බහුසංස්කෘතික සමාජයක් කරා

අලාන් ෆින්කල්ක්‍රෝත්

(The Defeat of the Mind  ( මනසේ පරාජය ) කෘතියේ සිවුවැනි කොටස 

සමාජීය විද්‍යාවන්හි දෘෂ්ටිකෝණයෙන්, උසස් සංස්කෘතිය යනු ආහාර, ඇඳුම් පැළඳුම්, වැඩ, ක්‍රීඩා, සාරාංශයක් ලෙස “සමාජයක සාමාජිකයෙකු ලෙස මිනිසා විසින් උගත් සියලු සිරිත් විරිත් සහ කුසලතා”, ඇතුළත් වඩා පුළුල් ප්‍රවර්ගයක ඛණ්ඩනීය ප්‍රකාශනය පමණි.(ලෙවි-ස්ට්‍රවුස් ) සංස්කෘතික වූවන් සංස්කෘතික දේ යටතට පත් කිරීමෙන්, සමාජ විද්‍යාවන් එකවර කරුණු දෙකක් ඉටු කරයි: ඒවා අප  ගැන සෑහීමකට පත්වීමෙන් සහ ලෝකය නැවත අපගේම ප්‍රතිරූපයට අනුව මුල සිට නිර්මාණය කිරීමෙන් අප වළක්වයි. සමාජ විද්‍යාවන්, අධිරාජ්‍යවාදයෙන් සහ ගෝත්‍රිකවාදයෙන්, අප විශ්වවාදයේ නීත්‍යානුකූල උරුමක්කාරයන් බවට ඇති විශ්වාසයෙන් සහ අපගේම සුවිශේෂතාව ආක්‍රමණශීලී ලෙස තහවුරු කිරීමෙන්,අපව සුවපත් කරයි. ඔවුන්ගේ ඉගැන්වීම්වලට ස්තූතිවන්ත වන්නට, අපගේ යුරෝපීය අනන්‍යතාවය තවදුරටත් දූත මෙහෙවරක් හෝ අභිමානය පිළිබඳ විෂයයක් නොවේ; එය හුදෙක්,  අන් සියල්ලන්ගේම ඒවා සමඟ එකට සලකා බැලිය යුතුව ඇති ජීවත්වීමේ සහ සිතීමේ එක් ක්‍රමයක් පමණි.  

ඩ්‍රේෆුස්වාදීන්ගේ අතුරුදහන් වීම

සෑම පුද්ගලයෙකුටම ඔවුන්ගේම සංස්කෘතික පුද්ගලත්වය; සෑම සංස්කෘතියකටම තමන්ගේම සදාචාරාත්මක වටිනාකම්, සම්ප්‍රදායන්, සහ චර්යා නීති. බටහිර ආධිපත්‍යයට එරෙහිව අරගල කරන, තුන්වන ලෝකයේ ක්‍රියාකාරීන් තවදුරටත් මෙම මතය ප්‍රකාශ කරන එකම අය නොවේ. සංවර්ධනය වෙමින් පවතින රටවල වැසියන් විසින් යුරෝපය “ආක්‍රමණය කිරීමට” විරුද්ධ වන අය මෑත වසරවලදී එයම තරයේ ප්‍රකාශ කර ඇත. නව දක්ෂිණාංශයට (මෙම දෘෂ්ටිවාදී ව්‍යාපාරය 1970 ගණන්වල අගභාගයේ බුද්ධිමය වේදිකාවේ ප්‍රාදුර්භූත වූ විට එයට දුන් මෙම විස්මිත යෙදුම භාවිතා කරන්නේ නම් ) ස්වදේශිකයන් යනු පැරණි මහාද්වීපයේ ජීවත් වන අය වන අතර

යටත්විජිතවාදීන් යනු, හවාරි බූමෙඩියෙන් ගේ අනාවැකිය ඉටු කරමින්, “තමන්න්ගේම උන්නතිය සොයා යනු වස් උතුරු අර්ධගෝලයේ සාපේක්ෂ වශයෙන් ප්‍රවේශ විය හැකි ප්‍රදේශවලට වත් කෙරෙනු ලැබෙනු වස් දකුණු ලෝකයේ දිළිඳු කළාප ” අත්හැර දමා නිකුත් වූ මිලියන සංඛ්‍යාත ජනතාවකි.  හාමතෙන් පෙළෙන ජනපදිකයන්, ඇත්ත,

හවාරි බූමෙඩියෙන්

නමුත් ඔවුන්ගේ අතිමහත් සංඛ්‍යාවන් සළකන කළ, ඔවුන්ට යුරෝපයේ ජනතාව සහමුලින් යට කළ සහ නිර්පුද්ගලීකරණය කළ හැකිය.

යටත් විජිත ව්‍යාප්තියේ පොතේගුරුවාදී ආධාරකරුවන්ට ප්‍රතිවිරුද්ධව, සංස්කෘතික අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින්නන් අනෙකා සිතීමේ හැකියාව ඇති පුද්ගලයින්ගේ කාණ්ඩයෙන් බැහැර නොකරයි. පෙනෙන්නේ ඔවුන් ඒ වෙනුවට වෙනත් ආකාරයක මනුෂ්‍යත්වයක් නියෝජනය කරන ලෙසයි, ඔවුන්ටම අනන්‍ය වූ ආකාරයක් ඇති ලෙසයි. විවිධත්වය විනාශ කිරීමේ සහ බටහිර වටිනාකම් පතුරුවා හැරීමේ, අනන්ත විවිධ වූ මානව සම්ප්‍රදායන් නොසලකා හැරීමේ අධිරාජ්‍යවාදී අදහස කෙරෙහි මෙම වෙනසේ යෝජකයින්ට උනන්දුවක් නැත. ඔවුනට අවශ්‍ය දෙය වන්නේ විදේශිකයන්ගේ හානිකර ආකාරයන්ගෙන් යුරෝපය ආරක්ෂා කිරීමට, බාහිර ලෝකයෙන් යුරෝපයේ සංස්කෘතික වෙනස්කම් සංරක්ෂණය කිරීමට ය.

මානවවංශ ලේඛන ආශ්‍රේයයන්ගෙන්  පොහොසත්ව, ලෙවි ස්ට්‍රවුස්, ලීච්, බාර්ක් සහ ජවුලින් ( Levi Strauss, Leach, Barque, Jaulin)  යන අයගේ ග්‍රන්ථවලින් උපුටා ගත් උද්ධෘත වලින් සන්නද්ධව ඔවුන් යෝජනා කරන්නේ “මනුෂ්‍යත්වය බහුත්වමයව පවතින්නේය  යන  සාමාන්‍ය දේශපාලන උපකල්පනය” ය.

ලෙවි ස්ට්‍රවුස්

තරණය කළ නොහැකි අගාධයකින් එකිනෙකාගෙන් වෙන් කරනු ලදුව, විවිධ ජනයන්ගේ සාධනයන් විනිශ්චය කිරීමට හෝ ශ්‍රේණිගත කිරීමට එක් විශ්වීය නිර්ණායක කට්ටලයක් නැත. එබැවින්, ඔවුහු නිගමනය කරති, “විවිධ ශිෂ්ටාචාර නියෝජනය කරන ප්‍රජාවන් එකම රටෙහි එකට ජීවත් වීමට අවශ්‍ය කෙරීම ඛේදනීය වරදකි. ගැටුම් නොවැළැක්විය හැකිය. ප්‍රධාන ගැටුම් වර්ගය පිළබඳ නොව, ඇදහිලි පද්ධති සහ සංස්කෘතිය පිළිබඳ ය.”

මෙම ව්‍යාජය හෙළා දැකීමට පෙර, තුන්වන ලෝකයේ දෘෂ්ටිවාදයේ මෙම විකට චිත්‍රය, තමන් වෙතම ආපසු හැරුණි, මෙම වර්ගයෙන් තොර වර්ගවාදය, මානව විද්‍යාඥයින් විසින්ම සංස්කෘතිය පිළබඳ සංකල්පය දේශපාලන විචිත්‍රාද්භූතවාදීන්ගෙන් ණයට ගනු ලැබූ බව අප අමතක නොකළ යුතුය. අප දැනටමත් දැක ඇති පරිදි, කිසි විටෙක ප්‍රවේණිය පිළිබඳ නීති ඉල්ලා නොසිට, පුද්ගල අනන්‍යතාවය සාමූහික අනන්‍යතාවයට ලඝු කිරීමට, ජනයා ඔවුන්ගේ සම්භවය ඇති සමූහයේ සිරගත කිරීමට අවශ්‍ය ඉතා සුළු උත්සාහයකි. යුරෝපීය ජීවන රටාවක් වෙනුවෙන් සටන් කරන අය “වෙනස් වීමට ඇති අයිතිය” යන ප්‍රගතිශීලී සටන් පාඨය වැළඳගත් විට අවස්ථාවාදී වූවා නොවේ. සියලු සංස්කෘතීන් සඳහා සමාන ගරුත්වය ප්‍රකාශ කර සිටීමේදී, ඔවුහු තම සතුරන්ගේ වචන ප්‍රචාරණකාරී අරමුණු සඳහා අත්පත් කර නොගත්තෝය, ඔවුන් තමන්ටම අයිති දේ හුදෙක් ගත්තා පමණි. වෙනත් ආකාරයකින් කිවහොත්, කුමන හෝ කණ්ඩායමක් විවිධත්වය හඳුනා ගැනීමේදී වංචනික ලෙස ක්‍රියා කළේ නම්, එය ඔවුන්ගේ “නව දක්ෂිණාංශය” නොවේ, මන්ද ඔවුන්, අධිරාජ්‍ය විරෝධී වාමාංශිකයින් මෙන් නොව, වෙනස සාර්ථක කිරීමට  දිගු කලක් කැප වූ සම්ප්‍රදායක් නියෝජනය කළ බැවිනි.

ඉතින් දැන්, වසර හතළිහක පාප මෝචනයෙන් පසුව, ප්‍රධාන ධාරාවේ ගතානුගතිකයින් තම දෘෂ්ටිකෝණයට නැවත වරක් හරවා ගැනිමට හැකි වනු ඇති වීමට තරම් නව දක්ෂිණාංශය නීත්‍යානුකූල භාවයක් භුක්ති විඳියි. විරැකියාව වැඩිවීමත් සමඟ, වඩා හොඳ කාලවලදී දේව කරුණාවක් ලෙස සැලකෙන විදේශයන්ගෙන් එන සංක්‍රමණික සේවකයින් දැන් ගැටලුවක් ලෙස සැලකේ. ඔවුන්ගේ පැමිණීම ජනආත්මයෙහි (Volksgeist) අද්භූතභාවයට නව ජීවයක් ලබා දෙයි, ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, කලින් නිර්විජිතකරණයට විරුද්ධ වූ සහ අන් අය අවශෝෂණය කර ගැනීමේ බටහිර බලය සැමරූ නමුත් දැන් යුරෝපයේ සුවිශේෂත්වය ආරක්ෂා කරන අය අතර. ජනආත්මය සඳහා අනුකම්පාව ගෞරවනීය දේශපාලන කවයන් තුළට පැමිණ ඇති අතර ආණ්ඩුවේ ක්‍රියාවන්ට පවා බලපෑම් කර ඇත.

හර්ඩර්, වෙනත් වචන වලින් කිවහොත්, දේශපාලන වර්ණාවලියේ දෙපාර්ශ්වය නියෝජනය කරමින්,සෑම තැනකම සිටී.

හර්ඩර්

පශ්චාත් දෙවන ලෝක සංග්‍රාම තහංචි මගින් තවදුරටත් නිශ්ශබ්ද කරනු නොලැබ,ඔහු උත්තරීතර ලෙස රජකම් කරයි, ඒ සමඟම අස්මිතාව පිළබඳ පූජනීය හැඟීමක් උත්කර්ෂයට නංවන ප්‍රකාශයන් සහ අහංකේන්ද්‍රීයත්වය පිළිබඳ දැඩි හෙලාදැකීම් ප්‍රබෝධමත් කරමින්. ඔහු ජනවාර්ගික අනන්‍යතාවයේ නොනැසී පවතින සැමරුම් සහ විදේශිකයන්ට ගෞරවය ප්‍රකාශ කිරීම් වලට, අනිථිභීතිකාවෙන් පෙළෙන්නන්ගේ ආක්‍රමණශීලී පිපිරීම් සහ අනිථිඇලුම්කාරීන්ගේ නොමසුරු ත්‍යාගශීලී ප්‍රකාශයන්ට, තමා වෙතටම සමීප වීමට මිත්‍රශීලී නොවන ආරාධනා වලට සහ අන් අයට විවෘත වීමේ සුන්දර අවදානම ගැනීමට දිරිගැන්වීමට, හඬ ලබා දී ඇත. තුන්වන ලෝකයේ මුලිනුපුටා දැමූවන් විසින් යුරෝපයේ ආත්මය සමූලඝාතනය කරනු ලැබීමේ තර්ජනයට ලක්ව ඇති බවත්, විවිධ මානව ප්‍රජාවන්ගේ සුසංයෝගී සංවර්ධනය සහතික කිරීමට ඇති එකම මාර්ගය නැවත වරක් ඔවුන් වෙන් කිරීම බවත් ජනයා නිර්ලජ්ජිත ලෙස ප්‍රකාශ කරනු ඇසූ විට, ආගන්තුක සත්කාරයට කැමති අය කෝපයෙන් ප්‍රතිචාර දක්වති:

සියලුම සංස්කෘතික ආකෘතීන් එක හා සමාන වටිනාකමක් ඇති බැවින්, ප්‍රංශ ජාතිකයන්, යුරෝපීයයන් වන අපට අපේම දේට මනාප වීමට අයිතියක් නැත. සෑම කෙනෙකුටම ප්‍රතිමානය ලෙස අපගේම ආචාර ධර්ම පද්ධතියක් අපට ස්ථාපිත කළ නොහැක. මෑත වසරවලදී, අපගේම නිශ්චිතභාවය පිළිබඳව අප දැනුවත් වූ විට, ලෝකය මත ආධිපත්‍යය දැරීමට ඇති ප්‍රවණතාවයෙන් අපි අපවම සුවපත් කළෙමු. දැන්, සංක්‍රමණ විසින් නිර්මාණය කරන ලද නව සන්දර්භය දෙන ලදුව, මෙම ස්වයං දැනුවත්වීමේ එම ක්‍රියාවම අපට හුරුපුරුදු විශ්වය බහුසංස්කෘතික සමාජයක් බවට පරිවර්තනය කිරීම යුක්ති සහගත කරයි.

බහුසංස්කෘතික යනු ජනවාර්ගික පාරිශුද්ධතාවයට එරෙහි යුද්ධයේ ප්‍රධාන වචනය වන අතර, සමජාතීය භූ දර්ශනයක ඒකාකාරීත්වයට උඩින්  විවිධත්වයේ සතුට සහ ගුණධර්ම ආරක්ෂා කිරීමේ මූලික සංකල්පය වේ. නමුත් නොරැවටෙන්න. තියුණු වෙනස්කම් සහ ආතති සබඳතා තිබියදීත්, සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් දෙපාර්ශවය එකම ස්ථාවරය බෙදා ගනී. ඔවුන්ට පරස්පර විශ්වාස ඇති නමුත් ලෝකය පිළිබඳ ඇත්තේ එකම දැක්මයි. මෙම අවස්ථා දෙකේදීම ඔවුන් සංස්කෘතීන් දකින්නේ එකිනෙකින් විශදව වෙනස් වූ සර්ව-සම්පූර්ණ අසථිත්වයන් ලෙසය.

ශතවර්ෂයේ ආරම්භයේදී, ඩ්‍රේෆුස්ගේ ආධාරකරුවන් “ප්‍රංශ සත්‍යය” සහ   ‘රාජ්‍ය හේතුව’ ( raison d’Etat   රෙzසොන්ඩෙටා ) අභියෝගයට ලක් කළ විට, ඔවුන් එසේ කළේ නිරපේක්ෂ ප්‍රතිමාන සහ විශ්වීය වටිනාකම් නාමයෙනි. අද, ඩ්‍රේෆුස් හෙළා දැකීමට භාවිතා කළ දර්ශනය නැවත වරක් ප්‍රසාදය දිනා ගන්නා විට, වර්තමාන විපක්ෂය – බොහෝ, අධිෂ්ඨානශීලී සහ කෝපාවිෂ්ඨව ව්‍යක්තව – සෑම දෙයක්ම සංස්කෘතික යැයි කියමින් තම පාර්ශ්වය ආරක්ෂා කරයි. වෙනත් වචන වලින් කිවහොත්, ඩ්‍රේෆුස්වාදීන්  ඉතිරිව නැත.

යුනෙස්කෝව විසින් සංස්කෘතිය යන වචනය නිර්වචනය කරන ආකාරයට සංස්කෘතිය යන වචනය භාවිතා කරමින් එක් එක් මානව කණ්ඩායමෙහි අනන්‍යතාවය එහි සංස්කෘතිය තුළ සම්භවය වන බව, තර්කය සඳහා, අපි පිළිගනිමු: ”කිසි විටෙක නිශ්චිතව ඉගැන්වූයේ නැති, නමුත් ප්‍රජාවේ සියලුම සාමාජිකයන් දන්නා, දැනුම සහ සාරධර්මවල සමස්තය.” අපි උපකල්පනය කරමු, උදාහරණයක් ලෙස, රෙජිස් ඩෙබ්‍රේ යෝජනා කර ඇති පරිදි, ප්‍රංශය යනු “ළමා වියේ මතකයකි … ගීතයකින් අත්වැලකි, නැතහොත් දිය උල්පත් සහ පෙන, දියඇලි සහ මඩ වලවල්… යමෙකු කුලී රථ රියැදුරන්, කරාම සහ කෝපි කඩයක වේටර්වරු, ගැහැණු ළමයින් හෙළන බැලුම් සහ කාලයාගේ ඇවෑම සමග ගණුදෙනු කරන ආකාරය ….පිළිබඳ කාන්සාමය මතකයකි, යනුවෙන්.” මෙතරම් යාන්ත්‍රික ආකාරයෙන් ක්‍රියාත්මක වන සමාජයකට කිසි විටෙකත් එම ඩෙබ්‍රේ ම විසින් ප්‍රකාශ කළ ප්‍රාර්ථනාව  ලබා දී “ජූල්ස්ලා, හිපොලයිට්වරු, සහ අර්නස්ට්ලා නැති සමාජයක් නොව,නමුත් බොරිස්, උර්සුලා, ජමිලා, රේචල්, මිලාන් සහ හූලියෝ යනුවෙන් හඳුන්වන අය ගෙන් සැදුණු සමාජයක්” බවට පත්විය නොහැක. සෑම අතින්ම, ප්‍රංශ ජාතිකයෙකු වන්නේ ජමිලා නොව,නෝර්මන්ඩි හි වනාන්තර සහිත ගොවිබිම් වල උපත ලැබූ හෝ සෑම ගිම්හානයකම ඩොර්ඩොග්න් හි තම පවුලේ අය සමඟ ගත කළ, ඒ හිපොලයිට් ය. ක්‍රිස්ටෝෆ්, ඇඩ්‍රියන් සහ ග්‍රෙගෝරියෝ ( Christophe, Adrien and Gregorio) ට ඔවුන්ගේ  නියමානුකූල උද්ධච්ච හාස්‍යමය අත, ඔවුන්ගේ සූර තියුණු වාග්පාටමය බව ඔවුනට ලබා දුන්නේ — මිලාන් (කුන්දේරා) හෝ හූලියෝ (කෝර්ටzසාර්) නොව — අර්නස්ට්වරුන්ගේ  සහ ජූල්ස්වරුන්ගේ ( Ernests and Jules)  පරම්පරාවන් ය.

බැරෙස් වඩාත් සංගත විය. අවිඥානය සම්මුති විරහිත බව ඔහු දැන සිටියේය; එය බෙදා ගැනීමට, හුවමාරු කිරීමට හෝ අත්පත් කර ගැනීමට නොහැකි විය. එය ඔහුට ජනතාවගේ ජාතික අනන්‍යතාවයේ පථය බවට පත් වූයේ එබැවිනි. කෙෙනකු ප්‍රංශ ජාතිකයකු වූයේ උපතින් මිස අභිමතයෙන් නොවේ යැයි ඔහු කී විට ඒ විදේශිකයින් ඈත් කර තැබීමටය.

බැරෙස්

එය වෙනත් ආකාරයකින් කියන්නේ නම්, අපි තෝරා ගැනීමක් කළ යුතුය: අප මාරු කළ නොහැකි වෙනස්කම් පවතින බව තරයේ කියා සිටින එකම වර අපට විශ්වීය සන්නිවේදනය සැමරීමට නොහැකි ය. සඵල ස්මෘති වර්ග හරහා ප්‍රංශ ජාතිකයින් ඔවුන්ගේ රටට ඈඳීමෙන් පසු, මෙම ස්මරණයට ප්‍රවේශයක් නොමැති සහ ඔවුන් සියල්ලන්ම බැහැර කර තිබීම හැරුණු කොට අනෙකුත් සංක්‍රමණික කණ්ඩායම් සමඟ පොදු කිසිවක් නොමැති ජනතාවන්ගෙන් අපට ප්‍රංශය ජනගත කළ නොහැක. සංස්කෘතික මූලයන්ගේ ප්‍රථමතාව තහවුරු කරන මූලධර්ම මත පදනම්ව විවිධ ජනවාර්ගික සමූහයන් පිළිගැනීම සඳහා රීති ස්ථාපිත කිරීමට උත්සාහ කිරීමේදී අපි අශක්‍ය ප්‍රතිවිරෝධතාවක් නිර්මාණය කරමු.

සංස්කෘතික සාපේක්ෂතාවාදයේ ශික්ෂණ ශාස්ත්‍රයක්

රෙජිස් ඩෙබ්‍රේ විසින් ප්‍රකාශ කරන ලද අධ්‍යාත්මික ගමන් මාර්ගය ඔහු ජාත්‍යන්තරවාදයේ සමාජවාදී සිහිනයෙන් සංස්කෘතීන්හි නොවැළැක්විය හැකි යථාර්ථය වෙත ගෙන ගොස් ඇත. ගරිල්ලා යුද්ධයේ වීරෝදාර කාලවලදී, ඔහු ලෝකයේ ස්වාමිවරුන්ට එරෙහිව යටත් වූ ජනතාවන්ගේ මහා නැගිටීම්වලට සහභාගී විය. ඔහුගේ විප්ලවීය තාරුණ්‍යය නොහිමිනය කරමින්, එය අමතක නොවන බවටත් ශක්තිමත්ව වර්ධනය වන බවටත් සහතික විමේ නිමේශය ගෙවී ගොස් ඇති බව ඔහු දකියි. චේගුවේරාගේ පූර්ව ගමන් සගයා අද කියා සිටින්නේ මිනිසාට මූලයන්, පෙළපත, සංස්කෘතික ස්මෘතිය ඇති බවයි;ඔහු තම උනන්දුවන් හෝ බලාපොරොත්තුවලින් පමණක් නිර්වචනය කෙරෙනවා නොවේ. යුද්ධයකට (හෝ වෘත්තියකට) සම්බන්ධ වීමට තෝරා ගැනීමට පෙර, මිනිසා, තමාවම නෙතකා, සාමූහික ඉරණම මත දැනටමත් දියත් කර ඇත. උගත් හෝ නූගත් වීමට පෙර, බූර්ෂුවා හෝ කම්කරු පන්තික වීමට පෙර, ඔහු  සංස්කෘතියක කොටසකි, තම ප්‍රජාවේ අන්තර්ගතභාවය තුළ, ශරීරය සහ ආත්මය, ගිලී ගිය.  

එමෙන්ම පුද්ගලයාට වඩා පුරාණ කණ්ඩායමේ ප්‍රථමත්වය ගැන ඩෙබ්‍රේ අත්දැකීමෙන් දනී. ප්‍රංශ ජාතිකයෙකු ලෙස ඔහු තමාගේම ස්වාමියා වන්නේ මායාවී ආකාරයකින් පමණි. ඔහුගේ පුද්ගලවාදය පිළිබඳ හැඟීම පැමිණෙන්නේ කණ්ඩායමට අයත් වීම පිළිබඳ ඔහුගේ හැඟීමෙන් පසුව වන අතර, එබැවින් එය මත ආධිපත්‍යය දැරීමට නොහැකිය: ඔහුගේ “සැබෑ ආත්මය අයිති වන්නේ ඔහුට නොව ඔහුගේ රටට ය”. මොන්ටෙස්කියු විසින් කරන ලද මෙම අලංකාර ප්‍රකාශයට දායක වීමට ඩෙබ්‍රේට අවශ්‍ය නොවනු ඇති වේද?

මට ප්‍රයෝජනවත්, නමුත් මගේ පවුලට හානි කරනු ඇති දෙයක් මම දැන සිටියේ නම්, මම එය මගේ සිතුවිලි වලින් පිටමං කරමි. මගේ ජාතියට නොව මගේ පවුලට ප්‍රයෝජනවත් දෙයක් මම දැන සිටියේ නම්, මම එය අමතක කිරීමට උත්සාහ කරමි. මගේ රටට ප්‍රයෝජනවත්, නමුත් යුරෝපයට සහ මානව සත්ව විශේෂයට හානිකර දෙයක් මම දැන සිටියේ නම්, මම එය අපරාධයක් ලෙස සලකමි. (මොන්ටෙස්කියු )

එවැනි විශ්වාසයක් ප්‍රකාශ කිරීම, “සමූහ සහජාශය යුරෝපය මානව සත්ව විශේෂයාට පෙරාතුව, ජාතිය යුරෝපයට  පෙරාතුව සහ පවුල ජාතියට පෙරාතුව තබන්නේය ” යන ඩෙබ්‍රේගේ ප්‍රකාශයට ප්‍රතිවිරුද්ධ දෙයකි.තවද ඩෙබ්‍රේට අනුව මිනිසාට වරිග සදාචාරය අහෝසි කිරීමේ ප්‍රයත්නයකදී ඔහු කැමති දේ කිරීමට සහ පැවසීමට හැකිය, නමුත් විශ්වීය ප්‍රකාශයන් “සුඛෝපභෝගී වියුක්තයන්” පමණි.අවසානයේදී විශ්වීය වංශාධිපතියා ඔහු තුළ සිටින ගොවියාට යටත් වේ; සහජාශයේ හඬ අවිකල්පයෙන්ම. ඔහුව නැවත ගාලට ගෙන එයි.

රෙජිස් ඩෙබ්‍රේට සහෝදරත්වයේ පරමාදර්ශය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අත්හර දමා නැත. ඔහු ප්‍රබුද්ධත්වයට එරෙහිව බැරස්ගේ පැත්ත ගන්නා අතර පසුව බැරස්ගේ අනුප්‍රාප්තිකයින්ට විරුද්ධ වේ. අනනුකූල සම්ප්‍රදායන් දෙකක මනඃකල්පිත අභිසාරීවීමෙහි තමා ස්ථානගත කරමින් – ප්‍රංශය භීෂණයේ පාලනය සහ ප්‍රංශය, සරණාගත දේශය – ඔහු පුද්ගලයන්ගේ සදාචාරාත්මක තේරීම් ජනවාර්ගික කණ්ඩායම්වල සංස්කෘතික ප්‍රත්‍යාවර්තතයන්ට යටත් කරයි, ක්‍රියාවලියේදී විදේශිකයන්ට වෛර කිරීම පිළිබඳ කුමන හෝ හෝඩුවාවක් සංස්කරණය කොට බැහර කරයි.  යුනෙස්කෝව  හා සමාන එකම ආකාරයෙන් (නමුත්  අපරිමිතව වඩා ලාලිත්‍යයෙන් යුතුව),සීමාන්තික දේශානුරාගයට සහ විසංගමනයට ප්‍රහාර එල්ල කිරීමට පෙර ඔහු මුලින්ම මිනිසා ගෝත්‍රික සත්වයෙකු  බවට පත් කරයි.

එහෙත් බහුසංස්කෘතිකවාදය ප්‍රවර්ධනය කරන සියලු දෙනාම සාමූහික අවිඥානයේ බලයට හිස නමන බවට චෝදනා කිරීම අසාධාරණ ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එසේ නොකරති.ඔවුහු ගෝත්‍රිකවාදය මතු නොව ත්‍රස්තවාදයේ කාව්‍යමයභාවය ද පිළි නොගනිති.මිනිසා තම සංස්කෘතියේ සෙවනැල්ලෙන් සම්පූර්ණයෙන්ම වැසී යාමෙන් වළක්වා ගැනීම සඳහා, සංස්කෘතික සාපේක්ෂතාවාදය ඉගැන්වීම මගින් සහජාශයේ හඬට අභියෝග කිරීමේ අවශ්‍යතාවය මත, ඔවුහු ප්‍රතිවිරුද්ධ දෙය අවධාරණය කරති. යුරෝපීයයන් ස්වයංසිද්ධව සෙසු ලෝකයට වඩා හොඳින් යුරෝපයට, යුරෝපයට වඩා හොඳින් රටට සහ තමන්ගේ රටට වඩා හොඳින් තමන්ගේ පවුල් වලට,ආදරය කරන්නේ නම් එවිට ඊට වෙනස් ආකාරයෙන් දැනීමට අපි ඔවුන්ව පුහුණු කරන්නෙමු. තමන්ගේ ස්වාභාවික ප්‍රත්‍යාවර්තිතයන්, ඔවුන්ගේ මනාපයන් ජයගැනීමට අපි යුරෝපීයයන්ට උගන්වමු.

1985 දී ‘කොලෙජ් ඩි ෆ්‍රාන්ස්’ (Collège de France) ප්‍රංශය ජනරජයේ ජනාධිපතිවරයාට “අනාගතයේ අධ්‍යාපනය සඳහා යෝජනා” යන මැයෙන් වාර්තාවක් ඉදිරිපත් කළේය. මෙම, රටේ වඩාත්ම කීර්තිමත් ශාස්ත්‍රාලීය ආයතනයට අනුව, නවීන පාසල් දායක විය යුතු මූලධර්ම දහයෙන් පළමුවැන්න පහත පරිදි කියවෙයි:

විද්‍යාවේ එකමුතුකම සහ සංස්කෘතීන්හි බහුත්වය. ප්‍රවේශමෙන් නිමවන ලද අධ්‍යාපන ක්‍රමයකට විද්‍යාත්මක චින්තනයට ආවේණික වූ විශ්වීයත්වය සමාජ විද්‍යාවන්හි සාපේක්ෂත්වය සමඟ, එනම්, ජනයා අතර සංස්කෘතික වෙනස්කම්වල වැදගත්කම සහ ජනයා ජීවත් වන, සිතන සහ හඟින ආකාරය කෙරෙහි අවධානය යොමු කරන ශික්‍ෂණයන් සමඟ ඒකාබද්ධ කිරීමට හැකි විය යුතුය.

‘කොලෙජ් ඩි ෆ්‍රාන්ස්’

අපි අනෙකා ප්‍රතික්ෂේප කිරීමට නැඹුරු වන බැවින්, අපගේ  පාසල්, නැතහොත් වඩාත් නිරවද්‍යව කිවහොත්, පාසලේ සමාජීය විද්‍යාවන්, අපට අපගේ ආවේග පාලනය කිරීමට ඉගැන්විය යුතුය. ඇයි සමාජීය විද්‍යාවන්? මන්ද, ඒවා සංසන්දනාත්මක ක්‍රමය මත පදනම්ව ඇති හෙයින්, අපගේ සංකේත පද්ධතියේ හිතුවක්කාර ස්වභාවය ඒවා පෙන්නුම් කරයි. සමාජ විද්‍යාවන් අපගේ වටිනාකම් සම්ප්‍රේෂණය තීව්‍ර කරන්නේ ඒවායේ ඓතිහාසික අව්‍යාජත්වය හෙළා දැකීම මඟිනි. මෙම විෂයයන් කතුවරුන්, ඔවුන් බැලූ බැල්මට ඉන් ගැළෙවන බව පෙනෙන සන්දර්භය තුළට ඔවුන්ව නැවත දමමින්, ඔවුන්ගේම සුවිශේෂතාවේ උගුලකට හසු කර ගනියි. සමාජීය විද්‍යාවන්හි දෘෂ්ටිකෝණයෙන්, උසස් සංස්කෘතිය යනු ආහාර, ඇඳුම් පැළඳුම්, වැඩ, ක්‍රීඩා, සාරාංශයක් ලෙස “සමාජයක සාමාජිකයෙකු ලෙස මිනිසා විසින් උගත් සියලු සිරිත් විරිත් සහ කුසලතා”, ඇතුළත් වඩා පුළුල් ප්‍රවර්ගයක ඛණ්ඩනීය ප්‍රකාශනය පමණි.(ලෙවි-ස්ට්‍රවුස් ) සංස්කෘතික වූවන් සංස්කෘතික දේ යටතට පත් කිරීමෙන්, සමාජ විද්‍යාවන් එකවර කරුණු දෙකක් ඉටු කරයි: ඒවා අප  ගැන සෑහීමකට පත්වීමෙන් සහ ලෝකය නැවත අපගේම ප්‍රතිරූපයට අනුව මුල සිට නිර්මාණය කිරීමෙන් අප වළක්වයි. සමාජ විද්‍යාවන්, අධිරාජ්‍යවාදයෙන් සහ ගෝත්‍රිකවාදයෙන්, අප විශ්වවාදයේ නීත්‍යානුකූල උරුමක්කාරයන් බවට ඇති විශ්වාසයෙන් සහ අපගේම සුවිශේෂතාව ආක්‍රමණශීලී ලෙස තහවුරු කිරීමෙන්,අපව සුවපත් කරයි. ඔවුන්ගේ ඉගැන්වීම්වලට ස්තූතිවන්ත වන්නට, අපගේ යුරෝපීය අනන්‍යතාවය තවදුරටත් දූත මෙහෙවරක් හෝ අභිමානය පිළිබඳ විෂයයක් නොවේ; එය හුදෙක්,  අන් සියල්ලන්ගේම ඒවා සමඟ එකට සලකා බැලිය යුතුව ඇති ජීවත්වීමේ සහ සිතීමේ එක් ක්‍රමයක් පමණි.  

එසේනම්, ග’ත, තමාට එතරම් බොළඳ ලෙස කුළුපග බවක් හැඟුණු චීන නවකතාවේ ආගන්තුකත්වයට අභිමුඛ යුතුය. දුර බැහැර පෙදෙසක ලියැවුණු, මෙම සාහිත්‍ය කෘතිය කියවන විට, ග’ත කාලය හා අවකාශය හරහා පැනීමේ, ජාතීන් අතර විවිධත්වයෙන් ඔබ්බට ලෝකයකට ප්‍රවේශ වීමේ මත්කරවන සුළු සංවේදනාවක් භුක්ති වින්ද බව අපි සිහිපත් කරමු. ඔහුට අහම්බෙන් හමු වූ මෙම පොතෙහි ග’ත ට සතුටක් ගෙන දුන් දෙය නම්, ඔවුන්ගේ වෙනස් ස්වභාවය අනාවරණය සන්නිවේදනයේ අර්ථය අඩු කරනු නොමැතිව,වෙනත් ශිෂ්ටාචාරයක ජනයා සමඟ සම්බන්ධ වීමට ඇති හැකියාව යි.

කිසිදු අනුකම්පාවක් නොමැතිව, සමාජ විද්‍යාවන් මෙම මායාවී සමීප හැඟීම දුරු කරයි, සංවාදයට බාධා කර සියළුදෙනම ආපසු ගෙදර යවති: හර්මන් සහ ඩොරතියා (Hermann and Dorothea) 1800 ජර්මනියට, චීන නවකතාව එය ඉන් පැමිණි ඈත පෙරදිගට. කලා කෘති සහ ලේඛන අතර ඇති විශදභාවයන් අහෝසි කිරීමේදී, විශ්ව සාහිත්‍යය පිළිබඳ ග’ත ගේ සිහිනය ද අතුරුදහන් වේ.

කුතුහලය දනවන ප්‍රතික්ෂේප කිරීමකි. මක්නිසාද යත් සාපේක්ෂතාවාදය ඉගැන්වීමේ කර්තව්‍යය සමාජිය විද්‍යාවන්ට ආරෝපණය කිරීමේදී, ‘කොලෙජ් ඩි ෆ්‍රාන්ස්’ හි ඍෂිවරු ග’ත මෙන්ම එකම අරමුණ වෙනුවෙන් බල කරමින් සිටිති: “දේශප්‍රේමී කලාවක් හෝ විද්‍යාවක් යනුවෙන් යමක් නැත” යන්න මිනිසුන්ට ඒත්තු ගැන්වීම. ඉලක්කය එකම වුවද, භාවිතා කරන ලද තර්ක ඔවුන්ගේ වෙනස්කම් අවධාරණය කරයි. ග’ත ට අනුව, “සෑම යහපත් දෙයක් ලෙසින්ම කලාව සහ විද්‍යාව මුළු ලෝකයටම අයත් වේ.” එක් අතකින් සුන්දරත්වය ගණිතමය ප්‍රමේයයක් බඳුය: එය එක තැනක නොරැඳෙයි, එය එහි සම්භව ස්ථානයෙන් වෙන් වී, එක් අයෙකුගේ සහ සියල්ලන්ගේම සතුට සඳහා නොමසුරුව තමාවම පිරිනමයි.අනෙක් අතට විද්‍යාවට සත්‍යය පිළිබඳ ඒකාධිකාරයක් නොමැත: ශ්‍රේෂ්ඨ නවකතා හුදු ලේඛනාරක්ෂක ලේඛනවලින් වෙනස් වන්නේ ඒවා හුදෙක් ඉතිහාසඥයන් සඳහා වන ද්‍රව්‍ය නොව ලෝකය සහ පැවැත්ම පිළිබඳ විමර්ශන ආකාරයන් වන බැවිනි.වසර එකසිය පනහකට පසු විශ්ව විද්‍යාලය නවකතාව ලේඛනාරක්ෂක ද්‍රව්‍ය බවට ඌණනය කරයි, සම්භවය වූ කාලය හා ස්ථානයෙන් කැඩී වෙන්වීමේ වරප්‍රසාදය ප්‍රමේයයන් සඳහා පමණක් වෙන් කර තබමින්. ‘කොලෙජ් ඩි ෆ්‍රාන්ස්’ විසින් නිකුත් කරන ලද වාර්තාවේ මුල් වදන්වලම එම වෙනස පහළ වෙයි: මිනිසා තමා අයත් වන සාමූහිකත්වයෙන් ඔහුට උරුම වන සිතීමේ ආකාරයන්ට වඩා ඉහළින් නැගී සිටින්නේ විද්‍යාව තුළ හා විද්‍යාව තුළම පමණි.අනෙක් සියල්ල – චාරිත්‍ර, ආයතන, විශ්වාස, බුද්ධිමය සහ කලාත්මක නිෂ්පාදන – සම්බන්ධයෙන් ගත් කළ ඔහු තම සංස්කෘතියට කොටු වී ඇත. විසම්මුතික හෝ අනුකූලතාවාදී, භාව ගීතාත්මක හෝ සමච්චල්කාරී වුව ඔහු සමස්තයේම කොටසකි, පද්ධතියේ අංගයකි, ප්‍රජාවේ කවියාය: කණ්ඩායමේ සහජ ආධිපත්‍යය අමතක කිරීම උඩඟුකමේ සහ ප්‍රචණ්ඩත්වයේ පිපිරීම් වලට තුඩු දෙයි.විශ්වීයත්වයට හිමිකම් කියන ප්‍රාදේශීය භාෂාවක්, තමන් ලෝකය හා එක හා සමාන යැයි සලකන පළාතක්, සනාතන මානයන් ලබා ගන්නා ගෙවී යන මොහොතක්, නිරපේක්ෂ වටිනාකම පවරාගන්නා සංස්කෘතික වෙනසක්: සමාජීය විද්‍යාවන් නිරන්තරයෙන් විමසිලිමත් විය යුතු සහ ආමන්ත්‍රනය කළ යුතු  ආකාරයේ අන්තරායන් මේවා ය.

වෙනත් ආකාරයකින් කිවහොත්, එයට ගණිතය ආදර්ශකයක් ලබා දෙන වියුක්ත සාර්වත්‍රය සමඟ සංයුක්ත සාර්වත්‍රයක් පවතී යන අදහස අපට තවදුරටත් පිළිගත නොහැක.

ෆ්ලෝබහ් (Flaubert) යනු “පැවත්මේ ගවේශකයෙක්” (මිලාන් කුන්දෙරා)නොවේ, නමුත් ප්‍රෑස්ට් සහ සහ්වන්ටෙ(z)ස් ද කරන්නාක් පරිදි සුවිශේෂිත තත්වය, කලාපය සහ සංස්කෘතිය කෙරෙහි ආලෝකය විහිදුවන අයෙකි.

ෆ්ලෝබහ්

තම ජාතීන් පාවාදීමටත් සහ ඒ වෙනුවට මුළු ලෝකයටම තමන්වම භාර දීමටත් අපූර්ව බලයක් ඇති බව ග’ත දුටු සුන්දරත්වයේ නිර්මාණ,නිශ්චිත වේලාවන් සහ ස්ථානවලට සීමාවූ,තනි සම්ප්‍රදායන්හි ඉතා නියමාකාර ප්‍රකාශනවලට වඩා වැඩි යමක් නොවන බවට දැන් පත්වී ඇත.ඔබට කලාත්මක දේශප්‍රේමයට තිත තැබීමට අවශ්‍ය නම්, එවිට කලා කෘති ඒවා පැමිණෙන රටවලට ආපසු ලබා දෙන්න, ඒවා නියෝජනය කරන සුවිශේෂිතතාව හිමි කණ්ඩායමට (වාර්ගික හෝ සමාජීය) ඒවා ආපසු ලබා දෙන්න.කලාව වර්ගීකරණය කිරීම නැවැත්වීමට, සමහර කෘති අනෙක් ඒවා අභිබවා ශ්‍රේණිගත කරන ධුරාවලියන් අහෝසි කිරීමට අප ඉගෙන ගත යුතුය. සුන්දරත්වය සහ සත්‍යය තීරණය කිරීම සඳහා නිර්ණායක අපි ලොව පුරා විසිරුවා හැරිය යුතුය (ඒවා විද්‍යාත්මක පර්යේෂණයේ මුද්‍රාව නොදරනා තාක් කල්), සහ එපරිද්දෙන් ඒ වෙනුවට විවිධ ආකාරයේ “සංස්කෘතික සංවේදීතාවන්” ප්‍රගුණනය කිරීම අනුමත කරමින්, වටිනාකම් විනිශ්චයන් කිරීම සඳහා ඇති හේතු ඉවත් කළ යුතුය.

ග’ත මෙන්, අපට සංස්කෘතික සීමාන්තික දේශානුරාගය තුරන් කිරීමට අවශ්‍ය නමුත්, එසේ කිරීම සඳහා, අපි හෙට දිනයේ අධ්‍යාපනඥයන්ගෙන් ඉල්ලා සිටියේ ඒ වෙනුවට හර්ඩර් අනුගමනය කරන ලෙසත් සාහිත්‍යය ජනශ්‍රැතිය බවට පත් කරන ලෙසත් ය. වෙනසේ නාමයෙන්, මම, අර්නස්ට්, හිප්පොලයිට් හෝ ජූල්ස් තවදුරටත් සෑම තැනකම නැත. මම ලෝකයෙහි මට වෙන් කර දී ඇති ස්ථානයේ වාසය කරමි, තවද එයින් ඔබ්බට නොයමි. මගේ මතයන්ට ඔවුන්ගේම ඉතිහාසයක් සහ භූමියක් ඇති බව පිළිබඳ දැනුවත්ව,මා කවුරුන් වන්නේද මා එලෙස පැවතීම පිළිබඳ සෑහීමකට පත්වන අතරම ලෝකයේ වෙනත් බොහෝ සංස්කෘතීන් අගය කිරීමටද මම ඉගෙන ගෙන ඇත්තෙමි. මෙය මිලාන්, හූලියෝ, ජමිලා, බොරිස් සහ රේචල්ට මා නොමැතිව පැවතීමට, හෝ, තත්වයන් ඉල්ලා සිටින විට, මා පසෙක ජීවත් වන අතරතුර, ඔවුන්ගේ වෙනස්කම් පවත්වා ගැනීමට හැකියාව ලබා දෙයි.

‘කොලෙජ් ඩි ෆ්‍රාන්ස්’හි ඍෂිවරු යටත් විජිතහරණයේ ජීවගුණයට භක්තිවන්තව සිටිති. නමුත් රෙජිස් ඩෙබ්‍රේ මෙන් නොව ඔවුන්ට ප්‍රංශ ජාතිකවාදය හෝ යුරෝපීය සුවිශේෂතාවාදය පිළිබඳ කීමට යහපත් යමක් නැත. කෙසේ වෙතත්, ඔවුන් රෙජිස් ඩෙබ්‍රේ හා එකතු වන්නේ, මිනිසුන්ව සමීපව එක් කරවීමේ අද්විතීය හා උතුම් ප්‍රතිරූපයට පක්ෂව,ඔහු සමඟ මනුෂ්‍යත්වයේ සංස්කෘතික අඛණ්ඩතාව ( ලෙස්Zසෙක් කොලැකොව්ස්කි) පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කිරීමෙහිදීය. 

සංස්කෘතිය කැබලි වී යයි

හෙට දවසේ අධ්‍යාපන ක්‍රමය උත්සාහ කළ යුත්තේ “සියලු සොයාගැනීම්වල සහ ප්‍රගතියේ සියළු මිනුම් වල සම්භවයෙහි යුරෝපය දකින මනුෂ්‍යත්වයේ  ජනවර්ග කේන්ද්‍රීය දැක්මෙන් බිඳීමටය.”(‘කොලෙජ් ඩි ෆ්‍රාන්ස්’) මෙම ආශාව, නූතන යුගයේ ආරම්භයේදී, යුරෝපයට හඳුන්වා දුන් මහා විචාරාත්මක සම්ප්‍රදායට අයත් වේ යැයි,දිස්වනු ඇත.

”අපේ නාස්වලින් ඔබ්බට අපට නොදැකිය හැකි තරමට, අපි සියල්ලෝම අප කවුරුන්ද යන්නෙන් වෙලී අන්ධ වී ඇතැ” යි යනුවෙන් දහසයවන සියවසේ දී මොන්ටේන් (Montaigne)නිරීක්ෂණය කළේ ය, ඔහු පවරත්ම, අදූරදර්ශී බව නිවැරදි කිරීමේ කාර්යභාරය අධ්‍යාපනයට:ප්‍රශ්න ඇසීමට සහ සැක කිරීමට කුසලතා ඔවුනට ලබා දීමෙන් පුද්ගලයන්ට තමන් ඉපදුණු තැන් කෙරෙහි ඇති වූ ස්වයංසිද්ධ බැඳීම අහෝසි කිරීමට.

මොන්ටේන්

නමුත් ද්‍රෘශ්‍යමානයන් සමහර විට රවටන සුළුය. සෑම සංස්කෘතියකම අද්වීතියත්වය ප්‍රකාශ කරමින්, විද්‍යාව සහ විද්‍යාව පමණක්ම සාපේක්ෂතාව පිළබඳ නියාමයෙන් බැහැර කරමින්, ‘කොලෙජ් ඩි ෆ්‍රාන්ස්’ විසින් සකස් කරන ලද වාර්තාව නූතනත්වයේ ජීවගුණය ප්‍රතික්ෂේප කරන අතර, ඉවසා සිටීමේ නාමයෙන්, එම කාල පරිච්ඡේදය හා බැඳුනු එම වටිනාකම් ම ප්‍රශ්න කරයි.

ඉවසීමට එදිරිව මානවීයවාදය: පුද්ගලයන් ඔවුන්ගේ සංස්කෘතිය අනුව නිර්වචනය කිරීම අවසන් කරන ජනවාර්ගික කේන්ද්‍රවාදයේ පරස්පර විරෝධී විචාරය අපට සාරාංශ කළ හැකි ආකාරය මෙයයි. සංස්කෘතිය පිළබඳ බහු වචනයෙන් පමණක් කතා කිරීම යනු විවිධ කාල පරිච්ඡේදවල හෝ ශිෂ්ටාචාරවල ජනයාට ඔවුන් මුලින්ම පහළ වූ ස්ථානයේ සීමාවන්ගෙන් ඔබ්බට වටිනාකම් සහ අර්ථයන් ගැන සන්නිවේදනය කිරීමේ හැකියාව ප්‍රතික්ෂේප කිරීමයි. එය සිදු විය හැකි බව ප්‍රතික්ෂේප කරනවා වෙනුවට, නූතන යුගය එවැනි සන්නිවේදනයේ හැකියාව ආගමේ සිට සංස්කෘතියට මාරු කළේය. මිලාන් කුන්දේරා නිවැරදිව නිරීක්ෂණය කරන පරිදි, “නූතන යුගයේ දී, මධ්‍යකාලීන දෙවියන් Deus absconditus(දෙවියන් වහන්සේ සැඟවී ඇත)  බවට පරිණාමිත කරනු ලැබූ විට, ආගම එහි ස්ථානය සංස්කෘතියට අත්හැර දැමූ අතර,පසුව කී දේ  යුරෝපීය මානව වර්ගයා තමන්වම  අවබෝධ කරගත්, නිර්වචනය කළ,සහ හඳුනා ගත් උත්තරීතර වටිනාකම් සාක්ෂාත් කර ගැනීම බවට පත්විය. “

ග’ත වඩාත්ම සුන්දර කලා කෘති සඳහා විශ්වීයත්වයේ වරප්‍රසාදය,පෙරාතුව දිව්‍ය වචනය සඳහා පමණක් වෙන් කර තිබූ වරප්‍රසාදය, තමා විසින්ම ඉල්ලා සිටියා පමණි. දෙවියන් වහන්සේ ගේ වැදගත්කම පිරිහෙලනු ලැබුවා වන්නට ඇත, නමුත් “එක් එක් පුද්ගලයා දිගටම භාවිත කරන ඓතිහාසික සම්ප්‍රදායන්හි විවිධත්වයට යටින් එක් මිනිසෙකු අනෙකාට දක්වන සමානකම දැකීමට ඇති, සමහරවිට අද්භූතවන, කුසලතාව එසේ වූවා නොවේ.” (ඉමානුවෙල් ලෙවිනස් ) පොත් අතරිනුත් මුල් පොත ( එනම්, බයිබලය) ට එයට හිමිව තිබූ විශේෂ ස්ථානය අහිමි ව අන්‍ය ඒවා අතර එක් පොතක ශ්‍රේණියට බැඳෙත්ම, බයිබලයද ඇතුළුව සියළු සාහිත්‍යය, විදේශීය සංවේදීතාවන් එකිනෙකාට මුණගැසෙන ස්ථානය,එහිදී තනි පුද්ගල ආත්මයන් තමන්ව සම්පූර්ණයෙන්ම අහිමි කර නොගෙන ඉතිහාසය හරහා ගමන් කිරීමේ හැකියාව පෙන්නුම් කළ තැන, බවට පත් විය. විචාරාත්මක විමර්ශනය, විද්‍යාවේ ඥානෝද්දීප්තිය, අවබෝධය නිදහසේ ලුහුබැඳීම ආනුශ්‍රවික පඨිතයන් කෙළසීමට හේතු විය; සාහිත්‍යය ප්‍රවර්ධනය මානව වර්ගයාගේ එකමුතුකමට හිමිකම් කියන අතර සුවිශේෂතා ප්‍රතික්ෂේප කළේය.විවාදය සම්ප්‍රදායත්, සහ ආත්මයේ නිදහස ආගමික අධිකාරියත් ප්‍රතිස්ථාපනය කළෙත්ම, බයිබලානුකුල කාල පරිච්ඡේදය, අවම වශයෙන්, එක් අර්ථයකින් හෝ අවසන් විය. තවත් එකකින් එය දිගටම පැවතියේ ය, මන්ද යත්, උදුරා දැමූ, වචනය,එහි බලය පවත්වා ගන්නා හෙයිනි.(ග’ත)

ජාතිකවාදය රජ කළ සියවසේදී, ප්‍රංශය – එහි ගෞරවයට සහ ස්වීයත්වයට හේතුවෙමින් – ආත්මයට ජනවාර්ගික මූලයන් ඇති බවට වූ අදහස පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය. විශ්වීය මූලධර්මවලට රටේ පක්ෂපාතිත්වය (Witold Gombrowicz) ගේ ප්‍රශංසාව ලබා ගත්තේ බොහෝ කලකට පෙරය. ඔහු ප්‍රංශයේ ප්‍රත්‍යෙකය පෝලන්ත ජාතිකයන් නිවැරදි කිරීමක් ලෙස භාවිතා කළේය,තමන්ගේ “පෝලන්තභාවයෙන්” වශී වූ ඔවුන්, තම සාමූහික ඉතිහාසයේ හොඳම උදාහරණ බවට පත්වීමට උත්සාහ කරමින් වෙහෙසට පත්වෙමින් සිටියහ: “ ප්‍රංශ ජාතිකයෙකුට ප්‍රංශය හැර අන් කිසිවක් නොපෙනේ නම් ප්‍රංශ ජාතිකයෙකු වඩා ප්‍රංශද නැතහොත් ප්‍රංශ බවින් අඩුද?’ සැබවින්ම ප්‍රංශ වීම යනු ප්‍රංශයෙන් ඔබ්බට යමක් දැකීමයි.”(ගොම්බ්‍රොවිච් ) ප්‍රශංසනීය නිරීක්ෂණයක් සහ ජනආත්මයෙහි හි ද්වේෂ සහගත මෝඩකම නිසා තම නිවෙස්වලින් පන්නා දැමූ විදේශිකයන් වසර ගණනාවක් තිස්සේ ප්‍රංශය ආකර්ෂණය කර ගත්ෙත් මන්ද යන්නට හේතුව පැහැදිලි කරන එකකි.උදාහරණයක් ගතහොත්, 1923 දී ලිතුවේනියාවෙන් පිටව ගිය ඉමානුවෙල් ලෙවිනස්,ස්ට්‍රාස්බර්ග් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට තෝරා ගත්තේ මන්ද යත් “ප්‍රංශය යනු සංස්කෘතික ආකෘතීන් කෙරෙහි ඇති බැඳීම භූමියට ඇති බැඳීම හා සමාන දෙයක් ලෙස පෙනෙන රටකි” හෙයිනි.(ලෙවිනස් ) ප්‍රංශය ප්‍රංශමයබවට ලඝු කළ නොහැක, එහි ප්‍රවේණිය අවිඥානික තේරීම්වලට හෝ පැවැත්මේ නියමානුකූල සහ උරුම වූ ආකාරයන්ට ලඝු කළ නොහැක.ප්‍රංශය මානව බුද්ධියට පිරිනැමෙන වටිනාකම් සමූහයකින් සෑදී ඇත.ලෙවිනස් තමාම ප්‍රංශ ජාතිකයෙකු බවට පත් වූයේ තමන්ගේ කෘතිවල  චිත්‍රෝපම දේ වගා නොකළ නමුත් ප්‍රංශය හැර අන් යමක් සලකා බලා විශ්ව සාහිත්‍යයට හෝ දර්ශනයට ස්වීය දායකත්වයන් ලබා දුන් මොලිඒහ්, ඩේකාට්, පස්කාල් සහ මල්බ්‍රොරෝෂ් (Moliere, Descartes, Pascal and Malebranche) කෙරෙහි ඇති ඇල්ම නිසා ය.

අද මෙම පරමාදර්ශය විලාසිතාවෙන් ඉවත්ව යන්නේය. බහුසංස්කෘතිකවාදයේ ආධාරකරුවෝ ජාතිකවාදීන් කිසිදා සම්පූර්ණ නොකළ කර්තව්‍යය අවසන් කරමින් සිටිති, “දෙවියන් සහ දේශයේ” උඩඟු ආරක්ෂකයන් සාධනය කර ගැනීමට අසමත් වූ දේ නිහතමානිත්වය පිළීබඳ ප්‍රකාශ කිරීම් සමගින් සපුරා ගනිමින්:

අනෙකාට අනෙකා වීමට නිදහස ලබා දෙන අතරම, බහුසංස්කෘතිකවාදීහු තම ජාතියේ අද්වීතියත්වය වෙත ආපසු පැමිණෙති; ඔවුහු අන් අය කරන්නාක් මෙන්, තම ජනයාගේ අද්විතීය ආත්මය දෙස බලති. ප්‍රංශය (සහ දිගුවක් ලෙස් යුරෝපය)එහි සංස්කෘතිය මගින් නිර්වචනය කරමින්, ඔවුන් සමාජය තුළ සංස්කෘතිය සතු කේන්ද්‍රීය ස්ථානය තවදුරටත් පිළි නොගනිති. ඔවුන් තම ජනයාට විශද ලක්ෂණ ඇති බව විස්තර කරති, නමුත් උග්‍ර අධිෂ්ඨානයෙන් යුතුව පෙන්නුම් කරන්නේ, ඔවුන් තමන් වෙනස්වන  ආකාර පිළිබඳ ඔවුන් ආඩම්බර වන්නේ කෙසේද යන්නයි.

අප බයිබලානුකුල හා නූතන යුගයන්හි  ඉතිහාසයේ අවසාන පරිච්ඡේද සමගාමීව ගෙවා දමමින් සිටින්නමෝද? ඔව් ද නැත් ද; “අපි එක සංස්කෘතියක් පමණයි” යනුවෙන් පිළිතුරු දීම, පිළිතුරක් නොව,අනන්‍යතා දේශපාලනයේ කීර්තිමත් සහ විජයග්‍රාහී සාර්ථකත්වය තහවුරු කරමින්, යටත් වීමකි. අවසාන වශයෙන් පැරණි ලෝකය පිළිගන්නාසුළු බවට පත්කිරීමට  ඔවුන් ගත් උත්සාහයේ දී, බහුසංස්කෘතිකවාදයේ ධර්මදූතයන් ඉතා දැනුවත්ව යුරෝපයේ ආත්මය විනාශ කර ඇත, යුරෝපයට ඉතිරිව ඇති එකම ආකර්ෂණය සමෘද්ධිය බවට පත් කරමින්.

සේවකයෙකු වීමට ඇති අයිතිය

යුරෝපයේ නූතන යුගයේ තවත් ලක්ෂණයක් වන්නේ ඔවුන් අයත් වන සමාජීය සමූහයන්ට වඩා පුද්ගලයන්ට ප්‍රමුඛත්වය ලබා දීමයි.මානව සාමූහිකත්වයන් තවදුරටත් සංකල්පගත වන්නේ කිසිදා වෙනස් නොවන පුද්ගල අනන්‍යතාවයන් වෙත පැවරෙන සමස්තයන් ලෙස නොව ස්වාධීන පුද්ගලයන්ගේ සංගම් ලෙස ය.පර්යාලෝකයේ මෙම විශාල තැන්මාරුව සමාජීය ධූරාවලීන් අහෝසි නොකරයි, නමුත් එය අප අසමානතාවයේ අවස්ථාවන් දෙස බලන ආකාරය ගැඹුරින් වෙනස් කරයි. පුද්ගලයන් මත පදනම් වූ සමාජයක් තවමත් පොහොසත් සහ දුප්පත්, ස්වාමිවරුන් සහ සේවකයින්ගෙන් සමන්විත වේ, නමුත් – මෙම වෙනස්කම් විප්ලවීය වේ – ඔවුන් අතර ස්වභාවික වෙනස්කම් පිළිබඳ කිසිදු පිළිගැනීමක් තවදුරටත් නොමැත.”ඔවුන්ගෙන් එක් කෙනෙක් අණ කරනවා විය හැකිය, නමුත් එය අනෙක් පැත්ත විය හැකි බව පැහැදිලි විය යුතුය; එය අවබෝධ කර ගැනීමට සහ සටහන් කිරීමට ඉඩ දෙන්න, කිසිම ආකාරයකින්, කිසිදු සහජ හෝ සහජ හැඟීමකින් තොරව උත්තරීතරත්වය, එක් අයෙක් අනෙකා කෙරෙහි අධිකාරියක් ක්‍රියාත්මක කරයි,” (මාර්සෙල් ගූෂෙ) 

ඒ වන තෙක් සමාජ ක්‍රමය තුළ පුද්ගලයන්ට ඔවුන්ගේ ස්ථානය ඔවුන් සඳහා අර්ථ දක්වා තිබුණි. දැන්, හදිසියේම, ඔවුන්ට තම පවරා ඇති ස්ථානයෙන් ඉවත් විය හැකිය. ඔවුන් කුල රහිත බවට පත් වී, අර්න්ස්ට් බ්ලොච් (Ernst Bloch) විශිෂ්ට ලෙස පවසන පරිදි, “තමන්ගේම නිල ඇඳුම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය” ජයග්‍රහණය කරයි.සිවුර තවදුරටත් භික්ෂුව නොසාදයි. ඔහුගේ වංශයෙන්, ශිල්පශ්‍රේණියෙන් සහ පෙළපතෙන් කපා හරිනු ලදුව,සමාජ ධූරාවලියේ ඔහුගේ ස්ථානයෙන් තවදුරටත් හඳුනා ගනු නොමැතිව,මිනිසා ඔහුගේ මුල් නිරුවතින් පෙනී සිටියි.ආගම පිළිබඳ සියලු ආශ්‍රේයයන් ප්‍රතික්ෂේප කරන අතරම, නූතන යුගය බයිබලානුකුල හෙළිදරව්ව සපුරා ලයි: සියලු මනුෂ්‍ය වර්ගයා එකකි.

අප දැක ඇති පරිදි, ජනආත්මය පිළිබඳ අදහස පැවැත්මට ආවේ මෙම ලෝකාපවාදය අවසන් කිරීමේ සහ පුද්ගලන්ට නැවත වරක් ඇඳුම් ඇන්දවීමේ පැහැදිලි ඉලක්කය සමඟ ය: පර්සියානුවන්, ප්‍රංශ ජාතිකයන්, ස්පාඤ්ඤ ජාතිකයන් හෝ ජර්මානුවන්, අප එක එකෙකුට ජාතික නිල ඇඳුමක් සහ ඉතිහාසය විසින් අපට පවරා ඇති කාර්යය ඉතා සූක්ෂම ලෙස ඉටු කිරීමට අපේ රටට බැඳීමක් ඇත. මීට පෙර දිව්‍යමය අයිතිය විසින් දැරූ ස්ථානය ඓතිහාසික අයිතියට ලබා දීම වෙනුවට,සාමූහිකය සිය පළිගැනීම කර ඇත: කුල රහිත අය නැවත ඒකාබද්ධ කර ඇති අතර ඔවුන් යළි නිල ඇඳුම් පළඳා ඇත.

විකල්පය, එසේ නම්, සරල ය: එක්කෝ මිනිසුන්ට අයිතිවාසිකම් තිබේ නැතහොත් ඔවුන්ට නිල ඇඳුම් තිබේ; එක්කෝ ඔවුන්ට පීඩනයෙන්  නීත්‍යානුකූලව නිදහස් විය හැකිය, (සහ විශේෂයෙන්) ඔවුන්ගේ මුතුන් මිත්තන් දැනටමත් යටත් කරනු ලැබ සහ බර දරා සිටියේ පවා වුවත්, නැතහොත් සංස්කෘතියට අවසාන වචනය හිමි ය. පුද්ගලයන් අභිබවා සම්ප්‍රදායන් ආරක්ෂා කරන්නන් පිලිබඳ ඔහුගේ ප්‍රබල විචාරයේදී මාක්ස් අනතුරු අඟවන පරිදි, කස පහර දෙනු ලැබූ දාසයාට ඔහුගේ කැරැල්ලේ සහ දුක් විඳීමේ වේදනා යටපත් කිරීමට බල කෙරෙයි, “එම කසය චිරාගත,පාරම්පරික,සහ ෙඑහිතාසික බවට පත්ව ඇති විට.”  (මාක්ස්)

අද විපක්ෂය ව්‍යාකූල වී ඇත: බහුසංස්කෘතික සමාජයේ ආධාරකරුවෝ සෑම කෙනෙකුටම නිල ඇඳුමක් ඇඳීමට ඇති අයිතිය ඉල්ලා සිටිති. ජනයාට ඔවුන්ගේ අනන්‍යතාවය නැවත ලබා දීමේ ඔවුන්ගේ ප්‍රශංසනීය ආශාව තුළ, ඔවුහු එකිනෙකට පරස්පර පර්යාලෝකයන් සහිත චින්තන ගුරුකුල දෙකක් ඒකාබද්ධ කර ඇත: ස්වාභාවික අයිතිවාසිකම් සහ ඓතිහාසික අයිතිවාසිකම්.

ඉන්පසුව, තර්කනයේ අසහාය වික්‍රමයක් ලෙසින්, තනි පුද්ගල නිදහසේ අවසාන සාධනය ලෙස වර්තමානය සාමූහිකයේ නිරපේක්ෂ ආධිපත්‍යය ඉදරිපත් කරති: “සංක්‍රමණිකයන්ට උපකාර කිරීම සඳහා, අපි පළමුව ඔවුන්ට ඔවුන් සිටින ආකාරයටම සහ ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය, ඔවුන්ගේ සංස්කෘතික සුවිශේෂත්වය, ඔවුන්ගේ අධ්‍යාත්මික සහ ආගමික උරුමය ට අනුව ඔවුන්ට වීමට අවශ්‍ය පරිදි ඔවුන්ට ගරු කළ යුතුයි.” (Father M . Lelong එම්. ලලුං පියතුමා )

නමුත් සංස්කෘතියක්, අපරාධරුවන්ට කායික දණ්ඩනය බලෙන් පැනවීමට, දරුඵල අහිමි ස්ත්‍රීන් ප්‍රතික්ෂේප කිරීමට, අනාචාරී කාන්තාවන් මරා දැමීමට, එක් පුරුෂයෙකුගේ සාක්ෂිය කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂිය හා සමානව සැලකීමට, සහෝදරියකට ඇගේ සහෝදරයාට දෙන උරුමයෙන් අඩක් පමණක් ලබා දීමට,කාන්තා සුන්නත් කිරීම් කිරීමට, මිශ්‍ර විවාහ තහනම් කිරීමට සහ බහු විවාහයට අවසර දීමට මිනිසුන්ට උගන්වන්නේ නම් කුමක් කළ යුතුද? අපේ අසල්වැසියාට ප්‍රේම කිරීමට නම් අප මෙම සිරිත් විරිත්වලට ගරු කළ යුතුද? පිළිතුර ඔව් නම්, දාසයාට කසයෙන් ප්‍රයෝජන ගත හැකි විය යුතු බවත්, මෙය ඇයට අහිමි කිරීම ඇයගේ පැවැත්ම අංග ඡෙදනය කරනු ඇති බවත්,තැනැත්තියක ලෙස ඇයගේ ගරුත්වයට තර්ජනයක් කරනු ඇති බවත්, වෙනත් වචන වලින් කිවහොත්, අපේ ජාතිවාදය පිළිබඳ සාක්ෂි දීමක් වනු ඇති බවත් අප කියන බව පෙනී යයි. 

අනුභූතිඋත්තර බවින් පාළු වූ ලෝකයක,ම්ලේච්ඡ සිරිත් විරිත් සාධාරණීකරණය කිරීමට උමතුවාදීහු තවදුරටත් දෙවියන්ගේ නාමය උද්දීපනය නොකරති; ඒ වෙනුවට ඔවුහු අනන්‍යතා දේශපාලනය ඉල්ලා සිටිති. ස්වර්ගයට ආයාචනා කිරීමට නොහැකිව,ඔවුහු ඉතිහාසය හා වෙනස සමඟ ඔවුන්ගේ විශ්වාසයන් ආරක්ෂා කරති. දෙවියන් මිය ගොස් ඇත, නමුත් ජානආත්මය දිගටම ජීවත් වෙයි, මිනිසාගේ අයිතිවාසිකම් පිළිබඳ අදහස  පැවැත්මට ආවේ නිශ්චිතවම පැරණි මහාද්වීපයේ පසෙහි ගැඹුරින් මුල් බැස ඇති සම්ප්‍රදායන්හි අධිකාරයට අභියෝග කිරීම සඳහා වූවද. යුරෝපීය පුද්ගලයන්,එකින් එක,ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් ලබා ගත්තේ ඔවුන්ගේ සංස්කෘතිය නොසළකා හරිමිනි. අවසානයේදී යුරෝපයේ අධ්‍යාත්මික අත්තිවාරම යුක්ත වන්නේ සම්ප්‍රදාය පිළිබඳ විචාරයෙනි, මෙය පුද්ගලයා සංස්කෘතික ප්‍රපංචයකට වැඩි යමක් නොවන බව අපට ඒත්තු ගැන්වීමෙන්  විජිතහරණයේ දර්ශනය අපට අමතක කරන්නට ඉඩ සළසා ඇති කරුණකි.

“යුරෝපය,” ජූලියන් බෙන්ඩා 1933 දී ලිවීය,

ඔබේ ආත්මයේ, ඔබේ ආත්මයේ අධිෂ්ඨානයේ නිෂ්පාදනයක් වනු ඇත, ඔබේ සත්තාවේ නිෂ්පාදනයක් නොවේ. ඔබ ආත්මයේ ස්වායත්වතාව පිළිබඳ විශ්වාස නොකරන බවත්, ඔබේ ආත්මය ඔබේ සත්තාවේ අංශයක් හැර වෙනත් කිසිවක් විය නොහැකි බවත් ඔබ පිළිතුරු දෙන්නේ නම්, ඔබ කිසි විටෙකත් යුරෝපය ඇති නොකරන බව මම ඔබට කියන්නෙමි. මක්නිසාද යුරෝපීය  ජීවියෙකු කියා දෙයක් නැත.

අනෙකාගේ පරීක්ෂණයට ලක් වූ විට, ආත්මය විසින් සත්තාව ප්‍රශ්න කරනු ලැබීම නිශ්චිත ජනවාර්ගික කණ්ඩායමක විශේෂිත වර්ගයක සත්තාවක සුවිශේෂී සංඥාවක් විය. පරම්පරාගත දෙයට යහපත් දේ උකහා ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාව ශිෂ්ටාචාරයේ ගතිලක්ෂණයක් බවට පත් විය; සම්ප්‍රදායට එරෙහි කැරැල්ල යුරෝපීය චාරිත්‍රයක් බවට පරිණාමනය කෙරුණි. බොහෝ යුරෝපීයයන් යුරෝපය හඳුනා ගන්නා අතර අන් සියල්ලටම වඩා  ඉහළින් පුද්ගලයා ශ්‍රේණිගත කළේ යුරෝපය පමණි. නමුත් එසේ කරනු ලැබීම පිළබඳ ඔවුහු වහාම සමාව ඉල්ලති:”ආඩම්බර වීමට කිසිවක් නැත. පෘථිවිය අපගේ අභිමතයන්ට පරිවර්තනය කිරීමට අවශ්‍ය කරනු ලැබ, අපි පිළිසකර කළ නොහැකි නුවුවමනා ෙස් අධික හානි කර ඇත්තෙමු. කුරුස යුද්ධයන්හි කාලය අවසන් ය; සමාජය පිළිබඳ අපගේ දෘෂ්ටිය පිළිගැනීමට අප තවදුරටත් කිසිවෙකුට බල නොකරනු ඇත.“ අපි තුන්වන ලෝකයේ ජනතාවන් මත එතරම් කාලයක් ආධිපත්‍යය දරා ඇති ආකාරය පිළිබඳ ලැජ්ජාවට පත්ව, නැවත ආරම්භ නොකරන බවට අප දිවුරන අතර, අපගේ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කිරීම සඳහා, යුරෝපීය – විලාසිතාවේ නිදහසේ ප්‍රමිතීන්ට ළඟා නොවීම පිළිබඳ අන් අයට සමාව දීමට අපි තෝරා ගනිමු. තනි පුද්ගල සංක්‍රමණිකයන්ට ප්‍රචණ්ඩත්වය කිරීමට ඇති බිය නිසා, අපි මෙම නව සම්ප්‍රාප්තිකයන් ඉතිහාසය විසින් ඔවුන් වෙනුවෙන් හැඩ ගැස්වූ නිල ඇඳුම සමඟ පටලවා ගනිමු. ඔවුන් කැමති පරිදි ජීවත් වීමට ඔවුන්ට ඉඩ දීම සඳහා, ඔවුන්ගේම සම්ප්‍රදායන් අතින් ඔවුන් අත්විඳිය හැකිව තිබුණු අපක්‍රියාවලින් හෝ අන්තිමේදී සිදුවිය හැකි අපයෝජනයන්ගෙන් ආරක්ෂා කිරීම අපි ප්‍රතික්ෂේප කරමු. සියරට හැරයාමේ ම්ලේච්ඡ අත්දැකීම අවම කිරීමට උත්සාහ කරමින්, අපි සංක්‍රමණිකයන් අත පය බැඳ, විදේශගතව සිටින ප්‍රජාවේ අනෙකුත් සාමාජිකයින් වෙත ආපසු යවන්නෙමු. එසේ කිරීමෙන්,අනෙක් සම්ප්‍රදායන්හි ජනයන්ට ඔවුන්ගේම සංස්කෘතීන්ගේ නීති වලට අනුව ජීවත් වීමට අවස්ථාව ලබා දීමෙන් අපි මෙම අයිතිවාසිකම් පුළුල් කර ඇති බව සැමවිටම විශ්වාස කරමින්,අපි අන්තිමේදී මිනිසාගේ අයිතිවාසිකම් බටහිර ලෙසින් හඳුනාගත් සමාජවලට පමණක් සීමා කරන්නෙමු. 

ජනතාවන්ගේ විමුක්තිය සඳහා වන අරගලයෙන් බිහි වූ, සංස්කෘතික සාපේක්ෂතාවාදය වහල්භාවයේ සැමරුමක් බවට පත්ව ඇත.එබැවින් අප නැවත සමාග්‍රහණවාදී විසඳුම් වෙත ගොස් නව ආගමනිකයන්  ඔවුන්ගේ ආගමෙන් හෝ ජනවාර්ගික කණ්ඩායමෙන් වෙන් කළ යුතුද? සාමූහික හෘදසාක්ෂිය පිළිබඳ කුමන හෝ හැඟීමක අවසානය අප අනුකලනය සඳහා ගෙවිය යුතු මිලද? නියත වශයෙන්ම එසේ නොවේ. විදේශිකයන්ට පුද්ගලයන් ලෙස සැලකීමට නව දේශයේ සංස්කෘතිය විසින් භාවිතා කරන ලද සියලු චාරිත්‍ර අනුගමනය කිරීමට ඔවුනට බල කිරීම අවශ්‍ය නොවේ. මුස්ලිම් සංක්‍රමණිකයින්ට නව නිල ඇඳුම ඇන්දවීමට හෝ හෝ ඔවුන්ගේ ප්‍රජා සබඳතා විනාශ කිරීමට අපට අවශ්‍ය යැයි එයින් අදහස් නොකොට ඉස්ලාමීය සම්ප්‍රදායේ අංගයන් තුළ පිරිමින් සහ ගැහැණුන් අතර පවතින අසමානතාවය අපට හෙළා දැකිය හැකිය. ජාතික සාමූහිකත්වය තමන්ම නොනැසී පැවැත්ම සඳහා අනෙකුත් ප්‍රජාවන් අතුරුදහන් කළ යුතු බව විශ්වාස කරන්නේ සංස්කෘතික අනන්‍යතාවයේ (සහ එබැවින් සංස්කෘතික අනුකලනභාවයේ) තර්කයට අනුව තර්ක කරන්නන් පමණි. එය හා අදාළ වන තාක් දුරට, නූතන යුරෝපයේ ආත්මය ජනවාර්ගික හෝ ආගමික සුළුතරයන්ගේ පැවැත්මට තමාම ඉතා හොඳින් ගළපා ගනියි, ඔවුන් නිදහස් හා සමාන පුද්ගලයින්ගෙන් සමන්විත ජාතියක ආකෘතියට අනුකූල වනු ඇත යන කොන්දේසිය මත. මෙම ඉල්ලීම මානව සත්වයන්ගේ මූලික අයිතීන් ප්‍රතික්ෂේප කරන – ඉතිහාසයට ගැඹුරට යන මූලයන් ඇති ඒවාද ඇතුළුව – සියලු භාවිතයන් ප්‍රතික්ෂේප කිරීම ත් සමඟම ගෙන යයි.

තුන්වන ලෝකයෙන් එන වැඩිවෙමින් පවතින සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් යුරෝපයේ සිටීම නව ගැටළු මාලාවක් මතු කරන බව ප්‍රතික්ෂේප කළ නොහැකි ය. දරිද්‍රතාවයෙන් තම නිවෙස්වලින් පලවා හරින ලදුව සහ යටත් විජිතවාදයේ අවමානයෙන් කම්පනයට පත් වූ, මෙම ජනයාට තමන්ව භාර ගන්නා රට පිළිබඳ, නැගෙනහිර යුරෝපයෙන් පැමිණි බොහෝ සරණාගතයින් මෙම සියවසේ මුල් භාගයේදී අත්විඳි එකම ආකාරයේ ආකර්ෂණයක් සහ කෘතඥතාවයක් දැනෙන්නේ නැත.එහි ධනයට ඊර්ෂ්‍යා කරනු ලැබ, එහි අධිරාජ්‍යවාදී අතීතයට වෛර කරනු ලැබ,දැන් ඔවුන්ට තම දොරටු විවර කරන තෝතැන්න පොරොන්දු දේශය නොවේ. එක් දෙයක්, කෙසේ වෙතත්, පැහැදිලිය: වරප්‍රසාද අහෝසි කිරීමේ අවශ්‍යතාවය එක් ශිෂ්ටාචාරයක පමණක් පරමාධිකාරය බවට පත්වීමට ඉඩ දීමෙන් අප මුහුණ දෙන දුෂ්කරතා අපි කවරදාකවත් විසඳනු නොමැත. පුද්ගල අයිතීන් භාවිතය සහ ටොකවිල් “කොන්දේසිවල සමානාත්මතාවය” ලෙස හඳුන්වන දෙය අපට බටහිර සමඟ අප අනන්‍ය කරනා අයට පමණාක් සීමා කළ නොහැකිය. 


( උපුටා ගැනීම, The Defeat of the Mind , ( 1987 ) Alain Finkielkraut, කෘතියෙනි. ජුඩිත් ෆ්‍රීඩ්ලැන්ඩර්  විසින් ප්‍රංශ බසින් ඉංග්‍රීසියට පරිවර්ථනය කරන ලදී.  නිව් යෝර්ක්, කොලොම්බියා විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 1987 මෙම සිංහල පරිවර්ථනය ‘කතිකා’ අධ්‍යයන කවය ©
 විසිනි. මෙම සිංහල පරිවර්ථනයේ හිමිකම්‘ ( කතිකා’ අධ්‍යයන කවය © ) සපුරා ඇවුරිණි. ).

අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind (මනසේ පරාජය) කෘතියේ ඉතිරි කොටස් අනුවර්ථනය / පරිවර්ථනය කරමින් ඒ පිළිබඳ කෙරුණු සාකච්ඡාවක් සඳහා පහත ලිපි බලන්න:

1. ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය කිරීමත් බුලත් හැපීමත් දෙකම ‘සංස්කෘතික‘ වීම

2. “ අපේ ජාතිය, අපේ සාහිත්‍යය, අපේ භාෂාව ඒවා අපේය, ඒවා අපමය, එපමණක් ප්‍රමාණවත් “

3. විප්ලවවාදීන්ගේ ජාතිය සහ සම්ප්‍රදායවාදීන්ගේ ජාතිය: මානව සංස්කෘතිය සහ ජාතික සංස්කෘතිය

4. ජාතිකවාදයට සහ අගතියට එරෙහිව ප්‍රබුද්ධත්වයේ ලිබරල් මානවවාදය සහ විචාර බුද්ධිය

5. ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාවකට සටහන් – (5)

6. මිනිසාගේ දෙවැනි මරණය: අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාව– (6)

7. අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” – විජිතහරණය කළ ලෝකයේ ආලේඛ්‍ය චිත්‍රයක්- (7) (A Portrait of the Decolonised World)

8. බහුසංස්කෘතික සමාජයක් කරා – අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ මනසේ පරාජය  කෘතියේ සිවුවැනි කොටස

9. අපි වෙමු ලෝකය, අපි වෙමු දරුවෝ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s