ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් අයවැය සහ මහා ආර්ථික විනාශය

අහිලන් කදිර්ගාමර් විසිනි 

ජාතික අයවැය ඊළඟ වසර සඳහා ආර්ථික ප්‍රතිපත්ති හෙළිදරව් කරන අතර,  ඓතිහාසික අවස්ථාවන්හිදී වසර ගනනාවක් සඳහා ආර්ථික ප්‍රතිපත්ති ගමන් පථයේ තැන් මාරුව හෙළිදරව් කරයි. 

මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද  2023  අයවැය පැමිණෙන්නේ නිදහසින් පසු රට තුළ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වන අතර, එහි කරන  දේ  සහ අතපසු කරන  දේ පිළිබඳ ප්‍රවේශමෙන් විශ්ලේෂණයක් අවශ්‍ය වේ. මෙම සන්දර්භය තුළ, 2022 අගෝස්තු මාසයේදී එළිදැක්වූ 2022 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වන කුඩා අයවැය මෙන්ම, 2023 සඳහා වන අයවැය ද ජාතයන්තර මූල්‍ය අරමුදලේ  (ජාමූඅ) ඉල්ලීම් ඇමතීම කෙරෙහි නාභිගත වී ඇත. මෙවර අයවැයේ ප්‍රතිවිපාක ආර්ථිකය තව දුරටත් වැනසීම  වන්නේය.

ක්‍රියාත්මක වෙමින් පවතින මෙම මහා ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු,  විශේෂයෙන්ම විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ සහ 1970 දශකයේ අග භාගයේ නව ලිබරල් තැන්මාරුව, ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ වෙනස්කම් සහ 2008 න් පසු ගෝලීය මූල්‍ය අර්බුදය සමඟ නව ලිබරල්වාදයේ දෙවන රැල්ල, සහ 2020 සිට ආරම්භ වන වසංගතය සමඟ ඇති වූ කඩාකප්පල් කිරීම් පිළිබඳව මම පසුගිය කාලය තුළ දීර්ඝ ලෙස සාකච්ඡා කොට ඇත්තෙමි.  මෙම ලිපියෙහිදී, මම 2022 නොවැම්බර් 25 වැනි දින සමාජය සහ සාමයික කේන්ද්‍රයේ  දී මා විසින් පැවැත්වූ දේශනයක් මත පදනම් වන අතර, 2023 අයවැය සහ ඊනියා ජාමූඅ විසඳුම සමඟින් රටට ඇති උපද්‍රව සහිත තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නෙමි.

ජාතික ආර්ථිකය දැඩි පතිතවීමක් අත්විඳිමින් සිටී. ලෝක බැංකුවට අනුව, රටේ දළ දේශීය නිෂ්පාදිතය 2022 දී 9.2% කින් සහ 2023 දී තවත් 4.2% කින් හැකිලෙනු ඇත. මෙය ආර්ථික අවපාතයක් ලෙස හැඳින්වේ. 2023 අයවැය දෙන ලදුව, ලබන වසරේ ඊටත් වඩා විශාල සංකෝචනයක් අපි දකිනු ඇතැයි මම තර්ක කරමි. එවැනි ආර්ථික හැකිලීමක් උදාකරනු ඇත්තේ  කුමක්ද? ජනයාට ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වනු ඇත, විරැකියාව දරුණු වේගයකින් ඉහළ යයි, ජීවනෝපායන් දැඩි ලෙස කඩාකප්පල් වේ. ආර්ථික අවපාතයට සම්බන්ධ ආහාර අර්බුදයක් මන්දපෝෂණය සහ හාමත වැඩි කරයි. අපේ දරුවන්ගේ අධ්‍යාපනයට සහ යහපැවැත්මට බලපෑම් එල්ල කෙරෙනු ඇතිව අපට පරම්පරාවක් අහිමි වනු ඇත. 

ජාමූඅ මඟ 

ඊනියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විසඳුම මගින් සිදුවෙමින් පවතින විනාශය මාස අටකට පෙර මෙම වසරේ මාර්තු මාසයේදී ආරම්භ විය. 2022 මාර්තු මාසයේ දී ප්‍රසිද්ධියට පත් කරන ලද ජාමූඅ කාර්ය මණ්ඩල වාර්තාවේ නිර්දේශ මාස කිහිපයකින් යථාර්තයක් බවට පත් වූ අතර, ක්‍රියාත්මක වෙමින් පවතින එම සංයුක්ත ක්‍රියාමාර්ග පහතින් දළ සටහනින් දක්වමි.

රුපියල එක් රැයකින් ඩොලරයකට රු. 200 පමණ සිට රු. 360ක් දක්වා අවප්‍රමාණ කිරීම, ඊට අනුරූපීව ආනයනික භාණ්ඩවල මිල ගණන් 80%ක වැඩිවීම සමඟ, පාරිභෝගිකයන් මතට පවරනු ලැබිණි. යුක්රේනයේ යුද්ධයත් සමඟ ගෝලීය භාණ්ඩ මිල ද ඉහළ ගිය බැවින් මෙය පැමිණියේ නරකම අවස්ථාවේදී  ය. එහි ප්‍රතිඵලය වූයේ 2022 පසු භාගයේදී උද්ධමනය 60% කට ආසන්නව ඉහළ යාම සහ ආහාර උද්ධමනය 90% දක්වා පවා ඉහළ යාමයි.

මහ බැංකුව 6% සිට 15.5% දක්වා පොලී අනුපාත දෙකහමාරකින් වැඩි කළ අතර, එය උද්ධමනය අඩු කරනු ඇතැයි දිගටම කියා සිටියි.කෙසේ වෙතත්, උද්ධමනය ඉහළ මට්ටම් වල පවතින්නේ ආර්ථිකය උණුසුම් වීම නිසා නොව, රුපියල එක් වරක් අවප්‍රමාණය වීම සහ ගෝලීය වෙළඳ භාණ්ඩ වෙළඳපොලවල මිල ගණන් ඉහළ යාම හේතුවෙනි. පොලී අනුපාත ඉහල දැමීමේ ප්‍රතිවිපාක, විරැකියාවේ දැවැන්ත වැඩිවීමට සහ ජීවනෝපායන් කඩාකප්පල් කිරීමට මඟ පෙන්වමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ බංකොලොත්වීම් ය. ද්‍රවශීලතා අර්බුදයක් – බැංකු පොලී අනුපාත ඉහළ නංවන සහ ණය දීමට අකමැති හෝ අපොහොසත් වන තත්වය -යනු කුඩා සමාගම්වලට සහ ගොවීන් වැනි ග්‍රාමීය නිෂ්පාදකයින්ට පවා යන දෙපිරිසටම ආර්ථික ක්‍රියාකාරකම් සිදු කිරීමට ණය ලබා ගත නොහැකි හෝ දැරිය නොහැකි තත්ත්වයට පත් කිරීමයි. බල ශක්තිය වෙළඳපල මිලකරණයට යටත් කිරීම ඉන්ධන මිල තුන් හතර ගුණයකින් වැඩි කිරීමට හේතු වී තිබේ. තවද 2022 ජනවාරි මාසයට සාපේක්ෂව 2022 ඔක්තෝම්බර් මාසයේදී බෙදා හරින ලද ඉන්ධන ප්‍රමාණයේ 50% ක අඩුවීමක් ඇත. පැහැදිලිවම, ඉහළ මිල ගණන් සමඟ ඉල්ලුම අඩුවීම ඇතුළු ඉන්ධන සැපයුමේ එවැනි පහත වැටීමක් අවිකල්පයෙන් ආර්ථිකය අඩපණ කොට ඇනහිටින තත්වයකට ගෙන එනු ඇත.

ආර්ථිකය තවදුරටත් හැකිලීමට තුඩු දෙන කප්පාදු පිලිවෙත් හේතුවෙන් රාජ්‍ය වියදම් තියුනු ලෙස පහත දමා ඇත.ආර්ථික අවපාතයක් තුළ, පුද්ගලික අංශය තම නිමැවුම් සඳහා අනාගත ඉල්ලුම පිළිබද අපේක්ෂාවන් පහත වැටීම හේතුවෙන් ආයෝජනය කිරීම නවත්වන අතර කුටුම්භ භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම තවදුරටත් කඩා වැටීමට මඟ පෙන්වන අඳුරු අනාගතයකට සූදානම් වීම සඳහා වියදම් වළක්වා ගනී. 1930 ගනන්වල මහා අවපාතයෙන් පාඩම වූයේ මෙයයි, එනම් සමස්ත ඉල්ලුම කඩා වැටෙන විට රාජ්‍යය ආයෝජන හරහා ආර්ථිකය උත්තේජනය කළ යුතු බවයි. එහෙත් නව ලිබරල්වාදී හැරීමත් සමග එම ප්‍රඥාව ගිලිහී ගොස් ඇති අතර, දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සම්පාදකයින් අන්ධ ලෙස කප්පාදු මාවතේ ගමන් කරමින් සිටිති.

අපේ ජනගහණයෙන් 60%කට වඩා වැඩි පිරිසක් සැදුම් ගන්නා අවිධිමත් අංශය මත යැපෙන අපේ ජනතාවට ප්‍රතිවිපාකය වන්නේ වැටුප් ශ්‍රම ඉල්ලුම 

අඩපණ කොට ඇනහිටින තත්වයකට පත් වීම නිසා ඔවුන්ගේ ජීවනෝපායන් කඩාකප්පල් වීමයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ ලෝක ආහාර වැඩසටහනේ 2022 සැප්තැම්බර් වාර්තාවට අනුව, කුටුම්භවලින් 40% ක – ප්‍රධාන වශයෙන් දිවා වැටුප් ශ්‍රමයේ සහ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින අය – ආදායම 50% කින් අඩු වී ඇති අතර ආහාර මිල ගණන් ආසන්න වශයෙන් දෙගුණ වී ඇත.

2023 අයවැය

මෙම අතිශය ඛේදජනක චිත්‍රය 2023 අයවැය සඳහා සන්දර්භය නම්, එතුළ ඇත්තේ කුමක්ද? ආර්ථිකයට උත්තේජකයක් නොමැති අතර ආහාර අර්බුදය ආමන්ත්‍රණය කිරීමට පවා උත්සාහ නොකරයි. 2022 දී කෘෂිකාර්මික නිෂ්පාදනය 40% කින් අඩු වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, කෘෂිකාර්මික අංශයට කිසිදු සහයෝගයක් නොමැතිව අප ලබන වසරේ එම මාර්ගයේම ඉදිරියට යාමට ඉඩ ඇත. 

2023 අයවැය උත්සාහ කරන්නේ ජාමූඅ හි කොන්දේසි දෙක විසඳීමට පමණි. පළමුව, 2025 වන විට ප්‍රාථමික අතිරික්තයක්, එනම් වසර කිහිපයකදී රාජ්‍ය ආදායම් රාජ්‍ය වියදම් ඉක්මවා යා යුතුය. දෙවනුව,

පවත්නා ණය ආපසු ගෙවීමට ප්‍රමාණවත් ආදායම් සහ අනාගත ණය තිබෙනු ඇතැයි පෙන්වීම මගින්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආමන්ත්‍රණය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සකස් කිරීම යි. 

2023 අයවැයේ රජයේ මුළු වියදම රු. බිලියන 5,800 ක් වන අතර, ඉන් පොලී ගෙවීම් රු. බිලියන 2,200 ක් සහ රාජ්‍ය වියදම් සඳහා වෙන් කිරීම රු. බිලියන 3,600 ක් වනු ඇත. ආදායම් රු. බිලියන 3,400ක් ලෙස ප්‍රක්ෂේපණය කොට ඇති අතර, එහිදී ආදායම 2021 දී රු. බිලියන 1,500 ක් සහ 2022 දී රු. බිලියන 2,100 සිට උග්‍ර ලෙස වැඩිවීම අපේක්ෂා කරනු ලැබේ. ණය ගෙවීම් අඩු කිරීමෙන් පසු විදේශීය සහ දේශීය මූල්‍යකරණය රු. බිලියන 2,400 කැයි ඇස්තමේන්තු කර ඇත.ලබන වසරේ ප්‍රාථමික අයවැය හිඟය රු. බිලියන 211 ක් හෝ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 0.7% ක් පමණි. අයවැය හිඟය 2021 දී 5.7% ක් වූ අතර 2022 දී 4% ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බැවින් විනාශකාරී කප්පාදුවක් නොමැති නම් මෙය ළඟා විය නොහැකි ඉලක්කයකි.

ජාමූඅ හි ඉල්ලීම් ආමන්ත්‍රණය කිරීම සඳහා වන 2023 අයවැයෙහි නාභිගත වීම මෙයයි. නමුත් මෙය සුරංගනා කතාවකි! ආර්ථිකය බාධාවකින් තොරව කඩාවැටීමකට ලක්ව ඇති බැවින් වැට් බද්ද හරහා වැඩකරන ජනතාවගේ ආදායම් මිරිකා ගැනීමට තැත් කළද ආදායම් වැඩි වීමට ඉඩක් නැත. එබැවින් ඇත්ත වශයෙන්ම ආණ්ඩුව ඔවුන් වෙන් කරන මුදලට වඩා බෙහෙවින් අඩුවෙන් වියදම් කරනු ඇත. ආදායම් ඉලක්‌ක සපුරා නොමැති විට බෙදානොහරින ප්‍රතිපාදන සඳහා අයවැයේ ඉඩ සළසන භාණ්ඩාගාරයේ හැමදාමත් රහස එයයි. තවද, විදේශ මූල්‍යකරණය ලැබීම විය නොහැක්කකි, නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට නොයන්නේ නම් බාහිර ණය ආපසු ගෙවීම ද අවශ්‍ය නොවනු ඇත.

වෙනත් වචන වලින් කිවහොත්, අඩු ආදායම වලට අඩු වියදම් ගලපනු ඇත, තවද ණය ප්‍රතිව්‍යුහගත කළහොත් එවිට ණය ගෙවීම් සමග ගැලපීමට වැඩියෙන් ණය ගනු ඇත. අයවැයේ සරළ තර්කනය නම් දැවැන්ත කප්පාදුව සහ සර්පිලාකාරව පතුලටම ඇද වැටෙන ආර්ථිකයයකි.

දැනට සාකච්චා කරමින් පවතින ජාමූඅ ගිවිසුම ඇතුව හෝ නැතත්, ක්‍රියාත්මක වෙමින් පවතින ජාමූඅ විසඳුම දැනටමත් 40% කින් පහත වැටී ඇති සැබෑ වැටුප් තවදුරටත් මර්ධනය කොට වැඩකරන ජනතාව තලා පෙලා දමමින් සිටියි.අපනයන නිෂ්පාදනවල වැටුප් පිරිවැය දැවැන්ත ලෙස අඩු කිරීමත් සමඟ ගෝලීය වෙලඳපොලවල් තුළ ශ්‍රී ලංකාව වඩාත් තරඟකාරී කිරීමට උත්සාහ කරද්දීම, එවැනි කුරිරු විසඳුමක් වැඩකරන ජනතාව හාමතින් විනාශ කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විසඳුමේ අත්‍යවශ්‍යම අංගය පන්ති ප්‍රශ්නයයි.ජරාජීර්ණ ශ්‍රී ලාංකේය ප්‍රභූ පැලැන්තියේ සහ සූරාකමේ නිරත ගෝලීය ප්‍රාග්ධනයේ දිගුකාලීන ලාභ ඉපැයීමේ ඵල ප්‍රයෝජනයන් සහතික කරනු වස් අපි වැඩකරන ජනතාව විනාශ කිරීමට ඉඩ දී පරම්පරාවක් අහිමි කරගන්නවාද?

ජාමූඅ න්‍යාය පත්‍රය ජාමූඅ ගිවිසුම මුද්‍රා තැබීමට සහ එහි අරමුදල් බෙදා හැරීමට අවශ්‍ය ප්‍රාථමික අතිරික්තයක් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ  ප්‍රධාන කොන්දේසි දෙක අපි තේරුම් ගන්නේ කෙසේද? 

වසර විස්සක් පුරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවය කළ පීටර් ඩොයිල්, 2022 සැප්තැම්බර් 15 වැනි දින ලිපියක ((https://www.niesr.ac.uk/blog/imfs-programs-zambia-and-sri-lanka-editions) 2026 දී ශ්‍රී ලංකාව සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක් වන ප්‍රාථමික අතිරික්තයේ ජාමූඅ  කොන්දේසිය විවේචනය කරයි. තායිලන්තය, වියට්නාමය, ඉන්දියාව සහ චීනය ඇතුළු මනා ප්‍රථිඵල පෙන්වන ශ්‍රී ලංකාවේ සමයන් කණ්ඩායමේ ආර්ථිකයන්හි පසුගිය දශක දෙක තුළ සාමාන්‍යයෙන් 2% ක ප්‍රාථමික හිඟයක් ඇති බවත්, ඔවුන් සඳහා ජාමූඅ ඉදිරියට පනවන නිර්දේශ පවා 1.5% ක ප්‍රාථමික හිඟයක් බවත් ඔහු කියා සිටී. එසේ නම්, එහි හොඳම කාර්ය සාධනය කරන සමයන් කණ්ඩායමේ රටවල ස්ථාවර හිඟයක් තිබියදී, ජාමූඅ  උපස්ථායක කප්පාදු පියවරයන් සමඟ ශ්‍රී ලංකාව සඳහා මෙතරම් විශාල අතිරික්තයක් ඉල්ලා සිටින්නේ මන්ද? ඒ, ජාමූඅ  ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය ගැන සැලකිල්ලක් නොදක්වන නිසාත්,අයවැය අතිරික්තය ණය ආපසු ගෙවීම සහතික කරන පරිද්දෙන්, ණය හිමියන්ට, විශේෂයෙන් බැඳුම්කර හිමියන්ට වාසි සහගතව ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන පමණක් සැලකිලිමත් වන නිසාත් ය.

ප්‍රතිපත්ති සංස්ථාපිතය විසින් අභිවර්ධනය පිළිබඳ පුන පුනා ප්‍රකාශ කළද, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල තිබී ඇත්තේ අල්ප චලනයකි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගෝලීය ප්‍රතිවිපාක සහිත භූ දේශපාලනික ක්‍රීඩාවකට හසු වී ඇත. මෙම වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව අකාලයේ තම විදේශ ණය ගෙවීම පැහැර හැරිය විට, එය නව ලිබරල් චින්තන පර්ශද සහ උපදේශකයින් විසින් පොළඹවන ලදුව ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ පැත්තෙන් ගත් විනාශකාරී පියවරක් විය. එය සිදුවූයේ එම මාසයේ හුදු ඩොලර් මිලියන 78ක් ආපසු ගෙවීමට සිදු වූ මොහොතක වන අතර මීළඟ ප්‍රධානතම ඩොලර් බිලියන 1ක ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීමට නියමිතව තිබුණේ මාස තුනහමාරකට පසුව ජූලි මාසයේදීය. ආනයන සීමා නොකර හෝ ද්විපාර්ශ්වික මූල්‍ය පහසුකම් ලබා නොගෙන, චීනය සහ ජපානය වැනි ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ප්‍රදායකයන් විරසක කරමින්, වටිනා කාලය නාස්ති තරනු ලැබිණි. ගෝලීය දේශපාලන ආර්ථිකය ගැන කිසිවක් නොදන්නා සහ තම වාසිය සඳහා බටහිර ආයතනවලට නියාලු වන ශ්‍රී ලංකාවේ නව ලිබරල් මුග්ධයන්, ණය පැහැර හැරීමෙන් පසු වේගවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ එයට යටත් වූ වහාම ජාමූඅ  ගිවිසුමක් පිළිබඳ රෝස චිත්‍රයක් ඇන්දේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රධාන බලවතුන්ගේ ෙවනස් ලැදිකම් නිසා ඇනහිට ඇත, ගෝලීය තත්වයක් තුළ, ණය පැහැර හැරීමේ හැකියාව ඇතුළු ණය ගැටලුවලට මුහුණ දෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් තිහකට වැඩි සංඛ්‍යාවක් අතුරින් පළමු රට ශ්‍රී ලංකාව වේ. එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිරයන් චීනයට තම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පීඩනය යෙදීමට  ජාමූඅ ට සහයෝගය දක්වනු ඇත, නමුත් චීනය මෙය තමනට ණයගැති අනෙකුත් රටවල ණය ආමන්ත්‍රණය කරන ආකාරය පිළිබඳ පූර්වාදර්ශයක් ලෙස දකියි.ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙලඳපොලවල බැඳුම්කර හිමියන් ශ්‍රී ලංකාව අතිශය වෙහෙසකර සහ ඉල්ලුම්කාරී ජාමූඅ කොන්දේසි යටතේ තාපාංකයට ළඟා වන තෙක් අල්ලාගෙන සිටිනු ඇති අතර ශ්‍රී ලාංකේය සාකච්ඡාකරුවන් “කොණඩය කොට කිරීමේ” ස්වරූපයෙන් හෝ ඔවුන්ට ලැබිය යුතු ප්‍රාග්ධනය අඩු කිරීමකින් සුළු සහනයක් ලබා යටත් වනු ඇත. බටහිර රටවල වඩා විශාල භූ දේශපාලනික ලැදිකම් විසින් මාරු වීමට බල කරනු නොලැබුවහොත් ජාමූඅ ශ්‍රී ලංකාවට සිය ඖෂධ ලබා ගැනීමට වෙනත් රටවල් සමඟ තම ගණුදෙනුව ගැළපෙන ලෙස හැඩගස්වාලනු වස් ශ්‍රී ලංකාව වේදනාකාරීව මූල්‍ය විනයට යටත් කිරීම දිගටම කරගෙන යනු ඇත. යථාර්ථය නම්, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සංස්ථාපිතය සහ උපදේශකයන් සැදුම්ගන්නා නව ලිබරල්වාදීන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය බලාපොරොත්තු සුන්වීමේ භූ දේශපාලන කළු කුහරයකට යටත් වී ඇති බවයි.

විසඳුම් සහ කැරලි

ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කරමින් සිටින්නේ අරමුදල් බෙදා හැරීම සඳහා ජාමූඅ  මණ්ඩලයේ අනුමැතිය ලැබෙන තෙක් බලා සිටියදීය. සිදුවෙමින් පවතින මෙම මහා ජාමූඅ  විසඳුම යැයි කියනු ලබන දෙයෙහි උත්ප්‍රාසය නම්, ජාමූඅ  අරමුදල් වසර 4ක් තුළ සොච්චම් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් හෝ සාමාන්‍යයෙන් මසකට අමෙරිකානු ඩොලර් 60ක් පමණ වනු ඇත. මෙම මුදල මසකට ඩොලර් බිලියන 1.5 ත් 1.8 කට ආසන්න වන  ශ්‍රී ලංකාවේ තමන්ගේම විදේශ ඉපැයීම් ප්‍රමාණයට සසඳන්න. වෙනත් වචන වලින් කිවහොත්, ශ්‍රී ලංකාවේ බාහිර ශේෂයන් වඩා බෙහෙවින් රඳා පවතින්නේ ශ්‍රී ලංකාව ආනයනයන් ප්‍රමුඛතා ගත කිරීමට සහ සීමා කිරීමට තීරණය කරන්නේද යන්න සහ ගෝලීය වෙලඳපොලවල සිදුවන්නේ කුමක්ද යන්න මතය. අන්තිමේදී, ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂයට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇත්තේ, සිදුවෙමින් පවත්තා භූ දේශපාලනික අවිනිශ්චිතතාවයන් සහ ගෝලීය අවපාතය සමඟ අපනයන වෙලඳපොලවල ස්ථාවරත්වය සමඟ ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන් ය.මෙහි ලා වැදගත් කරුණ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ඇතිව හෝ නැතිව ගමන් මගේ නිවැරදි කිරීමක් අවශ්‍ය වීමයි. දැන් ප්‍රමුඛතාවය වන්නේ ජනතාවට සහන සැලසීම සහ ආර්ථිකයේ පහළට යන සර්පිලාකාර හැකිලීම නැවැත්වීම සඳහා ආර්ථික උත්තේජනයයි.

රාජපක්ෂ රෙජීමය 2019 නොවැම්බර් බලයට පත්වීමේ පටන් වසර දෙකහමාරක් වූ එහි පාලන කාලය තුළ ආර්ථිකය දුර්කළමනාකරණය කොට විනාශ කළේය. වික්‍රමසිංහ-රාජපක්ෂ පාලනය විසින් එළිදක්වන ලද 2023 අයවැය ආර්ථිකය තවදුරටත් විනාශ කිරීමට යොමු කරමින් මෙම  වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වන විනාශකාරී ප්‍රතිපත්ති දිශානතියේ කූටප්‍රාප්තියයි.ජාමූඅ ගිවිසුම දිගු ප්‍රමාදවීම් වලින් පසුව ක්‍රියාවට නැඟුණද, ආර්ථිකය කප්පාදුවේ සහ විනාශයේ චක්‍ර හරහා ගමන් කරද්දී,ලංකාව එළඹෙනු ඇති තවත් බොහෝ ජාමූඅ  ගිවිසුම් වලින් පළමුවැන්න වීමට ඉඩ ඇත. ඇත්ත වශයෙන්ම, ලොව පුරා බොහෝ ජාමූඅ  විසඳුම්වල යථාර්ථය මෙයයි.

පරම්පරාවක් අහිමි විය හැකි තත්වයක, බොහෝ දේ අද පරදුවට තබා ඇත. ජාත්‍යන්තර විසඳුම් පිළබඳ පොරොන්දු දී ශ්‍රී ලංකාව අපායේ මාවතට ගෙන යමිත් තිබියදී පවා, මහා බලවතුන් ඔවුන්ගේ ක්‍රීඩා කරගෙන යනු ඇත. වැඩකරන ජනතාව මෙම යථාර්ථයට අවදි වී ආර්ථිකයේ ප්‍රජාතන්ත්‍රවාදී වගකීම භාරගත යුතුය. මේ වසරේ ආර්ථික අවපාතය ආරම්භයේ ඇති වූ මහා කැරැල්ල අපේ රටේ භයානක දේශපාලන ආර්ථික ගමන් මග වෙනස් කිරීමට අවශ්‍ය කැරලි රැසක පළමුවැන්න විය හැකිය.

2022 දෙසැම්බර් 5 වැනි දින IMF Budget and Economic Devastation යන මැයෙන්  Daily Mirror පුවත් පත පළ කළ ලිපියේ සිංහල පරිවර්ථනය සංස්කරණය ‘කතිකා’ විසිනි. 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s