තවත් එක් ත්‍රස්ත විරෝධී නීතියකින් රාජ්‍යය තම ජනතාවට තර්ජනය කරන්නේ ඇයි?

ආර්ථික යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීවාදී එකමුතුව 

“ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” (PSTA) නමින් රජය විසින් යෝජනා කරන ලද නීතිය සම්බන්ධයෙන් ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී එකමුතුව (FCEJ) සිය අප්‍රසාදය ප්‍රකාශ කර සිටී. මෙම කෙටුම්පත් නීතිය 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) පවතින මර්දනකාරී විධිවිධාන තවත් අසාමාන්‍ය බලතල සහිත නීතියකින් ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කරයි. මර්දනකාරී නීති, අති විශේෂ විධායක බලය සාමාන්‍යකරණය කිරීම සහ අඛණ්ඩ මිලිටරිකරණයට එරෙහිව අප නැගී සිටින නිසා අපි ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතට විරුද්ධ වෙමු. බිය මුලික කොට ගෙන පාලනය කිරීම අපගේ සමාජ විනාශ කරයි. එය අසමානතාවය, ආන්තිකකරණය සහ දූෂණයට මග පාදයි.   

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ අපගේ විශ්ලේෂණය නම් එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා අහිතකර බවයි. එවන් නීතියක් වර්තමාන සන්දර්භය තුළ අවශ්‍ය වන්නේ මන්දැයි සාධාරණීකරණය කිරීමට එය අසමත් වේ. ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ‘ත්‍රස්තවාදී ක්‍රියා’ යන්නෙහි පුළුල් හා නොපැහැදිලි අර්ථ දැක්වීම එලෙසම පවත්වාගෙන යයි. මීට අමතරව ‘දිරිගැන්වීම’, ‘ප්‍රකාශනය’ සහ ‘පුහුණුව’ තර්ජනාත්මක ක්‍රියාකාරකම් ලෙස ද භයානක ලෙස පුළුල් කොට දක්වයි. මෙම කෙටුම්පත මඟින් අත්අඩංගුවට ගැනීමේ පොලිස් බලතල පුළුල් කර, සන්නද්ධ හමුදාවන්ට සහ වෙරළාරක්ෂකයින්ට අත්අඩංගුවට ගැනීමේ බලතල හඳුන්වා දී, පරිපාලන රඳවා තබා ගැනීම් එලෙසම පවත්වාගෙන යන ලෙස යෝජනා කරයි. ජනාධිපතිවරයාට ඇඳිරි නීතිය පැනවීමට සහ සංවිධාන අවිනිශ්චිත කාලයක් සඳහා තහනම් කිරීමට අසාධාරණ ලෙස බලය පැවරීම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට තහනම් ස්ථාන ප්‍රකාශ කිරීමට බලය පැවරීම සහ නියෝජ්‍ය පොලිස්පති නිලයේ පොලිස් නිලධාරීන්ට පුරවැසියන්ගේ සංචලනයට බලපාන සීමා කිරීමේ නියෝග ලබා ගැනීමේ බලය ලබා දීම අතිශයින්ම කලකිරීමට කරුණකි. නීති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව දැන දැනත්, මෙම කෙටුම්පත, ප්‍රසිද්ධියේ සමාව අයැදීම, වන්දි ගෙවීම, ප්‍රජා සේවය සහ පුනරුත්ථාපනය වැනි දඬුවම් ක්‍රමයකට සැකකරුවෙකු එකඟ වන්නේ නම්, නීතිපතිවරයාට වසර 20 කට නඩු පැවරීම අත්හිටුවීමට බලය පැවරීම ද හඳුන්වා දෙයි. මෙලෙස අසාමාන්‍ය බලතල සාමාන්‍යකරණය කරන නීතියක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නීති යටතේ සුළුතර ජනගහනයන්ට සිදු වූ විනාශය සහ වේගයෙන් වර්ධනය වන ආරක්ෂක නීති මගින් සිදු වන අඛණ්ඩ හමුදාකරණය, අනිසි නිරීක්ෂණය සහ රාජ්‍ය පීඩනය පිළිබඳව අපගේ රටට මතක් කර දීමට අපි මේ මොහොත ගන්නෙමු. යුද්ධයෙන් පසු යථා තත්ත්වයට පත්වීම සහ සංහිඳියාව සඳහා පැවතියේ ඉතා සීමිත ඉඩක් වන අතර අඩු ආදායම්ලාභී ජනතාවට ශාරීරික, මානසික සහ මූල්‍ය ආරක්ෂාව අපේක්ෂා කිරීමට ඇති ඉඩකඩ ද ඉතා අල්පය. ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත වැනි පීඩාකාරී නීතියක් යෝජනා කිරීමෙන් පවා එල්ල වන තර්ජනය මානව ආරක්ෂාව පිළිබඳ ස්ත්‍රීවාදී සංකල්පවලට අපහාසයකි. ආරක්ෂාව යන්න අස්ථාන්විත වීමට නම් එය තනි පුද්ගල සහ ප්‍රජා මට්ටමින් පිළිගත යුතුමය.

ශ්‍රී ලංකාවේ මානව ආරක්ෂාව අවශ්‍යතා පිලිබඳ ඇති හදිසි අවශ්‍යතාවය අවිවාදිතයි – රටේ ගෘහ ඒකක වලින් 50% කට වඩා ණය බරින් ද, ජනගහනයෙන් හතරෙන් එකක් දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, නිවාසවලින් 30% කට වඩා මධ්‍යස්ථ/දරුණු ආහාර අනාරක්ෂිත ගැටළු අත්විඳිති, සෑම වසරකම පොලිසියට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ පැමිණිලි 100,000 කට වඩා ලැබේ. ගැඹුරු වන අසමානතාවය, වර්ධනය වන දරිද්‍රතාවය, රටේ අධ්‍යාපන හා සෞඛ්‍ය පද්ධතිවල පිරිහීම, ජනතාව වටා ගෙල වළල්ලක් මෙන් වියදම් කප්පාදුව දැඩි කිරීම මෙන්ම සංහිඳියාව, යුද්ධයෙන් පසු නැවත ප්‍රතිසාධනය සහ ප්‍රතිසංස්කරණය කෙරෙහි විශ්වාසය ඇති කිරීමට අපොහොසත් වීම, සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ජාතිය, පන්තිය, සහ ආගම මත පදනම් වූ ව්‍යුහාත්මක වෙනස්කොට සැලකීම හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම ද අපි අත්විඳිමින් සිටිමු.

ජනතාව ආරක්ෂිතව, සුරක්ෂිතව සිටීමෙන් තොරව හා තර්ජනය, ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කොට සැලකීමක් නොමැතිව ඔවුන්ගේ ජීවිත සංවර්ධනය කර ගැනීමේ මාර්ග කෙරෙහි බලාපොරොත්තුවකින් තොරව රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ සංකල්පයක් හෝ සාකච්ඡා කළ නොහැක. බලයට පැමිණ වසරක් ගතවී ඇතත්, කප්පාදු පියවර ආමන්ත්‍රණය කිරීමට, මර්දනකාරී නීති ආපසු හැරවීමට, කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ සහ වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට පිළිතුරු සැපයීමට, ගෘහස්ථ ණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වයට පිළිතුරු සැපයීමට, පවුල තුළ සමානාත්මතාවය වර්ධනය කිරීමට, සියලු මට්ටම්වල නියෝජනයේ සමානාත්මතාවය වර්ධනයට හෝ මලෛයහ ජනයා මුහුණ දෙන අඛණ්ඩ වෙනස්කොට සැලකීම් සම්බන්ධයෙන් සැලකිය යුතු ව්‍යවස්ථාදායක හෝ ප්‍රතිපත්තිමය පියවරයන් ගෙන නොමැත.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් පැවසෙන්නේ කිසිදු පාඩමක් ඉගෙන ගෙන නොමැති බවයි. රාජ්‍ය මර්දන මෙවලම් සහ හමුදාකරණය දිගටම පවත්වා ගෙන යාමට රජය අදහස් කරන බව එයින් අපට කියැවේ. ක්‍රම වෙනස් කිරීම සඳහා සැලකිය යුතු ජනවරමක් සහිත නව රජයක් බලයට පත් වී වසරක් ඇතුළත බලාපොරොත්තු සුන් කර ගැනීම දුෂ්කර නමුත්, අපි එතනට ලංව සිටිමු. මේ රටේ කාන්තාවන්, තරුණයින්, ළමයින් සහ කම්කරු පන්ති පුරවැසියන් සඳහා සෑම දිනක්ම අරගලයකි, සෑම දිනක්ම තර්ජන සහ වෙනස්කොට සැලකීම් වලින් පිරි බිම් බෝම්බ ක්ෂේත්‍රයකි. මෙම නව කෙටුම්පත ස්වරූපයෙන් අපට තවත් තර්ජනයක් අවශ්‍ය නැත. දැන් ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඉවත් කරගන්න!

පෙබරවාරි මස 19 වන දින, 2026

ආර්ථික යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීවාදී එකමුතුව යනු ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය තුළ ඔවුන් සමඟ වැඩකරන ප්‍රජාවන්ගේ සැබෑම අත්දැකීම් මත පදනම්ව ප්‍රතිපත්ති නිර්දේශ වටහා ගැනීමට, විශ්ලේෂණය කිරීමට සහ ප්‍රකාශ කිරීමට රටේ සියළු ප්‍රදේශවලින් 2022 අප්‍රේල් මස දී එක් වූ ස්ත්‍රීවාදී ආර්ථික විද්‍යාඥයන්, උගතුන්, ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන් සහ නීතීඥයන් යන අයගේ එකමුතුවකි.

කරුණාකර ඔබේ අදහස් මෙම විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න – feministcollectiveforjustice@gmail.com

Leave a comment