දරුවන් පැවිදි කිරීම ථේරවාද විනයට විරුද්ධයි – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

“වැඩිහිටි භික්ෂූන් මෙන් නොව දරුවන්ට ලිංගික බලපෑම් වලට ප්‍රතිරෝදය දැක්වීමට ඇත්තේ අල්ප ඉඩකි. දරුවන් ඒ අතින් වඩ වඩාත් අවධානම් සහගතය. සංස්කෘතික සහ පවුල් පීඩනය කොතරම් ප්‍රබලද යත් ඔවුනට නැවත නිවසට පලා යා නොහැක. එමෙන්ම මා දන්නා තරමින් විහාරාරාම අධිකාරියට විරෝධය දැක්වීමට පිළිගත හැකි ක්‍රමයක් ද ඔවුනට නැත. මට කිවූ පරිදි නව පැවිදි කිරීම් වලදී දරුවාගේ සුබසෙත වෙනුවෙන් ක්‍රියා කරන බාරකරුවෙකු අවශ්‍ය කෙරේ. සමලිංගික භාවිතයන් පිළිබඳ කතා කිරීම පවා තහංචියක්ව පවතින විට එවැනි සිදුවීම් බාරකරු ප්‍රශ්න කරන්නේ කෙසේද? ……………….. මට පෙනෙන්නේ සාමනේරවරු ලෙස පැවිදි කර ගැනීමේ ථේරවාදී බෞද්ධ නීති ඉතාමත් අර්ථවත් බවයි. එනම්,  අයෙක් දෙමාපිය කැමැත්ත ලැබිය යුතුය. වයස අවුරුදු 15 ක් විය යුතුය.එසේ නැතහොත් වයසින් අවුරුදු 15 ක තරමේ ශාරීරික පරිණත බවක් ඇති තරුණයෙක් විය යුතුය. බුදුන් වහන්සේගේ වචනය අනුව ළමා පැවිද්ද සඳහා කිසිදු ඉඩක් නොමැති අතර මෙම බුදු වදන් පිළිබඳ නොදැනුවත් කම අපගේ නරකම සතුරා බවට පත්ව ඇත. “

2001 ජූලි 8 වෙනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පල විය.

අග්‍රාමාත්‍යවරයා දෙදහසක් සාමනේරවරු පැවදි කර ගැනීමට අයදීමත් සමග පුවත්පත් ලිපි, පුවත්පත් වල පලවන ඡායාරූප සහ වාර්තා දහස් ගණන් දරුවන් බුද්ධ ශාසනයේ පැවිදි කිරීමේ මහත් ප්‍රයත්නයනට ප්‍රමුඛත්වය දී ඇති බව පෙනේ. මගේ සැළකිල්ල මෙහිදී යොමු වන්නේ ළමා භික්ෂූන් පිළිබඳ සමස්ථ ගැටලුව වෙතටය. මක්නිසාද භික්ෂූන් සඳහා විනය නීති සහිත අධිකාරී මූලාශ්‍රය වන ථේරවාද විනයේ හරය සහ එහි සඳහන් වගන්ති මෙමගින් උල්ලංඝණය වන බව පෙනෙන හෙයිනි. කහ සිවුරක් පොරවා ගත් අවුරුදු 8 ක පමණ දරුවෙක් තම සහෝදරිය විසින් පිළිගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් පුවත්පතක දක්වා තිබුණි. නමුත් දරුවාගේ මුහුණේ සිනහවක සේයාවක් වත්  නොතිබුණි. මම මේ පිළිබඳව පුදුම නොවෙමි. මක්නිසාද වැඩිහිටියන්ට පවා භික්ෂු සංස්ථාවට බැඳීම වනාහී බිය උපදවන අත්දැකීමක් නිසාය. එමනිසා, කුඩා දරුවන්ට මෙවැනි ආකාරයේ තීරණයක් ගැනීමට හැකියාව ඇත්දැයි යන ප්‍රශ්නය මතු කල යුතුය.මේ නිසා පොදු මහජනයාගේ සැළකිල්ල යොමු විය යුතු යැයි මට පෙනෙන ගැටලු කිහිපයක් ඇමතීමට කැමැත්තෙමි.

1. මෙලෙස පැවදි කිරීමට අනුබල දීම සිදුවන්නේ දේශපාලනඥයන්ගේ සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිළධාරීන්ගේ ආශීර්වාදය සහිතවය.මම සිතාගෙන සිටියේ මෙලෙස දරුවන් පැවිදි කිරීමට අනුබල දෙන නිළධාරීන් අනෙක් අයට ආදර්ශයක් සැපයීමට ඔවුන්ම පැවිදි දිවියට ඇතුලු වෙනු ඇති බවත් එසේ නැත්නම් නුදුරේදීම ඔවුන්ගේ දරුවන් හෝ මුණුපුරන් පැවිදි දිවියට ඇතුල් කරනු ඇති බවය. කෙසේ නමුත් පරමාදර්ශ වලින් මෙහෙයවන මෙම නිළධාරීන්ගෙන් පරිබාහිර දුප්පතුන්ගෙන් ද අන්ත දුප්පත් පවුල් වලින් එන, විශේෂයෙන්ම පසුගිය කාලයේ යුද්ධයෙන් අනාථ වූ සහ පීඩාවට පත් පවුල් වලින් මෙම දරුවන් පැවිදි කර ගැනීම සිදු වෙයි. මෙසේ පැවිදි කිරීම යහපත් දෙයක් බවට සමහරුන් ගෙන හැර දක්වන සාධකයක් නම් දුප්පත් දරුවන්ට සෙවණක් සහ මූලික පහසුකම් ලැබීමය. එසේ වුවත්, මෙම බොහෝ දරුවන්ට දිනකට එක් වේලකට වඩා අහරත්, සෙල්ලම් කිරීමට මිතුරන් ද පවුලේ සහ ඥාති වර්ගයාගේ උපකාරය ද ලැබී තිබුණි. එමෙන්ම, දිවා ආහාරයෙන් පසු ඝණ ආහාර නොමැතිව, මිතුරන්ගේ ඇසුර සහ ඥාති උපකාරය නැතිව ඔවුන්ගේ දිවි සරුවන්නේ කෙසේද? තවද, බෞද්ධයන් දුප්පත් දරුවන්ගේ සුභසාධනය ගැන උත්සුක වන්නේ නම් නිවාස සහ ළමා නිවාස, අනාථ පවුල් වලට ආහාර, අධ්‍යාපනය සැළසීම වැනි විකල්ප ප්‍රතිපාදන ඇති කිරීම කළ යුතු නොවේද? මෙවැනි සියලු දේ දහමේ හරය හා බැඳී පවතී.


2. ඉතා බරපතළ ගැටලුව නම් සියළු ආකාරයේ ශ්‍රමණ සංස්ථා හා බැඳි කුප්‍රකට කරුණක් වන ලිංගික අපයෝජනය කතෝලික සභාවේ ප්‍රධාන පූජකවරුන්ගේ පවා රැකවරණය යටතේ දරුවන් අපයෝජනයට ලක්වීම පිළිබඳ සිදුවීම්වලින් සාක්ෂි දැරීමයි. නමුත් කතෝලික සභාව තුළ ළමයින් පැවිදි කිරීමේ පිළිවෙතක් නොමැති අතර එම නිසා බෞද්ධ ආශ්‍රම වලටම සීමාවූ දරුවන් අපයෝජනට ලක් වීමේ ඉඩ කඩ පිළිබඳ ගැටලුවට අවංකව සහ සෘජුව මුහුණ දිය යුතුය.

පසුගිය අවුරුදු  පහක හෝ හයක කාලය තුළ දුර්ලභ පුස්කොල පොත් දෙකක් සොයා මම බොහෝ බෞද්ධ විහාරාරාම වෙත ගොස් ඇති අතර බොහෝ විට ගම්බද භික්ෂූන් වහන්සේලා සදාචාරාත්මකව භාරදුර මිනිසුන් බව මම විශ්වාස කරමි. එසේ වුවත් විශාල පිරිවෙන් වල, නාගරික වටපිටාවන් තුළ සහ ලෞකික ජීවිතයට නැඹුරු වූ භික්ෂූන් අතර ළමා අපයෝජනය සිදු නොවේ යැයි සිතීම අනුවණ කමකි. විනය නීතිම පවා සූත්‍ර ගත කරන ලද්දේ මෙවැනි සුවිශේෂ දුරාචාරී ක්‍රියා ආරාමවල හට ගැණුනු විට වන අතර ලිංගික වශයෙන් පරිණත අය අතර පොදුවේ සිදුවන විනය විරෝධී සමලිංගික ක්‍රියාකාරකම් මේවා අතර ප්‍රධානය. අපගේ අර්බුදකාරී යුගයේ ඕනෑතරම් ලිංගික උත්තේජනයන් භික්ෂූන් වටා ඇත. රූපවාහිනිය තුළ සහ විශ්ව විද්‍යාල ආදී මිශ්‍ර අධ්‍යාපන පරිසරයන් තුළ එකිනෙකා අතර සිදුවන සබඳතා තුළ එවැනි උත්තේජන සැපයේ. එතෙකුදු වුවත්, විනය නීති ඔවුනට විෂම ලිංගික බිහිදොර හැර දෙන්නේ නැත. එමනිසා, අපගේ නූතන සංදර්භය තුළ, ළමා අපයෝජනය ස්ථිරවම පවතින බව සිතා ගත හැකි අතර ඒ ගැන සැළකිල්ලට ගෙන ආයතනික රැකවරණ සැළසීමට අවශ්‍යය. නාගරික පරිවේණස්ථාන වල වර්තමානයේ දී භාරදූර පිරිවෙන් අධ්‍යාපනයක් නැත. මක්නිසාද නූතන භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය වී ඇත්තේ ලෞකික රජයේ විභාගවලට පෙනී සිටීමටත්, ලෞකික විශ්ව විද්‍යාලවලට ඇතුලු වීමටත්ය.මෙම භික්ෂූන් පාලි හෝ සංස්කෘත හදාරන්නේ හා ආගමික සම්ප්‍රදාය පිළිබඳ ප්‍රත්‍යක්ෂ දැනුමක් ලබන්නේ කලාතුරකින් අවස්ථාවලය. නිශ්චිත සංඛ්‍යා ලේඛන නැතත් බොහෝ දෙනෙක් කෙටි කලකින් භික්ෂූත්වය හැර යති.මම අර්ධ වශයෙන් නිවැරදි නම් දැන් සැබෑ ගැටලුව වන්නේ භික්ෂූන්ට බුදුදහම ගැඹුරු ලෙස හැදැරීමටත්, භාවනාමය අභ්‍යාසවල නියැලීමටත්, ගිහියන්ට වැඩිහිටි භික්ෂූන් ශාසනය තුළ රඳවා ගැනීමටත්  ධෛර්යය හා අනුබල සැපයිමය. ළමයින් විශාල පරිමාණයෙන් පැවිදි කල විට ඔවුන් බොහෝ දෙනෙක් වර්තමාන ජනප්‍රිය රටාව වන ලෞකික අධ්‍යාපනය හැදැරීමටත්, බොහෝ දෙනෙක් සිවුරු හැර යාමටත් ඉඩ තිබේ. එසේ නම් ළමා පැවිද්දෙන් ශාසනයට ඇති යහපත කුමක්ද?

 3. වැඩිහිටි භික්ෂූන් මෙන් නොව දරුවන්ට ලිංගික බලපෑම් වලට ප්‍රතිරෝදය දැක්වීමට ඇත්තේ අල්ප ඉඩකි. දරුවන් ඒ අතින් වඩ වඩාත් අවධානම් සහගතය. සංස්කෘතික සහ පවුල් පීඩනය කොතරම් ප්‍රබලද යත් ඔවුනට නැවත නිවසට පලා යා නොහැක. එමෙන්ම මා දන්නා තරමින් විහාරාරාම අධිකාරියට විරෝධය දැක්වීමට පිළිගත හැකි ක්‍රමයක් ද ඔවුනට නැත. මට කිවූ පරිදි නව පැවිදි කිරීම් වලදී දරුවාගේ සුබසෙත වෙනුවෙන් ක්‍රියා කරන බාරකරුවෙකු අවශ්‍ය කෙරේ. සමලිංගික භාවිතයන් පිළිබඳ කතා කිරීම පවා තහංචියක්ව පවතින විට එවැනි සිදුවීම් බාරකරු ප්‍රශ්න කරන්නේ කෙසේද? තවද, බාරකරුවෙක් තම කර්තව්‍යය අරඹන්නේ කෙසේද? ඒ සඳහා නීති සහ ආයතනික පරිපාටි සටහන් කර තිබේද? බාගදා, ළමා අපයෝජනය පිළිබඳ ගැටලුව විමර්ශනය කිරීමට නෛතික සහ සදාචාර අයිතිය ඇති බෞද්ධ භික්ෂූන් අතර සිටින වෘත්තීය වශයෙන් පුහුණුව ලද ළමා ආරක්ෂක සේවකයන් යොදා ගැනීම එක් විසඳුමක් විය හැක. නමුත් අපගේ ශ්‍රද්ධාවන්ත නිළධාරීන් සහ දේශපාලඥයන් මෙය සැළකිල්ලට ගෙන ඇත්දැයි සැක සහිතය.

4. දරුවන් පැවිදි කිරීම පිලිබඳ ශාසනික නීති මොනවාද? නිළධාරීන් සහ භික්ෂූන් අනුගමනය කරන සම්භාව්‍ය නීතිය විනය පිටකයේ 53-54 පළවෙනි මහාවග්ගයේ සූත්‍රගත කොට ඇත. එහිදී, බුදුන් වහන්සේ පැවදි කර ගත්තේ ඔහුගේ එකම පුතු පමණක් වුවත්, උන්වහන්සේ ඔහුගේ පියාගේ ප්‍රබල විරෝධය කරණකොට ගෙන මතු එන නීතිය සූත්‍ර ගත කරන ලදී? “මහණෙනි, දෙමාපියන්ගේ කැමැත්ත නොලැබූ දරුවෙකුට අවස්ථාව දිය යුතු නොවේ (එනම් සාමනේරවරු ලෙස පැවිදි නොකළ යුතුය ).” නමුත්, මෙම නීතිය තවත් ප්‍රඥාගෝචර නීතියක් මගින් සීමා කර ඇති බව බොහෝ අර්ථවත් බෞද්ධයෝ නොදනිති. “මහණෙනි, අවුරුදු 15 ට අඩු පිරිමි දරුවන්ට අවස්ථාව නොදිය යුතුය. කවරෙක් හෝ එවැන්නෙකුට අවස්ථාව දුනහොත් එය නීති විරෝධී අපරාධයක් වේ “(මහාවග්ගය1.50). එම යුගයේ බෞද්ධයන් සඳහා විවාහය සඳහා යෝග්‍ය වයස වූයේ අවුරුදු 16 වන නිසා අවුරුදු 15 ක් වයසැති තරුණයෙක් සම්පූර්ණයෙන්ම පරිණත යැයි විශ්වාසයක් පැවතුණි. එතෙකුදු වුවත් මෙම නීතිය තවත් නීතියකින් වැඩිදුරටත් සීමා කර ඇතත් පූර්වෝක්ත නීතිය මෙන් නොව මෙම නීතිය එතරම් පැහැදිළි නොවන අතර අපගේ යුගයට අදාළ කරගත නොහැක. ඉන් කියවෙන්නේ “මහණෙනි, කපුටන් බිය වැද්දීමට හැකි අවුරුදු 15 ට අඩු තරුණයෙක්ට අවස්ථාව දීමට මම ඔබට ඉඩදෙමි.” කෙසේ නමුත්, මෙම සීමාකරණය පුරසාරම් දෙඩීමට තරම් දෙයක් නොවේ. මන්ද එය පොදු නීතියක් නොවේ. එය පූර්ව නීතියට අතිරේඛ වශයෙන් එකතු කළ නීතියකි. එමෙන්ම පසුකාලීන සම්ප්‍රදාය විසින් අර්ථ දක්වා ඇති ආකාරයට මෙමගින් සඳහන් කෙරෙන්නේ පොළොවේ පස් කැබැල්ලක් ගෙන කපුටන් (බෞද්ධ කෘති වල දක්වා ඇත්තේ කුණු මස් මත යැපෙන ලිහිණි වර්ග වලට අයත් දැඩි පක්ෂීන්ය ) දෙසට වීසි කර උන් බිය කිරීමට තරම් ඇඟ කඳ ඇති ශක්තිමත් තරුණයන් පිළිබඳවය. සරළව දැක්වුවහොත් මෙම නීතියෙන් හැඟවෙන්නේ තරුණයා (ළමයෙක් නොවේ) ශාරීරිකව ශක්තිමත් හා උග්‍ර ආශ්‍රමික ජීවිතයට යෝග්‍ය නම් වයස 15 වේ නියමය සීමා කළ හැකි බවයි. මේ නිසා මට පෙනෙන්නේ සාමනේරවරු ලෙස පැවිදි කර ගැනීමේ ථේරවාදී බෞද්ධ නීති ඉතාමත් අර්ථවත් බවයි. එනම්,  අයෙක් දෙමාපිය කැමැත්ත ලැබිය යුතුය. වයස අවුරුදු 15 ක් විය යුතුය.එසේ නැතහොත් වයසින් අවුරුදු 15 ක තරමේ ශාරීරික පරිණත බවක් ඇති තරුණයෙක් විය යුතුය. බුදුන් වහන්සේගේ වචනය අනුව ළමා පැවිද්ද සඳහා කිසිදු ඉඩක් නොමැති අතර මෙම බුදු වදන් පිළිබඳ නොදැනුවත් කම අපගේ නරකම සතුරා බවට පත්ව ඇත.


එක් අතකින් අපගේ සමාජය තුළ භික්ෂූන් වහන්සේට වැදගත් කාර්යභාරයක් ඇති බව මම පිළිගනිමි. විහාරස්ථානයේ ආගමික චාරිත්‍ර සහ ධර්ම දේශනා පැවැත්වීම මෙන්ම අවමංගල චාරිත්‍ර විශේෂයෙන්ම පාංශකූල ඉටු කිරීම, මතක බණ කීම සම්බන්ධයෙන් ඔවූහු මුළුමනින්ම වැදගත් කාර්යයක් ඉටු කරති. මේ නිසා ජීවමාන බුද්ධාගම පවත්වාගෙන යාමට යම් ආකාරයේ පැවිදි කිරීමක් අනිවාර්ය වේ. භික්ෂූන් වහන්සේලා, දේශපාලනඥයන් වැඩි වැඩියෙන් භික්ෂූන් අවශ්‍ය බව ප්‍රකාශ කරන්නේ නම් රටට කෙතරම් භික්ෂූන් අවශ්‍ය කෙරේ ද  යන ප්‍රශ්නය ඔවුන් ඇසිය යුතුය. එසේ නැතහොත්, ශාසන නීති එළිපිට බිඳින බොහෝ භික්ෂූන් සිටිනවාට වඩා එක් යහපත් භික්ෂුවක් වටින්නේද?


මෙම ප්‍රශ්නවලට මට විසදුම් නොමැති නමුත් භික්ෂූන් වැඩි වැඩියෙන් අවශ්‍ය නම් මෙම ගැටලුවට සරල විසඳුමක් ඇත. එනම් වැඩිහිටි පිරිස පැවිදි කර ගැනීමයි. බොහෝ වැඩිහිටි ජනයා වැඩි වැඩියෙන් භාවනා කටයුතු වලට (විවිධ ආකාරයේ ගැඹුරු සහ නොගැඹුරු ) නැඹුරු වෙමින් සිටින අතර ඔවුන් මේ වන විටත් අධ්‍යාපනය ලබා ඇති, ධර්මය පිළිබඳ ප්‍රමාණවත් දැනුම ඇති පිරිසකි. ඔවූහු අඩු හෝ වැඩි වශයෙන් රැකියාවලින් විශ්‍රාම ලබා සාමනේරවරු මෙන්ම උපසම්පන්න භික්ෂූන්(භික්ෂුණීන් ලෙස ) ලෙස පැවදී වීමට අවශ්‍ය පරිපූර්ණ තත්වයේ සිටිති.බොහෝ දෙනෙකුට සුළු විශ්‍රාම වැටුපක් ද ඇත. එමනිසා නොමිලේ විහාරාරාම ඉඳුම් හිටුම් ලැබීම අමතර දිරිගැන්වීමකි. එමෙන්ම අපගේ ජනගහනයේ සමබරතාව සැළකිල්ලට ගත් තැන වැඩි වැඩියෙන් වැඩිහිටි ජනයා (අවුරුදු 50 සහ ඊට වැඩි) පැවිදි වීමට නැඹුරුවක් ඇත. ඔවුන් ගෘහ ජීවිතය දැනටමත් භුක්ති විඳ ඇති අතර පරළොව යහපත වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම්ය. ළමා සාමනේරවරුන් තරම් ඔවුන් මනමෝහනීය නැතත් අනාගත ශාසනයේ ස්ථිර පදනම ගොඩනැගිය හැකි පර්වතය ඔවුන් විය හැක. බුද්ධශාසන නිළධාරීන්ට කළ හැකි අර්ථවත් දෙයක් නම් අගමැති යෝජනා කරන ආකාරයේ ඔර්වෙලියානු (orwellian) කල්පිතය නොව මෙවැනි ආකාරයේ පැවිදි කිරීමක් යෝජනා කිරීමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )