඔවුන් ඒවාට කුමන ආකාරයෙන් මුහුණ දෙන්නේද?’ යන්නයි; ‘චිත්‍රපටියේ අපගේ වීරයා නැතහොත් ප්‍රතිවීරයා හෝ ගොදුර මුහුණ පාන තත්වය අප කෙසේ වටහා ගන්නේද?’ යන්න යි.

මෙම අසාමාන්‍ය තත්වයේදී ග්‍රෙගරි ගේ පවුලේ සාමාජිකයන් හැසිරෙන්නේ කෙසේද? මොවුන් යහපත් පවුලක් – පියෙක්, මවක්, සහෝදරියක් – ද? ඔවුන් මානවයන් වශයෙන් ගැළවීමක් ඇති චරිත ද? ඔවුන් එක් එක් අයෙකුට තමා පිළිබඳ වගවීමක් කරන්නට සිදුවෙයි.

ග්‍රෙගරි අත්දුටු විපරීථකරනය පිළිබඳ පවුලේ සාමාජිකයන්ට ඇත්තේ මිශ්‍ර හැඟීම් ය. ඔවුන්ගේ මනස් අවුල් ය. ඔවුනට ඊට අභිමුඛ වීම දුෂ්කර ය. මුලදී ඔහුගේ විපරීථකරනය භාරගැනීමට පවුලේ අයට අපහසු ය. ඔහුට ග්‍රෙගරි ලෙසම සැළකීමට ඔවුනට අවශ්‍ය වෙයි. ඔවුහු පළමුව ඔහු මග හරිති. ඔවුහු ග්‍රෙගරි ගේ නව තත්වය පිළිබඳ විකර්ෂණය සහ ඔහු තමාගේ පුතා / සහෝදරයා වීය යන කරුණ නිසා ඇති වන ආකර්ෂණය අතර දෝලනය වෙයි. ගෙදර දින චර්යාව අවුලට පත් වෙයි.

පතිරාජ ඔවුන් නිරූපණය කරන්නේ තමන් මුහුණ පා සිටින ගැටළුව සමග අඩු වැඩියෙන් පොර බදන මිනිසුන් සහ ගැහැණුන් මිස පැතළි කලු සුදු චරිත නොවේ.

පියා සම්ප්‍රධායික පීතෘමූලික ආකල්පයෙන් පුතාට සළකා ඇතත් ඔහු තුළද පුතා කෙරෙහි අනුකම්පාවක් දයාවක් නැත්තේම නොවේ. ඔහුට ග්‍රෙගරිට සිදුවූ දේ සම්බන්ධයෙන් වරදකාරීත්වයක් පිළිබඳ ප්‍රබල හැඟීමක් නැත. එක් අතකින් පියා හැසිරෙන්නේ ඔහු මෙවැන්නක් අපේක්ෂා කළාක් මෙනි. නමුත් උදා වී ඇති තත්වයට ඔහුටද මුහුණ දිය නොහැකිය. ඔහු එය ඉබේ විසඳෙනු ඇතැයි සිතයි. ‘ග්‍රෙගරි අපේ අනාගතය ගැන කනස්සල්ලෙන් සිටිනවා ඇතැ’ යි සිතයි, ’ඔහුට ඔහුගේ ප්‍රශ්නය විසඳාගන්න ඉඩ දෙන්න’ යැයි කියයි.

ග්‍රෙගරි විපතට පත් වූ විට කොන්දේසි විරහිතව ඔහුට කරුණාව දක්වන්නේ ඔහුගේ මව සහ කුඩා කළ සිට ඔහු හදා වඩා ගත් ගෘහ සේවිකාව මේරි ය.

මේරි කුඩාකල සිට තමන් හදාවඩා ගත් ග්‍රෙගරි “මයේ පුතේ” යැයි අමතමින් ඔහුට සුවපතා යාඥා කරන්නීය. තමාට ඔහුට සත්කාර කරන්නට අවසර නොලැබීම පිළිබඳ කම්පාවෙන් මේරි නිවස හැර අනාථ නිවාසයකට යයි.

තම දරුවාට සිදුවූයේ කුමක්දැයි වටහා ගන්නට මාර්තා අවුලකය. ඇය කිසිවක් කර කියා ගත නොහැකි අසරණ හැඟීමෙන් වෙලී දුක් වෙයි. තම පුතා වෙත ඉමහත් ආදරයක් ඇති ඇයට ඔහුට සිදුවී ඇති විපත දරාගත නොහැකිය. මුලින් ග්‍රෙගරි ගේ තත්වය යහපත් අතට හැරෙනු ඇතැයි බලාපොරොත්තුවක් ඇය තුළ වීය. “අපිව බලාගත්තු අහිංසක දරුවා” පිළිබඳ ඇය කම්පා වෙයි. ඇය තමාට අහිමි වූ පුතා ගතකළ ජීවිතය සිහිපත් කරමින් ඔහු පිළිබඳ කාන්සාවෙන් පෙළෙයි. ඔහු ගේ මෙම තත්වය තාවකාලික එකක් යැයිද ඔහු ඉන් මිදෙනු, සුවවෙනු ඇතැයි මාර්තා විශ්වාස කරයි. ඇය ඔහු හොඳින් ඇඳ පැළඳ වැඩට යනු සිහිණෙන් දකියි. නමුත් ඔහු ගේ තත්වය වෙනස් නොවනවා පමණක් නොව එය පිරිහෙමින් පවතින බව වටහා ගත් විට කම්පාවට පත්ව ඉන් රෝගීව පසුව එය ඉරණම ලෙසින් භාරගන්නට ඇය යොමු වෙයි.

තමා කෙරෙහිම යොමු වූ සිතැතිව දිවි ගෙවූ ග්‍රේටා ටද තම සොහොයුරාට අත් වූ තත්වය පිළිබඳ ඇත්තේද අනුකම්පාවකි. ග්‍රෙගරි ගේ දුක සැප බලන්නේ තමන් නොව ගෘහ සේවිකාව වන මේරි බව වටහා ගැනීම තුළ ඇතිවන වරදකාරීත්වය පිළිබඳ හැඟීමෙන් ග්‍රේටා, මේරි ග්‍රෙගරි ට සැළකීම අකාරුණික ලෙස තහනම් කරයි. ග්‍රේටා ග්‍රෙගරි ගැන දුක් වෙයි. ඔහුගේ නව ජීවිතය පහසු කරන හැටි ගැන සිතයි.

ඇගේ සිත නව ග්‍රෙගරි වෙත කිසියම් ආකර්ෂණයක් ඇත. එමෙන්ම ඇය ඔහු ට බිය ය. ඇය උදා වී ඇති තත්වයට මුහුණ දී ගත නොහැකි මවගේ සිත කෙමෙන් එයට සමීප කරන්නට යොමු වෙයි: “ එයා මමීගෙ පුතා වුනාට දැන් එයා සතෙක් මමී.”නමුත් ශාලිකා සංගීත රාත්‍රියේ කටුක අත්දැකීමෙන් පසු ග්‍රේටා ගේ සිත බිඳෙයි. ”අපි එයාට කරුණාවන්තයි නමුත් එයාට ගාණක්වත් නැහැ, එයා ග්‍රෙගරි කියල අපිට අමතක කරන්න වෙනව” යැයි ඇය සිත සනසා ගන්නට උත්සාහ කරයි.

මේරි ගෙන් පසු නිවෙසේ සේවයට කොළඹින් එන කඩිසර, දක්ෂ බියට්‍රිස් නිවස පිරිසුදු කිරීමට රැචි ය.ඇයගේ පැමිණීම ඔවුන් ගේ ජීවිතයට කිසියම් සහනයක් උදා කළා වැනිය. නිවෙස් වැසියන්ගේ භාහිර අලංකාර බව පිටුපස සැඟවුණු ඔවුන් ගේ චරිත වල දිළිඳු බව බඳුව අලංකාර නිවස පිටුපස ඇති කුණු ගොඩ දැක බියට්‍රිස් සතුටු වුනා සේය. බියට්‍රිස් පැමිණි විට දහවල නිවෙසේ ඉන්නේ “ මමයි පුතයි” බව මාර්තා ඇයට පැවසුවද, එය නොතකා එම “කරදරය” අවසන් කිරීමේ තීරණය බියට්‍රිස් තමා අතට ගත්තා සේය. ග්‍රෙගරිද මරණය අපේක්ෂාවෙන් ස්වකැමැත්තෙන් ඇයට අභිමුඛ වූවා වැනිය.

අවසන ජීවිතය සාමාන්‍යත්වයට පත්වෙයි. ග්‍රේටා නව දිවියක් ඇරඹීමට සූදානම් සෙයකි. මාර්තා පවා ඉන් යම් සහනයක් ලැබූ සෙයකි. ග්‍රෙගරි අහිමි ජීවිතය කොතෙක් සතුටින් භාර ගැනීමට මාර්තාට හැකි වනු ඇතිද?

ග්‍රෙගරි වෙනුවෙන් අවමඟුලක් නොතිබූ නමුත් ඔහු වෙනුවෙන් තැනූ සොහොන් කොතකි. එය නිරූපණය කරන්නේ පවුලේ ව්‍යාජ හැසිරීමක් බඳුය. එහිදී සමාජ සම්මතය රකින්නට ඔවුන් යොමුවුනාක් මෙනි.

පතිරාජගේ සිනමා ශිල්පීය ප්‍රතිභාව

චිත්‍රපටිය ඇරඹෙන්නේ අපගේ (ප්‍රති)වීරයා සෙමින් පියවර තබමින් එන පා ගමන නිරූපණයෙනි. එතැන් සිට චිත්‍රපටිය ඉතා මන්දගාමීව දිගහැරෙයි. එය ඉලක්ක සුරතාන්තයක් කරා වේගයෙන් ඉදිරියට දිවයන කතාවක් නොවේ. එනිසාම එයට අප සිත ඇද බැඳ ගනියි. මෙය අප සාමාන්‍යයෙන් අත් දකින වත්මන් සිනමාවෙන් වෙනස් සුවදායක, නවමු, පිළිගත යුතු වෙනසකි.

‘ස්වරූප’ සැම්සන් පවුල පිළිබඳ ඔවුන් ගේ එදිනෙදා ජිවිතය පදනම් කරගත් මානව වංශ ලේඛනයක් බඳු ය. ඔවුන් ගේ දෛනික ලෞකික දිවි පෙවෙත සූක්ෂ්මාත්මතාවෙන් යුතුව එහි නිරූපණය කෙරෙයි. පතිරාජ චිත්‍රශිල්පියෙකු බඳුව චරිත ප්‍රතිරූප පින්සල් පහරෙන් පහර මෙන් ඉතා පරෙස්සමෙන් අති දක්ෂ ලෙස නිමවයි. චිත්‍රපටය එහි චරිත වල – විශේෂෙයන් ග්‍රෙගරි ගේ – වෙනස්වන මනෝභාව දෘශ්‍යමාන වන ආකාරය පිළිබඳ සමීප අධ්‍යයනය කි. පුද්ගලයා අපට දෘශ්‍යමාන වන ආකාරය පිළිබඳ සියුම් සවිස්තරාත්මක කරුණු කෙරෙහි අවධානය තුලින් චරිතයේ මානසිකත්වය විදහා දක්වයි. ඒඅනුව, අපි මිනිස් වතෙහි හැඟීම් පළ කෙරෙන අයුරු, ඉඟි, චලනයන්, පියවර වේගය යනාදිය සිතෙහි සටහන් කරගන්නට ඉක්මනින් යොමු වන්නෙමු.

කාර්යාලයට යන ග්‍රෙගරි නොරුස්සන සුළුය, කනස්සල්ලෙන් පෙලෙයි, චින්තාපර ය. ඔහු සිතේ තැවුලක්, සිදුවන්නට යන යම් නරක දෙයක් පිළිබඳ කිසියම් බියක් ඇතිව ඉක්මනින් කලබල වෙයි. දුම්රියට ගොඩවන ග්‍රෙගරි ගේ හිසකෙහි අවුල් වී ඇත. ඔහු ගේ මුහුණ හැඟීම්බර ය. ඔහු ගෙදර පැමිණි විට තමාට ඔහුගෙන් ලැබෙන දේ ගැන අවධානයෙන් සිටින ග්‍රේටා ඔහු අමතද්දී ඔහු නිරුත්තරය, තමා පිළිබඳ දුක් නිසා සිත කැළඹී සිටියි. ඔහු කල්පනාවේ නිමග්න ය.

ග්‍රෙගරි කිසියම් බැරෑරුම් කරදරයකට මුහුණ පා ඇති බව ඔහුගේ භාව ප්‍රකාශනයෙන් ඉරියව්වෙන් අපි දැන ගනිමු. ඒ සඳහා අධ්‍යක්ෂ විසින් අප මනාව සූදානම් කොට තිබේ.

යථාර්ථවාදය සහ පරාරෝපණ උපක්‍රමය

මෙම චිත්‍රපටිය යථාර්ථවාදය එහි ඉහළම ශක්‍යතාවෙන් උපරිමයෙන් කුළු ගන්වයි. එහි සිදුවීම් යථාර්ථවාදීව නිරූපණය කෙරෙයි. ඇඳෙන් වැටුණු ග්‍රෙගරි මහත් වෙහෙසක් දරා කාමරයේ දොර යාමිතමින් ඇරගත් මොහොතේ එතෙක් චිත්‍රපටිය අනුදත් යථාර්ථවාදී ශෛලිය නාටකීයකරණය වූ ශෛලියකට මාරු වෙයි.

ඒක රේඛීය වෘතාන්තය අනුව යමින් ප්‍රේක්ෂකයා එය සැබෑවක් යැයි සිතා ඊට සමවැදීම වළක්වා ලීමට පරාරෝපණ ඵලය ඇති කිරීම සඳහා වෙනත් ශිල්ප ක්‍රම අතර අතීතාවලෝකනයන් යොදාගැනෙයි. එබඳු එක් අතීතාවලෝකනයක දැක්වෙන වෛද්‍ය විද්‍යාලයේ දර්ශනයෙහි අධ්‍යක්ෂ/ තිරනාටක රචක වෛද්‍යවිද්‍යා මහාචාර්යවරයකු තුළින් ප්‍රේක්ෂකයා සමාජ ආර්ථික දේශපාලන ගැටළු පිළිබඳ අමතන්නා සේය. වෛද්‍ය විද්‍යාව සහ ඖෂධ කර්මාන්තය පිළිබඳ ගෙනෙන විවේචනය හැරුණු කොට ස්ත්‍රී ශරීරය පිළිබඳ ගොරහැඩි පීතෘවාදී යාන්ත්‍රිකවාදී භෞතිකවාදයක් වෛද්‍යවරයා මගින් ඉදිරිපත් කරන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රශ්න කිරීමක් ලෙසිනි යැයි මම සිතමි.

චිත්‍රපටිය මුලදී, කාර්යාලයේ, රෝස මලක් කබා පටියේ පැළඳ ග්‍රෙගරි කන්නාඩියෙන් තම හැඩරුව බලන දර්ශනයේදී, ඉන් ඉවත්ව ගියද ඔහුගේ රුව තවදුරටත් කන්නාඩියේ රැඳී පවතින මොහොත සංකේතවත් කරන්නේ ලකාන් ගේ ‘දර්පණ ප්‍රතිරූපය’ පිළිබඳ අදහස යැයි සිතමි. දර්පණ ප්‍රතිරූපය යථාවේ තැනට ආදේශ වෙයි. එය එයටම හිමි ජීවිතයක් අත් පත් කරගත්තා වැනිය. ඒ ග්‍රෙගරි දකින්නට කැමති ‘තමා’ ය, සතුටින් සිටින්නට කැමති ග්‍රෙගරි ය. නමුත් එය සැබවින් සාක්ෂාත් කරගන්නේ කෙසේද? ලකානියානු දර්පණ ප්‍රතිරූපය මෙන් එය හුදු මායාවකි, වරදවා හඳුනා ගැනීමකි. පසුව සිදුවන්නේ මෙම ග්‍රෙගරිගේ සිත ඇදගන්නා දර්පන ප්‍රතිරූපය සත්වයෙකු බවට රූපාන්තරණය වීමයි.

චිත්‍රපටයේ නාටකීය ශෛලිය ඉදිරියට ගෙන යමින් හා ප්‍රේක්ෂකයාට හාස්‍යෝත්පාදක සහනයක් ගෙන දෙමින් බෝඩිං කරුවන් තිදෙනා පිළිබඳ ප්‍රහසනය ඉදිරිපත් කෙරෙයි. සම්භාව්‍ය සංගීතය අගය කරන බව පෙන්වන බෝඩිංකාර මහළු මහත්වරු තමන් වැදගත් මිනිස්සු යැයි කියා පාති. නමුත් රූපාන්තරණයට ලක්ව සිටින ග්‍රෙගරි තම සොයුරියගේ සංගීත වාදනයට රුචි වී කාමරයෙන් පිටතට පැමිණීමෙන් බියට පත්ව කලබල වන එම මහත්වරු තමන්ගේ නේවාසික ගාස්තු ගෙවීමද ප්‍රතික්ෂේප කොට නිවෙසින් පිටව යති. මෙම අවස්ථාව, එක් අතකින් තමන් වැදගත් යැයි සිතන, එසේ පිළිගැනෙන මිනිසුන්ගේ ‘සැබෑ ස්වරූපය’ පිළිබඳ ගැටළුව අප හමුවේ මතුකරයි. අනෙක් අතට එය ශාලිකා සංගීතය නියෝජනය කරන සම්භාව්‍ය සංගීතය පිළිබඳ සැපයෙන කෙටි අටුවාවක් බඳුය.

‘යමෙකු සම්භාව්‍ය සංගීතය අගයන්නේ යැයි කියා පාන නිසාම ඔවුන් යහපත් මිනිස්සුය යන අර්ථයෙන් මිනිසුන් “වැදගත් මිනිස්සු” වන්නේ නැත,’ යන්න ගැන විවාදයක් තිබිය නොහැක. සම්භාව්‍ය සංගීතය රසවිඳීම යනු පුහු ලෙස සමාජ තත්වය සළකා ව්‍යාජව එය අගය කරන බව අඟවන මහල්ලන්ගේ කටයුත්තක් යැයි චිත්‍රපටයෙන් යෝජනා කරන්නේ යැයි නොසිතමි.

‘උසස් කලාත්මක රසාස්වාදයට ඇති හැකියාව මිනිසුන් යහපත් බවට පත්කරන්නේ’ යැයි ප්‍රචලිත අදහසට ව්‍යතිරේඛයක් දක්වා එහි වලංගුභාවය අභියෝගයට ලක් කිරීමක් මෙයින් ඉලක්ක කරන්නේ නම් අපට එය වටහා ගත හැකිය. ‘උසස් කලාත්මක රසාස්වාදය’ යන්නෙන් හඳුනා ගැනෙන්නේ සම්භාව්‍ය සංගීතය වැනි විදග්ධ කලාවන් රසාස්වාදය නම් ඉහත සඳහන් අදහස නිසාම අප ඒවා රසවිඳීම පිළිකෙව් කළ යුතු යැයි ‘ස්වරූප’ යෝජනා කරන්නේ යැයි මම නොසිතමි. හනා ආරන්ඩ්ට් “The Crisis in Culture” ලිපියේ තර්ක කරන පරිදි වැදගත් වන්නේ කලාව උසස් සහ බාල ලෙසින් විභේදනයට ලක් කිරීම නොව සංස්කෘතිය සහ විනෝදාස්වාදය අතර වෙනස සහ ඉන් අපේක්ෂිත අරමුණු අතර වෙනස වටහා ගැනීම යි.

යථාව සහ අද්භූතය

යථාව යනු කුමක් ද? අභූත, අද්භූතජනක යනු කුමක් ද? අභූතරූපී විකාරරූපී බව යථාව නොවන, යථාවෙන් බැහැර දෙයක් ද? මිනිසුන් දේවල් හෝ සත්වයන් බවට විපරීථකරනය වන අවස්ථා පුරාණොක්තින්හි දක්නට ලැබේ. නමුත්, සාමාන්‍ය ජීවිතයේදී මිනිසෙකු සතෙකු බවට රූපාන්තරණය වීම අද්භූත ජනක දෙයක් ලෙස අපි දකිමු. එවැනි අභූත කතාවක් යථාව ලෙසින් විශ්වාස කිරීමට ‘ස්වරූප’ අපව පොළොඹවයි. එලෙසින්, ’ස්වරූප’, යථාව සහ අභූතබව පිළිබඳ අපගේ විශ්වාසයන් බරපතළ ලෙස ගැටළුවට ලක් කරයි.

ග්‍රෙගරි අත්දුටු විපරීථකරනය පිළිබඳ පවුලේ සාමාජිකයන් ගේ එළඹුම යථාවාදී නොවේ. ඔවුහු අභූත අත්දැකීමට එලෙසින්ම අභිමුඛ නොවෙති, ඒ වෙනුවට මිනිසෙකු සතෙකු බවට වෙනස් වීම යථාව ලෙස පිළිගනිති. යමක් වැරදී ඇති බව සියල්ලෝ පිළිගනිති, කම්පනයට පත්වෙති. නමුත්, කිසිවෙකු ග්‍රෙගරිට පිහිට වන්නට ඉදිරිපත් නොවේ. ග්‍රෙගරි ගේ රෑපාන්තරණය හමුවේ පවුලේ සාමාජිකයන් හැසිරෙන්නේ මෙවැනි අවස්ථාවකදී මිනිසුන් සාමාන්‍යයෙන් හැසිරෙන ආකාරයට නොවේ. ඔහු වෛද්‍යවරයෙකු ළඟට ගෙන යන්නට හෝ ඒ පිළිබඳ කිසිවෙකුගේ උපදෙස් පතන්නට ඔවුහු යොමු නොවෙති. ඔහුට අනුකම්පාව දයාව දක්වන මාර්තා හෝ මේරි වුව සිතන්නේ ඔහුට අත් වී ඇති තත්වය කිසියම් රෝගයක් බවත් එය සුවවනු ඇති බවත් ය. පවුලේ සහ පිටස්තරයන්ගේ හැසිරීම, ක්‍රියාකලාපය නිසා අපිදු මෙම සිදුවීම යථාවක් ලෙස පිළිගන්නට පෙළඹෙමු.

ග්‍රෙගරිට වූ විපත අමතක කොට අපට මෙම චිත්‍රපටිය සැබෑ සිදුවීමක් පිළිබඳ කතාවක් ලෙස කියැවිය නොහැකිය.’ එය සැබෑ සිදුවීමක් නොව ප්‍රබන්ධයක් වුවත් අපට එය සැබෑ කතාවක් ලෙස හැඟෙන්නේ ඇයි? මා යෝජනා කරන්නේ අධ්‍යක්ෂ මෙහි චරිත හසුරුවන සහ කථාව ගොඩ නඟන ආකාරයේ ඇති විශ්වසනීය බව ඊට හේතු වන බවයි.

වින්දනය

අවසාන විග්‍රහයේදී, මානව දෘෂ්ඨියෙන් ගත් කළ ග්‍රෙගරි ගේ ඉරණම ඛේදාන්තයකි යැයි සිතමි. වැඩ නිසා හෝ පවුල නිසා හෝ තරුණ මිනිසෙකුට තම මිනිස් දිවිය අහිමි වීම ඛේදවාචකයක් නොවේද? නූතනත්වය පොරොන්දු වූ නිදහස මිනිසාට ලැබී නැත.

මෙබදු චිත්‍රපටියක් නැරඹීමෙන් අප ලබන වින්දනය – මෙහි වින්දනය යනු විනෝදය නොවේ – විඳීම කුමක් ද? එය මානව ජීවිතය පිළිබඳ කථාන්දරය කි. මානවයන් විඳින දුක් ගැහැට සතුට දුක් කරදර පිළිබඳ අවලෝකනයේ යෙදෙන්නට, එහි ආලෝකයෙහි අපගේම ජීවිත සළකා බලන්නට කෙරෙන ආරාධනයකි.