අරගලයෙන් ඉදිරියට – 21 වැනි සියවසේ දෙවැනි කාර්තුවේ ලංකේය වාම දේශපාලනයේ ඉදිරි දිශානතිය කුමක් වනු ඇතිද?
කුමුදු කුසුම් කුමාර විසිනි
මැයි පළමුවැනි දිනට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙනි.
වාම දේශපාලනයේ අර්බුදය
ලංකාවේ වාම දේශපාලනයේ බැරෑරුම් අර්බුදයක් කලක් තිස්සේ පැවතුණි. එය මූලිකවම වාම දේශපාලනයට බහුජන පදනමක් ගොඩ නැඟීමට අපොහොසත් වීම පිළිබඳ අර්බුදයකි.
එම අර්බුදය පුපුරා ගිය සංසිද්ධිය ලෙස ‘ගෝටා ගෝ ගම’ මුල් කරගෙන ඇරඹී ‘අරගලය’ දක්වා වර්ධනය වූ බහු ජන නැඟිටීම දැක්විය හැකිය. අරගලය කෙළවර වූයේ ප්‍රතිවිප්ලවයකිනි. අවසානයේදී, අරගලය ආශ්‍රිතව සිදු වූ මහජන පිබිදීෙම් රැල්ල මත වත්මන් ජවිපෙ/ජාජබ ආණ්ඩුව බලයට පත් විය.
ජවිපෙ/ ජාජබ ආණ්ඩුව හසුරුවා ගැනීමේ ජාත්‍යන්තර උපක්‍රමයක් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය එය වමේ ආණ්ඩුවක් ලෙස වරින් වර හඳුන්වා දෙන නමුදු ආණ්ඩුව තමන් වමේ යැයි හඳුන්වා ගන්නේ නැත.එය වාම විරෝධී දේශීය ධනේශ්වරය සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ප්‍රසිද්ධියේ ඉතා සමීපව කටයුතු කරයි.
නිර්ප්‍රභූ-ප්‍රභූ
ආණ්ඩුවේ පංති ස්වරූපය නිර්ප්‍රභූ යැයි හඳුන්වා දීමේ උත්සාහයක් ආරම්භයේදී දරනු ලැබූවද එල්ල වූ විවේචන හමුවේ දෙවනුව එය ප්‍රභූ-නොවන ලෙසින් වෙනස් කරනු ලැබීය. මෙම නව පාලන තන්ත්‍රය පොදුවේ ගත් කළ සම්ප්‍රධායික රදළ පැළැන්තියේ සහ ධනපති පංතියේ දේශපාලන ප්‍රභූ ස්ථරයන්ට අයත් නොවන බව සැබෑවකි. නමුත් ඔවුන්ගේ තැනට තමන් පත්වීම අරමුණු කොටගත් දේශපාලන ප්‍රභූ අභිලාෂයන්ගෙන් යුතු ග්‍රාමීය සහ නාගරික සුළු ධනේශ්වර ස්ථරයන්ගෙන් පැන නැඟුණු ශාස්ත්‍රාලීය, වෛද්‍ය, ඉංජිනේරු සහ තාක්ෂණික, නීති, කළමණාකරණ, ව්‍යාපාර, ගිණුම්කරණය,පරිපාලනය යනාදී අංශ මුල් කරගත් වෘත්තීය ක්ෂේත්‍රයන්හි සහ නිලධාරි තන්ත්‍රයෙහි ඉහළට නැඟ ගත් පිරිස් සහ සම්ප්‍රධායිකව දේශපාලන ක්‍රියාකාරීන්/වෘත්තීය සමිති නායකයින්ව සිට ඇති පිරිස් ජාජබ ආණ්ඩුවේ නායකත්වය දරති. ලංකාවේ නව දේශපාලන ප්‍රභූ පැළැන්තිය මෙය යි. මෙය තාක්ෂණ තාන්ත්‍රික පංති මතවාදය වැළඳ ගත් සුළු ධනේශ්වර පංති කොටස් දේශපාලන බලය අත් පත් කර ගැනීමකි. ඔවුන් වටා වාණිජ මංඩල මෙහෙයවන, ජාත්‍යන්තර ප්‍රාග්ධනය සමඟ ගැටගැසුණු,ධනපති නායකත්වය ඒකරාශී වි සිටිති.මෙය සුළු ධනපති- ධනපති- ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධන කණ්ඩායම් අතර ගොඩ නැඟුණු සන්ධානයකි.
ජවිපෙ/ජාජබ ආණ්ඩුව
වර්ථමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ වමේ අර්බුදය වඩා උග්‍ර වී ඇතැයි වාමාංශික දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ ජනයා අතර හැඟීමක් පැතිර තිබේ.ඔවුන්ගේ විවේචන පෙන්වා දෙන පරිදි ජවිපෙ/ජාජබ ආණ්ඩුව වමේ ආණ්ඩුවක් නොවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, වාණිජ මංඩලය, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව
ජවිපෙ/ ජාජබ මැතිවරණ ව්‍යාපාරය වටා එකතු වූ බහුජනයාගේ අපේක්ෂාවන්ට සහ තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ලා වූ පොරොන්දු වලට පවා එරෙහිව යමින් වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැනවූ කොන්දේසි මත ඔවුන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹුණි. ඒ අනුව යමින්, ණය කප්පාදුවේ බර වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල මත පැණවිම ක්‍රියාවට නැංවීම කිසිදු වෙනසකින් තොරව ජවිපෙ/ ජාජබ ආණ්ඩුව විසින් කරගෙන යනු ලැබීය.
ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙළ ආරම්භයේ සිටම මෙහෙයවනු ලබන්නේ වාණිජ මංඩලය මුල් කොට ගත් ධනේශ්වර පංති නියෝජිතයන් ගේ නායකත්වයෙනි.
ආණ්ඩුව ප්‍රධාන කොටම දේශීය ජනතා අවශ්‍යතා මත නොව මූල්‍ය අරමුදල සහ ඔවුන් ගේ අනුබද්ධිත ආයතන වන ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන අරමුදල ලබා දෙන ණය මත, ඔවුන් පණවන කොන්දේසි අනුව රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම සහ මෙහෙයවීම කරමින් සිටියි.
බදු බර, ජීවන බර
ජනතාව මත දරාගත නොහැකි අධික බදු බර පටවා ඇත. එමගින් සූරාගත් ධනයද ඇතුළත්ව රුපියල් ට්‍රිලියනයකින් භාණ්ඩාගාරය පුරවා ඇතැයි ආණ්ඩුව පුරාජේරු දොඩයි.
දරා ගත නොහැකි අධික ජීවන බරින් දුප්පතුන් පමණක් නොව මැද පංතිකයෝද පරිපීඩිතව සිටිති.
දිළිඳුභාවය සහ මන්දපෝෂණය
ජීවන මට්ටමේ ප්‍රධාන නිර්ණායකයන් වන දිළිඳුභාවය සහ මන්දපෝෂණය වත්මන් ආණ්ඩුව යටතේ ඉහළ මට්ටමක පවතියි. නිල වාර්ථා වලට අනුව ජනගහණයෙන් සියයට විසිපහක් අන්ත දුගී භාවයෙන් පෙළෙයි. එයින් සියයට අසූවක් ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරති. එයිනුත් වතුකරයේ ජීවත්වන දෙමළ ප්‍රජාවගේ දුගීභාවය වැඩියෙන් ඉහළය.සැබෑ ජීවන වියදම අනුව ගණනය කරතොත් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන ජනගහණය සමස්ත ජනගහණයෙන් තුනෙන් එකක් වනු ඇතැයි නවලිබරල් ආර්ථික විද්‍යාඥයෝම කියති. ස්ත්‍රීහු සහ දරුවෝ, ඒ අතරින් ගැහැණු දරුවෝ මේ සියල්ලෙන්ම වැඩිපුර පීඩා විඳිති.
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය අර්බුදය
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය අර්බුදය හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක්, ප්‍රධාන වශයෙන් ග්‍රාමීය කාන්තාවන්, කොල්ලකාරී ඉහළ පොලී ණය හරහා උග්‍ර ණය උගුලක සිරවී ඇති අතර, එය සියදිවි නසාගැනීම් 200 කට අධික සංඛ්‍යාවකට හේතු වී තිබේ. වත්මන් ආණ්ඩුව සම්මත කළ ක්‍ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත වින්දිතයින්ට දෝෂාරෝපනය කිරීමේ පිළිවෙතක පිහිටා සම්පාදනය කොට ඇති අතර ආරක්ෂාවීමේ වගකීම ණයගැතියන් මත පටවන හෙයින් එවැනි නියාමන රාමුවක ඇති පාරිභෝගික ආරක්ෂාවන් ශුන්‍ය කිරීමට දායක වනු ඇතැයි ක්‍රියාකාරීන් දැනටමත් බිය පළ කොට තිබේ. මෙනයින් එම පණතට ක්‍ෂුද්‍රමුල්‍ය සහ ණය පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇතුළත් නොවන බව ඔවුහු අවධාරණය කරති.
දේශපාලන ස්වෛරීභාවය අනතුරේ
අපගේ ආර්ථික ස්වෛරීභාවය පමණක් නොව දේශපාලන ස්වෛරීභාවය සහ සුරක්ෂිතභාවය ගෝලීය ඇමරිකානු අධිරාජ්‍යය (ඇමරිකා එක්සත් ජනපද-ශ්‍රී ලංකා ආරක්ෂක අවබෝධතා ගිවිසුම/රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (2025)) සහ කලාපීය ඉන්දියානු අධිකාරය (ඉන්දියා-ශ්‍රී ලංකා ආරක්ෂක හවුල්කාරිත්ව ගිවිසුම (2025)) සමඟ වත්මන් ආණ්ඩුව අත්සන් කොට ඇති රහසිගත ගිවිසුම් මඟින් පාවා දී අනතුරට හෙළා ඇතැයි විවේචකයෝ පෙන්වා දෙති.
මෙම ආණ්ඩුව පලස්තීන ජන සංහාරක ඊශ්‍රායලය සමඟ සබඳතා ශක්තිමත් කරමින් සිටින අතර ඊශ්‍රායල බුද්ධි අංශ සහ හමුදා සමඟ සහයෝගීතාව පවත්වා ගෙන යාමේ පිළිවෙතක සිටියි.
රාජ්‍යයට එරෙහිව වෙළෙඳ පොළ සහ පෞද්ගලීකරණය – නවලිබරල්වාදය
වත්මන් ආණ්ඩුව ඊට පෙර පැවති ආණ්ඩු පරදවා යන මට්ටමින්, රාජ්‍ය අංශය නොව පෞද්ගලික අංශය සහ වෙළෙඳ පොළ යාන්ත්‍රණය ආර්ථික වර්ධනයේ එන්ජිම ලෙස ප්‍රකාශ කොට ඇත. සමාජ ජීවිතයේ විශාල ක්ෂේත්‍ර වෙළඳ භාණ්ඩකරණයේ තර්කනයට යටත් කිරීමේ නවලිබරල්වාදී ආර්ථික දැක්ම ආණ්ඩුව පිළිගෙන ඇත.
පෙර ආණ්ඩු විසින් මහජන විරෝධය හමුවේ හකුළා ගත් රාජ්‍ය අංශයේ ආයතන පෞද්ගලීකරණය කිරීමේ වැඩ පිළිවෙළ වත්මන් ආණ්ඩුව විසින් සියුම්ව ක්‍රියාත්මක කිරීමට යොමු වී ඇතැයි විවේචකයෝ චෝදනා කරති.
වෙළෙඳ පොළට රිසි සේ හැසිරෙන්නට ඉඩ හරිමින්, අත්‍යවශ්‍ය භාන්ඩ කිහිපයක් සම්බන්ධයෙන් හැරුණු විට, ජනයා තනිකරම වෙළෙඳපොළේ නිර්දය පාලනයට යටත් කොට ඇත.
සාමාන්‍ය ජනයාගේ සහ මැද පංතික ජන කොටස්වල පවා පැවැත්මට අත්‍යවශ්‍ය සේවාවන් වන රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනය එන්න එන්නම වෙළෙඳ පොළේ බලපෑමට යටත් කෙරෙමින් පවතියි. දැනටමත් බරපතළ ලෙස පෞද්ගලීකරණයට යටත් කොට ඇති මගී ප්‍රවාහනය ඉන් මුදවා ගැනීමේ පැහැදිළි උත්සාහයක් දක්නට නැත.
බල ශක්ති ක්ෂේත්‍රය -තෙල් සහ සහ විදුලිය සැපයුම, කොටස් වලට කඩමින් පෞද්ගලීකරණය කිරීම දිශාවට දිගටම යොමු කෙරෙමින් පවතියි.
“ සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ප්‍රවාහනය, බලශක්තිය සහ විදුලි සංදේශ යනු පාරිභෝගික භාණ්ඩ නොව නූතන ජීවිතයේ සහභාගීත්වය රඳා පවතින සමාජ යටිතල පහසුකම් වේ. අවශ්‍යතාවයට වඩා මිල අනුව සලාකනය කරන ලාභ සොයන අතරමැදියන් හරහා ඒවා සංවිධානය කිරීමෙන් පුරෝකථනය කළ හැකි විකෘති කිරීම් හඳුන්වා දෙනු ලැබේ. ප්‍රතිඵලය වන්නේ සමානාත්මතාවය සහ කාර්යක්ෂමතාව යන දෙකම අඩපණ කරන පද්ධතියකි. දශක ගණනාවක සංසන්දනාත්මක අත්දැකීම්වලින් පෙනී යන්නේ මෙම අංශවල රාජ්‍ය ප්‍රතිපාදන අඩු සමාජ පිරිවැයකින් වඩා හොඳ ප්‍රතිඵල ලබා දිය හැකි බවයි, මන්ද එය මිලදී ගැනීමේ බලයට වඩා සමාජ අවශ්‍යතා සමඟ ප්‍රතිපාදන පෙළගස්වන බැවිනි.” (මෙහි බලන්න, බස්කර් සූන්කාර, අපට ධනවාදයට පසු සමාජවාදය අවශ්‍යයි, 2026, ජැකොබින්)
පෞද්ගලික අංශය සමඟ තරඟයට රාජ්‍ය අංශය යොමුකරන්නේ යැයි ආණ්ඩුව ප්‍රකාශ කර ඇති අදහස පවා අව්‍යාජව ක්‍රියාත්මක කිරිමට ආණ්ඩුව යොමු නොවන බව,උදාහරණයක් ලෙස, ලාභ ලැබීම මුල් කොට ගෙන රාජ්‍ය අංශයේ කිරි නිෂ්පාදන ආයතන ක්‍රියා කරන ආකාරයෙන් පෙන්නුම් කරයි.
ස්වභාවික පරිසරයට සහ ජෛව විවිධත්වයට හානි කිරීම
ස්වභාවික පරිසරයට සහ ජෛව විවිධත්වයට බරපතළ ලෙස හානි කිරීම වත්මන් ආණ්ඩුව යටතේත් දිගටම සිදුකෙරෙමින් පවතියි. වන විනාශය, වනජීවී වාසස්ථාන ඛණ්ඩනය සහ මානව-වනජීවී ගැටුම් තීව්‍ර වී ඇත. ආරක්ෂිත ඉඩම් පරිසර සහ ජෛව විවිධත්ව සංරක්ෂණයට සහ පොදුජන භුක්තියට අහිමි කරන ලෙසින් ඊනියා සංවර්ධනය සඳහා දේශීය සහ විදේශීය පෞද්ගලික ආයෝජකයන්ට මුදා හැරීම, පාරිසරික බලපෑම් තක්සේරු කිරීම් නොසලකා හැරීම (උදාහරණයන් වශයෙන් මන්නාරම සුළං බළ ව්‍යාපෘති) සහ විශේෂයෙන් වියළි කලාපයේ ජෛව විවිධත්වය අඩපණ කර ඇති නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම සහ වැලි කැණීම නැවැත්වීමට අපොහොසත් වීම දිගින් දිගටම සිදුකෙරමින් පවතියි.
ජෛවමිතික පාදක ජාතික හැඳුනුම්පත
පෞද්ගලික අංශයේ මෙහෙයුම යටතේ දියත් කෙරී ඇති දැවැන්ත ඩිජිටල්කරණ වැඩ පිළිවෙළට සමගාමීව ඉන්දියානු ප්‍රදානයක් මත ක්‍රියාත්මක ජෛවමිතික පාදක ජාතික හැඳුනුම්පතක් හඳුන්වාදීම අනවශ්‍ය ලෙස පුද්ගල නිදහස සීමා කිරීම දක්වා යොදා ගැනීමේ මෙන්ම ලාංකේය රජයට මෙන්ම විදේශීය රාජ්‍යන්ටද අවශ්‍ය කෙරෙන විට පුරවැසියන් මර්ධනය සඳහා යොදගැනීමට ඉඩ තිබීමේ බරපතළ අවධානමක් පවතී.
සමස්තයක් වශයෙන් ගත් කළ ඩිජිටල්කරණය වූ කලී ජාතික ආරක්ෂාවේ නාමයෙක් ප්‍රවේක්ෂණ රාජ්‍යයක් ගොඩ නැංවිම බව ගෝලීය අත්දැකීම් සළකා බලන කළ පැහැදිළිය.
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව පිටු දැකීම
ජාතික පුනරුදය
ලාංකේය පුනරුදය වනාහී, බටහිර යුරෝපීය පුනරුදයේ හා ප්‍රබුද්ධත්වයේ පරිකල්පනයේ ප්‍රථිඵලයක් ලෙස විසිවැනි සියවසේ බිහිවුනි යැයි විශ්වාස කරන ගෝලීය නව්‍යත්ව ව්‍යාපෘතිය අපට අහිමිවූ මොහොත යළි උදාකර ගැනීමේ අභිලාෂය ලෙස ජවිපෙ/ජාජබ ජාතික පුනරුදය සංකල්පීකරණය විසින් අර්ථකථනය කරන ලදී. ජාතික පුනරුදය පොදු සමාජ සම්මුතිය පදනම් කොට ගත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය පදනම් කරගත් පුරවැසියන්ගේ යුගය ලෙස නූතනත්වය අගය කරයි.එය නූතනත්වයේ මූලික හරයන් ලෙස මානව හිමිකම්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් අගය කරයි.සමාජ සාධාරණත්වය හා සාමූහිකත්වය පිළිබඳ වටිනාකම් පදනම් කරගත් සමාජ මැදිහත්වීම් අගය කරයි.නමුත්, වත්මන් ආණ්ඩුව ක්‍රියා කරන්නේ ඔවුන් විශ්වාස කරන බව කියැවුණු එම පුනරුද විශ්වාසයන් මත පදනම්වද?
ආණ්ඩුව බලයට පත් වූයේ ධනේශ්වර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව තුළ පිහිටමිනි.නමුත්, එම රාමුව තුළ පාර්ලිමේන්තුව තුළමත් විපක්ෂයට ආණ්ඩුවේ කටයතු ප්‍රශ්න කිරීමට ඇති අයිතිය සීමා කිරීමට ආණ්ඩුව ක්‍රියා කරන බවට විපක්ෂය චෝදනා කරයි.
පලාත් සභා ඡන්දය පැවැත්වීම දිගින් දිගටම කල් දෑමීම කෙරෙමින් පැවතීම විශේෂයෙන් සුළු ජාතික ජන කණ්ඩායම් වසන පළාත් ආශ්‍රිතව විමධ්‍යගත දේශපාලන බලය ක්‍රියාත්මක කිරීම කල් දැමීමක් ලෙස විරෝධයට ලක් වී තිබේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුව මුල් කොට ගත් දේශපාලන බල ව්‍යුහය ප්‍රථිස්ථාපනය කිරීමේ පොරොන්දුව ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම කල් දමමින් පවතියි. මෙය විධායක ජනාධිපති ක්‍රමයේ බලය අධිකාරවාදී ලෙස යොදා ගනිමින් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන මහජන ආරක්ෂක පණත සහ හදිසි නීතිය වැනි මර්ධනකාරී නීති මගින් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මර්ධනය සහ දේශපාලන ක්‍රියාකාරකම් බිය වැද්දීම කිරීම කළ හැකි මඟක් ලෙස අවධානයට ලක් වී තිබේ.
නීති රීති මත ස්ථාපිත ආයතන පද්ධතිය නොව ‘අවංක පක්ෂ නායකත්වය’
තම සාමාජිකයන් අවංක යැයි කියා සිටින වත්මන් ආණ්ඩුවේ හර දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ,ඔවුන් ආණ්ඩුකරණයේදී යම් නීති රීති උල්ලංඝණය කළත් ඒ පෞද්ගලික අවශ්‍යතාවක් නිසා නොව පොදු අරමුණ සඳහා වන හෙයින් එය වරදක් නොවේ යැයි කියා සිටියි. එයින් කියැවෙන්නේ මෙම ආණ්ඩුව විශ්වාසය තබන්නේ නීති රීති සහ ඒ මත ගොඩ නැඟෙන කල්පවත්නා ලෙස ස්ථාපිත කළ ආයතන පද්ධතියක් මත නොව තමන් අවංක යැයි විශ්වාස කරන තම පක්ෂයේ නායකයන් කෙරෙහි බවය.නීති රීති සහ මත ස්ථාපිත කළ ආයතන පද්ධතිය අදාළ සෙසු ජනතාවට ය.
තනි මතයට ආයතන සහ ජනමතය යටපත් කිරීමේ උත්සාහය
ආණ්ඩුවට අවශ්‍ය තමන් කල් තබා සකස් කරගත් වැඩ පිළිවෙළ බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම යි. ඒ සඳහා, ආණ්ඩුව තම තනි මතයට රටේ සියළු ආයතන සහ ජනමතය යටපත් කිරීමේ උත්සාහයක නිරතව සිටියි.
මෙම එළඹුම පිළිබඳ ප්‍රබලතම උදාහරණය නම් රටේ අනාගතයට තීරණාත්මක ෙලස බලපාන ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අව්‍යාජ මහජන සාකච්ඡාවකින් තොරව පෙර පැවැති ආණ්ඩු විසින් සම්පාදනය කරන ලද නවලිබරල්වාදී දැක්මකින් යුතු ප්‍රතිසංස්කරණ එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටීම යි.යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුමන විවේචන, විරෝධතා පැමිණියත් මුලින් සකස් කළ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුව වහසි බස් දොඩයි.
ආණ්ඩුව ප්‍රාදේශීය මට්ටමින් මහජනතාව නියෝජනය කිරීමට යැයි කමිටු පිහිටුවන නමුත් ඔවුන්ගේ චින්තන රටාවට අනුකූල නොවන සියලු දෙනා ඒවායින් ඈත් කොට තබන බවට ජනයා පැමිණිලි කරති.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස
පෙර පැවති ආණඩුව විසින් මහජන විරෝධය තිබියදි සම්මත කරන ලද මාර්ගස්ථ ආරක්ෂණ පණත වත්මන් ආණ්ඩුව විසින් පවත්වා ගෙන යාම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බලවත් තර්ජනයක් එල්ල කරන බව සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරී සංවිධාන වල මතයයි.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නීත්‍යානුකූලභාවයට වසන් වී මර්ධනයට ලක් කරනු ලැබ තිබේ. ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයන්, ජාතික මට්ටමේ දේශපාලනඥයන් පවා, රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් ආණ්ඩුව විසින් අනුගමනය කරයි.එය විවේචකයන් බිය වැද්දීමකි.
ආණ්ඩුව වූ පොරොන්දු කඩ කරමින් පවත්නා ත්‍රස්ත විරෝධී පණත අහෝසි කොට නැතුවා පමණක් නොව ඊටත් වඩා මර්ධනකාරී ලෙසින් දේශීය සහ ජාත්‍යන්තර සිවිල් අයිතිවාසිකම් සංවිධාන විසින් එකහෙළා ප්‍රකාශ කොට ඇති නව ත්‍රස්ත විරෝධී පණතක් ද සම්මත කර ගැනීමට උත්සාහ දරමින් සිටියි.දැනට පවතින ත්‍රස්ත විරෝධී පණත අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මරධනයට අවියක් වශයෙන් යොදා ගනිමින් පැවතීම යෝජිත නව පනතිත් තීව්ර කිරිමේ අවකාශ එහි ඇතැයි ප්‍රකාශ වී තිබේ.
“ කලා මණ්ඩලය කලා පොලිසියක් වෙයි !”
ප්‍රකාශනයේ නිදහසට වාරණ පැණවීම ට ආණ්ඩුව ගන්නා උත්සාහයක් ලෙස බරපතළ අන්දමින් මහජන විරෝධයට ලක් වී ඇති ආසන්නතම අවස්ථාවක් වන්නේ දීපචෙල්වන් නමින් දෙමළ බසින් ලේඛනයේ යෙදෙන ලාංකේය ලේඛකයාගේ කෘති හතරක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන ඒමේදී ලංකා රේගුව විසින් රඳවා තබා ගැනීම යි. පසුව,රේගු අධ්‍යක්ෂවරයා නිකුත් කළ නිවේදනයකින් කියැවුණේ ජාතික කලා මණ්ඩලය සහ සාහිත්‍ය අනුමණ්ඩලය විසින් නිකුත් කරන ලද නිර්දේශ මත මෙම පොත් අතරින් නවකතා දෙකක් නිදහස් කරන අතර එම මණ්ඩලවල සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශ මත පදනම්ව අනෙක් කෘති දෙක නිදහස් නොකරන බවයි.
තමනට නැති බලයක් ආරෝපණය කර ගෙන මෙලෙස නිර්දේශ ලබා දීමෙන් “තම හිතුමතයට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසේ සීමා මායිම් මැන දක්වා සළකුණු කිරීම”ට “දේශපාලන පත්වීම් ලබා ඇති කලා මණ්ඩලයේ සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයන්ට ඇති නෛතික, සහ සදාචාරාත්මක අයිතිය” ප්‍රශ්න කරමින් පැණ නැඟුණු මහජන විරෝධය “ කලා මණ්ඩලය කලා පොලිසියක් වෙයි !” යන ප්‍රකාශයෙන් කැටි කොට දැක්වෙයි.
මෙම පොදු තත්වයෙන් ඔබ්බට යමින් මතු කෙරී ඇති බරපතළ ප්‍රශ්නය නම් වාරණයට ලක්ව ඇති දීපචෙල්වන්ගේ පොත් දෙකෙහි එන අදහස් රේගුව විසින් එම වාරණයට හේතුව වශයෙන් දක්වා ඇති,දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය වන ‘රාජද්‍රෝහී’වීම යන අපරාධයට සමාන යැයි සැලකුවේ කුමන පදනමක් මතද යන්නයි. එවැන්නක් තවම ප්‍රකාශයට පත් කොට නොමැත.එම චෝදනාව සහ ලේඛකයා කිලිනොච්චියෙන් පැමිණි දෙමළ ජාතිකයෙකු වීම අතර සම්බන්ධයක් තිබේද? යන ප්‍රශ්නය මේ හා සම්බන්ධ ය.
මෙහි ලා උත්ප්‍රාසය දනවන කරුණ වූයේ වත්මන් ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරයා සහ සංස්කෘතික අමාත්‍යංශය යටතේ ඇති කලා මංඩලය සහ එහිම සාහිත්‍ය අනුමංඩල ප්‍රධානීන් මෙම කටයුත්ත සම්බන්ධයෙන් කළ මැදිහත්වීම සහ ඉන් උදාවූ තත්වය මත එම බලධාරීන් මෙන්ම එයින් පිටස්තරව ආණ්ඩුවේ තනතුරු දරමින් සිට ඇති මෙන්ම එසේ නැති ලේඛකයන්, කලාකරුවන්, බුද්ධිමතුන් සහ ශාස්ත්‍රාලීය උගතුන් ලෙස හඳුනාගැණෙන පුද්ගලයන්ද ආණ්ඩුවේ තීරණය වෙනුවෙන් පෙනී සිටිමින් මේ පිළිබඳ කළ ප්‍රකාශයන් ය. වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර සමයේ ප්‍රකාශනයේ නිදහස සහ ජනවාර්ගික අයිතීන් පිළිබඳ රැඩිකල්, ලිබරල් මත දරන බව පෙන්වමින් සිටි මේ පුද්ගලයන් වත්මන් ආණ්ඩුව යටතේ විවිධ තනතුරුවලට පත් ව සිට දැන් එහි මර්ධනකාරී තීරණ ජනවාර්ගික සංහිඳියාවේ නමින් අනුමත කරන්නට යාම පිළිබඳ ප්‍රබල විවේචන සමාජයෙන් එල්ල කෙරුණි.
ඉන් අයෙකු කළ ප්‍රකාශයක් පිළිබඳ තම කම්පනය පළ කරමින් එයට පිළිතුරු දක්වමින් සුමදි සිවමෝහන් පළ කළ අදහස් වල අඩංගු පහත උපුටා දක්වන වැකි කිහිපය මෙම විවේචනයන් ගේ හරය කැටි කොට දක්වන බව මගේ අදහසයි.
“ මෙම රැඩිකල්භාවය, මෙම ලිබරල්භාවය සිංහල වර්ගවාදී ආස්ථානයන් වසා ගන්නා හුදු තුනී පිටස්තර බොරු ඔපයන් වෙයි…..සංහිඳියාව, බම්බුව තමයි !!!!! …..මම හිතන්නේ සංහිඳියාව තියෙන්නෙ ඔබේ ඔළුවේ.
[ මම ] කෝපයට පත් වීමි. නමුත් දැන්, මට එක දෙයක් විශ්වාසයි. මෙය ලිබරල්වාදීන්ගේ bluff and bluster ය.” [ එනම්, සැබෑ බලය, අභිප්‍රායන් හෝ හරයක් මගින් අනුබල නොලබන, අන් අය බිය වැද්දීමට හෝ රැවටීමට අදහස් කරන ඝෝෂාකාරී, ආක්‍රමණශීලී හෝ නිසැක බව පෙන්වන හැසිරීම් ප්‍රදර්ශනය කිරීමයි. එය දුර්වලතාවය හෝ අවිනිශ්චිතභාවය සැඟවීමට භාවිතා කරන හිස් තර්ජන සහ නාට්‍යමය රංගනය යි. -ගූගල් අනුසාරයෙනි. කුමුදු]
“ සිංහල ජනතාව සංහිඳියාවක් ඇතැයි සිතන විට, සංහිඳියාවක් ඇති බව, ඔවුන් [මෙම රැඩිකල්, ලිබරල් පුද්ගලයන් ] සිතීම ඉතා ගැඹුරට මුල් බැසගත් ජාතිවාදයේ දුගඳ ගෙන එයි. සමීප කවයන් තුළ විවේචන හඬ නඟන බොහෝ ලිබරල්වාදීන් විසින් හුවා දක්වනු ලබන, ‘අපි මෙම රජය ආරක්ෂා කළ යුතුයි, යන හැඟීම [පිළිබඳ] තර්කය මට තේරෙන්නේ නැහැ, මේ අය එල්ටීටීඊයට සහාය දුන් එකම අයම ය; එය ඔවුන්ට, ඔවුන්ගේ ලිබරල් සිංහල න්‍යාය පත්‍ර වලට ගැලපෙන විට “
“ දැන්, ඔවුහු හඬමින් දොඩවති.
එය කම්පන සහගතයි, මන්ද, එය මෙම ලිබරල් මුහුණුවල මුහුණුවලින් වෙස් මුහුණ ඉවත් කරයි. එල්ටීටීඊයට අදාළ හැඟීම්වලට වහල් ලෙස සහාය දෙන සිංහල ලිබරල්වාදයේ පැත්තක් තිබේ. ඔවුන් එක හා සමානයි, ඔවුන් සියල්ලෝම එක හා සමානයි. ඒ රැඩිකල්වාදීන්, ඒ ලිබරල්වාදීන්, තමන් සිංහල නිසා තමන්ට දේවල් පිළිබඳ වඩා උසස් දැනුමක් ඇති බව සිතන සෑම කෙනෙක්ම. [මෙය ] පිළිකුල් සහගතය.” ( උපුටා ගැනීම, සුමදි සිවමෝහන්, Facebook පිටුවෙනි, අවසර ගෙන පළකරන ලදි. )
සමාජ මාධ්‍ය
බලයට පත්වීම සඳහා සමාජ මාධ්‍ය ප්‍රබල ලෙස යොදාගත් ජවිපෙ/ජාජබ ආණ්ඩුව සමාජ මාධ්‍ය මගින් කුළු ගැන්වෙන තවත් අරගලයකින් තම ආණ්ඩුව පෙරළා දැමෙනු ඇතැයි දැඩි බියකින් පසුවන බව පෙනෙයි.
එහෙයින් ආණ්ඩුවේ ක්‍රියා පිළිබඳ කෙරෙන විවේචන මගින් සමාජ මාධ්‍ය හරහා ආණ්ඩුවට එරෙහිව ජනමතය සම්පාදනය කෙරෙනු ලැබීම වැළැක්වීමට ආණ්ඩුවට පක්ෂපාතී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළත් බලකායයන් වාත්තීයමය ලෙස සංවිධානය කොට තිරෙන් පිටුපස සිට ඒවා මෙහෙයවමින් ආණඩුවේ විවේචකයන් අධෛර්යයමත් කොට නිහඬ කිරීම සහ පළවා හැරීම උපහාස, අපහාස, අසභ්‍ය ප්‍රකාශ එල්ල කිරීම සහ බිය වැද්දීම් යනාදී මාර්ගයන්ගෙන් කෙරෙන බවට ආණ්ඩුවට බරපතළ චෝදනා එල්ල වී තිබේ.
තිරෙයන් පිටුපස මෙහෙයවීම් එසේ තිබියදී,‘ඩෝබි’ ලා නැතහොත් කිලිටි සෝදන්නන් යනුවෙන් ස්වයං-අනන්‍යකරණය කොට ගෙන ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රාශියකට අයත් යූ-ටියුබ් කරුවන් පිරිසක් මෑතකදී ජනාධිපති ගේ ආරාධනයෙන් ඔහු සහ ඔහුගේ මාධ්‍ය ඇමති සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජවිපෙ පක්ෂ මූලස්ථානයේදී පෞද්ගලික මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීම පිළිබඳ පුවත වත්මන් ආණ්ඩුව සමාජ මාධ්‍ය කෙරෙහි කොතරම් බරක් තබන්නේද යන්න පිළිබඳ ප්‍රබල උදාහරණයකි.
ඩෝබි” ලා/ “සෝදන්නන්”
සම්ප්‍රධායිකව මැතිවරණවලදී හෝ මහජන විරෝධතා ගොඩනැගීමේදී වැදගත් වන මහජන මතයක් ගොඩනැගීමේදී බුද්ධිජීවීහු / බුද්ධිමත්තු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරති. විශේෂයෙන් වර්ථමානයේ,ජනගහනයේ අතිමහත් බහුතරයක් සෑදෙන පරම්පරා දෙක වන සහස්‍රකයන් සහ සී(Z) පරපුර මත ආධිපත්‍යය දරන සමාජ මාධ්‍ය සර්වව්‍යාප්ත මෙම යුගයේ,මෙය වඩා ප්‍රබලය.
සමාජ මාධ්‍ය ආශ්‍රිත ස්වේච්ඡා ක්‍රියාකාරකමක් ලෙස ප්‍රකාශ වන “ ඩෝබි” ලා/ “සෝදන්නන්” යන පදයෙන් පැහැදිළි කරන සංසිද්ධිය ලංකාවේ දේශපාලන ක්‍රියාවලියේ පෙර දක්නට නොතිබූ සුවිශේෂ නව්‍ය එකතුවකි.මෙය හුදු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ මට්මම ඉක්මවා යන, බුද්ධිජීවින් සහ බුද්ධිමතුන් විසින් ක්‍රියාවට නංවන යම් මට්ටමක බුද්ධිමය අඩංගුවක් රැගත් දේශපාලන වැදගත්කමකින් යුතු කටයුත්තකි. තමන් බලයට පත් කළ සහ තමන් විශ්වාස කරන දෘෂ්ඨිවාදය අනුයන මෙම ආණ්ඩුව කෙසේ හෝ රැක ගැනීම සඳහා දැඩිව ක්‍රියාකිරීම තම වගකීම බව මෙම “සෝදන්නන්” ලෙස තමන් හඳුන්වා ගන්නා බුද්ධිජීවිහු සහ බුද්ධිමත්තු සහ ඊට නායකත්වය දෙන ශාස්ත්‍රඥයෝ තරයේ ප්‍රකාශ කර සිටිති.
මෙම පිරිසට වාම දේශපාලන ක්‍රියාධරයන් ලෙස තමන් හඳුන්වා ගන්නා සහ තමන් හුදු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගෙන් වෙනස්ව විග්‍රහාත්මක සාකච්ඡා ඉදිරිපත් කරන්නන් ලෙසින් හඳුනා ගන්නා සමාජ මාධ්‍ය මාධ්‍යකරුවෝද අයත් වෙති.
තම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් තම කාර්යභාරය ලෙස වටහා ගෙන ඇත්තේ ආණ්ඩුවට එල්ල වන විවිධ විවේචන හමුවේ ආණ්ඩුව “සේදීම” නැතහොත් ආණ්ඩුව නිවැරදි යැයි සනාථ කිරීම සඳහා ව්වේචකයන් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කරමින්, කරන්නන් වාලේ තර්ක විතර්ක කරමින්, ව්වේචකයන් දුර්මුඛ කොට නිහඬ කිරීම මඟින් ආණ්ඩුව “රැක ගැනීම” යි.
මෙම ප්‍රහාර මූලිකවම “බුද්ධිමය” ස්වරූපයෙන් ආවද එම “බුද්ධිමය නායකත්වය” යටතේ මුදාහැරෙන ප්‍රහාර පරාසය තුළ විවිධ මට්ටමින් ප්‍රතිමල්ලවයන් වෙත එල්ල කිරීමට දිරිගැන්වෙන උපහාස, අපහාස, කරදර කිරීම් යනාදිය අඩංගු කර ගනියි.ඔවුන් කියා සිටින පරිදි වර්ථමානයෙහි දේශපාලනය තීරණය වන සැබෑ භූමිය මෙම සේදීමේ ක්‍රියාවලියයි. වර්ථමාන සමාජ මාධ්‍ය අවධියේ දේශපාලනය තුළ උපහාස, අපහාස, කරදර කිරීම් නොවැළැක්විය හැකිය, එහෙයින් ඒවාට මුහුණ දිය නොහැකි අය දේශපාලනය නොකර සිටිය යුතුය, යන්න ඔවුන්ගේ ප්‍රකාශිත තර්කය යි.තම ප්‍රතිමල්ලවයන් නිහඬ කොට දේශපාලන භූමියෙන් පළවා හැර මෙසේ රැකගන්නට උත්සාහ කරන්නේ ආණ්ඩුවට එල්ල වන විවේචන පැතිරී යාමෙන් සමාජ මධ්‍ය මෙහෙයුම් මත ගොඩ නැඟීමට ඉඩ ඇතැයි ඔවුන් සහ ආණ්ඩුව තදින් විශ්වාස කරන බව පෙනෙන දෙවැනි අරගලයකිනි. ඔවුහු සංවිධාන ලෙසින් පෙළ ගැසීමෙන්ද, තනි තනිවද, සියළු දෙනා විවිධ මට්ටම් වලින්ද මෙම කටයුත්තට හවුල් වෙති.
වාම දේශපාලන දෘෂ්ඨියෙන් ආණ්ඩුව විවේචන කිරීම
මෙම සේදීමේ කටයුත්තේ හරය වශයෙන් ප්‍රකාශයට පත් වී ඇත්තේ වත්මන් ආණ්ඩුව පිළිබඳ වාම දේශපාලන දෘෂ්ඨියෙන් විවේචන කිරීමේදී පළමුව,ඉන් වාසි සැළසන්නේ කාටද? යන්න සිතා බැලිය යුතු බවට නයායික සූත්‍රගත කිරීමක ස්වරූපයෙන් ඉදිරිපත් වී තිබෙන අදහස යි. මෙයින් කියැවෙන අදහස නම් වත්මන් ආණ්ඩුව වාම දෘෂ්ඨියෙන් විවේචනය කළහොත් එහි ප්‍රථිඵලය විය හැක්කේ එය දෙවැනි අරගලයකට හේතු විය හැකි බවයි,දැනට බලයෙන් පහ කොට සිටින පිරිස් යළි බලයට ඒමට ඉන් මඟ පෑදිය හැකි බවයි.ඒ හා සමගාමීව විවේචකයන්ගෙන් නිතර අසනු ලැබෙන ප්‍රශ්නයක් නම් වත්මන් ආණ්ඩුව වෙනුවට පත්කර ගත හැකි ආණ්ඩුවක නායකයන් ලෙස විවේචකයන් දකින්නේ කවුරුන්ද? යන්නයි. එය හරියට,පුරවැසියන් තමන්ගේ ජීවිතවලට බලපාන ආණ්ඩුවක් විවේචනය කළ යුත්තේ ඒ වෙනුවට බලයට පත්කර ගැනීමට වෙනත් පැහැදිළි විකල්පයක් තමන්ට ඇත්නම් පමණක් මෙනි.විවේචනය යමක් නිවැරදි කරගැනීමේ අදහසින් කළ නොහැකි දෙයක් මෙනි. විවේචනය,විකල්පයක් සංවංර්ධනය කරගැනීමේ මාවතක් විය නොහැකි දෙයකි මෙනි.
මෙම තර්කය සම්ප්‍රධායිකව බූර්ෂුවා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලිබරල් දේශපාලන විද්‍යා තර්කයව පැවැති නියමිත කලට මැතිවරණ පවත්වා ආණ්ඩු බලයට පත්කිරීම සහ අවශ්‍ය විට බලයේ සිටින ආණ්ඩු වෙනස් කිරීම සාධනීය ලෙසින් සැළකීම තුළ බලයේ සිටින ආණ්ඩුව පිළිබඳ විචාරය සම්පාදනය කිරීම සාධනීය ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. මේ අනුව වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම උදෙසා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බල කණ්ඩායම් නැවත බලයට පත්වීම වැළැක්වීම සඳහා වත්මන් රජය කෙසේ හෝ දිගින් දිගටම බලයේ තබා ගත යුතු යැයි ඉන් කියැවෙයි.වාම දෘෂ්ඨියෙන් විචාරය නවතා ලිය යුතු ඒ සඳහා ය. මෙය නම් අරුම පුදුම ප්‍රජාතන්ත්‍රවාදය කි. එය පැහැදිළිවම අප මෙතෙක් දැන සිටි බූර්ෂුවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.එසේනම් එය කුමන ප්‍රජාතන්ත්‍රවාදයක් ද?දේශපාලන විද්‍යාඥයන් හැමවිටම කරන්නාක් මෙන් දේශපාලන විද්‍යාවේ නාමයෙන් එයට අළුත් පදයක් නිර්මාණය කළ හැකිය. ඒ කුමක් ද?
සම්ප්‍රධායිකව බුද්ධිජීවීන්ගේ සහ බුද්ධිමතුන්ගේ කාර්යභාරය වශයෙන් පිළිගැනුනේ සමාජයට අවශ්‍ය කෙරෙන විචාරශීලී චින්තනය සම්පාදනය කිරීම යි. නමුත් සේදීමේ නිරත බුද්ධිමතුන් කියා සිටින්නේ ආණ්ඩුව රැකෙනු වස් වම තම විචාරශීලීත්වය නිහඬ කළ යුතු බවයි, එවිට සියල්ල හොඳින් සිදුවනු ඇත.
සේදීම අගයන සමහරුන් ඉදිරිපත් කරන තර්කයක් වී ඇත්තේ වාමාංශිකයන් කළ යුත්තේ වත්මන් ආණ්ඩුව විවේචනය කිරීම නොව එය තවත් වමට තල්ලු කිරීම බවයි.ඔවුන් ඉන් අදහස් කරන බව පෙනෙන්ෙන් දැනටමත් මෙම ආණ්ඩුව වමේ ආණ්ඩුවක් බවයි.මෙම තර්කය සැළකිල්ලට නොගන්නා කරුණක් නම් ආණ්ඩුවට සමාජ මාධ්‍ය මර්ධන බලකායයන් සහ සෝදන්නන් අවශ්‍ය වීමට එක් හේතුවක් වී ඇත්තේ වමට තල්ලු කිරීමට කෙරෙන විවේචන ආණ්ඩුව නොඉවසීම යන්නයි.
ජාජබ ආණ්ඩුව බලයට පත් වූයේ ජවිපෙ සාමාජිකත්වයට පිටින් ලිබරල්, ප්‍රගතිශීලී, වාම, රැඩිකල් යනාදී අර්ථයන්ගෙන් තමන් නාමකරණය කරගන්නා සංවිධාන සහ පුද්ගලයන් ජාජබ වටා ඒක රාශී කරගනිමිනි.
මොවුන් අතර සිටින බුද්ධිමතුන් ලෙස හැඳින්විය හැකි පිරිස ජාතික ජනබලවේගය ගොඩ නැඟීමේ කටයුත්තට දායකවෙමින් ප්‍රතිපත්ති සම්පාදනයට දායකත්වය සැපයීමෙන් පටන් ගෙන අදාළ කමිටුවල නායකත්වය විවිධ මට්ටමින් ගනිමින් ප්‍රසිද්ධියේ ජාජබ යේ මහජන සිදුවීම් හමුවේ, මැතිවරණ වේදිකාෙව් පවා පෙනී සිටිමින් ජාජබ සමඟ අනන්‍ය වූහ. ඔවුන්ගෙන් ඇතැමෙකු තම අනන්‍යතා පාදක කොට ගත් ඡන්ද කුට්ට් මතින් මැතිවරණය දිනා හෝ නැතහොත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් ලෙස පත්ව ඇමැති ධුර පවා ලැබූහ. සෙසු අය
බොහෝ දෙනෙකු මැතිවරණ ජයහග්‍රහණයෙන් පසුව සම්ප්‍රධායිකව සිදුවන්නාක් මෙන් වහ වහාම හෝ පසුව හෝ ආණ්ඩුවේ නිලධාරි තන්ත්‍රයේ සහ අධ්‍යක්ෂ යනාදී අනෙක් විවිධ තනතුරු වලට පත් වූහ.එසේ පත් වූ හෝ පත් නොවූ ඇතැමුන් ඊට පෙර තමන් සමාජයේ ඉටු කරමින් සිටි විචාරශීලී භූමිකාව අත් හැර නිහඬ වූහ. ඔවුන්ගෙන් සමහරක් දෙනා තමන් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම දක්වා මහජන තලයේ කළ ක්‍රම විපර්යාසක න්‍යායික මැදිහත්වීම් ආරක්ෂිත සාහිත්‍යයික හෝ වෙනත් මාතෘකා වෙනුවෙන් නවතා දමා ඇත්තේ ඒ විචාර සියල්ල ඉලක්ක කළ විපර්යාසයන් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟින් ඉටුවී ඇත්තාක් මෙනි. තවත් සමහරු වත්මන් පාලක රෙජිමයේ නිලධාරී තනතුරු හොබවන අතරම සේදීමේ කටයුත්තට පිවිසියහ. සේදීමේ කටයුත්ෙත් යෙදෙන සියල්ලන්ම එසේ තනතුරු ලැබූවන් නොවෙතත්, තනතුරු නොලබා සේදීමේ කටයුත්ෙත් යෙදෙන්නන්ගෙන් සමහරු එසේ කරන්නේ මුදල් ගෙවීම් ලබා යැයි කෙරෙන චෝදනාවක් ද මතු වී තිබේ. මේ පිරිස් අතර ස්වාධීන මාධ්‍යවේදයේ පැවැත්මට බරපතළ අභියෝගයක් එල්ල කරමින්, මාධ්‍යවේදීන් ලෙස සම්ප්‍රධායිකව හැඳින්වුණු වත්මනෙහි වැඩිපුරම අන්තර්ගත සහ හෝ ඩිජිටල් නිර්මාපකයන් ලෙසින් හැඳින්වෙන පිරිස් ද වෙති.
ලංකාවේ වාමාංශික ආණ්ඩුවක් බලයට පත්වීමේ අවසාන අවස්ථාව මෙය වනු ඇතැයි තක්සේරුවක සිටින ඇතැම් වාමවාදීන් එහෙයින් මෙම ආණ්ඩුවට එකතු වී ජනතාව වෙනුවෙන් ලබා ගත හැකි උපරිම යහපත සාක්ෂාත් කරගත යුතු යැයි විශ්වාස කරමින් ආණ්ඩුවට එකතු වී සිටින්නේ ඉතිහාසය අවසන් වී ඇතැයි සිතන්නාක් මෙනි.
වාම දේශපාලන ප්‍රතිචාරය
ලංකාවේ වාම දේශපාලනය මේ තත්වයට ප්‍රතිචාර දැක්විය යුත්ෙත් කෙසේද?යන්න පිළිබඳ විවිධ විග්‍රහ මෙම මැයි දිනයේදී ඉදිරිපත් වනු ඇත. එයට පූර්විකාවක් ලෙස වම යනු කුමක් ද? යන්න සළකා බැලීමද අවශ්‍ය කෙරෙනු ඇත.
වම යනු කුමක් ද?
සම්ප්‍රධායිකව ලංකාවේ වම ලෙසින් සළකණු ලැබුවේ මාක්ස්වාදය පදනම් කරගෙන කම්කරු පංති නායකත්වයෙන් ගොඩ නැඟුණු ලෙස සළකනු ලැබූ, සමාජවාදය ගොඩ නැඟීම තම ඉලක්කය කරගත් දේශපාලන පක්ෂ ය.මෙය වෙනස් වූයේ උගත් තරුණයන් නායකත්වය දුන් තරුණ බලවේගයක් ලෙසින් සංවිධානය කරනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයට අවතීර්ණ වීමෙනි.
වාම කතිකාවෙහි ප්‍රගතිශීලී යන පදයෙන් හඳුන්වනු ලැබූ දේශපාලන පක්ෂ හෝ සංවිධානද, උදාහරණයන් වශෙයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂයක්ද, සම්ප්‍රධායිකව ජන වහරෙහි වම ලෙසින් හඳුන්වනු ලැබිණි. ප්‍රගතිශීලී යැයි නම් කෙරුණු දේශපාලනය සමඟ සන්ධාන ගතවීම ලාංකේය වාම දේශපාලනයෙහි දක්නට ලැබී ඇත.එපමණක් නොව සම්ප්‍රධායිකව ප්‍රතිගාමී සහ දක්ෂිණාංශික වශයෙන් සැළකුණු දේශපාලනය සමඟ ද වමේ යැයි කියාගන්නා දේශපාලනය සන්ධාන ගත වූ අවස්ථා තිබී ඇත.
අද වන විට ලංකාවේ වාම දේශපාලනය පිළිබඳ මාක්ස්වාදී අදහසට ලිබරල්,සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, මාධ්‍යමික-වම (centre-left), වාම-ලිබරල් (left liberal), පශ්චාත්-නූතනවාදී , ලැකානියානු-ජිජැකියානු ( Lacanian- Zizekian),හෙගේලියානු, හෛඩිගේරියානු, පශ්චාත්-මාක්ස්වාදී, ඩෙලියුසියානු (Deleuzian) යනාදි වශයෙන් තමන් හඳුන්වා ගන්නා දේශපාලනයන්ද ඇතුළත් කරගෙන ඇති බව පෙනී යයි.
මේ තත්ත්වය පසුබිමෙහි ලංකාවේ වාම-නාමික දේශපාලනය සම්බන්ධයෙන් සළකා බැලිය යුතු ගැටළුවක් වන්නේ ‘ වාම විරෝධී මතවාද වමේ නමින් සහ ස්වරූපයෙන් ඉදිරිපත් වෙමින් පවතින්නේ ද?’ යන්නයි.
මේ සියල්ල පිළිබඳ සාකච්ඡාවක් ඇරඹිය යුතුව තිබේ.
