පෞද්ගලික විශ්වවිද්‍යාල හකුළා ගනු – සුචරිත ගම්ලත්

පෞද්ගලික විශ්වවිද්‍යාල හකුළා ගනු
සුචරිත ගම්ලත්

අප මෙම ලිපිය පළකරන්නේ සුචරිත ගම්ලත් එහි ලා පළ කරන සියලු අදහස් හෝ ඔහු ගේ එළඹුම ඒ ආකාරයෙන්ම පිළිගන්නා නිසා නොව ඇතැම් තැනක අතිශයෝක්තියෙන් අවධාරණය කරමින් වුව ඔහු මතුකරන කරුණු සාකච්ඡා කිරීම වැදගත් යැයි අප සිතන හෙයිනි.

පෞද්ගලික විශ්ව විද්‍යාල-විදේශීය විශ්ව විද්‍යාලවල ශාඛා-ශ්‍රී ලංකාවේ පිහිටුවන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී . දිසානායක කියයි. මේ ගැන විවාදයක් මතුවී ඇත. සමහරු මේ සැලසුම හොඳ යයි කියති. ඇතැම්හු එය හානිකර යයි කියති.

එහෙත් මෙසේ කියන එකෙකුවත් ප්‍රශ්නයේ සෑම පැත්තක් ම සලකා කිරා මැන බලා කථා කරන බවක් නො පෙනේ.

අපේ රටේ දැනට මත් විශ්ව විද්‍යාල ගණනාවක් ඇත. පේරාදෙණිය, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, කැළණි, මොරටු, යාපන හා රුහුණු යන විශ්ව විද්‍යාල ඒවා අතර ප්‍රධාන විශ්ව විද්‍යාල වේ. ප්‍රාදේශීය, අප්‍රධාන විශ්ව විද්‍යාල නම් කීයක් තිබේ දැයි ගණන් කරන්නටත් බැරි තරම් ය. එතරම් ම ගණනක් තිබේ.

මේ විශ්ව විද්‍යාලවල මා කථා කරන්නේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ ගැනය. ඒ මා දන්නේ ඒ විෂයයන් ගැන නිසාය. වෛද්‍ය, විද්‍යා, ඉංජිනේරු, ගණිත, සංඛ්‍යාන ආදී විෂයයන් ගැන මම කථා නොකරමි. මා ඒවා ගැන නො දන්නා නිසාය. ආණ්ඩුව මේ විශ්ව විද්‍යාල පිහිටවූයේය. ඒවාට මුදල් වෙන් කර දෙයි. උපකුලපතියන් වශයෙන් තම හෙංචයියලා පත් කරයි.

එයින් පසු කිසිවෙකුගේ හෙවිල්ලක් බැලිල්ලක් නැත. එතැන් සිට විශ්වවිද්‍යාල උපකුලපතිගේ ද ආචාර්ය මහාචාර්යවරුන්ගේ ද සින්නක්කර රජදහන්ය.

ඔවුහු කඹ ඇදගෙන, වයර් ඇදගෙන, උගුල් අටවාගෙන, හොරමැර කරගෙන, ගසා කාගෙන, අධ්‍යාපන පොල්කුඩු ඇතුළටත් පිටටත් විකුණාගෙන යහතින් සිටිති.

ඉගෙනීමට ය කියා මේ විශ්වවිද්‍යාලවලට එන දුප්පත් පුරවැසියන්ගේ දූ දරුවන්ට කිසිම අධ්‍යාපනයක් නො ලැබේ. ඔවුන්ට ලැබෙන්නේ සටහන් ගොන්නකි.
ඒ සටහන් ඔවුන්ට උගන්වන ආචාර්ය- මහාචාර්යවරුන් තමන්ට ඉගැන්වූ ආචාර්ය-මහාචාර්යවරුන් කියවන විට ලියාගත් ඒවාය. ඔවුන් ඒවා ලියාගත්තේ ඔවුන්ගේ ද ගුරුවරුන්ගෙනි.

මේ අනුව දැන් සිසුන්ට ලැබෙන්නේ පරම්පරාගත, චිරාගත සටහන් ගොන්නකි. ආචාර්ය-ප්‍රාචාර්ය පරම්පරාවෙන් එන කුණු කූඩය. ඔවුන් රත්නපුර ආදී ගංවතුර ගලන ප්‍රදේශයක පදිංිකරුවන් නම් පළමු ගංවතුරෙන්ම ඔවුන්ගේ අධ්‍යාපනය හමාරය. එය දිය රකුසාට බිලි වේ.

එවැනි ආපදාවකට ගොදුරු නො වී නිරුපදැතව ආරක්ෂා වුණත් මේ මුලුමහත් සටන් කන්දරාවේ ම නිසි තැනක නැණ මුතු ඇටයක්, නව චින්තනයක් තීක්ෂණ බුද්ධි ප්‍රභාවක් නැත.

මේවායේ තිබෙන්නේ ශත වර්ෂ භාගයක් පමණ පැරණි, යල් පැනගිය පල් හෑලි සංචිතයකි.

අන්‍ය ක්ෂේත්‍රවල මෙන් ම සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර යන ක්ෂේත්‍රවල ද ඥානය දිනෙන් දින අලුත් වෙයි. එසේ අලුත් වන්නේ ලෝකවාසී ශාස්ත්‍රඥයන් අතින්ය. ඒ ඔවුන් පර්යේෂණ කොට පළ කරන පොත්පත්, පර්යේෂණ පත්‍රිකා ආදියෙන්ය.

මේ ප්‍රකාශන ශ්‍රී ලංකාවට නො එයි. ඒවා ගැන දන්නා අය නොසිටීම, මුදල් හිගය වැනි හේතු නිසා ඒවා ශ්‍රී ලංකාවට නො එයි.

යම් මෙයකින් ඒවා මේ රටට ආවත් අපගේ විශ්ව විද්‍යාලවල සිටින බොහෝ ආචාර්ය-මහාචාර්යවරුන්ට ඒවා කියවිය නොහැකිය. ඔවුහු ඉංග්‍රීසි නොදනිති. එහෙයින් විශ්ව පර්යේෂකයන් සංවර්ධනය ද නිර්මාණය ද කරන ඥානයට මේ බොරු ආචාර්ය-මහාචාර්යවරු අන්ධය.

ඔවුහු සිංහල දනිත් ද? නැත. ඔවුන් සිංහල දන්නේ ද නැත. ඔවුන් දන්නවා නම් දන්නේ කැඩිච්ච සිංහලය.

සිංහල අධ්‍යයන අංශවල සිටින ආචාර්ය-මහාචාර්යවරු සිංහල දනිත් ද? ඔවුහු ද සිංහල නො දනිති. ඔවුන් සිංහල දන්නා බවක් යමෙකු කියත් නම් මම ඔහුට මෙසේ අභියෝග කරමි.

ප්‍රසිද්ධ ස්ථානයකට පැමිණ ධම්පියා අටුවා ගැටපදයේ මුල් පිටු 5 උගන්වා ප්‍රශ්න ඇසීමට ඉඩ දෙන ලෙස ඕනෑම වත්මන් සිංහල මහාචාර්ය-ආචාර්යවරයෙකු ඉදිරිපත් කරන්න. මම ද එමි එම දින.

මේ විශ්ව විද්‍යාලවලින් තොග ගණනේ පිට කරන උපාධිධාරීන්ගේ තත්ත්වය කෙසේ ද? ඒ ගැන සාරාංශ වශයෙන් පරම සත්‍යය ම ප්‍රකාශ කරන හොත් මෙසේ කිය යුතුය.

ඔවුහු සිංහල නොදනිති. ඉංගිරිසි නොදනිති. ඔවුන්ට මොළයක් ද නැත. සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර යන විෂයය් හැදින්වෙන්නේ “Liberal Arts” යන නමිනි.

මෙහි අර්ථය වෛද්‍ය, ඉංජිනේරු ආදී විද්‍යා මෙන් නිශ්චිත රැකියාවකට පුහුණු නො‍කොට පුද්ගලත්වයත් අධ්‍යාත්මයක් බබළවන ශාස්ත්‍ර යනුය. එනම්, තර්ක ශක්තිය, චින්තනය, කරුණු සලකා නිගමනවලට එළඹීම යන දෑ පුහුණු කරන ශාස්ත්‍රය. මේ උපාධිධාරීන්ට තර්ක ශක්තියක් තිබේද? තිබේ නම’ ඔවුහු ජනතා විමුක්ති පෙරමුණ ආදී හොර දේශපාලන පක්ෂවලට කත් අදීද? වරෙක රාජපක්ෂටත් වරෙක ජෙනරාල්ටත් කඩේ යත්ද? නවක වධය නමැති ඒ ම්ලේච්ඡ වධ දීම නවක සිසුන්ට කරත් ද?

ඔවුන්ට චින්තනයක් ති‍‍‍බේ ද? නැත ඔවුන්ට තිබෙන්නේ චිරාගත වැඩවසම් චින්තනයයි. ඔවුහු බුද්ධිමත් නිගමනවලට එළඹෙත් ද? එය මේ කපේ දී නම් සිදුවන දෙයක් නො වේ?

එසේ නම් ජාතික ධනයෙන් සෑහෙන කොටසක් වැය කොට මෙවැනි පුස්සන් බිහි කිරීමේ තේරුම කිම?

එබදු වර්තමාන විශ්වවිද්‍යාල පිළිබද ප්‍රහ්නය මතු වූ සැණෙකින්ම ආණ්ඩුවේ ඔලුවට එන විසදුම පෙෘද්ගලික විශ්වවිද්‍යාල යන්නය. දැන් එස්. බී. දිසානායක පුනරුච්චාරණය කරමින් සිටින්නේ මෙයයි.

පසුගිය දීර්ඝ කාලය තුළ ජාතික අධ්‍යාපනය පිළිබද විශ්වාසය මහා පරිමාණයෙන් බිද වැටිණ. පාසල්වලින් එළියට එන තරුණ තරුණියන්ට රැකී රක්ෂා නැති විය. එවිට බොහෝ දෙනා සිතුවේ මෙය නම් ඉංගිරිසි නැති නිසා සිදුවන විපතකි කියාය.

මේ තත්ත්වය දුටු ධනපතියෝ කීපදෙනෙක් රට පුරා ඊනියා “ජාත්‍යන්තර පාසැල්” ඇටවූහ. ඒවායෙහි යන්තම් ඉංගිරිසි මරාගන්ට උගන්වනු ලැබේ. එසේ ඉංගිරිසි උගත් සුලුතරයකට දෙවැනි මට්‍‍ටමේ විධායක තනතුරු ද ලැබුණේය. ඒ පෞද්ගලික අංහයේය. මේ දුටු පුලුපුලුවන් සැමදෙනා රැල්ලට වැටී තියෙන දෙයක් විකුණා හෝ තම දරුවන් ජාත්‍යන්තර පාසල්වලට යැවූහ. එහෙත් උසස් පෙල සමත් වීමෙන් පසු මේ සිසුන්ට තෘතීයික අධ්‍යාපනය ලැබීමට තැනක් නැති විය.

මේ අඩුව ද යම් පමණකට පිරවීම සදහා පිටරට විශ්ව විද්‍යාලවල උපාධි විභාග සදහා සිසුන් පුහුණු කිරීමට ආයතන දුසිමකට වඩා පිහිටුවා ඇත. සමහරු තම දරුවන් ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව වැනි රටවලට ද යවති.

පිටරට විශ්වවිද්‍යාලවල ශාඛා පිහිටුවීමට පෞද්ගලික අංශයේ මුදලාලිලාට ඉඩ දීමෙන් ඇස්. බී. දිසානායක ඉලක්ක කරන්නේ මේ සමාජ ඛණ්ඩයයි.
මෙයින් ඔහු අපේක්ෂා කරන්නේ මේ ඛණ්ඩයෙන් පිටරටට ඇදී යන මුදල් කන්දරාව තම සාක්කුවලට දමා ගැනීමට මෙරට ධනපතියන්ට පහසුකම් සලසාදීමය. තවද ඔහු අපේක්ෂා කරන්නේ බහුජාතික සමාගම්වල මෙරට ශාඛා ද මෙරට ධනපති සමාගම් ද පරිපාලනය කිරීමට ඉංගිරිසි උගත් දෙවෙනි මට්ටමේ පරිපාලකයන් මේ රටේම නිෂ්පාදනය කිරීමටය.

මේ සියල්ල දේශිය-විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමෙන් පසු ඒවාට යවා දරුවන්ට උගැන්විය හැකි වන්නේ දේපොළ තිබෙන ධනවත් මවුපියන්ට පමණකි. මේ නිසාත් ඒවායින් උපාධි ගන්නා අයට රැකියා ලැබීම නිසාත් විදේශීය උපාධිවලට අමුතු අගයක් ආරෝපණය වනු ඇත. නොමිලේ ලබන අධ්‍යාපනයට වඩා ගෙවා ලබන අධ්‍යාපනය අනිවාර්යයෙන්ම අගනේය. උසස්ය. යන හැගීම ඇති වේ. එවිට ජාතික විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා පීඩිත පවුල්වල දරුවන් හෑල්ලුවට, අවඥාවට, අපහාසයට ලක්වීම වැළැක්විය හැකි ජගතෙක් මිහිපිට නැත. මෙලෙස ජාතික විශ්ව විද්‍යාල ටිකෙන් ටික පිරිහී විනාශ වී යනු ඇත. ඒවායේ උගන්වන ගුරුවරුන් ද දෙවෙනි පන්තියේ, පහත් ගණයේ ගුරුවරුන් ලෙස අවඥාවට ලක් වනු අනිවාර්යය. එවිට ආණ්ඩුව ජාතික විශ්ව විද්‍යාලවලට වෙන් කරන මුදල් ටිකෙන් ටික අඩු කර නවතා දමනු ඇත.

එවිට ඒ විශ්ව විදයාල නඩත්තු කිරීම සඳහා සිසුන්ගෙන් ගාස්තු අය කිරීම ඇරඹෙනු ඇත. එයම ජාතික විශ්වවිද්‍යාලවල මළගම වන බව ඉරහඳ මෙන් සහතිකය.
ඇස්. බී. දිසානායක ගේ යෝජනාව පිටුපස තිබෙන්නේ මේ විනාශකාරි ජනතා විරෝධි සැලසුමයි. දිසානයකට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නංවාලීමට අවශ්‍ය නම් ඔහු කළ යුත්තේ වෙනත් දෙයකි.

ඔහු ආණ්ඩුවේ පන්දමුන්ගේ නොව අධ්‍යාපන විශේෂඥයන්ගේද, ශාස්ත්‍රඥයන්ගේද ජ්‍යෙෂ්ඨ පරිපාලකයන්ගේ ද ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවා පිරිහී තිබෙන ජාතික විහ්වවිද්‍යාලවල පිරිහීම පිරික්සා ඒවායේ තත්ත්වය නැංවිම පිළිබඳ නිර්දේශ ලබාගෙන ඒවා ක්‍රියාවට නැංවිය යුතුය.

මෙලෙස අපගේ විශ්ව විද්‍යාලවල තත්ත්වය නැංවීමෙන් පසු විවිධත්වය සඳහා අවහ්‍ය නම් පෞද්ගලික විදේශිය විශ්ව විද්‍යාල පිහිටුවා ගැනීමේ වරදක් නැත. එසේ නොකොට දැන් ම දඩිබිඩියේ පෞද්ගලික විහ්ව විද්‍යාල පිහිටුවීමට සියල්ලන්ම විරුද්ධ විය යුතුය.

මේ වැඩේට නම් කිසි සේත් ම ඉඩ නොදිය යුතුය.

2010 මැයි මස 30 වැනි ඉරිදා ඉරුදින සතිසංචිත්තා වෙන් උපුටා ගන්නා ලදී.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s