පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා…..? – පුරවැසි සභාව

ජන හිතකාමී, පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා මහජන සාකච්ඡාවක් ගොඩ නඟමු!

වත්මන් ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලංකා සමාජය එක්සත් කරනු වෙනුවට එතුළ බරපතළ භේද මතුකොට තිබේ.

මෙම භේදය මූලිකවම නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු යැයි කියා සිටින ආණ්ඩුව සහ ආණ්ඩුවට පක්ෂපාතී පිරිස් සහ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අදහසට දැඩි ලෙස විරෝධය පළ කර සිටින සිංහල බෞද්ධ පිරිස් අතර වන භේදය කි. මෙම ප්‍රධාන මත භේදයට තුඩු දී ඇති මූලික කරුණ දෙකකි. ඉන් පළමුවැන්න, ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් දේශපාලන බලය බෙදීම සඳහා කෙරෙන යෝජනාව යි. දෙවැන්න, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම සඳහා කෙරෙන යෝජනාවයි.

මීට අමතරව ‘සමාජ ආර්ථික අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙසින් ව්‍යවස්ථාවට ඇතුළු කළ යුතුය’ යනුවෙන් ජනතාවගෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවට ආණ්ඩුව පාර්ශ්වයෙන් එල්ල වී ඇති විරෝධය ද මතභේදයට තුඩු දී ඇති තවත් ප්‍රධාන කරුණකි.

අපගේ අදහස ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහසට සිංහල සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වීමට ප්‍රධාන හේතුව වත්මන් ආණ්ඩුව විසින් එම ක්‍රියාවලිය මුල සිටම පවත්වාගෙන ගොස් ඇති අපාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍ර බවින් හීන ස්වරෑපය බවයි. ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජන අදහස් සළකාබැලීම හුදු නාමික ක්‍රියාවලියක් බවට පත්විය. ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රියාවලිය මහජනතාවට පාරදෘශ්‍යභාවයෙන් තොරවූ අතර එය ප්‍රජාතන්ත්‍රිකද නොවූ බවද ප්‍රකාශ වී තිබේ. අවසානයේදී ව්‍යවස්ථාව පිළිබඳ තීරණ ගැනීම විශේෂඥයන්ගේ උපදෙස් මත ආණ්ඩුවේ එක් පාර්ශ්වයක කැමැත්තට සිදුකෙරෙන කටයුත්තක් බවට ලඝු කොට ඇති බවක් පෙනී යයි.

වඩාත් අනතුරුදායක තත්වයක් ලෙස පෙනී ගොස් ඇත්තේ පළාත් සභා ඡන්ද (සංශෝධන) පණත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමේදී, අණපණත් සම්බන්ධයෙන් උපරිමාධිකරණය වෙත යෑමට පුරවැසියනට ඇති අයිතිය උදුරා ගනිමින්, පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය උල්ලංඝණය කරමින්,එහෙයින් ව්‍යවස්ථාවද උල්ලංඝණය කෙරෙන තත්වයක් උදාකරමින් ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීමට ආණ්ඩුව ක්‍රියාකර ඇති ආකාරය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්මත කරගැනීමටද පෙරහුරුවක් විය හැකිය යන්නයි.

මේ පසුබිම තුළ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සාර්ථකවීමට නම් එය යලිත් පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී කියාවලියක් බවට පරිවර්ථනය විය යුතු බව අපගේ අදහසයි. ඒ සඳහා මහජන සහභාගීත්වය සහතික කෙරෙන යාන්ත්‍රණයක් ද සකස් කර ගත යුතු බව අපගේ යෝජනාවයි. එහිදී සැළකිල්ලට ගත යුතු ප්‍රධාන කරුණක් වන්නේ ‘සිංහල බෞද්ධ ජාතිකවාදී මතය දරන භික්ෂු සංඝයා ඇතුළු ජනකොටසද ලංකාවේ සමාන අයිතිවාසිකම් ඇති පුරවැසියන් ලෙස සළකා ඔවුන්ගේ අදහස් විවෘතභාවයෙන් යුතුව සාකච්ඡා කිරීමට අවස්ථාවක් එම නව ක්‍රියාවලිය තුළ තිබීම අවශ්‍යය’ යන්නයි.

මෙම අත්‍යවශ්‍ය පුළුල් හා විවෘත සාකච්ඡාවේ පුරවැසි අප සියලු දෙනාම සහභාගි වියයුත්තේ දැඩි පූර්ව නිගමණ හා මතවාද ආරක්ෂා කිරීමට නොවන බවද නිරතුරුවම මතක් කිරීම වැදගත් වේ. අපගේ මූලික ස්ථාවරයන් කිසිසේත්ම වෙනසකට භාජනය කරන්නට අප ලැහැස්ති නොවන්නේ නම් එතැනදී ඵලදායී සංවාදයක් දක්නට නොමැත. මෙයින් ගම්‍ය වෙන්නේ සාකච්ඡා, සංවාද නාමික තලයට පමණක් සීමා නොකරන්නට නම් විරුද්ධ මත, අපට නුරුස්සන අදහස් යනාදියටද අප අවංකව සංවේදී විය යුතුම බවයි.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය යුතුඅතර දේශපාලන බලය බෙදීම හුදෙක් ප්‍රභූන් අතර කෙරෙන ගණු දෙනුවක් ලෙසින් නොව අව්‍යාජව පුරවැසියන් අතට බලය පැවැරීමක් ලෙස ක්‍රියාත්මක කළ යුතු යැයි අප විශ්වාස කරමු. එමෙන්ම ලංකාවේ පවතින වත්මන් බරපතළ ලෙස පිරිහුණු දේශපාලන අ-සංස්කෘතිය යටතේ ජනතා පරමාධිපත්‍යය සුරැකීමට නම් පාර්ලිමේන්තුවේ බලයට සංවරණයක් හා තුලනයක් ලෙසින් මහජන ඡන්දයෙන් පත් කෙරෙන ජනාධිපතිවරයෙකු සිටිය යුතු යැයි අපි විශ්වාස කරමු. එමෙන්ම සමාජ ආර්ථික අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙසින් ව්‍යවස්ථාවට ඇතුළු කළ යුතුයැයි අපි විශ්වාස කරමු. අණපණත් සම්බන්ධයෙන් උපරිමාධිකරණය වෙත යෑමට පුරවැසියනට ඇති අයිතිය උදුරා ගනිමින් එම බලය පවත්නා අධිකරණ පද්ධතියෙන් පිටත පිටස්තර සිවිල් සමාජ සාමාජිකයන්ගෙන් සැදුම් ගන්නා විශේෂ අධිකරණයක් වෙත පැවරීම පාර්ලිමේන්තු බලයට ඇති ප්‍රධානතම සංවරණයක් හා තුලනයක් ඉවත් කිරීමක් වන හෙයින් එසේ නොකළ යුතු යැයිද අපි විශ්වාස කරමු.

2015 ජනවාරි 8 වැනිදා හැටදෙලක්ෂයක ජනතාව ලබා දුන් ජනවරම එක් එක් අයට අවශ්‍ය පරිදි කුමන්ත්‍රණකාරී ලෙස තමන්ගේ පටු අභිලාෂ අනුව අර්ථ කථනය කරගැනීමටද අපි විරුද්ධ වෙමු.

මේ හා තවත් කරුණු පිළිබඳව මහජන සාකච්ඡාවක් ගොඩ නඟමින් ජන හිතකාමී පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ගොඩ නැංවීමට සක්‍රීයව ඉදිරිපත්වන ලෙස අපි සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

පුරවැසි සභාව