ආර්ථික සංවර්ධනය ගැන මිසදිටු මත කිහිපයක් – ජී.වී. ඇස් ද සිල්වා

ජී. වී. එස්. ද සිල්වා 1956 මහජන එක්සත් පෙරමුණු රජයේ කෘෂිකර්ම අමාත්‍ය පිලිප් ගුණවර්ධනගේ පෞද්ගලික ලේකම්වරයා වූ අතර 1957 දී එම අමාත්‍යාංශය පළ කල කෘෂිකාර්මික සැලැස්ම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීමක් දැරූ පුද්ගලයා විය. අඳ ගොවිතැනේ සහ අඳ ගොවීන්ගේ අයිතීන් රැකීමට ගෙනා කුඹුරු පනතේ කෙටුම්පත සම්පාදනය කළේ ඔහුය. එතැන් පටන් ඔහු ගැමි කෘෂිකර්මය සහ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් සැළකිල්ලක් දැක්වීය. මෙම පොත් පිංච සමස්ථ ආර්ථික සංවර්ධනය නම් සංදර්භය තුළ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ ගැටලුව පිහිටුවා සාකච්ඡා කරයි. ජී. වී. එස්. ද සිල්වා මෙහිදී තර්ක කරන්නේ ආර්ථික සැලසුම්කරණ ක්‍රියාදාමයේ මූලික තැන් මාරුවක් උදෙසාය. එනම් නගරයේ සිට ග්‍රාමීය ප්‍රදේශ වලට මූල්‍ය සහ තාක්ෂණික ආදී සියලු සම්පත් හරවමින් නාගරික නැතහොත් ඊනියා නූතන ආර්ථිකය ග්‍රාමීය ආර්ථිකයට යටත් කිරීම පිළිබඳවයි.

ඔහු ඔහුගේ යෝජනා න්‍යායික මූලධර්ම දෙකක් මත පිහිටුවයි.එනම්(1) ආර්ථිකයේ ඌණ සංවර්ධනය ග්‍රාමීය නිෂ්පාදන බලවේග වල අවවර්ධනයේ ප්‍රතිඵලයක් වන අතර එමනිසා අසමාන වෙළඳ අනුපාතය තුළින් නාගරික අංශයට ග්‍රාමීය ආර්ථිකය සූරාකෑමට ශක්තිය දෙන වර්තමාන නිෂ්පාදන සබඳතා හටගෙන තිබේ. (2) ලෝක ආර්ථික තත්වයන් සැළකිල්ලට ගැනීමේදී, නාගරික කේන්ද්‍රීය මෙන්ම විදේශ තාක්ෂණය, ප්‍රාග්ධනය සහ වෙළඳ පොළවල් මත පදනම් වූ ආර්ථික සංවර්ධන පරිශ්‍රමයන් රට දරුණු පරායත්ත තත්වයකට පත් කරනවා පමණක් නොව අවසානයේ බිඳ දමයි. එවැනි සංවර්ධන රටාවක් වෙනුවට ජී. වී. එස් ද සිල්වා තර්ක කරන්නේ සාමූහික පදනමකින් ග්‍රාමීය ප්‍රජාවන් යළි සංවිධානය කිරීම සහ ප්‍රාග්ධනය සහ තාක්ෂණය මුසු කිරීම තුළින් ගැමි ජනයාගේ යටපත් වූ උත්පාදක ශක්තීන් මුදා හැරීය හැකි පදනමකින් ග්‍රාමීය නිෂ්පාදන බලවේග සංවර්ධනය කිරීම වෙනුවෙන්ය.

මාක්ස්වාදියෙක් වූ ජී. වී. එස්. ද සිල්වා කලක් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් වු අතර න්‍යායික හේතු මත ඉන් ඉවත් විය. ඔහු ආනන්ද විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලබා ලංකා විශ්ව විද්‍යාලයෙන් 1948 දී ආර්ථික විද්‍යාව සඳහා උපාධිය ලබා ගන්නේ රන් පදක්කමක් ද සහිතවය. එමෙන්ම ලන්ඩන් ස්කූල් ඔෆ් එකොනොමික්ස් හි ද අධ්‍යාපනය ලබන ඔහු සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සමාරම්භකයෙකි.

අප පහත පළ කරන්නේ ජී.වී. ඇස් ද සිල්වා රචනා කළ Some Heretical Thoughts on Economic Development ( 1973, Lake House Investment Ltd. ) නම් කෘතියේ සිංහල පරිවර්තනය යි. එය පරිවර්තනය කළෝ සුසිල් සිරිවර්දන හා ඥාණසිරි ගුණරත්න යි. ආතර් පී. වීරසේන සහාය විය. මෙය, සිහලෙන් පළ කරන ලද්දේ මාවත ප්‍රගතිශීලී සංස්කෘතික ප්‍රකාශනයෙහි 17 -20 (1981)  දක්වා කලාප වලය. 

මෙම සටහන The Alternatives: Socialism or Barbarism ඇසුරිනි

ආර්ථික සංවර්ධනය ගැන මිසදිටු මත කිහිපයක්  රචනය PDF පිටපත පහත කියවන්න.