ජනාධිපතිවරණය, ජවිපෙ සහ වාම හෘදය සාක්ෂිය: යළි සළකා බැලීම උදෙසා — ‘කතිකා’ අධ්‍යයන කවය

“දෙමළ සහ මුස්ලිම් ජනයා, තීරණාත්මක අවස්ථාවේදී දේවල් අතර වෙනස්කම් හඳුනාගැනීමට පොහොසත් ව්‍යවහාරික බුද්ධියෙන් සම්පන්න වූවන් බව පෙනෙයි. ඔවුනට අවශ්‍ය යලිත් සිංහල බෞද්ධ ජාතිවාදය නැඟී දෙමළ ප්‍රජාවේ අන්තවාදීන් සමග එය ගැටෙනු දැකීමට නොවේ. එය දෙමළ ප්‍රජාවට මාරාන්තික වනු ඇතැයි ඔවුහු නිවැරදි අවබෝධයක සිටිති. ඔවුනට අවශ්‍ය යුද්ධය අවසන් වීමෙන්, 2015 ජනවාරි 8 ආණ්ඩු පෙරළියෙන් ලැබුණු නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අවම වශයෙන් රැකගැනීමට ජනාධිපතිවරණයෙන් ලැබී ඇති අවස්ථාව යොදා ගන්නටය. වාම දේශපාලනයේ හරය ඇත්තේ අනාගතයේ ලෝකය වෙනස් කිරීම සඳහා වන දැවැන්ත සැළසුම් වෙනුවෙන් වත්මනෙහි ඇති අවම හෝ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය කැප කිරීමේ අරාජිකවාදී දේශපාලනයේ නොවන බව ජවිපෙ සාමාජිකයන් මෙන්ම ඒ වටා සිටින සෙසු වාමාංශිකයෝද ලිබරල්වාදීහුද දනිති. ”

1

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන්ගේ වැඩපිළිවෙලවල් පිළිබඳ සාකච්ඡාවේ ගැඹුර විනිවිද දැකියහැකි ආලෝක ලක්ෂ්‍යයක්,  තරඟයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳ,තෙවැනි අපේක්ෂක සමූහයෙන් එල්ල වන “දෙකම එකයි” යන විවේචනය සහ ඊට ලැබෙන ප්‍රතිචාර එකිනෙක අභිමුඛ වීමෙහිදී මතුවෙයි. 

තෙවැනි අපේක්ෂක සමූහයා අතර ඉදිරියෙන්ම සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ)මුල්කරගත් ජාතික ජන බලවේගයේ (ජාජබ)අපේක්ෂකයා ය. ජාජබයේ  මූලික ඡන්ද පදනම වන්නේ ජවිපෙ පාක්ෂිකයන් සහ හිතවතුන් ය.ජවිපෙ වටා ජාජබ ලෙසින් එකතුව සිටින සිවිල් සමාජ ස්ථරයන් මෙන්ම ජවිපෙ සාමාජිකයෝද 2015 ජනවාරි 8 යහපාලන ආණ්ඩුව බිහිකිරීමට දායක වූහ; එම ආණ්ඩුව සමග එක්ව කටයුතු කරමින්  2018 ඔක්තෝබරයේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයට එරෙහිව ආණ්ඩුව රැකගැනීමට ඉදිරිපත් වූහ.  

මෙම පිරිස වෙනම අපේක්ෂකයකු වටා ඒකරාශීවීම තමන්ගේ අපේක්ෂකයා බලයට පත්වීමට ඇති ඉඩකඩ අනතුරේ හෙළන බවට බියක්,රාජපක්ස වරයෙකු යලිත් බලයට පත්වීමට එරෙහිව,මැතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව ඇති අනෙත් ප්‍රධාන අපේක්ෂකයාට සහයෝගය දක්වන පිරිස් තුළ ඇතිවී තිබේ. ඔවුහු, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා වටා එක්වන යුදවාදී කණ්ඩායම්,සිංහල බෞද්ධ රාජ්‍යයක්  බිහිකිරීම තම ප්‍රකාශිත අරමුණ කරගත්  සීමාන්තික ජාතිවාදී පිරිස් සහ බිම් මට්ටමේ නන්නත්තාර පංති කොටස් පදනම් කොට ගෙන ෆැසිස්ට්වාදී නැඹුරුවක් ලාංකේය සමාජයේ ඇතිවෙතැයි බියපත් ව සිටිති.එය ආසන්න වශයෙන් තමන්ගේ,තම පවුල්වල සහ හිතමිතුරන්ගේ පුද්ගලික පැවැත්මට එරෙහිව එල්ලවන උග්‍ර ප්‍රචණ්ඩත්වයක් ලෙස ප්‍රකාශයට පත්වනු ඇතැයි දැඩි බියකින් ඔවුහු පෙළෙති. 

ජවිපෙ/ජාජබ

මීට පිළිතුරු වශයෙන් ජවිපෙ/ජාජබ කියා සිටින්නේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ජයගැනීම පිළිබඳ බියවිය යුතු නැතිබව යි.මන්ද යත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිකළ ව්‍යුහාත්මක වෙනස්කම් මගින් ශක්තිමත් කළ ප්‍රජාතන්ත්‍රීය අවකාශය තුළ ඒකාධිපති හෝ ෆැසිස්ට්වාදී පාලනයක් බිහිකිරීමට ගන්නා උත්සාහයන් පරාජය කළහැකි බවයි. 

උදාවිය හැකි පාලනය ජාජබ යේ න්‍යායධාරීන් නම්කරන්නේ “මෘදු ඒකාධිකාරීවාදයක්” ෙලසිනි.නමුත්,මේ හා ගැටෙන අදහසක් ඔවුන් අතරින්ම ප්‍රකාශ වී තිබේ.ඒ,සිංහල බෞද්ධ ජාතික රාජ්‍යය පිහිටුවීම අරමුණු  කොටගත් දේශපාලන ව්‍යාපාරයක නායකත්වයට මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ඉඩසැළසීම මගින් සිංහල බෞද්ධ ජාතිවාදය සහ දෙමළ ජාතිකවාදය අතර ඇති ගැටුම උච්ඡස්ථානයකට පත්වීමෙන් එය ගැටුමෙන්ම සදහටම විසඳෙනු ඇතැයි යන මනස්සෘෂ්ඨිය යි.

ෆැසිස්ට්වාදී ඇඟවීම් 

සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරයේ නායකයා මෙම ඡන්දයේදී පරාජය කළහොත් ඔහුට සහාය දෙන සමාජ බලවේගය රට පාලනය කිරීමට ඉඩ නොදෙනු ඇතැයි යන දඟර ගැහුණු තර්කයද මෙම “න්‍යාය ගැන්වීමේ” දිගුවකි. “ගෝඨාගමනයේ ෆැසිස්ට්වාදී ඇඟවීම් පිළිබඳ සැලකිල්ලක් දක්වන්නේ නාගරිකව වෙසෙන සුළු පිරිසක් පමණි” යැයි  කියත්ම, ෆැසිස්ට්වාදී ඇඟවීම් පිළිබඳ තර්ජනය ඉන් සනාථ කෙරෙයි. නාගරිකව වසන,තමන් සිංහල බෞද්ධයන් ලෙස නොසළකන අති මහත් ජන සමූහයට, උදාවිය හැකි “ගෝඨාගමනයේ  ෆැසිස්ට්වාදී ඇඟවීම් පිළිබඳ” බියක් නොමැති යැයි අභ්‍යුපගමනය කිරීම, උග්‍ර සිංහල බෞද්ධ ජාතිවාදී පරිකල්පනයක් මත පදනම්ව පමණක් කළ හැකි එකකි. 

උදාවීමට ඉඩඇති අනතුර විග්‍රහකිරීමට ‘ෆැසිස්ට්වාදය’ යන සංකල්පය යොදාගැනීමට ඒ පිළිබඳ බියෙන් පසුවන සියළු ජනයා සමත් නොවූවද, ඒ පිලිබඳ ඇති අත්දැකීම් ඇසුරෙන් ඔවුනට ඒ අනතුරු නොදැනෙන්නේ යැයි යමෙකුට තර්ක කළ නොහැකිය. පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් පසු, පරාජය වූ ප්‍රධාන පක්ෂයට පක්ෂපාතී වූ පිරිස් හඹා යන්නට ගම් මට්ටමේ සූදානමින් සිටි මැරකල්ලි එසේ කිරීමෙන් වළකාලනු ලැබුවේ අපේක්ෂිත ඉහළ ප්‍රථිඵල ලබාගන්නට තනිව වැඩි ප්‍රතිශතයක් ගත් පක්ෂයට නොහැකි බව පැහැදිළි වීමෙන් බව වාර්ථා වී තිබුණි. 

‘ගෝඨාගමනයේ ෆැසිස්ට්වාදී ඇඟවීම් පිළිබඳ බියක් ඇත්තේ නාගරික සුළුතරයක් තුළ පමණකි’ යැයි කරන අභ්‍යුපගමය උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ සහ මුස්ලිම් ජනයාගේ අත්දැකීම් සහමුලින්ම අමතක කරන බව පෙනෙයි.මෙහිලා, එම ජනකොටස් වත්මන් ජනාධිපතිවරණය දකින්නේ කෙසේදැයි විමසීම වැදගත් ය. 

ඊට උදව්වක් ලෙස ‘ද හින්දු’ පුවත් පතේ මීරා ස්‍රීනිවාසන්,උතුරු නැගෙනහිර ජනයා හා කතා කිරීමෙන් සකස් කොට පළකළ ලිපි දෙකකින් ගත් අදහස් පහත ඉදිරිපත් කරමු.

2

උතුරු නැගෙනහිර ජනමතය 

ස්‍රීනිවාසන් සඳහන් කරන පරිදි උතුරු පළාතේ  දෙමළ ජනයා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතුරෙන් බලයට පත් නොකළ යුත්තේ කවුදැයි දනිති,රාජපක්ස කෙනෙකු යළි බලයට ඒමේ ඉඩකඩ පිළිබඳ භීතිය පළකරති. “සුදුවෑන් යළිත් ඒමට හැකිය” යන්න පොදුවේ අසන්නට ලැබුණි. සිවිල් යුද්ධය අවසන් වී දශකයකට පසුත් ඔවුන් තුළ රාජපක්සවරු පිළිබඳ බිය නොවෙනස්ව පවතියි. ඔවුන් ගෝඨාභය දකින්නේ තම ඥාතීන්ගේ මරණය හෝ අතුරුදහන් වීමට මුල්වූ පුද්ගලයා ලෙසිනි.  

ඔවුන් එම දවස් පිළිබඳ සිතන්නේ භීතියෙන් බව ඇය හා කථාකළ කිලිනොච්චි ප්‍රජා නායකයා කීය.“ඔවුන් [තරඟකරුවන් ] සියල්ලෝම මිරිස්. වෙනස තියෙන්නේ සැර මට්ටමෙයි,ඉතින් අපිට සිහිකල්පනාවෙන් තෝරාගන්න වෙනව” යැයි ඔහු කීය. 

“ජනාධිපති  අපේක්ෂකයන් දෙදෙනාගෙන් අපට වඩා අඩුවෙන් අනතුරුදායක  කවුද යන්න පිළිබඳ අපි දැනටමත් හිතහදාගෙන ඉවරයි.අපිට සුදුවෑන් නැවත එපා” යැයි මන්නාරම අන්තෝනියාර්පුරම්හි ස්ටැනිස් රෙජිදාස් කීවේය.  

යුද්ධය අවසන් වීමෙන් පසු “අපට දැන්වත් සාමයෙන් ජීවත් වෙන්න බැරිද?” යි ඔවුහු අසති:“ ආණ්ඩුව ගැන ප්‍රබල විවේචන තිබිය හැකියි,නමුත් අඩුම වශයෙන් යුදහමුදාව හැමතිස්සෙම අප දිහා බලාඉන්නෙ නැතිව අප ටිකක් හුස්ම ගත්තා.”

මන්නාරම ටවුමේ පූජකවරයෙකු වන එච්. මනෝහර් මෙසේ කීය: “ ගෝටාබය සහ සජිත් දෙදෙනාම එක සමානයි කීම තරමක් අතිසරලයි. මෙහි ජීවත්වන අපට විවෘත වුණු ප්‍රජාතන්ත්‍රීය අවකාශය බෙහෝ වටිනවා.අපි එය පවත්වාගෙන යාමට ඡන්දය දිය යුතුමයි.” 

අන් අය පෙන්වා දුන්නේ පසුගිය වසරපහ තුළ ඔවුන් බියෙන් තොරව වීදි බැසි අවස්ථා බොහොමයක් තිබුණු බව යි:“උග්‍ර සිංහල ජාතිකවාදයේ ප්‍රබල හරය නියෝජනය කරන ගෝටාබය වැනි නායකයෙකු දෙමළ දේශපාලනයේ දැඩි මතධාරීන්ට අනුබලයක් වනවා පමණයි. එය අපේ ප්‍රජාවටත් රටටත් මාරාන්තික වනු ඇති.” 

නැගෙනහිර පළාත හරහා බොහෝ ඡන්දදායකයන් ගෝටාබය පිළිබඳ නොනැසී පවතින වේදනාවට එරෙහිව සජිත්ට සහයෝගය දෙනවා වියහැකි යැයි ස්‍රීනිවාසන් සඳහන් කරයි.

නැගෙනහිර පළාත

ත්‍රිකුණාමලේ පෞද්ගලික අංශයේ සේවකයෙකු කීවේ “ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනීසිටින බොහෝ ජනයා සජිත්ට සහයෝගය දෙනවා” යනුවෙනි. 

නැගෙනහිර ජනායට අනුව සටන මූලිකවම රාජපක්ෂ සහ ප්‍රේමදාස අතරය. ඉන් එක් අයෙකු සුපුරුදු බිය සිහිගන්වයි,අනෙකා ඇති කරන්නේ වැඩි අපේක්ෂාව  නොවේ නම්, වඩා අඩු සැකයකි. 

වැඩියෙන්ම මුස්ලිම් ජනයා වසන මඩකලපුවේ කාත්තාන්කුඩි ටවුමේ සමහරදෙනෙකු  මුස්ලිම්වරුන්ලෙස නොසිතා, රටගැන සිතා, ඡන්දයෙන් දිනීමට අවස්ථාවක් නැති ජවිපෙ අපේක්ෂකයාට ජන්දය දෙනු ඇත. එසේ කළත්, දෙවැනි මනාපය “නුවණැති” ලෙස පාවිච්චි කළ යුතු බව ෆාහ්මියා ෂරීෆ් කීවාය: “මතක තබා ගන්න, ප්‍රශ්නය නම් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ගෙන් වඩා හොඳ කවුද යන්න නොවේ. වඩා අඩුවෙන් භයානක කවුද යන්න යි.“ 

පළාත්බද අන්තර්ආගමික සමූහයක් නියෝජනය කරන ශාන්ත ජෝන්ගේ පල්ලියේ රාජන් රොහාන් පියතුමා කීවේ “අපි කුමන හෝ අපේක්ෂකයෙක් නම් කරන්නේ නැහැ, නමුත් අපට විසම්මුතිය හෝ උද්ඝෝෂණ කිරීමට කිසියම් අවකාශයක් සපයන්නට ඉඩ ඇති නායකයාට ඡන්දය දෙනලෙස අපි ජනතාව දිරිගන්වනවා…. ප්‍රජාතන්ත්‍රවාදී බලවේග තරකිරීම හදිසි අවශ්‍යතාවක්,” යනුවෙනුයි.

උතුරු නැගෙනහිර ජනයා පළකරන මෙම අදහස් වල හරය සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජනමාධ්‍යයන්හිද එම ප්‍රදේශ නියෝජනය කරන බුද්ධිජීවින් සහ විද්වතුන් පළකරන සංකල්පීයකරණයන්ගෙන් ද වෙනස් අයුරින් තහවුරු කෙරෙනු දක්නට ලැබෙයි. 

3

ජනාධිපතිවරණය පිළිබඳ ඉහත අප සාකච්ඡා කළ ජවිපෙ/ජානිබ එළඹුම හා සමාන අදාහස් වලට ප්‍රතිචාර දක්වමින්, පුවනම් හනන් ( Puwanan Hanan ) තම  මුහුණුපොතේ සටහනක් තබමින් විමසුවේ, එම අදහස් වෙනුවෙන් පෙනී සිටින්නන්, තමන්ගේ ක්‍රියා නිසාවෙන් උදාවිය හැකි අනාගත ආණ්ඩුව ඉදිරියේ ගතයුතු පහත සඳහන් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වග වෙන්නේද? යන්නයි.එනම්,  

  1. අතුරුදහන් කළවුන් සෙවීමේ (OMP)යාන්ත්‍රනය දිගටම ගෙනයාම හා එය තුළින්,යුද්ධයකදී හමුදා ප්‍රචන්ඩත්වය නිසා ඝාතනය වූ හෝ අතුරුදහන් කරවනු ලැබූ පවුල් වලට සත්‍යය, යුක්තිය හා සාධාරණය ලබාදීමට;
  2. උතුරේ හා නැගෙනහිර (හා අනිකුත් ප්‍රදේශ වල) හමුදාකරනය හා එයින් සාමන්‍ය ජන ජීවිතයට ඇතිවන ප්‍රතිවිපාක වැලැක්වීමට; 
  3. විධිමත්ව ජාතිවාදය පතුරුවා ඊනියා ජාතික ආරක්ශක ප්‍රශ්නයක මුවාවෙන් මුස්ලිම් ජනතාව දැඩි හිංසනයට, ප්‍රචන්ඩත්වයට හා අසාධාරණයට පත්කිරීම වැලැක්වීමට; 
  4. මානව හිමිකම් වෙනුවෙන් හා රාජපක්ස පවුලේ-හවුලේ අකටයුතු වලට විරුද්ධව හඬනැඟූ අයට “දඬුවම්” කිරීමට විරුද්ධව;
    අනිවාර්යයෙන්ම හා අවම වශයෙන් සිංහල නොවන අයට ඇතිවන ඛේදවාචකයට ඔබ ගන්නා නිශ්චිත පියවර කුමක්ද?යි හනන් ඔවුන්ගෙන් අසා සිටියාය. ඇය මෙම ප්‍රශ්න නැගූ අදාළ පුද්ගලයන් එයට පිළිතුරු දීම මගහැර සිටිනු දක්නට ලැබුණි. 

යාපනය විශ්වවිද්‍යාලයයේ ෙජ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අහිලන් කදිර්ගාමර් ‘ඩේලි මිරර්’ පුවත්පතට ලියමින් අවධාරණය කර සිටියේ, විශ්‍රාමික හමුදා නිලධාරීන්, ව්‍යාපාරික බලපෑම් සමූහය, සහ නිලධාරිතන්ත්‍රය සහ සංවිධිත ජාතිවාදී පදනමක් රාජ්‍යබලය සමග බද්ධවූ විට ඇත්තේ හුදු අධිකාරිවාදී ජාතිකවාදයක් පිළිබඳ අනතුර පමණක් නොව රාජ්‍යය ෆැසිස්ට්වාදීන් විසින් අත්පත් කරගැනීමේ අනතුරද පවතින බවයි. ජනාධිපතිවරණයෙන් පසුත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තවදුරටත් පැවතීම සහතික කිරීමට නම් මෙම බලවේගය පරාජය කළ යුතු බව ඔහු අවධාරණය කළේය. 

ඇමෙරිකාවේ ඇම්හර්ස්ට් විශ්වවිද්‍යාලයයේ ආචාර්ය උපාධි අපේක්ෂිකා නියන්තිනි කදිර්ගාමර්  “දෙකම එකයි” යනුවෙන් ඉදිරිපත් වී ඇති අදහසට ප්‍රතිචාර දක්වමින් මුහුණුපොතෙහි කියා සිටියේ “ [ඇමෙරිකාවේ]ට්‍රම්ප් සහ හිලරි හෝ [ඉන්දියාවේ ]මෝඩි හෝ කොන්ග්‍රසය එක හා සමානකිරීම හාස්‍යයට කරුණක් වනු ඇත. වාර්ගිකකරණයට ලක්කළ, සංක්‍රමණික, දලිත්, සහ වෙනත් සුළුතරයන්ගේ පර්යාලෝකයන්ගෙන් ගත්කළ එම වෙනස අතිමහත් ය.එමතු නොව, ඉමහත් දුක් වේදනා සහ බිය ද සඳහන් කළ යුතු වෙයි” යනුවෙනි. මුස්ලිම්වරයෙකුගේ, දමිළයෙකුගේ, සහ වෙනත් සුළුතර කම්කරු/ ගොවි/ ස්ත්‍රියක ගේ ස්ථානීය දෘෂ්ටියෙන් ගත්කළ එය අතිශයින්ම වැදගත් වෙනසකි.රාජපක්ෂ පාලනයේ පළමු පස්වසර මෙන්ම දෙවැනි පස්වසර සහ හවුල් පාලනයේ පසුගිය වසරපහ පිළිබඳ මතකය ඇති  උතුර සහ නැගෙනහිර වසන්නවුන්ට මෙම වෙනස රැය සහ දවාල මෙන් පැහැදිළි ය. ෆැසිස්ට්වාදය බලය අල්ලා ගැනීමේ පැහැදිළි අනතුරක් අප මුහුණ දී තිබියදී රාජ්‍ය බලය අල්ලා ගත නොහැකි තුන්වැනි බලවේගයකට ඡන්දය දෙන්නැයි ඔවුන් කියා සිටින්නේ කුමන විශ්ලේෂණයක් මතදැයි එසේ කියන අයගෙන් ඇය ප්‍රශ්න කරයි. 

ජයග්‍රාහකයාට සියල්ලම හිමිවන මැතිවරණයක් මගින් අධිකාරවාදී හෝ මූල-ෆැසිස්ට්වාදී බලය අල්ලා ගැනීමේ ඉඩකඩ දැවැන්තව නැගෙමින් තිබියදී,යමෙකු  

මතවාදී වශයෙන්  මිත්‍රශීලී අපේක්ෂකයෙකු හෝ සමීප ස්වපාක්ෂිකයෙකු වුවත්, තමාට පවත්නා සහාය පදනම අතිශයින් පටු අපේක්ෂකයෙකුට සහායදීම යුක්ති යුක්ත කරන්නට යමෙකුට දුෂ්කර වේයැයි, යාපනය විශ්ව විද්‍යාලයයේ ආචාර්ය මහේන්ද්‍රන් තිරුවාරන්ගන් “සන්ඩේ ඔබසර්වර්” පුවත්පතට ලිපියක් ලියමින් කියා සිටියේය. ඔහු එසේ සඳහන් කළේ අනුර කුමාර දිසානායක සහ සිරිතුංග ජයසූරිය යන අපේක්ෂකයන් දෙදෙනගේ සුදුසුකම් සළකා බලමිනි.එය පෞද්ගලිකව රටේ ප්‍රජාතන්ත්‍රවාදයෙහි ශේෂව ඇති දෙයෙහි පැවැත්ම සහතික කරන බලාපොරොත්තුවෙන්, ඉමහත් දුෂ්කරතාවෙන් සහ වේදනාවෙන් යුතුව ගැනීමට සිදුවූ තීරණයකැයි ඔහු තවදුරටත් කීය. 

ප්‍රජාතන්ත්‍රවාදයට, සියළු දෙන ඇතුළුකර ගැනීමට සහ ප්‍රතිරෝධී ව්‍යාපාරයන්ට  ගෝටාබය රාජපක්ස ජනාධිපති පාලනය දැවැන්ත තර්ජනයක් එල්ල කරනු ඇති බවට, අතීත අත්දැකීම් මත පදනම්ව, අනාවැකියක් කීම එතරම් දුෂ්කර නොවේ. සුළුතර කණ්ඩායම්,අපේ සමාජයේ ආන්තිකව වසන පිරිස්,බලයට සත්‍යයෙන් අමතන අය,ගෝටාබය රාජපක්ස සහ ඔහුගේ අනුගාමිකයන් පිළිබඳ ඇති අව්‍යාජ බිය සහ මතකයන් මේවා වෙති යැයි තිරුවාරන්ගන් පවසයි.

4

උතුරු නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනයාගේ දෘෂ්ඨියෙන් ඉදිරිපත් කෙරුණු ඉහත අදහස් අප මුලදී ගෙනහැර දැක්වූ ජවිපෙ/ජාජබ අපේක්ෂකයා වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන අදහස් වල වලංගුභාවය පිළිබඳ සළකා බැලීමට, ජවිපෙ සාමාජිකයන්ට සහ ඒ වටා සිටින වාමාංශිකයන්ට සහ ලිබරල්වාදීන්ට පිහිට වනු ඇතැයි සිතමු. 

එම දෙමළ සහ මුස්ලිම් ජනයා, තීරණාත්මක අවස්ථාවේදී දේවල් අතර වෙනස්කම් හඳුනාගැනීමට පොහොසත් ව්‍යවහාරික බුද්ධියෙන් සම්පන්න වූවන් බව පෙනෙයි. ඔවුනට අවශ්‍ය යලිත් සිංහල බෞද්ධ ජාතිවාදය නැඟී දෙමළ ප්‍රජාවේ අන්තවාදීන් සමග එය ගැටෙනු දැකීමට නොවේ. එය දෙමළ ප්‍රජාවට මාරාන්තික වනු ඇතැයි ඔවුහු නිවැරදි අවබෝධයක සිටිති. ඔවුනට අවශ්‍ය යුද්ධය අවසන් වීමෙන්, 2015 ජනවාරි 8 ආණ්ඩු පෙරළියෙන් ලැබුණු නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අවම වශයෙන් රැකගැනීමට ජනාධිපතිවරණයෙන් ලැබී ඇති අවස්ථාව යොදා ගන්නටය. වාම දේශපාලනයේ හරය ඇත්තේ අනාගතයේ ලෝකය වෙනස් කිරීම සඳහා වන දැවැන්ත සැළසුම් වෙනුවෙන් වත්මනෙහි ඇති අවම හෝ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය කැප කිරීමේ අරාජිකවාදී දේශපාලනයේ නොවන බව ජවිපෙ සාමාජිකයන් මෙන්ම ඒ වටා සිටින සෙසු වාමාංශිකයෝද ලිබරල්වාදීහුද දනිති. වාමාංශික දේශපාලනය තම සහෝදර ජනයා වෙනුවෙන් වන සහෝදරත්වයෙන් හා මානවදයාවෙන් පිරිපුන් හෘදය සාක්ෂියක් කැටි කර ගත්තකි.මෙම ජනාධිපතිවරණය එම හෘදය සාක්ෂිය යළිත් වතාවක් ඔප්පුර කර සිටීමට වාමාංශිකයන්ට ලැබෙන තීරණාත්මක අවසථාවකි. ජවිපෙ සාමාජිකයන්, හිතවතුන් සහ ඒ වටා සිටින වාමාංශිකයන් සහ ලිබරල්වාදීන් එය පැහැර හරිනු ඇතැයි අපට සිතිය නොහැකිය.