පාරිභෝජනවාදයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැක ගත හැකිද?
තමිල්නාඩු මහ ඇමැතිනිය ජයලලිතා කළ නියෝගයක් මත ඉන්ඩියා ප්‍රිමියර් ලීග් (අයි පී එල්) ක්‍රිකට් තරඟාවලියේ පාලක මණ්ඩලය ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් චෙන්නායි හි පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟ වලට සහභාගීවීම වළකාලමින් තහනමක් පනවා තිබීම ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇත. ජයලලිතා තම නියෝගයට හේතුව වශයෙන් දක්වන්නේ ශ්‍රී ලංකා රජය එරට පැවති යුද්ධ සමය තුළ දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ දකුණු ඉන්දියාවේ මතුවී ඇති උණුසුම් සහගත තත්ත්වය මෙයින් උග්‍ර වී ජනයා තුළ කෝපය වැඩි කරනු ඇති හෙයින් මෙම තහනම පනවන බවයි.
මෙම තීරණය පිළිබඳ තම ශෝකය පළ කරමින් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් කියා සිටියේ දැන් ලංකාවේ ජනයා සාමකාමීව වසන හෙයින් එය දැක බලාගැනීමට ඉන්දීය බලධාරීන් ලංකාවට පැමිණිය යුතු බවයි. මෙම තහනමට කුමාර් සංගක්කාර දැක්වූ ප්‍රතිචාරය වූයේ මෙලෙස දේශපාලනය විසින් ලාංකේය ක්‍රීඩකයන්ට තහංචි දැමීම වැනි අගතිකාමී ක්‍රියාවලින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය සීමා කළ නොහැකි වනු ඇති බවයි. හිටපු ක්‍රිකට් නායක සහ වත්මන් දේශපාලක අර්ජුන රණතුංග කියා සිටියේ මෙම තහනම යටතේ ලාංකේය ක්‍රීඩකයන්ට ඉන්දියාවේ අනෙක් ප්‍රාන්තවල අයි පී එල් තරඟ වලට සහභාගීවීමට ඉඩ හැරීමෙන් ලංකා රජය “අපේ රටට එරෙහිව එල්ල වී ඇති මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබද චෝදනා අනුමත කරන “ බවයි. මන්ද යත් ජයලලිතා සහ කරුණානිධි දෙපළ ලාංකේය ක්‍රීඩකයන්ට තමිල්නාඩුවේ ක්‍රීඩා කිරීමට ඉඩ දිය යුතු නැතැයි කියන්නේ ශ්‍රී ලංකාව මානව අයිතිවාසිකම් උල්ලංඝණය කළේ යැයි චෝදනා කරමින් හෙයිනි. එහෙයින් ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට යන ක්‍රීඩනයනුත් මෙම චෝදනාව සනාථ කිරීමට අනුබල දෙති. තමිල්නාඩු නායකයන් මෙහිදී කරන්නේ ක්‍රීඩාව සමඟ දේශපාලනය කිරීම ය යන්න අර්ජුන රණතුංග ගේ අදහසයි.
ඉන්දියවේ ජාතික පුවත් පතක් වන ‘ ද හින්දු‘ පුවත් පත මාර්තු 27 වැනිදා තම කතුවැකියෙන් කියා තිබුණේ ජයලලිතා ගත් මෙම තීරණයෙන් ක්‍රීඩාවේ සහ දේශපාලනයෙහි ජාතිවාදය සහ ජනවාර්ගික අනන්‍යතාවේ පදනම මත වෙනස් කම් කිරීම අනුමත කෙරුණු බවයි. ලාංකේය ක්‍රීඩකයන් ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රෑරකම්වලට විරෝධය පෑම සමඟ පටලවා ගත යුතු නැත. නීතිය සහ සාමය රැකීමේ තම වගකීම ජයලලිතා පැහැර හැර තිබේ. ජනයා එකට එක් කරන ක්‍රීඩාව අන්ධදේශානුරාගයේ සහ ජනවාර්ගික බන්ධුතාවේ යානයක් බවට පත් කොට ඇතැයි ‘ ද හින්දු‘ පුවත් පත කියා සිටියා ය.
මුරලිදරන් තම ප්‍රකාශයෙන් පිළිතුරු දෙන්නේ මානව හිමිකම් උල්ලංඝණය පිළිබඳ ලංකා රජයට එල්ලවන චෝදනා පිළිබඳ නම් උතුරු නැගෙනහිර දෙමළ ජනයා ගේ දේශපාලන සහ ආගමික නායකයන්ගෙන් බහුතරයක් මුරලිදරන් සමඟ එකඟ නොවන තත්ත්වය ගැන මුරලිදරන් කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද?
සංගක්කාර ගේ ප්‍රකාශයෙන් ප්‍රකට කෙරෙන්නේ, ක්‍රිකට් ක්‍රීඩාව උග්‍ර ලෙස වාණිජකරණය සහ දේශපාලනීකරනය වි ඇති තත්ත්වයක් තුළ පවා ක්‍රීඩකයන් තුළ ක්‍රීඩාවේ ජීවගුණය පිළිබඳ හැඟීමක් රැඳී තිබීම නම් එය අගය කළ හැකිය. මෙම තහනම පිළිබඳ ක්‍රීඩා ලෝලීන් අතර ඇති වී තිබෙන උණුසුම පෙන්නුම් කරන්නේද ක්‍රීඩාවක් වශයෙන් ක්‍රිකට් නැරඹීමට ඔවුන් තුළ ඇති ඇල්ම සහ ඊට දේශපාලන හෝ වෙනත් අයුතු යැයි සැළකෙන බලපෑම් වලින් බාධා ඇතිවීමට ඔවුන් තුළ ඇති විරෝධය යි.
අර්ජුන රණතුංග එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගන්නට මාන බලන සේය. ඔහු කියන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය පිළිබඳ ලංකා රජයට එල්ල වී ඇති චෝදනා තමන් අනුමත නොකරණ බවය. එසේ යෝජනා කරමින් ලාංකේය ක්‍රීඩකයන් ඉන්දියාවේ අනෙක් ප්‍රාන්ත වලද ක්‍රීඩා කිරීමට නොයායුතුය යන ඔහුගේ ස්ථාවරය රාවණ බලකාය නමැති සීමාන්තික සංවිධානයක් දරන අදහසමය. එය ජයලලිතා පැනවූ තහනම මුල් කොටගෙන ඉන්දීය විරෝධයක් ගොඩ නැංවීම අරමුණු කරයි. ක්‍රීඩාව සමඟ දේශපාලනය පටලවා ගත යුතු නැතැයි කියන අර්ජුන රණතුංග ගේ අදහස හා සමාන අදහසක් දරන ‘හින්දු‘ පුවත්පත මානව අයිතිවාසිකම් උල්ලංඝණය පිළිබඳ ලංකා රජයට එල්ල වී ඇති චෝදනා ද ප්‍රතික්ෂේප නොකරයි. එය ඉදිරිපත් කරන තර්කය ක්‍රීඩාව පමණක් නොව දේශපාලනයත් ජාතිවාදයෙන් සහ ජනවාර්ගික අනන්‍යතාවේ පදනම මත වෙනස් කම් කිරීමෙන් නිදහස් විය යුතුය යන්නයි. ඒ අනුව ඉන්දියානු හෝ ලාංකේය ජාතිකවාදය ක්‍රීඩාවට ඈඳා ගැනීම ලාංකේය ක්‍රීඩකයන්ට තහනම් පනවන තමිල්නාඩු ජාතිකවාදය හා සමානය.
ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සැබෑ තත්ත්වය
ක්‍රීඩාවේ පිවිතුරු බව රැක ගැනීම පිළිබඳ මෙම සියලු යහ ප්‍රාර්ථනා පසුබිමෙහි ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සැබෑ තත්ත්වය සාකච්ඡා කිරීම වඩා වැදගත් වෙයි.
ක්‍රීඩාව දේශපාලන බලපෑමෙන් මිදිය යුතුය යන අදහස මෙබඳු අවස්ථාවලදී මතුවුවත් දේශපාලනය හා දැඩි සම්බන්ධයක් අතීතයේ සිටම ක්‍රීඩාවට තිබී ඇත. රෝම යුගයේ ග්ලැඩියේටර්වරුන්ගේ තරඟ වල සිට ඔලිම්පික් ක්‍රීඩා, පාපන්දු සහ ක්‍රිකට් ලෝක කුසලාන තරඟ වල වරින් වර දේශපාලනමය පටලැවිලි තිබී ඇති බවත් නූතනයේ ඔලිම්පික් ක්‍රීඩාව පුනර්වනය ගෝලීය ධනවාදයේ ප්‍රකාශනයක් ලෙස දැකිය හැකි බවත් විචාරකයෝ පෙන්වා දෙති. ඔලිම්පික් ක්‍රීඩාව විවිධ දේශපාලන ගැටුම් වල ප්‍රකාශනයක් වූ අවස්ථා එමටය. දකුණු අප්‍රිකානු වර්ගවාදී රෙජීමයට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩාව වර්ජනය ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් වලින් නිදහස් වීමට නොහැකිවීමෙ පිළිබඳ එක් ප්‍රකට අවස්ථාවකි.
ක්‍රීඩාවේ ජීවගූනයට එල්ල වූ අභියෝග පිළිබඳ විචරකයන් පෙන්වා දෙන්නේ ප්‍රතිවාදීන් පරාජය කිරීම සඳහා සාධාරණ නොවන උපක්‍රම තරඟය තුල දී යෙදීමට ක්‍රීඩකයන් පෙළඹීමෙන් මෙය ඇතුළතින්ම ඇරඹුණු බවයි. පසුකලෙක බුකිකරුවන් වෙනුවෙන් තරඟ පාවාදීම මෙයට එකතු වීය. වර්තමානයේදී ක්‍රිකට් ක්‍රීඩාව පෙර කවරදාකවත් නොවූ විරූ පරිදි මුදලට හා වාණිජකරණයට යටව තිබේ. ගෝලීයකරනයේ වත්මන් අදියර තුළ ක්‍රිකට් ක්‍රීඩාව ජගත් විනෝදාස්වාද කර්මාන්තයේ රඟහලක් බවට පත්වීම සමඟ ක්‍රිකට් පරිපාලකයන්ට සහ දේශපාලකයන්ට ක්‍රිකට් ක්‍රීඩාවට ඇදෙන ධනස්කන්ධයේ රස වැටීමත් සමඟ මෙම ක්‍රීඩාව බල දේශපාලනයේ, දූෂණයේ සහ අල්ලසෙහි ගොදුරක් වී ඇත.
ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ වඩා ගැඹුරු අවබෝධයක් කරා අප කැඳවා ගෙන යන විග්‍රහයක් ලොව ප්‍රමුඛ පෙළේ අනාගතවාදී චින්තකයෙකු ලෙස සළකනු ලබන ඉන්දීය සමාජ විචාරක අශිස් නන්දි 1989 දී පළ කළ තම The Tao of Cricket කෘතියෙහි මූලිකවම ඉදිරිපත් කොට තිබේ. පහත මා කෙටියෙන් ඉදිරිපත් කරන්නේ ක්‍රිකට් පිළිබඳ අශිස් නන්දි ගේ අදහස් සාකච්ඡා කරමින් විචාරකයන් ඉදිරිපත් කොට ඇති අදහස් කිහිපයකි.
අශිස් නන්දි : ක්‍රිකට් ඉංග්‍රීසින් විසින් අහම්බයෙන් අනාවරණ කරගත් ඉන්දියානු ක්‍රීඩාවකි
අශිස් නන්දි තර්ක කරන්නේ ක්‍රිකට් නාගරික කාර්මික සමාජය පිළිබඳ විවේචනයක් ලෙසින් ක්‍රියාකරන පූර්ව කාර්මික ක්‍රීඩාවක් බවයි. ඔහු සංස්කෘතික තෝරා ගැනීම් නොහොත් වරණයන් පිළිබඳ දේශපාලනය දකුණු ආසියාව තුළ ක්‍රියාත්මක වී ඇත්තේ කෙසේද යන්න විභාග කිරීමට ක්‍රිකට් පිළිබඳ රූපකය යොදා ගනියි. නන්දි ක්‍රිකට් අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ කොටසක් ලෙස දිටීය. පාපන්දු නොව ක්‍රිකට් එංගලන්තයේ ජාතික ක්‍රීඩාව ලෙස ඉන්දියානුවන්ට පෙන්නීම අහම්බයක් නොවේ. නමුත් උත්ප්‍රාසජනකව ඔහු දකින පරිදි ක්‍රිකට් යනු ඉංග්‍රීසින් විසින් අහම්බයෙන් අනාවරණ කරගත් ඉන්දියානු ක්‍රීඩාවකි. එය ඉන්දියානු සමාජයට මැනවින් ගැළපෙයි. එහි එන ගූඪ රීති, සුදු කබාය හැඳගත් වැරදීම් සිදුවිය නොහැකි සහ අනුල්ලංඝනීය විනිසකරු, සීමාපැනවුණු ආක්‍රමණශීලීභාවය යනාදිය ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික අංග ලෙස අශිස් නන්දි දුටුවේය. ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු පෙළ ප්‍රේක්ෂකයන් වන්නේ නරඹන්නන් නොව ප්‍රතිවාදී පිල යි. පිතිකරුවෙකුගේ වරදක් විනිසුරු නොදැකීමට ඉඩ ඇති නමුත් එය ප්‍රතිවාදී පිල දකියි. එහෙයින් ඔවුන් ඉදිරියේ වැරදි ලෙස නොහැසිරිය යුතුය.
නන්දි තර්ක කරන පරිදි ක්‍රිකට් යනු දකුණු ආසියානු ජනප්‍රිය සංස්කෘතියට එන්න එන්නම අයිතිකරගත් යටත් විජිත අතීතයේ උරුමයකි. ඉන්දියානුවන්ට ක්‍රිකට් තරඟය යටත්විජිත පංති ධූරාවලීන් උත්කර්ෂණය කිරීමට නැතහොත්යහමඟට ගැනීමට පිහිට වෙයි. ඔහු දකින පරිදි ඉන්දියානුවන්ට ක්‍රිකට් ආචාර ධර්මය සහ ආකස්මිකභාවය පිළිබඳ වාදමාතෘකා සමඟ පොරබැදීමේ මඟක් බවට පත් වීය. ක්‍රිකට් යනු නිපුණතා පිළිබඳ ක්‍රීඩාවක් ලෙසින් පෙන්නුම් කෙරෙන ඉරණම පිළිබඳ ක්‍රීඩාවකි. ක්‍රිකට් තරඟයක යමෙකු ප්‍රතිවාදී පිළකට එරෙහිව ක්‍රීඩා කරනවා පමණක් නොව තමාගේම දෛවයට එරෙහිව සටන් කරන බවත් ඉන්දියානුවන් මෙම තේමාවට ඇලුම් කරන බවත් නන්දි දක්වා ඇත. ඔබ පන්දුවට පහර දෙන අතර තුර කාලගුණ තත්ත්වය වෙනස් විය හැක. ප්‍රතිවාදීන් පන්දුව යවන විට පන්දුව වැඩියෙන් දඟ කැවීමට ඉඩ තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම දේශපාලනයේදීත් යම් ප්‍රතිමාන රඳා පවතින්නේ ක්‍රිඩකයාගේ පෞද්ගලික සදාචාරය මතය. ක්‍රිකට් ක්‍රීඩාව “එමත ඔබේ ජාතිකවාදය එල්ලිය හැකි පහසු ඇණයකි“ යැයි කීමෙන් අශිස් නන්දි පෙන්වා දුන්නේ ක්‍රීඩාව ජාතිකවාදයට ගැට ගැසීමට ඇති පහසුවයි.
පරිභෝජ්‍ය ක්‍රීඩාවට සත්‍යවාදීවීම
පශ්චාත් යටත්විජිත අධ්‍යයන පිවිසුම තුළින් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ න්‍යාය ගැන්වීම කරන කාර්ල්ටන් මැක්ලෙන්ඩන් අශිස් නන්දි ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ පළ කරන අදහස් පිළිබඳ සාකච්ඡා කරමින් කියා සිටින්නේ අශිස් නන්දි ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති “භින්නෝන්මාදී‘ ස්වභාවය තුළ විප්ලවකාරී ශක්‍යතාවක් දකින බවයි. ඒ අනුව ඉංග්‍රීසින් තමන්ගේම සදාචාර ප්‍රමිතීන් අනුව ක්‍රියා කරන්නට අපොහොසත්වීම විවේචනය කරන්නට පිටස්තරයන්ට අවකාශය නිර්මාණය කළේ මහත්මා ක්‍රිකට් ක්‍රීඩකයාගේ උසස්භාවයේ සහ ස්වයංපාලනයේ සදාචාර ඉරියව්ව යි. ක්‍රිකට් ක්‍රීඩාව ඒ පිළිබඳ නිල දර්ශනයෙහි පිළිබිඹු වූ බටහිර වටිනාකම් මඟින් තම යටත් විජිත පාලකයන් තක්සේරු කරන්නට ඉන්දියානුවන්ට ඉඩ සැළසීයැයි නන්දි තර්ක කරයි. මෙම තක්සේරුව දාර්ශනික ක්‍රිස්තියානිය පිළිබඳ සඳහන් කරමින් ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍යයන්ගේ එදිනෙදා ක්‍රිස්තියානිය විනිශ්චය කළ බ්‍රිතාන්‍යයන් පිළිබඳ ජාතිකවාදී සහ සුවිශේෂයෙන් ගාන්ධියානු විචාරයන් අපේක්ෂා කළේය යන්න ඔහුගේ අදහසයි. නූතන ලෝකයේ ක්‍රිකට් වලට අත්ව ඇති ඉරණම පිළිබඳ අශිස් නන්දි තැවෙයි. ඔහු ක්‍රිකට් දුටුවේ සංස්කෘතික පරමාදර්ශයක අග්‍රදූතයා ලෙස නම් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් විසින්ම ඇරඹූ ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට ශාරීරික හානි කිරීමේ අරමුණින් පන්දු යැවීම වැනි සදාචාර විරෝධී ක්‍රියාවල යෙදීම ක්‍රිකට් ක්‍රීඩකයන් ඇරඹූ විට ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ජයග්‍රහණය එවිටමත් අහිමි වී තිබුණි යැයි නන්දි කියා සිටියේය. නන්දි ක්‍රිකට්වල දුටු වටිනාකම වූයේ ක්‍රිකට්ක්‍රීඩකයා නිරතුරුවම පරමාදර්ශී චර්යාවක් සෙවීමේ නිරතවීමයි. ක්‍රිකට් ක්‍රීඩකයන් යහපත් ක්‍රීඩාශීලීත්වය වැනි මතියන් නොවැදගත් යැයි සළකා අවඥාවෙන් ඉවතලන විට සංස්කෘතික බලගැන්වීම සඳහා අවස්ථාව ලබා දෙන පරමාදර්ශය සහ සැබෑව අතර වන අවකාශය කවරදාකවත් බිහිවන්නේ නැතැයි නන්දි අවධාරණය කළේය. ඕස්ට්‍රෙලියානු විකට් රකින්නෙකු වන රොඩ්නි මාර්ෂ් “අවශ්‍ය නම් ‘අවලස්සණ ඕස්ට්‍රේලියානුවන්‘ බවට යලි පත්වීම කරා ආපසු ඒම මඟින් වඩා ප්‍රබල බටහිර කොදෙවු කණ්ඩායම පරාජය කරන්නට උත්සාහ කළ යුතු යැයි එළිපිටම කියන විට ඔහු පරිභෝජ්‍ය ක්‍රීඩාවට සත්‍යවාදී වන්නේ යැයි“ නන්දි ලියයි. මේ කාර්ල්ටන් මැක්ලෙන්ඩන් ගේ අදහස් සැකෙවින් අනුවර්තනයෙන් උපුටා දැක්වීමකි (බටහිර ඉන්දීය කොදෙවු ක්‍රිකට් ඉතිහාසය සහ ක්‍රිකට් පිළිබඳ පමනක් නොව කුමන හෝ ක්‍රීඩාවක් පිළිබඳ මෙතෙක් ලියැවුණු විශිෂ්ටතම කෘතිය ලෙස හඳුන්වනු ලැබෙන ස්‍රප්‍රසිද්ධ ක්‍රිකට් ලේඛක ට්‍රිනිඩැඩ් ජාතික සී.එල්.ආර් ජේම්ස්ගේ Beyond a Boundary කෘතිය ද ඇසුරෛන් පශ්චාත් යටත්විජිත අධ්‍යයන එළඹුමෙන් ක්‍රිකට් පිළිබඳ ලියැවුණු කෙටි මුල් ලිපිය සඳහා බලන්න http://postcolonialstudies.emory.edu/cricket/) .
අශිස් නන්දි ඉතා නිවැරදිව කියා සිටින පරිදි ක්‍රිකට්ක්‍රීඩාවේ ජීවගුණය රැක ගැනීමේ හරය අවසාන විග්‍රහයේදී රඳා පවත්නේ එය පාරිභෝජනවාදය විසින් පරාජය කිරීමට එරෙහිව තම යහ ක්‍රීඩාශීලීත්වය රැක ගන්නට ක්‍රිකට්ක්‍රීඩකයන් කොතෙක් දුරට සමත් වේද යන්න මතයි. ඒ අතින් ගත් කළ ලාංකේය ක්‍රිකට්ක්‍රීඩකයන් පාරිභෝජනවාදය ට යටවී ක්‍රීඩාවේ ජීවගුණය පාවා දී නැතැයි අපට එකඟ විය හැකිද?෴
මෙතනදි ජයලලිතාගේ විරෝධය ක්‍රිකට් වලට එල්ල වුනාම අපිට ගොඩක් දැනුනා,මොකද ක්‍රිකට් ක්‍රීඩාව අපේ ජීවිතේ කොටසක් වෙලා හින්දා,නිකමට හරි මේ විරෝධතාවය පාපන්දු වගේ දෙයකට එල්ල වුනා නම් මිනිස්සු මෙච්චර ඒ ගැන දොඩමලු වෙන එකක් නෑ.රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම කියලා දෙයක් අද දවසෙදි එච්චර ප්‍රායෝගික නෑ,මොකද රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නත් ජීවත් වෙලා ඉන්න එපායැ.
ඇත්තටම සිදු විය යුත්තේ ජයලලිතාගේ හඬ නම් ලක්ෂනය දිහා බලන්නැතිව ඇයි එහෙම දෙයක් වුනේ කියලා හොයලා බලන එක.