ලාංකේය නව වම ලිබරල්කරණය වීම සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව තාක්‍ෂණිකවාදී, කළමනාකරණවාදී එළඹුම නැගීම – කුමුදු කුසුම් කුමාර

“………අවශ්‍යවන්නේ වෘත්තීය මට්ටමින්, තාක්‍ෂණික මට්ටමින්, කළමනාකරණ මට්ටමින් රට ප්‍රතිසංවිධානය කළ හැකි අවංක පිරිසක් අතට ආණ්ඩු බලය පැවරීමය යන්න ඔවුන්ගේ මතයයි. දේශපාලඥයන්ගේ සහ නිලධාරීන්ගේ දූෂණයට සහ වංචාවට එරෙහිව හඬක් පසුගිය කාලයේ ගොඩනැගුණා. ඊට පිළිතුරක් ලෙසට තමයි මේ නව තාක්‍ෂණිකවාදී, වෘත්තීයවාදී, කළමනාකරණවාදී එළඹුම යෝජනා කරන්නේ. අප ඇසිය යුතුවන්නේ සැබෑ දේශපාලන ගැටලුව මෙයද යන්නයි.? මෙම එළඹුමේ තිබෙන අනතුරක් තමයි, එවැනි යෝජනා ඉදිරිපත් කරන පිරිස් අතුරින් මතුවෙන තවත් අදහසක් වන ඒ සඳහා විනයක් තිබීම අවශ්‍යයි, යන අදහස. ඊට උදාහරණ වශයෙන් සිංගප්පූරු වැනි රටවල් පිළිබඳ අත්දැකීම ඉදිරිපත් වෙනවා. මේ තුළ අපට පෙනෙන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලුව සාකච්ජා වෙන ආකාරයක්. ඒ අනුව ජනතාව සම්පූර්ණයෙන් දේශපාලනයෙන් විතැන් වෙන අනතුරක් තිබෙනවා. මෙය බරපතල ගැටලුවක්. අප දකින පරිදි ලංකාවේ ඉදිරිගමන සම්බන්ධව, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණය ඉතා වැදගත්. ජනතාවට තමන්ගේ නියෝජනයක් ආණ්ඩුකරණය තුළ තිබිය යුතුයි. එම ආණ්ඩුකරණයට පත්කරන පිරිස් ජනතාවගේ හඬට සවන් දිය යුතුයි. ”

නමුත් ලංකාවේ ගැඹුරු ප්‍රජාතාන්ත්‍රීය ප්‍රථිෂ්ඨාපනයක් සඳහා අප තේරුම් ගත යුතු කාරණය වන්නේ ලිප්ටන් වටරවුමේ හෝ ලිබර්ටි වටරවුමේ හෝ මානව අයිතිවාසිකම් පිළිබඳ අරගල කිරීමට තිබෙන ඒ සීමිත නිදහස, අප ප්‍රජාතාන්ත්‍රවාදය ලෙස පටලවා නොගත යුතුය යන්නයි. ආණ්ඩුකරණ පාලක පන්තියෙන් ඒ නිදහස මැද පන්තියට ලබාදී ඔවුනට කියනවා ‘‘මෙයයි ප්‍රජාතන්ත්‍රවාදය” කියා. මගේ අදහස මෙතැන නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර බරපතල පටලැවිල්ලක් තියෙනවා.


(මරදාන, සාමයික කේන්ද්‍රය පළ කරන ‘සාධාරණය’ 2019 අගෝස්තු – සැප්තැම්බර් කලාපය සඳහා කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලද ලිපියකි.)

නූතන යුගයේ දේශපාලනික වශයෙන් වැදගත් සංසිද්ධීන් ලෙස එක් පැත්තකින් ධනවාදය ගොඩනැගීම සහ ඊට ප්‍රතිපක්‍ෂව සමාජවාදය බිහිවීම ඓතිහාසික වශයෙන් ඉතා සුප්‍රසිද්ධ කරුණක්. ඇමෙරිකාව මුල් කර ගත් ධනේෂ්වර ක්‍රමය සහ සෝවියට් දේශය මුල් කර ගත් සමාජවාදී ක්‍රමය අතර උග්‍ර තරඟයක් ඇති වෙනවා, තම තමන්ගේ මතවාදය සහ ඒ මතවාද අනුව බිහිවෙන රාජ්‍යයන් ලොව බිහිකර ගැනීමට. මෙය එක්තරා ආකාරයකට කඳවුරු දෙකක් අතර කෙරෙන අවි පදනම් කරගත් ගැටුමක සිට නිරවි යුද්ධයක් කරා පරිවර්තනයවීම තමයි ‘‘සීතල යුද්ධය‘‘ ලෙස හඳුන්වන්නේ. මෙම නිරවි යුද්ධය අවසානයේ (1991) දී එවක පැවති සමාජවාදී ක්‍රමය බිඳ වැටීම ඇරඹෙනවා.

“ඉතිහාසයෙේ අවසානය’ සහ “ශිෂ්ඨාචාර අතර ගැටුම”

ඒ සමඟින් ඇමෙරිකානු විද්වතකු වන ෆ්‍රැන්සිස් ෆුකුයාමා ප්‍රවාදයක් ඉදිරිපත් කරනවා, මානව ඉතිහාසයේ ද්වන්ධාත්මක නැතහොත් දයලෙක්තික විකාසය පිළිබඳ ප්‍රවාදය ඇසුරින්, මානව ඉතිහාසය අවසානයකට පත් වුණාය කියලා. ඉන් ඔහු අදහස් කරන්නේ ධනවාදී ක්‍රමය හා එක්තරා විදියකට සමගාමීව පැවතුණු ලිබරල්වාදය නැමති දේශපාලන චින්තනය ඉතිහාසයේ අවසාන වශයෙන් ලොව ජයග්‍රහනය කළාය යන්නයි.

මෙය ඇත්තටම හෙගල් මුලින් ඉදිරිපත් කළ අදහසක්. ෆුකුයාමා දකිනවා හෙගල්ගේ අදහස කිසියම් ලෙසකට කූටප්‍රාප්තියකට පත්වීමක් 1991 නිරවි යුද්ධය අවසානයේ දී. ඉන් ඔහු සරලව අදහස් කළේ ‘‘ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන ක්‍රමයක් ලෙසින් ලොව විජයග්‍රහනයට පත්වුණා” කියන අදහස. දැන් මෙයට සමගාමීව ‘‘සැමුවෙල් හන්ටින්(ග්)ටන්” නැමති විද්වතා ඉදිරිපත් කරනවා ‘‘ශිෂ්ටාචාර අතර ගැටුම” පිළිබඳ ප්‍රවාදය. ඔහු ෆුකුයාමාට එක්තරා ආකාරයකින් වෙනස්ව යමින්, ඉදිරිපත් කළ අදහස තමයි, පශ්චාත් නිරවි යුද සමයේ ලොව පවතින මූලික ගැටුම වන්නේ, ආර්ථිකය හෝ මතවාදය නොව ‘‘සංස්කෘතිය” පදනම් කර ගත් එකකි, යන්න. ඔහු කියා සිටියේ අනාගතයේ ලොව අරගල රේඛාවන් වනු ඇත්තේ ශිෂ්ටාචාරයන් අතර පවතින විභේදන රේඛාවන් බවයි. මෙහිදී සංස්කෘතික සහ ආගමික විභේදනයන් ඉතා වැදගත් තැනක් ගන්නා බව ඔහු ප්‍රකාශ කළා. ඒ අනුව ජාතීන් සහ ශිෂ්ටාචාර, වෙනත් ශිෂ්ටාචාර සමූහයන් අතර ගැටුම් මේ යුගයේ තීරණාත්මක වන බව ඔහු ප්‍රකාශ කළා. එහිදී ඔහු ඉදිරිපත් කළ අදහස වුණේ ජාතික රාජ්‍යයන් ලෝක දේශපාලන භූමියේ වඩාත්ම ප්‍රබල ක්‍රියාකාරිකයන් ලෙස තව දුරටත් පවතිනු ඇති බවයි. මේ අනුව ගෝලීය දේශපාලනයේ ප්‍රමුඛ ප්‍රවණතාවය වනු ඇත්තේ ශිෂ්ටාචාර අතර ගැටුම බව ඔහු කියා සිටියා. හන්ටින්(ග්)ටන්ගේ මෙම ප්‍රවාදය පිළිබඳ එහි විසිපස්වන සංවත්සර අවස්ථාවේ දී ෆුකුයාමා, හන්ටින්(ග්)ටන්ගේ අදහස් සාකච්ජා කරමින් ඉදිරිපත් කළ ප්‍රතිප්‍රවාදයක් වූයේ ගැටුම සිදුවන්නේ හන්ටින්(ග්)ටන් අදහස් කළ ආකාරයට ශිෂ්ටාචාරයන් අතර නොව, ශිෂ්ටාචාරයක් ඇතුළත අභ්‍යන්තර ගැටුමක් ලෙසින් බවයි. දෙන ලද කුමන හෝ ශිෂ්ටාචාරයක එහි ඇතුළත්ව ඇති බහුත්වයේ අභ්‍යන්තර ගතිකයන් අතර ගැටුමක් ලෙසින් එය සිදු වන බවයි ඔහු කියන්නේ. මේ ගැටුම එක් එක් සංසිද්ධියක් පිළිබඳ නිර්වචන හා අර්ථ විවරණ ගොඩනැගීම සඳහා ඇතිවන්නක් බව ඔහු කියා සිටියා.

ඔහුගේ තර්කය වූයේ මෙම යුගයේ දේශපාලනය තේරුම්ගැනීමට සංස්කෘතියට වඩා අනන්‍යතාවය අපට ප්‍රයෝජනයත් වන බවයි; අනන්‍යතාවය යනු, සංස්කෘතිය නැත්නම් ආගම මත පදනම් වූ ශිෂ්ටාචාරය පිළිබඳ නිර්වචනයකට වඩා පුළුල්, වඩා නම්‍ය සංකල්පයක් බවයි. වර්තමාන දේශපාලන තත්ත්වයන් තේරුම්ගැනීමට මේ අදහස වැදගත් වන බව ඔහු කියා සිටියා. අනන්‍යතාවය යනු, නූතන සංකල්පයක්. මෙය පැනනැගෙන්නේ මානවයන්ට තමන් තුළ සැඟවුණු අභ්‍යන්තර, තදාත්මයක් නැතහොත් ‘‘තමා” යනුවෙන් කෙනෙක් සිටිනවාය යන විශ්වාසය ඇතිවීම මතයි. හන්ටින්(ග්)ටන් කියා සිටියා, නූතනයේ අප තුළ හැඟීමක් තිබෙනවා, මෙම පුද්ගල අනන්‍යතාවය පුද්ගලයා අවට තියෙන සමාජය විසින් හොඳම තත්ත්වයේ දී නොසලකා හරින සහ වඩාත්ම නරකම තත්ත්වයේදී නිගරුවට ලක්කෙරෙන දෙයක් බව. එහි අදහස, නූතන පුද්ගලයා පෙළෙනවා තමා තුළ සැඟවී ඇති අනන්‍යතාවය, සමාජය විසින් දැඩි සේ නොසලකා හරින, නැතිනම් පීඩාවට පත්කරන දෙයක්ය, යන හැඟීමෙන්. ඒ අනුව, නූතන දේශපාලනය අනන්‍යතා දේශපාලනයක්. එසේ නැත්නම්, හුදෙක් භෞතික භාණ්ඩ හෝ සම්පත් සඳහා නොව කෙනෙකුගේ ජනවාර්ගිකත්වය, ආගමික අනන්‍යතාවය, ජාතික අන්‍යතාවය, එසේ නැතහොත් පුද්ගලයකු වශයෙන් යමෙකුගේ අද්විතීය ගුණාංග මත පදනම් වූ අනන්‍යතාවයක ගරුත්වය හඳුනාගැනීම සඳහා යොමු වන දෙයක් බවයි, ඔහුගේ අදහස වුණේ. ඔහුගේ තර්කය වුනේ මේ ආලෝකය තුළ තබා බැලූවාම, හන්ටින්(ග්)ටන් සඳහන් කරන ශිෂ්ටාචාර ගැටුම, හෝ සංස්කෘතීන් අතර ගැටුමට වඩා අපට දක්නට පුළුවන් වන්නේ අනන්‍යතාවයේ වෙනස් ප්‍රකාශිත භාවයන් අතර ඇති ගැටුමක් ලෙස නූතන දේශපාලනය පවතිනවා, යන්නයි.

අනන්‍යතාව සහ ආගමික අන්තවාදය

ෆුකුයාමා මෙම අනන්‍යතාවය පිළිබඳ අදහස් තවදුර විදාරණය කරනවා, එයින් ගම්‍ය වන මානසිකත්වය පිළිබඳ සාකච්ජා කරමින්. ඔහු කියා සිටිනවා වර්තමානයේ ආගමික අන්තවාදය යනුවෙන් හඳුන්වා දෙනු ලබන බොහෝ දේවල් ඇත්තටම ආගමික හැඟීම විසින්ම මෙහෙයවන ඒවා නොවන බව. උදාහරණයක් වශයෙන් ඔහු යුරෝපයේ තරුණ මුස්ලිම් ජාතිකයින් පිළිබඳ කරුණ ගෙනහැර දක්වමින් සාකච්ජා කරනවා, ඔවුන් මුස්ලිම් අන්තවාදයට බැඳීමට හේතු වන්නේ ඔවුන් සංස්කෘතීන් දෙකක් අතර සිර වී සිටින කාරණය හේතුවෙන් කියලා. එකක්, ඔවුන්ගේ දෙමව්පියන්ගේ භක්තිමත්භාවය විසින් නිර්වචනය කෙරුනු සම්ප්‍රදායික සංස්කෘතිය, අනික ඔවුන් හැදුණු වැඩුනු බාහිර සමාජයෙන් ඔවුන්ට අවශෝෂණය කර ගැනීමට ලැබෙන ලෞකික නැතිනම් බටහිර සංස්කෘතිය. ඔහුගේ තර්කය මෙබඳු අනන්‍යතා ව්‍යාකූලත්වයක් තිබෙන තැනෙක ඉතාම පහසුවෙනවා කියලා, සීමාන්තික ඉස්ලාම්වාදී කණ්ඩායම් වලට මෙම තරුණයන් තුළ ඇති වන ‘‘මම කව්ද?” යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එම පුද්ගලයා ලෝ පුරා පවතින වඩා විශාල මුස්ලිම් ප්‍රජාවට සම්බන්ධ කිරීම. අපට පෙනෙනවා ෆුකුයාමාගේ මෙම විග්‍රහය තුළ ඔහු කියා සිටින දේ තමයි සංස්කෘතිය යනුවෙන් නොවෙනස් වන දෙයක් නොපවතින බව. ඔහු කියා සිටින්නේ සම්ප්‍රදායික සංස්කෘතීන් පවතිනවා, ඒවා වෙනස් වෙමින් පවතිනවා. ඒවාට මැදිවෙන තරුණ තරුණියන්ට ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳ ගැටලු ඇති වන විට එම ගැටලු නිරාකරණය කිරිමට දේශපාලනික, ආගමික ජනාන්දෝලකයන් යනුවෙන් හැඳින්විය හැකි පිරිස් ඉදිරිපත් වී පහසු විසඳුම් සැපයීම තමයි ආගමික අන්තවාදයට තරුණයන් විශාල වශයෙන් සහභාගීවීමේ පදනම වන්නේ, යන්න.


දැන් අපි සමකාලීන ලංකාවටත් දැනෙන උදාහරණයක් සාකච්ජා කරනවා නම්, බොහෝ මුස්ලිම් කාන්තාවන් ‘‘හිජාබය” වැනි ඇඳුම් ඇඳීම අප තේරුම්ගන්නේ කොහොමද? ෆුකුයාමා සාකච්ජා කරන පරිදි ඔවුන් මේ ඇඳුම අදින්නේ ඔවුන් හදිසියේම වඩාත් දැහැමි හෝ භක්තිවන්තවීම නිසා නොවේ. ඔහු කියන්නේ හිජාබය වැනි ඇඳුම් අනන්‍යතාවය සළකුණු කරන ඒවා බවයි. එයින් එය අඳින පුද්ගලයන් වටා සිටින අයට ඔහු හෝ ඇය කියා සිටිනවා, තමන් මුස්ලිම් පුද්ගලයකු වශයෙන් දැකීම, දකිනු ලැබීමට බියපත් නොවීම සහ එසේ දකිනු ලැබීම ඔවුන්ට ආඩම්බරයක්වීම බව. මේ අතින් ගත් කළ ආගම හුදෙක්ම මෙබඳු අනන්‍යතා අර්බුද වලට මුහුණදෙන පිරිස් තමාගේ දේශපාලනය සංවිධානය කිරීම සඳහා බලලෝභී දේශපාලඥයින්ට පිටුවහලක් වන මෙවලමක් මිස, ආගමික අන්තවාදයේ පදනම නොවේ යන්නයි. ෆුකුයාමාගේ අදහස. දැන් මේ අදහස සිතා බලන විට අපට පෙනෙනවා, අනන්‍යතාවය පිළිබඳ දෘෂ්ඨිකෝණයෙන් බලන විට සංස්කෘතිය පිළිබඳ කාරණය හෝ ආගමික පැත්තෙන් බලනවාට වඩා , වර්තමාන දේශපාලන ගැටුම් වටහා ගැනීමට අපට පහසු වන බව. හන්ටින්(ග්)ටන් තර්ක කළා, වර්තමානයේ ජාතීන් වෙනුවට ශිෂ්ටාචාරයන් සංස්කෘතික පදනමකින් ගොඩනැඟෙනබව. නමුත් ෆුකුයාමාගේ තර්කය වුණේ ඊට ප්‍රතිපක්‍ෂව අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ජනයා අතර පවතින අරගලය සමාජය වඩා කුඩා සහ කුඩා කණ්ඩායම් වලට කැඞීමට යොමු කරන බවයි.


නවලිබරල්වාදය
මෙම පසුබිමේ සිට වර්තමානයේ වඩාත් සමකාලීන යුගයට එන විට අපට පෙනෙනවා ලොව ආර්ථික වශයෙන් ගෝලීයකරණය යනුවෙන් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන අයුරු. මෙය පදනම් කරගෙන, මූල්‍ය ප්‍රාග්ධනය මුල් කර ගත් නවලිබරල්වාදය යනුවෙන් හැදින්වෙන ආර්ථික ක්‍රියාවලියකුත් දියත්වෙනවා. දැන් මේ වන විට පොදුවේ තිබෙන පිළිගැනීම තමයි මේ නවලිබරල්වාදය නිසා ඇති වන බාහුල්‍යයන් (excesses) සමාජය මත පැනවීම නිසා සමාජයේ දිළිඳු සහ මැද පන්තියේ අය බරපතල ලෙස පීඩාවට පත්වීම සිදුවන බව. ඒ පිළිබඳ සිතා බැලීමට අප ගෝලීය ධනවාදයේ මෑත කාලයේ සිදු වූ වෙනස්කම් පිළිබඳව සළකා බලමූ. වර්ෂ 2008 වැනි කාලයක ධනපති පන්තිය මුහුණදෙන ආර්ථික අර්බුදයෙන් මුදාගැනීමට ඇමෙරිකාවේ සහ වෙනත් රට වල රාජ්‍යයන් ඔවුනට සහන සැලසීමට ඉදිරිපත් වුණා. ඒ තුළ කිසියම් ආකාරයක අර්බුදයකට ලක්වෙනවා ලිබරල්වාදය තුළ සම්ප්‍රදායිකව මුල් බැස ගත් අදහසක් වන නූතන ධනවාදයේ ගාමක බලවේගය වන්නේ පෞද්ගලික අංශය මිස රාජ්‍යය නොවේ, යන්න.

මෙම අර්බුදය විද්වතුන් විසින් හඳුනාගන්නවා එක්තරා ආකාරයකින් ධනවතුන්ට සුභසාධනය සැපයූ අවස්ථාවක් ලෙස. එක් පසකින් ධනවතුන්ට සුභසාධනය සපයන අතර අනෙක් පසින් සාමාන්‍ය ජනයාට පටි තද කර ගැනීමට බල කිරීමේ ප්‍රතිපත්තියක් මෙහිදී අනුගමනය කරනවා. මේ තත්ත්වය තුළ නිදහස් වෙළෙඳ පොළ සහ පෞද්ගලික අංශය ගාමක බලවේගය වශයෙන් හඳුන්වා ගත් ධනේෂ්වර ආර්ථිකය වෙනුවට, නැවතත් රජය මුල් කරගෙන එක්තරා ආකාරයකින් රජය ධනවාදයට සහන සපයන සහ එහිම මෙවලමක් බවට පත්වන යුගයකට අප පිවිසෙනවා. මේ යුගය තමයි ඇත්තෙන්ම අපට හඳුන්වා දිය හැකිවන්නේ නවලිබරල්වාදයේ පසු අවදිය වශයෙන්. දැන් අපට හඳුනාගන්න පුළුවන් අපි දැනට පසුකරමින් සිටින අවධිය එක්තරා ආකාරයකින් ගෝලීයකරණය අවසන්වෙමින්, ජාතික රාජ්‍යයන් කරා ආපසු ගමන් කරමින්, ජාතිකවාදය නැවත බිහිවෙමින් පවතින, ඒ වගේම නවලිබරල්වාදී ආර්ථික පිළිවෙත දැඩි අර්බුදයකට ගිය අවස්ථාවක් ලෙසින්. මේ තත්ත්වය තුළ එක් පැත්තකින් ඇමෙරිකානු අධිරාජ්‍යය තමන්ගේ බලය ලෝ පුරා පැතිරීමට ගත් උත්සාහය බිඳ වැටීමත්, චීනය, රුසියාව, ඉරානය වැනි ජාතික රාජ්‍යයන් ලොව බලවත්වෙමින් පැවතීමත් වැදගත්වෙනවා. බොහෝ විචාරශීලී බුද්ධිමතුන්ගේ නිරීක්‍ෂණයවන්නේ මේ ගත කරන යුගය ධනේෂ්වර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතල අර්බුදයක් සටහන් කරන යුගයක් බවයි. එය සංකේතවත් කරන දෙයක් ලෙසින් පෙන්වාදෙන්නේ දක්‍ෂිනාංශික ජනතාවාදී දේශපාලන බලවේග ලොව පුරා, විශේෂයෙන් දියුණු ධනේශ්වර ලෝකය පුරා ප්‍රබලව මතුවීමයි.

මෙම ගතිකයන් පිළිබඳ සාකච්ජා කිරීමේ දී හඳුනා ගැනෙන කාරණය තමයි, දක්‍ෂිණාංශික ජනතාවාදී දේශාපාලන බලවේග – උදාහරණ වශයෙන් ඇමෙරිකාවේ ට්‍රම්ප් බලයට පත්වීම, යුරෝපය පුරා දක්‍ෂිණාංශික දේශපාලන පක්‍ෂ – ශක්තිමත්වීම. ඊට එරෙහි ප්‍රවණතා ද මතුවෙමින් පවතිනවා. එම ප්‍රවණතා හඳුනාගත හැකිවන්නේ වාමාංශික ජනතාවාදය, දක්‍ෂිනාංශිකවාදයට ප්‍රබලව අභියෝග කරන්නට සමත්වන අවස්ථාවන් ලෙස. වර්තමානයේ ඇමෙරිකානු ලිබරල් පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී පිල වශයෙන් හඳුන්වන්න පුළුවන් පිල ශක්තිමත් වීම, සහ එංගලන්තයේ ජෙරමි කෝබින් නායකත්වය දරන කම්කරු පක්‍ෂය ශක්තිමත්වීම ලෙස මතුවෙමින් පැවතීම, වාමාංශික ජනතාවාදයන්ට උදාහරණයන් වශයෙන් කියන්න පුළුවන්. මෙහිදී අවසාන වශයෙන් සඳහන් කරන්න කැමති කාරණයක් තියෙනවා. එනම් ලිබරල්වාදී බුද්ධිමතුන් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදය මුහුණදෙන අර්බුද පිළිබඳ සාකච්ජා කරන කාරණය තමයි, නව ලිබරල්වාදය තුළ රාජ්‍යය සහ වෙළෙඳපොල පිළිබඳ ගනුදෙනුවේදී සම්ප්‍රදායිකව ජන අනන්‍යතාවයන් ශක්තිමත් කළ ප්‍රජාව පිළිබඳ කාරණය නොසළකා හැර බිඳ හෙලීමට ලක් වී ඇති බව. මෙයට හොඳ උදාහරණයක් රඝුරාම් රාජන් 2019දී පළ කළ The Thrid Pillar නැමති කෘතිය.

ප්‍රජාව බිඳ හෙලීම
රඝුරාම් රාජන්ගේ අදහස වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පැවතීමට නම් තරඟකාරී වෙළඳපොළවල්, අවංක ආණ්ඩු සහ සෞඛ්‍ය සම්පන්න පළාත් බද ප්‍රජාවන් අතර කිසියම් සමතුලිතතාවක් තිබිය යුතු බවයි. ඔහුගේ තර්කය ගෝලීයකරණය හා විද්‍යුත්පරිගණක තාක්‍ෂණය පදනම් කරගෙන පැතිරුණු සංස්කෘතික වෙනස්වීම් යනාදිය මත මෙම පළාත් බද ප්‍රජාවන් විනාශයට ලක්ව ඇති බවයි. මෙහිදී අපිට සැලකිල්ලට ගත හැකි කාරණයක් තමයි ‘සමාජයක දැවැන්ත සංස්කෘතික වෙනස්වීම් සිදුවීම එහි වසන ජනයා තුළ කිසියම් බියක් ජනිත කරන්නේය’, යන අදහස. රඝුරාම් රාජන්ගේ තර්කය, ගෝලීකරණය ලෝ තුළ විවිධ ප්‍රජාවන්ට බලපාන ආකාරයෙහි ඇති අසමානතාවය, සහ සංස්කෘතිය මුල් කරගත් කැරැල්ලක් මහජනයා අතරින් ඇතිවීම වර්තමාන දක්‍ෂිණාංශික ජනතාවාදයට පදනම වන බවයි. මේ තත්ත්වය තුළ කෝපය, දුරස්ථභාවය නැතහොත් විලෝපනය, දේශපාලන රැඩිකල්කරණය පදනම් කොට ගත් දේශපාලනයක් ලොව තුළ ව්‍යාප්තවෙමින් පවතිනවා.

ඔහුගේ තර්කය, මානවයන් හැදෙන, වැඩෙන, ජීවත්වන, වැඩකරන අවකාශයන් තුළ මානව සබඳතා, වටිනාකම්, ප්‍රතිමාන ජාලයක් හැමවිටම පවතින බව. මානවයන්ගේ අනන්‍යතා හැඩගස්වන්නේ මෙම සබඳතා ජාලයන් බවයි ඔහුගේ තර්කය. තාක්‍ෂණයේ ඇතිවන බැරෑරුම් වෙනස්කම් විසින් වෙළෙඳපොළ සම්ප්‍රදායිකව මහජනයාගේ මෙම සබඳතා ජාලයන්ට තිබූ සම්බන්ධයන්ගෙන් ගලවා ඉවතට ගෙන ස්වායත්ත දෙයක් බවට පත් කරනු ලැබීම ජනයාගෙන් ඊට එරෙහිව ප්‍රචණ්ඩ ප්‍රතිප්‍රහාරයන් මතුකිරීමට හේතු වී ඇති බවයි, ඔහු කියා සිටියේ. අප ජනතාවාදය යනුවෙන් හඳුන්වන්නේ මෙය බවයි, ඔහුගේ අදහස. ඔහු තර්ක කරන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට නම් මෙම ප්‍රජාවන් නැවත ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක් දියත් කළ යුතු බවයි. ඒ සඳහා විමධ්‍යගත දේශපාලනය, පළාත්බද ප්‍රජාවන් සවිමත් කිරීම, සහ ආණ්ඩුකරණය පිළිබඳ තීන්දු ගැනීම තෘණ මූල මට්ටම යනුවෙන් අප හඳුන්වන පහල මට්ටමේ ජනයා අතට පත් කිරීම කළ යුතු බව ඔහුගේ අදහසයි.

ලංකාවේ නූතන ඉතිහාසයේ දේශපාලන ප්‍රවණතා

ඉහත සඳහන් කළ ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා සහ ලංකාවේ නූතන ඉතිහාසයේ දේශපාලන ප්‍රවණතා අතර අපට යම් සමානකම් වගේම වෙනස්කම් ද දකින්න පුළුවන්. ජාත්‍යන්තර දේශපාලනයේ තිබුණු දක්‍ෂිණාංශික, වාමාංශික බෙදීම ලංකාවේ නූතන දේශපාලනයෙත් ආරම්භයේම දකින්නට පුළුවන්. නිදහසින් පසු සමයේ බලයට පත්වන ලංකාවේ පාලක පන්තිය වාමාංශිකයින් විසින් හඳුන්වනු ලැබුවේ කොම්ප්‍රදෝරූ ධනේෂ්වර පන්තිය ලෙසින්. මෙම දේශපාලන පැලැන්තියට ප්‍රතිපක්‍ෂව යටත් විජිත සමයේ සිටම, කම්කරු පන්තිය පදනම් කරගත් වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් පවතිනවා. එහිදී අපට දැකිය හැකි වැදගත් කාරණයක් වන්නේ ආචාර්ය එන්.එම් පෙරේරා , දොස්තර වික්‍රමසිංහ වැනි වාමාංශික දේශපාලඥයන් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයකට කැඳවා ගැනීම සඳහා ඉමහත් කාර්යභාර්යයක් ඉටුකිරීමයි.

1948 වර්ෂයේ අප නිදහස ලැබීමෙන් පසු මෙම දක්‍ෂිනාංශික, වාමාංශික බෙදීම මැදට අපි දකිනවා කිසියම් ආකාරයකට ඒ දෙකට මධ්‍යස්ථ බලවේගයක්, ප්‍රගතිශීලී දේශපාලන පක්‍ෂයක් වශයෙන් හැඳින්වෙන බණ්ඩාරණායක මහතාගේ නිදහස් පක්‍ෂය ප්‍රවිශ්ඨවීම. එය විදේශීය බලපෑමෙන් ලාංකේය ආර්ථිකය මුදාගෙන රාජ්‍යයේ මූලිකත්වයෙන් ආර්ථික සංවර්ධනයට මුල්තැන දෙනවා. එහිලා වැදගත් කාරණය වන්නේ, 1956 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුනේ ජයග්‍රහනය විසින් මුදාහරින දේශපාලන බලවේග සහ එයින් ඇති කරන ජාතික හා සංස්කෘතික ප්‍රබෝධය 1970 දක්වා ලාංකේය සමාජයේ විශාල බලපෑමක් ඇති කිරීමයි. එය ලංකාවේ දේශපාලනය මෙන්ම ලංකාවේ සංස්කෘතික සමාජ ක්ෂේත්‍රයන් හි ප්‍රශස්තම යුගය ලෙස හැදින්විය හැකියි.

ආර්ථිකය සම්බන්ධයෙන් ගත්කළ, නිදහසේ සිට 1977 දක්වා ලංකාව තුළ පැවතියේ අඩු වැඩි වශයෙන් සුභසාධන රාජ්‍යයක්. එම සුභසාධන රාජ්‍යයට පළමු දේශපාලන ප්‍රහාරය එල්ලවෙනවා 1971 අප්‍රියෙල් සන්නද්ධ කැරැල්ලෙන්, ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවනු ලබන. මෙය වැදගත් දේශපාලන සිදුවීමක්. එතෙක් වාමාංශික දේශපාලනය වශයෙන් හඳුනාගනු ලැබුවේ කම්කරු පන්තිය පදනම් කරගත් දේශපාලනයයි. 1971 කැරැල්ල, රැකියා විරහිත උගත් තරුණයන් සහ වෙනත් ග්‍රාමීය තරුණ කොටස් මුල් කරගත් දේශපාලනයක් පදනම් කොට ගෙන බිහිවෙන කැරැල්ලක්. මෙය එක්තරා ආකාරයකින් ලිබරල් සුබසාධන රාජ්‍යයේ අසාර්ථකවීම සටහන් කරනු ලබන කඩඉමක් ලෙසින් අපට හඳුන්වා දිය හැකියි.


එමෙන්ම දේශපාලනිකව වැදගත්කමක් තිබෙන, දෙමළ විරෝධී කෝලහාල ගණනාවක් නිදහසින් පසු සමයේ දී මෙරට සිදුවෙනවා. එහි කූට ප්‍රාප්තිය වන්නේ 1983 ජූලි කෝලහාලය වශයෙන් හඳුනාගන්නා දෙමළ ජනතාවට එරෙහිව සිදු වූ විශාල ප්‍රහාරයයි. මෙය ලංකාවේ සිංහල හා දෙමළ ප්‍රජාවන් අතර මෙන්ම රාජ්‍යය හා දෙමළ ප්‍රජාව අතරත් දේශපාලන විභේදනය සටහන් කරන සංධිස්ථානයක්.

වම ලිබරල්කරණය වීම
ලංකාවේ සුභසාධන රාජ්‍යය අවසන් වීම 1977 ජේ. ආර් ජයවර්ධන විසින් හඳුන්වා දෙන ලද නිර්බාධී ආර්ථික වැඩපිළි වල සමඟින් ඇරඹෙන අයුරු අපි දකිනවා. එයින් පසු උදා වන සමය අද අපි අත්විඳින නවලිබරල්වාදී ආර්ථිකය දක්වා ලංකාවේ ආර්ථිකය ගෙන එනවා. කිසියම් ආකාරයකට ආර්ථිකයේ රාජ්‍යයේ මැදිහත්වීම පවත්වාගෙන ගියත්, ක්‍රමක්‍රමයෙන් ආර්ථිකයේ මූලිකත්වය වෙළඳපොළට පැවරීම හා රාජ්‍ය අංශය ආර්ථීකයේ තීරණාත්මක භූමිකාවක් ඉෂ්ට කිරීමෙන් මුදා හැරීම ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේ සිට ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන ලක්‍ෂණයක් බවට පත්වෙනවා. ඔහු කම්කරු පන්ති ව්‍යාපාරය ප්‍රබලව මර්දනය කරනවා, ඔහුගේ පාලන සමය තුළ. 1980 ජූලි වර්ජනය දැඩි ප්‍රහාරයට ලක්වෙනවා. ඔහු ප්‍රජාතාන්ත්‍ර විරෝධි පියවර ගණනාවක් ගන්නවා, ඔහුගේ ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට. 1983 ජූලි කෝලාහලය සමගින් ‘ජනවාර්ගික ගැටලුව අධිනිෂ්චයවීම’ යනුවෙන් අචාර්ය නිව්ටන් ගුණසිංහ විසින් විග්‍රහ කෙරුණු ක්‍රියාවලිය ලංකාවේ දේශපාලනය තුළ සිදුවෙනවා. මේ තුළ ජේ. ආර් ජයවර්ධනගේ මර්ධනකාරී ප්‍රතිපත්ති වලට මුහුණදීමට නොහැකිකමින් වම ලිබරල්වාදී දිශාවට හැරුණු බවයි මගේ අදහස. වාමාංශික දේශපාලනය ඒ තුළ කිසියම් ආකාරයක රාජ්‍ය නොවන සංවිධාන (NGO) කාරණයකට ලක්වෙනවා. විප්ලවවාදී දේශපාලන ව්‍යාපාර වලට සම්බන්ධ වී සිටි පුද්ගලයන් මානව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නන් බවට ලඝුවෙනවා. මේ තත්ත්වය ලංකාවේ පැරණි වම අවසානයකට ගෙන ආ බවයි මාගේ අදහස. මීට දායක වන තව කරුණු අතර 1979දී ලංකාවට රූපවාහිනිය පළමුවතාවට ලැබීම සමඟින් අප කිසියම් ආකාරයකට වෙනස් සංස්කෘතික ලෝකයකට ප්‍රවිෂ්ඨ වීමේ කාර්යය ආරම්භවීමත් වැදගත්.

1987-1989 සමය තුළ ජනතා විමුක්ති පෙරමුන සහ රජය අතර දරුණු, ප්‍රචණ්ඩ ත්‍රස්තවාදී ගැටුමක් ඇතිවෙනවා. එයත් 1983න් පසු වර්ධනය වන රාජ්‍යය හා දෙමළ සටන්කාමී සංවිධානත් අතර ගැටුම නිර්බාධී ආර්ථිකයේ වර්ධනය එක්තරා දුරකට අඩපණ කරනවා. ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් පසු වරින් වර බලයට පත්වන ආණ්ඩු නිර්බාධී ආර්ථික ක්‍රමයට එරෙහිව ජනතාවගෙන් මතුවන විරෝධය සමනය කරන්නට යම් උත්සාහයක් ගනු ලබන බව පෙනුනත් ඒවා ඒ පිළිබඳ ඇති විශ්වාසයකින් ක්‍රියාත්මක නොකළ ඒවා බව පෙනෙනවා. 1994 චන්ද්‍රිකා කුමාරතුංග රජය ‘‘මානුෂික මුහුණුවරක් සහිත විවෘත ආර්ථිකය” ගැන කතා කරනවා. 2005 බලයට පත්වන මහින්ද රාජපක්‍ෂ රජය සමයේ වෙළෙඳපොල සහ පෞද්ගලික අංශය සමඟ තරඟයට රාජ්‍ය අංශය පවත්වාගෙන යෑම පිළිබඳ කතා කෙරෙනවා. නමුත් මේ කිසිම පියවරකින් නිර්බාධී ආර්ථික වැඩ පිළිවෙලට හෝ පසුව එන නවලිබරල්වාදයට සෘජුවම අභියෝග කිරීමක් අපට දකින්නට ලැබෙන්නේ නැහැ.


මේ අනුව ලාංකීය දේශපාලනයේ 1977න් පසු සිදුවන ප්‍රධාන වැදගත් වෙනස තමයි ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය යනුවෙන් බෙදී සිටී දේශපාලන පක්‍ෂ දෙක වෙනත් ආර්ථීක දැක්මවල් දෙකක සිටියා’ යන අදහස නැතුව යමින් ඔවුන් එක් ආර්ථික ක්‍රියාවලියකට යොමු වන බවක් පැහැදිලිව පෙන්නුම් කිරීම. නිදහසින් පසු ලංකාව ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර ආයතනයන් හි ග්‍රහනයට ක්‍රමක්‍රමයෙන් හසුවීම සිදුවුණා. ඉන් අපේ ණයගැතිභාවය වර්ධනය වුණා. ඞී.එස් සේනානායක අගමැති වරයා යටතේ ගල් ඔය යෝජනා ක්‍රමය, ජේ.ආර් ජයවර්ධන ජනාධිපති සමයේ මහවැලි යෝජනා ක්‍රමය යනුවෙන් ආරම්භ කෙරුනු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ අදහස 2005න් පසු කලයේ දී ලංකාවේ තවත් උත්සන්න වෙනවා. ඉන් අප තුළ ජාතියක් වශයෙන් ඊනියා සංවර්ධන මානසිකත්වයක් වර්ධනය වුණා. එම පසුබිමෙහි එක්සත් ජාතික පක්‍ෂයේ නිර්බාධී ආර්ථික වැඩ පිළිවෙල චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය යටතේත් ඉදිරියට යමින් නවලිබරල්වාදී ආර්ථිකයක් ගොඩනැංවීමේ දිශාවට තදින් යොමු වුණා.

එල්.ටී.ටී.ඊ යට එරෙහිව ගෙන ගිය යුද්ධය ජයගැනීම මත සිංහල බෞද්ධ ජාතිකවාදී පදනමක් මත ගොඩනැඟුණු ආණ්ඩුවක් 2005 – 2015 දක්වා තිබුණා නම්, 2015 ජනවාරි මස එම ආණ්ඩුව ප්‍රතික්ෂේපවීමෙන් අනතුරුවත් වර්තමාන ආණ්ඩුව ගෙන ගිය නව ලිබරල්වාදී ප්‍රතිපත්ති හේතුවෙන් ජාතිකවාදය නැවත ශක්තිමත් වී ඇති බව අපට කිව හැකියි. ඊට හේතු වූ ප්‍රධාන කරුණු නම්, ආර්ථික වශයෙන් ණයගැතිභාවය උග්‍රවීම, ජනවාර්ගික ගැටලුව දීර්ඝව නොවිසඳී තිබීම, හා දැඩි දේශපාලන අස්ථායීභාවය මහජනයා තුළ බලවත් නොසන්සුන්තාවයක් දිගින් දිගටම පවත්වාගෙනයාමට හේතු වී තිබීමයි. මේ තත්ත්වයට මුහුණදීමට හැකි ප්‍රබල සංස්කෘතික ප්‍රවාහයක් ගොඩනැගීමටත් අපි අසමත් වී තිබෙනවා.

කලාව සමාජයෙේ හුදු පිළිබිඹුවක්

අපේ සංස්කෘතික හා කලා නිර්මාණ වර්තමාන සමාජයේ පවතින ප්‍රවණතා වල හුදු පිළිබිඹුවක් වශයෙන් පමණක් මූලික වශයෙන් පවතිනවා යනුවෙන් නිරීක්‍ෂණය කළ හැකියි. මානව සත්ත්වයන් වශයෙන් හෝ සමාජයක් වශයෙන් වර්තමානයේ පවතින තත්ත්වයෙන් අප ඉහළට ඔසවා තැබීමට අපගේ සංස්කෘතික ක්‍ෂේත්‍රයෙන් ප්‍රබල දායකත්වයක් ලැබෙනවා කියලා කියන්නට හැකියාවක් නැහැ.

එමෙන්ම මානව අයිතිවාසිකම් සහ එම අයිතිවාසිකම් උල්ලංඝනයන් පිළිබඳ කතිකාවෙන් ඔබ්බට, ජාතිකවාදයට එරෙහිව යන ප්‍රජාවක් පිලිබඳව හැඟීමක් ගොඩනැගීමට අපි සමත් වී නැහැ. ජාත්‍යන්තරය හා සමගාමීව යමින් අපට නිරික්‍ෂණය කරන්න පුළුවන්, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. දේශපාලන ප්‍රභූ පැලැන්තිය විසින් සම්පූර්ණයෙන්ම එය ග්‍රහනයට අරගෙන තිබෙනවා. ආර්ථිකය මූල්‍ය ප්‍රාග්ධනයේ ග්‍රහනයටත්, සමාජය කිසියම් ආකාරයකින් නන්නත්තාර සමාජ පන්තීන්ගේ ග්‍රහනයටත් හසුවෙලා තිබෙනවා.

ලංකාවේ නූතන මූලික පුරවැසි ක්‍රියාකාරිත්වය, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇතුල්වීම, එහි සක්‍රීයව කටයුතු කිරීම මූලික වශයෙන්ම වාරිකව ආණ්ඩු වෙනස් කිරීම කියන කාරණය මත පදනම් වූ බව අපි දන්නවා. 1977න් පස්සේ අපේ මේ ආණ්ඩු වෙනස් කිරීමේ ක්‍රියාවලියට එක්තරා විදියකින් තිත තැබෙනවා, විධායක ජනාධිපති ක්‍රමය ගොඩනැගීම තුළ, විධායකය මත සියලු බලතල කේන්ද්‍රගත වීම, පාර්ලිමේන්තුව පවා හෑල්ලුවට ලක් කිරීම හා ඉන් පසු විවිධ උපක්‍රම මඟින් පාලන තන්ත්‍රයේ කාලය පවා දීර්ඝ කරගැනීම යන කරුණු මුල් කරගෙන. 1980 කම්කරු පන්ති ව්‍යාපාරයට එල්ල කරන මර්දනය, සහ ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු වල යෙදීමේ නිදහස මර්දනය කිරීම ඔස්සේ පුරවැසියා එම මර්දනයට මුහුණදීම සඳහා වෙනත් මං සොයා යෑම එක්තරා විදියකට දේශපාලනයෙන් ඈත්වීමක් ලෙස මම නිරීක්‍ෂණය කළා. එම වෙනස්වීම තුළ මානව අයිතිවාසිකම් මුල් කරගෙන ඒවා උල්ලංඝනයන්ට එරෙහිව කටයුතු කිරීම දේශපානයේ මුල් තැනක් ගන්නවා. පුරවැසිභාවය පිළිබඳ ක්‍රියාකාරීත්වය මෙබඳු කටයුතු සඳහා ලඝුවීම තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය, මහජනයා සක්‍රීයව තමන්ගේ අනාගත පැවැත්ම තීරණය කිරීම සඳහා දේශපාලන කටයුතු වල නිරතවීම, දුර්වලවීම අපට දක්නට පුළුවන්. වෙනස් ලෙස පවසනවා නම් පශ්චාත් – 1977 සමය ලංකාවේ පුරවැසි ක්‍රියාකාරීත්වය අතිශය දුර්වල සමයක් ලෙස අපිට හඳුන්වාදිය හැකියි. එහිදී වාමාංශික දේශපාලනය ලිබරල්කරණයට ලක්වීමක් සිදුවෙනවා. මේ තත්ත්වය තවත් උග්‍රවීමට බලපානවා, ජනවාර්ගික අර්බුදය හා බැඳුනු යුද්ධය සහ ඒ ආශ්‍රීතව යළිත් වතාවක් රාජ්‍ය ආරක්‍ෂාව නාමයෙන් පුරවැසි අයිතිවාසිකම් මර්දනයට ලක්වීම. 1983න් පසු එළෙඹෙන යුගය තුළ ජනවාර්ගික ගැටලුව අධිනිශ්චයවීම පිළිබඳ කතිකාව වාමාංශික දේශපාලනයේ අධිපති බව අත්පත් කර ගැනීම තුළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගල කිරීම දෙවෙනි තැනට දමා නොසළකා හැරීමක් සිදුවීම සහ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා වාමාංශික පක්‍ෂ යොමුවීම මා සිතන පරිදී මෙම ප්‍රජාතන්ත්‍රවාදය මුල් කරගත් පුරවැසි දේශපාලනය දුර්වලවීමට බලපාන ප්‍රධාන කාරණයක් බවට පත්වෙනවා. ඉන්පසු 2015 ජනවාරි 08 අපි දකින්නේ දීර්ඝ කාලයකට පසු ලංකාවේ පුරවැසි දේශපාලනය සක්‍රීයව ක්‍රියාත්මක වූ ප්‍රබල අවස්ථාවක් ලෙස.

ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කළ හැකි ද?
හැබැයි, 2015 ජනවාරි 08න් වසර හතරහමාරක් ගෙවී ගිය තැන අප දකින්නේ එම සංසිද්ධිය සක්‍රීයව ජීවමානව පවත්වා ගෙනයාමට අප අපොහොසත්වී ඇති බවයි. ඊට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නේ ජනවාරි 08 පුරවැසි ව්‍යාපාරයේ නායකත්වය තමන් අතට ගොනුකර ගන්නා කිසියම් ප්‍රභූ සිවිල් සමාජ පැළැන්තියක් එහි බහුජන පදනම සජීවීව සක්‍රීයව පවත්වාගැනීම කෙරෙහි උනන්දුවක් නොදැක්වීම සහ එය නොසලකා හැරීමයි. ඒ නිසා අද වන විට අප මුහුණ දී ඇත්තේ නැවත පුරවැසි ක්‍රියාකාරීත්වය ගොඩනැගීමේ අවශ්‍යතාව තදින් දැනෙන අවස්ථාවකටයි. හැබැයි එයට එරෙහිව යන ප්‍රධාන කාරණයක් වන්නේ, ජනතාව තුළ ඉතාම ඉහළට නංවන ලද ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරනු ලැබීම පිළිබඳව බලාපොරොත්තු වත්මන් පාලන තන්ත්‍රය විසින් දැඩි ලෙස බිඳ දමා තිබෙන නිසා ජනතාව තුළ බලවත් අවිශ්වාසයක් ඇති වී තිබීමයි, සමස්ත ක්‍රමය පිළිබඳවම. අද අප මුහුණ දී ඇති ගැටලුව තමයි ‘එය නැවත ගොඩනැගිය හැක්කේ කෙසේද?’ යන්න.

ජාතික ස්වාධීනත්වය පිළිබඳ කාරණය අප හමුවේ බරපතල ලෙස මතුවී තිබෙනවා. විශේෂයෙන්ම සමාජයක් වශයෙන් අප කොතරම් දුරට නිදහස් ද? යන ගැටලුවක් තිබෙනවා. ඒ වගේම නවලිබරල්වාදය යටතේ හැම පුද්ගලයකුම තමන් කරන කියන සියලූ කටයුතු ව්‍යවසායකත්වය පිළිබඳ අදහස මූලික කරගෙන කරමින් තිබෙන සමාජයක් බිහිවීමේ ගැටලුවක් අප හමුවේ තිබෙනවා. මේ සියල්ලටම මුහුණ දී, ‘යළිත් පුරවැසිභාවය මුල් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රථිෂ්ඨාපනය කිරීමේ කටයුත්තට අපි යොමුවන්නේ කෙසේද?’ යන්නත් අප ගැඹුරින් සිතා බැලිය යුතුයි. වර්තමාන දේශාපලන සංධිස්ථානයේදී මේ පිළිබඳ සිතීමේදී මෙයට විසඳුම් වශයෙන් සමාජයේ ඉදිරිපත් වන ප්‍රවණතා මොනවාද? මූලික වශයෙන්ම පවතිනා තත්ත්වය පිළිබඳ බලවත් කළ කිරීමක් පවතිනවා. සමාජයේ මතවාදී වශයෙන් බලපෑම් කළ හැකි බොහෝ පිරිස් අතර ගොඩනැගී පවතින මතයක් තමයි දූෂණය පිටුදකින, අකාර්යක්‍ෂමතාවය ජය ගත හැකි අවංක තරුණයන් පාර්ලිමේන්තුවට පත් කර ගැනීමෙන් ප්‍රශ්නය විසඳිය හැකිය යන්න. මෙබඳු යෝජනා වල හරයෙහි ඇත්තේ ලංකාවේ දේශපාලනය හුදු කළමනාකරණය පිළිබඳ ගැටලුවක් ලෙස සළකා එයට විසඳුම් සෙවීමට යොමුවීම බව මගේ අදහසයි.

නව , තාක්‍ෂණිකවාදී සහ කළමනාකරණවාදී එළඹුම
ඒ සඳහා අවශ්‍යවන්නේ වෘත්තීය මට්ටමින්, තාක්‍ෂණික මට්ටමින්, කළමනාකරණ මට්ටමින් රට ප්‍රතිසංවිධානය කළ හැකි අවංක පිරිසක් අතට ආණ්ඩු බලය පැවරීමය යන්න ඔවුන්ගේ මතයයි. දේශපාලඥයන්ගේ සහ නිලධාරීන්ගේ දූෂණයට සහ වංචාවට එරෙහිව හඬක් පසුගිය කාලයේ ගොඩනැගුණා. ඊට පිළිතුරක් ලෙසට තමයි මේ නව තාක්‍ෂණිකවාදී, වෘත්තීයවාදී, කළමනාකරණවාදී එළඹුම යෝජනා කරන්නේ. අප ඇසිය යුතුවන්නේ සැබෑ දේශපාලන ගැටලුව මෙයද යන්නයි.? මෙම එළඹුමේ තිබෙන අනතුරක් තමයි, එවැනි යෝජනා ඉදිරිපත් කරන පිරිස් අතුරින් මතුවෙන තවත් අදහසක් වන ඒ සඳහා විනයක් තිබීම අවශ්‍යයි, යන අදහස. ඊට උදාහරණ වශයෙන් සිංගප්පූරු වැනි රටවල් පිළිබඳ අත්දැකීම ඉදිරිපත් වෙනවා. මේ තුළ අපට පෙනෙන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලුව සාකච්ජා වෙන ආකාරයක්. ඒ අනුව ජනතාව සම්පූර්ණයෙන් දේශපාලනයෙන් විතැන් වෙන අනතුරක් තිබෙනවා. මෙය බරපතල ගැටලුවක්. අප දකින පරිදි ලංකාවේ ඉදිරිගමන සම්බන්ධව, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණය ඉතා වැදගත්. ජනතාවට තමන්ගේ නියෝජනයක් ආණ්ඩුකරණය තුළ තිබිය යුතුයි. එම ආණ්ඩුකරණයට පත්කරන පිරිස් ජනතාවගේ හඬට සවන් දිය යුතුයි. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ජනතාවගේ අදහස් විමසනවා පමණක් නොවේ, ඒවා ක්‍රියාත්මක කර ගැනීමට ජනතා සහභාගීත්වයක්, ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනතා අනුමැතියක් තිබිය යුතුයි.

මෙබඳු කාරණා තිබෙනවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස තුළ. නමුත් මගේ අදහස නම් ඉහත කතා කරන වෘත්තීයවේදී, තාක්‍ෂණවාදී, කළමනාකරණවාදී එළඹුම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස් ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොකරන බවයි. ඒ නිසා අප යොමු විය යුත්තේ පැහැදිලිවම පුරවැසියා සක්‍රීය කරන ව්‍යුහාත්මක වෙනසක් සඳහා ලංකාව ඉදිරියට ගෙන යන සාකච්ජාවක් වෙතටයි. කාලීනව ආණ්ඩු වෙනස්කිරීමේ අවශ්‍යතාව අපට නොසළකා හරින්න බැහැ. අප ඒවාට මැදිහත්වීම අවශ්‍යයි. නමුත් ලංකාවේ ගැඹුරු ප්‍රජාතාන්ත්‍රීය ප්‍රථිෂ්ඨාපනයක් සඳහා අප තේරුම් ගත යුතු කාරණය වන්නේ ලිප්ටන් වටරවුමේ හෝ ලිබර්ටි වටරවුමේ හෝ මානව අයිතිවාසිකම් පිළිබඳ අරගල කිරීමට තිබෙන ඒ සීමිත නිදහස, අප ප්‍රජාතාන්ත්‍රවාදය ලෙස පටලවා නොගත යුතුය යන්නයි. ආණ්ඩුකරණ පාලක පන්තියෙන් ඒ නිදහස මැද පන්තියට ලබාදී ඔවුනට කියනවා ‘‘මෙයයි ප්‍රජාතන්ත්‍රවාදය” කියා. මගේ අදහස මෙතැන නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර බරපතල පටලැවිල්ලක් තියෙනවා.

පළමුකොටම සැබෑ නිදහස යනු එවැනි සීමිත නිදහසක් නොවෙයි. අපට තිබිය යුතු සැබෑ නිදහස යනු, දේශපාලන අස්ථායීභාවයෙන්, දේශපාලන වියවුලෙන් මිදී තමන්ගේ නිදහස් සිතුවිලි ක්‍රියාත්මක කිරීමට පුද්ගලයකුට අවශ්‍ය කරන නිදහසයි. එයටත් වඩා එහාට යන නිදහසක් තිබෙනවා. එය තමයි ආණ්ඩුකරණයෙහි ලා සැබෑ ලෙස සහභාගි වීමේ නිදහස. වෙනත් විදියකින් කියනවා නම් හුදෙක් පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරාපත් කර ගැනීම පමණක් නොවේ, අපේ පොදු යහපත පිළිබඳ කාරණා සාකච්ජාවට ගැනීමේ දී එයට අඩංගු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්නේ කුමන කාරණාද යන්න යෝජනා කිරීම පිළිබඳ නිදහසක් මහජනයාට තිබිය යුතුයි. දැනට ඒ නිදහස අපෙන් උදුරාගෙන. එය තීරණය කරන්නේ දේශපාලන ප්‍රභූ පැලැන්තිය විසින්. ඉතින් මා සිතනුයේ ඒ නිදහස දිනාගැනීමට සටන්කිරීමත් සමගින් අපට අවශ්‍ය කරනවා, සැබෑ ලෙස මහජනයා නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ගොඩනැගීම සඳහා වන පූර්ණ ව්‍යුහාත්මක වෙනසක් කිරීම පිළිබඳ සාකච්ජාවකට ප්‍රවිෂ්ටවීමට.

( පිටපත් කළේ මාධ්‍යවෙේදී දර්ශාන් ප්‍රනාන්දු විසිනි )

ප්‍රතිචාර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )