භූමිතෙල් මිල වැඩිවීම: ග්‍රාමීය හා නාගරික පරිධිය ගිනි තැබීම 

දේවක ගුණවර්ධන සහ අහිලන් කදිරගාමර්

ආණ්ඩුව ග්‍රාමීය හා නාගරික බෙදුම හරහා වැඩකරන ජනතාව මත විනාශකාරී ප්‍රහාරයක් දියත් කර ඇත. භූමිතෙල් මිල රු. 87 සිට රු. ලීටරයක් රුපියල් 340 දක්වා – හෝ පවතින මිල දළ වශයෙන් හතර ගුණයකින් – වැඩි කිරීම මිනිසුන්ගේ ජීවනෝපායන් කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරනු ඇත. තම බෝට්ටු සඳහා භූමිතෙල් මත යැපෙන ධීවරයින්  වඩාත්ම දැඩි ලෙස පීඩාවට පත් වූවන් අතර වේ. එහෙත් තම ගොවිපළවලට ජලය සැපයීම සඳහා භූමිතෙල් භාවිතා කරන කුඩා ගොවීන් සහ ආහාර පිසීමට භූමිතෙල් මත යැපෙන නාගරික දුප්පතුන් ද එසේ වනු ඇත.

මෙම වැඩිවීම “පිරිවැය ප්‍රතිසාධන බලශක්ති මිලකරණය” ක්‍රියාවට නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි නිර්දේශයන්ට අනුකූල වන බවට සැකයක් නැත. එහෙත් පසුගිය වසරේ රසායනික පොහොර තහනම් කිරීමේ විනාශකාරී තීරණයට බෙහෙවින් සමානව භූමිතෙල් මිල ඉහළ යාමත් ග්‍රාමීය හා නාගරික පරිධිය ගිනිබත් කරනු ඇත. වැඩ කරන ජනතාව ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේද?

2021 පොහොර තහනම දකුණේ රාජපක්ෂ බලකොටුවල පෙර නොවූ විරූ විරෝධතා උත්තේජනය කිරීමට සමත් වී නම්, භූමිතෙල් මිල ඉහළ නැංවීමට දක්වන ප්‍රතිචාරය එකට හමුවී නව මානයන් ලබා ගැනීමට ඉඩ ඇත. පසුගිය මාස කිහිපය තුළ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කළ මහා කැරැල්ල වට කර ගත් නාගරික තරුණයින් විසින් අර්ධ වශයෙන් මෙහෙයවන ලද නැගිටීම් කෙරෙහි ය. භූමිතෙල් මිල ඉහල දැමීමේ පැහැදිලි පන්ති ස්වභාවය අරගල වලට නැවුම් ජවයක් සපයනු ඇත.

මෑත අතීතයේ දී, උදාහරණයක් ලෙස, 2012 දී, භූමිතෙල් 49% වැඩි කිරීම ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කරන ලද ඉන්ධන මිල ඉහළ දැමීම්, ධීවර ප්‍රජාව තුළ සටන්කාමී විරෝධතාවලට තුඩු දුන් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය මර්දනය සහ විරෝධතාකරුවෙකු ඝාතනය කිරීමද සිදුවිය. පසුකාලීනව, මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පසුපසට යාමට බල කෙරුණි. මීට අමතරව, පසුගිය වසර අරගල මගින් ජනතා විඥානය නව තලයකට ඔසවා ඇති අතර නීත්‍යානුකූල නොවන ආණ්ඩුවලට එරෙහි ප්‍රතිරෝධය සඳහා ජාතික පිබිදීමක් නිර්මාණය කර ඇත. භූමිතෙල් මිල ඉහළ දැමීමේ ඇඟවුම් නොතේරෙන ඕනෑම ආණ්ඩුවක් සෙල්ලම් කරන්නේ ගින්දර සමඟ ය.

පන්තිය සහ භූමිතෙල්

භූමිතෙල් මිල වැඩි කිරීම ගම්බද ප්‍රදේශ විශේෂයෙන් ගිනි දැල්වීමට සමාන වන්නේ මන්දැයි තේරුම් ගැනීමට, එය කාවැදී ඇති එදිනෙදා ජීවනෝපායන් අප විසින් ග්‍රහණය කර ගත යුතුය. එක් උදාහරණයක් ගතහොත්,  යාපනයේ ධීවරයෙක් සාමාන්‍යයෙන් පිටත මෝටරයකින් ක්‍රියාත්මක වන කුඩා ෆයිබර්ග්ලාස් බෝට්ටුවකින් මුහුදට යාමට සහායකයකු බඳවා ගනී. ඔවුන් අර්ධද්වීපයේ ආරම්භ කරන ස්ථානය අනුව දිනකට භූමිතෙල් ලීටර් 30 සිට 40 දක්වා ප්‍රමාණයක් භාවිතා කළ හැකි අතර, ඔවුන් දූපත් වලින් පිටත වෙරළ ආසන්නයේ මසුන් ඇල්ලීම සිදු කරන්නේ නම් ලීටර් 10 කට නොඅඩු ප්‍රමාණයක් භාවිතා කළ හැකිය. ඔවුන් සාමාන්‍යයෙන් ගෙවීම් ආවරණය කිරීම සඳහා ආදායම් මාර්ග හතරකට බෙදයි; එක් එක් ධීවරයෙකු සඳහා එක් කොටසක් බැගින්, භූමිතෙල් සඳහා තවත් කොටසක්, ඉන් පසුව බෝට්ටුව භාවිතය, දැල් සහ ඒවායේ ක්ෂය වීමේ පිරිවැය

සඳහා අවසාන කොටස වශයෙනි.  ඒ අනුව භූමිතෙල් මිල හතර ගුණයකින් ඉහළ යන විට ඔවුන්ගේ ජීවනෝපාය පවත්වාගෙන යාම ප්‍රායෝගිකව කළ නොහැකි තත්ත්වයකට පත්වන බව අපට දැකිය හැකිය.

එහි ප්‍රතිඵලය ග්‍රාමීය ආර්ථිකයට වන බලපෑම විනාශකාරී වීමට ඉඩ ඇත. පසුගිය වසරේ පොහොර තහනම නිසා දැනටමත් ආහාර නිෂ්පාදනය අඩාල වී ඇත. පසුගිය වසර පුරා සිදු වූ අනෙකුත් සියලුම මිල ඉහළ දැමීම් සහ හිඟයන් ඉක්මවා, ආර්ථික ජීවිතයට සහභාගී වීමේ මූලික හැකියාව සඳහා භූමිතෙල් මත යැපෙන අයට මෙම නවතම මිල ඉහළ යාම බඩට වැදුණු දරුණු පහරකි. ඉලක්කගත සහනාධාර සහ සහන හරහා මිල ඉහළ දැමීම් පාලනය කළ හැකි බවට ආන්ඩුව සහ නව ලිබරල් සංස්ථාපිතය තර්ක කරනු ඇති බවට සැකයක් නැත. නමුත් වැඩකරන ජනතාවත්, නිසැකවම ධීවර ජනතාවත් අතීතයේ බොහෝ වාරයක් අසා ඇති මෙම රැවටිල්ලට හසු නොවනු ඇත. හිඟය කියමින් මාස තුනකට ආසන්න කාලයක් භූමිතෙල් ලබා නොදී, තව තවත් බලය තහවුරු කරගැනීමෙන් පසු මිල වැඩි කිරීමට උත්සාහ කර එය පැනවීමට අවසන් මොහොත දක්වාම බලා සිටීමේ ආණ්ඩුවේ කූට උපාය භූමිතෙල් භාවිත කරන සැමට සරල සහ පැහැදිලිය.

එහෙත් විවිධ ජන සමූහයකට එතරම්ම අත්‍යවශ්‍ය භාණ්ඩයක් සඳහා, වැඩ කරන ජනතාවගේ ජීවනෝපායන් සඳහා එහි මූලික කාර්යභාරය නොසලකා හරින අක්‍රමවත් හෝ වෙනත් ආකාරයකින් ආවට ගියාට කරන  පැවරීම් සමඟින්,  මිල වැඩිවීමේ ප්‍රතිවිපාක පාලනය කළ නොහැක. ප්‍රතිපත්ති සම්පාදකයින් වඩාත් අවදානමට ලක්වූවන් පිළිබඳ ඔවුන්ගේ පටු නිර්වචනය සමඟින් අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා මිල ඉහළ දැමීමේ ආර්ථිකය පුරාවටම සිදුවන ප්‍රතිවිපාක අවබෝධ කරගන්නා බව නොපෙනෙන්නේය යන කරුණෙන් අදහස් වන්නේ නිෂ්පාදනය සහ ඉල්ලුම යන දෙඅංශයෙන්ම ඇති විය හැකි විනාශකාරී බලපෑම පිළිබඳව ඔවුන් අන්ධව සිටින බවයි. මෙම නොදැනුවත්කම බොහෝ ආකාරවලින් සිහිපත් කරන්නේ අභාවයට ගිය රාජපක්ෂ ආණ්ඩුවේ උඩඟුකම සහ එය රසායනික පොහොර තහනම් කිරීමට එක රැයකින් ගත් තීරණයයි.

ජනතා ප්‍රතිචාරය

මෙම මිල ඉහල දැමීම්වල බලපෑම් ප්‍රතිචාරයක් ඇති කරනු ඇත. එම ප්‍රතිචාරය කෙබඳු වේදැයි යන්න අවිනිශ්චිත විය හැකිය. එහෙත් ගම්බද හා නාගරික පරිධියේ මිනිසුන්ගේ කෝපය සොච්චම් සහන ගැන කතා කිරීමෙන් පාලනය කළ හැකි යැයි සිතන ඕනෑම අයෙකු දැඩි ලෙස ව්‍යාකූල කෙනෙකි. තවත් ව්‍යසනයක් සිදුවීම වැළැක්විය හැකි එකම ආකාරයේ ප්‍රතිපත්තිය වන්නේ ග්‍රාමීය ප්‍රතිනිර්මාණය සඳහා ආයෝජන සහ සහාය වැඩි කිරීම සඳහා දිගුකාලීන සැලසුම් සක්‍රීයව නොනැවත කරගෙන යන  අතරම, සහනා මිලට භූමිතෙල්, ඉන්ධන, සහ අනෙක් උපයෝගිතා භාණ්ඩ සැපයීම යි. ඊට ප්‍රතිවිරුද්ධව, පිරිවැය ප්‍රතිසාධන බලශක්ති මිලකරණය හෝ මිල ඉහළ දැමීම් විනාශකාරී බලපෑමක් ඇති කරනු ඇත.

භූමිතෙල් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලනය තුළ ආර්ථික බිඳවැටීම අපට දැකගත හැකි මඟයි. මේ වසරේ ආර්ථිකය 8% කින් හැකිලෙන බව මහ බැංකු අධිපතිවරයාම පිළිගෙන තිබේ නම්, දුක්විඳින ජනතාවකට තවත් ආර්ථික වේදනාවක් ඇති කිරීමට කිසිවෙකු සිතන්නේ පවා කෙසේද යන්න සැබවින්ම තේරුම්ගත නොහැකිය. වෙළඳපල පැහැදිලිවම අසාර්ථකයි. වෙළඳපල පිළිගත හැකි සමතුලිතතාවයකට ස්වයංක්‍රීයව හැඩගැසෙනු ඇතැයි සිතන ඕනෑම අයෙකු ධනවාදයම අවසානයකටම පාහේ  ගෙන ආ 1930 ගනන්වල මහා අවපාතය ගැන කේන්ස් හරහා අප ඉගෙන ගත් සියලුම පාඩම් ඉවත දමයි.

අද ශ්‍රී ලංකාවේ ආන්ඩුවට ග්‍රාමීය හා නාගරික වැඩකරන ජනතාව සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල ඉතා දරුණු ලෙස ඉහල දැමීමට හැකිවීය යන කරුණ, භූමියේ යථාර්ථයෙන් එහි මූලික විරසකය පිලිබිඹු කරයි. මෙය එහි දිගුකාලීන පැවැත්ම සඳහා යහපත් නොවේ. ඒ වෙනුවට එය ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව සලකුණු කළ අසංවේදී ප්‍රවේශය අපට මතක් කර දෙයි. රාජපක්ෂගේම සහයෝගය මෙතරම් වේගයෙන් කඩා වැටිය හැකි නම්, දැනටමත් දුක් විඳිමින් සිටින ජනතාවට කම්පන ප්‍රතිකාරයක් ලබා දිය හැකි යැයි සිතන්නේ නම්, වත්මන් පරිපාලනය නික්ම යාමට සූදානම් විය යුතුය. පැහැදිලිවම ප්‍රධාන සහ ක්ෂණික ගමන් මග නිවැරදි කිරීමකින් පමණකි, තවදුරටත් ව්‍යසනය වැළැක්විය හැක්කේ. 

භූමිතෙල් මිල ඉහළ දැමීම තමන්ගේම ජීවිතවලට කරන බලපෑම පිළිබිඹු කරන කෝපයෙන් වැඩකරන ජනතාව ප්‍රතිචාර දක්වන විට පාලක ප්‍රභූවට දොස් පැවරීමට සිදුවනු ඇත්තේ තමන්ටම පමණි.

(දේවක ගුණවර්ධන දේශපාලන ආර්ථික විද්‍යාඥයෙක් සහ ස්වාධීන පර්යේෂකයෙක් වෙයි. අහිලන් කදිරගාමර් දේශපාලන ආර්ථික විද්‍යාඥයෙක් සහ යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වෙයි.)

(මෙම ලිපිය 2022 අගෝස්තු 23 වැනි දින Kerosene Price Hike: Setting the rural and urban periphery on fire මැයෙන් ft.lk පළ කරන ලදී.)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s