ජාතික ජන බලවේග ආණ්ඩුවේ ක්‍ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන පනත ගැන ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දන්නේ නැහැ -පනත ගෙනෙන්න ආසියානු සංවර්ධන අරමුදලෙන් ආණ්ඩුවට තවත් ණයක්

අමාලි වෙදගෙදර

පනත විවාදයට ගන්නවා මාර්තු 04. අපගේ යෝජනා ඒ විවාදයට ගන්න පනතට අඩංගු කරලද අපි දන්නේ නැහැ. බොහෝ විට එහෙම නොවෙන්න පුළුවන්. අපි පනත ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කරන්න ඔවුන් හමු වුනාම – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වගේම විපක්ෂ මන්ත්‍රීවරු පනත ගැන දන්නේ නැහැ.

ඉතින් අපිට ඉතාම පැහැදිලියි පනත විවාදයට ගන්නේ සැලකිය ලෙස හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම පනත ගැන දැනුවත්ව නොවේ යන්න. ක්‍රමය වෙනස් කරන්න ආපු ආණ්ඩුවේත් පනත් සම්මත වෙන්නේ එහෙම. දන්නේ නැති පනතකට අත උස්සනවා. අතිබහුතරයක් තිබෙන නිසා ජනතාවට හානිකරන පනත් සම්මත කරන්න ආණ්ඩුව පසුබට වන්නේත් නැහැ
.


ණය මොන වගේ ණයක් වුනත් “ගත්තා නම් ගෙවන්න ඕන”, යනුවෙන් සිතන්නන් හැර අනිත් බොහෝ දෙනා ක්‍ෂුද්‍රමූල්‍ය අරගලය ගැන දන්නවා. යම්කිසි සංවේදී බවකුත් තියෙනවා. අරගලය උච්ඡ 2021 කාලයේ , විශේෂයෙන්ම හිඟුරක්ගොඩ සත්‍යග්‍රහය කාලේ බොහෝ දෙනෙක් නොයෙක් අයුරින් අපගේ අරගලයට සහයෝගය දුන්නා.

2023 ගැසට් කරපු ක්‍ෂුද්‍රමූල්‍ය නියාමන පනත සමඟ විනාශකාරී ක්‍ෂුද්‍රමූල්‍ය වලට එරෙහි අරගලය අලුත් වුනා. ඇත්තටම අරගල කවය පුළුල් වුනා. අපගේ අරගලයට ප්‍රජාමූල ඉතුරුම් සහ ණය සම්පාදනය කරන කාන්තා කණ්ඩායම් එකතු වුනා. 2020දී ඔවුන්ගේ සහය ඉල්ලු විට අපිට ලැබුනේ “ණය අහෝසි කරන්න කියන අරගල වලට අපි සහයෝගය දෙන්නේ ඇයි?” වගේ ප්‍රශ්න. එහෙම නැත්නම් “නාස්තිකාර ලෙස වියදම් කරලා ණය ගෙවාගන්න බැරුව” වගේ ප්‍රතිචාර. එහෙම තත්වයක ඉඳලා ක්‍ෂුද්‍රමූල්‍ය අර්බුදය, විශේෂයෙන්ම ඉහල පොලියකට ණය විශාල ප්‍රමාණයක් නිකුත් කිරීම නිසා ග්‍රාමීය ආර්ථිකයට වෙලා තියෙන හානිය පිළිගන්න තැනකට ප්‍රජාමූල සංවිධාන ආවා කියන්නේ ලොකු දෙයක්.

“විනාශකාරී ක්‍ෂුද්‍රමූල්‍ය ණය අහෝසි කරන්න” කියන අපගේ අරගලය, තමන්ගේ මුල්‍ය අවශ්‍යයතා සපුරාගැනීම සඳහා ප්‍රජාව සතු අයිතිය ආරක්ෂා කරගැනීම සමඟ මුසු වෙනවා 2023න් පස්සේ. 2021 සත්‍යග්‍රහය කාලේ අපි කිව්වා “ණය උගුල් නැති රටක්” කියලා. ණය උගුලක් නොවෙන්නට සකස් කරගන්නට ප්‍රජාව මූලික මූල්‍ය සම්පාදනය ඉතා වැදගත් බව කෝවිඩ් සහ ආර්ථික අර්බුදය කාලේ ගෙවා ගත නොහැකි ක්‍ෂුද්‍රමූල්‍ය ණය උගුල්වල හිරවෙලා ඉන්න කාන්තාවන්ට සහ ඔවුන්ගේ පවුල් ප්‍රමුඛ ග්‍රාමීය ජනතාවට තේරිලා තිබ්බා. ඔවුන් තමන්ට ගැලපෙන දරන්නට පුළුවන් ණය ක්‍රම තම ජීවන අත්දැකීම් සහ ඉතුරුම් හරහා ගොඩ නඟමින් ඉන්නවා.

සියලුම බිම් මට්ටමේ ප්‍රජාමූල ප්‍රයත්නයන් ‘මුදල් පොලියට දෙන්නන්’ නැතහොත් “පොලී මුදලාලිලා” යනුවෙනුත් ප්‍රජාමූල කාන්තා සංවිධාන “ක්‍ෂුද්‍රමූල්‍ය” ලෙසත් වර්ගීකරණය කරමින් ක්‍ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන පනත එන්නේ මේ අවධියේ ය. ප්‍රජාවේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වෙන (ඔව්, අද ආණ්ඩුවේ ප්‍රජාශක්ති යෝජනා කරන සංවර්ධන සංකල්පය දැන් දශක ගණනක් තිස්සේ ක්‍රියාත්මක කරමින් සිටින මිනිස්සු), ආර්ථික යුක්තිය මූලික කරගත්, දුප්පත්කම දුරැලීම, කාන්තාවන් බලගැන්වීම යම්තාක් දුරකට අත්පත් කරගත් ප්‍රජාමූල සංවිධාන වලට අහිතකර, ඒ සංවිධාන දුර්වල කරන ආරම්භයක් තමයි ක්‍ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන පනත. ශ්‍රී ලංකාව ණය උගුලක හිරකරන් සිටින ආසියානු සංවර්ධන අරමුදල මේ පනත ගෙනෙන්න ආණ්ඩුවට තවත් ණයක් දෙන්නේ ගමේ මිනිස්සුන්ගේ කොන්ද කඩලා දාන එක ආසියානු සංවර්ධන අරමුදලේ සංවර්ධන උපාය මාර්ගයට වැදගත් නිසා.

අපි 2023 ඔක්තෝබර් ඉඳන් මේ පනතට විරුධව වැඩ කළා. උසාවි ගියා. පාර්ලිමේන්තු කාරක සභා වලට ගියා. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පනත ඉල්ලා අස් කරගත්තට පස්සේ දාපු කොමිටියකදි පනතේ විපාක, ක්‍ෂුද්‍රමූල්‍ය අර්බුදයට අවශ්‍යය විසඳුම් … ආදිය ගැන යෝජනා දුන්නා. අපි ඒ සහභාගී වූ රාජ්‍යය ක්‍රමවේදය පිලිබඳ විශ්වාසයකිනුයි සිටියේ. ඒවා ඔක්කොම පුස්සක් බවට ඔප්පු කරමින් 2024 නොවැම්බර් 09 අලුත් ජාතික ජනබලවේග ආණ්ඩුවෙනුත් පරණ පනතටත් වඩා නරක ක්‍ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන පනතක් ගැසට් කරනවා.

අලුත් ආණ්ඩුව ගැනත් විශ්වාසය තබමින් අපි මේ දක්වා පාර්ලිමේන්තු කාරක සභාවලට යමින්, පනත සංශෝධනය කරන්න අවශ්‍යය යෝජනා දීර්ඝ වශයෙන් ලබා දී තිබෙනවා. “ප්‍රජාවේ අදහස් ගැනීම බොරුවක්, නිකන් විරෝධය මැඩපවත්වන්න, ප්‍රජාතන්ත්‍රවාදී කියා පෙනෙන්න සහභාගීකරගන්නවා විතරයි, අදහස් ඇත්තටම වැදගත් නැහැ” කියා නොවෙයි ආණ්ඩුව සිතන්නේ කියන එක ක්‍රියාවෙන් ඔප්පු කරන එක ආණ්ඩුවේ වගකීම. හුදු විරෝධයකින් එහාට ගොස් බැරෑරුම් ලෙස ආණ්ඩුව එක්ක කටයුතු කරන්න අපි ඉතාම අවංකව වෙහෙස වෙලා තියෙනවා.

ඉතින් ඔබට පැහැදිලි ඇති අවුරුදු දෙකකට අධික මේ අපගේ අරගලය. මේක දිගටම පැවතියත්, සමහරක් අය නොදන්නවා ඇති මෙහෙම අරගලයක් තිබෙන බව. ‘නීතිපති එළවීම’ වගේ ලොකු, හැමෝටම පෙනෙන තරමේ ප්‍රචාරයක් අපේ අරගලයට ලැබුනේ නැහැ. මේවා අස්සේ පනත විවාදයට ගන්නවා මාර්තු 04. අපගේ යෝජනා ඒ විවාදයට ගන්න පනතට අඩංගු කරලද අපි දන්නේ නැහැ. බොහෝ විට එහෙම නොවෙන්න පුළුවන්. අපි පනත ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කරන්න ඔවුන් හමු වුනාම – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වගේම විපක්ෂ මන්ත්‍රීවරු පනත ගැන දන්නේ නැහැ.

ඉතින් අපිට ඉතාම පැහැදිලියි පනත විවාදයට ගන්නේ සැලකිය හැකි ලෙස හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම පනත ගැන දැනුවත්ව නොවේ යන්න. ක්‍රමය වෙනස් කරන්න ආපු ආණ්ඩුවේත් පනත් සම්මත වෙන්නේ එහෙම. දන්නේ නැති පනතකට අත උස්සනවා. අතිබහුතරයක් තිබෙන නිසා ජනතාවට හානිකරන පනත් සම්මත කරන්න ආණ්ඩුව පසුබට වන්නේත් නැහැ.

ක්‍ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන පනත පිලිබඳ තත්වය මෙසේයි. 

Leave a comment