අපි වෙමු ලෝකය, අපි වෙමු දරුවෝ

අලාන් ෆින්කල්ක්‍රෝත් 

( The Defeat of the Mind  ( මනසේ පරාජය ) කෘතියේ සිවුවැනි කොටස )

බූට්ස් සපත්තු කූට්ටමක් ශේක්ස්පියර්ගේ නාට්‍යයක් තරම් වටියි

තුන්වන ලෝකයේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන අය යුරෝපීය ජාතීන් බහු සංස්කෘතික සමාජයන් බවට පත් විය යුතු යැයි පෙනී සිටින්නේ තනිවම නොවේ. පශ්චාත් නූතනත්වයේ අනාගතවක්තෘවරුන්ටද එම අරමුණම තිබේ. එහෙත් පළමුවැන්නා බටහිර අහංකාරය හමුවේ සියලු සම්ප්‍රදායන්හි සමානාත්මතාවය ආරක්ෂා කරන අතර, දෙවැන්නා සංස්කෘතික මූලයන් සෙවීම අභියෝගයට ලක් කරයි, පළමු කොටම, ඒ වෙනුවට සියලු ජනතාවන්ගේ,  කරකැවිල්ල ඇති කරවන සුළු ද්‍රවතාවය පවත්වා ගෙන යමින්.

“පශ්චාත් නූතනවාදී සමාජ ක්‍රියාකාරිකයෝ පළමුව කලා ලෝකයේ පහළවුණු මතියකින් තම අදහස් ලබා ගනිති. සම්ප්‍රදාය වෙනුවට සාරසංග්‍රහවාදය ආදේශ කරන ඔවුහු, තමන් පශ්චාත් නූතනවාදීන් ලෙස හඳුන්වාගන්නා ගෘහ නිර්මාණ ශිල්පීන් සහ චිත්‍ර ශිල්පීන් දරා සිටි මූලධර්ම තම ජීවිත වලට යොදා ගනිති. එක් තනි ශෛලියක් ඉල්ලා සිටිනු වෙනුවට, ඔවුහු විවිධ ශෛලීන් බද්ධ කරති. ස්ථාපිත ශාස්ත්‍රාලය හෝ නව සොයා ගැනීම යන දෙකින් එකක් සමඟ එක් මඟකට පිලිපන්වීමේ සාහසික තේරීම ප්‍රතික්ෂේප කරති. සම්භාව්‍ය හෝ, නව-රැල්ල (avant garde ඇවා’ගාඩ්) අතර හෝ බූර්ෂුවා හෝ බොහීමියානු අතර හෝ තීරණයක් ගන්නවාට වඩා ඔවුහු අතිශයින්ම විසදෘශ සහ අස්ථිර පන්නකාමයන්, අතිශයින්ම ප්‍රතිවිරෝධාත්මක අනුප්‍රාණයන් එකට බද්ධ කරති. කුමන හෝ සමීප විශ්වාස පද්ධතියකින් නිදහස්ව ඔවුහු එක් දෙයකින් තවෙකකට පහසුවෙන් සරති: චීන අවන්හලක සිට බටහිර ඉන්දීය රාත්‍රී සමාජ ශාලාවකට, කුස්කුස් වල සිට කසුලා වලට [ මේ දෙකම, වෙනස්, කෑම වර්ග ය, දෙවැන්න මස් සහ බෝංචි ඉස්ටුවකි, පළමුවැන්න සෙමොලිනා වලින් හදාගන්නා උතුරු අප්‍රිකානු අහරකි. – පරිවර්ථක ], ශාරීරික ව්‍යායාම සඳහා හෙමින් දිවීමේ සිට ආගමට, සාහිත්‍යයේ සිට සැහැල්ලු ග්ලයිඩරයක අතින් එල්ලී පියාසර කිරීමට.

“ ප්‍රීතීවන්න ” යන්න මෙම ආකාරයේ සුඛ-පරමවාදයේ,ආදි යුග රංජනය සහ ස්වයං විවේචනයත් දෙකම ප්‍රතික්ෂේප කරන ජීවන ආකාරයක ආදර්ශ පාඨය යි. පශ්චාත් නූතනවාදයේ අනුගාමිකයන් සිහින දකින්නේ ජනයා තම සංස්කෘතික අනන්‍යතාවල සුවසේ වසන අව්‍යාජ සමාජයක් පිළිබඳව නොව, බහුරූපී එකක්, බහුවර්ණිත පුද්ගලයින්ට ඉන් තෝරාගැනීමට බොහෝ ජීවන ආකාරයන් ඇති විෂමජාතීය ලෝකයක් පිළිබඳ ය. අනෙකුන්ගේ වෙනස්කම් වලට ප්‍රවේශය ලබාගැනීමට ඇති අයිතිය ප්‍රවර්ධනය කිරීමට වඩා, වෙනස්ව සිටීමට ඇති අයිතිය නඟා ලීමට ඔවුන් තුළ උනන්දුව ඇත්තේ අඩුවෙනි. බහුසංස්කෘතිකවීම යන්නෙන් ඔවුනට අදහස් වන්නේ මනාපයන් ගබඩාවකි. සංස්කෘතීන් ඒවායේ සමස්ථයෙන්ම, සංස්කෘතීන් ලෙසින්ම අගය කරනවා වෙනුවට, තමන්ට ටික වේලාවක් අත්හදා බැලිය හැකි, රස බැලිය හැකි සහ භුක්ති විඳිය හැකි, ඉන් පසුව ඉවතදැමිය හැකි නන් වැදෑරුම් දේ දෙස බලන්නට ඔවුහු වඩා කැමැත්තෝය. පවත්නා සම්ප්‍රදායයන් සුරකින්නන් නොව ඒවායේ පාරිභෝගිකයන් වන ඔවුහු, විවිධත්වය හමුවේ, දැඩි සහ යල්පැන ගිය මතවාදයන්ගෙන් එල්ලවන කුමන හෝ බාධකයකට උග්‍ර ලෙස විරුද්ධත්වය පාති.

ධනවත් සමාජයන්හි නිදහසේ ආශාවන්හි ගැලෙන්නට ඉඩ සළස්වනු ලැබූ දරුවෝ, බටහිර විවේචනයට ලක්කරන්නන් හා එකට එකතුවී මෙසේ ප්‍රකාශ කර සිටිති. “සියලුම සංස්කෘතීන් එකහා සමානව සුජාතය; හැම දෙයම සංස්කෘතික වන්නේය.” නමුත් ඔවුන්ගේ තනි හඬ ඔවුන් බොහෝ වෙනස් ආස්ථාන දරන බව වසන් කරයි. දහනවවන සියවසේදී රුසියානු ජනතාවාදීන් විසින් ප්‍රථම වරට ප්‍රකාශ කරන ලද කලාවට හා චින්තනයට එරෙහි කෑ මොර ගැසීම නිර්-යටත් විජිතකරණයේ දර්ශනය විසින් භාරගෙන ඇත:”බූට්ස් සපත්තු කූට්ටමක් ශේක්ස්පියර්ගේ නාට්‍යයකට වඩා වටියි.” මෙම බූට් සපත්තු අවාසනාවන්තයන්  සීතලෙන් ආරක්ෂා කිරීමෙහි ලා  එලිසබෙතියානු නාට්‍ය වලට වඩා හොඳ පමණක් නොව, ඒවා සදාචාරාත්මකව ද උසස් ය: ඒවා බොරු නොකියයි. බූට්ස් සපත්තු තමන් කුමක්ද ඒ දෙය වෙයි: විශේෂිත සංස්කෘතියක නවීන නිෂ්පාදන. ඒවා තම සම්භවය භක්තිමත් ලෙස සඟවමින්, සෑම කෙනෙකුටම ඒවාට ගරු කිරීමට බල කරමින්, නිල කලා කෘති ලෙස ව්‍යාජව පෙනී නොසිටියි.ඉතින් ඔවුන්ගේ නිහතමානිකම පිළිබඳ හැඟීම ආදර්ශයක් ලෙස සේවය කළ යුතුය: කලාවට ප්‍රයෝගකරුවෙකු ලෙස ඉතිහාසගත වීමට අවශ්‍ය නැතිනම්, එය ෂේක්ස්පියර්ට පිටුපා බූට් සපත්තු ජෝඩුවට හැකි තරම් සමීප විය යුතුය.

පින්තාරු කිරීම සම්බන්ධයෙන් ගත් කල, ලුහුවාදීන් (minimalists)  අභියෝගයට ප්‍රතිචාර දක්වා ඇත්තේ නිර්මාණාත්මක ඉඟි  අහෝසි කිරීමෙනි, එදිනෙදා ජීවිතයේ වස්තූන් හා ද්‍රව්‍ය වලින් වෙන් කොට හඳුනාගත නොහැකි කෘති කෞතුකාගාරවල ප්‍රදර්ශනය කිරීමෙනි. එම එකම දෙය සිදු කිරීම සඳහා ලේඛකයන් ජනතාවගේ හඬ ප්‍රකාශ කරන “වඩා අඩු” සාහිත්‍ය ආකෘතීන්ගේ සම්භාව්‍ය කෘතීන් අනුගමනය කළ යුතු අතර, ශෛලියේ ප්‍රවීණතාවය ව්‍යාජ ලෙස අත්පත් කර ගැනීමෙන් අන් අයගෙන් වෙන් වූ, තමන්ගේ ප්‍රතිභාව තුළ හුදකලා වූ, පුද්ගලයා පමණක් ප්‍රකට කරන ශුද්ධ වූ පාඨග්‍රන්ථ ප්‍රතික්ෂේප කළ යුතුය. ලේඛකයන් බිහිසුණු ආකාරයේ තපස් වතකින්, දියුණු, ඊනියා සංස්කෘතික බවට පත් වූ කතුවරුන් විඳින පීඩාවෙන් නිදහස් විය යුතුය. බූට් සපත්තු යුගලක සංස්කෘතික සරල බව සාක්ෂාත් කර ගැනීම සඳහා, වරප්‍රසාද ලත් සමාජවල හැදී වැඩුණු අය, එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවල වැසියන්ට වඩා දිගු ගමනක් යා යුතුව තිබේ.නමුත් බිය නොවන්න.

ශ්‍රේෂ්ඨ සාහිත්‍ය සම්ප්‍රදායක් ඇති රටක උපත ලැබීමේ අවාසනාවන්තභාවය ඇති තැනැත්තාට පවා ජර්මානු භාෂාවෙන් ලියන චෙක් යුදෙව්වෙකු මෙන් හෝ රුසියානු භාෂාවෙන් ලියන උස්බෙක් ජාතිකයෙකු මෙන් [අධිපති] භාෂාව භාවිතා කිරීමට බල කෙරෙයි; බල්ලෙක් වලක් හාරන්නාක් මෙන්, එසේ නොමැතිනම් මීයෙක් බෙනයක් හාරන්නාක් මෙන්. මේ අනුව, යමෙකු තමාගේම ඌන සංවර්ධිත ලක්ෂ්‍යය, තමන්ගේම සුවිශේෂ කටවහර (patois), තමාගේම වන සුවිශේෂ වාළුකාව සොයා ගැනීම අවශ්‍ය වේ.(Deleuze and Guttari, Kafka: Towards a Minor Literature)

පශ්චාත් නූතන චින්තනය තුළ තර්කය වෙනස් ය. වියරුවෙන් හැසිරෙන ශුන්‍යවාදය නිසා “ලියර් රජු” හි කතුවරයාත්  චාර්ල්ස් (Z)ජෝර්ඩා (Charles Jourdan, ප්‍රංශ මෝස්තර සැළසුම් ශිල්පියෙකි – පරිවර්ථක)එක හා සමානව ඉහලින් අගය කිරීමට හැකි වේ.ඒවා විශිෂ්ට සැළසුම්කරුවෙකුගේ නම දරා සිටින තාක් කල්, බූට්ස් සපත්තු කූට්ටමක් ෂේක්ස්පියර්ගේ නාට්‍යයක් තරම් වටියි. මෙයට අනුකූලව, සිත් ඇදගන්නාසුළු ආදර කතාවක් අලංකාර පින්තූර සමඟ ඒකාබද්ධ කළ විකට චිත්‍ර තීරුවක් නබොකොව්ගේ නවකතාවක් තරම් වටියි; මෙම කුඩා ලොලිටාවරු ලොලිටා හා සමාන ය; දක්ෂ වෙළඳ දැන්වීම් කෑල්ලක් අපාලනෙර් (Apollinaire) හෝ ෆ්‍රන්සිස් පොන්ජ් (Francis Ponge) ගේ කවියක් තරම් වටියි; රොක් ගීතයක රිද්මය, ඩියුක් එලිංටන් (Duke Ellington) ගේ තනුවක් තරම් ; ලස්සන පාපන්දු තරඟයක්, පිනා බවුෂ් (Pina Bausch) ගේ මුද්‍රා නාට්‍යයක් තරම් ; විශිෂ්ට කාන්තා ඇඳුම් මසන්නෙකු, මැනේ (Manet), පිකාසෝ (Picasso), හෝ මයිකලැන්ජලෝ (Michelangelo) තරම් ;”ජීවිතය ගැන,” සමකාලීන ඔපෙරාවක් — “ සංගීත වීඩියෝවක්, වෙළඳ ප්‍රචාරණ තාල පුංඡයක් (jingle), බහුමාධ්‍ය දැන්වීම් පුංඡයක් (spot)” ( Jacques Séguéla)  තරම් — මූලික වශයෙන් වර්ඩි (Verdi) හෝ වාග්න (Wagner)ගේ සංගීතය තරම් වටියි. පාපන්දු ක්‍රීඩකයා සහ නර්තන රචකයා, සංගීතඥයා සහ රොක් තරුව ( rock star)යන සියල්ලෝම එකම ආකාරයෙන් නිර්මාණශීලී කලාකරුවන්ය. කලාකරුවා යන පටබැඳි නම යම් පුද්ගලයන් සඳහා පමණක් වෙන් කර අනෙක් සියල්ලන්ම උප සංස්කෘතික කාණ්ඩයකට පහත හෙළන ශාස්ත්‍රාලීය අගතීන් වෙත එල්ලී සිටීම අප නතර කළ යුතුය.

අපි ෂේක්ස්පියර්ගේ ඔද බිඳිනවා වෙනුවට, බූට් සපත්තු සාදන්නා උසස් බවට පමුණුවන්නෙමු. සාමාන්‍ය මිනිසුන් විසින් සෙවණැලිවල දිනපතා රඟ දක්වනු ලැබෙන සාමාන්‍ය ක්‍රියා මට්ටමට එය අඩු කරමින්, අපි උසස් සංස්කෘතිය නොකෙලෙසන්නෙමු. ඊට ප්‍රතිවිරුද්ධව, ක්‍රීඩා, විලාසිතා, විවේක ක්‍රියාකාරකම් වලට සංස්කෘතියේ දොරටු බලෙන් විවෘත කිරීමට අපි ඉඩ සලසා ඇත්තෙමු. සංස්කෘතීන් (මනසේ ජීවිතය) සංස්කෘතික දෙය (දෛනික සිරිත් විරිත්) තුළට පලිගන්නාසුළු  හෝ ස්වපීඩාකාමී ලෙසින් උරාගැනීම, සෑම පරිචයක්ම ශ්‍රේෂ්ඨ මානව නිර්මාණයන් හි ශ්‍රේණිය දක්වා ඉහළ නංවන කිසියම් ආකාරයක ප්‍රීතිමත් ව්‍යාකූලත්වයකින් ප්‍රතිස්ථාපනය කරනු ලැබ ඇත. 

වචන එකම ඒවා විය හැකිය, නමුත් පශ්චාත් නූතන සිතුවිලි විජිතකරණයේ දර්ශනයෙන් සම්පූර්ණයෙන්ම කැඩී වෙන්වී ඇත. තුන්වන ලෝකයේ මිනිසුන්ගේ ආරක්ෂකයින් තමන්ව දකින්නේ, මානවවාදීන් සහ වාර්ගික හා සංස්කෘතික සංශුද්ධතාවයේ අනුගාමිකයින් කරන ආකාරයට, ඒකාධිපති යුගයක සැනසිය නොහැකි  වැන්දඹුවන් ලෙසය.  හර්ඩර් ( Herder) සිට ලෙවි-ස්ට්‍රවුස් (LeviStrauss)දක්වා වන ඔවුන්ගෙන් සමහරුන්ට මිනිසුන්ට ඔවුන්ගේ නැතිවූ නිල ඇඳුම් නැවත ලබා දීමට අවශ්‍යයි; ග’ත (Goethe)  සිට රෙනාන්  ( Renan) දක්වා වන අන් අය මිනිසුන්ට ඇඳුම් ගලවා ගැනීමට ආරාධනා කරන්නේ ඔවුන් වහාම වෙනත් නිල ඇඳුමකට සීමා කිරීමට පමණි: සම්ප්‍රදායට අභියෝග කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද, එය එහි තැනට සංස්කෘතියේ අවිවාදිත අධිකාරිය පත් කිරීමට මඟ පෑදීමට පමණක් හේතු වන්නේ නම්?  පුද්ගලයන් ඔවුන්ගේ විශේෂිතතාව තුළ අගුලු දමන බැරෙස් (Barres)  වැනි කෙනෙකු සහ සියලු මිනිසුන්ට එකම, සම්භාව්‍ය කෘතීන් පිළිබඳ පූජාවිධමය පාඨමාලාවක් නියම කරන බෙන්ඩා (Julien Benda) අතර, ඔවුන් කොතැනක සිට පැමිණියද යන්න අදාළ නැත, ප්‍රගතිය කොහිද? 

නව පරමාදර්ශී ආකෘතියක් හඳුන්වා දෙමින්, පශ්චාත්-නූතන වාර්ගික විරෝධීවාදය බෙන්ඩා, බැරෙස් සහ ලෙවි-ස්ට්‍රවුස් විලාසිතාවෙන් ඉවතට තල්ලු කරයි, ඔවුන් තිදෙනාම බහු සංස්කෘතිකමය පුද්ගලයා විසින් ප්‍රතිස්ථාපනය කරමින්.

අනන්‍යතාවය පිළිබඳ සංකල්පය අතිශයින් සංකීර්ණ බවට වැඩී ඇත. අපගේ මූලයන් පාසැලේදී ඉගෙනුම ලැබූ මොන්ටේන් ( Montaign) වෙත, මුරොව්ස් (Mourous ලිපි සම්පාදක )  සහ රූපවාහිනියට, ටුරේ කුන්ඩා ( Toure Kunda, සෙනෙගාල් සංගීත කණ්ඩායමකි) වෙත, රෙගේ (reggae)  සංගීතයට, රෙනාෙඩ් සහ ලවිලියෙ (Renaud and Lavilliers ප්‍රංශ ජනප්‍රිය ගායකයන් ) වෙත ආපසු යයි.  අපට අපගේ සංස්කෘතික ආශ්‍රේයයන් (references) නැති වී ඇත්දැයි බැලීමට අවශ්‍ය නැත, මන්ද අපට විවිධ ආශ්‍රේය ලක්ෂයන් රාශියක් ඇති බැවිනි. භාෂණයේ සහ සිතීමේ නිදහසට ගරු කරන  කරන, මංසන්ධියේ සිටින රටක ජීවත් වීමට අපට වාසනාව තිබේ. අපට සංස්කෘතික ආශ්‍රේයයන් යනු, සම්මිශ්‍රණයකි, සම්ප‍්‍රදායන් ගේ දෙමුහුම් අභිජනනයකි. (Harlem  Désir) 

ඔබට අනතුරු ඇඟවූ බව සලකන්න: ව්‍යාකූල චින්තනය අනිතිභීතිකාවෙන් කිසිවෙකු ආරක්ෂා නොකරන බව ඔබ විශ්වාස කරන්නේ නම්; ඔබ පළමු අගයන් මාලාවක් පවත්වා ගැනීම අවධාරනය කරන්නේ නම්; විශදකිරීම් නොකරන අයගේ ජයග්‍රහණයට ඔබ සෘණාත්මකව ප්‍රතිචාර දක්වන්නේ නම්; Essays (රචනා) හි කතුවරයා රූපවාහිනී පෞරුෂයක් සමග එකම සංස්කෘතික ගණයට දැමීම ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නම්; ආත්මය (spirit) අවදි කිරීමට නිර්මාණය කරන ලද භාවනාවක් එය මොට කිරීමට කරන ලද සංදර්ශනයක් හා සමාන ආකාරයෙන් දැකීම ප්‍රතික්ෂේප කරන්නේ නම්; ඔවුන්ගෙන් එක් අයෙකු සුදු සහ අනෙකා කළු වුවද, ඔබ බේතෝවන් සහ බොබ් මාලේ සමාන කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්,එවිට ඔබ පීඩා කරන්නන් ගේ සහ අධෛර්යය කරන්නන්ගේ පැත්තේ බලාපොරොත්තු කඩවන පරිද්දෙන් පෙළ ගැසේ. ඔබ සදාචාර ධර්ම යුද්ධගාමියෙකු වන අතර ඔබේ ආකල්පය තුන් වතාවක් වැඩියෙන් සාපරාධී වේ: 1) උග්‍රචාරදියෙකු (puritan)ලෙස, ඔබ ජීවිතයේ සියලු සැප සම්පත් වලට බාධා කරයි. 2) පරමබලධාරියෙකු ලෙස,ඔබ ගිගුරුම් දෙයි, වෙන වෙනම ඇණවුම් කළ හැකි තේරීම් සහිත (a la carte) ආහාර ලැයිස්තුවකට පක්ෂවෙමින්,  ඔබගේ, නිශ්චිත මිලකට කල් තබා නියමිත ආහාර වේලක් (prix fixe)සහිත ලැයිස්තුව ප්‍රතික්ෂේප කරන අයට එරෙහිව — ඔබට ඇත්තේ එකම ප්‍රාර්ථනාවකි: ඒ මානව ස්වාධිපත්‍යය කරා යන ගමන නතර කිරීමයි. 3) අවසාන වශයෙන්, ඔබ වර්ගවාදීන් සමඟ, මිශ්‍රකිරීම පිළිබඳ භීතිකාවක් සහ වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාසයක් හවුලේ බෙදා ගනී. දෙවැන්නට විවෘතව සහාය දෙනවා වෙනුවට, ඔබ කලින් කී දෙයට විරුද්ධ වෙයි.

පශ්චාත් නූතන චින්තනයට අවශ්‍ය වන්නේ කුමක්ද? ප්‍රබ්‍රද්ධත්වයට අවශ්‍ය දේමය:මිනිසා ස්වාධීන කිරීමට, ඔහුට වැඩිහිටියෙකු ලෙස සැලකීමට, සමස්තයක් වශයෙන් ගත් කල, කාන්ට් මෙන් කතා කිරීමට, ඒ සඳහා ඔහුම වගකිව යුතු ඔහුගේ ළමා වියේ තත්වයෙන් ඔහුව ඉවත් කිරීමට. පශ්චාත් නූතනවාදයේ පර්යාලෝකයෙන් ගත් කල, කාලය ගත කිරීමේ වෙනත් ක්‍රමවලට වඩා බුද්ධිමය ක්‍රියාකාරකම් උසස් යැයි ශ්‍රේණිගත කිරීම නැවැත්වූ දිනට,ඔවුන් මනසේ ජීවිතය ධාවන පථයේ ඔට්ටු ඇල්ලීමෙන් හෝ ‘රොක් ඇන්ඩ් රෝල්’ සංගීතයට සවන් දීමෙන් නොවෙනස්ව සලකා බැලීමට පටන් ගන්නා විට මිනිසුන් වැඩිහිටියන් වීමේ දිශාවට තීරණාත්මක පියවරක් ගනු ඇත.ස්වාධිපත්‍යයේ නව යුගයට ප්‍රවේශ වීම සඳහා, අපි අධිකාරීවාදයේ  කාලපරිච්ඡේදයේ සිට දිවෙන සියලුම බැඳීම් දැන් අපට විවෘතව ඇති බොහෝ විකල්පයන් බවට හැරවිය යුතුය.

ප්‍රභූත්වවාදය සතුරා ලෙස පවතී, නමුත් වචනයේ අර්ථය සෙළෙන් ආපසු හැරවී ඇත. ජූල්ස් ෆෙරී (Jules Ferry,ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික සහ රිපබ්ලිකානු දාර්ශනික – පරිවර්ථක) ප්‍රසිද්ධ අධ්‍යාපනය සඳහා කළ දේ අපි සංස්කෘතිය වෙනුවෙන් කළ යුතුයි,“ යැයි ප්‍රකාශ කිරීමෙන් ආන්ද්‍රෙ මල්රූ (Andre Malraux) ඉපැහැදිළිවම තමා බුද්ධි ප්‍රබෝධයේ  සම්ප්‍රදාය තුළ ස්ථාන ගත කළ  අතර මානව වර්ගයාගේ ශ්‍රේෂ්ඨ කෘති පිළිබඳ දැනුම සාමාන්‍යකරණය කිරීමට උත්සාහ කළේය;

ආන්ද්‍රෙ මල්රූ

අද ෆ්ලෝබෙයර්ගේ පොත්, පාප්ප නවකතා, රූපවාහිනී වැඩසටහන් සහ එමා බොවරිගේ සමකාලීන අවතාරයන්ගෙන් මත් වූ භාවාතිශය චිත්‍රපට සමඟින් සාමකාමී විවේක ලෝකයට තල්ලු කරනු ලැබ ඇත.

ප්‍රභූවාදී (එබැවින් නොඉවසිය හැකි) වීම යනු තවදුරටත් මිනිසුන්ට සංස්කෘතිය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ කරුණක් නොව, තමා හමුවට එන ඕනෑම ආකාරයක අවධානය වෙනතකට යොමු කිරීමක් සඳහා “සංස්කෘතික” ලේබලය යෙදීම ප්‍රතික්ෂේප කිරීමයි. අප ජීවත් වන්නේ, සත්‍යයක් හෝ බොරුවක් නැති, ඒකාකෘති හෝ නව නිපැයුම් නැති, කමනීය හෝ අවලක්ෂණ කිසිවක් නැති, නමුත් වෙනස් හා සමාන සුඛ වේදනාවන්ගේ අනන්ත වර්ණ ඵලකයක් ඇති,හැඟීම් වලින් සැදුණු කාලයක ය. ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙන් අදහස් කෙරුණේ සංස්කෘතිය ට සෑම කෙනෙකුටම ප්‍රවේශ විය හැකි බවයි; දැන් එයින් ගම්‍ය වන්නේ සෑම කෙනෙකුටම තමන් තෝරා ගන්නා සංස්කෘතියට (හෝ මේ මොහොතේ එන ඕනෑම පෙළඹීමක් සංස්කෘතික ලෙස හඳුනා ගැනීමට) අයිතියක් ඇති බවයි.

“මට කිරීමට අවශ්‍ය දේ මට කිරීමට ඉඩ දෙන්න.” (André Bercoff) ඓතිහාසික හෝ නියෝජනාත්මක නොවන කිසිදු අතිරෝහණක අධිකාරියකට පශ්චාත් නූතන විෂයයන් මත තම මනාපයන් බලෙන් පැනවිය නොහැක, ඔවුන්ගේ ක්‍රියාවන් ආණ්ඩු කළ නොහැක. ජීවිතයට සහ රූපවාහිනිය සඳහා දුරස්ථ පාලක බොත්තම් සපයනු ලැබ ඇතිව, ඔවුහු සාම්ප්‍රදායික ධුරාවලීන්ගෙන් තවදුරටත් බියට පත් නොවී සන්සුන් ආත්මයකින් යුතුව තම වැඩසටහන් ක්‍රියාත්මක කරති. ඔබ ඔබ විසින්ම තවදුරටත් ලැජ්ජාවට පත්නොවන විට ඔබ නිදහස ලබා ඇති බව ඔහු පවසන විට නීට්ෂේ අදහස් කරන අර්ථයෙන් නිදහස්, පශ්චාත්-නූතන විෂයයන්ට (subjects)  සියල්ල අත් හැරදමා  ක්ෂණික සතුට විඳීම් වලට යටත් විය හැකිය. රිම්බාඩ් (Rimbaud ප්‍රංශ කවියෙකි – පරි.) හෝ රනවු (Renaud ප්‍රංශ ගායක, ගීත රචක සහ නළු – පරි. ), ලවීනස් (Levinas ප්‍රංශ දාර්ශනික – පරි. ) හෝ ලවියෙර් (Lavillers ප්‍රංශ ගායක, ගීත රචක සහ නළු – පරි.), ඔවුන් කුමක් තීරණය කළත්, ඔවුන් කරන තේරීම සංස්කෘතික ය.

සිතීම නොමැතිකම [la non-pense] ඇත්ත වශයෙන්ම සෑම විටම මනසේ ජීවිතය සමඟ සහජීවනයෙන් පැවතී ඇත, නමුත් යුරෝපීය ඉතිහාසයේ එම  දෙකම එකම නම (සංස්කෘතිය) බෙදාගෙන එකම තරාතිරමක් භුක්ති විඳින පළමු අවස්ථාව මෙයයි. “උසස් ” සංස්කෘතිය පිළිබඳ විශ්වාස කරන සහ එම වෙනස හඳුනා ගැනීමට එඩිතර අය වර්ගවාදීන් හෝ ප්‍රතිගාමීන් ලෙස හැඳින්වේ.

අපි පැහැදිලිව දකිමු: සංස්කෘතිය සංස්කෘතික දේ තුළට දියකර හැරීම බුද්ධිමය හා කලාත්මක වැඩකටයුතු අවසානයකට ගෙනැවිත් නැත. ජනයා දහස් ගණනින් විශිෂ්ට කෘති බිහි කළ ස්වර්ණමය යුගයක් ගැන කාංසාමයව වැලපීම අවශ්‍ය නොවේ. අතිකුලතාව තරම් පැරණි, මෙම අරුත් සුන් වදන් මානව වර්ගයාගේ අධ්‍යාත්මික ජීවිතයේ ආරම්භය දක්වා දිව යයි. නමුත් මෙවර අප හමුවේ ඇති ගැටලුව වෙනස් හා වඩා බරපතල ය: කෘති පවතියි, නමුත් සංස්කෘතිය සහ විනෝදාස්වාදය අතර මායිම බොඳ කරනු ලැබ ඇත. මෙම කලා කෘති භාර ගැනීමට සහ ඒවාට අර්ථය ලබා දීමට තවදුරටත් ස්ථානයක් නොමැත. මේ අනුව ඒවා ඛණ්ඩාංක හෝ ආශ්‍රේය ලක්ෂ්‍යයන් නොමැතිව අභ්‍යවකාශයේ විකාර සහගත ලෙස පාවී යයි. සංස්කෘතියට වෛර කිරීමම සංස්කෘතික බවට පත් වූ පසු, මනසේ ජීවිතයට සියලු වැදගත්කම අහිමි වී යයි. 

උල්රිච් පළමු වරට අති දක්ෂ තරඟ දුවන අශ්වයෙකු ගැන ඇසූ විට, මියුසිල් (Musil ඔස්ට්‍රියානු ලේඛක ) ගතිගුණ නොතිබූ ඔහු, තම අභිලාෂයන් සදහටම අත්හැරියේය. මෙය 1913 දී වූ අතර, උල්රිච් බුද්ධිමතුන්ගේ ලෝකයට සම්බන්ධ වීමේ අභිලාෂයන් ඇති බලාපොරොත්තු දැනවූ තරුණ විද්‍යාඥයෙකු විය. නමුත් තව දුරටත් කරදර වන්නේ මන්ද?

තමා සිරගතව සිටි තරුණ අවධියේදී, ගැහැණුන් සහ අශ්වයන් ගැන හැර අන් කිසිවක් ගැන මිනිසුන් කතා කරන බවක් උල්රිච් අසා තිබුණේ නැත. ඔහු ඒ සියල්ලෙන් පලා ගොස් තිබුණේ ශ්‍රේෂ්ඨ මිනිසෙකු වීමටය. ඉන්පසුව, විවිධ දේවල් රාශියක් සාධනය කිරීමෙන් පසු, ඔහු තම ඉලක්කය කරා ළඟා වන බව ඔහුට දැනුණු මොහොතේම, අශ්වයා පළමුකොට එතැනට පැමිණ පහළ සිට ඔහුට ආචාර කළේය. (Robert von Musil, The Man Without Qualties

ඔහුගේ වීරයාට වඩා රැඩිකල් බවින් අඩු ව , මියුසිල් “ The Man without Qualtites” ( ගුණාංග රහිත මිනිසා ) කෘතියෙහි පළමු වෙළුම් දෙක ලිවීය. පෙනෙන පරිදි, ඔහු ගේ නොපසුබස්නා උත්සාහයට  තිලිණ පිරිනමනු ලැබ ඇත. ඔහුගේ ප්‍රාඥභාවය ගැන කිසිවෙකු තවදුරටත් ප්‍රශ්න නොකරයි. වසර ගණනාවක් තිස්සේ මිය ගොස් අමතක වී ඇති ඔහු දැන් ප්‍රදර්ශනවල විද්‍යාමාන වෙයි, ඔහුගේ කෘති නව සංස්කරණ වලින් එළියට එයි, විද්වතුන් ඔහුව අධ්‍යයනය කරයි, මේ සියල්ල ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යයේ අවසන් වසර සඳහා අද ජනයා තුළ ඇති ආකර්ෂණයේ කොටසක් ලෙස ය.

එහෙත් — මෙයයි ඉතිහාසයේ උත්ප්‍රාසය— උල්රිච්ගේ චරිතය විසින් මතු කරන ලද අශුභවාදය ඔහුගේ නිර්මාතෘ අනුස්මරණය කරන ආකාරය මගින් සනාථ වේ. ගයි ස්කාර්පෙටා (Guy Scarpetta) සඳහන් කළ පරිදි, විසිවන ශතවර්ෂයේ මෙම අග භාගයෙන් දකිනු ලැබෙන පරිදි, වියානා ශෛලිය, “යම් ආකාරයක මට්ටම් කිරීමක්, සඥානාම එක පිට එක සමතලා කිරීමක් — ‘වියානාව’’ සමජාතීය කුට්ටියක් ලෙස ඉදිරිපත් කිරීමට පිරිනැමීම මගින් සංලක්ෂිත වේ.” විසිතුරු නිසරු කලාවේ සිට අධිරාජ්‍යයාගේ පැති රැවුල දක්වා, ෆ්‍රැන්ට්ස්-ජෝසෆ් (Frantz-Josef) හා සම්බන්ධ ඕනෑම දෙයක් ගෞරවයට පාත්‍ර වේ. ප්‍රසිද්ධ අවිචක්ෂණශීලී ලබ්ධියක්, The Man Without Qualities  සහ ස්ට්‍රවුස් ගේ වෝල්ට්ස් නැටුම් සඳහා වූ සංගීත රචනා.අපි වියානා තුළ අපේම ව්‍යාකූලත්වයේ අපේක්ෂිත ප්‍රතිරූපයට ආදරය කරමු. ජයග්‍රහණය කරනු ලැබීමෙන් අනතුරුව, මියුසිල් විසින් හෙළා දකින ලද, නව ආත්මය, කතුවරයාට ගාම්භීර උපහාරය පුද කරයි.

ශාප ලත් කවියන් තවදුරටත් නැත. සියලු ආකාරයේ බැහැර කිරීම් වලට ආසාත්මික වෙමින්, සංස්කෘතියේ ප්‍රමුඛ දැක්ම එක් අතකින් ෂේක්ස්පියර් සහ මියුසිල් (Musli) අතරත් අනෙක් අතින් බූට්ස් සපත්තු සහ තරඟ දුවන අශ්වයන් අතරත්, වෙනස අහෝසි කරයි.ඔවුහු/ එවා සියල්ලන්ම එක හා සමානව අගය කෙරෙති.

පාරිභෝගික මහරජු

කෙසේ වෙතත්, අද වේදනාකාරී ලෙස හිඟ ගුණාංග අතීතයේ බහුලව තිබුණි යැයි නොසිතිය යුතුය. කිසිදු දහනව වන ශතවර්ෂයේ ධනේශ්වරයෙකු කිසි දිනෙක,අශ්වයකු තරඟයට දිවවීම “උත්කර්ෂවත්”  ලෙස හැඳින්වීම හෝ බූට් සපත්තු කූට්ටමක අලංකාරය වර්ණනා කරනු ලැබීම නොකරනු ඇතිව තිබුණි. එහෙත් එසේ කිරීම ප්‍රතික්ෂේප කිරීමේදී, ඔහු කතා කරනු ඇතිව තිබුණේ මානවවාදයේ නොව ප්‍රයෝජ්‍යතාවාදයේ නාමයෙනි. ඕනෑම විවේක ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් ඔහුගේ ගැඹුරු තෝන්තුව සංස්කෘතිය පිළිබඳ බුද්ධි ප්‍රබෝධ දෘෂ්ටියක් සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබුණි. “කාලය මුදල් බව අමතක නෙකරන්න “! මෙම නීතිය ඔහුගේ ශුද්ධ වූ විධානය ලෙස සහ ව්‍යාපාරික මානසිකත්වය ඔහුගේ එකම විචාර ආකාරය ලෙස පිළිගනිමින් බූර්ෂුවා තැනැත්තා කිසිදු වෙනසක් දැකිමක් නොකළේය: ඔහු එක හා සමාන නිස්සාර හා නාස්තිකාර ලෙසින්, කලාත්මක උත්සාහයන්, ප්‍රේක්ෂක ක්‍රීඩා සහ විසිතුරු ඇඳුම් හෙළා දුටුවේය. ලෝකය තනිකරම තාක්‍ෂණිකවාදී අර්ථයෙන් දකිමින් ඔහුට ඉවසීම තිබුණේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ප්‍රයෝජනවත් දැනුම සඳහා පමණි. අනෙක් සියල්ල සාහිත්‍යය විය. සාරාංශයක් ලෙස, එය හෛඩගර්ගේ වාක්‍ය ඛණ්ඩය භාවිතා කරතොත් උපකරණීය බුද්ධිය හෝ “ගණක  චින්තනය” විය, චින්තාපර චින්තනය (අප සංස්කෘතිය ලෙස හඳුන්වන දෙය) විනෝදාස්වාදයේ ක්ෂේත්‍රයට පහත හෙළූ: “තාක්‍ෂණය තාර්කික විඥානයේ ඉහළම ආකාරය ලෙස, තාක්‍ෂණිකවේදීව අර්ථකථනය කොට, සහ අන්තරාවලෝකනය නොමැතිකම සකස් කරන ලද බලරහිතභාවය ලෙස, එයටම පාරාන්ධව,ප්‍රශ්න කරනු ලැබීමට සුදුසු දෙයට සම්බන්ධයක් සාධනය කරගැනීමට,එකට අයත් වේ: අන්‍ය, එක හා සමාන දෙය.”

එතැන් සිට විශාල කැලඹීම් සිදුවී ඇත; කළෙක අවශ්‍යතා සහ ආශාවන් දැඩි ලෙස පාලනය කරනු ලබන ලදී; දැන් ඒවා උත්සුකව අවධානයට ලක්වෙයි. දුසිරිත සද්ගුණය බවට පත් වෙයි. වෙළඳ ප්‍රචාරණය තපස්වාදය ප්‍රතිස්ථාපනය කරන අතර, ධනවාදයේ ජීවගුණය උපන් මොහොතේ සිට ජීවිතයේ ඒක්ෂණ ආහ්ලාදය සඳහා නිර්දය ලෙස ලුහුබැඳීමට පොළොඹවයි. එය අසාමාන්‍ය යැයි පෙනී යා හැකි වුවත්,මෙම මතවාදී විප්ලවය පියුරිටන් (Puritan) සම්ප්‍රදායට ගැඹුරු බැඳීම් පවත්වාගෙන යයි. “පොහොසත් වන්න” සහ “විනෝද වන්න!” යනුවෙන් එකවරම පැවසීමෙන්, එය හෙළා දැකීම වෙනුවට නිදහස් කාලය ලාභදායී කර ගැනීමෙන්, වර්තමාන සුඛපරමවාදය බූර්ෂුවා විචාරය බූර්ෂුවා තැනැත්තාට  එරෙහිව හරවයි: ගණක චින්තනය එහි පෙර පැවති බහිෂ්කාර ව සිටිමේ ප්‍රවනතාවය අභිබවා යයි; එය නිෂ්ඵල දේවල ප්‍රයෝජනවත් බව සොයා ගනී; එය ක්‍රමානුකූලව අභිරුචියන් සහ සුඛයන් හි ආයෝජනය කරන අතර, සංස්කෘතිය ඵලදායී නොවන කාලය නාස්තියක් බවට ලඝු කිරීමෙන් පසු, එය සියලු ආකාරයන්හි වික්ෂිප්තවිම් වලට සංස්කෘතියේ ශ්‍රේණිය ප්‍රදානය කරයි. මිනිසුන් සාහිත්‍යය පරිහරණය කරන්නේ කෙසේද සහ පරිභෝජනය සඳහා රුචියක් වර්ධනය කරගන්නේ කෙසේද යන්න නිර්ණය කිරීමට කිසිදු අතිරෝහණ වටිනාකමක් බාධාවක් නොවිය යුතුය.

නමුත් — තවද මෙම වෙනස ඊයේ ලෝකය උසස් බවට පත් කරයි, සාපේක්ෂව කථා කළහොත්, අද ලෝකයට වඩා — සංස්කෘතියේ මිනිසුන් ගණනය කිරීමේ චින්තනයේ කුරිරු පාලනයට එරෙහිව සටන් කිරීමට පුරුදුව සිටි අතර එය මෝඩ ලෙසින් හැඳින්වූහ. ඊට පටහැනිව, පශ්චාත්-නූතන පරම්පරාව තථ්‍යසමව කිසිදු විරෝධයක් නොදක්වයි. එපමණක්ද නොව, පෙරදින කලාකරුවා පිලිස්තීනුවාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළද තවමත් ප්‍රභූවාදී බවට පත්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්ම අත්හැරීම ගැන ඔහු කනස්සල්ලට පත්ව සිටියේය. වර්තමාන බුද්ධිමතුන් විනෝදාස්වාද ව්‍යාපාරයේ, විලාසිතා සහ වෙළඳ දැන්වීම්වල බලවත් අධිෂ්ඨානයට හිස නමන අතර වචනයක්වත් නොකියයි. සංස්කෘතික අමාත්‍යවරුන් පවා නිහඬව සිටින්නේ ඔවුන් ශීඝ්‍රයෙන් විවේකයේ  කළමනාකරුවන් බවට තමන්ම පරිණාමිත වී ඇති බැවිනි.

1960 ගණන්වල මුල් භාගයේ ඇමරිකානු සිනමාව ගැන ලිවීමේදී, හනා ආරන්ඩ්ට් ඒ වන විටත් කියා සිටියේ, “අතීතයේ බොහෝ ශ්‍රේෂ්ඨ කතුවරුන් සියවස් ගණනාවක අමතකවීම් සහ නොසලකා හැරීම් වලින් නොනැසී ඉතිරි වී ඇත, නමුත් ඔවුන්ට පැවසීමට අවශ්‍ය දෙයෙහි විනෝදාත්මක අනුවාදයකින් ඒවාට නොනැසී ඉතිරි වීමට හැකි වේද යන්න තවමත් විවෘත ප්‍රශ්නයකි” යනුවෙනි.(Hannah Arendt, “ සංස්කෘතියේ අර්බුදය” බලන්න kathika.lk – පරිවර්ථක ) 

වසර තිහකටත් අඩු කාලයකට පසු Doctor Zhivago (ඩොක්ටර් ෂිවාගෝ) වැනි කෘති දියාරු කරන්නේ   හොලිවුඩ් නිෂ්පාදකයින් පමණක් නොවේ – නව-රැල්ලේ නාට්‍ය අධ්‍යක්ෂවරු සංගීත ශාලා සහ රූපවාහිනී සෞන්දර්යය වේදිකාවට ගෙන ඒමෙන් එයම කරති. එහෙත් තවමත් කිසිවෙකු පාහේ ඊට විරුද්ධ නොවේ.

බුද්ධිමතුන් සංස්කෘතියේ උන්නතිය ගැන තවදුරටත් කරදර වන්නේ නැත. මෙය ඔවුන්ගේ අලුත්ම පාවාදීමද? එය කුමක් විය හැකි වුවත්, සංස්කෘතිය තුළ ආයෝජනය කරන විට සහ නිර්මාණයේ සියලු කීර්තිය තමන්ටම කියා ගන්නා විට සංස්කෘතික කර්මාන්තයට කිසිදු ප්‍රතිරෝධයක් හමු නොවේ.

කිසිවකුට, එය සත්‍යයකි, සියළු පෙරමුණු වල එකවර සටන් කළ නොහැකිය, ඒ අතර වර්තමාන බුද්ධිමතුන් පෙර පරම්පරාවන්හි “සදාචාරකරණ ස්වපීඩාකාමුකත්වය ” ට ( Octavio Paz)එරෙහිව යුද්ධයට යාමට තෝරාගෙන ඇත: ටොකවිල් (Tocqueville) මගින් මාක්ස් අතහැර දමමින්, ප්‍රජාතන්ත්‍රවාදය සූරාකෑම සහ පන්ති අරගලය නොසඟවන නමුත් ඊට පටහැනිව, නූතන සමාජවල මහා මානව විද්‍යාත්මක විකෘතියෙන් සමන්විත වන බව ඔවුහු පෙන්නුම් කරති. අනෙකුත් සියලුම මනුෂ්‍ය ප්‍රවර්ගවලට වඩා වෙනස්ව, ප්‍රජාතන්ත්‍රවාදී මිනිසා තමා ස්වාධීන පුද්ගලයෙකු ලෙස — සමාජ පරමාණුවක් ලෙස පිළිසිඳ ගත්තේය. ඔහුගේ මුතුන් මිත්තන්, ඔහුගේ සමකාලීනකයන් සහ ඔහුගේ පරම්පරාවෙන්, සියල්ලන්ගෙන්ම එකම අවස්ථාවේදීම, වෙන් කරනු ලැබ, ඔහුගේ මූලික සැලකිල්ල වන්නේ ඔහුගේ පෞද්ගලික අවශ්‍යතා සපුරාලීම සහ අනෙක් සියලුම මිනිසුන් හා සමානව තමා දැකීමයි. ඔහුට අපවාද නගනු වෙනුවට, අපි,මෙම අස්ථිර පැවැත්මක සිටින සත්වයා ඔහුගේ සතුරන්ට එරෙහිව, සහ  

සෑම කෙනෙකුම එකම ආකාරයකින් සිතූ, සෑම කෙනෙකුගේම ස්ථානය පැහැදිලි වූ, සහ යමකට අයිතිය යන හැඟීම ස්පර්ශනීය  වූ, අනුපූරක ඵලප්‍රයෝජනයන් අභිසාරී වූ, තරඟ කිරීමෙන් තොරව,එක් හා සියලු දෙනාම තනි හා ප්‍රකාශිත ඉලක්කයක් කරා සුමටව ගමන් කර  ප්‍රජාවාදීමය පැවැමේ ශක්තිමත් රාමුවක් සැදූ, හොඳ පැරණි කාලයට,(Marcel Gauchet)

නැවත පැමිණීමට සිහින දකින තමාගේ එම කොටසට එරෙහිව, ආරක්ෂා කළ යුතුයැයි, යන අදහස මෙම නව-ටොකවිල්වාදියෝ එකතු කරති. මෙවැනි සාංකාවකට ගොදුරු වූ විට ප්‍රජාතන්ත්‍රවාදී මිනිසාට සිදු වන දේ ගැන ඒකාධිපති රෙජිමයන් සාක්ෂි සපයයි.

බටහිර පුද්ගලවාදයේ එබඳු පුනරුත්ථාපනය කිරීමක්  උද්‍යෝගිමත් අත්පොලසන් ලැබීමට සුදුසු වනු ඇත, එය ස්වයං ප්‍රීතිප්‍රකාශක වියරුවේ මොහොතක, මමත්වය (හෝ, සියලු සදාචාරාත්මක අර්ථයන් ඉවත් කළ පර්යායෝක්තියක් යොදමින් කියතොත්, සෑම කෙනෙකුම තමා වෙනුවෙන්ම වන තත්වය ) ස්වාධිපත්‍යය සමඟ ව්‍යාකූල නොකළේ නම්. 

නමුත් පුද්ගලයෙකු සියලු ප්‍රජා ව්‍යුහයන් (සංස්ථා, පල්ලි, කුල හෝ ධුරාවලියේ ශ්‍රේණිගත කිරීම් වල)ට ඔහු යා කිරීමට භාවිතා කළ බැඳීම් බිඳ දමා ඇත්තේය, කිසිදු සීමාවකින් තොරව තම කටයුතු කළමනාකරණය කර ඇත්තේය, යන කරුණ ඒ නයින්ම ඔහුට ලෝකයට නව දිශානතියක් ලබා දෙන්නේ නැත.සමාජයේ අගතීන්ගෙන් නිදහස් වීමෙන් තොරව ඔහුට තමා සමාජයෙන් කපා හළ හැකිය. අධිකාරිය සීමාකාරීම විනිශ්චයේ හෝ අධිෂ්ඨානයේ ස්වාධීනත්වය සහතික නොකරයි.

උරුම වූ සමාජ සංරෝධනයන් අතුරුදහන් වන විට, ආත්මයේ නිදහස ඒ පසුපස එනු ඇති බවට සහතිකයක් නොමැත. ජනයා දහඅටවන සියවසේදී බුද්ධි ප‍්‍රබෝධය ලෙස හැඳින්වූ දේ තිබීම තවමත් අවශ්‍යය. “තමන්ම සඳහා නොහිතන, තමන් වෙනුවෙන් තමන්ගේ හිත හැදීමට අන් අයට ඉඩ දෙන ජනයා සිටින තාක් දුරට, දාමය කැඩීම නිෂ්ඵලයි.” (Condorcet) 

බුද්ධි ප‍්‍රබෝධයේ දාර්ශනිකයෝ රාජ්‍යයේ බලයෙන් සහ සම්ප්‍රදායේ පාලනයෙන් පුද්ගලයා මුදා හරින අතරේ සැමට සංස්කෘතියට ප්‍රවේශය ලබා දීමට එක වරම සටන් කළෝය. ඔවුන්ට මිනිසුන් තමන්ට යහපතක් වන දේ කිරීමට නිදහස් වීම අවශ්‍ය විය, නමුත් ඔවුන් ස්ව-ඵලප්‍රයෝජනයන්ගේ සීමාවෙන් ඔබ්බට යන කාරණා ගැන සිතීමට නිදහස්වීමද ඔවුනට අවශ්‍ය වීය. 

දාර්ශනිකයන් දිනුවේ සටනෙන් අඩක් පමණක් බව අද අපි දකිමු. පරමබලධාරිත්වය පරාජය වී ඇත, නමුත් බුද්ධිරෝධනවාදය එසේවී නොමැත. සම්ප්‍රදායන්ට ඔවුන්ගේ බලය අහිමි වී ඇති අතර සංස්කෘතියටද එසේමය. ජනයාට දැනුම අහිමි නොකොට ඇති බව සත්‍ය ය. ඇත්තෙන්ම සිදු වී ඇත්තේ එය ආපසු හැරවීමයි. ඇත්ත වශයෙන්ම, ඉතිහාසයේ පළමු වතාවට බටහිර අන්තයේ මානව වර්ගයාගේ අධ්‍යාත්මික හා බුද්ධිමය උරුමය ක්ෂණිකව සහ සම්පූර්ණයෙන්ම ලබා ගත හැකි බව  අපට දැකීමට හැකි විය හැකිය. විශ්වකෝෂරචකයන් විසින් නිර්මාණය කරන ලද ගෘහ කර්මාන්තය දැන් ලාබ පොත්, වීඩියෝ කැසට් සහ දත්ත බැංකු විසින් අත්පත් කර ගෙන ඇති බැවින්,බුද්ධි ප‍්‍රබෝධය පැතිරවීමට කුමන හෝ ද්‍රව්‍යමය බාධා තව දුරටත් නොමැත. කෙසේ වෙතත්, තාක්ෂණය — රූපවාහිනිය සහ පරිගණක — සෑම නිවසකටම සියලු ආකාරයේ දැනුම හඳුන්වා දීමට සමත් වන්නා සේම, පරිභෝජනයේ තර්කනය සංස්කෘතිය විනාශ කරයි.  ලෝකය දිගටම ජීවත් වෙයි, නමුත් අධ්‍යාපනය,ලෝකයට විවෘත වීමට සහ ආත්මය ගැන සැලකිලිමත් වීමට ඇති හැකියාව, පිළිබඳ කුමන හෝ අදහසක් ඉන් හිස් කරනු ලදුව. මෙතැන් සිට, සුඛවේදනා මූලධර්මය – ඔහුගේ පශ්චාත්-නූතන ආකෘතිය පිළිබඳ ස්වයං උනන්දුව – පුද්ගලයාගේ අධ්‍යාත්මික ජීවිතය මත ආධිපත්‍යය දරයි. එය තවදුරටත් ස්වායත්ත විෂයයන් ලෙස මිනිසුන් නියෝජනය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොව, ඔවුන්ගේ ක්ෂණික ආශාවන් සතුටු කිරීම සහ ඉතා අඩු මුදලකට ඔවුන්ට විනෝදාස්වාදය සැපයීම පිළිබඳ එකකි. අහඹු සහ ගෙවී යන අවශ්‍යතා පිළබඳ මෙම නොසැලකිලිමත් සම්පිණ්ඩනය සමඟින්, නිදහස යනු රූපවාහිනියේ නාලිකා මාරු කිරීමේ බලය තිබිමට වඩා වැඩි දෙයක් බවත්, සංස්කෘතිය යනු මහත් ආශාවක් තෘප්තිමත් කිරීමට වඩා වැඩි බවත් පශ්චාත්-නූතන පුද්ගලයාට අමතක වී ඇත.

මෙම කාලයේ, වඩාත්ම කලකිරුණු විවේචකයන්ට පවා අමතක වී ඇත. ඔවුන් “හිස්බවේ යුගය” ගැන කතා කරන විට, ඔවුන් තවමත් එය විස්තර කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් ඉදිරි පියවරක් ලෙසයි, ඇතැමුන් පවසන පරිදි, අවසාන අදියර ලෙසයි. ඔවුන් “සුපිරි වෙළඳසැල් සහ ස්වයං සේවා අවන්හල්වල බහුරූපේක්ෂ යුගය” ( Gilles Lipovetsky ) ගැන උත්ප්‍රාසාත්මක ලෙස කතා කළ හැකිය,නමුත් ඔවුන් මේ සම්බන්ධයට ලෝකයට වෙනත් විකල්පයක් ඉදිරිපත් නොකරයි, ක්‍රමවත් විනයේ තර්ජනය සහ සම්මුතියේ දැඩි බව හැරුණු කොට. මිහිරි ප්‍රතිගමනය කටුක මර්දනයට වඩා හොඳ බව ඔවුහු විශ්වාස කරති.එය ආරක්ෂාව පවා සපයයි: “බලාපොරොත්තු කඩකර ගන්නට අවශ්‍ය නැත, අධිෂ්ඨානය දුර්වල වීම ව්‍යසනකාරී නොවේ, එය යටත් වූ සහ පරාරෝපණය වූ ජනතාවක් නිර්මාණය නොකරයි, හෝ සර්වාධිකාරවාදයේ නැගීම නිවේදනය කරන්ෙන්ද නොවේ: ලිහිල් උදාසීනත්වය, ඓතිහාසික ආගමිකත්වයේ සහ මහා පීඩනෝන්මාදී සැලසුම්වල වේගවත් පිපිරීම්වලට එරෙහිව ඊටත් වඩා ආරක්ෂාවක් නියෝජනය කරයි. “( Gilles Lipovetsky ) 

කලින් ඒකාධිපතිවාදය වෙත අන්ධව සිට, දැන් බුද්ධිය එයින් අන්ධ වී ඇත.

අධිරාජ්‍යවාදීමය බටහිර අපරාධ, විප්ලවයේ නාමයෙන් කරන ලද රකුසුකම් දිගු කලක් වසන් කළේය. මෙතැන් සිට “ලොකු සහෝදරයා”  බටහිර ලෝකයේ සංස්කෘතිය අතුරුදහන් කිරීම සඳහා අන්‍යාස්ථනිකභවාය (alibi) සහ ව්‍යර්ථකිරීම ලෙස සේවය කරයි.

[Big brother, මිනිසුන් කියන සහ කරන දේ නිරීක්ෂණය කරන සහ පාලනය කරන බලවත් රජයක් හෝ සංවිධානයක් ගැන සඳහනට යොදන මෙම පදය ජෝර්ජ් ඕවල් ගේ 1984 කෘතියෙන් කතිනාවට එකතු කරන ලදී. – පරිවර්ථක] 1984 අවතාරය අපව පාරිභෝගික සමාජයේ සර්වශුභවාදීන් බවට පත් කරයි: අපගේ පුද්ගලික ජීවිතයට බලයේ ප්‍රචණ්ඩ ආක්‍රමණයන් සෝපාන සංගීතයේ [Muzak, නමින් හැඳින්වෙන, කඩ සාප්පු සහ වෙනත් මහජන පරිශ්‍රයන් සහ අවකාශයන්හි පසුබිමින් වාදනය වන පටිගත කළ සංගීතය – පරිවර්ථක ] සිනාමුසු ආක්‍රමණශීලීත්වය සහ ප්‍රචාරණය සාධාරණීකරණය කරයි. සංස්කෘතියේ ඩිස්නිලන්තයේ සෑම දෙයක්ම තිබෙන නමුත් තිබෙන දෙයකුත් නොමැති තත්වයට හසුවී, මහජනතාව බලහත්කාරයෙන් අවිචාරී ශික්ෂණයට යටත් කිරීම පුද්ගලයන්ගේ උභතෝකෝටිකයන් ස්වායත්තතාව පිළිබඳ උත්තරීතර අභ්‍යාස සේ පෙනෙන තත්වයට පත් කරයි: එය දුරස්ථ පාලකයෙන් මෙහෙයවනු ලබන ලෝකය විය හැකි හොඳම වැඩපිළිවෙළ බවට පත් කරයි.

“අවසානයේ නව යොවුන් වියට පත් වූ සමාජයක්”

නූගත් අය නිදහස් විය නොහැක. නැතහොත් එසේ යැයි ඥානෝද්දීප්තියේ දාර්ශනිකයයෝ විශ්වාස කළහ. ඔබ තනි පුද්ගලයෙකු ලෙස ඉපදුනා නොෙව්, ඔවුන් කීමට පුරුදුව සිටියහ, ඔබ එවැන්නෙකු බවට පත්වන්නේ ආභිරුචියන්ගේ අවුල් සහගත බව, ස්වයං ඵලප්‍රයෝජනයේ පටු බව සහ විභාග නොකළ අදහස්වල කුරිරු බව පරයා නැඟී සිටිමෙනි. පරිභෝජනවාදයේ තර්කය වෙනස් නිගමනයකට මග පාදයි: නිදහස සහ සංස්කෘතිය අවශ්‍යතා පාලනය කිරීම නොව තෘප්තිමත් කිරීමේ මං නිර්වචනය කරයි. ස්වායත්ත විෂයයක් (autonomous subject) වීමට නම් මිනිසාට තම ස්වභාවික ආශාවන්ට ප්‍රතිරෝධය දැක්වීමටත් සම්ප්‍රදායෙන් මිදීමටත් සිදු විය හැකිය යන්න ස්වාධීන විෂය විස්තර කිරීමට භාවිතා කෙරුණු වාං මාලාවෙන් ම ගිලිහී ගිය අදහසකි.එහෙයිනි, අධ්‍යාපනයේ අර්බුදය. පාසල, නූතන අර්ථයෙන්, ඥානෝද්දීපන යුගයේ උපත ලැබීය. එම යුගයේ වටිනාකම් ගැන ජනයා ප්‍රශ්න කරන හෙයින් අද එය මිය යමින් තිබේ. සිතීමෙන් තොරව ස්වායත්තභාවයක් නොමැති අතර ස්වයං විනයකින් තොරව සිතීමක් නැත යන අමුතු අදහසින් පාලනය වන එම ස්ථානය සහ පොදු ආචාර ධර්ම පද්ධතියක් අතර දැන් විශාල පරතරයක් පවතී. සමාජයේ මානසික ජීවිතය “පුද්ගලික සාරසංග්‍රහවාදයේ මැද කලාපයේ,” (Geoerge Steiner ) එනම් අධ්‍යාපන ආයතනවල බිත්ති හතර අතර හැර, සෑම තැනකම වර්ධනය වෙයි. ස්වයං සේවය පිළිබඳ  සාමාන්‍යකරණය වූ රීතියට පාසල අවසාන ව්‍යතිරේකයයි. මේ අනුව වරදවා වටහා ගැනීම වර්ධනය වෙමින් පවතී, එය භාවිතා කරන අයගෙන් ආයතනය වෙන් කරමින්: පාසල් පද්ධතිය නවීන ය, සිසුන් පශ්චාත් නූතන ය. පාසලට අවශ්‍ය වන්නේ මනස් හික්මවීමය, නමුත් සිසුන් රූපවාහිනියෙන් හැදී වැඩුණු යෞවනයන්ගේ අවධාන පරාසය ඒ වෙත ගෙන එයි.පාසැල උත්සාහ කරත්දී,කොන්ඩෝර්සෙට් (Condorcet) ගේ වචන භාවිතා කරතොත්, “අපගේ විශේෂයේ (species)රළු සහ ප්‍රබුද්ධබවට පත්  සාමාජිකයන් අතර වෙනස ඉවත් කිරීමට,” සිසුහු මෙම විමුක්තිකරණ දැක්ම පැරණි ආකාරයේ යටත් කරගැනීමක් ලෙස ප්‍රතිඅර්ථකථනය කරති.එක අත් පහරකින්ම ඔවුහු අධිකාරිය,විනය, සහ අදහස් සම්ප්‍රේෂණය කිරීම,ප්‍රතික්ෂේප කරති, දේශනා කරන ස්වාමියා ආධිපත්‍යය දරන ස්වාමියා සමඟ පටලවා ගනිමින්.

අපට මෙම ප්‍රතිවිරෝධතාව විසඳිය හැක්කේ කෙසේද? “පාසල් පශ්චාත්-නූතන බවට පත් කිරීමෙන්,”යැයි පාසල් පරිපාලකයෝ සහ ප්‍රතිසංස්කරණවාදීහු එක හා සමානව ප්‍රතිචාර දක්වති. දෙවැන්නෝ අධ්‍යාපනය සහ පරිභෝජනය වඩා සමීපව එක්කිරීමට මං සොයති, සමහර ඇමරිකානු පාසල් වල,ව්‍යාකරණය, ඉතිහාසය, ගණිතය සහ අනෙකුත් මූලික විෂයයන්, සිසුන් ඔවුන්ගේ ‘වෝක්මන්’ [ Walkmans එම වෙළෙඳ නාමයෙන් ජනප්‍රිය ව හැඳින්වුණු අතේ ගෙන යා හැකි රේඩියෝව/ සංගීත වාදන යන්ත්‍රය – පරිවර්ථක ] වල සවන් දෙන රොක් සංගීත කැසට් වලට එක පොදියක් ලෙස ඇතුළත් කිරීමට තරම් බොහෝ දුර ගොස් ඇත. (බලන්න, Neil Postman, Amusing Ourselves to Death ) පරිපාලකයෝ, අනෙක් අතට, පන්ති කාමරය තුළ පරිගණක මහා පරිමාණයෙන් භාවිතා කිරීම වඩාත් ප්‍රවේශමෙන් නිර්දේශ කරති, මෙම ආකාරයෙන්,බලාපොරොත්තු වෙමින්, ඔවුන්ට ළමා ක්‍රීඩා ලෝකයෙන් ඉවත් වීමට බල නොකර තාක්ෂණයේ වැදගත්කම උසස් පාසැල් සිසුන්ට හඳුන්වා දීමට. විදුලි දුම්රියවල සිට පරිගණක දක්වා, විනෝදාස්වාදයේ සිට බුද්ධිමය ක්‍රියාකාරකම් දක්වා,එකකින් අනෙකට ගමන් කිරීම මෘදු ලෙස සිදුවිය යුතු යුතුය, හැකි නම්, කිසිවක් සිදු වී ඇතැයි, එයින් ප්‍රතිලාභ ලබන අයට අවබෝධ කර ගැනීමට ඉඩ නොදී. ක්‍රීඩාවෙන් සහ යන්ත්‍රවලින් ලබාගත් බුද්ධිය සිතීමෙන් නොව, උපාමාරු කිරීමෙන් ලබා ගත්තේය යන්නෙහි ඇති වෙනස කුමක්ද? දැනුමේ ක්ෂේත්‍ර නිර්ණය කිරීමේදී තාක්‍ෂණයේ නිරතුරුව වර්ධනය වන භූමිකාව සහ බහුගුණයෙන් වැඩිවෙමින් පවතින පරිභෝජන ප්‍රභේද අතරමැද, ලෝකය ගැන සිතීමට අවශ්‍ය ආකාරයේ විනිශ්චය තවදුරටත් කිසිදු ප්‍රයෝජනයක් නැත.අප දැනටමත් දැක ඇති පරිදි, “සංස්කෘතිය” සදහටම රාජසන්තක කර ඇති බැවින්, තවදුරටත් මෙවැනි විනිශ්චයක් විස්තර කිරීමට වචනයක්වත් නැත. 

නමුත් පාසැල “ජීවිතය” සමග සම්පූර්ණයෙන්  සමාදාන කිරීම සඳහා, විෂයමාලා සහ ඉගැන්වීමේ ක්‍රම සමඟ සෙල්ලම් කිරීම ප්‍රමාණවත් නොවේ.

ප්‍රංශ පාසල් කුමන අසනීපයකින් පෙළෙන්නේද? යන්න පිළිබඳ දීර්ඝ හා සවිස්තරාත්මක අධ්‍යයනයක් අතරතුර, සමාජ විද්‍යාඥයන් දෙදෙනෙකු මෙසේ ලිවීය,

සංස්කෘතිය යන්නෙන් අප අදහස් කරන්නේ සමූහයක අනන්‍යතාවය නිර්මානය කරන සියළු ආකාරයන්හි හැසිරීම්, තාක්‍ෂණය, සිරිත් විරිත් සහ සාරධර්ම නම්, සංගීතය තරුණයන්ගේ සංස්කෘතියේ වැදගත් අංගයක් සැදුම් ගනියි. අවාසනාවකට, ඔවුන්ගේ සංගීතය – රොක් (Rock), පොප් (Pop), ආනුෂංගික (Incidental)- සමාජය සහ විශේෂයෙන් ඉගැන්වීමේ සංසිථාපිතය විසින් බාල සංගීතය ලෙස සලකනු ලැබේ. පාසල් විෂය මාලාව, සංගීත ගුරුවරුන්ට ලැබෙන සූදානමේ කිරීමේ ආකාරය, සම්භාව්‍ය කෘති ඉහළින්ම තබන ධුරාවලිය පවත්වාගෙන යයි. පැහැදිලිව මෙය වැරදි බවට ඇඟවීමක් තිබියදීත්, අපි මේ කාරණය ගැන විවාදයකටවත් නොඑළඹෙන්නෙමු. මෙහිදී අපගේ සැලකිල්ල දිනා ගන්නේ සිසුන්ගේ රුචීන් සහ ඔවුන් ලබන අධ්‍යාපනය අතර පවතින දැවැන්ත පරතරයයි.( Hervé Hamon ) 

ඉතින් අපි ඔහේ සෙල්ලම් කරමු. පාසැලේදී මෙයින් අදහස් කරන්නේ නව යොවුන් වියේ රුචීන්ට යටත් වීමෙන් පරතරය නැති කිරීමයි. යල් පැන ගිය ධූරාවලීන් සානස්‍ය (senile )  අධිෂ්ඨානයෙන් අල්ලාගෙන සිටීම වෙනුවට තරුණයන්ට තරුණ බව උගන්වන්න. මැසචුසෙට්ස් හි වියානා හි සරසවි බිමකදී ඔහුට එක් සුන්දර ඉන්දියානු ගිම්හාන සවස්භාගයක මුණගැසුණු,ඔහුගේ බිරිඳ වුල්ෆි (Wolfie) ලෙස හඳුනන එම ගිනිමය රොක් සංගීත තරුව ඇමෙඩියස්ගේ (Amadeus) කෘති සමගින් විෂය මාලාවේ මොසාර්ට් වෙනුවට හිලව් කරන්න.

( මුලින් ජර්මානු භාෂාවෙන් පටිගත කරන ලද, ගීතය වුල්ෆ්ගාන්ග් අමඩෙයුස් මොzසාර්ට් ( Wolfgang Amadeus Mozart) ගේ ජනප්‍රියත්වය සහ ඔහුගේ ණය ගැන. “Rock Me Amadeus” ගීතය VH1 හි 80 දශකයේ VH1’s 100 Greatest Songs ලැයිස්තුවේ 87 වන ස්ථානයට සහ VH1’s 100 ” Greatest One-Hit Wonders” ලැයිස්තුවේ 44 වැනි ස්ථානයට පත් වනු ඇත. – පරි.)

යෞවනයන් යනු මෑතකාලීන වර්ධනයකි. පාසැල තිබෙන්නට පෙර ඔවුන් පැවතියේ නැත. සාම්ප්‍රදායික ආධුනිකත්ව ක්‍රමයට,වාත්තියක් ඉගෙන ගන්නා අය වසර ගණනාවක් සෙසු ලෝකයෙන් වෙන් කිරීමට අවශ්‍ය නොවීය. නව යොවුන් විය නම් වූ මෙම දීර්ඝ කාලය දිග හැරෙන්නට තැනක් තිබුණේ නැත. අනිවාර්ය අධ්‍යාපනයත් සමඟ නව යොවුන් විය බූර්ෂුවා වරප්‍රසාදයක්ව පැවතීම  නැවතුණු අතර විශ්වීය තත්ත්වයක් සහ ජීවන මාර්ගයක් බවට පත් විය. දෙමාපියන්ගේ බලපෑමෙන් අධ්‍යාපන ආයතනයෙන් සහ මහාචාර්යවරුන්ගෙන් “සම වයස් සමූහයෙන් ” රැකවරණය ලැබූ තරුණ තරුණියන්ට අවට සමාජයේ වටිනාකම් උඩු යටිකුරු කරමින් තමන්ගේම වූ ලෝකයක් ගොඩනගා ගැනීමට හැකි විය. 

වැඩහිටි-ඇඳුම් වෙනුවට මෝස්තරකාර සහ ආකර්ෂණීය “ජීන්ස්”  කලිසම්, සාහිත්‍යය වෙනුවට විකට චිත්‍ර පොත්, වාචික ප්‍රකාශනය වෙනුවට රොක් සංගීතය, “තරුණ සංස්කෘතිය” – මෙම සමාජ විරෝධී සංස්කෘතිය – 1960 ගණන්වල සිට, එනම්, අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත ප්‍රජාතන්ත්‍රීකරණයේ සිට වේගයෙන් ඉදිරියට එමින් සිට ඇත : “ කුමන හෝ සමීපව බැඳුණු සමූහයක් (උදාහරණයක් ලෙස ඇමරිකානු කළු ජාතිකයන්,“ පෝල් යොනෙට් (Paul Yonnet ) අපට පවසයි,

තරුණ ව්‍යාපාරය අර්ධ වශයෙන් සැඟවුණු මහාද්වීපයකි, අර්ධ වශයෙන් තහනම් කර ඇති සහ කුමන හෝ පිටස්තරයෙකුට තේරුම්ගත නොහැකිද වෙයි. වචනවලට වඩා හැඟීම් බලවත් වන, භාෂාවේ වියුක්තකරණයට වඩා සංවේදනා වඩා බලවත් වන, සැබෑ අරුත්වලට වඩා සහ බුද්ධිමය කතිකාවට වඩා සංවේදනය වැඩියෙන් බලවත් වන,”රොක්” සංස්කෘතිය විසින් ශක්තිමත් සහ බොහෝ විට දැඩි ප්‍රසන්න හැඟීම් සමඟ රැගෙන එනු ලබන, ඉතා ස්වාධීන, බොහෝ දුරට පාතාලගත, එහි විශේෂ සන්නිවේදන පද්ධතිය පිළබඳ ජනතාව ඊර්ෂ්‍යා කරති. මේ සියලු සාරධර්ම බටහිර සන්නිවේදනයේ  සම්ප්‍රදායන්ට ආගන්තුක ය. සම්බන්ධ වීමට වැඩිහිටියන් ගන්නා අර්ධ හෘදයාංගම උත්සාහයන්ට ඔවුහු ඝන තිරයක් අදිති, අපාරගම්‍ය රැකවළක් ඉදිරිපත් කරති. ඔබ ඇහුම්කන් දෙනවා හෝ වේවා ඔබ  සෙල්ලම් කරනවා හෝ වේවා, ඔබට විලාසිතාමය හා ආකර්ෂණීය බව (“cool”) හෝ ඒකාන්තයෙන්ම උල්ලාසයක් දැනිය යුතුය. ගිටාර වචන වලට වඩා හොඳින් තමන්ව ප්‍රකාශ කරයි, වචන පැරණි ය (ඔවුන්ට ඉතිහාසයක් ඇත) සහ විශ්වාස කළ නොහැකි ය. (Paul Yonnet) 

මෙහිදී, අවම වශයෙන්, එක් දෙයක් පැහැදිලිය. සංස්කෘතිය, එහි සම්භාව්‍ය ආකාරයෙන්, වචන හෝ භාෂාව සමඟ පැවැත්මට ආ බැවින්, එය හේතු දෙකක් නිසා ගැටළු සහගත ය: එය ජනයාට තමන්ගේම ජීවිත වලට වඩා දිගු මතකය ලබා දීමෙන් ඔවුන් වයස්ගත කරන අතර එය ඔවුන් හුදකලා කරයි, ඔවුන් දණ්ඩනයට පත් කිරීම මගින් පැවතීම සඳහා “මම” යැයි කීමට, වෙනත් වචන වලින් කිවහොත් විෂද  පුද්ගලයන් ලෙස පැවැත්මට.භාෂාව විනාශ කිරීමෙන් රොක් සංගීතය මෙම ද්විත්ව ශාපයෙන් මිදෙයි: ගිටාර මතකය අහෝසි කරයි; මෙම උණුසුම් ඒකාබද්ධකරන සුළු හැඟීම වෙන්  වෙන් සත්වයන් එකිනෙකා සමඟ සම්බන්ධය ඇති කර ගැනීමට භාවිතා කරන මඟ වන සංවාදය ප්‍රතිස්ථාපනය කරයි ; පුද්ගල “මම” තාරුණ්‍යයේ සම්බන්ධකතාව තුළට ප්‍රහර්ෂජනකමයව දිය වී යයි.

තාරුණ්‍යය දැන් සෑම තැනකම නොමැතිවූවා නම් නම් මෙම පසුපසට ගත්  පියවර බෙහෙවින් අහිංසක වනු ඇතිව තිබිණි. දශක දෙකකින් පමණක් විසංවාදී විශ්වාසයන් ප්‍රතිමානය බවට පත් වී ඇත, ස්වාධිපත්‍යය අධිපතිබවට පත් වී ඇත,තවද නව යොවුන් වියේ සංස්කෘතිය සමාජයේ සෑම කෙනෙකුගේම ජීවන ශෛලිය බවට පත්ව ඇත. තරුණයෝ විලාසිතා නිර්වචනය කරති;සිනමාව සහ දැන්වීම් ප්‍රචාරණය අවුරුදු පහළොව සහ විස්සක් අතර ප්‍රේක්ෂක සමූහයන්ට කතා කිරීමට වැඩි කැමැත්තක් දක්වයි; ස්වාධීනව මූල්‍ය සපයනු ලැබූ, ගුවන්විදුලි මධ්‍යස්ථාන දහස් ගණනක්, සියල්ලම පාහේ ගිටාරය මත එකම තාලය ගායනා කරති, සංවාදයේ යුගය අවසන් වී ඇතැයි ඉමහත් ප්‍රීතියෙන්. වයසට පත්වීම පිළිබඳ කුමන හෝ හෝඩුවාවක් පලවා හැරීම වලංගු සමයකි.

එහෙත් ශතවර්ෂයකටත් අඩු කාලයකට පෙර, ස්ටෙෆාන් ස්වීග් (Stefan Zweig) විසින් ඉතා හොඳින් විස්තර කරන ලද මෙම ආරක්ෂිත ලෝකයේ, “මුහුකුරා යාමට අවශ්‍ය කෙරුණු කෙනෙකු හැකි තරම් වෙස් ගැන්වීම් භාවිතා කිරීම අවශ්‍ය කෙරුණි, ඔහු වූවාට වඩා වයසින් වැඩි බව පෙනෙන්නට … පුවත්පත් මගින් මිනිසෙකුගේ රැවුල වේගයෙන් වැවෙන නිෂ්පාදන ප්‍රචාරය කරන ලදී,” තවද, වෛද්‍ය විද්‍යාලයෙන් පිටවූ අලුතම තරුණ වෛද්‍යවරු ටිකක් බර වැඩි කර ගැනීමට උත්සාහ කරති, එමෙන්ම “ අසාමාන්‍ය රැවුල් සහ ඔවුන්ගේ ඇස්වලට අනවශ්‍ය වුවද රන් කණ්නාඩි පැළඳ සිටියහ, එවිට තමන්ට ‘අත්දැකීම්’ ඇතැයි හැඟීමක් ඇති කළ හැකි වන පරිද්දෙන් .” ( Stephan Zweig, The World of Yesterday)

( ස්ටෙෆාන් ස්වීග්, Stefan Zweig,ඔස්ට්‍රියානු නවකතාකරුවෙක්, නාට්‍ය රචකයෙක්, මාධ්‍යවේදියෙක් සහ චරිතාපදාන කරුවෙකු විය.- පරි. )

අද තරුණ වීම සෑම පරම්පරාවකටම නිරූපාධික විධානයකි. එක් නියුරෝසියාවක තැනට තවත් එකක් ආදේශ වෙයි. හතළිස් වියේ සිටින ජනයා නව යවුවනයන්ව පසුවෙති. වැඩිහිටියන් සම්බන්ධයෙන් ගත් කල,ඔවුන් (සාම්ප්‍රදායික සමාජවල මෙන්) දැනුමැති නිසා,(ධනේශ්වර සමාජවල මෙන්) වගකිව යුතු  නිසා,  හෝ (ශිෂ්ට සමාජවල මෙන්) දුර්වල නිසා ඔවුන්ට ගරු කරනු නොලැබෙයි. ඇත්ත වශයෙන්ම, ඔවුන් ශරීරයෙන් හා ජීවගුණයෙන් තරුණව නොසිටියහොත් ඔවුන්ට කිසිසේත් ගෞරව කිරීමක් නොලැබේ.වෙනත් වචන වලින් කිවහොත්, මෙය තවදුරටත් ,ලෝකයෙන් පැන යාමට උත්සාහ කිරීමේදී තම සාමූහික අනන්‍යතාවය පිටුපස සැඟවී සිටින නව යවුවනයන් සමූහයක් පිළිබඳ කරුණක් නොවේ, නමුත් නව යොවුන් විය පසු පස ලෝකයම වියරුවෙන් දිවීම පිළිබඳ කරුණකි. මෙම තැන් මාරුව, ෆෙලිනි යම් විස්මයකින් යුතුව නිරීක්ෂණය කළ පරිදි, පශ්චාත්-නූතන යුගයේ මහා සංස්කෘතික විප්ලවය සැදුම් ගනියි:

පරම සත්‍යය කුමක්දැයි දන්නා කවුද පණිවිඩකරුවන් ලෙස යවුවනයන් දෙස දෙස හදිසියේම බැලීමට පටන් ගත් ආකාරය පැහැදිලි කිරීමට, නිශ්චිත මොහොතක කුමක් සිදු වුනාදැයි, අපගේ පරම්පරාව මත කුමන ආකාරයක නපුරු හූනියමක් පතිතවුනාදැයි දැනගන්නට කැමැත්තෙන් සිටිමි. තරුණ, තරුණ, තරුණ… ඔබ සිතන්නට ඇතිව තිබුණි, ඔවුන් මේ දැන් අභ්‍යවකාශයේ සිට පැමිණ ඇති බව… යම් ආකාරයක සාමූහික උමතුවකට පමණකි, අවුරුදු පහළොවේ දරුවන් සියලු සත්‍යයන්හි ප්‍රධාන භාරකරුවන් ලෙස සැලකීමට අපව පෙලඹවිය හැකිව තිබුණේ. (Fedrico Fellin, Fellini on Fellini

ඇත්ත වශයෙන්ම, සිදු වූයේ කුමක්ද? කුතුහලමය දෙයක් ලෙසින් පෙනුනත්, ෆෙලිනි (Fellini)කතා කරන මෙම පිස්සුව ශුන්‍යයෙන් පැණ නැඟුනු දෙයක් නොවේ. එයට බිම සකස් කරනු ලැබූ අතර බටහිර සමාජයන් පරිභෝජනයේ සුඛපරමවාදයට හැරවීමට තුඩු දුන් දිගු ක්‍රියාවලිය අද බාලක සාරධර්මවල රූප වන්දනාවෙන් කූටප්‍රාප්ත වී ඇති බව අපට පැවසිය හැකිය. බූර්ෂුවා මිය ගොස් ඇත, නව යවුවනයා දිනේවා! බූර්ෂුවා ධනය රැස් කර ගැනීම සඳහා ජීවිතයේ සතුට කැප කරන අතර, ස්ටෙෆාන් ස්වීග් (Stefan Zweig) ගේ සූත්‍රගත කිරීම භාවිතයට යොදතොත් ”මානවයාට ඉහළින් සදාචාරාත්මක දෘශ්‍යමානය ” තබයි, එම ක්‍රියාවලියේදී සදාචාරමය පර්යායේ දෘඩතාවයන්  සහ චින්තනයේ ඉල්ලීම් යන දෙකම සමගින් ඔහුගේ නොඉවසිලිමත්කම හෙළිදරව් කරමින්.  අනෙක් අතට, නව යෞවනයාට, සියල්ලටම වඩා අවශ්‍ය වන්නේ විනෝද වීමට, නිස්කලංකව සිටීමට, විවේක ක්‍රියාකාරකම් හරහා පාසලේ දැඩි බවින් මිදීමට ය, එබැවිනි සංස්කෘතික කර්මාන්තය තමන්ගේම සාරයට වඩාත් සමීපව ගැලපෙන මානව වර්ගයක් නව යොවුන් වියේ මිනිසා තුළ සොයා ගන්නේ.

නව යොවුන් විය ජීවිතයේ සුන්දරම වයස බවට පත්ව ඇතැයි මින් අදහස් නොවේ. මීට පෙර ජනයා ලෙස බැහැර කරනු ලදුව, තරුණයින් අද තනි පුද්ගලයන් ලෙස බැහැර කරනු ලැබ ඇත. යෞවනය, මෙතැන් සිට, කාණ්ඩයක්, ඒකශිලාවක්, තමාටම වන ජීව විශේෂයක් පාහේ වන්නේය. මුළු පරම්පරාවකම ප්‍රකාශකයා බවට වහාම පත් නොවී ඔබට තවදුරටත් වයස අවුරුදු විස්සක් විය නොහැක. “ තරුණයන් වන, අප…” ඔබේ මිතුරෝ සවන් දෙති, ඔබේ දෙමාපියෝ ඇමිණී සිටිති, මෙම අනුකූලතාව චිරස්ථායී කිරීමට ජනමත පර්යේෂණ මධ්‍යස්ථාන සහ වෙළඳපල එක්ව ක්‍රියා කරයි, එවිට කිසිවෙකුට කිසිදා කෑ ගසා මෙසේ කිව නොහැකි වනු ඇත: “මගේ වයස අවුරුදු විස්සක්. මෙය මගේ වයස මිස මගේ පැවැත්ම නොවේ, ඉතින් මා ගැන එවැනි තීරණාත්මක දෘෂ්ටියකට මා සිර කිරීමට මම කිසිවෙකුට ඉඩ නොදෙමි.”

තවද, වැඩිහිටියන් බුද්ධිමය ජීවිතයක් නොමැතිකම සඳහා ප්‍රතිකාරයක් පිරි නමමින් තරුණයින්ගේ මට්ටමට පහතට බැස එන හෙයින්, තරුණ ජනයා ඔවුන්ගේ වයස් කාණ්ඩයෙන් (ඔවුන්ගේ “ජීව-පන්තිය,” යැයි එඩ්ගා මොරින්  Edgar Morin පවසනු ඇත) ඉවත් වීමට ඇති ඉඩකඩ ඊටත් වඩා අඩුය. අපි මෙය දැනටමත් අධ්‍යාපනය තුළ නිරීක්ෂණය කර ඇත්තෙමු, නමුත් දේශපාලනයේ ද එය සිදු වේ, එහිදී දේශපාලන පක්ෂ “පරණ තාලයේ” යැයි එකිනෙකාට චෝදනා කරන අතරම “ඔවුන්ගේ ප්‍රතිරූප සහ පණිවිඩ” නවීකරණය කරමින්,බලය සඳහා එකිනෙකා සමඟ තරඟ කරනු අපි දකින්නෙමු. පුවත් පත් කලාවේදී ද, රූපවාහිනි සහ විනෝදාස්වාද මාර්ගෝපදේශක සඟරාවක අනුග්‍රාහකයෙකු එම  සඟරාවේ සාර්ථකත්වයට,”ඔවුන්ගේ මව්වරුන් විසින් වට කරන ලද අවුරුදු පහළොවකට අඩු ළමයින්ට” සහ “අපගේ ගීතයට, වෙළඳ ප්‍රචාරණයට සහ සංගීත තීරු ලිපි” වලට ළමයින් ආකර්ෂණය වීය යන කරුණට එය ණය ගැති බව පිළිගැනීම පිළබඳ අපි මෑතකදී කියවා ඇත්තෙමු.” (Philippe Gildas) චිත්‍රකලාවේ සහ සාහිත්‍යයෙහි ප්‍රංශයේ ඇති විශිෂ්ට කෘති සංඛ්‍යාව වීඩියෝවේ “කෙටි සහ කලාත්මක” ආකෘතියෙන්  ලබා ගත හැකි බව අපි දැක ඇත්තෙමු. චන්ද්‍රිකා රූපවාහිනියෙන් විකාශනය කෙරෙන මානවදයාවාදී අරමුණු සඳහා පවත්වනු ලබන දැවැන්ත ප්‍රසංග තුලට සදාචාරය ඇසුරුම් කෙරෙයි,  2වැනි ජෝන් පෝල් වෙනුවෙන් සංවිධානය කරන ලද ලෝක සංචාරවලදී අප වෙතට ආගම පැමිණේ.

චින්තනය පරයා මෝඩකම ප්‍රවර්ධනය සහ සංස්කෘතිය බිළිඳුකරණය කිරීම සාධාරණීකරණය කරනු වස්, එම ක්‍රමය වැඩ කරන බව ජනයා බොහෝ විට අවධාරනය කරති. මිනිසුන් ප්‍රථමයෙන් තමන්ගේම සවයං ඵලප්‍රයෝජන වෙනුවෙන් ක්‍රියා කරන – “සියලු දෙනාම තමා වෙනුවෙන්” – සහ වැසූ දොරවල් පිටුපස පෞද්ගලිකත්වයේ ජීවත් වීමට තෝරා ගන්නා යුගයක – පුණ්‍ය කටයුතු ‘රොක් ඇන් රොල්’ (Rock ‘n’ roll) වලට සම්බන්ධ කිරීම අතිවිශිෂ්ට මුදලක් ගෙන ඒමට හැකිය. පාප් වහන්සේ සම්බන්ධයෙන් ගත් කළ, හොඳම විශේෂඥයන් දෙවියන් වහන්සේ මිය ගිය බව ප්රකාශ කරන අතර, 2 වැනි ජෝන් පෝල් අතිවිශාල ජනකායක් ආකර්ෂණය කරයි. කෙසේ වෙතත්, වඩාත් සමීපව බැලීමේදී, එවැනි ප්‍රයෝජ්‍යතාවාදය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් බවට පත්වේ. උදාහරණයක් ලෙස: ඉතියෝපියාවේ තත්වයන් සමනය කිරීම සඳහා සංවිධානය කරන ලද විශාල සංදර්ශණ ඔවුන් පෝෂණය කිරීම සඳහා මුදල් රැස් කළ එම ජනගහනයන්ම පිටුවහල් කිරීම සඳහා අන්තමේදී මුදල් ගෙවීය. ඉතියෝපියානු රජය, අපි සැක කරන්නෙමු, අරමුදල් වෙනතකට යොමු කළ බව. එසේ වුවද, ලෝක ව්‍යාප්ත දේව පූජාවේ සංවිධායකයින් සහ සහභාගිවන්නන් මඳ වේලාවක් වේදිකාවෙන් නෙත් ඉවතට ගෙන, ගී ගයමින් සහ නටමින් සිටි ළමයින් නිරාහාරව මිය යමින් සිටි ළමයිගෙන් වෙන් කරන ඒකාධිපතිත්වය කෙරෙහි අතිශය සුළුවෙන් හෝ අවධානය යොමු කළේ නම්, නාස්තිය වළක්වා ගත හැකිව තිබුණි. අනෙක් අතට, 2වැනි ජෝන් පෝල් භුක්ති විඳින සාර්ථකත්වය එන්නේ ඔහුගේ ශෛලියෙන් මිස ඔහු පවසන දෙයෙහි හරයෙන් නොවේ: ඔහු ගබ්සා කිරීමට කාන්තාවන්ට අයිතිය ලබා දී පූජකයන්ට බ්‍රහ්මචර්යාවේ භාරය අත්හැරිය හැකි යැයි තීරණය කළේ නම් එම උද්යෝගිමත් ප්‍රතිචාරය ම අවදි කරනු ඇතිව තිබුණි. ඔහුගේ ප්‍රසංගය අනෙකුත් සුපිරි තරු වල ප්‍රසංග මෙන්ම, තම රංගනයෙන් ප්‍රේක්ෂකයින් අන්ද මන්ද කරනු වස් පළමුව තම ප්‍රේක්ෂකයන්ගේ හිස් වලින් කුමන හෝ අදහසක් හිස් කරයි. ඔහු කිසිදු පණිවිඩයක් ඉදිරිපත් නොකරයි, නමුත් ශබ්දයේ සහ ආලෝකයේ  [ son et lumiere ශබ්ද-ආලෝක සංදර්ශනය, රාත්‍රී විනෝදාස්වාදය සංකල්පනය කරන ලද්දේ කොසොන් හි චැටෝ ඩි චැම්බෝඩ් හි භාරකරු පෝල් රොබට්-හවුඩින් විසිනි – පරිවර්ථක ] මහා බහුලත්වයක් තුළ ඒවා ගිල දමයි. ඔහු විලාසිතා වලට යොමු වී ඇත්තේ එහි ආකෘතිය අනුගත කර ගැනීමෙන් පමණක් යැයි ඔහු සිතුවද, පාප් වහන්සේට අමතක වෙයි, නැතහොත්  තමාට අමතක වී ඇති බව විශ්වාස කිරීමට සලස්වයි, අර්ථය අතුගා දැමීම මෙම විශේෂිත ආකෘතිය තම ඉලක්කය වශයෙන් ගන්නා බව.රොක් (Rock )සංස්කෘතිය, රොක් පුණ්‍ය කටයුතු සහ රොක් ආගම සම්බන්ධයෙන් ගත් කල, තරුණයින්ට විශිෂ්ට කථා වල බලපෑම දැනෙන්නේ නැත, ඒ වෙනුවට කථනයන්මත් රිද්මයෙන් සහ නර්තනයෙන් ප්‍රතිස්ථාපනය කෙරෙයි.

නැගී සිටිමින් සහ සෙසු ලෝකයට අභියෝග කරමින්, යෞවනයෝ හුදෙක් ඔවුන්ගේ රුචි අරුචිකම් සහ වටිනාකම් ආරක්ෂා කිරීමට වැඩි යමක් කළෝය. පෝල් යොනෙට් ගේ ප්‍රශංසනීය වචන වලින් කියැවුණු පරිදි, ඔවුන් “භාෂාව භව්‍ය බවට පත් කළ හැකි ඒවා හැර වෙනත් නව අදහස් භාවිතා කිරීමට පටන් ගත්හ.පරම්පරා ගැටුමක් තිබිය හැකිය,” ඔහු තවදුරටත් පවසයි, “ නමුත් මොළයේ වෙන් වෙන් අර්ධගෝල (අවාචික හඳුනාගැනීම් වලට එදිරිව කථනය), දිගු කලක් තිස්සේ එකිනෙකා නොසලකා හරින ලද අර්ධගෝල, අතර ගැටුමක් ද පවතී.” (Paul Yonnet) එය දැඩි සටනක් වූ නමුත් සන්නිවේදනය යනුවෙන් අද පිළිගැනෙන දෙය  සහතික කරන්නේ අවාචික අර්ධගෝලය ජයගත් බව යි: සංවාදය පරදා සංගීත වීඩියෝ. සමාජය “අවසානයේදී නව යොවුන් විය” බවට පත් වී ඇත. (Paul Yonnet) ඉතියෝපියාවේ සාගතයට ගොදුරු වූවන්ට සහන සැලසීමෙහි ලා දැවැන්ත ප්‍රසංග සාර්ථක නොවන්නට ඇත, නමුත් ඒවා ජාත්‍යන්තර ගීතිකාවක් ස්ථාපිත කරයි. “අපි වෙමු ලෝකය, අපි වෙමු දරුවන්.”

පිල්ලිය (The Zombie) සහ භක්ති උන්මත්තකයා 

ඉතින් අපි අවසානයට පැමිණෙන විට, සංස්කෘතිය වෙනුවට එතැනට  ම්ලේච්ඡත්වය පත්වෙයි. ශ්‍රේෂඨ ලෝකයේ සෙවණැල්ල යටතේ, නොඉවසීම සහ ළදරු හැසිරීම් වැඩි වේ. පුද්ගලයෙකුට කළ හැකි වරණයන් සීමා කිරීම කරන්නේ සංස්කෘතික අනන්‍යතාවයය නොව, සැකය, උත්ප්‍රාසය සහ බුද්ධිය – ඔහු සාමූහිකත්වයෙන් වෙන් කළ හැකි මත – ප්‍රකාශ කිරීම් නිශ්ශබ්ද කිරීම සඳහා ඉහළ රාජද්‍රෝහී තර්ජන භාවිතා කිරීම වන විට, ශ්‍රේෂ්ඨ කලා කෘති නන් දෙඩවිලි බවට ඌණනය කරන්නේ තාක්‍ෂණික යුගයේ නිර්මාණය වන, විනෝදාස්වාද කර්මාන්තය යි.එයට බාධාවක් නොවන ලෙසින් මනසෙහි ජීවිතය නිහඬව ඉවත්ව ගොසිනි, භක්ති උන්මත්තකයා ගේ සහ පිල්ලියේ බිහිසුණු සහ දුක්ඛිත හමුවීමට ඉඩ සලසමින්.

( උපුටා ගැනීම, The Defeat of the Mind , ( 1987 ) Alain Finkielkraut, කෘතියෙනි. ජුඩිත් ෆ්‍රීඩ්ලැන්ඩර්  විසින් ප්‍රංශ බසින් ඉංග්‍රීසියට පරිවර්ථනය කරන ලදී.  නිව් යෝර්ක්, කොලොම්බියා විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 1987 මෙම සිංහල පරිවර්ථනය ‘කතිකා’ අධ්‍යයන කවය © විසිනි. මෙම සිංහල පරිවර්ථනයේ හිමිකම්‘ ( කතිකා’ අධ්‍යයන කවය © ) සපුරා ඇවුරිණි. ).

අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind (මනසේ පරාජය) කෘතියේ ඉතිරි කොටස් අනුවර්ථනය කරමින් ඒ පිළිබඳ කෙරුණු සාකච්ඡාවක් සඳහා පහත ලිපි බලන්න:

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s