ගණනාථ ගැන එච්. එල්.

මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න සමග සංවාදයක්

සංවාදය සහ සිංහල පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ

ඔබ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකුව සිටි සමයේ  මහාචාර්ය ඔබේසේකර පිළිබඳ මතකය අවදි කරන්නේ කෙසේද?

මම විශ්ව විද්‍යාලයට ඇතුල් වුනේ 1955 දී. ප්‍රථම වර්ෂයේදී සිංහල, ආර්ථික විද්‍යාව සහ දර්ශනයත්, ඊලඟ වර්ෂ තුනේ සමාජ විද්‍යාවත් ඉගෙන ගත්තා. සමාජ විද්‍යාව 1956 ඉඳලා එවකට අලුතින් හඳුන්වා දුන්න විෂයක් බව මම සඳහන් කරන්න ඕනෑ. මගේ කණ්ඩායම එනම් 1959 දී උපාධි ලබා ගත්ත කණ්ඩායම විශ්ව විද්‍යාල ඉතිහාසයේ ප්‍රථමයෙන් සමාජ විද්‍යා උපාධියක් කරපු කණ්ඩායම. සමාජ විද්‍යා අංශය පීඨ සාමාජිකයන් තුන් දෙනෙක්ගෙන් සමන්විත වුන කුඩා දෙපාර්තමේන්තුවක්.එමනිසා අපගේ පාඨමාල අටෙන් 3 ක්ම කරනු ලැබුවේ වෙනත් දෙපාර්තමේන්තුවලින්. දේශපාලන න්‍යාය සහ සංඛ්‍යානය ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවෙනුත්, සමාජ මනෝ විද්‍යාව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙනුත් කලා. නමුත් මුළු පීඨයම පර්යේෂණ වලට සම්බන්ධ වූ එවකට තිබූ නිර්මාණශීලීම දෙපාර්තමේන්තුව එය. මෙය තහවුරු වෙනවා මහාචාර්ය රැල්ප් පීරිස්, කතිකාචාර්ය වරු වූ ඔබේසේකර සහ තම්බයියා විසින් කල අනවරත ප්‍රකාශන ධාරාව  තුළින් සහ මයිකල් රොබර්ට්ස් සමාරම්භ කළ “සිලෝන් ස්ටඩි සෙමිනාර්” එකට සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව පහසුකම් සපයන්නා වීමෙන්. එම සම්මන්ත්‍රණය එවකට විශ්ව විද්‍යාලයේ මූලිකම පර්යේෂණ සංසදය වුණා. මහාචාර්ය ඔබේසේකර සමාජ විද්‍යා අංශයට සම්බන්ධ වුනේ අපේ සිව්වන වර්ෂයේදී. ඒ නිසා අපි ඔහු එක්ක කළේ එක පාඨමාලාවක් පමණයි. එය විශිෂ්ටයි. ඔහු අද්විතීය කාරයශූර ගුරුවරයෙක් කියන එක ප්‍රසිද්ධයි. 


මහාචාර්ය ඔබේසේකර පිළිබඳ මාගේ මතකය මම ඔහුගේ ශිෂ්‍යයෙක් වන්නටත් පෙර බොහෝ කාලයක් දක්වා දිව යනවා.1940-50 කියන්නේ යටත් විජිත පාලනයෙන් නිදහස කරා පරිවර්තනය වූ කාල පරිච්ඡේදයයි. පරාරෝපිත බුද්ධිමත්තු අනන්‍යතාවයක් සොයමින් තිබූ කාලයක් ඒක. සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය පිළිබඳ ප්‍රශ්නය මහජන සාකච්ඡා වල වැදගත් විෂයක් වුණා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ නවක උපාධිධාරී කණ්ඩායමක් මෙම අනන්‍යතාවය සොයන්නන් අතර සිටියා. තරුණ ඔබේසේකර මෙම ශිෂ්‍යයන්ගෙන් කෙනෙක්. ඔවුන් එක්තරා මූලික අදහසක් වටා එකට එකතු වුණා. එනම් යටත් විජිතවාදය සිංහල සංස්කෘතිය ඛාදනයකට ලක් කර ඇති බවත් එය දිරාපත් වූ, මුල් සිඳුණු මධ්‍යම පාංතික සංස්කෘතිය මගින් විස්ථාපනය කර ඇති බවත් එම අදහසයි. නමුත් ඔවුන්ගේ විශ්වාසය වූයේ සියල්ල අහිමි වී නැති බවත්, නිර්ව්‍යාජ සංකර නොවූ සිංහල සංස්කෘතිය තවම ගම තුළ ඇති බවත්ය. මෙහිදී මම හිතන්නේ ආනන්ද කුමාරස්වාමිගේ “මධ්‍ය කාලීන සිංහල කලා” කෘතිය තුළින් විචිත්‍රවත්ව පෙන්නුම් කරන එකමුතු සහ චාම් ගැමි සමාජයක් පිළිබඳ අදහසින් ඔවුන් ආභාෂය ලබා තිබූ බවයි. සංකර නොවූ සිංහල සංස්කෘතියක් පිළිබඳ අදහස ව්‍යාප්ත කිරීමට සහ යහපත් සමාජ ඇගයීම් සහ වඩා හොඳ සාහිත්‍ය සහ සෞන්දර්ය ප්‍රමිති මත එය නැවත ප්‍රකෘතිමත් කිරීමට මෙම කණ්ඩායම “සංස්කෘති” නමින් ත්‍රෛයිමාසික සඟරාවක් පල කිරීමට තීරණය කරා. එහි පළවෙනි කලාපය 1953 දී නිකුත් වුණා.මෙම අදහස්

 පුළුල් කිරීමට  දෙසතියකට වරක් ගම්පහ සහ හොරණ සම්මන්ත්‍රණ පැවැත්වූවා. උසස් පෙළ පන්තියේ ශිෂ්‍යයෙක් වශයෙන් මම සංස්කෘති පාඨකයෙක් වුණා. ඉතිං සංස්කෘති කණ්ඩායම මගේ නගරය වන හොරණ නගරයේ සම්මන්ත්‍රණ පවත්වන්නට යන බව දැන ගැනීමෙන් මම ප්‍රීතියට පත් වුණා. ඒවගේම මම හැමදාම සහභාගී වුණා.1956 දී මම විශ්ව විද්‍යාලයට ඇතුළත් වු විට මහාචාර්ය ඔබේසේකර සියලු ත්‍යාග සහිතව ඉංග්‍රීසි සඳහා පළමු පන්තියේ ගෞරව උපාධිය ලබා ගත්තා පමණි. මා නැවතී සිටි අරුණාචලම් ශාලාවේ උප නේවාසිකාගාර ප්‍රධානියා ලෙස 

ඔහු පත් කර තිබුණා. උප  නේවාසිකාගාර නිළ නිවසේ දී මම ඔහු හමුවන විට සංස්කෘති ක්‍රියාකාරකම් වලට සම්බන්ධ ශිෂ්‍යයෙක් ලෙස ඔහු මා දැන සිටියා. ඔහු මට සැළකුවේ මිතුරෙකු ලෙස සහ සංස්කෘති පරමාදර්ශ පිළිගන්නා  සගයෙකු ලෙස. එනම් ඔහුගේ ශිෂ්‍යයෙක් වීමට අවුරුදු 3 කට පෙර මම ඔහු මිතුරෙකු ලෙස දැන සිටියා.මම මගේ ප්‍රධාන ගුරුවරයෙක් ලෙස  ඔහු සැළකුවත් ඔහු හැමවිටම මට සැළකුවේ මිතුරෙකු ලෙස. 

ඔබ මහාචාර්ය ඔබේසේකර පර්යේෂකයෙක් විදිහට දකින්නේ කොහොමද? ඔබ ඔහු විසින් කරන ලද පර්යේශණ වලට  සමබන්ධ වුනාද?

මම හිනිදුම කරපු ඉඩම් භුක්තිය පිළිබඳ පර්යේෂණයට සමබන්ධ වුණා. මම උපාධි ලබලා රැකියාවක නිරත වෙලා හිටපු නිසා කෙටි කාලයක් තමයි සහභාගි වුණේ.නමුත් මට මතකයි විවිධාකාරයේ දත්ත එකතු කරමින් ගෙයින් ගෙට ගිය හැටි.
මම පත්තිනි පර්යේෂණයේ වැඩ නොකළත් ඒ ගැන විචිත්‍රවත් මතකයක් තියනවා. පත්තිනි පොත ඔහුගේ සමහර අනෙක් පොත් වලට පසුව පල වුණත් එය ඔහුගේ ප්‍රථම පර්යේෂණය. එම කෘතියේ පෙරවදනේ ඔහු සඳහන් කරන ඇනිටෙඩෙලුවියන් ටේප් රෙකෝඩරය මට හොඳින් මතකයි.මහාචාර්ය ඔබේසේකර ඔහුගේ හඬ පටි නැවත ක්‍රියා කර බලනවා මට මතකයි. ඒ කුඩා, අතේ ගෙන යා හැකි රෙකෝඩර් පැමිණීමට පෙර කාලයයි.මෙය කිසිසේත්ම අතේ ගෙන යා නොහැකි අති විශාල එකක්.නමුත් ඔහු කෙසේ හෝ මෙය කරගසාගෙන බස්වලින් කෝච්චි වලින් බොහෝ දුර ගියා.


සංකර නොවූ ගම පිළිබඳ අදහස මහාචාර්ය ඔබේසේකර ගත් එඩිතර තීරණ දෙකක් තුළ වැදගත් භූමිකාවක් කළ බව පෙනේ.මෙම තීරණ සඳහා ඔහුගේ මහාචාර්ය ලින් ලුඩොවයික් ගේ උපදෙස් බලපෑ බව පෙනේ. පළමුවැන්න ඉංග්‍රීසි වලින් මානව විද්‍යාවට මාරු වීම. දෙවැන්න උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට යාම සම්මතය වූ යුගයක එක්සත් ජනපදයට යාම. මහාචාර්ය ඔබේසේකර ඉංග්‍රීසි වලින් මානව විද්‍යාව  වෙත මාරු වීමෙන් පෙන්නුම් කරන්නේ ඉංග්‍රීසි සංස්කෘතියේ අංශයකට වඩා තම සංස්කෘතිය කෙරේ උනන්දුව. මානව විද්‍යාඥයෙක් ලෙස තම සංස්කෘතියද ඇතුළුව ඔනෑම සංකෘතියක් අධ්‍යයනය කළ හැකියි.ඉංග්‍රීසි වලින් මානව විද්‍යාවට මාරුවීම යටින් බාගදා අධිරාජ්‍ය විරෝධයේ  ඡායාවක් තිබුණා.මෙහි ශාස්ත්‍රීය පල දැරීම තමයි කුක් ගැන පොතෙන්, කැනිබල් ටෝක් පොතෙන් සහ ඩූම්ඩ් කින්ග් පොතෙන් පේන්නේ.

ඔහුගේ පර්යේෂණ පිළිබඳ ඔබගේ අවබෝධය සහ අත්දැකීම සඳහන් කළොත්.

මහාචාර්ය ඔබේසේකරගේ පර්යේෂණ වල පරාසය, ප්‍රමාණය මෙන්ම තත්ත්වය ගැන  විනාඩි කිහිපයකින් කියන්න අමාරුයි.ඔහු පොත් 11 ක කතුවරයෙක්. විත්ති පොත්, කඩයිම් පොත් වැනි නුවර යුගය හා සම්බන්ධ වෙළුම් ගණනාවක සංස්කාරකවරයෙක්. මීට අමතරව ශාස්ත්‍රීය සඟරාවල පලවූ ලිපි ගණනාවක කතුවරයෙක්. ඔහුගේ තෝරාගත් පර්යේෂණ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ මම පොදු අදහස් කිහිපයක් දක්වන්නම්.


ප්‍රථමයෙන්, සිංහල බුද්ධාගම පිළිබඳ අධ්‍යයනය සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර අධ්‍යයන වල කේන්ද්‍රයට ගෙන ආවේ මහාචාර්ය ඔබේසේකරයි.ඔහු පෙන්වා දුන්න ආකාරයට සිංහල බුද්ධාගම කියලා කියන්නේ පවතින සාහිත්‍යය තුළ නිරූපිත වෙන් වෙන් වශයෙන් ඇති විශ්වාස ස්ථර අඩුක් කිරීමක් නොවෙයි. ඔහුට අනුව එය ඒකාබද්ධ, සංගත සහ සාකල්‍ය පැවැත්මක්. මානව විද්‍යාවේ පමණක් නොව බෞද්ධ සමාජ පිළිබඳ ගණුදෙනු කරන අනෙක් පර්යේෂණ වල පවා ශාස්ත්‍රීය වාංමාලාවේ අංගයක් බවට පත්වෙලා තිබෙන සිංහල බුද්ධාගම සහ ප්‍රොතෙස්තන්ත බුද්ධාගම යන සංකල්ප වැඩි දියුණු කලේ ඔහුයි.
මහාචාර්ය ඔබේසේකර ප්‍රධාන වශයෙන්ම මානවවංශ ලේඛකයෙක්. නමුත් මානවවංශ ලේඛනය කිරීමේදී විශේෂයෙන්ම වෙනත් සංස්කෘතින් අධ්‍යයනය කිරීමේදී ප්‍රවේශම් විය යුතු බව ඔහු අවධාරණය කළා.”අනෙක් සංස්කෘතීන්” සම්බන්ධ විශේෂඥභාවය සම්බන්ධයෙන් ප්‍රකට මානව විද්‍යාව සම්බන්ධයෙන් සියුම් විචාරයක් ඒක. ඔහු සිතන්නේ මානවවංශ ලේඛය කියලා කියන්නේ වඩා නිර්ව්‍යාජ සහ යථාභූත නිරූපණයක් ඇති කර ගැනීමේ විභවයෙන් යුත් තාවකාලික මාන සැකැස්මක් කියල. ඔහුගේ ලේඛන හුදෙක් ශාස්ත්‍රීය පමණක් නොවේ. සමහරක් ව්‍යක්ත ලෙස ප්‍රචණ්ඩත්වය හා වෙනත් සමාජ ව්‍යාධීන් ගැන විවේචනාත්මකයි. ඒවා අභ්‍යයන්තරයෙන් ආචාරධර්මීය ප්‍රවාහයක් ගලා යනවා. එමනිසා,  ඔහුගේ ශාස්ත්‍රීය කාර්යය සමාජ වගකීමක් ලෙස අපට දැක්විය හැකියි.ජන ආගම, කලාව, කාව්‍ය, සාහිත්‍යය පිළිබඳ ඔහුගේ අභිරුචිය සමාජ විද්‍යාවෙන් පරිබාහිර සිසුන්ද එනම් සිංහල සාහිත්‍යය  ඉගෙන ගත් අයද ඇද බැඳ ගත්තා.

ඔහුගේ ක්‍රමය එනම් වෙබේරියානු සහ ෆ්‍රොයිඩියානු ප්‍රවේශයන්ගේ වර්ධනය ඔබ අවබෝධ කර ගන්නේ කොහොමද?

මහාචාර්ය ඔබේසේකරගේ කෘතිවල ඉතා විශේෂ ලක්ෂණයක් තමයි ෆ්‍රොයිඩියානු මනෝ විද්‍යාව භාවිතය. සවිස්තර මානවවංශ ලේඛය, මනෝ විද්‍යාව සමග සම්මිශ්‍රණය කරමින් පුද්ගලයන් තුළ මුල්බැසගත් ගැටුම් ප්‍රකාශනය කිරීමට සංස්කෘතිය බිහිදොරක් වන ආකාරය ඔහු පෙන්නුවා. මෙය සංස්කෘතික නියතිවාදය පිළිබඳ සෛද්ධාන්තික මානව විද්‍යාත්මක අදහසින් වෙන්වීමක්.
බුදුසමය අධ්‍යයනය කිරීමේ ලා මැක්ස් වේබර් භාවිතා කළ පුරෝගාමියෙක් විදිහට මහාචාර්ය ඔබේසේකර හඳුන්වන්න පුලුවන්. ඔහු සිංහල බුද්ධාගම පැහැදිළි කිරීමට “බුද්ධාගමේ විපරිවර්තනය” යන වෙබර්ගේ අදහස යොදා ගත්තා. එමෙන්ම ඔහු වේබර් ගැන විවේචකයෙක්. පුරාණ බෞද්ධ භික්ෂූන් තමාගේ විමුක්තිය ගැන පමණක් සැළකිල්ල දැක්වූවේ යැයි  දැක්වෙන වේබර්ගේ අදහස ඔහු ප්‍රශ්න කරනවා. ඔහු පෙන්වා දුන්නේ භික්ෂූන් ගිහියන්ට මග පෙන්වීමේ ලා වැඩි සැළකිල්ලක් දැක්වූ බවයි. බුදුන් “ශාස්තෘවරයෙක්” යැයි සිතීම වේබර් කළ වැරැද්දක් යැයි ඔහු දකිනවා. බාගදා මහාචාර්ය ඔබේසේකර වේබර් සමබන්ධයෙන් කළ වැදගත් මැදිහත්වීම නම් “මායාභංගය” නම් වේබර්ගේ අදහස පිළිබඳ ඔහුගේ විචාරයයි. 
මායා ලෝකයෙන් නිදහස් වීම යන අරුත් දෙන  Entzauberung der Welt යන ජර්මන් වචනය සඳහා  වේබර්ගේ මුල් ඉංග්‍රීසි පරිවර්තකයන් යෙදූ වචනය “ඩිස්එන්චාන්මන්ට් ” කියන වචනය. ඉන් කියවුනේ සබුද්ධිකත්වය සහ ලෞකිකකරණය  නැගීම සාර්වත්‍රික වශයෙන් අභිචාර මුලිනුපුටා දමන්නේය යන අදහසයි.මෙය සත්‍යයක් ද නැද්ද යන්න සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව තුළ ප්‍රධාන මෙන්ම නිරන්තර වාදයක්.”මායාභංගය” මෙහි පවතීද? එසේනැතහොත් යළි මායාකරණයක් සිදුවන්නේද? මහාචාර්ය ඔබේසේකරගේ අදහස නම් ලෞකිකකරණය හෝ මායාභංගය සිදුනොවන බවයි. එය අහෝසි කළ නොහැකි බවයි. අමිහිරි සංදර්භයන් වලදී හෝ එවැනි සංදර්භහයන්හි අනතුර හමුවේ මානවයන් අරුත් සොයන නිසා ඔවුනට ලෝකය සමහරවිට ආගම මගින් යළි මායාකරණය කිරීමට අවශ්‍ය වේවි. ඔබේසේකරගේ අදහසට අනුව මායාභංගය ඒකරේඛීය වර්ධනයක් නොවේ. එය මායාභංගය සහ යළි මායාකරණය අතර අඛණ්ඩ සංස්කෘතික අපෝහකයකි.
මනෝ විද්‍යාව පිළිබඳ ඔහුගේ රුචියට අවංක වෙමින් ඔහු දක්වන්නේ මෙම විවාදය මායාකරණ ආකාරයක් වන මනස්සෘෂ්ටි පිළිබඳ අපගේ පෞද්ගලික ලෝකය නොසළකා හැර ඇති බවයි.

ඔබ විශේෂයෙන් අදහස් දැක්වීමට කැමති මහාචාර්ය ඔබේසේකරගේ කෘතියක් තිබෙනවා ද? 

සුවිශේෂ කෘතියක් ගැන කතා කරනවාට වඩා මම දේවල් දෙකක් කරන්නම්. ප්‍රථමයෙන් පුළුල් හා පොදු මට්ටමෙන් මානව පැවැත්ම පිළිබඳ මානව විද්‍යාවට මහාචාර්ය ඔබේසේකර කළ දායකත්වයන් ලෙස මම සළකන දේ පෙළගස්වන්නම්. දෙවනුව, ශ්‍රී ලංකාව පිළිබඳ ශාස්ත්‍රීය කතිකාවට ඔහු කළ දායකත්වයන් යැයි මම සළකන දේ පෙළගස්වන්නම්.

මානව පැවැත්ම පිළිබඳ මානව විද්‍යාවට  කළ දායකත්වයන් 

  1. පුද්ගලයා සහ ඔහුගේ මනෝ විද්‍යාව සමාජ නියතිවාදයකට ඌණනය කර ඇති   අධිපති න්‍යායන් සහ ක්‍රම තුළ අවිද්‍යමාන මානවවාදයක් ඔහු මානව විද්‍යාව තුළට කාවැද්දුවා.
  2. විද්‍යාත්මක ක්‍රමය වැදගත් වුවත් මානව පැවැත්ම තේරුම් ගැනීමට ප්‍රමාණවත් නොවන බවයි ඔහු දැක්වූවේ. එලෙසම විදර්ශනාත්මක අත්දැකීම් ද ප්‍රමාණවත් නැත. මානව පැවැත්ම පිළිබඳ අරුතක් ඇති කර ගැනීමට මේ දෙක අතර සංවාදයක් අවශ්‍යයයි.
  3. විශ්වීය මානව පැවැත්ම ප්‍රකාශ වෙන්නේ මානව විද්‍යාව මගින් හොඳින් අර්ථ දැක්වූ, සංස්කෘතික වශයෙන් ලැබෙන ක්‍රියා සම්භාරයකින් තෝරාගත් පුද්ගලික සංකේත තුළින්. මායාභංගත්වයට පත් සමාජ තුළ වැනි, එවැනි සංස්කෘතික ක්‍රියා සම්භාර නොමැති තැන, පුද්ගලයාගේ ගැඹුරේ පවතින අධ්‍යාත්මික ගැටුම ප්‍රකාශයට පත් වන්නේ මනෝ ව්‍යාධියක් ලෙස පමණි.

ශ්‍රී ලංකාව පිළිබඳ ශාස්ත්‍රීය කතිකාවට කළ දායකත්වයන්

  1. සිංහලයන් “ආර්යන්”ය සහ දෙමළ අය ද්‍රවිඩයන් ය යන මනස් සෘෂ්ටිය බිඳ දැමීමට දායක වූ මහාචාර්ය ඔබේසේකර සිංහල හා ද්‍රවිඩ සංස්කෘති අතර සමීප සම්බන්දය පෙන්වා දුන්නා.
  2. ජනවාර්ගික ගැටුම පිළිබඳ මහාවංස කතන්දරයට විකල්ප දෘෂ්ටියක් දායක කළ ඔහු ශ්‍රී ලංකාවට එන නව සංක්‍රමණිකයන් යාතුකර්මීයව ඒකාබද්ධ කර ගැනීම කෙරේ අවධානය යොමු කරනවා
  3. .මේ දක්වා ප්‍රමුඛව දේශපාලනික දේ සහ ප්‍රමුඛව කේන්ද්‍රය වෙත නැඹුරු වූ ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලිවීමට විප්ලවීය විභවයක් දායක කිරීමට ඔහුගේ ලේඛන බලපා තියනවා. අනේක ප්‍රාදේශීය ප්‍රජාවන්, ඔවුන්ගේ  මුඛ සම්ප්‍රදායන්, ජන කතා, ජන කවි, ජන පුරාණෝක්ති, ප්‍රාදේශීය සාහිත්‍ය කෘති සහ ප්‍රාදේශීය ආඛ්‍යාන තුළ විසිරුණු සාමාන්‍ය ජනයා පිළිබඳවයි මහාචාර්ය ඔබේසේකරගේ මූලික අවධානය තියන්නේ. මෙම රැඩිකල් යළි දිශානතිකරණයේ සමස්ථ බලපෑම ගැන සිතා නැතත් ඊලඟ පරම්පරාවල ඉතිහාසඥයන් මත ගැඹුරු බලපෑමක් ඇති බවට සැකයක් නැහැ.
  4. ජන කාව්‍යය සහ පොදුවේ ජන සංස්කෘතිය පිළිබඳ ඔහුගේ අභිරුචිය සහ ඒ යටින් තිබූ සංකර නොවූ සිංහල සංස්කෘතිය පිළිබඳ අදහස තුළින් මහාචාර්ය ඔබේසේකර 1940 ගණන් වල මැද සිට මතුවන  පුළුල් සංස්කෘතික පුනර් ජනනයකට දායක වුණා. පේරාදෙණියේ “ස්වර්ණමය යුගය” යැයි දැන් දන්නා පරිදි ප්‍රබන්ධ කතා, කාව්‍යය සහ නාට්‍යය ආදී ක්ෂේත්‍ර තුළ කුළු ගැන්වුනේ මෙයයි.

90 ගණන්වල මාෂල් සහලින්ස් සමග විවාදය පිළිබඳ ඔබේ මතකය අවධි කළොත්?

එය ආරම්භ වූ හැටි මට මතකයි. 1980 ගණන්වල මුල එකතරා දිනෙක මහාචාර්ය ඔබේසේකර සහ ඔහුගේ බිරිඳ රංජිනී වර්ජීනියා හි ෂාලට්විල් වෙත අප බැලීමට පැමිණෙමින් සිටියා. ප්‍රින්ස්ටන් වල සිට ෂාලට්විල් දක්වා පැය 6 ක දුම්රිය ගමන තුළ හවායන්වරු කැප්ටන් කුක් දෙවියෙක් ලෙස බාරගත්තේ කෙසේද යන සහලින්ස් ගේ කතන්දරය ඔහු කියවමින් සිටියා. දුම්රිය 

ෂාලට්විල් වලට ලඟා වන විට දරුණු යුරෝකේන්ද්‍රීයවාදයක් යැයි ඔහුට හැඟුන දෙයින් ඔහු අසතුටට පත්ව සිටියා. ප්‍රතිචාරයක් දැක්වීමේ අරමුණක් තිබෙන බව ඔහු අපට පැවසූවා. වාර ප්‍රකාශන ලිපියක් ලෙස පල කිරීමට සිටියත් එම ගැටලුව සමග මහත් ළැදියාවෙන් පැටලුන නිසා එය පොතක් බවට පත් වුණා. ඔහු කිව්වෙ “මගේ කුක් පොත” කියලා. එය පල කිරීමෙන් පසුව දෙවන සංස්කරණයට කළ උප ග්‍රන්ථය තුළ පළමු වෙළුමට සහලින්ස් කළ ප්‍රතිචාර බිඳ දමනවා.එහිදී මහාචාර්ය ඔබේසේකර ඒත්තුගන්වන ලෙසින් පෙන්වා දෙන්නේ හවායන්වරු මත සහලින්ස් පටවන “හඬ” ඔහුගේම බවයි.

(2017 වර්ෂයේදී ඉංග්‍රීසි බසින් ප්‍රශ්න ඉදිරිපත් කර ලබා ගන්නා ලද මෙම සංවාදය 2025 පෙබරවාරී දෙවනි දිනට යෙදී තිබූ මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ 95 වෙනි උපන් දිනය වෙනුවෙනි.)

විශේෂාංගයේ ඡායාරූපය – මහචාර්ය ගණනාථ සහ මහාචාර්ය එච්. එල්. 1980 දී තෝමස් ජෙපර්සන්ගේ මොන්ටිචෙලෝ මන්දිරය අසල

Leave a comment