කිත්සිරි මලල්ගොඩ: සංක්‍රාන්ති යුගයක සිංහල බුදුසමය, 1750 -1900

දිමුතු සමන් වෙත්තසිංහ 

“ඔහු මෝටර් රථයක් මිළ දී ගැනීම තබා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ඔහුට ත්‍යාගයක් වශයෙන් දුන් මෝටර් රථය පවා ප්‍රතික්ෂේප කළ අයුරු චන්ද්‍රසේකර සිහි ගන්වයි. දුරකථන, විද්‍යුත් තැපෑල (ඊමේල්) ආදී කිසිවක් භාවිත නොකළ ඔහු මිතුරන්ට ලිපි පමණක් ලිවීය. මිතුරන් බැහැ දැකීමට නොදන්වා පැමිණෙන ඔහු නොකියාම සමුගන්නේය. බොහෝ දෙනෙක් පවසන්නේ ඒ මලල්ගේ හැටිය, මහාචාර්ය රංජිනී ඔබේසේකර සිහිපත් කරයි. කිසිදා තමා ගැන කිසිවක් දෙඩීමට රුචි නොකළ ඔහු පසුගිය ඔක්තෝම්බරයේ පිළිකා රෝගය ඔහුගේ දිවි හමාර කරන තෙක්ම මිතුරන් පවා ඔහුගේ තත්ත්වය දැන සිටියේ නැත. මිය යන තෙක්ම තනිකඩ දිවියක් ගෙවූ මලල්ගොඩ ගත කල ජීවන ශෛලිය නූතන ජීවිතයට ප්‍රතිරෝධී අචාර ධර්මීය මානයක් විශද කරන්නක් බව සටහන් කළ හැකිය.”

ආචාර්ය කිත්සිරි මලල්ගොඩ පසුගිය ඔක්තෝම්බර් වලදී නවසීලන්තයේ ඕක්ලන්ඩ් වලදී අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ ශිෂ්‍යයෙකු ද වන අචාර්ය සරත් චන්ද්‍රසේකර පසුගිය දෙසැම්බර් 14 දින ‘දි අයිලන්ඩ්’ පුවත්පතට ලියූ සටහනින් දැන ගැනීමට ලැබුණි. මලල්ගොඩගේ අසම්මත දිවි සැරිය පිළිබඳ මතකය ආවර්ජනය කරන ඔහු එවකට පැනිදෙණියේ තිබූ තම නවාතැනේ සිට  පේරාදෙණියේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව දක්වා මලල්ගොඩ පාගමනින්ම පැමිණි ආකාරය සිහිපත් කරන අතර 2012 තරම් මෑතක දී පවා ඕක්ලන්ඩ් වල සිටි තමා හමුවීමට මලල්ගොඩ බස් රථයකින් පැමිණි ආකාරය සිහිපත් කරයි. ඔහු මෝටර් රථයක් මිළ දී ගැනීම තබා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ඔහුට ත්‍යාගයක් වශයෙන් දුන් මෝටර් රථය පවා ප්‍රතික්ෂේප කළ අයුරු චන්ද්‍රසේකර සිහි ගන්වයි. දුරකථන, විද්‍යුත් තැපෑල (ඊමේල්) ආදී කිසිවක් භාවිත නොකළ ඔහු මිතුරන්ට ලිපි පමණක් ලිවීය. මිතුරන් බැහැ දැකීමට නොදන්වා පැමිණෙන ඔහු නොකියාම සමුගන්නේය. බොහෝ දෙනෙක් පවසන්නේ ඒ මලල්ගේ හැටිය, මහාචාර්ය රංජිනී ඔබේසේකර සිහිපත් කරයි. කිසිදා තමා ගැන කිසිවක් දෙඩීමට රුචි නොකළ ඔහු පසුගිය ඔක්තෝම්බරයේ පිළිකා රෝගය ඔහුගේ දිවි හමාර කරන තෙක්ම මිතුරන් පවා ඔහුගේ තත්ත්වය දැන සිටියේ නැත. මිය යන තෙක්ම තනිකඩ දිවියක් ගෙවූ මලල්ගොඩ ගත කල ජීවන ශෛලිය නූතන ජීවිතයට ප්‍රතිරෝධී අචාර ධර්මීය මානයක් විශද කරන්නක් බව සටහන් කළ හැකිය.


මලල්ගොඩ මාතර සුජාතා විද්‍යාලයෙන් සහ රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වේ. ඔහු සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුල් වූ මුල් කණ්ඩායම් වලට අයත් වේ. 1961 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුල්වන ඔහු  සමාජ විද්‍යාව හා මානව විද්‍යාව හදාරන්නේ  මහාචාර්ය රැල්ෆ් පීරිස්, මහාචාර්ය ගණනාථ ඔබේසේකර යටතේය. ඔහු එම විෂය ධාරාව හදාරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. පළමු පෙළ ගෞරව සාමාර්ථයක් සහිතව උපාධිය සමත්ව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් දර්ශනශූරී උපාධිය ලබා මලල්ගොඩ 1968 දී යළි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සාමාජ විද්‍යා අධ්‍යයන අංශයට සම්බන්ධ වේ. මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ 80 වෙනි ඡන්ම දිනය වෙනුවෙන් මහාචාර්ය එච්. එල් සෙනෙවිරත්න සංස්කරණයෙන් පලවෙන The Anthropologist and the Native  යන කෘතියේ ‘මන්දාරම්පුර පුවත’ පිළිබඳ මලල්ගොඩ ලියු ලිපිය ආරම්භයේ දී මහාචාර්ය ගණනාථ ඔබේසේකර සමාජ විද්‍යාවේ මුල් පාඩම් කියා දුන් අයුරු සහ පසුව සමාජ විද්‍යාව ඉගැන්වීමට බඳවා ගත් අයුරු කෘතඥතා පූර්වකව සිහිපත් කරයි.


ඩේවිඩ් ස්කොට් ඔහුගේ ‘සිංහල යක්තොවිල්’ (Formations of Ritual: Colonial and Anthropological Discourses on the Sinhala Yaktovil) කෘතියේ ගෙන හැර දක්වන ආකාරයට බුදුසමය සුවිශේෂ මානව විද්‍යා වස්තු විෂයක් ලෙස ගොඩ නැගීමේ පුරෝගාමී මොහොත සම්බන්ධයෙන් තීරණාත්මක කෘතියක් වන්නේ මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ ‘Great Tradition and the Little in the Perspective of  Sinhalese Buddhism’  යන රචනාවය. ස්කොට් පෙන්වා දෙන ආකාරයට සිංහලයන්ගේ ආගම පිළිබඳ මානව විද්‍යාව මේ මොහොත දක්වා නිර්වචනය වූයේ යටත් විජිත, ක්‍රිස්තියානි දෘෂ්ටියට අනුවය. ස්කොට්ගේ මෙම නිරීක්ෂණය සම්බන්ධයෙන් ඔහු මලල්ගොඩට ණය ගැති බව පෙනී යයි. මක්නිසාද 1972 පලවූ ‘Sinhalese Buddhism: Orthodox and Syncretistic. Traditional and Modern ‘යන රචනාවෙන් මෙම අදහස ප්‍රථම වරට මතු කරන්නේ ආචාර්ය මලල්ගොඩය. බුදුසමය පිළිබඳ 19 වන ශත වර්ෂයේ ලියැවුණු කෘති වලින් ඇරඹී මේ  දක්වා නැගෙන ප්‍රශ්නයක් මලල්ගොඩ මෙහිදී මතු කරයි. එනම් බෞද්ධ යැයි කියාගන්නා සිංහලයෝ සැබැවින්ම බෞද්ධයන් ද? මෙම ප්‍රශ්නය මුල් ප්‍රොතෙස්තන්ත මිෂනාරිවරුන් පවා සාමාන්‍යයෙන් ඇසූ ප්‍රශ්නයක් බව මලල්ගොඩ පෙන්වා දෙයි. මෙයට ලැබුණ මුල් කාලීන පිළිතුරු නිශේධනාත්මක විය. එනම්, සිංහලයෝ බෞද්ධයෝ නොවේ යන්නය. නාමිකව එසේ වුවත් මුල් කාලීන කෘති වල ඔවුන් යකුන් වන්දනා කරන්නන්ය යන්නත් පසු කාලීන ලේඛකයන් ඔවුන් ප්‍රාණවාදීන් යන්නත් දැක්වීමට ප්‍රිය කල බව මලල්ගොඩ සඳහන් කරයි. නැවත නැවතත් මතු වුන සිංහලයන්ගේ ආගම පිළිබඳ මෙම විග්‍රහය  සාමාන්‍ය නිරීක්ෂකයන්ගේ සිට ප්‍රාචීනවේදීන් ඔස්සේ බ්‍රයිස් රයන් වැනි සමාජ විද්‍යාඥයන්ගේ ලේඛන වලට ප්‍රවේශ වූ ආකාරය ඔහු සිහිපත් කර දෙයි.


බුදු සමය පිළිබඳ මෙම යටත් විජිත දෘෂ්ටිය ප්‍රථම වරට අභියෝගයට ලක් වන්නේ මහාචාර්ය ගණනාථ ඔබේසේකර විසින් බ්‍රයිස් රයන්ගේ ‘සිංහල ගම’ පිළිබඳ ලියන ලද විචාරයෙන් සහ ඔහුගේ මහා සම්ප්‍රදාය සහ චූල සම්ප්‍රදාය පිළිබඳ රචනාවෙන් මෙන්ම බෞද්ධ දේව ගණය පිළිබඳ ඔහුගේ රචනාවෙන් බව මලල්ගොඩ පෙන්වා දේ. රයන්ගේ පැල්පොල ගම පිළිබඳ විග්‍රහය තුළ බෞද්ධ නොවන විශ්වාස හා භාවිත  බෞද්ධ විශ්වාසයන්ගෙන් වෙන්කර දැක්වීමේ සමාජ විද්‍යාත්මක නිවැරදිභාවය ප්‍රශ්න කරන ඔබේසේකර සිංහල බුද්ධාගම එකිනෙකට සම්බන්ධ එක් පද්ධතියක් ලෙස හඳුනා ගනී. හේතුඵල නියමය, දේව ගණය ආදී  නිදර්ශන ඔස්සේ  බුද්ධාගම ගැමියන්ගේ විශ්වාස පද්ධතිය තුළ ප්‍රමුඛ වන ආකාරය පිළිබඳ ඔබේසේකරගේ විග්‍රහය ගෙනහැර දක්වන මලල්ගොඩ සිංහල බුද්ධාගම පිළිබඳ මෙම විග්‍රහයට පසුකාලීන ශ්‍රී ලංකාවේ  ක්ෂේත්‍ර පර්යේෂණ කරන ශාස්ත්‍රඥයන්ගේ අනුබලය ලැබුණ ආකාරය පෙන්වා දෙයි. එබැවින් මලල්ගොඩගේ ශාස්ත්‍රීය කාර්යය ද ඇගයිය යුත්තේ ඔබේසේකරගේ පුරෝගාමී සිංහල බුද්ධාගම පිළිබඳ ශාස්ත්‍රීය දිශානතිය තුළ බව නිසැකය. මෙම ලිපිය ඔහුගේ කෘති පිළිබඳ ඇගයීමකි.

සිංහල සමාජයේ බුදුසමය 1750-1900 : ආගමික පුනර්ජීවනය හා වෙනස්වීම පිළිබඳ අධ්‍යයනයක්

යටත් විජිතවාදය සහ නූතනත්වය හමුවේ ආගමික සංස්ථාවේ විශේෂයෙන්ම සංඝ සංස්ථාවේ ඇතිවන පරිවර්තනය ‘සිංහල සමාජයේ බුදුසමය 1750-1900’ (Buddhism in Sinhalese Society 1750-1900) නම් ඔහුගේ කෘතියේ සාකච්ඡාවට ලක්වේ. මෙම කෘතියේ මුල් කොටසේ මලල්ගොඩගේ අවධානයට ලක් වන්නේ  1765 සහ 1868 කාලයේ සංඝ සංස්ථාව තුළ දිගින් දිගටම ඇතිවන මතභේද හා නිකාය භේදයය. ඩේවිඩ් ස්කොට් ආගම සහ යටත් විජිත වාදය අතර සම්බන්ධය පිළිබඳ මලල්ගොඩගේ විග්‍රහයෙන් මතුවන වැදගත් කරුණක් ලෙස දක්වන්නේ “සංඝයා බලපැවැත් වූ සමස්ථ භූමිතලය නූතන යාන්ත්‍රණය හසුරුවා ගැනීමට පොළඹවන අයුරින් වෙනස් වූ ආකාරය පිළිබඳ අවබෝධ කර ගැනීමට කර ඇති දායකත්වයයි.”


වෙරළබඩ හා අභ්‍යන්තර වශයෙන් රට දේශපාලන බෙදීමකට ලක් වීම දේශපාලන අධිකාරීන් සමග සබඳතා පැවැත්වීමේදී පහතරට භික්ෂූන් උභතෝකෝටික තත්වයකට ලක් කල බව මලල්ගොඩ පෙන්වා දෙයි. මෙම පහතරට භික්ෂූන් පැවදි නිළයන්, ඔවුන්ගේ ගරු සම්මාන සහ පදවි නාමයන් උඩරට රජුගෙන් ලබා ගත්තද ඔවුන් සත්‍ය වශයෙන් ජීවත් වූයේ ඒවා බල ගැන්වීමට රජුට අධිකාරී බලයක් නොතිබූ ප්‍රදේශයකය. මෙම තත්වය තුළ මෙම ප්‍රාදේශීය භික්ෂූන් උඩරටින් ලැබුණ ගරු සම්මාන හා නිළ පදවි තහවුරු කර ගැනීමට යටත් විජිත පරිපාලනයට එනම් ප්‍රථමයෙන් ලන්දේසීන්ටද දෙවනුව බ්‍රිතාන්‍යන්ට ද ඇවිටිලි කිරීමට පොළඹවන තැනට පත් විය. මෙම නායක භික්ෂූහු විවිධ ප්‍රදේශ පසුකර ගමන් කරන විට බෙර, කොඩි සහ සේසත් සහිතව පල්ලැක්කි මගින් කැටුව යාමේ සාම්ප්‍රදායික ගරු බුහුමන් වලටද, අඩුක්කු ලබා ගැනීම සහ පසු කර යන ප්‍රදේශ වල මුලාදෑනිවරුන්ගේ සේවකයන් ලබා ගැනීම ආදී  සේවාවන් වලටද නිළ බලයෙන් හිමිකම් කියති. මෙම හිමිකම් බල ගැන්වීමට නම් ප්‍රදේශයේ ක්‍රියාත්මක දේශපාලන අධිකාරියේ අනුමැතිය සහ සහයෝගය අවශ්‍යය.

භික්ෂූන් උඩරට සමග පවත්වන මෙම සමීප සම්බන්ධය පිළිබඳ සැළකිලිමත් වූ යටත් විජිත පරිපාලනය භික්ෂූන් සමග හොඳ කල් කිරියාවෙන් සිටීමටත් හැකි නම් ඔවුන් රජය වෙත දිනා ගැනීමටත් පියවර ගත් බව මලල්ගොඩ විස්තර සහිතව පෙන්වා දෙයි. ලන්දේසි රජය 1760 මුල් කාලයේ තම උඩරට ආක්‍රමණයෙන් පසුව බෞද්ධ භික්ෂූන්  කෙරේ මිත්‍රශීලී ලීලාවක් පෙන්වීමේ සාධනීය පියවර ගත් ආකාරය මලල්ගොඩ ගෙන හැර දක්වයි. මෙම ගැටුම් කාල පරිච්ඡේදයට පසුව නිළයට පත් ලන්දේසී ආණ්ඩුකාර ෆැල්ක් (1765-85) 1765 දී පමණ ලන්දේසි බල ප්‍රදේශයක තිබූ මුල්කිරිගල විහාරස්ථානය වැඳ පුදා ගෙන ඇත. ඉන් ටික දිනකට පසු මාතර ලන්දේසි දිසාවේ වරයා මුල්කිරිගල සහ ඊට අයත් විහාර වලට ආඥා පත්‍රයක් යවමින් බෞද්ධ ආගම කෙරේ  හොඳ හිත ප්‍රකාශ කරන අතර බුද්ධාගම සහ බෞද්ධ විහාරස්ථාන කෙරේ උපකාර කිරීමේ කැමැත්ත ද ප්‍රකාශ කරයි. ලන්දේසී පාලනයේ අවසාන කාලයේ වෑන් ඩී ග්‍රාෆ් නම් ලන්දේසි ආණ්ඩුකාරවරයා (1785-83) දකුණු පළාතේ ප්‍රධාන භික්ෂුවක් වන කරතොට ධම්මාරාම හිමියන්ට රික්ස් ඩොලර් 25 ක මාසික වැටුපක් ගෙවීමට නියම කරන තරම් දුර දිග ගියේය. මේ ආකාරයේම රාජතාන්ත්‍රික හා මිත්‍රශීලී ආකල්පයක් තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ද මුල්කිරිගල විහාරය සම්බන්ධයෙන් පවත්වාගෙන යන ආකාරය පිළිබඳ මලල්ගොඩ විස්තර දක්වයි. මේට්ලන්ඩ් මෙම ප්‍රදේශයේ ආදායම් නිළධාරියාට ලියා දන්වා සිටින්නේ උඩරට රජුගේ දේශපාලන එන්ජිම වන් භික්ෂූන් තමන්ගේ වාසිය සඳහා හරවා ගැනීමේ දී මිත්‍රත්වය ඇති කර ගැනීමටත්, විශ්වාසය දිනා ගැනීමටත් හැකි සෑම දෙයක්ම කරන ලෙසය. තවද මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ආදායම් නිළධාරියාට විහාරස්ථානයට ගොස් භික්ෂූන් මුණගැසී  රජය මෙම ආගමික කටයුතු පිළිගන්නා බවත් ඒවාට සහය දීමට කැමැත්තෙන් සිටින බවත් දැනුම් දෙන ලෙස උපදෙස් දෙයි. එපමණක් ද නොව මෙම ආණ්ඩුකාරවරයා භික්ෂූන්ට අදාළ ආගමික කටයුතු සහ ඔවුන්ගේ ඉඩම් පිළිබඳ තීරණ ගැනීමට භික්ෂූන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට යෝජනා කරයි. මෙම කමිටුවට නායකත්වය දීමට තෝරා ගැනෙන්නේ ලන්දේසීන්ගෙන් පවා මාසික දීමනා ලැබූ බහුශ්‍රැත සහ අභිලාෂ සහිත භික්ෂුවක් වන කරතොට ධම්මාරාම හිමියන්ය.


උඩරට සමග කරතොට ධම්මාරාම හිමියන්ගේ සබඳතාවය රාජාධි රාජසිංහ සමයේ ශ්‍රීපාදයේ සංඝනායක පදවිය සම්බන්ධයෙන් ඇති වූ මතභේද නිසා දුර්වල වී තිබුණි. ශ්‍රීපාදස්ථානය සහ එහි නඩත්තුවට වෙන්වූ කුට්ටාපිටිය විහාරගම කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුප්‍රාප්තික ශිෂ්‍ය පරම්පරාව වෙත පවරා තිබුණි. සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යයන් වන වේහැල්ලේ ධම්මදින්න හිමියන්ටත් අනතුරුව කඹුරුපිටියේ ගුණරතන හිමියන්ටත් මේ අනුව ශ්‍රීපාදය ඇතුලු පහතරට සංඝනායක පදවියත් කුට්ටාපිටිය විහාරගමත් පැවරුණි. මේ අයගේ ඇවෑමෙන් කරතොට ධම්මාරාම  හිමියන්ට මෙම පදවිය ලැබුනද ශ්‍රීපාදය සහ එම විහාරගම මෙම පදවියෙන් ඉවත්කර එය වෙනත් අයෙකුට පැවරුණි (කරතොට ලංසියාට පක්ෂය යනුවෙන් රජුට පැමිණිලි කල බවද කරතොට හිමියන් නිවාස අඩස්සියේ තැබූ බවද සඳහන්ය.).මෙම සිදුවීම කරණකොට ගෙන බරපතළ කලකිරීමට ලක් වන කරතොට ධම්මාරාම හිමියන් උඩරට රාජ්‍යය හැර දමා 1785 දී නැවත දකුණට පැමිණියේය. මලල්ගොඩ පෙන්වා දෙන්නේ යටත් විජිත පරිපාලනය සමග ධම්මාරාම හිමියන් ඇති කර ගන්නා පසුකාලීන සබඳතා උඩරට සමග පැවති සම්බන්ධතා තව තවත් නරක අතට හැරීමට බලපෑ බවය. පහතරට භික්ෂු කමිටුවේ සභාපතිවරයා වශයෙන් කරතොට ධම්මාරාම හිමියන් බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් ද වැටුපක් ලැබූ අතර එවකට මහානායක ධූරය හෙබවූ මොරතොට ධම්මඛන්ද හිමියන් මෙය ද්‍රෝහී ක්‍රියාවක් යැයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට පැමිණිලි කිරීමෙන් රාජාධි රාජසිංහ ලබා දුන් පල්ලෙබැද්ද ග්‍රාමයෙන් කරතොට ධම්මාරාම හිමියන් ලැබූ  ආදායම් අහිමි කළේය. පසුව උඩරට රාජ්‍යය කරතොට ධම්මාරාම හිමියන් පහතරට සංඝනායක වශයෙන් පිළිගැනීම වෙනුවට වෙනත් අයෙක් එම පදවියට පත්   කලේය. එසේ වුවත් ශ්‍රීපාද නායක පදවිය පිළිබඳ මතභේද නොවිසඳී පැවතුණ අතර උඩරට බ්‍රිතාන්‍යයට පැවරීමත් සමග මෙම ගැටළුව යළි නව මුහුණුවරකින් මතුවූ බව මලල්ගොඩ පෙන්වා දෙයි. 1825 අග දී උඩරට කොමසාරිස්වරුන්ගේ මණ්ඩලයේ සැළකිල්ලට මෙම ගැටළුව ගැනුනු අතර ඊලඟ වර්ෂයේ දී සබරගමුවේ රජයේ ඒජන්ත තැනගේ නිර්දේශ මත ශ්‍රීපාද නායක පදවිය මල්වතු විහාරයේ අයිතියෙන් ඉවත් කර නැවත පහතරට භික්ෂු පරපුරට ලබා දෙන ලදී. එසේ පවරන ලද්දේ කරතොට ධම්මාරාම හිමියන්ගේ ශිෂ්‍යයෙක් වන ගාල්ලේ මේධංකර හිමියන්ටය. මෙම තීන්දුව පිළිබඳ අසතුටු වූ උඩරට භික්ෂූහු ඊට එරෙහිව ලිපි ලිවීම ඇරඹූහ. මලල්ගොඩ වැඩි දුරටත් පෙන්වා දෙන ආකාරයට ශ්‍රීපාද නායක පදවිය පිළිබඳ විශේෂ කරුණ හැරුණු විට, රට පුරා සිටින භික්ෂූන් මත සම්ප්‍රදායික ආධිපත්‍යය හෙබවූ උඩරට භික්ෂූන්ගේ අධිකාරීත්වය සම්බන්ධ බරපතළ ගැටලුවක් වූයේ උඩරට භික්ෂූන්ට පිළිගත නොහැකි භික්ෂූන් පළාත් සංඝනායක පදවි වලට පත් කිරීමය. මල්වතු සහ අස්ගිරි මහානායක සහ අනුනායක හිමිවරු 1829 දී විමර්ශන කොමිසමට ලියූ ඒකාබද්ධ පෙත්සමක් මගින් ඔවුන්ගේ මෙම අධිකාරීත්වය ශක්තිමත් අයුරින් තහවුරු කිරීමේ අවශ්‍යතාවය හඟින අතර එය දුර්වල නොකරන ලෙස රජයෙන් ඉල්ලති. මලල්ගොඩ පෙන්වා දෙන ආකාරයට බහුතරයක් පහතරට භික්ෂූන් උඩරට මහනායකවරුන්ගේ අධිකාරිය සමග අවම වශයෙන් විධිමත් සම්බන්ධයක් පවත්වාගෙන යන අතර වාර්ෂිකව තම සිසුන් උපසම්පදාව සඳහා උඩරටට යැවූහ. නමුත් 19 වන ශත වර්ෂය මැද වන විට උඩරට සංස්ථාපිතය වේගවත්ව දුර්වල වන පසුබිමක් තුළ මතභේද වඩාත් ගැටළුකාරී වෙමින් පහත රට සමහර භික්ෂූන් උඩරට මහානායකවරුන්ගේ අධිකාරීත්වය නොසළකා හරින තැනට පත්විය. නව නිකාය බිහි කර ගැනීමේ පසුබිම සකස් වන්නේ මෙලෙසය.


අමරපුර නිකාය බිහිවීම උඩරට සංස්ථාපිතයට එරෙහිව පහතරට ඇතිවන වැදගත් සංදිස්ථානයකි. වෙරළබඩ ප්‍රදේශවල හට ගන්නා මෙම සිද්ධිය මලල්ගොඩ වටහා ගන්නේ උඩරට පහතරට භික්ෂූන් අතර පැවති පොදු ගැටුමේ දිගුවක් ලෙසයි. මෙම අවස්ථාව වන විට ගැටුමට සම්බන්ධ පාර්ශව වෙනස් කුල වලට අයත් වූ අතර මෙම වාතාවරණය පදනම් කරගෙන උග්‍ර තත්වයකට පත් වූ ගැටුම බිඳී වෙන් වී යාම වැළැක්විය නොහැකි තැනට පත් කළේය. ජනප්‍රිය කතිකාව තුළ අමරපුර නිකායේ බිහිවීම කුල ඌනතිවාදයකට ගොදුරු වී ඇති අතර උඩරට සංස්ථාපිතය විවේචනයට ලක් වේ. නමුත් මෙම සිද්ධිය පුළුල් දේශපාලන- ආර්ථික සහ සමාජ- ඓතිහාසික සංදර්භයක් තුළ පිහිටා අවබෝධ කර ගැනීමට මලල්ගොඩගේ කියවීම අපට උපකාරී වේ.


රට දේශපාලන වශයෙන් බෙදීමට ලක්වීම නව නිකායේ සාර්ථකත්වයට සෘජුවම මහෝපකාරී වූ බවත් එහි මධ්‍යස්ථානය ( භූගෝලීයව ) උඩරට රජුට තම බලාත්කාරය යෙදීම මගින්  එය වැළැක්විය හැකි රජුගේ අධිකාරීත්වය ක්‍රියාත්මක ප්‍රදේශයට ඔබ්බෙන් වූ බවත් මලල්ගොඩ දකී. එමෙන්ම මේ සම්බන්ධයෙන් මලල්ගොඩ දකින අනෙක් කරුණ වන්නේ යටත් විජිත පාලනය යටතේ යම් යම් කුල සාමූහිකව ඉහළ චල්‍යතාවයක් ලබා ගැනීමත් ඒ ඔස්සේ ආගමද ඇතුලුව බොහෝ ක්ෂේත්‍ර වල ඉහළ කුල වල ඒකාධිකාරයට අභියෝග කිරීමේ උත්සාහයන් මතු වීමත් ය.


මෙම ගැටුම සඳහා ආසන්න හේතුව ලෙස ඉදිරිපත් වනුයේ උඩරට නායක භික්ෂූන් ගොවිගම නොවන සමාජ සම්භවයක් ඇති භික්ෂූන් සඳහා උපසම්පදාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීමත් එසේ ප්‍රතික්ෂේප කිරීම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යැයි දැක්වෙන රාජ අණකින් නීත්‍යානුකූල බවට පත් කිරීමත්ය. මලල්ගොඩ පෙන්වා දෙන ආකාරයට එවැනි අණක් ප්‍රසිද්ධියට පත් කිරීමට තුඩු දුන් සිදුවීම් පිළිබඳ නිශ්චිත තොරතුරු නිවැරදිව දැන ගත නොහැක. මන්දාරම්පුර පුවත උපුටා දක්වමින් මෙම රාජ අණ ප්‍රසිද්ධ කිරීමට හේතු ලෙස දැක්වෙන විස්තරයක් ඔහු ඉදිරිපත් කරයි. ලබුගම ලංකානන්ද සංස්කරණයට ලියු  හැඳින්වීම ද තහවුරු කරන පරිදි අඩු කුලවලට අයත් භික්ෂූන් තමන්ගේ යටහත් පහත් සම්භවය අමතක නොකිරීමෙන් රජු සහ ඔහුගේ නිළධාරීන් හමුවේ දණ්ඩ නමස්කාරය කර ගෞරව දැක්වීමෙන් ශාසනය අවමානයට ලක්වීම නිසා මෙම අණ පැන වූ බව දැක්වේ.( මන්දාරම්පුර පුවත පිළිබඳ ඔහුගේ පසුකාලීන අධ්‍යයනයේ මෙය ඉතා මෑත කලෙක ලියවුණු ව්‍යාජ කෘතියක් බව සාක්ෂි සහිතව පෙන්වා දෙයි.) කෙසේ නමුත් මෙහිදී මලල්ගොඩ මතු කරන වැදගත් නිරීක්ෂණයක් නම් භික්ෂු ශාසනය සමාජ වටපිටාවෙන් හුදෙකලා කර වටහා ගැනීමේ දුෂ්කරතාවයයි.


සියම් භික්ෂූන් ලංකාවට පැමිණි සමයේ සංඝයා තුළ පැවති ජීව ගුණයේ බලපෑම මුල් උපසම්පදා කර්ම තුළ දැකිය හැකි වූ බවත් මේ නිසා එම යුගයේ දැඩි ලෙස කුල බහිෂ්කරණවාදයට නොඇලුන බවත් මලල්ගොඩ ඔහුගේ කෘතියේ සඳහන් කරයි. සරණංකර හිමියන්ගේ සිලවත් සමාගමේ බොහෝ ශිෂ්‍යයන් ගොවිගම නොවන කුල වලට අයත් වූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එම යුගයේ උපසම්පදාව ලබා ගැනීමට ද සමත් වූහ. සරණංකර හිමියන්ගේ පහතරට ශිෂ්‍යයන් වන සිටිනාමළුවේ ධම්මජෝති හිමියන් සහ වේහැල්ලේ ධම්මදින්න හිමියන් යන දෙදෙනා මෙහිදී ප්‍රමුඛ බව මලල්ගොඩ සඳහන් කරයි. සිටිනාමළුවේ හිමියන් දුරාව කුලයටත්, වේහැල්ලේ හිමියන්  නැකැති කුලයටත් අයත් වූ බවට මලල්ගොඩ තොරතුරු ගෙනහැර දක්වයි. මෙහි ඇති වැදගත් සමාජීය කරුණ නම් පහතරට එනම් බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වල බොහෝ සියම් නිකායික විහාරස්ථාන වල සඟ පරපුර ආරම්භ වන්නේ සිටිනාමළුවේ ධම්මජෝති සහ වේහැල්ලේ ධම්මදින්න යන හිමිවරුන්ගෙන් ඇරඹෙන වර්තමානයේ පහතරට වේහැල්ලේ සඟ පරපුර යැයි හඳුන්වන සඟ පරපුරෙනි. කරතොට ධම්මාරාම හිමියන් අයත් වන්නේ ද සිටිනාමළුවේ සහ වේහැල්ලේ හිමිවරුන්ගේ ශිෂ්‍ය පරපුරටය. රුහුණු රට පැතුරුණ අනෙක් සඟ පරපුර වන්නේ සරණංකර හිමියන්ගේ ශිෂ්‍යයෙක් වන වටරක්ගොඩ ධම්මපාල හිමියන්ගෙන් ඇරඹී විකාශනය වන මුල්කිරිගල සඟ පරපුරය. පසුකලෙක අමරපුර නිකාය බිහි කිරීමේ ලා මුල් වන වැලිතර අඹගහවත්තේ ඥානවිමලතිස්ස හිමියන් පැවිදි කරගත් එහිමියන්ගේ ගුරුවරයා වන බෝවල ධම්මානන්ද හිමියන් වටරක්ගොඩ ධම්මපාල හිමියන්ගේ සහ නලගම මනිරතන හිමියන්ගේ ශිෂ්‍යයෙකි.(සිටිනාමළුවේ සහ වේහැල්ලේ හිමිවරු මෙන් වටරක්ගොඩ හිමියන් ද ගොවිගම නොවන කුල පසුබිමකින් යුක්ත බව සඳහන් වන අතර මෙම තිදෙනාම සරණංකර හිමියන්ගේ සිලවත් සමාගමට බැඳීමට පෙර පහතරට ගණින්නාන්සේ හෝ ගණවොලීන් ලෙස සිටි බව වෙනත් මූලාශ්‍ර දක්වයි.) නමුත්, මෙම විවෘතභාවය බොහෝ කල් නොපැවතුණ බව සඳහන් කරන මලල්ගොඩ සංඝ සංස්ථාපිතය වරප්‍රසාදිත, ආයතනගත තත්වයට පසුබැස ගිය බව දක්වයි. එක් අවධියක දී සංඝ සංස්ථාව තුළ රැඩිකල් පරමාදර්ශ අනුගමනයේ ලා පෙරමුණ ගත් සිල්වත් සමාගම එම පරමාදර්ශ කෙරේ කැපවීම තුනී වී ගොස් සම්මත සංස්ථාවක් බවට පිරිහෙළීම දේශපාලන ආර්ථික මෙන්ම සමාජ ඓතිහාසික පසුබිමක පිහිටා වටහා ගැනීමට මලල්ගොඩ ගෙනහැර දක්වන විග්‍රහය සහ සාක්ෂි වැදගත්ය. උඩරට පහතරට සබඳතාවය සහ එය බිඳ වැටීම මෙන්ම පසු කලෙක කුල සාධකයේ නැගීම අවබෝධ කරගත යුත්තේ හුදෙකලා සිදුවීම් ලෙස නොව මෙම පසුබිම තුළ බව නොකිවමනාය. මලල්ගොඩගේ කියැවීම ඒ සඳහා මහෝපකාරී වනු ඇත.

1. සලාගම බලයේ මූලස්ථානය වන වැලිතර ප්‍රදේශය සමග උඩරැටියන්ගේ සම්බන්ධය පෘතුගීසි, ලන්දේසි යුග තරම් ඈතට දිවේ. බොහෝ අර්බුද අවස්ථාවල දී කුරුඳු තලන්නන් කැරලිවලට පොළඹවා, උඩරටට පලා යාමට උපකාර කිරීම උඩරට වඩා සටන්කාමී කණ්ඩායම් වල සාමාන්‍ය භාවිතයක්ව පැවතුණ බව මලල්ගොඩ තොරතුරු දක්වයි. දෙපාර්ශවය අතර තියුණු ගැටුම් සමයේ, සතුරාගේ ප්‍රධාන ආදායම් මාර්ගය අඩපන කිරීමේ අරමුණෙන් මෙම භාවිතය උනන්දුවෙන් අනුගමනය කළ බව ඔහු වැඩිදුරටත් දක්වයි. මලල්ගොඩ මෙහිදී  ලන්දේසි   මූලාශ්‍ර ආශ්‍රයෙන් මතුකරන වැදගත් කරුණ නම් 1760-61 අර්බුද සමයේ දේශපාලන සහ ආර්ථික සාධක වලට අමතරව ආගමික සාධක ද දායක වූ බව පැහැදිළිව පෙනුන බවය. එනම් උඩරැටියන් විසින් ලන්දේසීන්ට එරෙහිව නැගී සිටීමට ජනයා පොළඹවමින් ප්‍රචාරයේ නියැලීමට වැලිතරට එවන ලද නියෝජිතයන් දෙදෙනා භික්ෂූන් දෙදෙනෙකි. පසු කලෙක අමරපුර නිකාය බිහිවන මෙම වැලිතර ප්‍රදේශය 18 වන ශතවර්ෂයේ මැද උඩරට රාජධානියේ ඇති වන ආගමික පුනර්ජීවනය සමග එක්තරා අයුරකින් ආසන්න සහ සෘජු සම්බන්ධයකට බැඳෙන ප්‍රදේශයක් බව මලල්ගොඩගේ නිරීක්ෂණයයි.( අමරපුර නිකායේ නිර්මාතෘ වැලිතර ඥානවිමලතිස්ස හිමියන් පැවිදි කරගත් බෝවල ධම්මානන්ද හිමියන් මල්වතු විහාරයේ සෘජු නියෝජනයක් බව සඳහන්ය.)


2. පහත රට ගොවිගම කුලයට අයත්වන බොහෝ භික්ෂූහු පවා උඩරට රාජධානියේ මෙන් වංශවත් ස්ථරයට අයත් නොවූහ. එමෙන්ම පහතරට ගොවිගම කුලයේ ඉහළ මට්ටමේ කණ්ඩායම් යටත් විජිත ආණ්ඩු යටතේ පරිපාලන තනතුරු හෙබවූ අතර එම නිසා බොහෝ විට නාමිකව පමණක් වුවත් ක්‍රිස්තියානිය පිළිගැනීමට සිදුවිය. ඔවුන් බොහෝ දෙනෙක් බෞද්ධ භික්ෂූන් සමග සබඳකම් පවත්වමින් ඔවුන්ගේ ආගමික ලේඛන කටයුතු වලට අනුග්‍රහ දැක්වුවත් ආගමික කටයුතු වලට බැඳීමට උනන්දුවක් නොදැක්වූයේ ඔවුනට රජයේ තනතුරු, වරප්‍රසාද අහිමි වී යාමට ඉඩ තිබුණු නිසා බව මලල්ගොඩගේ අදහසයි. බොහෝ පහතරට විහාරස්ථාන දේපළ හිමි ඒවා නොවූ අතර පහත රට භික්ෂූන්ට තම ශීල ශ්‍රද්ධාව සහ සමාජ ගරුත්වය පවත්වා ගැනීමේ  හැකියාව මත රඳා පැවතීමට සිදු වූ බව මලල්ගොඩ සිහිපත් කරයි. මීට වෙනස්ව උඩරට භික්ෂූන්ට පවුල් සමාගමය සහ විහාරස්ථාන දේපළ තුළින් එම තත්වය ලැබී තිබුණි. එමනිසා, මලල්ගොඩ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වැලිවිට සරණංකර සමයේ ආරම්භ වූ ආගමික, සාහිත්‍ය පුනර්ජීවනය උඩරට රාජධානිය තුළට වඩා ඉන් පිටත බොහෝ කලක් පැවතීම පුදුමයට කරුණක් නොවන බවයි. තවද, බොහෝ පහත රට භික්ෂූන්ට තම ආගමික පෙළපත ලැබුණේ ගොවිගම නොවන සිටිනාමළුවේ හිමියන්ගෙන් වන අතර දේපළ හිමි වැඩවසම් ප්‍රභූවරයෙක් නොවීම නිසා තම ඥාති පරපුරක් ඔස්සේ සංඝ සංස්ථාපිතය චිරස්ථායී කිරීමට ඔවුන්ගේ සැළකිල්ලක් නොවීය. එමනිසා ඔවුන් පුළුල් සමාජ පරාසයක ශිෂ්‍යයන්  පැවිදි   කරගත් අතර ඔවුන්ගේ ශිෂ්‍යයන් අතර ගොවිගම නොවන සාමනේරවරු ද වූහ.


3. සලාගම, කරාව සහ දුරාව කුල පහත රට ජනගනයේ සැළකිය යුතු නියෝජනයකි. මෙම බොහෝ කුල උඩරට රාජධානිය තුළ ඉහළ ගරුත්වයක් නොඉසිලු බවට තොරතුරු මලල්ගොඩ ඔහුගේ කෘතියේ දක්වයි. නමුත් වෙරළබඩ පළාත් වල පෘතුගීසීන් සහ ලන්දේසීන් යටතේ ඔවුන් කුල ධුරාවලියේ ඉහළට නැගුන බවත් මේ සඳහා ඔවුන් යම් යම් ප්‍රදේශ වලට ගොනු වී සිටීම හේතු වූ බවත් ඔහු පෙන්වා දෙයි. එමෙන්ම යටත් විජිත පාලනය යටතේ ගොවිගම ප්‍රධානීන්ගේ අධිකාරීත්වයෙන් නිදහස් වීමට ලැබීම ද ඒ හා සමානව වැදගත් වූ බව ඔහු දක්වයි. උඩරට රාජධානිය තුළ ගොවිගම නොවන කුල සඳහා ඔවුන්ගේම මුලාදෑනීන් සිටිය ද ඔවුන්ගේ කුල රාජකාරී ඉටු කිරීම වෙනුවෙන් ඔවුන් අයත් වූ බද්දෙ හෝ දෙපාර්තමේන්තු පාලනය වූයේ ගොවිගම ප්‍රධානීන් යටතේය. රජුට සේවය කිරීමට අමතරව මෙම ගොවිගම ප්‍රධානීන්ගෙන් නියෝග ලැබීමටත්, ඔවුන්ට සේවය කිරීමටත් මෙම ජනයාට සිදුවිය. පහත රට දී ද මෙම තත්වය කුල ධුරාවලියේ කුඩා, පහළ කුල සම්බන්ධයෙන් පැවති බව මලල්ගොඩ දක්වයි. සුවිශාල සහ ආර්ථික වශයෙන් වඩා වැදගත් කුල සම්බන්ධයෙන් ගත් කල යුරෝපීයෝ ඔවුන් සෘජුව තම පාලනය යටතට ගත් අතර එමගින් ගොවිගම ප්‍රධානීන්ට තිබූ බැඳීම් වලින් ඔවුන් නිදහස් කළහ. මෙම තත්වය තුළ මෙම කුල ගොවිගම ප්‍රධානීන්ට වඩා යුරෝපීයන්ට විශ්වාසදායකව සේවය සැපයීම තුළින් තම තත්වය උසස් කර ගැනීමට කෙටි මගක් උපයාගත් බව මලල්ගොඩ පෙන්වා දෙයි. එවැනි සේවා දේශපාලන හා ආර්ථික වශයෙන් අමිල හෙයින් පාලකයන් විසින් ගරු නම්බු නාම ප්‍රධානය කිරීමෙන් ධෛර්යමත් කරනු දැකගත හැකි විය. මේ තාක් මෙම ගරු නම්බු නාම ප්‍රධානය සාම්ප්‍රදායිකව ගොවිගම කුලයේ ඒකාධිකාරයන් ව තිබීම විශේෂය. ඩොයිලිගේ සටහන් උපුටමින් මලල්ගොඩ පෙන්වා දෙන ආකාරයට “කරාව, දුරාව, සලාගම සහ වෙනත් කුල වල මුදලිවරු බිහි වී ඇති අතර පල්ලැක්කි තුළ ගමන් කිරීමේ පුරුද්දක් එහි ඇත.”


4. සලාගම, කරාව, දුරාව යන මෙම කුල අතරින් ලෞකික මෙන්ම ආගමික තලයන් හි දී ගොවිගම ඒකාධිකාරයට ප්‍රථමයෙන් අභියෝග කළ කුලය වන්නේ සලාගම කුලය බව මලල්ගොඩ පෙන්වා දෙයි. කුරුඳු දෙපාර්තමේන්තුව හෙවත් මහබද්දට බැඳී සිටීමත්, එහි ආර්ථික වැදගත් කම නිසාත් පෘතුගීසීන් සහ ලන්දේසීන් යටතේ උසස්ම තත්වයට නැගීමට හැකි වූ අතර එම දෙපාර්තමේන්තුවේ වැදගත් කම වර්ධනය වන තත්වය තුළ එම කුලයේ බලතල හා වරප්‍රසාදයන් ද නැගුණි. පණිවිඩකාර ඛණ්ඩයට අයත් වූ  සලාගම මුලාදෑනිවරුන්ට විශේෂයෙන්ම ඉහළ පාරිතෝෂිකයන් ලැබුණ අතර ඔවුනට ලැබුණ මෙම ප්‍රධානයන් අතර පරිපාලනයේ ඉහළ නිලයන්, විශාල නඩත්තු ඉඩම්, මිලිටරි පරිවාරකයන්, පටබැඳි නාම සහ රන් පදක්කම් ඇතුළත්ය. නව නිකායක සාර්ථකත්වයට ධනවත් අනුග්‍රාහකයන් අවශ්‍ය වූ අතර මෙම කර්තව්‍යය ඉටු කිරීම සඳහා සලාගම මුලාදෑනි වරු ඉදිරිපත් වූ බව මලල්ගොඩ සඳහන් කරයි. අමරපුර නිකායේ ආදීකර්තෘවරයාට බුරුමයට ගොස් උපසම්පදාව ලබා ගැනීමට සලාගම, කරාව සහ දුරාව කුල වල ධනවතුන් සහ බලවතුන් උපකාර කල අතර නව විහාරස්ථාන වැඩි වැඩියෙන් ඉදි කරනු දක්නට ලැබුණි. මෙලෙස 19 වන ශතවර්ෂයේ මුල අමරපුර නිකාය සාර්ථක අයුරින් බිහිවීම ශාසන ඉතිහාසය තුළ අද්විතීය සිදුවීමක් බව මලල්ගොඩ ඔහුගේ කෘතියේ දක්වා සිටියි. නව නිකාය උඩරට රජුගේ හෝ දේශපාලන අධිකාරීත්වයේ අනුග්‍රාහකත්වය මත රඳා නොපැවතුන අතර ප්‍රාදේශීය ගිහි අනුග්‍රාහකයන්ගේ උපකාර මත රඳා පැවතුණි.


උඩරට හා පහත රට ප්‍රදේශ තුළ මෙන්ම ප්‍රදේශ අතර ඇතිවන දේශපාලන, සමාජ විපර්යාස විසින් උද්ගත කරන ලද තත්වයන් හමුවේ මෙම බිඳී යාම හෝ පහත රට නව ආරම්භයක් ඇතිවීම නොවැළැක්විය හැකිව තිබූ බව මලල්ගොඩගේ කෘතියේ අත්දැකීමෙන් උගත හැකි කරුණකි. උඩරට කුල බහිෂ්කරණය පිළිබඳ සාධකය නොසළකා එය විය හැකිව තිබූ බව පෙනේ. කෙසේ නමුත් මලල්ගොඩ පෙන්වා දෙන ආකාරයට  අමරපුර භික්ෂූන් විසින් ඇති කළ මෙම නව පුනර්ජීවන ගුණය 19 වන ශත වර්ෂයේ අග භාගයේ ක්‍රිස්තියානි මිෂනාරීන් සමග වාද වල පටලැවීමට ඔවුන් යොමු කළේය. 19 වන ශත වර්ෂයේ අග භාගයේ බ්‍රිතාන්‍ය මිෂනාරි සංවිධාන වලට ප්‍රතිරෝධය දැක්වීමට පහත රට භික්ෂූන්ට ශක්තිය ලැබෙන්නේ එම ශත වර්ෂයේම මුල් භාගයේ සංඝ සංස්ථාපිතය අභ්‍යන්තරය තුළ ඇති වන මෙම වෙනස්කම් තුළින් උත්පාදනය වන ප්‍රබලතාව නිසා යන්න මලල්ගොඩගේ තර්කයයි. මෙම යුගය අනෙක් ආගම් කෙරේ වූ උත්ප්‍රේක්ෂා සහගත වූ සාම්ප්‍රදායික ආකල්පය යුදකාමී ප්‍රතිරෝධයක් බවට  පරිවර්තනය වන යුගයක් බව මලල්ගොඩ පෙන්වා දෙයි. මෙය බෞද්ධ සංඝ සංස්ථාපිතය නූතන ව්‍යපෘතියේ තර්කණය හා පටලැවීම පිළිබඳ ආරම්භක සංධිස්ථානය බව මලල්ගොඩගේ කෘතිය ඇසුරෙන් අවබෝධ කරගත හැකි කරුණකි. උඩරට ප්‍රදේශ වල විද්‍යමාන වූ, යටත් විජිතවාදයට එරෙහි සාම්ප්‍රදායික, අඩු තාර්කණික බවින් යුතු ප්‍රතිචාරය ලෙස මලල්ගොඩ දකින්නේ ‘සහශ්‍රක ආඛ්‍යාන’ ( Millennial Episodes ) වේ.  නූතන බුදුදහමේ බිහිවීමේ මෙම සංධිස්ථානය පිළිබඳ ඩෙවිඩ් ස්කොට් පවසන ආකාරයට ” මෙයට හේතුව වන්නේ ඔවුන්ගේ සාම්ප්‍රදායික  භූමිතලය   ක්‍රමානුකූලව නව  භූමිතලයකින් විස්ථාපනය වෙමින් පැවතීමය.” මෙම නව  භූමිතලය   නියත වශයෙන් පැරණි විකල්ප නිෂ්ඵල දායක බවට පත් කළ බව ස්කොට් පෙන්වා දෙයි. ක්‍රිස්තියානිය සහ බුද්ධාගම අතර එදිරිවාදී ඝට්ටනය හට ගනිමින් තිබුණේ යටත් විජිත බලය එවැනි ආරවුලක් ගොඩ නැගීමට, ඒ සමග ගණුදෙනු කිරීමට සහ බේරුම් කර ගැනීමට හැකි පරිදි සමාජ දේශපාලන තලයම අත්‍යයන්තයෙන් පරිවර්තනයට ලක් කරමින් තිබුණ නිසා බව ස්කොට් තර්ක කරයි. මලල්ගොඩගේ කෘතිය මෙම නූතන බුද්ධාගමේ මතුවීම පිළිබඳ එක් ආඛ්‍යානයකි.

පරම විඥානාර්ථවාදය ගැන සඳහන් කරමින් මලල්ගොඩ පෙන්වා දුන්නේ ලංකාව තුළ එය ආරම්භ වූයේ සහ වර්ධනය වූයේ බහිර්ජන්‍ය ව්‍යාපාරයක් ලෙසට නොව  පැරණ ස්වදේශීය ව්‍යාපාරයක තවත් අවධියක් ලෙස බවයි. ‘බෞද්ධ පරම විඥානාර්ථවේදය’ තුළම සුළු පරම විඥානාර්ථවේදයක් තිබුණ බව ඔහුගේ අදහසයි. එතුළ බුද්ධාගමේ දායකත්වය වැඩි බව ඔහු පවසයි. කෙසේ නමුත් එම බුද්ධාගම සාම්ප්‍රදායික ආකාරයේ බුද්ධාගම නොවන බවත් එම ආකාරය ප්‍රොතෙස්තන්ත බුද්ධාගම යැයි හඳුන්වන ආකාරය බව ඔහු පවසයි. මලල්ගොඩ ඔහුගේ තර්කය ගොඩ නගන ආකාරයෙන් පහසුවෙන් පෙනී යන්නේ ඔහුගේ කෘතිය ප්‍රති යටත් විජිත පඨිතයක් බව යැයි ඩේවිඩ් ස්කොට් තර්ක කරයි. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය එහි ආරම්භය සම්බන්ධයෙන් පරමවිඥානාර්ථවේදයට එනම් ඕල්කට්ට ණය ගැතිය යන අදහස පිළිබඳ එය තියුණු විවේචනයක් බව ස්කොට් පෙන්වා දෙයි. මීට වෙනස්ව මලල්ගොඩ තර්ක කරන්නේ පරම විඥානාර්ථවේදය ලංකාව තුළ සාර්ථකත්වයට හේතු වූයේ ඒ වන විටත් ආරම්භ වී තිබුණු පුනර්ජීවන ව්‍යාපාරය සහ එහි පෙරමුණ ගත් භික්ෂූන් (මොහොට්ටිවත්තේ ගුණානන්ද සහ හික්කඩුවේ සුමංගල ) නිසා බවයි. මේ අනුව ඩේවිඩ් ස්කොට් පවසන්නේ මලල්ගොඩගේ කෘතිය යුරෝකේන්ද්‍රීයවාදය පිළිබඳ අති දක්ෂ ලෙස පරිකල්පිත විචාරයක් බවයි; එනම් යුරෝපීය නොවන අයගේ කතෘභාවය යටපත් කර, ඉතිහාසයේ කේන්ද්‍රීය විෂයීයා ‘බටහිර’ බවට පත් කිරීමට උත්සාහ කරන යටත් විජිත ආඛ්‍යාන පිළිබඳ විචාරයකි.

මතු සම්බන්ධයි


David Scott,    Formations of Ritual: Colonial and Anthropological Discourses on the Sinhala Yaktovil

David Scott,  ‘Religion in Colonial Civil Society’ in  Refashioning Futures: Criticism After Post Coloniality

Gananath Obeyesekere,  ‘Great Tradition and the Little in the Perspective of  Sinhalese Buddhism’

Kitsiri Malalgoda,  ‘Sinhalese Buddhism: Orthodox and Syncretistic. Traditional and Modern ‘1972                                         

Kitsiri Malalgoda, Buddhism in Sinhalese Society 1750-1900 A Study Of Religious Revival and Change                                           

Kitsiri Malalgoda, The Buddhist Christian Confrontation in Sri Lanka,

Kitsiri Malalgoda, ‘Mandarampura Puvata. An Apocryphal Buddhist Chronicle in The Anthropologist and the Native (ed)H.L. Seneviratne

Sarath Chandrasekere A Personal Memoir: Dr. Kithsiru Malalgoda, The Island, December 14, 2019

අජිත් තල්වත්ත, ‘බෞද්ධ උරුමය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ ගණින්නාන්සේලාගේ පරපුර’ දිවයින – 2016/08/24 

පොළොම්මාරුවේ හේමසිරි හිමි (සංස්කාරක ) රුහුණු සංඝ සංවිධානය (මෑත යුගය ) 1990

(මහාචාර්ය එච්.එල්. සෙනෙවිරත්න, මහාචාර්ය රංජිනී ඔබේසේකර සහ චන්ද්‍රා මලල්ගොඩ බණ්ඩාරනායක මහත්මියට ස්තුතිය.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )